Archive for October, 2010

 
 
සරසවි නැවත  වතාවක් ගිනියම් වී දැවෙමින් පවතී. සෙසු සමාජයම සීතලෙන් ගල් වී දිගු සිසිර නින්දකට සැරසෙද්දී , සරසවි පද්ධතිය පමණක් මෙසේ ගිනි ගෙන දැවෙමින් පවතී.
 
පාලකයින් මර්ධනකාරී අනපනත් ගෙන එමින්, රටේ නීතිය පවා තමන්ට අවැසි පරිදි සකසා ගනිමින් සිටින මේ මොහොතේ මෙතෙක් කල් සමාජය ඉදිරියේ විප්ලවාදින්, හා වාමාංශික රැඩිකලුන්  ලෙස පෙනී සිටිය උන් පවා තමන්ගේ උදර පෝෂණය වෙනුවෙන් පාලකයින් ඉදිරියේ දනින් වැටී උන්ගේ  පා ලෙව කමින් සිටිති.  පීඩනයට හා මර්ධනයට ලක් වූවන් පවා මේ වෙලාවේ තෝරාගනිමින් සිටින්නේ තමනට එල්ල වන පීඩනයට එරෙහිව සටන් වැදීම නොව පාලකයින් හා හවුල් ව ජාම බේරා ගැනීමය. හැකිනම් උන් හා එක් ව උන් භුක්ති විඳින දෙයින් කොටසක්වත් කඩා ගැනීමටය. අද දින ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තත්වය එයයි.
 
මේ සාමාන්‍ය තත්වයෙන් බැහැරව තම අයිතීන් වෙනුවෙන් සටන් වැදීමට තීරණය කර සිටින්නේ සරසවි සිසුන් පමණි. අන් සියල්ලන් දනින් වැටී පා ලෙව කෑම තෝරා ගනිද්දී ඔව්හු අරගලය තෝරාගෙන සිටිති.
 සිසුන් පිටුපස සිටින බලවේග ගැනත් ,තවත් නොයෙක් දේ ගැනත් කියමින් ඔවුන්ව විවේචනය කල හැක. එහෙත් වඩා වැදගත් වනුයේ මේ මොහොතේ ඔවුන් සටන් වැද සිටීමයි .
 
ඔවුන් අද සටන් වදින්නේ ආත්මාරක්ෂාව සඳහා වුවද , එම සටන  ඉදිරියේදී පොදු සමාජ ප්‍රශ්න හා බද්ධ කල හැකි බව හා එසේ වනු ඇති බව වෙන කාටත් වඩා හොඳින් රජය දනියි. සිසුන්ගේ මෙම සටන කෙරෙහි මඩ පහරවල්  එල්ල කර අපකීර්තියට ලක් කර සමාජයෙන් කොන් කර හුදකලා කිරීමට රජය තම මුළු ශක්තිය යොදවන්නේ ඒ නිසාය.
 
රාජ්‍ය මාධ්‍ය වලට අමතරව දිවයින, ලංකාදීප  වැනි පත්තර කඩමාළුත්, මළමිනී ස්වර්ණවාහිනිය හා වරුණිගේ පච දෙරණ ත් නිර්ලජ්ජිතව සිසුන්ට පහර දෙන්නේ ඒ වෙනුවෙනි. මේ පිළිකුල් සහගත මාධ්‍ය මෙහෙයුම් තුලින් සරසවි සිසුවා යනු දුටු තැන මරා දැමිය යුතු තිරිසනෙකු බවට මත පල කරමින් සිටිති. ඔවුනගේ හිස් කුඩු පට්ටම් කර මරා දැමිය යුතුයි මේ මාධ්‍ය ඔස්තාර්ලා අපට නොකියා කියති. ඔවුනට අනුව සරසවි සිසුන් යනු මෙතෙක් ලංකාව තුල පහල වූ අන්ත අධම පාහර     සතුන් විශේෂයකි. ඔවුන් සහමුලින් විනාශ කර දැමිය යුතුය.
 
ඊයේ (27 දා)   කැලණිය සරසවිය අසලදී , තමන් සරසවි සිසුන්ගේ මවුන් යයි කියා ගත්,දේශපාලකයෙක් විසින් මත්පැන් පොවා ගෙනා මොලේ නැති ගණිකාවන් පිරිසක් විසින් සිසුවෙකුට කල පහර දීම මේ මාධ්‍ය ප්‍රචාරය සඳහාම කල දෙයකි. ඔවුනට අවශ්‍ය එයයි. එනම් පොදු ජනතාව විසින් සිසුනට පහර දීමයි. ඊයේ කලේ ඒ වෙනුවෙන් පෙරහුරුවකි. පෙළඹවීමකි.
 
රජය සරසවි සිසුනට මෙතරම් පහර දෙනුයේ මන්ද?  මානසික රෝගීන්ට උසස් අධ්‍යාපනය බාර දෙන්නේ මන්ද? 
 
හුදෙක්ම සරසවි සිසුන්ගේ අරගලකාරිත්වයට බිය වීද? එයද එක් හේතුවක් විය හැක. එහෙත් තවත් හේතුන් ගණනාවක්ම ඇත.
 
දිනෙන් දින උග්‍ර වෙන ආර්ථික අර්බුධය හමුවේ තව දුරටත් සරසවි අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කිරීම අසීරු වෙමින් පවතී. එහෙත් එක් වරම ඒවා කප්පාදු කිරීමද කල නොහැක්කේ ජනතා විරෝධයක් නැග ආ හැකි බැවිනි. ඒ නිසා රාජ්‍ය සරසවි යනු කිසිම කමකට නැති තැනක් ලෙසත්, ඒ සඳහා මුදල් වැය කිරීම අපරාධයක් ලෙසටත් මහජනයා තුලට කාවැද්දීම පළමුවෙන් කල යුතුය. එවිට රාජ්‍ය සරසවි වසා දමා ඒවායේ සම්පත්ද සූරාගෙන පෞද්ගලික සරසවි ඇති කර අන්තරයේ බාධා කිරීම් වලින් තොරව පවත්වා ගෙන යා හැක.
 
රජය සිසුන් හා ගැටෙන අනිත් කරුණ වන්නේ, මෙරට රජයන් විසින් තම නොහැකියාව හා දූෂණ වසා ගන්නට , පසු ගිය වසර තිහ මුළුල්ලේම ජප කල කොටි මන්තරය තව දුරටත් වලංගු නොවීමයි. 2009 මැයි මාසයේදී ප්‍රභාකරන් මරා දමමින් කර ගත් බරපතල වැරැද්ද නිසා , ජනතාව  ඇන්දවීම සඳහා සතුරෙක් සොයා ගත යුතුව ඇත.
 
මාස කිහිපයකට ප්‍රථම විකටවංශ ඇමති වරයා විසින්  බෑන් කී මූන් ට එරෙහිව කල සටනද ඒ සඳහා වූ ප්‍රයත්නයකි. එහෙත් ප්‍රතිභා හීන   පුද්ගලයෙක් වන විකටවංශ විසින් නිර්මාණය කල සතුරා හා ඔහුට එරෙහි සටනෙහි කිසිම  ජීවයක් නොතිබිණි. සිදු වුයේ ලෙමන්  පෆ් කමින් උපවාස කරන්නට ගොස් ලෝකයා ඉදිරියේ විහිලුවට ලක් වීම පමණි. අනික ඒ සටන දිනුවා කියා ලැබෙන දෙයක්ද නැත. ( කොහොමටත් දිනන්නටද නොහැක.)
 
එහෙත් සරසවි සිසුනට එරෙහි සටන එසේ නොවේ. එය ජීවමානය. ලයිව්@ 8 තුලින් පෙන්වා සිසුන් පතුරු ගැසීම සඳහා ආතල් කෑලි දිනපතා මවා ගත හැක. ( හරියටම උතුරේ යුද්ධය වාර්තා කළා මෙනි) . අනික අන්තරය විනාශ කිරීම තම පරපුරේ උන්ගේ සුභ අනාගතයක් වෙනුවෙන් ඉතාමත් වැදගත්ය.
මේ අන්තරයේ උන් ශක්තිමත් ව සිටියහොත් , අනාගතයේ තමන්ගේ පවුලේ සුභ සාධනයට එතරම් සුභ නොවනු ඇත. ඔවුන් ඒවාට එරෙහි වනු ඇත. සටන් වදිනු ඇත. හූ කියනු ඇත. ඒවාට ඉඩ දිය නොහැක. ඒ නිසා මේ සර්පයින් හිස් පොඩි කර තලා දැමිය යුතුය. නමුත් එක් වරම එය කල නොහැක. සමාජය එසේ කරන මෙන් ඉල්ලා සිටිය යුතුය. බල කල යුතුය. සමාජය එතනට ගෙන ඒම මාධ්‍ය වල වගකීමයි. සුගාරලා , කසුරිලා , සුනිල් මාධවලා සිටින්නේ ඒකටය.
 
එලෙස තම ආධිපත්‍යට එරෙහි වන අවසන් බලකොටුවද සුන් කිරීමෙන් අනතුරුව තැනට රිසි සේ සමාජය භුක්ති විඳිය හැක. මුළු රටම තමන්ගේ කර ගත හැක. තමන්ගේ පන්තියේ උන්ට පෞද්ගලික සරසවි අරඹා ගොවි කම්කරු දරුවන් කැලෑවට එලවා දැමිය හැක. පදිකා වේදිකාවේ ඉන්න වෙළෙඳුන් ද මුඩුක්කු වල සිටින   දිලිඳුන්ද      පලවා හැර නගර ලස්සන කල හැක. ගොවියන් ගොවි බිම් වලින්ද , ධීවරයින් වෙරලින්ද එලවා , ඒවා තමන්ටම නතු කර ගත හැක. කිසිම විරෝධයක් නැතිවම නතු කර ගත හැක. රිසි සේ භුක්ති  විඳිය හැක.
 
කොටින්ට  එරෙහිව ඇරඹු මානුෂික මෙහෙයුම කොටින් හා කොටින්ට විරුද්ධව සටන් කල ජෙනරාල්ලාද ගිල ගනිමින් දැන් සරසවි සිසුන් කරා පැමිණ ඇත. පොදු සමාජය තවමත් අත්පොලොසන් දෙමින් ඒ දෙස බලාගෙන සිටිති. ඒ අද සරසවි සිසුන්ගේ හිසට ඉහලින් කැරකෙන ඒ මාරක මුගුර තම හිසට එල්ල වන තෙක්ය. අපි බලා සිටිමු. ඒ අතර අලුත් සතුරා විනාශ වූ විට මහා පාරේ කිරිබත්ද පිස කමු.
 
 
 

ශ්‍රි ලංකාව ශීඝ්‍ර සංවර්ධනයක් කරා යමින් සිටින බව අප නායකයින් උදේ හවස අපට මතක් කර දෙමින් සිටිති. ඔව්හු මේ සඳහා උදාහරණ ලෙස ගන්නේ රට පුරා ගොඩ නැගෙන අධිවේගී මහා මාර්ග, වරායවල්, ගුවන් තොට ,පාලම් හා බෝක්කු , යනාදියයි.

දේශපාලකයින් හා ආණ්ඩුවේ ජනමාධ්‍ය පමණක් නොව අපක්ෂපාති හා ස්වාධින යැයි කියා ගන්නා පෞද්ගලික මාධ්‍ය තුලින්ද මහත් උජාරුවෙන් උඩ දමන මේ ඊනියා සංවර්ධනයේ යථාර්තය පසු ගිය දිනක මහනුවර බලා නුවර පාර දිගේ පියෑඹු ඇටමැස්සාට දැක ගන්නට ලැබුණි

නුවර පාරේ නිට්ටඹුව නුවර කොටස සම්පූර්ණයෙන් කාර්පට් දමා අලුත් වැඩියාව අවසන් කර තවමත් ගෙවී ඇත්තේ යම්තම් වසරක් වැනි කාලයකි ( කොලඹ නිට්ටඹුව කොටස දැන් කරමින් පවති) .එහෙත් කෝටි ගණන් මුදල් වැය කරමින් දැමු කාර්පට් එක දැන් නැවතත් තැන් තැන් වලින් අබලන් වීම නිසා අලුත් වැඩියා කිරීමට සිදුව ඇත.

ඔබ ඉහත ඡායාරූපයෙන් දකින්නේ එලෙස අලුත් වැඩියා කල ස්ථානයකි. සමහර විට තවමත් අලුත් වැඩියාවේ වගකීම් කාලය අවසන් නොමැති නිසා අදාල ඉදි කිරීම් සමාගමේ වියදමින් මෙම අලුත් වැඩියාවන් කරනවා විය හැක. එහෙත් ඉදි කර යම්තම් වසරක් ගත වෙන්නටත් මත්තෙන් මෙවන් විශාල පදාස නැවත පිරවීමට සිදු වූයේ නම් තව වසර දෙක තුනක් ගිය විට පාරේ තත්වය කෙබඳු වේ දැයි සිහි බුද්ධිය ඇති ඕනෙම අයෙකුට සිතා ගැනීම අපහසු නැත.

එසේම එවිට වියදම දරන්නේ කවුරුන්දැයි අමුතුවෙන් කිව යුතු නැත.
 
අපට උදේ හවස රූපවාහිණියෙන් පෙන්වන සංවර්ධනයේ ඇත්ත තත්වය ඕකය.
 
අප ආසියාවේ ආශ්චාර්ය බවට පත් වෙන ගමන යන්නේ එහෙමය.

සටහන- මීට ප්‍රථමයෙන් නුවර පාරේ මෙවන් සම්පූර්ණ අලුත් වැඩියාවක් කලේ 1985 දි ය. එම අලුත් වැඩියාව වසර 25ක් ඔරොත්තු දුන්නේය.

 
 
  
  
ශ්‍රී ලංකා දේශප්‍රේමී කිරි පිටි වර්ජක සංගමයේ ඇබෑර්තු වී ඇති පහත සඳහන් තනතුරු සඳහා සුදුසු කම් ඇති අපේක්ෂකයින්ගෙන් අයදුම් පත් කැඳවනු ලැබේ.
 
 
පිටි කිරි  වර්ජන පොළඹවන්නා
  
පිටි කිරි මිල වැඩි කිරීම සඳහා සමාගම් විසින් ඉල්ලා ඇති අවසරය සඳහා ළඟදීම අනුමැතිය ලැබීමට නියමිත බැවින් එයට පෙර සිංහල පුවත් පත් වලට පිටි කිරි  වල අගුණ සහ ඒවා බීමෙන් ඇතිවන රෝග ගැන පුවත් පත් වලට ලිපි ලිවීම සඳහා ශ්‍රී ලංකාවේ පුර වැසියන්ගෙන්  හෝ පුරවැසියන් නොවන අයගෙන් අයදුම්පත්    කැඳවේ.     
 
 තෝරාගන්නා  ලද අයදුම් කරුවන්ට මීට පෙර මෙම තනතුරේ කටයුතු කර දැනට ඇමති උපදේශක   / සම්බන්ධිකරණ  ලේකම්  /   අධ්‍යක්ෂක   මට්ටමේ  තනතුරු දරන  අය විසින් පුහුණු   පාටමාලා පවත්වනු ලැබේ.
 
සුදුසුකම්
 
1. දොස්තරකමක් තිබීම- දත් දොස්තර හෝ කොන්දොස්තර වුවද කම් නැත. කොන  කපා දෙනු ලැබේ.
 
2. ඕනේ අතකට නැමිය හැකි රබර් කශේරුකාවක්  තිබීම.
 
3. විලි ලැජ්ජාවක් නොතිබීම.
 
4. ආරිය සී ( න් හ ) ල  වාදියෙක් වීම
 
5. ප්‍රසිද්දියේ කිරිපිටි නොබොන අයෙකු වීම.
 
6.  මුදල් තැන්පත් කිරීම සඳහා විදේශ බැංකු ගිණුමක් තිබීම.
 
7. චේ පන්නයේ රැවුලක් තිබීම අමතර සුදුසු කමක් වනු ඇත.
 
  
දීමනා
 
සෑම ලිපියකටම ඒ ඒ ලිපියේ සාර්ථකත්වය අනුව , ඩොලර් වලින් මුදල් ගෙවනු ඇත. ( එම මුදලින් නියම කරන ප්‍රතිශතයක් මඩවංශ තුමාගේ , තුමියගේ  හා එතුමාගේ  අනුගාමිකයන්ගේ නඩත්තුව සඳහා අය කර ගනු ලැබේ. )
 
මීට අමතරව රජයේ නිල නිවසක්, විදේශ සංචාර, ආදිය ලිපිවල සාර්ථකත්වය මත.
 
සටහන. – යම් හෙයකින් ඔබ ලියන ලිපි නිසා සතියක කාලයකට වැඩි කාලයක් කිරිපිටි පාරිභෝජනය පහත වැටි තිබුණහොත් හෝ එම ලිපි ගැන ප්‍රමාණවත් සංවාදයක් ඇති නොවුනහොත් හෝ , කිරිපිටි බීමෙන් වෙන යහපත ගැන වෙනත් නමකින් හෝ පිළිතුරු ලිපි ලිවීමට එකඟ විය යුතුය.
 
තෝරාගැනීමේ ක්‍රමය. – පසුව පෞද්ගලිකව දැනුම් දෙනු ලැබේ.
 
 
ඊයේ සවස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දෙසට  උද්වේගකර ලෙස   ඇදුණු  සරසවි සිසු පෙළපාලිය දෙස ඒ අසල තිබුණු ගොඩනැගිල්ලක ඉහල මාලයේ ජනේලයකින්  බලා සිටියෙමි. තමන්ට සිසුන්  හූ කීම නිසා ඔවුන් සමග වෛර  බැඳ  ගත්    එස්. බී ඇමතිවරයා  සරසවියේ සිටින නිවට පාලකයින් ලවා බොරු චෝදනා කොට අත් අඩංගුවට ගෙන සිර කොට සිටින සිසුන් නිදහස් කරන මෙන් ඉල්ලමින් ඇදුණු මේ  පෙළපාලිය   ගමන් කරනු අයුරු බැලීම සඳහා අප ආයතනයේම සේවය කරන තරුණ කම්කරුවන් කීප දෙනෙක්ද  එක් වී සිටියහ. මෙම කම්කරුවන් අතුරින් කීප දෙනෙක් ඈත දුෂ්කර ගම්වලින් කොළඹට පැමිණිය වුන් වෙන අතර අනෙකුන් කොළඹ හා ඒ අවට ජීවත් වන දුප්පත් තරුණයින්ය.
 
ඔවුන්ගේ පසුබිම කුමක් වුවත් ,ඔවුන් සියලු දෙනාම පෙළපාලිකරුවන් කෙරෙහි දැක්වුයේ එකම ආකල්පයකි. එය සුහද එකක් නම් නෙවේ. මේ කම්කරුවන් පෙළපාලිය නරඹමින් කල කතා බහේ සාරාංශය වුයේ ඉගෙන ගැනීමට යැයි පැමිණ දෙමවුපියන්ගේ මුදල් නාස්ති කරමින් මෙසේ කාලය කා  දමන මොවුන්ගේ  හිස් හා ඇටකටු  පොලීසිය ලවා  කුඩු කරවිය යුතු බවයි.
 
විප්ලයේ ගිනිසිළුව යැයි ලෙනින් විසින් වරෙක හැඳින්වූ සිසුන් ගැන විප්ලවයේ ගාමක බලවේගය වන කම්කරුවන්ගේ ආකල්පය එබඳුය.
 
මිනිසුන් වනචාරිව කුඩා ගෝත්‍ර ලෙස ජීවත් වූ සමයේ වෙනස් ගෝත්‍ර  දෙකක මිනිසුන් එකිනෙකා හමු වූ විට මාරාන්තික යුද්ධ ඇතිවීමත් එකිනෙකා මරා ගැනීමත් සාමන්‍යයය.
 
එලෙසම නූගත්   කම්කරුවන් පිරිසක්  ,මේ ශිෂ්‍යයන් තම ගෝත්‍රයෙන් පිට උන් ලෙස හඳුනා ගෙන සතුරුකම් දැක්වීම  , සිසුන් හා කම්කරුවන් යනු සම්පූර්ණයෙන්ම වෙනස්  පංති දෙකක් බැවින් අපට තේරුම් ගත හැක. එහෙත්   තමන් උගතුන් , බුද්ධිමතුන් ලෙස හඳුන්වා ගන්නා හා අසමාන ,  නොනැමෙන කම්කරු  සටන් කරුවන් ලෙස පෙනී සිටින උදවිය පවා එකම ක්ෂේත්‍රයේ රැකියා කරන තම සගයින්ට එරෙහිව මෙලෙස සතුරු  ආකල්ප දැරීම අප තේරුම් කර ගත යුත්තේ කෙසේද? මේ සඳහා බොහෝ උදාහරණ අප රටේ වෘත්තීය සමිති සටන් තුල දැකිය හැක.
 
 
 
 හෙදි වෘත්තීය සමිති  විසින්  කලක සිට ගෙන ගිය සටනේ ප්‍රථිපලයක්  ලෙස දිනා ගත් හෙද ව්‍යාවස්තාව ක්‍රියාත්මක කිරීම නැවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරි සංගමය උත්සාහ දැරීම  ඒ සඳහා ඔවුන් දෙන හේතු වලින්  කිසිසේත් සාධාරණීකරණය කල හැකිද?
 
ඔවුනට ඇති ප්‍රශ්නය මෙම ව්‍යවස්ථාව නිසා හෙදියන් පරිපාලන කටයුතු වලට පත් වීමත් එවිට හෙදියන් තම පාලනයට නතු නොවීමත් ඔවුනට ඇති ගැටලුවයි. මෙය පුදුම සහගත තත්වයකි. හෙදියන් වෛද්‍යවරුන් යටතේ ඔවුන්ගේ සුවච කීකරු දාසයන් සේ සිටිය යුතුයි මොවුන් සිතන සෙයකි.
 
සංගමයේ නිලතල හොබවන  තාක් කල් රෝගීන් මාරාන්තික අපහසුතාවන්ට පත් කරමින්  මාරාන්තික වැඩ වර්ජන  ඇතිකරමින් , තමන් හා සෞඛ්‍ය ඇමති අතර ඇති සම්බන්ධය නයි මුගටි පන්නයේ එකක් බව පෙන්වන හා  එයින් පසු  ඇමති වරයාගේ සම්බන්ධිකරණ නිලධාරින් වශයෙන්  කටයුතු කරන නිලධාරීන්ගෙන් සමන්විත  රජයේ වෛද්‍ය නිලධාරි සංගමයෙන් මීට වඩා කුමක් බලාපොරොත්තු විය හැකිද? 
 
මේ සිදු වීමේදී වඩාත්ම ඛේදජනක කරුණ වූයේ    එකම රැකියාවේ , එනම් හෙදි වෘත්තියේම විවිධ සමිති පවා කුලල් කා ගන්න ආකාරයයි. ඇති වී තිබෙන තත්වයට එරෙහිව එක හෙදි සමිතියක් වර්ජනයක් කැඳවූ විට කුප්‍රකට හෙද නායක හාමුදුරුවෝ සහ ඔහුගේ ගෝලබාලයින් එය කඩාකප්පල් කිරීමට එළිපිටම වැඩ කළහ.
 
මෙලෙස වෘත්තීය සමිති එකිනෙකාගේ ගෙල මිරිකා ගැනීම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල කැපී පෙනුනත් , අනිකුත් ක්ෂේත්‍ර තුලද මේ තත්වය අඩු වැඩි වශයෙන් පවතී. නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලනම් තත්වය ඉතා පිළිකුල් සහගතය.
 
හෙදියන් අරගල කර අයිතිවාසිකමක් දිනා ගතහොත් වෛද්‍යවරුන් එයට විරුද්ධය. නැතහොත් රසායනාගාර ශිල්පින් , විකිරණ ශිල්පින් වැනි වෙනත් ශ්‍රේණියක උන් විරුද්ධ වේ. වෛද්‍යවරුන් හා හෙදියන්, වෛද්‍ය වරුන් හා ලියාපදිංචි වෛද්‍යවරුන්, හෙදියන් හා අනිකුත් පාර වෛද්‍ය සේවකයින් , හෙදියන් හා පවුල් සෞඛ්‍ය සේවකයින් ආදී වශයෙන් එකිනෙකාට එරෙහිව කුලල් කා ගැනීමේ කෙළවරක් නැත.
 
මොවුන් මේ මරා ගන්නේ ඉතාමත් ප්‍රථමික හා කාලකණ්නි හේතුන් වෙනුවෙනි. වෙන කුලකයකට වැටුප් වැඩි වුවහොත් තම තත්වය පහල යනු ඇතැයිද , තම අධිකාරි බලය නැතිවනු ඇතැයිද තමනට  නැති වරප්‍රසාද අනිකුන්ට හිමි වනු ඇතැයිද ආදී වශයෙන් වූ හේතු වෙනුවෙනි.
 
වෙනකක් තබා මීට වසර කිහිපයකට පෙර පවුල් සෞඛ්‍ය සේවිකාවන් ගේ වැටුප් වැඩි වන විටද වෛද්‍ය වරුන් එයට එරෙහි විය. ඒ  නව වැටුප් ක්‍රමය තුල වසර විස්සකටත්  වඩා සේවයක් ඇති පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ වැටුප ආධුනික වෛද්‍ය වරුන්ගේ වැටුප ඉක්මවන බව කියමිනි. ( මේ ගැන W3Lanka  ද පසු ගියදා පැවසිය)
 
දැන් අලුත්ම ප්‍රශ්නය වී ඇත්තේ සෞඛ්‍ය සේවයේ අවම වැටුප් ලබාගන්න පිරිසගේ හා වෛද්‍ය වරුන්ගේ වැටුප අතර ඇත්තේ 1:4 අනුපාතයක් පමණක් වීමයි. වෛද්‍ය වරුන්ට මෙය මදිය . ඒ නිසා වෛද්‍යවරුන්ගේ වැටුප ලක්ෂ දෙකක් දක්වා වැඩිකර අනිකුන්ගේ වැටුප එලෙසම තැබිය යුතුය. ඒ  වැටුප් පරතරය 1:20 මට්ටමේ  තබා ගැනීමටය . තමන්ගේ වැටුප වැඩි කරන ගමන් අනිකුන්ගේ වැටුප අඩු කිරීමට යෝජනා නොකිරීම ගැන අනිකුත් සෞඛ්‍ය සේවකයින්  මොවුනට ස්තුතිවන්ත විය යුතුය.
 
සෞඛ්‍ය සේවයේ ඇති මේ තත්වය පාලකයින් ඉතා හොඳින් ප්‍රයෝජනයට ගනියි. හෙදියන් හා පවුල් සෞඛ්‍ය සේවිකාවන් කරපටියකට මාරා ගැනීමට සුදානම් වෙමින් සිටින බවට සෞඛ්‍ය ඇමතිවරයා ඔච්චම් කලේ මේ මෑතකදිය.මොවුන් මේ ආකාරයෙන් කුලල් කා ගානවා හැර ක්ෂේත්‍රයේ ඇති ,  කඩා වැටීම්,  දුෂණ හා වංචා  ගැන වචනයකුදු දොඩන්නේ නැත.
 
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතු නොව අනිකුත් තැන් වලද තත්වය එලෙසමය.
 
පසුගියදා තමන්ගේ අසමත් බාවය හා රාජාණ්ඩුවට එරෙහිව යාමට තමන්ගේ ඇති බිය පෙන්වමින් සරසවි ඇදුරන් විසින් අතහැර දැමු වැටුප් සටන තුලද එවැනි තත්වයක් උද්ගත විය.
 
ඇත්ත වශයෙන් ගතහොත් ශ්‍රී ලංකාවේ සරසවි ඇදුරන්ගේ වැටුප් තත්වය ඉතා කණගාටුදායකය. කාර්යක්ෂමතා කඩ ඉම සඳහා ආචාර්ය උපාධියක් වැනි බරපතල සීමාවන් ඇති තත්වයක මෙය ඉතාමත් විශේෂ වේ.
 
නමුත්  වැටුප් සටන අරඹන විටම විශ්ව විද්‍යාල පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ මුත්තෙට්ටුවේ  නැමැත්තෙක් නිවේදනයක් නිකුත්  කරමින් කියා සිටියේ සරසවි ඇදුරන්ට වැටුප් වැඩි කරන්නේ නම් තමන්ටද වැටුප් වැඩි කල යුතු බවය.
 
එය කිසි ප්‍රශ්නයක් නැති අහිංසක ඉල්ලීමක්  බව කිසිවෙකුට පෙනී යා හැකිය. නමුත් ඔවුනට වැටුප් වැඩි කරන්නේ නම් තමන්ටද වැටුප් වැඩි කලයුතු යැයි කීම වෘත්තීය සමීතියක ඉල්ලීමක් වන්නේ කෙසේද. මේ නොකියා කියන්නේ ඔවුන්ට දෙන්නේ නැත්නම් තමන්ටද එපා නොවේද ?
 
බළලා මල්ලෙන් එලියට පනින්නේ මුත්තෙට්ටුවේගෙදරගේ ඊ ළඟ වාක්‍යයෙනි. කෙසේ නමුත් මේ අවස්ථාවේ වැටුප් වැඩි  වීමක්  තමන් බලාපොරොත්තු නොවන බව ඊ ලඟට ඔහු කියයි. මේ කුමක්ද මොහු කියන්නේ. සරසවි ඇදුරන්ගේ වැටුප් වැඩි නොකල යුතු බව නොවේද?
 
මෙවන් වූ අපූරු වෘත්තීය සමිති ඇත්තේ මේ ආශ්චර්යලන්තයේ මිස වෙන කොහිද? ඇත්තටම ගතහොත් අප රටේ පසු ගිය කාලය පුරාවට සිදු වූ දේ දෙස බලන විට මේවා එතරම් ගණන් ගත යුතු දේවල් නොවේ. කණගාටු විය යුතුද නොවේ.
 
කණගාටු විය යුත්තේ වෘත්තීය සමිති වල සිටින රාජ්‍ය සේවකයින් ලංකාවේ කම්කරු පන්තිය ලෙස හඳුනා ගෙන ඔවුන් සමග ලාංකීය විප්ලය කිරීමට දරන උත්සාහය ගැනය.
 
 
 
 
මින් මතු ගාලු කොටුව ප්‍රදේශය පෙම්වතුන්ට තහනම් කලාපයක් වනු ඇත. මේ බව ඊයේ පුවත්පත්වල හා වෙබ් අඩවි කීපයකම පළව තිබිණි. මේ තහනම ක්‍රියාත්මක කිරීමට පොලීසිය හා යුධ හමුදාව යොදා ගන්නා බවද එහි කියවිණි.
 
 මේ සඳහා හේතු වශයෙන් ගාලු උරුමය රැක ගැනීමේ පදනම නම් සංවිධානයක් විසින් සටහන් කර තිබුනේ ගාල්ලේ  ඓතිහාසික උරුමය රැක ගැනීම සඳහා මේ පියවර ගත් බවයි. ගාලු කොටු පවුර විකෘති කරමින් ගාලු ක්‍රීඩාංගනය ඉදි කරන විට අඳ ගොළු බීරන් සේ  සිටි මේ ඊනියා සංවිධාන පෙම්වතුන් ඉවත් කිරීමෙන් රැකෙන්නේ මොන උරුමය දැයි අපට කියන්නේ නැත.
 
කෙසේ නමුත් මේ පුවත සමග සබැඳුනු කරුණු දෙකක් ඇත.
 
පළමුවැන්න  ගාලු කොටුව පෙම්වතුන්ට තහනම් කිරීමයි. දෙවැන්න එම  තහනම ක්‍රියාත්මක කිරීමට යුද හමුදාව යොදා ගැනීමයි.
 
මේ රටේ සෑම අංශයක්ම ශීග්‍රයෙන් මිලිටෙරිකරණයට  ලක්වෙමින් පවතී. උතුරු හා නැගෙනහිර ප්‍රධාන සිවිල් තනතුරු වලට හමුදා නිලධාරින් පත් කරමින් ඇරඹුණු මේ ගමන, එජා සංවිධානයේ නිත්‍ය නියෝජිත තනතුරු , අමාත්‍යංශ ලේකම් තනතුරු හරහා කොළඹ කානු සුද්ධ කිරීමේ සිට දැන් පෙම්වතුන් යහ මගට යැවීම  දක්වාම පැමිණ ඇත.
 
මෙහිදී අප සිහියට නැගෙන්නේ මේ ආකාරයටම සියල්ල හමුදාකරණයට ලක් වූ තවත් රටකි. ඒ අනිකක් නොව ශ්‍රී ලංකාවේ අපට සිටින මිතුරු රටවල් අතලොස්සෙන් එකක් වන , අප වැනිම වූ කාලකන්නි බවේ ගිලි ඇති මියන්මාරයයි.
 
ශ්‍රී ලංකාව හා මියන්මාරය ගත් විට තවත් සමානකම් ගණනාවකි.
 
මියන්මාරයේ විපක්ෂ නායිකා අවුන් සාන් සුකී වසර ගණනක සිට හමුදා අත් අඩංගුවේ සිටියි. ශ්‍රී ලංකාවේද , පසු ගිය ජනපතිවරණයේ ප්‍රධාන විපක්ෂ අපේක්ෂයා වශයෙන් තරඟ කල ජෙනරාල් ෆොන්සේකා සිටින්නේ සිර ගෙදරය. වංචාව දුෂණය , ඥාති සංග්‍රහය , පොදු දේපල ගසා කෑම අතින්  එක රටක් අනිකට  දෙවැනි වන්නේ නැත.
 
මේ අනුව මිලිටේරිකරණය අතින් අපගේ ආදර්ශය බවට පත් ව සිටින්නේ මියන්මාරය බව  නිසැකය.
 
අනිත් කරුණ වන්නේ පෙම්වතුන් අත් අඩංගුවට  ගැනීම නොහොත් තලේබාන්  පන්නයේ සදාචාර නීති සමාජයට එබ්බවීමට දරන තැතයි.
 
පෙනෙන්නට ඇති පරිදි මෙය රජයට රිංගා ගෙන සිටින බෞද්ධ මූලධර්මවාදී කණ්ඩායම් වල විශේෂයෙන්ම වර්ගවාදී හෙලු උරුමයේ හා විකටවංශ ගේ ජාතික නිරුවත් පෙරමුණේ උවමනාව මත සිදුවන්නක් විය හැක. රට තුල ශීග්‍රයෙන් අවලංගු කාසි බවට පත් වෙමින් සිටින  මොවුන් තමන්ගේ පැවැත්ම උදෙසා , ඔවුන් වැනිම කාලකන්නි උමතුවන් පිරිසක් වන අමරසේකර , ද සිල්වා වැන්නවුන්ගේ උපදෙස් මත පිරිසිදු හෙළ බොදු සංස්කෘතියක් සදනු වස් මෙවැනි උමතු යෝජනා ගෙන එන්නට හොඳටම ඉඩ ඇත. ( ඔවුන් දකින හෙළ බොදු උරුමයන් ඇත්තේ ඔවුන්ගේ විකෘති ඔලු ගෙඩි තුලම මිස මේ පොළව මත නම් නොවේ. )
 
W3 LANKA   නිවැරදිව කියන පරිදි මේ සදාචාර දඩයමේදී අප පාලකයන් ගමන් කරන්නේ , තමන්ගේ හොඳම මිතුරා වන , ගැහැනුන් හට ගල් ගසා මරණ ඉරානය යන මගේය.
 
මේ ඊනියා සදාචාර දඩයම මෑතක සිට උත්සන්න වෙමින් පවතී. අප මීට පෙර පොස්ටයක සටහන් කල , මුහුදු වෙරළේදී කතුන් තුන් දෙනෙක් අත් අඩංගුවට ගැනීම, ජපුර මානසික රෝගී සරසවි  පාලකයා විසින් සිසුවියන්ගේ කන්‍යා බාවය පරීක්ෂා කිරීම ආදියද මේ හා බැඳුනු සිද්ධීන්ය.
 
සිදු වෙමින් පවතින මේ දේවල් සලකා බැලු  විට ඉදිරි කාලයේදී පෙම්වතුන්ට තබා විවාහක යුවලකටවත් , තම කසාද සහතිකය අතේ නොමැතිව එකට මහමග ගමන් කිරීමට අසීරු  වනු ඇත. ඒ ඔවුන් කුදලා ගෙන ගොස්  හමුදා කඳවුරකට භාර දීමට ඉඩ ඇති බැවිනි.
 
සටහන.- හෝටල් කාමරයකට තබා සිනමා හලකට වත් යන්නට අතේ තුට්ටුවක් නැති මේ තරුණ තරුණියන් අල්ලා ගෙන ගොස් ඔවුනට සදාචාරය ගැන හමුදා බටයින් ලවා දේශනා කරවන මේ රටේ උපාසකයින් රොතු බුරුතු පිටින්  , මහජන මුදල් කෝටි සිය ගණන් කාබාසිනියා කරමින් නිව්යෝර්ක් හි නයිට් ක්ලබ් වලට ගොස් කලේ අට සිල් සමාදන් වීම විය යුතුය.
 
 
 
පස්වාන් දහසකට බුදු වන්ට දේවයන්වහන්ස , ගැත්තාට අනුකම්පා කළ මැනව. ඔබ වහන්සේගේ ශ්‍රී පාදස්ථය මාගේ මුකයෙන් ස්පර්ශ කර මහත් විස්සෝපයෙන් ඉල්ලා හිටින්නේ මේ කාලකන්නි ගැත්තාට සමාව බජනය කරන්ටය කියලාය.
 
පහුගිය  කාලයේදී මේ ගැත්තා ඔබ වහන්සේට එරෙහිව , ද්‍රෝහියොත් එක්ක කුට්ටාලිකම් කොර කොර කැරලි ගැහුවා හැබෑය. මේ ගැත්තරයා එහෙම කලේ ඔබ වහන්සේගේ රාජශ්‍රිය ගැන නොදැන ඒ ද්‍රෝහීන්ගේ කියුම් බහට රැවටිලා බවත් හැබෑය.  ඒත් දැන් ගැත්තා ඔබ වහන්සේට කීකරුව ඉන්ට පොරොන්දු වෙනවා ඉර හඳ පල්ලා    සත්තයි.
 
තව දුරටත් කියනවා නම් මේ බඩ ගැත්තරයා ඔබ වහන්සේගේ  ඇමැත්තෝ වගේ රාජිනියටත් , පුත් කුමාරවරුන්ටත් කීකරුව දාස කම් කොර කොර ඉන්ඩ කැප වෙනවාය.
 
සත්තයි සත්තයි සත්තයි
මීට පස්සේ පෝස්ටර් අලවලා ඉවරය. එහෙම කීවාට හැම පෝස්ටරයක්ම නෙවේය. ආණ්ඩු විරෝධී පෝස්ටර් විතරය.
ඒ කියන්නේ මීට පස්සේ  වැඩි පඩි ඉල්ලලා , වංචා දුෂණ නවත්තන්න කියලා , පොදු දේපල හොරකම් කරන්න එපාය කියලා, සරත් ෆොන්සේකා නිදහස් කරන්න  කියලා  පෝස්ටර් ගහන්න තහනම් ය. මොකද ඒවා කලාම මහජනයා කැළඹෙනවාය.
 
මහජනයා  කැළඹෙන වාට ආණ්ඩුව කැමති නැතිය. ආණ්ඩුව කැමති මහජනයා කැළඹෙන්නේ නැතිව දෙන දෙයක් කාල බොන දෙයක් බීල , කන්ඩ බොන්ඩ නැතත් මීක් නැතිව ඉන්නවාටය. කන්ඩ බොන්ඩ පඩි මදි නම් තියෙන හැටියට කන්ඩ දැන ගන්ඩ ඕනෙය.
පාන් මිල ඉහල දැම්මේ පාන් පිටි ත්‍රස්තවාදය පරද්දන්ටය. ඒකට විරුද්ධව පෝස්ටර් ගහන්නේ පාන් පිටි ත්‍රස්තවාදින්ය. ඒක හොඳටම ඔප්පු වෙන්නේ ඔවුන් පෝස්ටර් අලවන්නේ පාන් පිටි වලින් නිසාය.
 
ලෝකේ ඉන්න  ලොකුම ත්‍රස්තවාදියා සරත් ෆොන්සේකා ය. එහෙව් ත්‍රස්තවාදියෙක් නිදහස් කරන්ට කියලා පෝස්ටර් ගහන්නේ ඊට වඩා ත්‍රස්තවාදියෝය. ඔවුන් ඒ හදන්නේ මහජනයා කලම්බන්ටය. ඒක නිසා උන්ගෙන් රට බේරා ගන්ටනම් ඔවුන් රොත්තම අරන් ගිහින් කූඩුවේ දැමිය යුතුය.
 
පෝස්ටර් ඇලවීම තහනම් කිරීමෙන් පස්සේ මොකක් තහනම් කරයිද කියලා බ්ලොග් කාරයොත් කලබල වෙලාය. කලබල වෙන්ට දෙයක් නැත. ඔය දෙන්නෙක් තුන් දෙනෙක් කියවන බ්ලොග් තහනම් කරන්ට ආණ්ඩුවට දැන්ම තදියමක් නැත. ඊට කලින් කොරන්ට කොච්ච‍ර වැඩ තියේද?
 
පෝස්ටර් ගහන්ටම  ඕනේ නම් ඊට  සුදුසු ආරක්‍ෂිත පෝස්ටර් කීපයක් පහත දක්වමු.
 
1. පාන් මිල වැඩි කරාට අපේ ස්තුතිය.
2. පාන් පිටි ත්‍රස්තවාදය පැරදවූ වීරවංශ තුමාට අපේ උපහාරය.
3. සරත් ෆොන්සේකා ගේ හිර දඬුවම වසර 30 දක්වා වැඩි කරවූ.
4. සරත් ෆොන්සේකා හිරේට යැවූ ආණ්ඩුවට අපේ උපහාරය.
5. අපිට පඩි වැඩිය. ! වහාම පඩි අඩු කරවූ.
6. රුපියල් 10,000 කින් පඩි අඩු කරවූ.
7. සියලුම රජයේ සරසවි වසා දමවූ.පෞද්ගලික සරසවි වහා ඇති කරවූ.
8. අපේ රටත් ඉරානයක් කරවූ.
9. අපේ රටත් මියන්මාරයක් කරවූ!!
10.  අපේ රටත් …………………………….??????????????
 
 
දහ අට වෙනි සංශෝධනේ
පොරජාතන්තරේ හා වම
වම වම වම
වමට වමනේ යයි
වමනය හා පාචනය
වාසුට , තිස්සට , ඩීව්ට
රෙද්දේම බඩ යයි
වික්ටර් අයිවන්
කුක්කු  පැටියා
නිදි පැදුරේම චූ කරලා
ඌ ශ්‍රී ලංකා
මූ  යූ  ඇන් පී
මූ ශ්‍රී ලංකා
ඌ යූ  ඇන් පී
යූ  ඇන් පී , ශ්‍රී ලංකා
ජේ වී පී, ජානිපෙ
ලෙමන් පෆ් උපවාසේ
ජානිපෙ හෙලුවැල්ලෙන්
හූ හූ හූ
හූ හූ හූ
හූ  ජෙනරාල්
ඇද්ද උඹට
ජෙනරාල්  හිරගෙදර
මම කරුණා රජ ගෙදර
කේපියෝ උඹත් වර රජ ගෙදර
ඉස්සරහින් ජොනි
පස්සෙන් ෆොනී
ඒ ඉස්සර මෝඩ කතා
දැන් ඉස්සරහින් ජොනි
පස්සෙන් ලකී
ඒ දෙන්නට මැද්දෙන්
ෆොනී කොටු වෙලා
ටැක්සි අබේ ටැක්සි අබේ
මං කියන දේ අහනවද
එහෙම නැතිව කෙලව ගන්නවද
අහනවා අහනවා අහනවා
පලයන් එහෙනම්
ජොනිය එක්ක එකතු වෙලා
ලකිය එක්ක එකතු වෙලා
කෙලවාපිය අර ෆොනියට
අපොයි අම්මේ මෙහෙම රටක්
මානව හිමිකම් භංග වෙලා
පොරෝජාතන්තරේ ගිනි අරගෙන
ගිනි ගන්න රටක කෙලින
මී හරකුන් වැනි පුතුන්
නන්දක්කේ උඹ කොහෙද
හිස ගිනි ගත්තකු එගිනි නිවන සේ
ගයාපන් උඹ ශ්වේත රාත්‍රිය
ධවල භීෂණය එනකම්ම
ගයාපන්
සත්‍යයේ ගීතය, පවන
දාපන් බල්ලට
උඹ ගයාපන් මධුර ගී
කේතුමතී රාජධානිය පහල වෙලා
උඹ ගයාපන්  අපි යනවා
අපි යනවා
හිට්ලර්ගේ ජර්මනියට
සෝල්හයිම්ගේ නොර්වේ වලට
ඕනේ කෙහෙම්මලකට
චීනෙට , ඉරානෙට , මියන්මාරේට
මොකට යනවද මියන්මාරෙට
මියන්මාරේ මෙහෙට ඇවිත් නොව
යමන් යන්න ඇමෙරිකා
ඇමෙරිකා ඇමෙරිකා
සුනිල් අයියාගේ ඇමෙරිකා ඇමෙරිකා
සුනිල් අය්යේ
උඹත් කඩේ පලයන්
අපි යනවා ඇමෙරිකා
නිව්යෝර්ක්
වොල්ඩෝෆ් ඇස්ටෝරියා
සත්‍යවාදියාගේ  දිනපොතේ
කොළ ඉරලා ඔතා ගත්ත
ගංජා සුරුට්ටුව ඇද ඇද
බූරු ඇඳ උඩ බෑවිලා  
ඇස් දෙක පියාගෙන
අපි යනවා ඇමෙරිකා
පබා නඟා එක්කම  
වෙන කොහොම යන්නද