Archive for April, 2012

Kumar-Sangakkara-011

හිටපු ශ්‍රීලංකා ක්‍රිකට්  නායක වත්මන් ක්‍රීඩක  කුමාර් සංගක්කාරට විස්ඩන් සඟරාවට සම්මුඛ සාකච්චාවක් දීම මෙරට ක්‍රිකට් බලධරයන් විසින් තහනම් කර තිබේ.හේතුව  නොකිව්වත් සියල්ලෝම දනිති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුමක සිටින නිසා ඔහුට එම අණ පිලිපැදීමට සිදු වී තිබේ.

මාස කීපයකට කලින්  ලෝර්ඩ්ස් හිදි දේශනයක් කල කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව තුල  ක්‍රීඩාව දේශපාලනීකරණය වී තිබීම දැඩි ලෙස විවේචනයට ලක් කලේය. ඒ නිසා ඔහු මෙරට දේශප්‍රේමින්ගේ දැඩි වෛරයට භාජනය වූ අතර එතෙක් වීරයෙක් වී සිටි  සංගා   එක ‍රැයින් දේශද්‍රෝහියෙක්, පාවා දෙන්නෙක්  බවට පත් විය.

තත්වය එසේ තිබියදී 2011 වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ‍තෝරාගත්තේ සංගාය. වසරේ ක්‍රීඩකයා සමග කල සම්මුඛ සාකච්ඡාවක් පල කිරීම සාමාන්‍ය සිරිතයි.

අපේ ලොක්කන්  තම බලය යොදවා නතර කලේ එම සාකච්ඡාවයි.

එසේ කර ශ්‍රී ලංකාව කොතරම් ශිෂ්ඨ සම්පන්න, ශීලාචාර හා ප්‍රජාතන්ත්‍රවාදි රටක් ද යනුවෙන් ජාත්‍යන්තරයට නැවත වතාවක් පෙන්වා තිබේ.

 

 

Advertisements

rugb225

පිලිපීනයේ පැවත්වෙන රගර් තරඟාවලියට සහභාගි වීම ප්‍රතික්ෂේප කල ජ්‍යෝෂ්ඨ ක්‍රීඩකයින්ට දේශද්‍රෝහින් යැයි බැණ අඬ ගසමින් පිටත්ව ගිය මහා දේශප්‍රේමියා ඇතුලු රගර් කණ්ඩායම ඉතා දුර්වල පිලිපීනය හමුවේ පරාජය ලබා ඇති බව වාර්තාවේ.

රාජපක්ෂ පන්නයේ දේශප්‍රේමයට ලංකාව ඇතුලේ මැච් දිනා ගත හැකි වූවත් රටෙන් පිටතදී එය වලංගු නැති බව ලඟ ලඟම දෙවැනි වතාවටත් ඔප්පු වී තිබේ. මුල් වතාවේ එය සිදු වූයේ ජීනිවා වලදීය.

මීට කලින් ටායිපේ හා සිංගප්පූරුව පරාජය කරමින් ජය ලබන විට බ්‍රේකින් නිව්ස් ලබා දුන් සිරස ඇතුලු දේශප්‍රේමි මාධ්‍යද ඇටි කෙහෙල් කෑ උගුඩුවන් මෙන්  සිටිති.

මේ ඊනියා දේශප්‍රේමින්ගේ හිස් බව හෙලිදරව් කරනු සඳහා දේශද්‍රෝහින් බවට පත් වූ රගර් ක්‍රීඩකයින්ට අපේ ආචාරය නැවතත්.!!

ws_Girl_with_sword_1024x768

කෞතුකාගාරයේ සිදු වූ කඩු හොරකමට ගරු ඇමති රංජිත් සියඹලාපිටිය තුමා සම්බන්ධ නැතැයි පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ තුමා ප්‍රකාශ කර තිබේ.

කඩු හොරකම් කරන්නේ නැති එක ඇමති කෙනෙක් සිටින බව දැන් අපි  සහසුද්දෙටම දනිමු.

ඒ ගැන  අපි රෝහණ තුමාට ( මෙතනදී රෝහණ තුමා කිව්වේ අජිත් රෝහණ තුමාට මිස ජනරංජන රෝහණ තුමා ට නොවන බව කරුණාවෙන් සලකන්න)  ස්තූතිවන්ත වෙමු. ඇත්තටම අපිට හරි සතු‍ටුය.

දැන් අපිට පොඩි ප්‍රශ්න දෙකක් තිබේ . ඒ දෙකටත් රෝහණතුමා උත්තර දෙන්නේ නම් මැනවි. ( සුදු වෑන් ගෙදරට එවා උත්තර පෞද්ගලිකව දීමට අවශ්‍ය නොවන බව සලකන්න. මෙම බ්ලොගයේ කොමෙන්‍ටුවකින් උත්තර දීම ප්‍රමාණවත්ය.)

1. මේ කඩු හොරකම පිලිබඳ පරීක්ෂණ අහවරද?

2. එසේ නැත්නම් සියඹලාපිටිය තුමා සම්බන්ධ නැතැයි කීවේ කොහොමද?

3. පරීක්ෂණ අහවර නම්ද, සියඹලා තුමා නිර්දෝෂී නම්ද, ඇත්තටම හොරු කවුදැයි අපට කියනවාද?

president-mahinda-rajapaksa-on-dambulla-development-project

දේශප්‍රේමී , දේශහිතෛශි නායකයින් ලෙස පෙනී සිටින උන්   බලයේ ‍රැඳී සිටීම සඳහා ජාතිවාදි අදහස්  වපුරන විට උන්ගේ අඥාන නූගත්  අනුගාමිකයන් එම අදහස් ක්‍රියාවට නගමින් රටම ගිනි තියන බව අප පවසන විට කොස්,ජයශ්‍රී, ඉන්ද්‍රජිත් කනියා බඳු උන් රෙදි කරට ගෙන අපට පහර දීමට ආවේ ,ලංකාවේ ජාතිවාදයක් නැතැයිද අප බොරු කියන්නේ යැයිද කියමිනි. ගාල්ලේ සිදුවීම ජාතිවාදය නිසා නොවූවක් බවත්, ලංකාවේ එවැනි දෑ සිදු නොවන බවත් ඔවුහු පුන පුනා කීහ. ඔවුන්ට අනුව සිංහලයා ජාතිවාදි නොවේ. ජාතිවාදි වැඩ කරන්නේ සුලු ජාතින් පමණි. එම සුලු ජාතිවාදින්ට උඩගෙඩි දෙන්නේ යැයි අපටද චෝදනා කලහ.

අපට බැන වැදුනු ඒ ගරු කටයුතු මහත්වරුන්ගෙන් අප අසන්නේ දැන් දඹුල්ලේ සිදු වන්නේ කුමක්ද යන්නයි.  පූජාභූමි තුල අන්‍යාගාමිකයන්ට ඉඩ නැතැයි කියමින් උන්ගේ පල්ලිවලට පෙට්‍රල් බෝම්බ ගහන්නේත්, එම පල්ලි සුණු විසුනු කිරීමට කැස කවන්නේත් පෞද්ගලික හේතු නිසාද? නැතිනම් නග්න  වර්ගවාදය  නිසාද? නැත්නම් එය  වෙන කුමක්ද?

ඉනාමලුවේ සුමංගලලා පසුපස අද යන්නේ චම්පකලා වීරවංශලා විසින් මොල සුද්ද කල  මිනිසුන් නොවේද? විසකුරු ජාතිවාදි විසබීජ එන්නත් වූ මිනිසුන් නොවේද? සිංහලයින්ට ශ්‍රීලංකාව හැර අන් රටක් නැතැයි කියන කනියා බඳු මිනිසුන් නොවේද? කිසිම මාධ්‍යයකින් මෙතෙක් අනාවරණය නොකළ , ඔහුට පමණක් දැන ගන්නට ලැබුණු දෙමලුන්ගේ කිරිබත් කෑම් ගැන ගල් පැලෙන බොරු ලියන ඉන්ද්‍රජිත් බඳු මිනිසුන් නොවේද?

මේ වෙලාවේ කල යුත්තේ සිදුවන විනාශය දැක එයට එරෙහි වන්නැයි ඉල්ලන උන්ට ගල් ගැසීම නොව  එම විනාශයට එරෙහිව කටයුතු කිරීමයි. වීරවංශ, නලින් සිල්වා, ගුණදාස අමරසේකර, චම්පක බඳු විෂබීජ නිපදවන්නන් හා දිවයින බඳු විෂබීජ ප්‍රවාහකයින් හෙලිදරව් කිරීමයි. අප කිරීමට උත්සාහ කරන්නේ එයයි.

සටහන- මීට වසර ගනනකට කලින් කණ්ඩලම හෝට්ලයට එරෙහිව ගිනි තබා ගන්නවා යැයි දිවුරු මේ ඉනාමලුවේ සුමංගල උන්නාන්සේ අද දානය ලබාගන්නේත් එම හෝටලයෙනි.

logo

නලින් සිල්වා, ගුණදාස අමරසේකර, චම්පික රණවක, විමල් වීරවංශ පමණක් නොව බ්ලොග් අවකාශයේ සැරිසරු පෙරමුණේ රාල, රංග මිගාර වැනි  සකල විධ සිංහල ජාතිවාදි උම්මත්තක පැසිස්ට්වාදිනුත්    අයි ටී  එන් දිණමින , දිවයින වැනි පඩංගු මාධ්‍යයත්  පසු ගිය කාලය පුරාවටම ශ්‍රී ලාංකීය සමාජය තුල වැපිරූ ජාතිවාදි බීජ  දැන් පැලවී පල දරමින් තිබේ.

දෙමල කම්කරුවෙකු තමන්ට සර් නොකීවා යැයි උරණ වූ හමුදා සෙබලෙකු ඇතුලු  වර්ගවාදි උම්මත්තකයින් පිරිසක් ඇල්පිටිය දිවිතුර ප්‍රදේශයේ වත්තකට කඩා පැන වතු කම්කරු නිවාස තිහක් පමණ මංකොල්ල කා ගිනි තබා විනාශ කර ඇත.

මේ ක්‍රියාත්මක වන්නේ පසුගිය කාලය පුරාවටම දිවා රෑ දෙකෙහිම රට තුල ප්‍රචාරය කල මහා සිංහල වර්ගවාදයයි. මේ ක්‍රියාත්මක වන්නේ දේශප්‍රේමය යනුවෙන් හඳුන්වමින් හීන් සීරුවේ ජනතා සිත් තුලට එන්නත්  කල හිට්ලර් පන්නයේ වර්ගවාදයයි. කපටි අමන ජාතිවාදි දේශපාලුවන්  විසින් රවටනු ලැබු නූගත් ගැමියන් තමන්ගේම සහෝදර දෙමල ජනයාට පහර දෙති.

ජාතිවාදය හා ආගම්වාදයට  නූගත්ගැමියන් පමණක් නොව උගතුන් යැයි සැලකෙන උන් පවා ඉතාමත් ලෙහෙසියෙන් ගොදුරු කර ගත හැකි ය. වීරවංශලා හා රණවකලා මේ දෙකම තම බල ව්‍යාපෘති වෙනුවෙන් ඉතාමත් කපටි ලෙස භාවිතා කරමින් සිටිති. මහජන මුදල් රිසී සේ සොරා කමින් , සුර සැප විඳින මේ විගඩමුන්  ඒ සැප සම්පත් දිගටම තබා ගැනීම වෙනුවෙන් නග්න ලෙස ජාතිවාදය හා ආගම්වාදය භාවිතා කරති.

මේ ආකාරයේම කපටි හා තුච්ච දේශපාලුවන් විසින් රවටනු ලැබු ජනතාව මීට පෙරද, 1958, 1977 හා 1983 දී  මෙරට ගිනි තැබූහ.

වීරවංශලා තමන්ගේ ප‍ටු අභිමතාර්ත වෙනුවෙන් අද  මේ රට නැවතත් දක්කා ගෙන යමින් තිබෙන්නේ එතැනටය.

ඔවුන්ගේ මේ උත්සාහය වහාම පරාජය කල යුතුව ඇත. ජාතිවාදයේ ගිනි දැල් ඇවිලවීමට තම අනුගාමිකයන් පොලඹවන මේ තක්කඩි රොත්ත  පරාජය කල යුතුය. එසේ  නොකලොත් හෙට දිනය දැනට තිබෙනවාටත් වඩා බොහෝ කලුවර වනු ඇත.

සටහන- සිංහලුන්ට නැති දෙමලුන්ට ඇති ප්‍රශ්න මොනවා දැයි කැළණියේ නාථදේවාලයේ ප්‍රධාන කපු තැන්පත් නලින් ද සිල්වා ප්‍රමුඛ ජාතිවාදින් නිතර අසන ප්‍රශ්නයකි. මේ තිබෙන්නේ ගාල්ලේ ජාතිවාදින් විසින් ඊට දී ඇති පිලිතුරයි.

 

 

 

3_660_072113024849

අපේ ලොක්කාට කවුරුන් හරි රීද්දුවොත් එහෙම ආයේ ඉතින් සොරිම තමාය. කෙලවන එක කෙලවනවාමය

පහුගියදා ජිනීවා වලදී ලංකාවට  විරුද්ධව චන්දේ දීම නිසා  ඉන්දියාව සමග ඇති කරගත් කොක්ක දිගටම පවත්වා ගෙන යාමට ලංකාණ්ඩුව තීරණය කර ඇති බවක් පෙනේ.දැන්  ඉතින් ඉන්දියාව ඉවර  වෙනකම් මේ පහර දීම සිදු වනු ඇතිය.

ඉන්දියාවේ හදන  මරුටි කාර් වලට  ලංකාවේ හොඳ වෙලඳ පොලක් සැදී තිබුනේය. ඒ මිල අපේ රටේ  මධ්‍යම පාංතිකයන් බොහෝ දෙනෙකුන්ට ඔරොත්තු දෙන මට්ටමක  තිබූ නිසාය.ඒත්  පසු ගියදා ආනයනික වාහන වල බදු වැඩි කිරීම නිසා කුඩා මෝටර් රථවල මිල සියයට පනහකටත්  වඩා ඉහල ගියේය.  ලක්ෂ 11කට පමණ තිබූ මරුටි කාරයක දැන්  ලක්ෂ 17 ක් පමණ වේය.  ඒ වැඩේ නිසා  ගුරුවරුන්, ලිපිකරුවන් වගේ අයගේ වාහන හීනය අහෝසි වන අතර අපේ සතුරා වන ඉන්දියාවේ  වාහන වෙලඳ පොලට සෑහෙන කොටසක් නැති වෙන්නේය.

වැඩේ එතැනින් නතර නොකර දිගටම කරගෙන යාමට ලංකාණ්ඩුව තීරණය කර තිබෙන බව පෙනෙන්නේ ඊයේ ගත් අලුත් තීන්දුවක් නිසාය.ඒ අනුව පාවිච්චි කරන ලද වාණිජ වාහන ආනයනය කිරීමේ කාලසීමාව වසර 3 1/2 සිට 4 දක්‌වාද, වෙනත් වාහන සඳහා වෙන්කර තිබූ වසරක කාලසීමාව වසර 02 දක්‌වාද දීර්ඝ කිරීමට තීරණය කර තිබේය.

පාවිච්චි කරන වාහන ගෙන්වන්නේ ජපානයෙන්ය. ඉන්දියාවෙන් ගෙන්වන්නේ අලුත් බ්‍රෑන්ඩ් නිව් වාහන පමණක්ය. පරණ වාහන වල කාල සීමාව වැඩි වෙත්දී බද්ද අඩු වෙන්නේය. එම නිසා ජපන් රීකන්ඩිෂන් වාහන වල මිල අඩු වෙන අතර ඉන්දියන් වාහන වල මිල වැඩිය.

කොහොමද ටිකිරි මොලේ. ලංකාව එක්ක හැප්පෙන්ට ලේසි නැති බව මන් මෝහන් සිං දැන් දැන ගන්නවා ඇත.

සටහන 1 – වාහන බදු වැඩි කරේ ඩොලර් සංචිත අඩු වීම නිසා බවට භාණ්ඩාගාර නිලධාරින් යොදවා කරවන ප්‍රකාශ අමු බයිලා බවත් එය තනිකරම දේශපාලන ඉවර තීන්දුවක් බවත් මේ නව නීති වලින් පෙනේ.

සටහන 2-   මේ ආකරයටම 1980 ගනන් වලදී ඉන්දියාවට පාඩමක් ඉගැන්වීමට ගිය ජේ ආර් ට පමණකො නොව මුලු ලංකාවටම රජිව් ගාන්ධි පරිප්පු කැව්වේය. මේ සැරේ මන් මෝහන් සිං මොනවා කවන්ට හිතන් ඉන්නවා දැයි දන්නේ එයාම පමණි.

.

 

Chinese-loan-sharks-preying-on-women-with-naked-loans

මේ අධිවේගී මාර්ගයේ වේග සීමාව ලෙස දක්වා තිබුනේ පැයට කිලෝමීටර් 100කි. ඒ උපරිම වේගයයි. උපරිම වේගය පැ.කි.මී. 100 වන මාර්ගයක් අධිවේගී මාර්ගයක් ලෙස හඳුන්වන්නේ මේ සිරි ලංකාවේම පමණක් විය යුතුය. මේ සුවිශේෂි අධිවේගී මාර්ගයේ යා යුතු අවම වේගයක්ද සටහන් කර නැත.

රුපියල් කෝටි දහස් ගණනක් වියදම් කරමින් තැනූ මෙම මාර්ගය නියමිත ප්‍රමිතියට නැති බොරුවක් බව ආණ්ඩුවම දැන් වක්‍රාකාරයෙන් පිලිගෙන තිබේ.

ඔවුන් දැන් කියන්නේ උපරිම වේගය පැ.කි.මී 100 ලෙස සඳහන් කලත් එම වේගයෙන් සැම විටම යාමෙන් අනතුරු වන බවත් එම නිසා අවශ්‍ය පරිදි වේගය පාලනය කරගෙන යා යුතු බවත්ය. අවශ්‍ය නම් ගොලුබෙලි ගමනින් වුවද යා හැකිය. කි.මී 100 ක වේගයෙන්වත් යා නොහැකි මාර්ගයකට අධ්වේගී මාර්ගයක් කියන්නේ මන්දැයි අපට නම් නොවැටහේ. දන්න කෙනෙක් ඇත්නම් කරුණාකර කියා දෙන්න.

සටහන- චීනාගෙන් පොලි සල්ලි වලින් තැනු නාට්‍ය නැති රඟහල්, නැව් නැති වරාය මෙන් වේගයෙන් යා නොහැකි අධිවේගී මාර්ගද තිබේ. පරම්පරා ගණනාවක් ණය කරුවන් කරමින් පොලී සල්ලි වලින් අප කරන්නේ එබඳු දේය.