Archive for June, 2010

 
“අඩෝ  , එකෙක් හෙල්ලෙන්න එපා අරිද? මේ සිරිපාලයා එක්ක සෙල්ලන් බෑ.තොපි කසියා ගහනවා නේද?  තොපි දන්නවද අපේ ලොක්ක බීමට විරුද්ධයි කියලා . කොම්පැනියේ ලොක්කම තමා ඩෝ මාව මෙතෙන්ට එව්වේ අරිද? “
 
මුහුදේ බැහැලා මුහුදු වැලි ගොඩ දාලා අහක් වෙලා හැන්දෑවේ හීතල යන්ට කසියා බෝතලයක් ගහ ගහ හිටපු වැලි වාඩියේ එව්වෝ බැලුවා අම්මට උඩු මේ මොකාද කියලා. අර ඉස්පිටිතාලේ කන්කානි  වැඩේ කරලා, බෙහෙත් පන්නල මාට්ටු වෙලා රස්සාවට කෙලවගත්ත  බඩ සිරිපාලයාවත් වැලි වාඩියේ ලොක්ක කරලා එවලද කියල කට්ටියට හීන්  දාඩියත් දැම්මා. ඒ උනාට දෙයියන්ගේ පීටයි, මෙන්න ඉටගෙන ඉන්නවා,  නැඩ පොරක්. බුරුසු රැවුල, නො 1 තලේ දාලා කොන්ඩෙ මට්ටේ   වෙන්ඩ    කපලා. සරමත් කැහ පොට ගහගෙන .
 
” මොකද ඩෝ බලා ඉන්නේ. මම තමා උඹලාගේ අලුත් බොස්.  මම ඉස්සර ඉඳන් ම  ඔඳ අයියා කෙනෙක් .  ගංජා විමලයයි මායි ඉස්සර එක පතේ කාපු එවුන් අරිද ඩෝ? ගංජා විමලයටත් කලින් ඩෝ මම කෑ පතේ පැහැරුවේ.   ඒ දවස් වල ගම්පහ පැත්ත සරෙන්ඩර් කරගෙන ඉටියේ මම තමා . මම මැරෙන්නේ නැති සිංහයෙක් අරිද . ?”
 
“ආ සිරිපාල අයියා , එන්ඩ , එන්ඩ, වාඩි වෙන්ඩකෝ     , ගහමු පොඩි ෂොට් එකක් . ගහන ගමන් කතා කරමුකෝ, අයියා. ” වැලි වාඩියේ වයසකම බුවා තට්ට පියදාසයා හෙමීට කිව්වා.
 
” අයියා??? අඩෝ  කොහොමද ඩෝ මම උඹට අයියා වුනේ . අපේ තාත්තා උඹලගේ ගෙවල් පැත්තේ ගිහින්ද? මට මහත්තය කියපල්ලා , තේරුනාද? “
 
” අරි සර් , අරි දොරේ , ඔයා වාඩි  වෙන්ඩකෝ . සුමනේ , ගනින් බන් වීදුරුවක් අපේ දොරේට . ඒයි , උඹ මොකද ඔතන  උගුඩුවා වගේ බලා ඉන්නේ පල, පල ගිහින් අර පෙරේරාගේ බේකරි   කඩෙන් අරන් වර හපන්ට මොනවත්”
 
” සල්ලි?”
 
” දාපිය කොම්පැනියේ ගානට . අපි ගහමු දොරේ එතකන්  , ගන්ට “
 
” ගමු , ගමු. හික්ස් .ඒයි , උඹල  දන්නවද ,අපේ කොම්පැනියේ ලොක්ක මගේ ලඟම හිතවතෙක්, ඒකයි මාව මෙතෙන්ට එව්වේ. උඹල ගැන බලාගන්න. මට තව තැන් දෙක තුනක් ම බලාගන්න දීල තියෙන්නේ අපේ ලොක්කා.”
 
” ඒ මොනවද බොස්”
 
” යකෝ ඇඹිලිපිටියේ ටවුමේ පරණ පත්තර කඩෙත් බලා ගන්නේ මම තමා ඩෝ. තව කොච්චර තීනවද? මට දවසේ   පැය24  මදි ඩෝ වැඩ කරන්න . අපි මේ වැලි වාඩියත් නග්ගලා ගන්ට ඕනේ අරිද? ?  පුල් ගේමක්  දෙන්ට ඕනේ.   උඹලටත්  පැය දවසට 20, 30 වැඩ කරන්ට වෙයි මම වගේ අරිද? හික්ස්”
 
ෂොට් දෙකක් දාන්ට උනේ නැහැ. මෙන්න තව ගෝතයෙක් කඩන් පාත් වෙච්චි. 
 
“ආ , මොංගල් සිරිපාලය , උඹ කලින්ම ඇවිත් නේද ” කියාගෙන.
 
මිනිහා දැක්ක විතරයි සිරිපාල ගේ මූණ ඇඹුල් උනේ අරියට නිකම් ගොරක බේසමක් තනියම කාපු ගානට.
 
” ආ ගුණසේකර මල්ලි . ඔහේ  මොකෝ මෙහෙ. ?” සිරිපාලයා අහපි.
 
” කවුද බොස් ” තට්ට පියා හෙමීට සිරිපාලගෙන්     ඇහුවා.
 
” මේ හාදය අපේ කොම්පැනියේ ලොක්කගේ දුර නෑයෙක් වෙන එකෙක් . මං ළඟ වැඩ පුරුදු වෙන්ට එවල, ලොක්ක මගේ යාලුවනේ. හික්ස් “
 
” මිනිහා අපිත් එක්ක වැලි ගොඩ දායිද බොස්? “
 
” උඹට පිස්සුද ඩෝ? මිනිහා ලොක්කගේ නෑයෙක් නේ.හික්ස්.  මං මිනිහා තියා ගන්නවා මගේ පොත් පත් වල වැඩ ටික කරන්ට . ඉඳා දාගනින්. “
 
” මට ඇති . බොස්”
 
” මටත් ඇති, ගුනේ මලයා මං යනවා පොඩ්ඩක් ඇල වෙන්ට . ඒයි පියදාස කෝකද බන් මගේ කුඩාරම. “
 
” දොරේ , ඔය ලොකු නිල් පාට කුඩාරම , ඔය ගහලා තීන්නේ බෝඩ් එක කන්කානි කියලා”
 
” හික්ස් ඒක දැක්කේ නෑනේ බොල. මං යනවා මලේ”
 
මෙන්න බොලේ සිරිපාලයාගේ  පස්සෙන් ගුනසේකරයත් කුඩාරමට රිංගුවා. ටික වෙලාවක් යනකම් පොඩි පොඩි කුණු කුණු සද්ද  කුඩාරම  ඇතුලෙන් ආවා.       මෙන්න  එක 
පාරටම    පිඟානක්  එලියට  විසි  උනා.  දඩ  බඩ  ගාල  සද්ද  ඇහෙන්න  ගත්තා ඇතුලෙන්,  අමු තිත්ත කුණු හරුපත් එක්ක. වැලි වාඩියේ කට්ටිය ටික වෙලාවක් බලා ගෙන හිටියා.   එන්ට එන්ටම සද්ද වැඩි වෙනවා.   වලං   මුට්ටි එලියට    විසි වෙනවා. ටිකකින් කිසිම සද්දයක් නැතිව ගියා.
 
පියදාසයියා හෙමීට කෙඳිරුවා.
 
” සුමනයෝ. පල ගිහින් බලාපිය මුං දෙන්න කපෝතිය ගහලද කියලා”
 
සුමනයත් හෙමිහිට ඔලුව ඇතුලට දාලා බැලුවා.හපොයි දැක්ක දේ. කපෝතිය ගහලනම් තව හොඳා
 
වැලි වාඩියේ ලොක්කගේ ගෝලයා වෙන්ට ආපු ගුනසේකරයා බූරු ඇඳේ වාඩි වෙලා ඉන්නවා. ලොක්කා  වෙන්ට ආපු සිරිපාලයා  ඌ ළඟ   දන ගහගෙන වැඳ ගෙන ඉන්නවා.  ඔලුව දානව දැක්ක ගුනසේකරයා   කෑ ගැහුවා.
 
” මොනවද ඩෝ බලන්නේ , මෙහෙ වර”
 
අනේ සුමනයත් බලු කුක්ක වගේ ඇතුලට ගියා.
 
” අද ඉඳල මේ කුඩාරම මගේ . පල ගිහින් ගලවපිය අර කන්කානි කියන බෝඩ් එක මේ කුඩාරමෙන්. ගහපිය ලියන මහත්තයා කියලා.”
 
” ඔඳයි දොරේ ” කියපු සුමනයා එලියට ආවා. බෝඩ් එක ගලවලත් බැහැ. නොගලවත් බැහැ. ඌ පොලොව අහස ගැට ගහන්න වගේ කල්පනා කොර කොර ඉන්නකොට මෙන්න සිරිපාලයත් ආපි එලියට.
 
” දොරේ මං මොකද කරන්නේ ” සුමනයා උගෙන් ඇහුවා. වාඩියේ අනිත් එවුන් කටවල්    ඇරගෙන බලං ඉන්නවා.
 
” උඹට ගලවන්න කිව්වනේ . ඉතින් ගලවපන්” සිරිපාල ලොක්කා කිව්වා.දැන් නම් නිකම් බලු සිංහයෙක් වගේ.
 
” එත කොට දොරේ නිදා ගන්නේ කොහෙද”  තට්ට පියා ඇහුවා.
 
” මම ඔය එළියෙන් බූරු ඇඳක් වත් දා ගෙන ඉන්න බැරිය. අපේ ගුනේ මලයා මං වගේද , ලොක්කගේත් නෑයෙක් නොව. ” සිරිපාලයා කෙඳිරි ගෑවා.
 
එදා රෑ එළියෙන් බූරු ඇඳන් කෑල්ලක් දාගෙන නිදා ගත්ත සිරිපාලයා එළිවෙන කොට අතුරුදහන් වෙලා . එදත් එදයි වැලි වාඩියේ උන් තාම සිරිපාලයා ඇහැට දැක්කේ නැහැ.
 
අද උදේ පාන්දරත්  අර පිස්සු පූසා පත්තරයක් ගෙනත් ගෙයි පිල උඩින් දාලා ගොහින්.   අරගෙන   බැලුවාම 2012 ජුනි 28 පත්තරේ. හරියටම අදින් අවුරදු දෙකකට   පස්සේ දවසක්. ඇට මැස්සාත් දඩි බිඩි ගාලා කියවන්න ගත්තා.  මොන කියවිල්ලක්ද , හෙඩිම දැක්කා විතරයි ඇට මැස්සාට කලන්තේ දාලා වැටුනා. විනාඩි දහයකට විතර පස්සේ  සිහිය   ඇවිත්   ලිපිය කියවලා බැලුවා. මෙන්න බඩු.  කියවලාම බලන්නකෝ, කලන්තේ හැදෙන්නේ නැත්ද කියලා.
 
මැති ඇමතින්ට  පාන් , ජනතාවට හුලං.
 
මැති සබය පවත්වන දින වල මැති ඇමතින්ට එහිදී  ලබා දෙන ආහාර  අති සුඛෝපභෝගී ආහාර වට්ටෝරුවක්  ඊයේ පුවත් පතක පල වීමත් සමග ජනතාව තුල මහත්  කැළඹීමක්   ඇතී වී  තිබේ.  සමහර ප්‍රදේශ වල ජනයා වීදි වලට බැස උද්ඝෝෂණය කර ඇති  බවද වාර්තා වේ. දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම  සඳහා විදෙස් වලින්  ගෙන්නන  ආහාර පරිභෝජනය නොකරන ලෙස    සාමාන්‍ය ජනතාවට  උපදෙස් දෙන අයවලුන් මේ අයුරින්  මහජන  මුදලින්ම  අති  සුඛෝපභෝගී ආහාර ගැනීම ගැන ඔව්හු ඉමහත්  සේ  කිපී විරෝධතාවයන්ට එක්ව සිටියහ. 
 
මැති ඇමතින්ට ලබා දෙනවා යයි කියන ආහාර වට්ටෝරුව අප එම පුවත් පතින් උපුටා පල කරමු.
 
 උදේ ආහාරය සඳහා
 
පාන් පිටි ඉඳි ආප්ප පහයි  
කිඹුලා බනිස් එකයි
කිරි තේ එකයි
 
දිවා අහාරය සඳහා
 
 පාන් පෙති දෙකයි ( මීට අමතරව ඇතී තරම් පාන් පෙති එකක්  රුපියල් 75   බැගින්  ගත හැක.)
සැමන් මාළු  කෑලි එකයි හොදි සමග
කැරට් සම්බෝලයක්
 
සටහන- අප රටේ ජන හිතකාමී මැති ඇමතිවරුන් මෙතරම් කාම සුඛල්ලිකානු ජීවිතයක් ගත කරනු ඇති අප නොසිතමු. ඔවුන් මෙතරම් මිල අධික ආහාර ගන්නේ යැයි අප කිසිසේත් විශ්වාස නොකරමු.   අප පුවත් පතේ මේ සටහන පල කරන්නේ රටේ උද්ගතව ඇතී තත්වයක් පිළිබඳව වාර්තා කරනු සඳහාම පමණි.එසේ නැතිව අප ජනහිතකාමී මහජන නියෝජිතයන් අපහසුතාවකට පත් කරනු සඳහා නොවේ.
 
 

පිටි මිල වැඩි කළා මදි

 තව රුපියල් දහයකින් වැඩි කරලා

 ගොයියාට නිසි තැන දිය යුතුයි

කිව්වාලු ආරියශීල උන්නැහේ

 ගොවීන්ගේ වී ටික කුණු කොල්ලෙට මංකොල්ල කන

පොළොන්නරුවේ ඇමති බානට කිව්වානම්

සහතික මිලට වී ටික ගන්න

 ගොයියාට නිසි තැන ලැබෙනවා සිකුරුයි

ඩෙංගු මදුරුවන් මර්ධනයට කියුබාවෙන් බී ටී අයි බැක්ටීරියාව ගෙන්වීමට යෝජනා වෙන්නේ දැනට වසරකටත් පෙර සිටය. නමුත් මේ දක්වාම එය යතාර්ථයක් බවට පත්ව නැත. පසු ගිය වසර පුරාවට බලධාරීන් වරින් වර මාධ්‍ය ඉදිරියට පැමිණ බැක්ටීරියාව ගෙන්වන දිනය පිළිබඳව අනාවැකි කියමිනුත්, පමාවට හේතු දක්වමිනුත් සිටියහ.

බැක්ටීරියාව තව මාසයකින් ගුවනින් ගෙන්වන බව එක් දිනෙක පවසන ඔව්හු තවත් දිනෙක කියන්නේ සති දෙකකින් නැව් මගින් ගෙන්වන බවය. ඊ ළඟ සතියේ සබ්මැරීනයකින් බැක්ටීරියාව එන බව කියා දින දෙකකට පසු සති තුනකින් බැලූන් මගින් හෝ රොකට්ටුවකින් හෝ එය ගෙන්වන බව පවසමින් සිටියහ.

මේ අතර තව එකෙක් පැමිණ බැක්ටීරියාවකින් මෙරට පරිසරයට හානි සිදු විය හැකි බැවින් ඒ ගැන පරීක්ෂණ කරන තෙක් ගෙන්වීම පමා කරන බවත් එතෙක් අප ඉවසා සිටිය යුතු බවත් පවසයි. ( ඇත්තටම ඒ අනුව අප ඉවසා සිටිය අතර එසේ ඉවසා නො සිටියේ ඩෙංගු මදුරුවන් හා උන් නිසා රෝගයට ගොදුරුව මිය ගියවුන් පමණි.)

බී ටී අයි බැක්ටීරියාව ගෙන්වීමට තීරණය කල දිනවල මදුරු දඟර සමාගම් වල නියෝජිතයන් සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තේ කැරකුණ බවක් ද ආරංචි විය. ඒ ආරංචි   වල ඇත්ත නැත්ත කුමක් වුවත් පසු ගිය වසරක කාලය තුල රෝගය වැළඳී සිය ගණනක් මිය ගිය අතර තවත් දහස් ගණනක් රෝගී වුහ. ( ඩෙංගු රෝගයේ ඇති විශේෂත්වයක් නම් වරක් රෝගය වැළඳුනු අයෙකුට වුවත් නැවත රෝගය වැළඳීමට ඇති ඉඩයි. එපමණක් නොව දෙවෙනි වතාවට රෝගය වැළඳුන විට ජීවිත අවදානමද බෙහෙවින්ම වැඩිය. )

දැන්  නැවතත්   බී ටී අයි ගැන කතාව කරලියට පැමිණ ඇත. වහාම බැක්ටීරියාවට ගෙන්වීමට කරන අණ දසතින් ඇසේ. මෙතෙක් කල් එපා වී සිටි බැක්ටීරියාව හදිසියේම අවශ්‍ය වී ඇත. ගහෙන් ගෙඩි එන්නක් මෙන් අපේ බලධාරීන්ට රෝගයෙන් මිය යන පොදු ජනතාව ගැන මානව ප්‍රේමයක් පහල වීද? කරනවා යයි කියූ පරිසර සමීක්ෂණ පරීක්ෂණ අවසන් ද? මේ ආදී වසයෙන් කල්පනා කරමින් සිටින විට කණ වැටුණු , ඇස ගැටුණු පුවතකින් සියල්ල පැහැදිලි විය.

එම පුවතින් කියවුනේ මුලික ගෙවීමකින් තොරවම බැක්ටීරියාව අපට ලබා දීමට කියුබාව එකඟ වී ඇති බවයි. ( අහා, මොන තරම් හැර බර වචනද? ) . මේ වචන තේරෙන භාෂාවෙන් කිවහොත් , කියුබාව අපට ණයට බැක්ටීරියාව දීමට කැමති වී ඇත.

ආසියාවේ ආශ්චාර්යන් ගැන , විශ්මයජනක ආර්ථික වර්ධනයන් ගැන , පම්පෝරි ගසන අපිට ජනතාව ඩෙංගු මරණයෙන් මුදා ගැනීමට අවශ්‍ය මුදල් නැත. කියුබාව ණයට දෙන තෙක් බලා සිටීමට සිදු වුයේ ඒ නිසාය.

නමුත් රෝග මර්ධනයට නැති මුදල් රුපියල් කෝටි සිය ගණනක් අයිෆා වෙනුවෙන් අපි වියදම් කළෙමු. ඩෙංගු රෝගයෙන් කීප සියයක් මිය ගියත් මක් වේ ද ආශ්වාර්යා රායි  සමග එකට ඉඳ ඡායා රූපයක් ගැනීමට ලැබේනම්. ( කරුමෙට ඒකි ආවෙත් නැත) .

කියුබාව ණයට බැක්ටීරියාව දීමට එකඟ නිසා ඩෙංගු රෝගයෙන් මිය යාමට නියමිතව සිටි අපේ රටේ ජනතාවට යම් තරමක සහනයක් ලැබෙනු ඇත. කියුබාව සමග ගනු දෙනු වලදී කොමිස් ලැබේ දැයි  සැක සහිත බැවින් මෙය කොතරම් දුරට සාර්ථක වේ දැයි දැන්ම කිව නොහැක. එහෙත් එක දෙයක් නම් ස්ථීර වශයෙන් ම කිව හැක. මේ යන යෑමේ හැටියට දහසක් ආර්ථික  සම්බාධක   මැද  තම ආර්ථිකය දුවවන කියුබාවෙන් පමණක් නොව දරිද්‍රත්වයේ පත්ලේ ගිලී සිටින ඉතියෝපියාවෙන් හා සෝමාලියාවෙන් පවා ණයට ගැනීමට සිදු වන දිනය නම් වැඩි ඈතක නොවේ.

 
පසුගිය වසරේ අවසන් වූ යුද්ධයේ ගෞරවය තමන්ට හිමි විය යුතු යැයි අති ගරු උතුමාණෝ පවසති. ඒ බව සනාත කරනු වස් අපූරු උපහැරණ ද  ගෙන දක්වති.
 
පසු ගිය දාක විදෙස්  රූපවාහිනී   චැනලයක්  සමග  පැවති සාකච්චාකදී එතුමාණෝ පැවසුයේ ටජ්මහලය ගොඩ නැගු පුද්ගලයා  ලෙස පොත් වල නම සටහන් වී ඇත්තේ ෂා ජෙහාන් රජුගේ මිස  එය ඉදි  කල   පුද්ගලයන්ගේ  නොවෙන  බවයි .   ඒ   අනුව  මේ යුද්ධය  කෙරූ  පුද්ගලයා ලෙස  එහි  ජයග්‍රහණයේ  ගෞරවය තමාට හිමි විය යුතු බවයි.  
 
මේ   අදහස   ගැන ලංකාදීපයට    ලියු ලේඛකයෙක් පැවසුයේ ටාජ්මහල ඉදි කලේ  ෂා ජෙහාන් ලෙස ඉතිහාසගත  වුවද , එය නිර්මාණය කල ශිල්පියාගේ අත් දෙක නැවත ඒ ආකාරයේ ඉදි කිරීමක් කල නොහැකි වන ලෙස ෂා ජෙහාන් රජුගේ නියමයෙන් කපා දැමු  බවද   ඒ අයුරින්ම ඉතිහාස ගත වී ඇතී බවයි. 
 
  මේ ආකාරයෙන් සිතන පුද්ගලයන්ට හොඳ පිළිතුරක්  බර්ටෝල්ට්   බ්‍රෙෂ්ට් විසින් මීට අවුරුදු 70 පමණ ඉහතදී සපයා ඇත. අප හුදී ජන පහන් සංවේගය උදෙසා එය මෙසේ උපුටා දක්වමු.(කෙසේ නමුත් යුද්ධ වල ජයග්‍රාහකයින් ගැන අපගේ කිසිම උනන්දුවක් නැති බවද මේ සමගම සටහන් කර තැබිය යුතුය. )
 
 
-උගැන්මට කැමති කම්කරුවෙකු අසන ප්‍රශ්න-
 
දොරටු  සතක් ඇති තීබසය ගොඩ නැගුයේ කවුරුන්ද?
 
රජුන්ගේ නම් තිබේ පොත් වල ලියැවී
 
ඒ මහා කළුගල් කුට්ටි ඔසවාගෙන ගියේ රජුන්ද?
 
බොහෝ වතාවක් වනසනු ලැබූ බැබිලෝනියාව
 
නැවත නැවතත් ඉදි කලේ කවුරුන්ද?
 
රනින් බැබලුනු ලීමාව ඉදි කලවුන්  දිවි ගෙවුයේ 
 
මොන විදියේ නිවෙස් වලද?
 
චීන මහා ප්‍රකාරය බැඳ නිම කල සැන්දෑවේ 
 
එහි වැඩ කල පෙදරේරුවන් කොහි යන්නට ඇත්ද?
 
ජය ටැම් වලින් ශ්‍රේෂ්ඨ රෝමය පිරී ඇත.
 
කව්රුන් පරදාද සීසර්  ලැබු  ජයක්ද ඒ ?
 
ගීතයන් හි මහත් සේ වැනු බයිසන්ටියමේ
 
වැසියන් සිටියේ මාලිගා වල පමණක්ද?
 
තරුණ ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ජයගති
 
ඔහු සිටියේ තනියමද?
 
සීසර් ගෝල් වරුන් පැරදවීය
 
ඔහු සමග කෝකියෙක්වත් නොසිටියේද?
 
තම නැව් හමුදාව ගිලුණු විට 
 
ස්පාඤඤයේ  පිලිප් රජු වැලපිනි .
 
එදින වැලපුනේ ඔහු පමණක්මද  ?
 
දෙවැනි ප්‍රෙඩ්රික් සත් අවුරුදු යුධය දිනිය.
 
වෙනත් කවුරුන්ද ඒ යුධය දිනුවේ.?
 
සෑම පිටුවකම ජයග්‍රහණයකි
 
කවුරුන්ද ජයග්‍රාහකයින්ගේ අහර පිසුවේ?
 
සෑම දස වසකට වරක් මහා පුරුෂයෙකි
 
කවුරුන්ද ඒ වෙනුවෙන් ගෙවනු ලැබුයේ?
 
බොහෝ සිද්ධීන්
 
බොහෝ ප්‍රශ්න
 
  –  බර්ටෝල්ට්   බ්‍රෙෂ්ට්-

2010 ක් වූ ජූනි මස 18 වැනි දින පැවත් වූ කේතුමති රාජ්‍යයේ  නව නිදහස් උත්සවයට සහභාගි වීම සඳහා  රජයේ සේවකයින්ට ලබා දුන්  නිවාඩුව ලබා ගෙන ඊට සහභාගි නොවී ඔවුන්එදින වෙනත් කටයුතු වලට සහභාගී වී ඇති බව දැනගන්නට ලැබී ඇත.මෙම නිවාඩුව අති ගරු උතුමානන් විසින් ලබා දුන්නෙ අදාල සන්දර්ශනය පැමිණ හෝ නිවසේ සිට රූපවාහිනි  මගින් හෝ නරඹනු සඳහා බැවින් එසේ නොකිරීම බරපතල වරදකි.
එම නිසා සියලුම සේවකයින් 2010 ජූනි 21 දින සේවයට වාර්තා කරන විට තමන් එම උත්සවය නැරඹූ බවට ප්‍රදේශයේ ග්‍රාමසේවකගෙන් සහතිකයක්  ‍රැගෙන ආ යුතුය. තම නිවසේ සිට රූපවාහිනියෙන් උත්සවය නැරඹූ අය , නිවසේ රූපවාහිනියක්  ඇති බවට ගෘහ මූලිකයා ගෙන් ලිපියක් ද ඉදිරිපත් කල යුතුය. එසේ කිරීමට අපොහොසත් වන අයගේ මසක වැ‍ටුප කපාගනු ලැබේ.

එසේම ඔවුන් ඇත්ත වශයෙන් ම උත්සවය නැරඹුවේද යන්න සහතික කර ගැනීම සඳහා  ජූනි මස 22 දින සියලු රජයේ සේවකයින්ට උත්සවය පිලිබඳ ප්‍රශ්න පත්‍රයකට පිලිතුරු දීමට සිදු වනු ඇති අතර සියලු දෙනා 60% වැඩියෙන් ලකුණු  ලබා ගත යුතුය.

( ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්  පහත දැක්වේ)

1. උත්සවයට සහභාගි වූ අහවල් තුමාගෙ බිරිය ඇඳ සිටි සාරියෙ වර්ණය කුමක්ද?
2. එම උත්සවයට අහවල් තුමා සහභාගි වූයෙ තනිවමද , බිරිය සමගද? තනිවම නම් ඒ මන්ද?
3. අති ගරු පචායුද තුමා අසුන් ගෙන සිටියෙ කුමන පේලියේද? ඔහු සමග සිටියෙ කවුරුන්ද?
4. උත්සවයට පැමිණි  පි. මු පිනාරත්න තුමා පිලිගත්තෙ කවුරුන්  විසින්ද?

 

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත ගිවිසුම ජනාධිපතිවරයාවත් දැක නැතැයි ඊයේ පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී දේශිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් යයි කියා ගන්නා දත් දොස්තරෙක් වන වසන්ත බණ්ඩාර නැමැත්තා පැවසු බව ජාතියේ පචායුධයේ ප්‍රතිරූපය ( ඔහුට එහෙම එකක් තිබේද යන්න වෙනම සාකච්චා කල යුතු ප්‍රශ්නයකි) ගොඩ නැංවීමට පවත්වා ගෙන යන වෙබ් අඩවියක සටහන් වී තිබිණි. ඔහුත් සමග මේ සාකච්චාවට තවත් ජරපත් දත් දොස්තරෙක් වන ගුණදාස මරසේකර ද එක්ව සිට ඇත. )

මේ වසන්ත බණ්ඩාර නමැති පුද්ගලයා විමල් වීරවංශාගේ අග්‍ර පුරෝහිතයාය. විමල් වීරවංශ වත්මන් ජනපතිට තුන්වන වරටත් බලයට එම සඳහා ගෙන එන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් සළු පිලි ලිහා තබා අමු නිරුවතින්ම පෙනී සිටීම නිසා තමන් සමාජය තුල දැඩි පිලිකුලකට භාජනය වීමට ඉඩ ඇති බව හොඳාකාරවම දනී. නමුත් ඒ වෙනුවෙන් කල හැක්කක් නැත. තමන් විඳින සැප සම්පත් වෙනුවෙන් අද ඔහුට කොන්දේසි විරහිතව මහා රජු වෙනුවෙන් පමණක් නොව පුත් කුමරුවන් වෙනුවෙන්ද පෙනී සිටීමට සිදුව ඇත. ලජ්ජා විරහිතව නිරුවතින්ම පෙනී සිටීමට සිදුව ඇත. එවිට ඔහු සමාජය හමුවේ පෙන්වාගෙන සිටින මහාවීර භූමිකාව හැල්ලු වේ.

තමන් මොන තරම් කැප වීම් කර රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටියත් තමන්ගෙන් තව දුරටත් වැඩක් නැතැයි ඔවුන් තීරණය කළහොත් පස්ස පැත්තට පා පහරක් දී එලියට ඇද දැමීමට ඔවුන් පසු බට නොවන බවද වෙන කාටත් වඩා හොඳින් ඔහු දනී. මේ තත්වය තුල තමන්ගේ දේශපාලන ජීවිතය ආරක්ෂා කර ගැනීම ඔහුට මහා ගැටලුවකි. ( මේ තත්වය රාජපක්ෂ දේශපාලනය හා ගැට ගැසුණු සියලු දෙනා මුහුණ දෙන පොදු ගැටලුවකි) .

මෙයට මුහුණ දීම සඳහා වීරවංශ තෝරා ගන්නේ ඉන්දියානු විරෝධයයි.අද වසන්ත බණ්ඩාරලා හා අමරසේකර ලා හරහා එලියට එන්නේ එයයි. නමුත් මෙහිදී තවත් අලුත් ගැටලුවකට ඔවුන් මුහුණ පායි. ඉන්දියාවට හා සීපා ගිවිසුමට විරුද්ධ වුවත් සීපා ගිවිසුම තුලට ලංකාව රැගෙන යන රාජපක්ෂලාට එරෙහි වීමට නොහැක. එසේ කළහොත් ඉදිරියේ එල්ල වීමට නියමිත පා පහර ඉතාමත් ඉක්මනින් වැදෙනු ඇත. එවිට මේ විඳින සැප සම්පත් හැර දමා යාමට සිදුවේ. කොහේ යන්නද? (ගෙදර නම් යාමට නොහැක.) ඒ නිසා රාජපක්ෂලා බේරමින් ඉන්දියාවට පහර දිය යුතුව ඇත.

වසන්ත බණ්ඩාර ලා ට තමන්ගේ රෙදි ගලවා ගැනීමට සිද්ද වෙන්නේ මෙතනදීය. අති ගරු උතුමාණෝ මේ සීපා ගිවිසුම ගැන කිසිවක් නොදන්නා බවත් මෙය මෙරට රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුන්ගේ නින්දා    සහගත ක්‍රියාවක් බවත් වසන්ත බණ්ඩාර ලවා කියවා ගන්නේ මේ නිසාය. මේ පාපී ක්‍රියාව , රටේ ආර්ථිකය උඩු යටිකුරු කරන මේ සීපා ගිවිසුම ජනාධිපති වරයාටවත් නොපෙන්නා හැදු දුෂ්ට නිලධාරීන් පිරිසකි.( මේ රටේ නිලධාරීන් මෙතරම් බලවත් පිරිසක් බව සොයා ගත් මේ බණ්ඩාර හාමුය. ඒ පිළිබඳව උපහාර උත්සවයක් පවත්වා ඔහුට ජාතියේ උපහාරය පිදිය යුතුව ඇත.) ඔවුන් වහාම සිටුවා පස් ගැසිය යුතුය. අප විසින් අමාරුවෙන් හදාගත් මේ ආණ්ඩුව ආරක්ෂා කර ගත යුතුය. ජනාධිපති තුමාවත් අපේ ලොක්කා වන අපි විසින් ලංකාවේ චාවේස් යයි හඳුන්වා දුන් වීරවංශ තුමාවත් මේගැන හන්කවිසියක්වත් නොදනී. ඔවුන් අහිංසකයෝය. දත් දොස්තර කම් අත හැර ආණ්ඩුවේ කුණු රෙදි සේදීමේ කොන්තරාතුව අලුතෙන් බාර ගෙන සිටින මේ දේපල අපිට කියන්නේ එයයි. ( ඔවුන් වංශ හාමුගේ රෙදි සේදීම නම් දැන් කලෙක සිට කරගෙන යයි.) ඔවුන් සිතා ගෙන සිටින්නේ මෙරට ජනතාව ඔවුන් කියන ඕනෑම දෙයක් එලෙසින් අදහන මී ගව රංචුවක් ලෙසින් විය යුතුය. එසේ නැත්නම් ඔවැනි මෝඩ කතා කියන මේ දෙපල ගොන් බානක් විය යුතුය.

වීරවංශ හා එක්ව සිටින විට තමන්ට ලැබෙන වරප්‍රසාද වෙනුවෙන් මේ නහින දෙහින කාලේ ඕනෑම කුණු හරුපයක් කීමට තමන් සුදානම් බව ඔවුන් අපිට පෙන්වා දෙයි. (මේ බණ්ඩාර ස්වභාවයෙන් ම සැක සහිත පුද්ගලයෙකි. 1989 දී ලංකාවෙන් අතුරුදහන් වූ මේ පුද්ගලයා නැවත පැමිණෙන්නේ 2004 මහා මැතිවරණය ආසන්නයේදීය. මේ අතර කාලයේ ඔහු කලේ කුමක්ද යන්න පිළිබඳව බර පතල සැක සංකා පවතී. විශේෂයෙන්ම ජවිපෙ දෙකඩ කිරීමේදී ඔහු ඉටු කලේ ප්‍රධානතම කාර්යකි. සමහර විටෙක ඒ මුළු සිද්දියම ඔහුගේ සැලැස්මක් විය හැකි බවත් සමහරු සැක පහල කරති. )