Archive for December, 2011

තමන්ගේ අඹුවට අධෝවාතයක් ගියත් බටහිර හා අධිරාජ්‍යවාදය පටලවා ගන්නා වීරවංශ සහ සමාගම නැවත වතාවක් වැඩට බැස තිබෙන බව වාර්තා වේ.මෙවර ඔවුන් උත්සාහ කරන්නේ විභාග ප්‍රතිපල අර්බුදයට ඇමෙරිකාව සම්බන්ධ බව පෙන්වීමටය.

ඔහුගේ පක්ෂයේ ගුරු සංගමයේ සභාපති වන නිමල් ප්‍රේමවංශ නමැත්තා ඊයේ නුවර  නිවාස සංවර්ධන අධිකාරියේදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ මේ ප්‍රතිපල අවුල නිසා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාරට බහිනවා යැයි කියූ කතාව රොබර්ටෝ බ්ලේක් ගේ ලංකාගමනය අතර සම්බන්ධයක් ඇති බවයි.

ඒ අනුව ප්‍රේමවංශ මහතා අපට කියන්නේ මේ විභාග ප්‍රතිපල අවුල  ඇති කර තිබෙන්නේ ද ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවේග විසින්  බවයි.

අනේ අම්මපා මේ ඇමෙරිකන් කාරයොත් කරන වැඩ

සටහන 1– අපට ඇති ප්‍රශ්නය නම් මේ බඳු දේශප්‍රේමී අධිරාජ්‍ය විරෝධී කතාවක් අපේ මහා දේශප්‍රේමී වීරවංශ තුමාම  නොකියා ප්‍රේමවංශ තුමා වැනි කබ්බෙක් ලවා කියවූයේ ඇයිද යන්නයි. 

සටහන 2– ප්‍රේමවංශ තුමා මෙහිදී කියා ඇති අනිත් වැදගත්ම කරුණ නම් මෙවැනි වැඩ බැරි ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ ජනාධිපති පාලනය යටතට ගත යුතු බවයි. ප්‍රේමවංශ තුමාගේ නායක තුමාගේ අමාත්‍යාංශයත් ඒ ගොන්නට වැටෙන බව එතුමා නොදන්නා හැඩයි.

Advertisements

 

ඇමතිවරු බානකුත්, නියෝජ්‍ය ඇමතිවරු, අධීක්ෂණ මන්ත්‍රීන් රොත්තක්ද , අති පණ්ඩිත විභාග කොමසාරිස් වරයෙක්ද එකතුව මාස ගණනක් පමා වී නිකුත් කළ උසස් පෙල ප්‍රතිපල අවුල් ජාලයක් දි වී  තිබූ අයුරු අප පසු ගිය දා දු‍ටුවෙමු. දිස්ත්‍රික්  මට්ටම දිවයිනේ මට්ටමට නොගැලපෙන අයුරුත්, ඒ දෙක ඉසැඩ් ලකුණු සමග නොගැලපෙන අයුරුත් ගැන උදාහරණ මේ දිනවල අන්තර්ජාලයේ ඕනෑ තරම් සොයා ගත හැක. එසේම ජීව විද්‍යා සිසුන්ට වාණිජ ප්‍රතිපල , කලා සිසුන්ට විද්‍යා ප්‍රතිපල ලැබී තිබූ අයුරු අප දු‍ටුවෙමු.කොටින්ම කිවහොත් එය එකම විකාරයකි. අවුල් ජාලයකි.

වසර ගණනක් වෙහෙසි විභාගයට මුහුණ දුන් දරුවන්ට මෙය ජීවිතය පිලිබඳ ප්‍රශ්නයකි. එහෙත් මේ කාලකන්නි බලදාරින්ට එය සුළු දෙයකි. ඔවුන් එය තුට්‍ටුවකටවත් ගණන් නොගනී. ඔවුන්ගේ මේ අමන වැඩ නිසා මේ සිසුන් කොතරම් පීඩාවකට පත් ව ඇත්දැයි ඔවුන් ට වගක්වත් නැත. පගා ගසමින් , කොමිස් ගසමින් මහජන මුදල් කොල්ල කමින් තර කර ගත් ධනය ඇති බැවින් ඔවුන්ට තම දරුවන් එංගලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය සඳහා  යැවිය හැක.දුක් විඳින්නේ තැලෙන පෑගෙන පොඩිවෙන  පුංචි මිනිසුන්ගේ දරුවන්ය.

මේ නිලධාරින් හා දේශපාලකයින් දැන් කියන්නේ සිදුව ඇත්තේ ඉතා සුලු වරදක් බවයි. එයද පරිඝණක දෝෂයක් නිසා වූවකි. සිසුන්ගේ දිස්ත්‍රික් මට්ටම හා දිවයිනේ මට්ට්මේ සිදු වූ සුලු සුලු දෝෂ හැරෙන්නට ප්‍රතිපල වල කිසිදු වරදක් නැත.සිසුන්ගේ ප්‍රතිපල වල හා ඉසැඩ් ලකුණු වල කිසිදු දෝෂයක් නැත. ඒ නිසා දිස්ත්‍රික් මට්ටම හා දිවයිනේ මට්ට්ම නැවත සකස් කළ විට සියල්ල හරි  යනු ඇත. විෂය ධාරා හෝ විෂයන් මාරු වී ප්‍රතිපල ලැබූ සිසුන් ගැන කිසිත් නැත. යම් කිසිවෙකුට ප්‍රතිපල ගැන සැකයක් ඇත්නම් නැවත සමීක්ෂණය සඳහා ජනවාරි අට දාට පෙර අයදුම් කරන්නැයි ඔවුන් අපට කියයි.

දැන් අප ඔවුන් කියන දේ අසා එය පිලිගෙන නිහඬව සිටිය යුතුද? එසේ නැත්නම් ඔවුන් කියන පරිදි නැවත සමීක්ෂණය සඳහා අයදුම්  කල යුතුද?

ඔවුන් කියන පරිදි වෙනස් වී ඇත්තේ දිස්ත්‍රික් මට්ටම හා දිවයිනේ මට්ටම පමණක්ද?  ඉසැඩ් ලකුණු වැරදී නැත්ද? ඒ ගැන ඇති සහතිකය සෑම දා බොරු කියන දේශපාලකයින් හා ඔවුන්ගේ එල්ලී සිටින අමන නිලධාරින්ගේ පුහු වචන පමණක් නොවේද? ඒවා විශ්වාස කරමින් , ඔවුන්ගේ අතින් සිදු වූ වැරදි වලට අහිංසක සිසුන් තමන්ගේ මුදල්  ගෙවා නැවත සමීක්ෂණය ඉල්ලිය යුතුද?

සිදු විය යුත්තේ එය නොවේ.

සියලුම ප්‍රතිපල නැවත පූර්ණ සමීක්ෂණයකට භාජනය කල යුතුය.

සිසුන් එක එක ප්‍රශ්න පත්‍රයට ලබා ඇති ලකුණුත් , ඉසැඩ් ලකුණුත් සමග ප්‍රසිද්ධ කල යුතු අතර ඉසැඩ් ලකුණු ගණනයට භාවිතා කල සූත්‍රද හෙලි කලයුතුය.

එසේ නැතිව මේ ප්‍රතිපල පිලිබඳව ජනතාව ගේ , සිසුන්ගේ සිත් තුල ඇති තිබෙන සැක සංකා පහ කල නොහැක.

එසේ කරන මෙන් ඉල්ලා සියලු දෙනා රජයට බල කල යුතුය.

විශේෂයෙන් මෙම ප්‍රතිපල අවුල ,තමන්ට හිතවත්  පිරිස් විශ්ව විද්‍යාලවලට රිංගවීම සඳහා රජය හිතා මතා කල දෙයකැයි කතා පැතිර යන තත්වයක් තුල එය ඉතා අත්‍යවශ්‍ය දෙයකි.

 එසේම අවසන් වශයෙන් මෙම අවුලට වග කිවයුතු සියලු දෙනා තම තනතුරුවලින් ඉල්ලා අස් විය යුතුය. නො එසේනම් ඉවත් කල යුතුය.

ආණ්ඩුව උසස් පෙල ප්‍රතිපලයද  අනා ගෙන හතර අතේ ගා ගෙන රටම ගඳ ගස්සමින් නිකුත් කර තිබේය.  ප්‍රතිපල ෆුල් අවුල්ය. දිස්ත්‍රික් මට්ටම (රෑන්ක්) අඩු සිසුන් රටේ මට්ටම ඉහලින් ලැබී ඇත. ප්‍රතිපල අඩු සිසුන්ගේ ඉසැඩ් අගය වැඩියෙන් ලැබෙද්දී ප්‍රතිපල වැඩි සිසුන්ගේ ඉසැඩ් අගය අඩු වී ඇතිය.

කලා සිසුන්ට ගණිත ප්‍රතිඵල ලැබේ. ඩයලොග් හා මොබිටෙල් වලින් ලැබුණු ප්‍රතිඵල දෙවිදියක් බව සමහර වෙබ් අඩවි වාර්තා කර තිබුනේය.
විභාගය පවත්වා මාස හතරකට පසු නිකුත් කළ ප්‍රතිපල එහෙමය.

මේ ප්‍රතිපල නිකුත් කිරීම බාරව තිබුනේ ලේසි පාසු පුතයන්ට එහෙම  නොවේය.

එකෙක් ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පමනක් නොව උන්ගේ ආච්චිලාටත් උගන්වන කොන්ත්‍රාතුව බාර ගෙන සිටින ඇස්.බී දිසානායක තුමාය. අනිකා ලෝකයේ සිටින දෙවැනියට හොඳම  අධ්‍යාපනඥයා වන බන්දුල ගුණවර්ධන තුමාය. ( පලමු වැනියා  මේ මෑතකදී ලංකාවේ අධ්‍යාපනය  ගැන දුක හිතී ආණ්ඩුවට හේත්තු වූ ග්‍රේරෝ තුමාය.)

වැරද්ද කොම්පියුටරේ බවත්, ජ්‍යාමිතික සූත්‍ර සියල්ල කොම්පියුටරයට කවා ගනනය කල බවත්  ඇස් බී ඇමතිවරයා දැනටම කියා ඇති නිසා විභාග දෙපාර්තමේන්තුවේ කොම්පියුටර් වලට හොඳ දඬුවමක් ලඟදීම ලැබෙනු ඇතැයි සිතිය හැකීය. විභාග ප්‍රතිපල ජ්‍යාමිතියෙන් ගනනය කලේ කොහොමදැයි දන්නේ ඇස් බී තුමාත් අනුර එදිරිසිංහ මහතා තුමාත්  පමණක්ය.

මෙතැන ඇති වූ ප්‍රශ්නය විභාග දෙකක ප්‍රතිපල එක ඉසැඩ් පරිමානයකට ගැනීම බව තව කවුදෝ උත්තමයෙක් කියා තිබුනාය. ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න ගත්තේ විභාගය පවත්වා මස හතරක් ගත වූවාටත් පසුව විය යුතුය.අඩුම තරමේ විභාගය පැවත් වූ දවස් වල වත් ඔය ගැන හිතුවා නම්   ඔතරම් කඩිමුඩියේ ජ්‍යාමිතික සූත්‍රවලින් විභාග ප්‍රතිපල ගනනය කරන්ට වෙන්නේ  නැතිය.

කොහොම වෙතත් මේ සැරේ උසස් පෙල ප්‍රතිපල වලින් අපි ආස්චර්යය කරා යන ගමනට හොඳ   තල්ලුවක් ලැබී ඇත. අපි ලංකාව ලෝකයේම ආශ්චර්ය  කරන්නේ එහෙමය.

ඔබට සුභ අනාගතයක්

ලංකාවේ මහ නාහිමිවරුන් දෙකේ කොලේට වැටී ඇති ආකාරය  ගැන අපූරු ලිපියක් අද W3LANKA  ලියා තිබේ.

ජනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන මෙන් මහ නාහිමි වරුන් ආණ්ඩුවෙන් කල ඉල්ලීම මෙන්ම පක්ෂයේ නායකයා ලෙස කරු ජයසූරිය පත් කරගන්නා මෙන් උන්නාන්සේලා එජාපයෙන් කල ඉල්ලීමද එම දෙපිරිසම පයිසෙකටවත් ගණන් ගෙන නැත. මේ බුදුන්ගේ දේශයේ උන්නාන්සේලා වැටී ඇති තැන ගැන කතා කිරීමට එකෙක්ද නැත.

තමන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් තමන්ව එසේ හෑල්ලුවට ලක් කිරීම ගැන උන්නාන්සේලාටද වගේ වගක්  නැත . ඒ ගැන වචනයකින්වත් විරෝධයක් නැත.  මෙසේ තමන් පීචං කල දේශපාලකයින්ට උන්නාන්සේලා හෙටත් පිරිත් නූල් ගැට ගසනු ඇත.

බෞද්ධ නායක හිමිවරුන් එසේ පච වෙද්දී ක‍තෝලික සභාවේ කාඩිනල් මැල්කම් රංජිත් හිමිනම , තම නිකායේ ප්‍රේම් ළමා නිවාස සිදු වීමේදී එක පුවත් පත් සාකච්චාවකින් ආණ්ඩුව දණ ගැස්සවීම ගැන එළකිරි වෙබ් අඩවියේ හාස්‍යයට ලක් කර තිබිනි. එහි සඳහන්ව තිබුනේ කාඩිනල් කොන්ද කෙලින් තියා ගෙන සටන් කර ආණ්ඩුව පරාජය කළ බවය.

ඒ කථාව වැරදිය. ආණ්ඩුව බය වුනේ කාඩිනල්ගේ  උත්සව වර්ජනයට නොවේ. කාඩිනල් වරයා උත්සව වලට ආවත් නාවත් ආණ්ඩුවට කම් නැත. ආණ්ඩුව බය වුනේ එම කතාව කාඩිනල් ලවා කරවූ බලවේග වලටය. කාඩිනල් මැල්කම් රංජිත්  හිමිනම හා ක‍තෝලික සභාව  පි‍ටුපස සිටින්නේ  වතිකානය හා බටහිර රටවල්ය. උදේ හවා කට කම සෙයියාවක් නැතිව බටහිර බලවේගයන්ට බනින ජාතිමාමක , අධිරාජ්‍ය විරෝධී ආණ්ඩුවේ ලොක්කන්  බටහිරින් ආ ඉතා සුලු තර්ජනයක් ඉදිරියේ දණ නැමුවේ එසේය.වේදිකාවල උඩ පනිමින්  මොණරාගල බයියන් සමග කථා කරන දේශපාලනය අන්තර්ජාතික තලයේ වලංගු නැත. ඒ නිසා ආණ්ඩුව ඉතා නිවැරදි ලෙස , කාඩිනල් වරයාගේ පලමු තර්ජනය හමුවේම ,මෝඩ නිලධාරිනියක් ,හුදු ප්‍රසිද්ධිය උදෙසා කල මෝඩ කම ආපසු හරවා ගත්තේය.

තමන් පි‍ටුපසින් වතිකානුවක් තබා මල්වත්තේ නම් අස්ගිරිය හෝ අස්ගිරිය නම් මල්වත්තවත් නැති, දළදා මාලිගාවේ තේවාව ලබා ගැනීමටත් එකිනෙකාට විරුද්ධව නඩු කියන ,අපේ නායක උන්නාන්සේලා ගෙන් එවැනි වීරත්වයක් බලාපොරොත්තු වීම සම්පූර්ණයෙන්ම වැරදිය. එය ඉබ්බන්ගෙන් පිහා‍ටු ඉල්ලනවාක් බඳු දෙයකි.

උන්නාන්සේලා , කවුරුන් විසින් හෝ රවටනු ලැබු විට ඉඳ හිට ප්‍රකාශයක් දෙකක් කළත් එතැනි න් ඉදිරියට යාමට හැකියාවක්වත් උවමනාවක් වත් නැත. උන්නාන්සේලා දන්නේ දෙන දෙයක් කා බොන දෙයක් තිබේ නම් බී සැතපීම පමණි. ඒ ගැන දොසක් කීමට නොහැකිය.

විස්සවිද්යාලේ කීර්ති නාමයට හානි කිරීම නිසා පේරාදෙණිය විස්ස විද්දියාලේ සියලුම සිස්ස සංගම් තහනම් කල බව උපකුලපති මහාචාරිය ඇස්.බී.ඇස් අබේකෝන් කියා සිටී.

ජාතිමාමක, දේශහිතෛෂී ,අධිරාජ්‍ය විරෝධී, ආන්ඩුව අයිඇම් එෆ් එකත් එක්ක හවුලේ ලබන මාසේ ප්‍රයිවට් විස්ස විද්යාල පනත ගේනවා. ඊට  කලින් ශිෂ්‍ය සංගම් ටික තහනම් කරලා විරෝදයක් නැතිව පනත සම්මත කරගන්ට ඕනෑ . ඒකට පස සකස් කරලා දෙන්ට කියලා ඇස් බී ඇමති තුමා උපකුලපති කට්ටියට දැනුම් දීලා වගෙයි.

උපකුලපති කමේ පලමු වාරේ ඉවර වී ගෙන එන නිසා කොහොමටත් මේ ඇස් බීට ඒ ඇස් බී කියන විදියට නටන්න වෙනවා. නැත්නම් මේ ඇස් බීට දෙවැනි වාරයක් තනතුරේ ඉන්න ලැබෙන්නේ නැහැනේ. පෙලපාලියෙන් ආපු සිස්සයන්ට පහර දෙන්න මැරයින්ට පොලු මුගුරු දුන්නේ කොයි ඇස් බී ද කියලා දැන් සැකයක් මතු වෙලා. විස්ස විද්යාලේ කීර්තී නාමයට හානි වෙන්නේ සිස්සයෝ නිසා නෙවේ ඇමතිලාගේ පදේට නටන මේ වගේ උපකුලපතිලා නිසා කියලයි ඇට මැස්සාට හිතෙන්නේ.

සටහන- මේ ෆොටෝ එකේ ඉන්නේ ලක්ෂ ගනන් වියදම් කරලා තමන්ගේ ලමයි විස්ස විද්දියාලෙට යවන්න පුලුවන් අම්මලා තාත්තාලාද. එහෙම නැත්නම ඇස් බී ජෝඩුව කුලියට ගෙනා කට්ටියක්ද?

 

 

ඔබ අපට කියන්නේ අපට ඇති ප්‍රශ්නය  ජනතාවගේ අකීකරු කම බවයි. එහෙත් අපේ ප්‍රශ්නය එය නොවේ.

අපේ  ප්‍රශ්නය නම් ජනතාව ඔවුන්ගේ පාලකයින් කියන දෙයට කීකරු වෙමින් යුදයට ගොස් එම කීකරු කම නිසා මිලියන ගණන් ජනයා මරා දැමීමයි.

අපේ ප්‍රශ්නය නම් ලොව පුරා මිනිසුන් දුප්පත්කම ,කුසගින්න ,අඥානත්වය ,යුද්ධ හා කෘරත්වය ඉදිරියේ කීකරු වීමයි.

අපේ ප්‍රශ්නය නම් ඉතා සුලු සොරකමක් කල වුන්ගෙන් සිර ගෙවල් පිරී යද්දී මහා පරිමාණ සොරුන් රටවල් පාලනය කරත්දී මිනිසුන් කීකරුව සිටීමයි.

-හොවාර්ඩ් සින්-

2015 වසරේ පැවත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කීපයක් අහම්බෙන් අප  අතට පත් විය. ඔබටත් මේවාට පිලිතුරු  ලිවිය හැකිදැයි බලන්න.

1. ශ්‍රී ලංකාවේ අගනුවර කුමක්ද?
I. කොලඹ
II. මහින්ද රාජපක්ෂ පුරය
III. මහනුවර
IV. බෙලිඅත්ත

2. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන්නේ

I. ඕලු මල
II. නාමල
III. කෙහෙල් මල
IV.කිඩාරම් මල

3. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව

I. අලියාට ඇස තැබීම
II. රගර්
III. කාර් රේස්
IV. කනා මුට්ටිය බිඳීම

4. ශ්‍රී ලංකාවේ ලොකුම ක්‍රීඩාංගනය කුමක්ද?

I.හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය
II. මහනුවර මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය
III. අනුරාධපුර මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය
IV. කොලඹ මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගනය

5. නිමල් සිරිපාල සිල්වා, මෛත්‍රීපාල සිරීසේන , දිමු ජයරත්න යන මහත්වරු තානාපති කම් කරන රටවල් පිලිවෙලින්  ලියූ විට

I. බංග්ලාදේශය, ඉතියෝපියාව, සැම්බියාව
II. ඉතියෝපියාව,බංග්ලාදේශය, සැම්බියාව
III. බංග්ලාදේශය, සැම්බියාව, ඉතියෝපියාව
IV. සැම්බියාව,බංග්ලාදේශය,ඉතියෝපියාව

සටහන- 2015 වසරේ ශිෂ්‍යත්ව විභාගය කරන දරුවන් ඔබට සිටී නම් මේ ප්‍රශ්න මතකයේ තියා ගන්න.