වතු කම්කරුවෝ සති ගණනාවක සිට දෛනික වැටුප රුපියල් 1000/= ක් ඉල්ලා අරගල කරමින් සිටිති.. රටේ විදේශ විනිමය නිපදවන ශ්‍රම බලකායෙන් වතු කම්කරුවන්, විදෙස් ශ්‍රමිකයින් සහ වෙළඳ කලාප සේවකයින් ප්‍රධාන තැනක් උසුලයි.. ඔවුන්ගේ ශ්‍රමය මතින් ලංකාවේ ආර්ථිකයේ තීරණාත්මක සාධකයන් වී ඇත.
වතු කම්කරුවන්ගේ ශ්‍රමය එම වතු සමාගම් වල ප්‍රධාන අදායම ලාභයයි… නමුත් වතු කම්කරුවන්ට ඉන්නට ඉඩමක්, නිවසක හෝ අඳින්න පළදින්න වස්ත්‍රයක් , කුසට අහරක් නිසි අධ්‍යාපනයක් හෝ ප්‍රමාණවත් සෞඛ්‍ය පහසු කම් නොලැබේ.. ඔවුන් ජීවත් වෙන්නේ මිනිස් කමට කිසි සේත් නොගැලපෙන ලයිම් කාමර වලය.
එවන් අසීරු ජීවන කොන්දේසි මතින් ජීවිකාව ගෙනයන වතුකම්කරුවන්ගේ වැටුප් ඉහල දැමීමට ඉල්ලීම අතිශය සාධාරණ ක්‍රියාවකි.. මුලින් වතු කම්කරුවන් ඉල්ලුවේ රු 1500/= කි.. හාම්පුතුන් නියෝජනය කරන වතු කම්කරු සමීති මුලික වී එම ඉල්ලීම රු 1000/= කර ඇත… එහෙත් මේ වන විට එය පවා නොලැබෙන සෙයකි..
පසු ගිය සමයේ සිදු වූ රුපියලේ බිඳ වැටීම නිසා භාණ්ඩ සහ සේවා අපනයනය කරන සමාගම් වලට එහි ලාභය සෘජුව ලැබෙමින් පවතී… තේ අපනයනය කිරීමේදී ලැබෙන එම වාසිය වතුකම්කරුවනට හෝ කිසිම ශ්‍රමිකයෙකුට නොලැබේ …. ඒවා සමාගම් සතු ලාභයකි.. ඇඟලුම් ශ්‍රමිකයින්ටද ඒ ඉරණමමය… වසර කීපයක් කලාපේ සේවය කර ආපසු එන කම්කරුවෙකුට ඉතා සොච්චම් මුදලක් හැර ඉතිරි වූ යමක් ඇත්නම් ඒ මන්දපෝෂිත වූ සිරුරක් පමණි…
ලංකාවේ ශ්‍රම සහ සේවා කොන්දේසි ඉතාම අසීරුය.. එපමණක් නොව ශ්‍රමයේ වටිනාකම් වෙළඳපොල හරහා ප්රාග්ධනය ලෙස ඉතාම අසාධාරණ ලෙස සංකේන්ද්‍රණය වේ.. මේ නිසාම වැටුප් ශ්‍රමිකයින්ගේ ජීවන කොන්දේසි අසීරු වී ඇත. වැටුප් වැඩි කිරීම ඉතාම සාධාරණ වන්නේ මේ නිසාය..
වතු වෘත්තීය සමිති මුදලාලිලා පරාජය කරමින් මේ සටන ජය ගැනීමට , වතු කම්කරු වැටුප් අරගලයට, සියලු ප්රගතිශීලි බලවේග වල සහය ලැබිය යුත්තේ ඒ නිසාය.
පසු ගිය කාලයේ මියන්මාර් ගතව සිටි ඇට මැස්සා නැවත වතාවක් සියරට පැමිණ සිය ඓතිහාසික වගකීම ඉටු කිරීමට සූදානම් වෙයි. ජෙසුස් වහන්සේ උත්ථානය වූයේ එක් වරකි . මේ ඇට මැස්සාගේ දෙවන උත්ථානයයි. දැන් තිබෙන මොල කොලොප්පම් අල කලංචි අස්සේ ඇට මැස්සෙක් අහවල් මගුලක් කරන්නදයි කෙනෙකුට සිතෙන්නට පුලුවන.
නමුත් ඔවුන් දැන ගත යුත්තේ සෑම යුගයකම ඇට මැස්සෙකුට නියමිත කාර්යයක් තිබුණු බවයි . එනම් නිදා සිටින උන්ට ඇණ ඇහරවීමයි. අවාසනාවකට සමහර කාලවල කෘමි නාශක නිසා හෝ වෙනත් එවන් කුමන්ත්‍රණ නිසා ඇට මැස්සන් නොසිටියේය. අඩුම තරමේ කරලියේ නොසිටියේය.ඉතින් සියල්ලන්නටම සුවසේ නිදා ගන්නට හැකි විය. ඒ නිදා ගත් අය අතර ඇට මැස්සා ද සිටි බව කණගාටුවෙන් වුවද කිව යුතුය.
දැන් ඇට මැස්සා අවදිව ඇත. අපි බලමු. ( මකරා ද කිව්වේ එහෙමය. අපි බලමු ,අපි බලමු කියාය.)
වියන්ගොඩගේ රෙද්ද අස්සේ යහපාලනය
Posted: May 17, 2017 in UncategorizedTags: පොලිස් ම්ලේච්ඡත්වය, සයිටම්, SAITM
අද දින නෙවිල් ප්‍රනාන්දුගේ වෙද කලු කඩයට එරෙහිව පා ගමනක යෙදුනු සරසවි සිසුන්ට , නෙවිල් ප්‍රනාන්දුගේ මුදලට යට වූ ආණ්ඩුවේ පොලීසිය අති අමානුෂික හා තිරිසන් ප්‍රහාරයක් එල්ල කළේය. ඉතාමත් අමානුෂික ලෙස සිසුන්ගේ ශරීර වලටම එල්ල කර කඳුලු ගෑස් උණ්ඩ යැවූ පොලිස් කාරයින් පසුව එලව එලවා සිසුන්ට පහර දුන්නේ උම්මත්තක විලාසයෙනි. ප්‍රහාරයෙන් ගැලවීමට විහාරමහා දේවි උද්‍යානයට පසු බැස්ස සිසුන්ට පවා පහර දුන් පොලිස් ම්ලේච්ඡයින් , ඔවුන් අත් අඩංගුවට ගෙන යද්දී පවා පහර දුන් හැටි දැක්වෙන වීඩියෝ සමාජ ජාලවල දක්නට ඇත.
පොලිසිය කරන්නේ රාජකාරිය යැයි අපිට කියන්නට සැරසෙන මහත්වරුන්ට අප කියන්නේ ඔය ආකාරයේ රාජකාරි කෙරුමට වඩා හිඟා කෑම දාහෙන් සම්පතක් බවයි. ඉහළින් එන අණ පිලිපැදීම එකක් වන අතර මේ ආකාරයේ තිරිසන් පහර දීම් ඉහළ අණ පිළිපැදීම් යැයි කියන්නට හැක්කේ ඒ ආකාරයේම පරපීඩක මානසිකත්වයක් ඇත්තන්ට පමණි.
රාජපක්ෂ කල්ලියේ මැරකම් වලට එරෙහිව පෙනී සිටියා යැයි කියන සරත් විජේසූරිය, වික්ටර් අයිවන්, අජිත් පැරකුම් , ඇතුලු යහපාලන නඩය මෙම පහර දීම සාධාරණීකරණය කිරීමට හෙට ගෙනෙන තර්ක බැලීමට ( ඔව් බැලීමට) අප මග බලාගෙන සිටිමු.
සිසුන්ට එල්ල කළ තිරිසන් ප්‍රහාරය හෙලා දකිමු
නිදහස් අධ්‍යාපනය ද අධ්‍යාපනයේ නිදහස ද?
Posted: May 15, 2017 in UncategorizedTags: නිදහස් අධ්‍යාපනය, සයිටම්, සී.ඩබ්.ඩබ්.කන්නන්ගර, free education, Politics
නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහත්මා විසින් වෛද්‍ය උපාධී විකිණීමට පවත්වාගෙන යනු ලබන සයිටම් හොර කඩය /කලු කඩය වෙනුවෙන් පෙනී සිටින හිටපු වාමාංශිකයන් ඇතුළු සයිටම් වාදින් විසින් කියනු ලබන පරිදි එය අධ්‍යාපනයේ නිදහස මූර්තිමත් කරන සංකේතයකි. මේ කට්ටඩියන් තමන්ගේ පිලිකුල් සහගත තර්කය සාධාරණීකරණය සඳහා ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා යැයි සැලකෙන සී.ඩබ්.ඩබ්. කන්නන්ගරයන්ද යොදා ගැනීමට නින්දිත වූ උත්සාහයක නිරත වේ. මේ ඊනියා මහත්වරුන් කියන පරිදි කන්නන්ගර ගේ අරමුණ වූයේ අධ්‍යාපනයේ නිදහස මිස නිදහස් අධ්‍යාපනය නොවේය. මෙම මතය සයිටම් වාදි නඩය විසින් සමාජ ගත කිරීමට උත්සාහ කරන පට්ට පල් කෙබරයක් මිස අන් කිසිවක් නොවේ. එය කන්නන්ගර නාමයට කරනු ලබන තුච්ඡ නින්දාවකි.
තමන් විසින් වෙනත් ක්ෂේත්‍ර තුල ලබා ගත් කීර්තිය නෙවිල් ප්‍රනාන්දු මුදලාලිගේ රුපියල් වලට උකස් කර කෑ ගසන කුහක නරුමයන්ට එරෙහිව කන්නන්ගරයන් ම පිළිතුරු දෙන්නේ මෙසේය.
“ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා.මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිළ අඩු කළ බවත්, වසා තිබූ පොතක් විදිහට අපිට දිස් වුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය දිළින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත් සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුළුවනි නම්, ඒ ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාව වඩා කොයිතරම් ශ්‍රෙෂ්ඨද ? ” (හැන්සාඩ් 1944/946 පිටුව)
- (1944 ජුනි 02 දා නිදහස් අධ්‍යපන පනත පිලිබඳ රාජ්‍ය මන්ත්‍රණ සභා විවාදයේදී අධ්‍යාපන ඇමතිවරයා ලෙස සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා කළ කතාව)
පහුගිය චන්දේ දී …ඔව් ජනවාරි 8 විප්ලව චන්දේ දී රනිල් උන්නැහේ කිව්වා නේ රට පුරා ෆ්‍රී වයි ෆයි කලාප ඇති කරනවා කියලා… කිව්වත් වගේ කොලා, රට පුරා කොහොම වෙතත් ඔය රේල්වේ ස්ටේෂන් දෙක තුනක නම් තිබ්බා… මාර ෆ්‍රී කියන්නේ මාසෙටම 2ඹ්භ් ද කොහෙද දුන්නා…. ඒකත් ලොග් වෙන්න ලේසි නෑ… ඔන්න ලොග් වෙන්න පාස් වර්ඩ් එක හැඳුනුම්පත් අංකේ… ඔන්න ලොග් වෙන්න ගියා කියමු… එතකොට මැසේජ් එකක් එනවා අංකය නැවත ඇතුල් කරන්න කියලා,… නැවත ඇතුල් කරාම මැසේජ් එකක් එනවා ඔබේ උපකරණය මීට පෙර ලියාපදිංචි වී ඇත…. ඉතින් මක්කැයි කොරන්නේ…ඔන්න ඔහොමයි ෆ්‍රී වයි ෆයි කලාප
දැන් ඉතින් ඒකෙන් කමක් නෑ…. හැබැයි ඉතින් ඊ ලඟ චන්දේට ඇවිත් ෆ්‍රී වයි ෆයි කලාප පොරොන්දු දෙන්න ත් බැරි නිසා උන්නැහෙලාට යෝජනාවක් කරන්නයි ඇටමැස්සා උන්නැහේ ලේස්ති වෙන්නේ..
මේ දවස් වල ඉන්න හිටින්න බෑ… රස්නේ .. නිදාගන්න ගියාම තුම්මුනින් දාඩිය ගලනවා… කල්පනා කොරලා බැලුවොත් නරකද මේ ඌෂ්ණ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න… ඔය එල් නිනො ද ලා නිනා ද මොකක්ද එකක් නිසා දිගටම රස්නෙත් තියෙයි නෙව.. සෑහෙන කාලය්ක් මාර්කට් කරන්න පුලුවන් ප්රශ්නය…
ඒ නිසා නරකද පොරොන්දුවක් දුන්නොත්
” අපි නැවත බලයට ආවොත් රට පුරා ෆ්‍රී ඒ. සී. කලාප ඇති කරනවා ” කියලා.
බය වෙන්න එපා නිකම් දෙනවා කිව්වොත් නුවර එලියේ උන් පවා චන්දේ දෙයි…( අනික නුවර එලියෙත් උනුසුම වැඩි වෙලා නෙව)
ඊස් මීස් නැතිව පිරුණු සෙනග වැලිකඩ හිරගෙදර හිට අලුත්කඩේ දිහාවට පෙලපාලියකින් යයි.කස්ටිය හුස්මක් කටක් නැතිව මහ හඬින් කෑ ගහයි. දාඩිය පොලු නහය උඩින් පෙරෙයි. හැම එකාගෙම අතේ පෝස්ටර් හා බැනර්ය.හැමෝගෙම හිත්වල ඇත්තේ සාධාරණ කෝපයකි. සාධාරණ කෝපයක් කෙනෙකුගේ හිතට එන්නේ අසාධාරණයක් දුටු විටය.
හේතුව වීරයා හිරගෙට දැක්කීමය. කවුද වීරයා
වෙනින් කවුරුත් නොව ලෙනින් මොරායස් ජනරාල් සරත් ෆොන්සේකා තුමාය.එතුමා අද ජම්පරයක් ඇඳගෙන හිරබත් කයි. කාගේ නම් හදවත උණු නොවෙයිද සහෝ…
සමහරුන්ට ඔහු වීරයා වෙන්නේ තිස් අවුරුදු යුද්ධය හමාර කළ හමුදාපති වීරයා ලෙසය. තවත් සමහරුන්ට ඔහු සුඛ විහරණ හැර දමා ඒකාධිපති රාජාණ්ඩුවකට විරුද්ධව සටන් බිමට බැස්ස මහා ප්රජාතන්ත්රවාදි වීරයාය. ඔය ආදි වශයෙන් තවත් නොයෙක් හේතු තියෙන්නට ද ඇත.එහෙත් වැදගත් කොයි කොයි විදියෙන් හරි ඒ තුමා වීරයෙක් වීමය. මිනිස්සු ඒ තුමා වෙනුවෙන් පාරට බැස්සේ ඒ නිසාය.
පෙලපාලිය මග එන විට දුෂ්ට රාජපක්ෂ රෙජිමය එවූ පොලිස් කුලු පොලු වතුර කඳුලු ගෑස් හමුදාව මග රැක හිටියේය. තුවක්කු උරුක් කොරගෙනය. තත්වය හරිම ටෙන්ෂන්ය. ජනතාවද අරින පාටක් නැත. තමන්ගේ වීරයා වෙනුවෙන් ඉදිරියටම යන්නට හිතා ගත් හැටියකි. ….
” අපි යන්නේ කොයි පාරේ .. පොන්සේකා ගිය පාරේ… , කරවු කරවු අපේ වීරයා නිදහස් කරවු… ” සටන් පාට දෝරේ ගලයි. මාර සීන් එකය.
එක් පසෙකින් දූලියෙන් නෑවී සටන් පාට කියමින් , පෝස්ටර් වනමින් ඉදිරියට එන හදවත රත් වූ , ජනතාවය. අනික් පසින් ගල් පිලිම ලෙස නොසැලී සිටින , කුලු පොලු, තුවක්කු, යකඩ තොප්පි, ගෑස් මුහුණු දාගත් පොලිස් හමුදාවය.
. මේ මොන හත්තිලව්වක්ද? පොලිස් හමුදාව පසු බසියි. ඔවුන් දෙබෑ කරගෙන ආ ට්‍රක් රථයක්… කරාස්….. මහ හඬින් බ්රේක් පාරක් ගසා නවත්වයි. ට්‍රක් රථයෙන් කුණු හරුප කියාගෙන එලියට පනින්නේ කඩු කිනිසි මැෂින් තුවක්කු අරගෙන, පච්ච වර්ණ බැනියම් ඇඳ ලන්කට් එක පෙනෙන්නට ඇඳ සිටින සරම උස්ස්ගෙන ඉන්න මරුමුස් අය්යලා සැට් එකකි.
පෙලපාලි කස්ටියගේ හදවත් දිය වී ගියේ හිම කිරම කට ඇතුලේ දිය වෙන විදියටය. පොලීසිය එක්ක නම් මොකක් හරි බේරා ගන්න පුලුවන් .. ඒත් මේ මැරයෝ…පලා යමුද, සටන් කරමුද? දෙගිඩියාවක්
අන්න ඒ මොහොතේ මැරවර කණ්ඩායමේ ලොක්කා දෙකයි දෙකේ පොල්ලක් ද වනමින් , සරම කැස කවමින් ප්‍රාදුර්බූත විය….
අම්මට හුඩු… මොකාද බොල මේ ?
වෙනින් කවුරුත් නෙවේ ආයේ සැරයක් ලෙනින් මොරායස් …. අපේ යුද වීරයා
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා….
(අපි තාම පෙලපාලි ගිය කස්ටිය හොයනවා.. දැක්කොත් කියන්න හොඳේ…)
ආදර්ශය- ජෙනරාල් ලා එක්ක බුදියා ගත් විට නැගිටින්නට වෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් ලා එක්කය.
පුනරුත්පත්තිය බොරු යැයි කියන අපේ මිත්‍ර භෞතිකවාදින් බියවිය යුතු නැත.මක් නිසා ද යත් නැවත උපදින්නට ඇට මැස්සා මිය ගියේ නැත. ඇත්තටම මෙතැන්ට හොඳම වචනය පුනරාගමනය විය යුතුය. මාතෘකාව යොදන විට සිදු වූ ප්‍රින්ටින් මිස්ටේක් ගැන අපගේ හද පිරි මෙව්වා එක. එම නිසා අපේ මාතෘකාව මෙසේ වෙනස් විය යුතුය.
” ඇටමැස්සාගේ පුනරාගමනය”
පසු ගිය කාලයේ ලංකාවේ ඉන්නට බැරිව , බියොන්ඩ් ෆ්‍රේම් සමග බෝට්ටුවක නැගී මියන්මාරයටත් එතැනින් දකුණු අප්‍රිකාව, සුඩානය ,සෝමාලියාව හරහා සීෂෙල්ස් දූපතටත්, ඉන්පසු ඉරාකය, ලිබියාව හරහා සිරියාවටත් පලා ගිය ඇටමැස්සා යහපාලන නම් ක්‍රමයක් ලංකාවේ ආරම්භ වී ඇති බව දැනගෙන ආපසු පැමිණියෙමු.
ඉතින් අපි නැවතත් අපේ අරගලය ඇරඹීමට සූදානම්ය. අපි අතුරුදහන්ව සිටි කාලයේ අතුරුදහන් වූ අපගේ බ්ලොග් අඩවියේ, ඇටමැස්සාගේ අඩවියේ ,සියළු ලේඛන ආරක්ෂා කර, නැවතත් ප්‍රතිස්ථාපනය කර දුන් වර්ඩ්ප්‍රෙස් අඩවියේ මහත්වරුන්ට අපගේ ස්තූතිය හා ප්‍රණාමය සමග සැලියුට් එකක් ද මේ සමග පිරිනමමි. මෙම ලේඛන යල් පැන ගිය ඒවා යැයි යමෙකු කියන්නට පුලුවන. එහෙත් අප කියන්නේ ඇටමැස්සා මෙන් ඉතිහාසයද නැවත වතාවක් කැරකී එන්නට පුලුවන් බවයි.
අපි බලමු. අපි බලා ඉඳිමු.
සටහන- එසේම අප අතුරුදහන් ව සිටි කාලයේ , එනම් මුල් කාලයේ ඇටමැස්සාගේ අඩවිය ගැන නොයෙක් ආකාරයේ මත පල කල සියලු දෙනාට ද අපගේ මෙව්වා එක. තව කාරණයක් කිවයුතුය. පුනරාගමනයේදී අපට නම් වෙබ් ලිපිනය අහිමිය. ඉතින් අප බ්ලොගයේ නම පමණක් ගෙන වශයෙන් වෙබ් ලිපිනයක් අපට දුන් වර්ඩ් ප්‍රෙස් කට්ටියට නැවතත් තෑන්ක් යූ. එසේම ඒ කාලයේ අප යොදා ගත් පිංතූර ද ප්‍රතිස්ථාපනය කරගත නොහැකි වූ බව දන්වා සිටින අතර, හැකිපමණ වෙලාව යෙදෙන හැටියට එම පෝස්ටූ සකස් කිරීමටද සිතා සිටිමු.
සංගාගේ කට වැසීම
Posted: April 26, 2012 in UncategorizedTags: කුමාර් සංගක්කාර, දේශද්‍රෝහි, දේශප්‍රේමී, ප්රජාතන්ත්රවාදය
හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් නායක වත්මන් ක්‍රීඩක කුමාර් සංගක්කාරට විස්ඩන් සඟරාවට සම්මුඛ සාකච්චාවක් දීම මෙරට ක්‍රිකට් බලධරයන් විසින් තහනම් කර තිබේ.හේතුව නොකිව්වත් සියල්ලෝම දනිති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුමක සිටින නිසා ඔහුට එම අණ පිලිපැදීමට සිදු වී තිබේ.
මාස කීපයකට කලින් ලෝර්ඩ්ස් හිදි දේශනයක් කල කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව තුල ක්‍රීඩාව දේශපාලනීකරණය වී තිබීම දැඩි ලෙස විවේචනයට ලක් කලේය. ඒ නිසා ඔහු මෙරට දේශප්‍රේමින්ගේ දැඩි වෛරයට භාජනය වූ අතර එතෙක් වීරයෙක් වී සිටි සංගා එක රැයින් දේශද්‍රෝහියෙක්, පාවා දෙන්නෙක් බවට පත් විය.
තත්වය එසේ තිබියදී 2011 වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තෝරාගත්තේ සංගාය. වසරේ ක්‍රීඩකයා සමග කල සම්මුඛ සාකච්ඡාවක් පල කිරීම සාමාන්‍ය සිරිතයි.
අපේ ලොක්කන් තම බලය යොදවා නතර කලේ එම සාකච්ඡාවයි.
එසේ කර ශ්‍රී ලංකාව කොතරම් ශිෂ්ඨ සම්පන්න, ශීලාචාර හා ප්රජාතන්ත්රවාදි රටක් ද යනුවෙන් ජාත්‍යන්තරයට නැවත වතාවක් පෙන්වා තිබේ.
පිලිපීනයේ පැවත්වෙන රගර් තරඟාවලියට සහභාගි වීම ප්‍රතික්ෂේප කල ජ්‍යෝෂ්ඨ ක්‍රීඩකයින්ට දේශද්‍රෝහින් යැයි බැණ අඬ ගසමින් පිටත්ව ගිය මහා දේශප්‍රේමියා ඇතුලු රගර් කණ්ඩායම ඉතා දුර්වල පිලිපීනය හමුවේ පරාජය ලබා ඇති බව වාර්තාවේ.
රාජපක්ෂ පන්නයේ දේශප්‍රේමයට ලංකාව ඇතුලේ මැච් දිනා ගත හැකි වූවත් රටෙන් පිටතදී එය වලංගු නැති බව ලඟ ලඟම දෙවැනි වතාවටත් ඔප්පු වී තිබේ. මුල් වතාවේ එය සිදු වූයේ ජීනිවා වලදීය.
මීට කලින් ටායිපේ හා සිංගප්පූරුව පරාජය කරමින් ජය ලබන විට බ්‍රේකින් නිව්ස් ලබා දුන් සිරස ඇතුලු දේශප්‍රේමි මාධ්‍යද ඇටි කෙහෙල් කෑ උගුඩුවන් මෙන් සිටිති.
මේ ඊනියා දේශප්‍රේමින්ගේ හිස් බව හෙලිදරව් කරනු සඳහා දේශද්‍රෝහින් බවට පත් වූ රගර් ක්‍රීඩකයින්ට අපේ ආචාරය නැවතත්.!!