Archive for February, 2012

කතාව-1 – පාන් මිල වැඩි කිරීමට ආණ්ඩුව සම්බන්ධ නැතැයි පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තුමා කියා තිබේ. ඒක තනිකරම බේකරි කාරයින්ගේ වැඩක්ලු. ඇමතිතුමා දැනට විදේශ ගත වී සිටින බැවින් එතුමා පැමිණි පසු මේ නරක  බේකරි කාරයින්ට වැඩක් දෙන්නටත් බලාපොරොත්තු වෙනවාලු.  මාරයි අනේ. බලන්න අපේ ජනතා හිතවාදි ආණ්ඩුව  හිතන විදිය. ශෝයි නේ.

කතාව -2- ඉස්සර කාලේ හිටි ගමරාල කෙනෙක් කිව්වලු  “මගේ අමුඩේ කවුද රීලා කියලා”

කතාව-3- ඇමතිතුමා රට ගියේ පරම්පරාවෙන් ගෙනාපු සල්ලි වියදම් කරලා වෙන්ටැති මයේ හිතේ.ඒ ගමන් බිමන් වලට කරන වියදම් බඩු මිලට බලපාන්නේ නැතිය.

 

Advertisements

ඔබාමාද , බ්ලේක් ද නවනීදන්පිල්ලේද , බැන්කී මූන් ද ඇතුලු මෙකී නොකී එකී සියලු ධිරාජ්‍යවාදි බලවේග එකා මෙන් එකතු වී ඉන්දියන් සාගරයේ මුතු ඇටයට විරුද්ධව කුමන්ත්‍රණ  කරමින් අපේ ජාතික වීරයින් විදුලි පු‍ටුවට එල්ලන්ට යවන්ට හදමින් ඉන්නා මේ මොහොතේ , හරියටම කියන්නේ නම් ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක මේ මොහොතේ දේශප්‍රේමි, දේශහිතෛෂී ,දේශ මාමක, සියලු ජනතාවගේ කාර්ය භාරය විය යුත්තේ බඩගින්නේ සිටිමින් හෝ ආණ්ඩුවට පක්ෂපාතව  පෙලපාලි යාමය. බඩගින්නේ සිටිමින් හෝ ඒ දේ කල යුතු බව වීරවංශ තුමාද මේ ලඟදී කියා තිබුනි.

හෙදි නෝනලාගේ නායක මුරුත්තෙට්‍ටුවේ උන්නාන්සේ ද තමන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ග අත හැර තමන් හා තමන් සමග සිටින හෙදි නෝනලා නියම දේශප්‍රේමින් බව පෙන්වා තිබේ. දොස්තර මහත්තුරුන්ගේ සංගම් නායක කට්ටියද ඒ ආකාර දේශප්‍රේමින් බව වටින් කොනින් ආරංචි වේ.වෙන එකක් තියා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන පවා මේ දවස් වල හා හූවක් නැත. ඒ තරමට දේශප්‍රේමය ඉහින් කනින් ගලා යයි.

නියම දේශප්‍රේමින් වැඩ කල යුත්තේ ඒ ආකාරයටය. භූමිතෙල් කුප්පියකට, පාන් ගෙඩියකට, වැ‍ටුප් විෂමතාවකට මේ වෙලාවේ පාරට බැස ආණ්ඩුව මේ අධිරාජ්‍යවාදින් ඉස්සරහ අපහසුතාවකට පත් කිරීම නොහොබිනා කාර්යයකි.

නමුත් විශ්වවිද්‍යාල වල සිටින හාල් පාරුවන් ලඟ නම් දේශප්‍රේමේ බෙහෙතකටත් නැති බව පෙනේ.මේ දවස් වල සරසවි අනධ්‍යන  කාර්ය මණ්ඩල වර්ජනයයේය. ජීනිවා වල අපේ රට විරුද්ධව මහා කුමන්ත්‍රණයක් කරන මේ  දවස් වල වැඩ වර්ජන කරන්නේ දේශද්‍රෝහින් මිස අන් කවරෙක්ද.

වර්ජන කරන උන්ගේ පඩි කපන බවට ප්‍රතිපාදන කොමිසමේ සමරනායක තුමා තීරණය කර තිබේ. අන්න මිනිස්සු. නියම දේශප්‍රේමියෙක්. ඇත්තටම එතුමා පසුගිය 27 දා ප්‍රතිපාදන කොමිසම ඉස්සරහ බෝර්ඩ් ලෑල්ලකුත් උස්සා ගෙන ජීනිවා කුමන්ත්‍රණයට විරුද්ධව උද්ඝෝෂණයක්ද කර තමන් රට ජාතිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානම් බවද පෙන්වා තිබේ. එතුමාට අපේ ගෞරවය සමග තව වතාවක් කොමිසමේ සභාපති කම ලැබේවා යැයි පතමු.

නමුත් අපි නම් කියන්නේ පඩි කැපීම විතරක් මදි බවයි. මේ දේශද්‍රෝහී නඩය එල්ලා මැරිය යුතුය. විශේෂයෙන්ම මේ වෘත්තීය සමිතීයේ නායක  චන්ද්‍රපාල එල්ලිය යුතුය. ජාතියේ මේ වැනි  අර්බුද අවස්ථාවල ද්‍රෝහී කම් කරන්නට බලා සිටින් උන්ට පාඩමක් උගන්නන්ට එය කල යුතුමය.

සටහන- ඇත්තටම නම් කල යුතුව තිබෙන්නේ මූව විදුලි පු‍ටුවේ යැවීමය. ඒත් විදුලි පු‍ටුව වීරවංශතුමා සින්නක්කරේටම අයිති කරගෙන සිටින නිසා ඒක හරියන්නේ නැත. ඒ නිසා අපිට එල්ලා මැරීමෙන් සෑහිමට පත් වන්නට සිදුව තිබේ.

ප.ලි-  මේකත් රටක්ද මර්තේලිස්?

කලකට ඉහත රූපවාහිනියේ Early Edition  නම් වූ මාලා නාටකයක් විකාශය විය. එහි ප්‍රධාන චරිතය වූ තරුණයාට කලු පූසෙක් විසින් උදයේ පාන්දර පුවත්පතක් ගෙනවුත් දෙයි. එම පුවත් පත අනාගතයට අයිති පුවත්පතකි. එහි තිබෙන වාර්තා දෙස බලා අනාගතයේ සිදු වන විනාශ වැලක්වීමට එම තරුණයාට හැකිය.

මේ ආකාරයේ කලු පූස් මිත්‍රයෙක් ඇට මැස්සාටද සිටියේය. ඔහුගේ පිහිටෙන් ඇටමැස්සා පසුගිය කාලයේ  තම ලිපි ගණනාවක්ම  ලියා අනාගත ලංකාව ගැන අනාවැකි පැවසීය.

ඇටමැස්සා හිතා හිටියේ ලංකාවේ  එවන් කලුපූස් මිත්‍රයෙක් සිටින එකම පුද්ගලයා තමා පමණක් බවයි. එහෙත් එය එසේ නොවන බව පසුගිය දා දැන ගන්නට ලැබුණි.

ඉහල   යන  ජීවන   වියදම  හමුවේ  දිනෙන්   දින  වැඩි  වන  ජනතා  විරෝධය  තොරොම්බල් කර ගැනීම සඳහා ආණ්ඩුව මේ දිනවල නටන ජීනීවා නාඩගමට බෙර ගැසීම සඳහා  අලුතෙන්ම කල එලි බැස ඇති , කලක්  ගඩා‍ෆිට චරිත සහතික ලියමින් සිට හිටි ගමන් ස්වයං අතුරුදහන් වීමකට ලක් ව  සිටි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය නම් වූ සංවිධානයක මහ ලේකම් යැයි කියා ගන්නා වසන්ත බණ්ඩාර නමැත්තාටද කලු පූස් යාලුවෙක් සිටින බව  ඔහු පසුගියදා  වීරවංශගේ වෙබ් අඩවියට ලියූ ලිපියකින් හෙලි වේ. මෙම ලිපිය  බොහෝ විට  දිවයින නම් වූ ජාතිවාදි පත්තර කඩමාල්ලේද පලව තිබෙන්නට ඉඩ ඇත.

මේ දිනවල ජීනිවා හි පවතින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභා වාරයේ න්‍යාය පත්‍රය ගැන ඔහු මෙසේ ලියයි.

“න්‍යාය පත‍්‍රයේ පළමු අංගය වන්නේ ඊනියා දරුස්මාන් වාර්තාවේ නිර්දේශ සමාලෝචනය කිරීමයි. ඊට පසු දෙවන අංගය වන්නේ උගත් පාඩම් කොමිසම් වාර්තාවේ යම් කොටස් දැඩි ලෙස විවේචනය කිරීම සහ ඒ සමගම යම් කොටස් ක‍්‍රියාත්මකකර පෙන්වන ලෙසට රජයට අභියෝග කිරීමයි.”

මොහු මේ කතා කරන්නේ තවම කිසිවෙක් දැක නැති, ඇත්තටම කිවහොත් තවම හදා පවා නොමැති න්‍යාය පත්‍රයක් ගැනය.එහි අඩංගු තාක්ෂණික කරුණු ගැන මෙසේ අති විශ්වාසයෙකින් කතා කරන්නට නම් මොහුට අනිවාර්යෙන්ම කලු පූසෙක්ගේ සහය ලැබිය යුතුය.

ඇමෙරිකානු න්‍යාය පත්‍රයක් ගැන ඔහුට මෙසේ හෙලි කරන කලු පූසා කවුද?

 1989 න් පසු 2004  වනතෙක්ම සැඟවී සැක කටයුතු අතීතයක් ගත කල මොහුගේ කලු පුසා සීඅයි ඒ සංවිධානයද?

සොයා බැලිය යුතු කරුණකි. සියලු දේශප්‍රේමින්ගේ අවධානය පිණිසයි!

නැගලා යන දේශප්‍රේමි අරගලයට පොඩි තල්ලුවක් දෙන්න මොනවා හරි කරන්න ඕනෑ යැයි  හිතූ බුඩී කීර්තිසේන මහත්තයා තමන්ගේ මාතා චිත්‍රපටිය 27දා ඇතුලත බාගා ගාස්තුවට පෙන්වන්ට තීරණය කලේය.

ජීනිවා වලට ‍රැස් ව සිටින බටහිරයන් කන්නට තරම් කේන්තියෙන් පුපුර පුපුරා හිටි දේශප්‍රේමී ජනයා   මේ ආරංචිය ලැබී ප්‍රීතියෙන් පිනා ගියේය.

දැන් උදේ වරුවේ අධිරාජ්‍ය විරෝධී මහා උද්ඝෝෂනයට සහභාගී වී එන ගමන්  අතරමගදී බාගේ ටිකට් එකක් අරගෙන ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී චිත්‍රපටියක් වෙන මාතා ද බලා පොඩි උන්ටත් ගෙදර උන්දෑටත් කන්ට පාන් භාගයකුත් අර ගෙනම  ගෙදර ආ හැකිය.

උන් පාන් භාගය ගිලින්නේ කහට කෝප්පයේ පොඟවා දැයි අහන්නට සුනිල් ආරියරත්න මහාචාර්ය තුමාවත් නන්දක්කාවත් පලාතක නැත. සුනිල් සර් කුසපබා පෝලිමෙන් පන්නා ගෙන හෝ ගාලා දුවවනවාය. නන්දක්කා කිලී මහරාජා තුමා එක්ක ශ්වේත රාත්‍රිය ගයනවාය. ඈ ඒ කාලේ පැතු කේතුමතී රාත්‍රිය පහල වී ඇති නිසා දැන් ඈට මධුර ගී ගයන්නට හැකිය.අසන ජනයා පු‍ටු කබල් මත සීරුවෙන් ඉන්ට ඕනෑත් නැත.

ලංකාවේ සිටින දේශපාලකයින් අතරින් මොලේ හොඳටම තියෙනවා කියලා ෂුවර් එකම මිනිහා වන මුතුහෙට්ටිගම දහ අතේ කල්පනා කරේ මේ දේශප්‍රේමි වැඩේ ඉහලින්ම කරන්නේ කොහොමද කියලාය. උප ඇමතිකමක්වත් නැතිව වේලි වේලි ඉන්නා මේ ජීවිතේ කිසි ගතියක් නැතිය. ඒ හන්දා ලොක්කාට අල්ලලා යන විදිහේ වැඩක් කරන්ට ඕනෑය. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ 27දා රටේ ඉන්න කොල්ලෝ බල්ලෝ ඔක්කොම වැඩේට බැස්සොත් එහෙම තමන්ගේ වැඩේ දිස්නය නැතිව යනවාය.

ඒ නිසා තියෙනවා කියලා වෛද්‍ය සහතිකෙකුත් ලැබී තිබෙන මොලේ කල්පනා කර උන්නැහේ 26 වෙනිදාට වැඩේ කරන්ට තීන්දු කලේය. තනියම ලකුණු දාගන්ට හිතාගෙන කල වැඩේ ජෝන් බාස්ට ගිය බව තේරුනේ  වීරක්කොඩි තුමා විතරක් නෙවේ මහ ඇමතියාත් ඇවිත් එල්ලී ඉන්න හැටි දැක්කාමය.

ඒ විතරක් නෙවේ නාරම්මල පැත්තේ තවත් කබ්බෙක්ද 26 වෙනිදාම වැඩේ පටන් අරගෙන බව දැකපු මුතු මෙදා පොටෙත් උප ඇමති කට්ටක්වත් නොලැබෙන බව තේරුම් අරගෙන සද්ද නැතිව ගෙදර ගියේ ඔබාමාට ඕනෑ රෙද්දක් කර ගත්තාවේ කියලාය.

මහින්ද රාජපක්ෂටත් වඩා හොඳ මහින්ද කෙනෙක් වෙන්ට පුලුවන් යැයි හිතා හිටින සජිත් ප්‍රේමදාසට මල පැන ඇත්තේ තමන් ජිනීවා නොයවපු එක ගැනය. බැරිවෙලාවත් යැව්වා නම් හෙම ජීනිවා විතරක් නොව ස්විට්සර්ලන්තේ නියම් ගම් පවා ගම් මට්ටම්, බිම් මට්ටම් ,තම්මැට්ටම් කරනවා ෂුවර්ය.

සජිත් විතරක් නොවේ විමල් මල්ලී හා චම්පික අයියාත් ජිනීවා නොයවපු එක ගැන තරහ වෙලා වගේය. දෙන්නාම ඊයේ හවස ප්‍රවෘත්ති සාකච්චාවටවත් ආවේ නැත.

සමහර විට විමලේ මලයා අද කඩුවෙල උද්ඝෝෂනේට  ගේන  ඉංජිනේරු සංස්ථාවේ කට්ටියගේ නිවාඩු අනුමත කර කර හිටියාදැයි දන්නේ නැත.

ඔව්වා ගැන වැඩිපුර හිතලා ඔලුව නරක් කරගන්ට හොඳ නැත. අපිටත් තියෙන්නේ එතුමාලා එක්ක ගිහින් පාරක් අයිනට වෙලා මානව හිමිකම් භංගවේවා කියලා කෑ ගහලා , දෙන දෙයක් කාලා බොන්ඩ දුන්නොත් ඒකත් ෂැන්ඩි නැතිවම බීලා,   කෙල පාරක් ගහලා බ්‍රිස්ටල් එකක් පත්තු කරගෙන හෙමිහිට පයින්ම ගෙදර එන්ටය. අර කලින් කිව්වා වගේ පාන් භාගයකුත් අරගෙන මාතා චිත්‍රපටියත් බලලාම එන්ටය.එච්චරය

– හලෝ මේ පොලිස් හදිසි ඇමතුම් අංශයද?

-ඔව් මොකක්ද ප්‍රශ්නය

– අනේ මහත්තයා …මේ අපේ ගෙදරට ලොකු ගැරඬියෙක් ඇවිත්..

-ඉතින් මොකක්ද අපිට කියන්නේ..?

-මට.. මූව එලවගන්න තමා….මහත්තයාලට කතා කලේ

-මිනිහෝ 119 තියෙන්න ගැරඬි එලවන්න නෙවි. ඕකාට භූමිතෙල් ටිකක් ගහපිය

යකෝ භූමිතෙල් ගන්න සල්ලි නැති නිසා තමයි මම 119ට කතා කලේ

 -∞«Êψ¬Σ‡-∞«Êψ¬Σ‡-∞«Êψ¬Σ‡

( මෙය මේ දිනවල ඊ තැපෑලේ හුවමාරු වන විහිලුවකි. කාගේ නිර්මාණයක්දැයි නොදනිමි)

නැවත වතාවක් මහා දේශප්‍රේමි සැණකෙලියක් ඇරඹී තිබේ.

රූපවාහිනි නාලිකවල ගිනි විසි වෙන දේශප්‍රේමි කතා ඇසේ. ගුවන් විදුලි නාලිකාවල උදේ සිට රෑ වන තෙක් දේශප්‍රේමී ,දේශාභිමානි ගී ඇසෙන්නේ   70 ගණන් වල වගා සංග්‍රාම කාලයේ දේශාභිමානි ගී ඇසුනාමෙනි. ඒ කාලයේ සිටි පාලකයෝ උන් බාසුමති හාලේ බත් කද්දී ජනතාවට මඤොක්කා කැවූහ. වෙනසකට ඇත්තේ දැන් පාලකයින් ජනතාවට කවන්නේ ඊනියා දේශප්‍රේමයේ  වස මිශ්‍ර කල පිදුරු වීමයි.

ආණ්ඩුව ලබන 27 දා මහා දේශප්‍රේමී අරගලයක් සඳහා  ජනතාව වීථි වලට කැඳවමින් සිටියි.  ඒ වෙනුවෙන් වැ‍ටුප් සහීත නිවාඩු, නොමිලේ ප්‍රවාහන පහසුකම් හා බාගෙට කුණු වූ බත් පැකට් පමණක් නොව අරක්කුද යහමින් සැපයෙනු ඇත.

ඒ කුමකටද?

27දා ජීනිවාහි ඇරඹෙන මානව හිමිකම් කොමිසම් සභා සැසිවාරයේදී ලංකාව මතට න්‍යෂ්ඨික බෝම්බයක් හෙලීමට යෝජනාවක් සම්මත කර ගනියිද? එසේ නැත්නම් ලංකාව සුනුවිසුණු කරන හමුදා මෙහෙයුමකට බටහිර බලවතුන් සූදානම් වෙයිද?

එසේත් නැත්නම් වීරවංශලාගේ මුකරි කටවලින් කියන පරිදි ලංකාවේ ජනාධිපතිවරයා ඇතුලු නායකයින් කුදාලාගෙන ගොස් එල්ලීමට හෝ විදුලි පු‍ටුවේ යැවීමට පිඹුරුපත් සැකසෙමින් තිබේද?

මේ සියල්ලටම පිලිතුර නැත යන්න බව අපිටත් වඩා හොඳින් දන්නේ රාජපක්ෂලා හා වීරවංශලාය. ආර්ථික ක්ෂේත්‍රයේ ඔවුන් කියන ඕනෑම දෙයක් දෙකට නැමී පිලිගන්නා රාජපක්ෂලා එලවීමට බටහිර බලවතුන්ට කිසිම උවමනාවක් නැත.

මේ ජිනීවා සමුලුවේ සිදු වෙන්නට යන්නේ , ශ්‍රී ලංකා ආණ්ඩුව  විසින්ම පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසංස්කරණ කොමිසම විසි න් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඒ ආණ්ඩුවෙන්ම ඉල්ලීමයි. ඒ හැර ආණ්ඩුව පෙන්වීමට උත්සාහ දරන අන්දමේ මහා කුමණ්ත්‍රනයක් නැත. නමුත් ආණ්ඩුවට අවශ්‍ය එවැන්නක් කර ගැනීමට හෝ අඩුම තරමේ එවැනි කුමන්ත්‍රණයක් ඇති බවක් මෙරට ජනයාට පෙන්වීමටය.

මේ මහා දේශප්‍රේමි වලිප්පුව ඒ වෙනුවෙනි.

ආණ්ඩුවේ ඉහල සිට පහල දක්වා දෝරේ ගලන්නා වූ දූෂණය, වංචාව හා නාස්තියත් කළමනාකරණයේ නොහැකියාවත් නිසා දිනෙන් දින අගාධයට යන්නා වූ ආර්ථිකය හමුවේ නැග එන ජනතා විරෝධය  යටපත් කර ගැනීම සඳහා මේ අසමත් ආණ්ඩුවට වෙන විකල්පයක් නැත. ඔවුන් දන්නේ එපමණකි. දේශප්‍රේමය අලෙවි කිරීම පමණි.

මේ මානව හිමිකම් සභාවාරය එනතෙක් ආණ්ඩුව බලා සිටියේ නො ඉවසිල්ලෙනි. ඒ අන්කිසිවකට නොව එයට මුවා වී ඉතිහාසයේ කවර කලකටත් වඩා වූ ප්‍රතිශතයකින් ඉන්ධන මිල වැඩි කර ගැනීමටය. විදුලි මිල ගෑස් මිල වැඩි කර ගැනීමටය. හරියට කල් යල් බලා ජිනීවා සමුලුවට දින කිහිපයක් තියා මිල වැඩි කලේ  එබැවිනි. එවිට එම මිල වැඩි කිරීමට එරෙහි වන ජනතා හඬ විදුලි පු‍ටු හා කුමන්ත්‍රණ ගැන ගල් පැලෙන බේගල් කියා යටපත් කල හැකි බවට හොඳ හැටි ගනන්  බලාගෙනය.

එම නිසා මේ 27දා ජනතාව පාරට බැසීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පමණක් නොව ජනතාවද පල් මෝඩයන් බව නැවත වතාවක් ඔප්පු වීමයි. ඒ හැර  අන් දෙයක් නැත.

ලබන සතියේ ජීනිවා මානව හිමිකම් කොමිසම ‍රැස්වෙන්නට තිබෙන අතරේ මේ සතියේදී ආණ්ඩුව ජාත්‍යන්තරව මාර පරාජයන් දෙකක්ම ලැබුවේය.

ආණ්ඩුව විසින් පසුගිය දවස් වල මහත් සේ උඩ දමමින් අගය කල ශවේන්ද්‍ර සිල්වාට ලැබුනු එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා කටයුතු පිලිබඳ උපදේශක කොමිටියේ සාමාජිකත්වය එහි ආරම්භක ‍රැස්වීමේදීම අහෝසි කර දැමීම ඉන් පලමු වැන්නයි.

මෙයින් අන්ද මන්දව සිටින ආණ්ඩුවේ හො‍රැනෑ මේ ගැන  ජනතාවට  කියන්නෙ මොනවාදැයි තවමත් කල්පනා කරමින් සිටින බවක් පෙනේ.

ඒත් සමග සිදු වූ අනිත් පරාජය නම් ආණ්ඩුව විසින් වසර දෙකක් තිස්සේ සිර කරගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවෙකු බවට පිලි ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කිරීමයි.

මෙම තත්වය තුල පෙනී යන්නේ 27 දා ආරම්භ වෙන මානව හිමිකම් කොමිසම් සභා වාරය ශ්‍රී ලංකාවට ගුණදායක නොවන බවයි.

රොබර්ටෝ බ්ලේක් පසු ගියදා ශ්‍රී ලංකාවටම පැමිණ ප්‍රසිද්ධීයේ ම කියා සිටියේ එයයි.

දැන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යමින් ෆොන්සේකා ප්‍රමුඛ ද්‍රෝහීන් කල  දේශද්‍රෝහි ක්‍රියාවට බැට දීම සඳහා වීරවංශලා හෙට අනිද්දා වේදිකා මත තප්පුලද්දි ගුනදාස අමරසේකරලාට  බටහිර කුමන්ත්‍රණ ගැන කියමින් නැවත වතාවක් පත්තර පි‍ටු ගනන් ලිවිය හැක.

ඉන්ධන මිල ඉහල දැමීමත් ඒ සමග ජීවන වියදම අහස උසට නැගීමත් නිසා ශීඝ්‍රයෙන් පිරිහෙන තම ජනප්‍රියතාව මෙම සිදු වීම් උපයෝගි කරගෙන රඳවා ගන්නට එම කුලී කරුවන් යොදා ගෙන ආණ්ඩුව උත්සාහ කරනු ඇත.

මේ ආණ්ඩුව සෑම විටම කලේ එයයි. ජාත්‍යන්තර වශයෙන් එන බලපෑම් රාජ්‍යතන්ත්‍රික මට්ටමින්  විසඳා ගන්නවා වෙනුවට එම සිදු වීම් රට තුල බාල ජනප්‍රියතාව ඇති කර ගැනීම සඳහා භාවිතා කිරීමයි.

මේ තාක් කල් එය යම් පමණකට  හෝ සාර්ථක වූයේ යුද ජයග්‍රහණයේ රස්නයත්  ඒ නිසාම ආර්ථික අමාරු කම් කෙසේ හෝ පිරි මහගැනීමට ජනයා කැප වීමත් නිසාය.

එහෙත් දැන් තත්වය වෙනස් වෙමින් තිබේ.

වීරවංශලා කොතරම් මොර දුන්නත් යුද ජයග්‍රහණ වේගයෙන් අතීතයට ඇදී යමින් පවතී. එසේම දීනෙන් දින වැඩි වන ජීවන බර දැනටම දරා ගත නොහැකි මට්ටම පැන ඇත. ඒ අතර තත්වය තවත් අමාරු කරමින් නෙලුම් කූලුනු වලට ප්‍රමුඛත්වය ලැබෙන්නේ ගම්බද පාසැල් සිය ගනනින් වැසී යද්දීය.රටේ මුලු මහත් ජනතාවම දේශප්‍රේමි ඇස් බැන්දුම් වලින් ‍රැවටිය හැකි මෝඩයන් නොවන බව ලඟ ලඟ දෙවතාවක්ම මේ රටේ ජනයා පෙන්වා තිබේ. ඒ විශ්‍රාම වැ‍ටුප් පනත් අරගලයේදී හා හලාවත ධීවර සටනේදීය.

ජීවන වියදම වෙනුවෙන් ඉදිරියේදී සටන් අනිවාර්ය වෙනු ඇති  අතර විශ්ව විද්‍යාල සේවකයෝ ඊයේ සිටම සටනේය.

ඒ අනුව ඉදිරි කාලයේ ආණ්ඩුවට බාහිර හා අභ්‍යන්තර වශයෙන් පෙරමුණු දෙකක සටන් කිරීමට සිදු වනු ඇත.

ජාත්‍යන්තර තලයේදී ආණ්ඩුවේ හැසිරීම නරක් වුවහොත් සම්බාදක පැනවීමක් දක්වා ඔවුන් යා හැකි අතර එවිට රට ඇතුලත සටනද වේගවත් වනු ඇත.

අනිත් අතින් අභ්‍යන්තර සටන්   මත මර්ධනය දියත් කලහොත් , එවිට නැවත වතාවක් ජාත්‍යන්තරය තුල ආණ්ඩුව හුදකලා වනු ඇත.

ආණ්ඩුවේ හා රාජපක්ෂලාගේ පාලනය රඳා පවතිනු ඇත්තේ මෙම පෙරමුණු දෙක තුලම ඔවුන් කොතරම් රාජ්‍ය තාන්ත්‍රික ලෙස හැසිරෙනවාද යන්න මතය.

දැනට පෙනෙන්නට තිබෙන ආකාරයට නම් ඔවුන්ගේ හැසිරීමට දිය හැක්කේ ලකුණු බිංදුවකි.