Archive for March, 2011

 
ඇට මැස්සාගේ බ්ලොග් කෙරුවාවට අදට අවුරුද්දකි . මීට වසරකට පෙර ඔහු බ්ලොග් ලිවීම  අරඹන්නේ විකල්ප මතවාදයන්ට ඇති ඉඩකඩ සමාජයෙන් ක්‍රම ක්‍රමයෙන් තුරන් වෙමින් පැවති යුගයකය. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය  සියල්ලම  පාහේ  එකම අරමුණකින් සැදී තම එකම කාර්ය බවට ප්‍රශස්ති ගායනා කිරීම පත් කරගනිමින්  සිටි යුගයකය .   ජනතාවගෙන්  බහුතරයක් තමන් අවට සිදු වන දෑ දකිමින් නොදුටුවාක් මෙන් සිටි යුගයකය. මේ පවත්නා කණගාටුදායක  තත්වයට එරෙහිව  යමක් කිරීම ,තම හැකි පමණින් යමක් කිරීම තම වගකීමකැයි ඔහු සිතුවේය.
 
බ්ලොග් අඩවි හෝ ෆේස් බුක් මගින් සමාජ අරගල කල හැකි යැයි ඇට මැස්සා විශ්වාස නොකරයි. එහෙත් සියල්ල රැල්ලට හසුව   ගසා යන යුගයක  එල්ලෙන්නට පිදුරු ගහක් හෝ තිබීම වැදගත් යැයි ඔහු සිතුවේය. වසරක් පුරා ඔහු පෝස්ටයන් දෙසීයකට  ආසන්න ප්‍රමාණයක් ඔහු ලියන්නේ එබැවිනි. තම කාලයත් ධනයත් වැය කරමින් ඔහු ලියන්නේ එබැවිනි. ඔහු ලියන්නේ  මිනිසුන්  කැමැත්තෙන්ම හෝ බලෙන් වහලුන් බවට පත් කිරීමට  එරෙහිවය. ඒ ඔහු නිදහස් මිනිසෙක් ගැන විශ්වාස  කරන බැවිනි.
 
ඔහු ලිවීමට පෙලඹවූ තවත් කරුණක් ඇත. ඒ ඔහු මෙන්ම මිනිස් නිදහස ගැන  සිතන  තවත් බොහෝ දෙනෙකුන් සමාජය තුල  සිටින බව ඔහු දන්නේය.  ඔවුන් හුදකලා වී නොමැති බවත් බලාපොරොත්තු අත හැර  නොගත යුතු බවත් ඔවුනට දැන්වීමට  ඔහුට උවමනා විය.  
 
ඇට මැස්සාගේ අඩවිය අරඹා වසරකට පසු අද දක්නට ඇත්තේ කුමක්ද? තත්වය වඩාත් කණගාටු දායකය. මෙතුවක් කල් සයිබර් අවකාශයේ හෝ තිබු නිදහස පවා අද අහිමි වෙමින් තිබේ. ඉතා නිදහස් ලෙස තම මතවාදයන් සමාජ ගත කරමින් සිටි  බ්ලොග් අඩවි කීපයක්ම හැකරුන්ගේ ප්‍රහාරයට ලක්ව ක්‍රියා විරහිතව ඇත.
 
ඔවුන් ලියු දේ පිළිබඳව එකඟතාවක් බොහෝ විට නොමැති වුවත් , නිරන්තරයෙන්ම ඇට මැස්සා ආසුරු කල බ්ලොග් අඩවි  වන ටැබූ සබ්ජෙක්ට් හා බියොන්ඩ් ෆ්‍රේම් වැනි බ්ලොග් අඩවි මේ ඉරණමට ලක් ව ඇත. ඇත්තටම ගත හොත් ඇට මැස්සා  බ්ලොග් ලිවීමට පෙලඹවූ බ්ලොග් අඩවි අතර ඉහත අඩවි දෙකට මුල් තැනක් හිමිවෙයි.   රාමචන්ද්‍රගේ අඩවිය හා W3Lanka  අඩවිය ද ඒ සඳහා විශාල  බලපෑමක්    කළේය .
 
දැනට ඇති තත්වය එයයි. ඔහුගේ ලිවීමෙන් කිසිවෙකුට සෙතක් වුවාදැයි ඔහු  නොදනී . එහෙත් එක පුද්ගලයෙකු හෝ තම බ්ලොගය කියවා සැබවින්ම අවට සිදුවන්නේ කුමක් දැයි බැලීමට උනන්දු වූවා නම්, තවත් අයෙකු තමන් හුදකලාව වී නොමැති  බවත් නිදහස පිළිබඳව සිහින දකින තවත් මිනිසුන් සිටින බව දැන ගත්තේ නම් ඇට මැස්සාට එය ප්‍රමාණවත්ය.  ජීවත් වුවත් මිය ගියත් ඔහු වාසනාවන්ත මැස්සෙක් වන්නේ එවිටය.
 
 
 
 
 

 

– සර් නිකම් මොකද අප්සට්  මූඩ්  එකේ
 
– අප්සට් නැත්ද ඕයි? අරුන් කෙලිනවනේ දිගට හරහට
 
– කිරි අප්පට බල්ලෝ පැනපි. කොහෙද සර්.
 
– ලිබියාවේ ඕයි ලිබියාවේ
 
– මොකක් හරි කරන්න වෙයි නේද සර් ? ගඩාෆි උන්නැහේ සර් ගේ හොඳ යාලුවා නේ?මොකුත් නොකරත් බැහැනේ
 
– ඔව් අයිසේ මාත් එක තමා කල්පනා කරන්නේ මොකද කරන්නේ කියලා
 
– සර් අපි යු ඇන් එකේ යෝජනාවක්  ගේමුද ඔය ඇමෙරිකන්  කාරයින්ට , ප්‍රංශ කාරයින්ට විරුද්දව
 
– පිස්සුද අයිසේ , එතකොට උන් අපි එක්ක තරහ  වෙයිනෙ. එතකොට මෙහෙ හදන කැසිනෝ වල සෙල්ලම් කරන්න එන්නේ ගඩාෆිගේ පුතාලා ද?
 
– හැබෑව ,හැබෑව ,ම්ම්ම් , එටහ්කොට දැන් සර්ට ඕනේ බටහිරයොත් තරහ නොවෙන , ගඩාෆිත් තරහ නොවෙන වැඩක් කරන්න නේද?
 
-ඔව් ඔව් එහෙමතමා
 
– සර් අපි අරූව යවමු ද උද්ඝෝෂණයක් කරන්න කියලා
 
– කවුද අයිසේ , චම්පිකයාද?
 
– ම්හු මිනිහා සීරියස් වැඩියි ,
 
-එහෙනම් කවුද ඕයි
 
– මල්වංශයා  සර්
 
– ඒකනම් මරු අදහස . එතකොට ගඩාෆි ට කිව්වා හැකි ඔන්න මම මගේ කැබිනට් මිනිස්ටරයෙක් දාලාම උද්ඝෝෂණය කෙරෙව්වා කියලා. අනිත් පැත්තට සුද්දොන්ට කියන්න පුළුවන් ඔයා යකා නිකම් ජෝකරයෙක් විතරයි ,ගණන්  ගන්න එපා කියලා.මරු මොලේ ඕයි තමුසෙගෙ
 
– අන්න එකනේ සර් ඔය යකා තියන් ඉන්න එකේ වාසිය
 
– මේ අයිසේ හැබැයි ඕකාට කියනවා උපවාස කරන්න එහෙම ලෑස්ති  වෙන්න එපා කියලා , මට බැහැ ගිහින් ඔය යකාට තව සැරයක් වතුර පොවන්න.
 
– නෑ සර් , ඒවාට බය වෙන්න එපා, අපි සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක හදලා , ඒ ඒ වෙලාවට කරන්න ඕනේ මොනවද කියලා ලිස්ට් එකක් දීලා යවන්නේ . නැත්නම් ඔය යකා පිස්සු කෙලිනවා. වෙන එකක් තියා ගිය සැරේ අපි මිනිහාට කියලා තිබුනේ අර වැසිකිලිය ඇතුලෙදි කන්න ඕනේ ලෙමන් පෆ් ගාණත් . නැත්නම් එහෙම ඔය යකා එදා ඉස්පිරිතාලේ අරන් යන්න වෙන්නේ  බඩජාරි කමට ලෙමන් පෆ් කාලා ,හිහ්, හිහ්
 
– ආ අයිසේ තව එකක් , මතක ඇතිව මිනිහට කියනවා බැනර් වල අකුරු වරද්දන්නෙ නැතිව ලියා ගෙන  යන්න කියලා. මටත් එක්ක වස ලැජ්ජාව නැත්නම් මේ සැරෙත් කොන්ඩම් කියලා ලියා ගෙන ගියොත්. හෙහ් හෙහ්

ඒ ප්‍රවෘත්තිය දැක්ක විගස  ඇට මැස්සා තෝන්තු වී ගියේය. මොලේ කොලොප්පම් වී ගියේය. හතර හන්දි පණ නැති වී ක්ලාන්තයක් සැදී ඩෝන් ගා පත බෑවි ගියේය. කවුදෝ මූණට  ගහපු වතුර පාරකින් සිහි පත එලවා ගත් ඇට මැස්සා මේ සිද්ද වී ඇත්තේ කුමන නස්පැත්තියක් දැයි කල්පනා කරන්ට පටන් ගත්තේය.

ඇට මැස්සා මෙතුවක් කල් හිතා හිටියේ පහු ගිය ජනාධිපතිවරණයෙන් සරත් ෆොන්සේකා පරදවා මහින්ද රාජපක්ෂ ජය ගත්තා කියලාය. මහා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනුවා කියලාය. මහා දේශප්‍රේමී වීරවංශ තුමාණෝ ද , හෙළයා වෙනුවෙන්ම පෙනී සිටින රණවක මැති තුමා ඇතුළු තවත් අට කෝටියක් දේශ හිතෙෂින් , දේශ ප්‍රේමින් ද ඒ ආණ්ඩුවේ සිටිනවා කියලාය.

   එහෙත් එහෙම වී නැත. සිද්ද වී ඇත්තේ මහින්ද පරදවා ෆොන්සේකා දිනීමය. මහා මැතිවරණයේදී දේශප්‍රේමී එජනිසය පරදවා දේශද්‍රෝහී යු  ඇන් පිය දිනා  ඇත. ඉන්පසු දේශද්‍රෝහී ෆොන්සේකාත් දේශද්‍රෝහී රනිලුත් එක්ව  ආණ්ඩුවක් ආණ්ඩුවක් හදලය. ඒකට තවත් දේශ ද්‍රෝහී කල්ලියක් වෙන ජේ වී පියත් ආධාර කලාට සැක නැත.

දැන් මේ දේශද්‍රෝහීන් ඔක්කොම එක් වී  2004 දී මේ රටේ දේශප්‍රේමී ජනතාව , මහින්ද , වීරවංශ වගේ දේශප්‍රේමින් සමග පරාජය කරපු රිගේනින් ශ්‍රී ලංකා ( Regaining  Sri  Lanka  ) වැඩ පිළිවෙල නැවත ඇති කරන්ට ක්‍රියාත්මක වෙමින් සිටින්නේය.

ඇට මැස්සා මේ වගක් දැන ගෙන නොසිටියේය. සමහර විට කොමාවකට පත්ව සිටියා  වෙන්ට ඇත. එහෙම නැත්නම් අර සිසිර තාරක නින්දට පත් කලාවත්ද කියාත් සිතුනේය.

ඇට මැස්සාට වෙච්ච දේ මොකක් උනත් ඌ මෙච්චර කලබල කොරවාපු ප්‍රවෘත්තිය මේකය.

” ආණ්ඩුව කල්පිටියේ දූපත් 3 ක් විදේශීය රටවල් තුනකට විකුණා ඇත. මේ බව පාර්ලිමේන්තුවේදී හෙළි කර ඇත්තේ බැසිල් රාජපක්ෂ ඇමති තුමාය.

මේ රටට ආදරය කරන දේශප්‍රේමි නායකයින් සිටින , සන්ධාන ආණ්ඩුවක් මේ වගේ වැඩක් කවදාවත් කරන්නේ  නැත. වීරවංශ තුමාලා, රණවක තුමාලා ඊට ඉඩ දෙන්නෙත් නැත.  ඒ නිසා මේක කරන්න ඇත්තේ යු ඇන් පී ආණ්ඩුවකින්  විය යුතුමය.

යු ඇන්  පී ආණ්ඩුවේ මේ දේශද්‍රෝහී ක්‍රියාව පරද්දන්ට සියලු දේශ ප්‍රේමි ජනයිනි , කැහ පොට ගසා ගෙන , අමුඩ තද කර ගෙන වරෙවු.

සටහන- මේ කතාව පාර්ලිමේන්තුවේ කිව්වේ  බැසිල් ඇමති තුමා නිසා මේ වැඩේ කර ඇත්තේ සන්ධාන ආණ්ඩුවකින්ම කියලා කවුරු හරි තර්ක කරන්නට පුළුවන. ඒ අයට කියන්නට තිබෙන්නේ  නිකම් දේශ ද්‍රෝහී කතා කියන්ට එපාය. සමහර විට බැසිල් ඇමති තුමා යු ඇන් පියට ගියා වෙන්ට ඇතිය. එතුමා මීට කලිනුත් අසූ ගණන් වලදී එහෙම කරලා තියෙනවය. ඒ මිස දේශප්‍රේමී සන්ධාන ආණ්ඩුවක් නම් මේ වගේ වැඩක් කවදාවත් කරන්නේ නැත.

එච්චරයි.  ඒ ගැන කතා ඕනේ නැත.

පහතින්  දැක්වෙන්නේ පහු ගිය පෝය දවසේ ලංකාදීප පත්තරෙත් එක්ක දීපු පෝය අතිරේකෙන් උපුටා ගත්ත කොටස් කීපයක්.
 

විහාරස්ථානය අරඹා හරියටම වසරක් ගත වන තැන සතියක් පුරා මහා දැන් දී සත් පිරිත් දේශනා කොට ශ්‍රී දෙවුරම් වෙහෙර නිල වශයෙන් විවෘත කරනු ලැබුණි. එදා පටන් මේ වනතුරු ජනතාව තම දුකේදීත් සැපයෙදීත් පිහිට පතා යන ආගමික ස්ථානයක් බවට මෙකී පුද බිම පත්ව තිබේ.
 
2004 දී ලංකාවට බල පෑ  සුනාමි ව්‍යාසන අවස්ථාවේදී මෙම විහාරස්ථානය මූලික කරගෙන ආගමික වතාවත් රැසක් සිදු විය. මහා සාගරය කැළඹීමෙන්  සිදු වූ  විපත් නිසා නැවතත්  එවැනි විපතක් පැමිණෙතැයි කියා ජනතාව බිය වූහ. මාධ්‍ය හරහාද ඒ ගැන විවිධ ප්‍රචාර පැතිරුණි. මේ ඛේදවාචකය නිසා සුමංගල හිමියෝද මහත් සේ කම්පාවට පත්ව සිටියහ. උන්වහන්සේ ජනතාවට පිහිට වන්නට සිතා ගත්හ.
 
නිර්මල බුදු දහම අනුව කල යුතු දේ ගැන උන්වහන්සේ දායක දායිකාවන් සමග කතා බස් කළහ. මෙහිදී උන්වහන්සේගේ සිතට එක කරුණක් ගැන සිහියට නැගුණි. ඒ සිදුහත් කුමරාගේ මවු මහමායා මාතෘ දිව්‍ය රාජයාණන් තවු තිසා දෙව් ලොව ජීවමානව වැඩ සිටින බවයි. මවකට දරුවකුගේ දුක් ගින්දර බොහෝම ඉක්මනනට දැනෙනවා. වැටහෙනවා, තේරෙනවා. එනිසා මහමායා දේවියට සිදුහත් කුමරුගේ මවුට මුහුද ගොඩ ගැලීමෙන් සිදු වූ විපත ගැන සිහි කලොත් මවු ගුණයෙන් අපව ආරක්ෂා කර ගනීවියයි සුමංගල හිමියෝ සිතුහ.
 
එදා සිට සතියක් පුරාම ඔපහන් දල්වමින් රැස් කර ගත් ශීල භාවනා ප්‍රතිපත්ති පින් ,මාතෘ දේව රාජායනන්ට අනුමෝදන් කොට එවැනි විපතක් නැවත සිදුවන්නට එපා යැයි කියා උන්වහන්සේ  ප්‍රර්ථනා කළහ. එහෙත් නැවත මුහුද ගොඩ ගලාවිය යන බිය සැවොම තුලම වූහ. ඉක්මනින් ආරක්‍ෂිත ස්ථාන කරා යන ලෙස මාධ්‍ය පුන පුනා කීහ.
 
ඒ වන විටත් මවු දෙව් රැජිනට පහන් දල්වමින් සත් ක්‍රියා කරමින් ආගමික වතාවත් දෙව්රම් වෙහෙර විහාරස්ථානයේ දී  සිදු විය . ඒ පින් බලෙන් සාගරය ගොඩ ගැලීම නතර විය. මහා සාගරය මද පිපිරීම් කීපයක් ඇතිවුවත් සාගරය ගොඩ බිමට පැමිණියේ නැත. ලක් දෙරණට මවු දෙව් රැජිනගේ ආශිර්වාදය  හා බැල්ම වැටුණි. මේ ආශ්චර්වත් සිදු වීම නිසා එදා පටන් මහමායා දේවිය වෙනුවෙන් පූජනීය වූ දෙවොලක් දෙව්රම් වෙහෙර පින්බිමේ ඉදි විය . එසේම මවු දෙව් රැජිනට කෘතවේදී වූ ජනතාවක් මුළු ලෝකය පුරාවටම ඇති කිරීමට ද  සුමංගල හිමියෝ එදා සිතා ගත්හ. “
 
 
අනේ දෙයියනේ මේ ගැන ජපානෙට කියන්න තරම් එකෙක් හිටියේ නැහැනේ මේ සිරි ලංකාවේ. එහෙම කලින් කියලා තිබුනා නම් එයාලත් දේවාලයක් හදා ගෙන පුද පූජා කරලා ඔය පහු ගිය දවස් වල ආපු සුනාමියෙන් බේරෙනවා නොව. අපි නම් හරිම කෙලෙහි ගුණ නොදත් ජාතියක් ඒ අතින් බැලුවාම. සුනාමියෙන් බේරෙන්න මෙච්චර ලේසි ක්‍රමයක් තියෙද්දී එක අනිත් රටවලට නොකියා ඉඳීම නම් හොඳ නැහැ. නොමිලේ දෙන්ට ලොබ නම් ගානක් අරගෙන කියලා දෙමු. නරකද අපේ හාමුදුරුවනේ ඔය ක්‍රමේ ගැන පේටන්ට් එකක් එහෙම අරගෙන වැඩේට බැස්සානම්.
ටැබූ සබ්ජෙක්ට් එකක් කියන්නේ කවුරුවත් වැඩිපුර ඒ ගැන කතා නොකරන , කතා කරන්න අකමැති , එහෙම  නැත්නම්  තහනම්  කරපු විෂයක් .
 
අද  බියොන්ඩ් ෆ්‍රේම් කියන නමත් සිංහල බ්ලොග් අවකාශයේ ටැබූ එකක් වෙලා. සිංහල බ්ලොග් කියවන්නන අතරේ ඉතාමත්  ජනප්‍රිය  බ්ලොග් එකක් වුනු බියොන්ඩ් ෆ්‍රේම් ගේ බ්ලොග් අඩවිය හැක් කරලා හෝ වෙන මොන යම්  විදියකින්  නැවතිලා දැනට සතියකට වැඩියි. ඒත් ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.  කතා කිරීමේ නිදහස ගැන මාධ්‍ය  නිදහස ගැන ලියන කියන කිසි කෙනෙක් මේ ගැන ලිව්වේ නැහැ. ඇට මැස්සා දැක්ක විදියට මේ ගැන ලියලා තිබුනේ sky  dreams   බ්ලොග් අඩවියේ විතරයි.
 
මීට කලින් ටැබූ ගේ , කොලුගෙ , පිස්සාගේ බ්ලොග් අඩවි හැක් වුනු වෙලාවේ ඒ ගැන මහා සංවාදයක් ඇති වුනා. 
 
ඒත්  අද  … ?   මොකද මේ වෙනස.?
 
ඉහතින්  සඳහන් කරපු ටැබූ , කොලු  වගේ අය තමන්ගේ බ්ලොග් හැක් වුනාම ඒ බව ඉස්සාරහට ඇවිත් කිව්වා, තමන්ගේ බ්ලොගේ එකේ හරි අනිත් අයගේ බ්ලොග් වල දාපු කොමෙන්ට් විදියට හරි ඒ අය තමන්ට වුනු දේ කිව්වා. පිස්සා කොහොම  හරි බ්ලොග් එකේ පාලනය ආපහු  තමන්ගේ අතට ගත්තා.
 
ඒත් බියොන්ඩ් ෆ්‍රේම් නිශ්ශබ්දයි . ඔහු ගැන කතා නොකරන බ්ලොග් අවකාශය වගේම ඔහුත් නිශ්ශබ්දයි . අවුරුදු දෙකක පමණ කාලයක් දිනපතාම බ්ලොග් සටහන් ලියු බියොන්ඩ් ෆ්‍රේම් එකපාරටම තමන්ට සිද්ද වුනු දේවත් නොකියා ලිවීම අත හැරලා. අනික් බ්ලොග් කරුවනුත් ඒ ගැන ලිවීම අත හැරලා.  
 

මොකද මේ ? මේකද හේතුව ?
 
නාසීන් මුලින්ම කොමියුනිස්ට්වාදීන් සොයා පැමිණියහ.

මම කතා නොකෙලෙමි.

ඒ මම කොමියුනිස්ට් වාදියෙක් නොවූ බැවිනි. ………..

………………….

එහෙනම් මේකත් මතක තියා ගත්තොත් හොඳයි……  
 
අවසානයේ ඔවුන් මා සොයා එන විට

මා  වෙනුවෙන් කතා කිරීමට කිසිවෙක් ඉතිරිව නොසිටියහ……………..

 
 
1976 නොබැඳි සමුළුව කොළඹ   පවත්වන්න යද්දී  නගරය අලංකාර කරන්න කියලා පැල්පත් රාශියක් කඩලා ඒවායේ පදිංචි කාරයෝ එළවලා දැම්මා. මේ සමුළුවට කරපු වියදම්  ඒ කාලේ දේශපාලන වේදිකාවල ලොකු මාතෘකාවක් වුනා. ඒ දවස් වල තිබුණු සිරිමාගේ  ආණ්ඩුව ජනතාව  හාල්     පෝලිම් වල පාන් පෝලිම් වල වේලෙද්දී, මිනිස්සු කුණු බක්කි අවුස්සගෙන කද්දී කෝටි ගණන් මුදල් නාස්ති කරලා නොබැඳි මගුලක් කෑවා කියලයි  විපක්ෂය කිව්වේ. 1977  සිද්ද වුනු ආණ්ඩු හෝදාගෙන යාමටත් මේ සමුළුව තදින්ම බල පෑවා කියලයි කියවෙන්නේ.  
 
මේ සමුළුවට සහභාගී වුනු එක විදේශ නායකයෙක් තමා දැන් තමන්ගේම  ජනතාවගේ ඉහට ගුවනින් බෝම්බ අත හරින කර්නල් මුවම්මර්  ගඩාෆි කියන ඒකාධිපතියා. මෙයාගේ ලංකා ගමනයි , සමුළුව වෙනුවෙන් පැල්පත් කැඩීමයි එකට හා කරලා ඒ කාලේ හිටි කවුදෝ ජන කවියෙක් කරපු නිර්මානයක පද දෙකක් තමා ඉහලින් තියෙන්නේ. ඇට මැස්සාට මේ පද දෙක කියලා දුන්න වැඩි හිටියාට ඉතිරි පද දෙක කොහොමටවත් මතක් කර ගන්නම බැරි වුනා.
 
අපේ මිනිස්සුන්ගේ පැල්පත් කඩන්නත් ඒ විදියට   දායක වෙච්චි , මේ දවස් වල තමන්ගේම මිනිස්සුන්ගේ ඔලුවලට බෝම්බ දාන ගඩාෆිගේ හතලිස් අවුරුදු පාලනේ ඉවර වෙන්න ඉතාමත් කිට්ටුයි වගේ. අද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඒකමතිකව තීරණය කරලා ලිබියාවට හමුදා මැදිහත් වීමක්  කරන්න.  කැරලිකරුවන්  අල්ලාගෙන ඉන්න බෙන්ඝාසි නගරය පැය 48  ඇතුලත  සමතලා කරනවා කියලා ලිබියානු ජාතියේ  ලොකු පුත්‍රයා   වෙන  සයිෆ්  පම්පෝරි කියලා වැඩි වෙලා යන්න කලින් ආරක්ෂක මණ්ඩලය මේ තීරණය ගත්තා .
 
ගඩාෆි තමන්ගේම ජනතාවගේ ලෙයින් පොලව තෙත් කරද්දී මෙහෙ ඉඳගෙන හුරේ දාපු මල්වංශ ඇතුළු ඊනියා දේශප්‍රේමින් දැන් මොකද කියන්නේ කියලා අපි බලාගෙන ඉන්නේ. එයාල ගඩාෆිට කඩේ ගියේ කිසිම විලි ලැජ්ජාවක් නැතිව. තමන්ට එරෙහි ජනතා නැගිටීම බටහිර කුමන්ත්‍රණයක් කියන කොට මෙහෙ ඉන්න අප්පුලාත් ගිරවු වගේ ඒකම කියනවා. ඊට දවසකට පස්සේ මේ සටන පස්සේ ඉන්නේ අල් කයිඩා කියලා ගඩාෆි කියන කොට මේ ගොල්ලෝ කටේ ඒක කියනවා.
 
මේ ඒකාධිපතියා ගැන මල්වංශ ගේ වෙබ් අඩවියේ එක ලිපියක මාතෘකාව වුනේ ” බටහිර කුමන්ත්‍රණය පරාදයි , මුවම්මර් ගඩාෆි දිනුම්” කියලා. එකෙන්ම පේනවා ගඩාෆිගේ ජය එයාලට කොච්චර වටිනවාද කියලා. ඒ  ලිපියෙන් බටහිරට දෙහි කපන ලියුම්කරු චීනයට හා රුසියාවට  උඩ දාගෙන   ප්‍රසංශා කරනවා.   ඒ ලිබියාව වෙනුවෙන් පෙනී සිටි බව කියමින්.  එහෙත් අපේ දේශප්‍රේමින් තමන්ගේ ගැලවුම් කරුවන්  සේ සිතාගෙන ඉන්නා රුසියාව , චීනය,පමණක් නොව බ්‍රසීලයත්  ආරක්ෂක මණ්ඩලයේ චන්දය විමසන විට එතනින්  හෙමිහිට මාරු වුනා .   ගඩාෆි වගේ ඒකාධිපති පාලකයෝ වෙනුවෙන් පෙනී හිටින්න එයාලට ඕනේ කමක් තිබුනේ නැහැ.
 
සටහන- අපේ මේ ඊනියා දේශප්‍රේමින් ලිබියානු ඒකාධිපතියා   වෙනුවෙන් මෙලෙස පෙනී සිටින්නේ මෙහෙ ජනතාව නැගිටලා තමනුත් තමන්ගේ ලොක්කොත් එක්කම  ඒ විදියට එලවයි කියන බයට බව නම්  පැහැදිලිය.