Archive for April, 2010

 
ඇත්තටම මේ ආණ්ඩුවේ හැබෑ කෙරුමා කවුද? අපි වැඩි දෙනෙක් හිතාගෙන හිටියේ මේක රාජපක්ෂ ලාගේ ආණ්ඩුවක් නිසා ඒ ගොල්ලෝ තමා ආණ්ඩුවේ හැබෑ කෙරුමෝ කියලා . ඒ අයගෙනුත් මහින්ද මහත්තයා තමා ලොකුම කෙරුමා කියලා.මොකද එතුමා නේ ආණ්ඩුවේ ලොක්කා. ඒ අතරේ සමහරු කියනවා බැසිල්ට ඕනේ විදියට තමා ආණ්ඩුව කරගෙන යන්නේ කියලා. තව අය කියනවා හමුදාව පාලනය කරන නිසා ගෝටා තමා ලොක්කා  කියලා.
 
හැබැයි පහු ගිය දාක වීරවංස උන්නැහේ කරපු කතාවක් නිසා මේ ගැන පොඩ්ඩක් සැක හිතුනා . අපේ කාලයේ පහල වෙච්ච ශ්‍රේෂ්ටම දේශ ප්‍රේමියෙක් වන මුසාම්මිල් ගේ නම ජාතික ලැයිස්තුවෙන් කපලා ඒ වෙනුවට සරත් ෆොන්සේකාට කඩේ ගිය දේශද්‍රෝහියෙක් වන රජිව විජේසිංහගේ නම දැම්මා කියලා  එදා ජාතියේ පන්චායුදේ හොඳටම දෙහි කැපුවා සුසිල් ප්‍රේමජයන්ත මහත්තයාට. ඒ මදිවාට ඔලුව උදුම්ම ගන්න එපා කියලා තර්ජනයකුත් දාලා කියනවා ප්‍රේමජයන්ත සංධානෙ මහලේකම් උනාට ජානිපෙ මහා ලේකම් නෙවේ කියලා.පක්ෂෙට දීපු ජාතික ලැයිස්තු මන්ත්‍රී කමට ඕනේ කෙනා තෝරන්නේ පක්ෂේට ඕනේ විදියට මිසක් ප්‍රේම ජයන්ත මහත්තයාට ඕනේ  විදියට නෙවේ කියලාත් කිව්වා. ( මෙතැනදී පොඩි සැකයක් මතු වෙනවා ,එකක් නෙවේ දෙක තුනක්ම –  විමල්ගෙන් ඇහුවනම් දාන්න කියන්නේ ජාගොඩ නෙවේ මුසම්මිල් ද ? මොකද ජාගොඩ එක්ක තරහද? ඇය් ආණ්ඩුව කෝටි  තුනකට පයින් ගහපු මුසම්මිල් කපලා ජාගොඩ දැම්මේ ආදී වසයෙන්)
 
ඒ අනුව අපිට හිතෙනවා මේ ආණ්ඩුවේ ඉන්න ලොකුම කෙරුමා ප්‍රේම්ජයන්ත උන්නැහේ බව. මොකද එයා තමයි තමන්ගේ තනි මතේට මේ හුට්ටප්පර සේරම කරලා තියෙන්නේ. බලන්නකෝ එතුමා මොන තරම් බලවතෙක්ද කියලා පහලින් තියෙන ලැයිස්තුව කියවලා.
1. මුසම්මිල් කපා රජීව විජේසිංහ පත් කිරීම.
3. අහන්නේ නැතුව ජාගොඩ පත් කිරීම
4. විජමු , විශ්වා, මොහමඩ් , අනුරුද්ධ කැපීම .
5. ඕමල්පේ සොභිතව  කපා එල්ලාවල මේධානන්ද පත් කිරීම .
 
මේවා ඔක්කොම සුසිල් ප්‍රේම ජයන්ත ඇමති තුමා තමන්ගේ තනි මතේට කරපු වැඩනෙ. වීරවංස තුමා ඒ බව හොඳට දැනගෙන තමා කතා කරන්න ඇත්තේ . එතුමා ඒ බව නොදැන ඉන්න බෑනේ.එතුමා බොරු කියන්නෙත් නැහැ. කාටවත් බයත් නැහැ . ඉතින් මේ ජාතික ලැයිස්තු හුටපටේට වෙන කවුරු හරි සම්බන්දයි කියලා දැන ගත්තනම්  ඒ අයටත් ප්‍රේම ජයන්ත උන්නැහේට වෙච්ච් වැඩේ තමා වෙන්නේ. ඉඳල ඉවරයි. ජනාධිපති , බැසිල් , ගෝටා  කවුරු උනත් කමක් නැහැ අපේ විමල්ගෙන් බේරෙනවා බොරු.
 
නමුත්  මේ ආණ්ඩුවේ ප්‍රේම්ජයන්තටත් වැඩි ලොක්කෙක් ඉන්නවා කියලා මගේ අල්ලපු මේසේ ඉන්න    යාළුවා කියනවා. ඒ බන්දුල ගුනවර්දන , නව අධ්‍යාපන ඇමති තුමාලු. එතුමා අමාත්‍යන්සේ  වැඩ බාර ගත්තු දවසේ ඉසුරුපායේ ගහපු බැනර් එකක මෙහෙම තියනවලු  .
” පුරන්  වූ අධ්‍යාපන කෙත යලි අස්වද්දන වගයි. – බන්දුල ගුණවර්ධන ඇමති තුමාට අපගේ සුභ පැතුම් – ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය “
මේක අනුව ප්‍රේම්ජයන්ත ඇමති තුමාගේ කාලයේ ලංකාවේ අධ්‍යාපනය පුරන් වෙලා තිබුණු බව පිලි අරගෙන. අපි නෙවේ එතුමලාගේ පක්ෂේ ම ගුරු සංගමය. ඉතින් ප්‍රේම්ජයන්ත උන්නැහේට කරන්න බැරි වුනු දෙයක් කරන්නනේ බන්දුල මහත්තයා එවලා තියෙන්නේ . ඒ අනුව එතුමා ප්‍රේම්ජයන්ත ඇමති තුමාටත් වඩා කෙරුමෙක්.පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ ප්‍රේම ජයන්ත උන්නැහ අධ්‍යාපන ඇමති කමට පත් කලේම අධ්‍යාපනය පුරන් කරන්නද කියලා. ( එහෙමනම් එතුමා හරියට වැඩේ කරලා තියෙන්නේ. දැන් බන්දුල ඇමති තුමා ඇන ගන්නවා ඕනේ නැති පණ්ඩිත වැඩ කරන්න ගිහිල්ල. )

සල්ලි ගස්

Posted: April 28, 2010 in Uncategorized

“ඔන්න මම සල්ලි ගහක් හෙලෙව්වා. තමුන්නාසෙන්ලාට තියෙන්නේ සල්ලි ඇහිඳ ගන්න එක විතරයි” මෙහෙම කිව්වේ ,මට මතක හැටියට විජයානන්ද දහනායක මහත්තයා, 1940 ගනන් වල තිබුනු මැතිවරණයකදි.එච්චර සල්ලි බාගේ නොතිබිච්ච දේශපාලකයෙක් වුන දහා ,මහා සල්ලි කාරයෙක් වුන තමන්ගේ ප්‍රතිවාදියා චන්දෙදි සල්ලි විසි කරන කොට කියපු කතාවක ඒක.

මේ කථාව මට මතක වුනේ පහුගියදා අවසන් වෙච්ච මහ චන්දේ අපේක්ෂකයෝ හා චන්දදායකයෝ හැසිරුන ආකාරය දැකලා.මේ චන්දේදී අපිට දැක ගන්න පුලුවන් වැදගත්ම දේ තමා සල්ලි තියෙනවානම් වෙන මොනවත් ඕනෙ නැහැ කියන කාරණය.සල්ලිවලින් චන්දේ කරන්න පුලුවන්, චන්දේ කරන්න නම් සල්ලි ඕනේ වගේ කතා මීට බොහෝ කලින් ඉඳලා අපේ සමාජයේ තිබුනත් මේ සැරේ තම ඒක උච්ච්තම අවස්ථාවට ආවේ  සහ ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුවේ.

1956 ඉඳලා 1977 වෙනකම් දඹුල්ලේ මන්ත්‍රීවරයා වුනු  ටී.බී තෙන්නකෝන්ගේ පුත්‍රයා , 1994 ඉඳලා මේ දක්වාම මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් හා ආණ්ඩුවේ ප්‍රබලයෙකුත් වෙන ජනක තෙන්නකෝන් මාතලේ දිස්ත්‍රික්කය පුරාම හොඳ බලයක් ගොඩ නගාගෙන තිබුනා.හැබැයි එයාව දෙවෙනි තැනට ඇදලා දාන්න පුලුවන් වුනා මාතලේට අහසින් කඩාගෙන පත් වෙච්චි සල්ලි කාරයෙක් වෙන ලක්ෂ්මන් පෙරේරාට.

ඊලඟට , ගත්තාම දිනේශ්, සුසිල්, ෆවුසි වගේ පරණ නායකයෝ පස්සට ඇදලා දාලා කොලඹින් ඉස්සරහට ආවේ වීරවංශලා දුමින්ද සිල්වාලා.
මේ තත්වය අඩු වැඩි වශයෙන් ලංකාව පුරාම දකින්න පුලුවන්.මේ ඡන්දයේ ජයග්‍රාහකයෝ වෙලා තියෙන්නේ වැඩියෙන්ම පෝස්ටර් ගහපු , ලොකුම කටවුට් ගහපු, සපෝටර්ලාට හොඳටම සලකපු කට්ටිය.( සමහරු දන්සැල් දුන්නා , සමහරු තව තව දෙවල් දුන්නා- එක අපේක්ෂකයෙක් තමන්ගෙ පලාතේ තියෙන ලොකු රෙදි පිලි සාප්පුවකට ගොඩ වෙලා ඒ වෙලාවෙ ඒක ඇතුලේ පිරිලා හිටපු හැම දෙනාටම තමන්ගෙ ගානෙ රෙදි පිලි අරන් දීලා.තවත් එක්කෙනෙක් , විදුලි බිල් ගෙවන්න පෝලිමේ හිටපු හැමෝගෙම බිල් ටික එකතු කරගෙන තමන් ගෙවලා දාලා- මේ උන්නැහෙලා දෙන්නාම දිනුම්)
දැන් තියෙන මනාප ක්‍රමය අනුව දිස්ත්‍රික්කය පුරාම ප්‍රචාරක වැඩ කරන්න සල්ලි ඕනේය, ඒක නිසා මේ මනාප ක්‍රමය අහෝසි කරොත් , කෝටි ගනන් සල්ලි විසි කරන්න ඕනෙ නැහැ කියලා සමහරු කියනවා.
හැබැයි , එක ආසනයකට සීමා වුනා කියලා මේ ගොල්ලෝ සල්ලි විසි කරන එක නතර කරන්න එකක් නැහැ. එතකොට මේ උන්නැහෙලා සල්ලි වලින් ආසනය  වහලා දායි.

එක පක්ෂයකින් සල්ලි කාරයෙක් ආසනෙට දැම්මොත් , මිනිහා අනිවාර්යෙන්ම දිනනවා. එයාව පරද්දන්න නම් ඊට වඩා සල්ලි කාරයෙක් දාන්න ඕනේ. එතකොට දෙන්නාම සල්ලි විසි කරයි තරඟෙට.( දිස්ත්‍රික්කය පුරා විසි කරනවාට වඩා සල්ලි විසි කරන්න පුලුවන්  එක ආසනයකට ) එහෙම නැතුව තමන්ගේ ප්‍රතිවාදියා වැඩිය සල්ලි බාගේ නැති දුප්පතෙක් නම් එයාව කෙලින්ම සල්ලිවලට ගන්නත් පුලුවන්.
ඡන්ද ක්‍රමය මොකක් වුනත් මේ අලුත් ප්‍රවණතාවය වෙනස් කරන්න  බැහැ වගෙයි පේන්න තියෙන්නේ.
ඉතින් අපිටත් කරන්න තියෙන්නේ මේ ක්‍රමයට හැඩ ගැහෙන එකයි. ඒ කියන්නේ , ඔය චන්ද කාලෙට දෙන දන් සැලකට ගිහින් මොකුත් කාලා බීලා ඉන්න එකයි.

තමාට පමණක් නොව සුසන්තිකා ජයසිංහ මහත්මියටද කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට ජනතාව විසින් දෙන ලද වරම අහිමි වූයේ එම මනාප ඡන්ද ප්‍රමාණයෙන් අඩක් පමණම ඡන්දදායකයන්ගෙන් ප්‍රතික්ෂේප වූ සන්ධානයේ දූෂිත  දේශපාලනඥයන් විසින් කොල්ල කා ගැනීම නිසා යැයිද ,මෙලෙස කල එලියේම ඡන්ද හොරකම් සිදු කරන්නේනම් මැතිවරණ පැවත්වීමේ හා සර්වජන ඡන්ද බලයේ අර්ථය කුමක්දැයි ප්‍රවීණ රංග ශිල්පි බුද්ධදාස විතානච්චි මහතා පැවැසු බව ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ඉකුත් 17 දා වාර්තා කර තිබිනි.
ඒ මහතාගේ කථාව දෙස බැලූ විට හා ඔහු හා ඔහුගේ නායකයන්  පසු ගිය කාලයේ හැසිරුන ආකාරය මතක් වෙන  විටත්  මෙහි  ඇති වරද ඡන්ද මංකොල්ලය කල එලියෙම කිරීම බවත් පසු ගිය ජනාධිපතිවරණයේ දී මෙන් එය හොර රහසේ කරනවානම් ප්‍රශ්නයක් නැති බවටත් යමෙකුට පෙනී යා හැක..
එහෙත් සත්‍ය එය නොවන බවත් තමන්ට කෙලවෙන්නේ නැත්නම් හොර රහසේ හෝ  එලිපිට හෝ ඕනෑ මගුලක්  කරගත්තාට  මේ මහත්තුරුන්ට ඉන් කම් නැති බවත් අප තේරුම් ගත යුතුය.තමන්ට පහර නොවදිනතාක් කල් මැතිවරණ ක්‍රමය හෝ සර්වජන ඡන්ද බලය ප්‍රශ්න කරන්නට මේ මහතුන්ට මතක්  වූයේ නැත.
එහෙත් අවසානයේදී තමන්ට පහර වදින විටවත් , අවුරුදු 2 කට පසුව හෝ ඒ බව මතක් වී තිබීම නම් හොඳය.
පසු ගිය වසර පුරාවට පැවති පලාත් පාලන මැතිවරණ වලදීත් , ඉන් පසු ආ ජනාධිපතිවරණයේදි හා මහා මැතිවරණයේදීත්   බුද්ධදාස  විතනාච්චි මහතාගේ පක්ෂයත් ඇතුලත් සංධානය රාජ්‍ය සම්පත් තම හිතු මනාපෙට , අයථා ලෙස තම මැතිවරණ ව්‍යාපාරය සඳහා භාවිතා කරද්දිවත් , සියලු රාජ්‍ය මාධ්‍ය පමණක් නොව තම වසඟයට ගත් සමහර පුද්ගලික මාධ්‍යත් යොදා ගනිමින් ඉතිහාසයේ කිසි කලෙකවත් නොවු තරම් අශිෂ්ට හා අශීලාචාර මැතිවරණ ව්‍යාපාරයක යෙදෙද්දීවත් ඔහුට නොපෙනුනු මේ සත්‍ය අඩුම තරමෙන් තමන්ට කෙලවෙන විටදීවත් පෙනීම හොඳය.
2009 පැවති පලාත් පාලන මැතිවරණයේදී තමාගේ මනාප චන්ද තම පිලේම උන් කොල්ල කාගෙන ඇතැයි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සීනිගම පොල් ගසද්දී ඔහුව සමච්චලයට ලක් කල උන් අතර විතානච්චි මහතාද සිටියේදැයි අප නොදන්නා මුත් ,  ඒ වෙලාවේදීවත් ඡන්ද  ජිල්මාට් ගැන  ඔහු කට නොඇරි බවනම් අපට විශ්වාසය.
එයින් පසු ආ ජනාධිපති තරඟයේදී රාජ පාක්ෂිකයන් , රාජ්‍ය මාධ්‍යා යනු රාජපක්ෂ මාධ්‍ය යැයි සිතමින් , ඒවා ගණිකා වෘත්තියේ යොදවද්දීත් , රාජ්‍ය සම්පත් තම පෞද්ගලික බූදල සේ සලකා හැසිරෙද්දීත් මුවින් නොබැන ඉවසූ ඔහු නියම දේශප්‍රේමය නම් එය යැයි සිතූ ලෙසකි.
ජනාධිපති තරඟයේ ප්‍රථිපල ගැන බොහෝ දෙනා සැක සංකා මතු කරද්දී ඔවුන්ව සමච්චලයට ලක් කල තම නායක තුමා සමග එක පෙලට හිඳ ඔවුන්ට සිනාසුනා මිස එහි ඇත්ත නැත්ත සොයන්නට විතානච්චි තුමාට වෙලාවක් නොතිබෙන්නට ඇත.

එහෙත් දැන් තමන්ට පහර වදින විට හදිසියේම නින්දෙන් අවදි වූවාක් මෙන් කෙල පෙරමින් අවුත් මැතිවරණ ක්‍රමය ගැන ප්‍රශ්න කරයි. එදා එක පෙලට සිටගෙන , කරට අත දාගෙන විරුද්ධ පාක්ෂිකයන් හට සිනාසුනු තම සගයන් හදිසියේම දූෂිත , ජනතාවගෙන් ප්‍රතික්ෂේපිත දේශපාලකයන් බවට පත් ව ඇත.( ඒ මතු නොව මුන් මේ වංචාව බොහෝ  කලක් තිස්සේ කරගෙන ආ දෙයක් බවත් දැන් ඔහු කියයි )

දැන් සිනහා වීමට අපගේ වාරයයි.එහෙත් එසේ සිනහා වීමට අපගේ අදහසක් නැත. ඒ මිනිසෙක් කරදරයකවැටුන විට සිනහ වීම හොඳ නැතැයි කියන නිසා නම් නොවේ. මේ කාරනය එසේ සිනහා වී අමතක කර දැමීමට නුසුදුසු බරපතල කාරණයක් බැවිනි. මෙවැනි දේවලින් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි , ඡන්ද බලය කෙරෙහි ජනතාවගේ ඉතුරුව ඇති අවම විශ්වාසයද බිඳ වැටිය හැකි බැවිනි.යම් රටක ජනතාවකට තම රටේ අවම ප්‍රජාතන්ත්‍රවාදයක්වත් නැතැයි හැඟී ගියහොත් , ඇති විය හැකි ප්‍රතිපල ඉතා භයානකය.
එබැවින් බුද්ධදාස විතානච්චි මහතාගේ නොව විමල් වීරවංශගේ හෝ මර්වින් සිල්වාගේ වුව මනාප සොර කොට කිසියම් පරාජිතයෙක් පාර්ලිමේන්තු හෝ වෙනත් ඕනෑම අටමගලයකට යාමට උත්සාහ කරන්නේ නම් ඒ ගැන අපේ අප්‍රසාදය පල කරමු.
එහෙත් අවසාන වශයෙන් කිව යුත්තේ තල වපුරා උඳු ලබා ගත නොහැකි බවයි.ඔබ නෙලා ගන්නේ ඔබ වැපිරූ දෙයයි.

(පාසල් යද්දී වල් අලියෙකු පහර දීලා : පැල්වත්තේ සය හැවිරිදි සිසුවා මිය යයි. පුවතක්-2010.04.24 ලංකාදීප )

.

.
නොදරුවෙකු මරා දමා ඇත
වල් අලියෙකු විසින්
කිසිවෙකුට නොවටිනා පුවතක්
මැතිවරණ ජයග්‍රහණ
මනාප අමනාප
ජාතික ලැයිස්තු හුට පට
කැබිනට් ඇමතිකම් අතර
නොවැදගත් පුවතක්.

වල් අලි පයට පොඩි වී
තැලී ගිය මල් කැකුල,
වන සතුන් ගහන මහ වන මැදින්
පයින්ම පාසල් යන්නට සිදු උනේ ඇයි නුඹට?
නොතිබිණිද කබල් බස් කට්ටක්වත්, ඇස්ටන් මාර්ටින් තබා

ඇයි නුඹට බැරි වුනේ
හඹා ආ රුදුරු මරුගෙන් ගැලවෙන්න?
නොදුටුවේද ඒ සුවිසල් හස්තියා
නුඹ ලඟට එනතෙක්ම

වනයේ රුදුරු බව අමතක කරනට
බොහෝ සිහින දකිමින්ද නුඹ ගියේ?
නාසාවේ ගගන ගාමියෙකු වන්නට
මැති සබයේ ලාබලම මැති සඳ වන්නට
සුභ සිහින දුටුවාද?

නො එසේව පාසලින් දෙන දිවා බත් පත ගැන සිතමින්
කුසගින්නේම පාසල් ගිය නුඹේ
සිහින් දෙපා අවසඟව ගොස්
පලා යන්නට බැරි උනිද?

බොඳව ගිය නුඹේ සේයා රුව දෙස
කොතෙක් වෙලා බලා සිටියත්
පිලිතුරු නොලැබෙන බව දනිමි
එහෙත් පුවත් පත වසා දමනට නොහැකිවන සේ
මගේ දෑතද අවසඟය.
බලාසිටිමි මම ඔබ දෙස.

නිදහස් මාධ්‍ය වේදියකු වන ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී අද  දිනට මාස තුනක් පිරේ. මැතිවරණ උණුසුම නිසා ප්‍රගීත්ගේ අතුරුදහන් වීම  සියලු දෙනාගේ සිත් තුලින් ගිලිහි ගිය ලෙසක් දිස් වේ.අද ඔහු සොයන්නේ ඔහුගේ බිරිඳ හා දරුවන් පමණක්ද?


 

ඕන්න එකෝමත් එක කාලේක ලංකාවේ හිටිය බොහෝම යහපත් මනුස්සයෙක් හදිසියේ මැරුණා. එයා කොච්චර හොඳ මනුස්සයෙක්ද කියනවානම් මරණින් පස්සෙ  කෙලින්ම ගියේ දිව්‍ය ලෝකෙට. දිව්‍ය ලෝකේ ගේට්ටුව ලඟ දී දේව දූතයෙක් එයාව නැවත්තුවා.
“මහත්තයෝ මෙහාට එන අයව අපි කෙලින්ම ඇතුලට ගන්නේ නැහැ.ඊට කලින් කරන්න ඕනෙ පොඩි පොඩි වැඩ කීපයක් තියෙනවා.”
 

” ඒකට මක් වෙනවාද?කියන්න , කියන්න “ 

එතකොට දේව දූතයා කියනවා ” මෙහෙමයි, අපි ඔබතුමාට පැය 24 ගානෙ  දෙනවා අපායෙයි දිව්‍ය ලෝකයෙයි ඉන්න. එහෙම ඉඳලා ඔබ තුමා ම තීරණය කරන්න ඕනෙ ඔයා නවතින්න කැමති කොහෙද කියලා.හැබැයි ඉතින් තීරණය ගත්තාට පස්සේ වෙනස් කරන්න බැහැ. සදාකාලිකවම එතන තමයි” 

” අයියෝ ඕකත් අහන්න දෙයක්ද? මං ඉන්න කැමති දිව්‍ය ලොකේ. ආයිත් ටෙස්ට් කරලා බලන්න දෙයක් නැහැ.” කියලා අපේ යාලුවා කිව්වා.
” එහෙම බැහැ. මෙහෙ නීති රීති තියෙනවා,ඒවා පිලිපදින්න ඕනේ. ලංකාවේ වගේ බැහැ.දැන් යමු අපායේ පැ‍ය 24 ගත කරන්න” කියලා දේව දූතයා කිව්වා.
 

කියලා මෑන්ගේ අතින් අල්ලා ගත්ත දුතයා සෝපානයකට නැග්ගා. ඒක දිව්‍ය ලෝකේ ඉඳලා පහලට පහලට ගිහින් නැවතුනා. 

සෝපානයේ දොර ඇරුනාම දකින්න තිබුනේ හරිම ලස්සන උයනක්. උයනේ තැන් තැන් වල මේස තියලා එක එක ජාතියේ කෑම බීම ජාති ගොඩ ගහලා. දේශීය කෑම නම් දේශීය කෑම , චයිනීස් නම් චයිනීස්, බටහිර නම් බටහිර කෑම . බීමත් ඒ විදියට, ලෝකල් බඩු වල ඉඳලා ඉස්තරම් රට බීම දක්වා.විස්කි,බ්‍රැන්ඩි, වයින් බීර , ෂැම්පේන් දෝරෙ ගලනවා. 


උයන පුරාම සෙනග පිරිලා .වෛවාරන්න ඇඳුම් ඇඳගෙන. කනවා, බොනවා.කතා බහ කරනවා, හිනාවෙනවා, විහිලු කරනවා, නටනවා, එකම ප්‍රීති සාගරයක්.ලංකාවේ වගේමයි. යම පල්ලොත් මේ කට්ටියට සෙට් වෙලා අඩි ගහනවා, කනවා බොනවා. කරට අත දාගෙන  නටනවා. 

මේ පිරිස අස්සේ අපේ මිනිහාගේ යාලුවොත් සෑහෙන දෙනෙක් හිටියා.ඒගොල්ලොන්ට එකතු වුන යාලුවත් වැඩෙට බැස්සා. පැය 24 යනවා දැනුනේ නැහැ. 

ඔන්න දවස ගෙවී ගෙන යනකොට දේවදූතයා ඇවිත් එයාව ආපහු සැරයක් ලිෆ්ට් එකේ දාගෙන උඩට , ඒ කියන්නේ දිව්‍ය ලෝකෙට එක්ක ගියා.
ගිහින් කිව්වා ඔයා දැන් මෙතන පැය 24ක් ඉන්න කියලා.
එතැන හිටිය කට්ටිය සුදු පාට ලෝගු දාගෙන වලාකුලින් වලාකුලට පාවෙනවා. වීණා වාදනය කර කර , සිංදු කිය කියා.කන්න තියෙන්නේ රෝස පාට සෝස් වල දාපු ,බැදපු මෝර මාලු පෙති. 
අපේ යාලුවත් ඒ ගොල්ලොන්ට එකතු වෙලා , මෝර මාලු කකා සිංදු කිය කියා හිටියා පැය 24ක්ම.
දවස ඉවර උනාම දේව දූතයා ඇවිත් එයාගෙන් ඇහුවා ” දැන් ඔයා කියන්න , ඔයා සදාකලෙටම ඉන්න කැමති දිව්‍ය ලෝකෙද, අපායෙද ” කියලා. 

මිනිහා කල්පනා කරා .” දිව්‍ය ලෝකය නරකම නැහැ. ඒත් හරිම ඒකාකාරි වෙයි. සදාකල් ඉන්නත් එපයි.අපායට ගියොත් අඩියක් ගහලා ජොලියේ ඉන්න පුලුවන්” 

එහෙම හිතල මිනිහා උත්තර දුන්නා.
” මම කැමතියි අපායට යන්න”
දේවදූතයා වචනයක් වත් කතා කලේ නැහැ. අපේ යාලුවත් සෝපානෙට දාගෙන පහලට ගියා.
සෝපානයේ දොර ඇරුනා. හපොයි.ගන්දස්සාරේ බැහැ. එකම ජරා ගොඩක්. අසූචි , සතුන්ගේ මල කඳන්, . එකම නරා වලක්.
 

කලින් දවසේ ජොලියේ හිටිය කට්ටිය කුනු වලට බෙල්ල ලඟට එනකම් බැහැලා කුනු අවුස්සනවා.
” මෙන්න ඔයාට අලුත් ගෝලයෙක්. ” එතැනට ආපු මරුමුස් යම පල්ලෙකුට දේව දූතයා කිව්වා, අපේ යාලුවාව පෙන්නන ගමන්.
 

” මොනවා මේ කොහෙද?” විශ්මයට පත් වෙච්ච අපේ යාලුවා ඇහුවා. 

” මේ තමා අපාය” යම පල්ලා කිව්වා. 

” නෑ වෙන්න බැහැ. ඊයේ මෙතන හරිම ලස්සනට තිබුනානෙ.” මිනිහා කෑ ගැහැහුවා. 

හැහ් හැහ් ගාලා හිනා වුන යම පල්ල මෙහෙම කිව්වා. 

” ආ ඊයෙද? ඒක මේ ඔහේ ගේ කැමත්ත, ඒ කියන්නේ චන්දය අපායට ගන්න අපි පවත්තපු චන්ද ප්‍රචාරක වැඩක්. දැන් ඔහේ අපිට චන්දය දීලා ඉවරයි. කැම්පේනුත්  ඉවරයි. දැන් බහින්න පුතා කුණු  වලට” 

එක්සත් ජනතා නිදහස් සන්ධානය

මහින්දානන්ද අලුත්ගමගේ – 146,765

කෙහෙලිය රඹුක්වැල්ල – 133,060

‍එස්.බී. දිසානායක – 108,169

ලොහාන් රත්වත්තේ – 81,812

එරික් වීරවර්ධන – 54,195

දිලුම් අමුණුගම – 45,909

 ෆයිසර් මුස්තාෆා – 44,648

සරත් අමුණුගම – 44,478

එක්සත් ජාතික පක්ෂය

අබ්දුල් කාදර් – 54,937

රවුෆ් හකීම් – 54,047

ලක්ෂ්මන් කිරිඇල්ල – 53,690

 එම්.එච්.එම්. හලීම් – 46,240

පසු ගිය දා ඡන්ද දූෂණ නිසා අවලංගු කරන ලද නාවලපිටිය හා ත්‍රිකුණාමලය චන්දය දැන් පැවැත්වෙමින් තිබේ.මෙතෙක් කල් මහ රෑ පොස්ටර් අලවන විට පමණක් කෙරුනු එකම පක්ෂයේ අය අතර මනාප යුද්ධය මේ වන විට කිසිම හිරිකිතයකින් තොරවම මාධ්‍ය මගින්ද එලිපිටම කෙරේ.
එස්.බී , අමුණුගම ඇතුලු එක කණ්ඩායමක් මහින්දානන්දට එරෙහිව දැවන්ත යුද්ධයක් අරඹා ඇති අතර අනිත් පැත්තේ මහින්දානන්දද තනි වී නොමැත.නාවලපිටියේ ඇති 50,000 පමණ වන මනාප කුට්ටියට ලොල් වී සිටින මුස්තාපා, ලොහාන් ඇතුලු පිරිසක් මහින්දානන්දගේ එල්ලී සිටිති.
මනස විකෘති කරගත් මිනිසෙක් හා අපරාදකාරයන් පිරිසක් නාවලපිටිය පුරාම භීෂණයක් පතුරුවා ඇතැයි එස්.බී කියද්දී මනාපයෙන් පාර්ලිමේන්තු ඒමට නොහැකි යූඇන්පී පැරෂුට්ටන් පිරිසක් තමන්ට පහර දෙන බව මහින්දානන්ද කියයි.
මෙසේ මිනී මරාගනිමින් ,එකිනෙකාට මඩ ගසා ගන්නේ විරුද්ධ පක්ෂ සමග නම් අපට එය තේරුම් ගත හැක.
එහෙත් මෙසේ තම පක්ෂයේ සගයින් සමගම කෙල ගන්නා විට  එය මොනතරම් පිලිකුල් සහගත දර්ශනයක් දැයි මොවුන් නොදන්නා බවකි.
මෙසේ කිසිම ලැජ්ජවකින් තොරව මරාගන්නේ මෙරට උත්තරීතර ආයතනය බවට ඔවුන් විසින්ම හඳුන්වන පාර්ලිමේන්තුවට යාමට වීම කෙතරම් අපූරු ද?
මොවුන්ගේ මේ විලි ලජ්ජා නැති හැසීරිම මනාප ක්‍රමය නැති කල පමනින් නවතිනු ඇතැයි සිතිය හැක්කේ මන්ද බුද්ධිකයෙකුට පමණි.

ඊටත් වඩා කාරණය නම් මේ සියලු කෙලි බලමින් චන්ද පොලට යන චන්ද දායකයන් මෙලෙස බල්ලන් බලලුන් ලෙස කුලල් කාගන්නා උන්ටම තම චන්දය දීමය.එනම් මේ  සියලු දේවල් ඉහලින්ම අනුමත කිරීමය.ඒ බව පසු ගිය දා තිබූ චන්දයේ අනුමත වූ ප්‍රථිපල වලින්ද මෙරට චන්දදායකයා සනාථ කර ඇත.නාවලපිටියේ ප්‍රථිපල සමග මහනුවරත් එයම වන බවට මෙන්න කැට.
ඉතින් හෙට අලුයම මහනුවර චන්ද ප්‍රතිපලය එලි දක්වන විට අප කුමක් කරමුද?
හඬ නගා හඬමුද?
මහ හඬින් සිනාසෙමුද?

 

හදවත් නැති ලොවක හදවත,
දයාබර හදවත, ඔබ ගැන සිතුම
මහද පාරයි
මා දසුන සසල කරනා සෙවනැල්ල ඔබයි.
 
සැන්දෑවේ සුලං හමයි
සරත් සමය එන බැව් කියමින්
ඔබ මට අහිමියැයි මසිත බිය වේ,
මා බිය ගැන මාසිත බිය වේ.
 
අප ප්‍රෞඩත්වයේ අවසන් වැට,
හියුස්කාවට ඇති අවසන් සැතපුමේදී
ඔබ මා සමග යැයි මට හැඟෙන බව
දයාවෙන් සිතනු මැන දයාබරිය.

ඉදින් අවාසනාව විසින් මා හට උරුම
නොගැඹුරු මිනී වලක් නම්
සමරනු මැන සියලු යහගුණ,
අමතක නොකරන්න මගේ ආදරය.

 ජෝන් කොර්න්ෆර්ඩ් 

1936 දී , ස්පාඤ්ඤයේ පැසිස්ට්වාදී හමුදා එරට ළදරු ජනරජයට එරෙහිව ,හිට්ලර්ගෙ හා මුසොලිනිගේ සහය ඇතිව හමුදා කුමන්ත්‍රණයක් දියත් කලෝය. මේ අවස්ථාවේදී ලෝකයේ බොහො රටවල සිට වාමාංශිකයන් , ප්‍රගතිශීලි බුද්ධිමතුන්, ලේඛකයන්, කලාකරුවන් ස්පාඤ්ඤයට පැමිණ ජනරජය වෙනුවෙන් සටන් වැදුණාහ.ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිටි දීප්තිමත් ශිෂ්‍යයකු වන ජෝන් කොර්න්ෆර්ඩ් ද මෙසේ පැමිණ ජනරජය වෙනුවෙන් සටන් කල කවියෙකි.ස්පාඤ්ඤ සටන් පෙරමුණේදී, මේ කව් පෙල ලියා දින කීපයකට පසු වයස අවුරුදු 21 දී පැසිස්ට් හමුදා අතින් හෙතෙම මරණයට පත් විය. 

  

දේශපාලන විචාරකයෝ බස්නාහිර හා දකුණු පලාත් දෙක අපේ රටේ දේශපාලන සිතියමේ ස්ථාන ගත කරලා තියෙන්නේ අනෙක් පලාත්  වලට වඩා දියුණු දේශපාලන දැක්මක් තියෙන ජනතාවක් ඉන්න දෙපලාතක් හැටියට. 1930 ගණන් වල ඉඳලම මේ දෙපලාතේ වාමාංශික නැඹුරුවක් තිබීම මීට හේතු වන්නට ඇති.1931දී දොස්තර වික්‍රමසිංහ රාජ්‍ය මන්ත්‍රණ සභාවට යැවීමේ ඉඳලා අද දක්වාම මේ නැඹුරුව මේ දෙපලාතේ දකින්න පුලුවන්.විශේෂයෙන් 1980 ගනන් වලදී ජේ ආර්ගේ පාලනයට එරෙහිව සැලකිය යුතු ප්‍රතිරෝධයක් මුලින්ම එල්ල වුනේ මේ පලාත් දෙකෙන්.( යාපනය හැර )

අනිත් පලාත් වලට වඩා දියුණු පාසල් පද්ධතියක් මේ දෙපලාතේ තිබීමත් ( මෙතැනදී හම්බන්තොට අත හරින්න වෙනවා), මාධ්‍ය හා සංස්කෘතික ක්‍රියා කාරකම් මේ පලාත්වල වැඩි වීමත් මීට හේතු වන්නට ඇති. හම්බන්තොට දී නම් මේකට සෘජුව වග කියන්නේ ජවිපෙ. ( මුල් කාලයේදී පරණ වමට හිමි වෙලා තිබුනු ප්‍රගතිශීලි /වාමාංශික ප්‍රතිරූපය පසු කාලේක ජවිපෙට හිමි උනා.1999-2001 කාලයේ මේ තත්වය උච්ච්  අවස්ථාවකට පත් වුන අතර තවමත්යම් තරමකට හෝ ඒ තත්වය තියෙනවා කියලා ලියුම් කරු විස්වාශ කරනවා. )

2010 මැතිවරණ ප්‍රථිපල දිහා බලනකොටත් මේ තත්වය එහෙමමයි කියලා කෙනෙකුට පේන්න පුලුවන්.ඒ කියන්නේ දකුණ හා බස්නාහිර ජනතාව රැල්ලට අහු නොවී උඩුගං බලා පීනන කොටසක් බවට සමහරු තර්ක කරන්න පුලුවන්.නමුත් ඒ හැඳින්වීම මුලා කරවන සුලු එකක් බවයි පේන්නේ.මේ ජනතාව ඔයාකාර ප්‍රගතිශීලිද වාමාංශිකද , ක්‍රමවිරෝධිද කියලා පොඩි සැකයක් පහු ගිය චන්ද ප්‍රතිපල දිහා බලපුවාම මතු වෙනවා.

එහෙම නැත්නම් ඒ ගොල්ලෝ අනික් පලාත් වල ජනතාවටත් වඩා රැලි වලට අහු වෙන , ඒ රැලි වල ගහගෙන යන ජනතාවක්ද කියලා හොයාගන්න එක වැදගත් වේවි.

1999 විතර වෙනකොට රැල්ල තිබුනේ ජවිපෙට. ( මේ රැල්ල කියන්නේ චන්ද්‍රිකා බලයට ගෙනාපු රැල්ල හෝ මහින්දගේ  රැල්ල වගෙ මහා රැලි නොවේ. යම් මට්ටමකට උගත් බුද්ධිමත් මිනිස්සුන්ට කැතක් ලජ්ජාවක් නැතිව චන්දේ දෙන්න පුලුවන් තැනක් ගැන තියෙන රැල්ල )

ශ්‍රිලනිප පෙරටු කරගත්ත පොදු පෙරමුණට හරි ‍යූඇන්පියට හරි චන්දේ දුන්නා කියලා කියන්න මිනිස්සුන්ට ලජ්ජා හිතුනු කාලයක් ඒක.2001 වෙන කොට මේ තත්වය උච්ච්තම අවස්ථාවට ආවා.ධනපති පක්ෂ දෙකේ මන්ත්‍රීවරු කෝටී ගනන් වලට විකිනෙන කොට කෙලින් හිටපු ජවිපෙ මන්ත්‍රීවරු ගැන මිනිසුන්ගේ ප්‍රසාදයක් ඇති වෙමින් තිබුනා.2001 මහ මැතිවරණයේදී තනිවම ආසන 16 දිනා ගන්න ජවිපෙට හැකි උනේ මේ නිසයි.මේ තත්වය දකුණටත් වඩා හොඳින් පේන්න තිබුනේ කොලඹ. විශේෂයෙන්ම සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන කැස්බෑව, කඩුවෙල , හෝමාගම වගේ ප්‍රදේශවල මේ තත්වය හොඳින්ම දැක ගන්න පුලුවන් උනා.

හැබැයි 2004 වෙන කොට සෝම හාමුදුරුවන්ගේ මල කඳ විකුණමින් ආපු ජාතික හෙල උරුමය මේ රැල්ල තමන්ගේ දිහාවට හරවා ගත්තා.ජවිපෙ/ශ්‍රිලනිප හවුලට එරෙහිව මේ ප්‍රගතිශීලි ජනතාව තමන්ගේ චන්දේ අන්ත වර්ගවාදී හෙල උරුමය වෙනුවෙන් පාවිච්චි කරා.( කැස්බෑවෙදී යුඇන්පිය තුන් වෙනි තැනට දාලා හෙල උරුමය 2 උනා). එදා තිබුන රැඩිකල් කම තමා හෙල උරුමය වෙනුවෙන් චන්දය දෙන එක.

2010 ජනාධිපතිවරණය වෙන් කොට  රැඩිකල් රැල්ල මහින්දද සරත්ද කියලා තෝරාගන්න බැරිව වැනි වැනි ඉඳලා අන්තිමේදී මහින්දට දුන්නා.මේ විදියට මහින්ද එක්ක ගනු දෙනු බේරගෙන මහ මැතිවරණය වෙනකොට ආපහු ජවිපෙ/ෆොන්සේකා සංධානයට චන්දේ දෙනවා.එතකොට ඒ ගොල්ලොන්ට ජවිපේ ආපහු සැරයක්  ප්‍රගතිශීලියෝ.

මේ අනුව පේන්නට තියෙන දේ තමා කුසලානට ලැබුනු චන්ද වලින් සෑ හෙන ප්‍රමානයක් පොඩි රැල්ලකටහ් ගහගෙන යන කඩදාසි බෝට්ටු බව.ඒ නිසා මේ තත්වය හරියට අවබෝධ කරගෙන වැඩ නොකරොත් වෙන්නේ පරණ වමට වෙච්ච දේම තමා.

(මේ අපි කතා කලේ ආන්ඩුවට විරුද්ධව පාවිච්චි කරපු චන්ද වලින් ප්‍රගතිශීලි චන්ද කියලා හඳුන්වන චන්ද ගැන.

කෙනෙක් කියන්න පුලුවන් ආන්ඩුවට පක්ෂව පාවිච්චි වුන චන්ද තමා ප්‍රගතිශීලි චන්ද කියලා.

ඒක හොයාගන්න පුලුවන් ඒ ගොල්ලෝ මනාප පවිච්චි කරලා තියෙන විදියෙන්.විමල් වීරවංශ , මර්වින් සිල්වා, සනත් ජයසූරිය, දුමින්ද සිල්වා , නිශාන්ත මුතුහෙට්ටි, චම්පික රණවක, අතුරලියේ රතන වගේ අයට මනාප දීපු අය ගැන කතා කරන්න කාලෙ නාස්ති කරන එකේ තේරුමක් නැහැ .)