Archive for November, 2010

 

 
සියට පහයි පොඩි උන්ට , විසිපහයි මහ උන්ට
 
මහ රජ තුමා බෙදලා සාධාරණව
 
අය වැය නිසා හැම දෙන හරි සතුටෙන්
 
රංජිත් බණ්ඩාර මහ  ඇදුරු තුමා  හීනෙන් දැකලා  
 
 
 
වෑංජන  තුනක් එක්ක බත් කන්ට
 
පාර කපා ඇත එතුමාගේ   ආණ්ඩුව
 
මෙහෙම කියන මහ ඇදුරුගේ වලිගෙ
 
අං දෙක සමග කැපුවේ කවදාද?
 
 
-රංචාගොඩ ළමයා –
Advertisements
 
 
සියයට පහයි , පන්සීය අසූ පහයි 
 
ජීවන අංකේ හයසීයයි
 
එක්දහස් එකසිය අසූ පහයි
 
ගෙඩි රුපියල් වලින්ම
 
මා වැනි දිළින්දා වර වර ලඟට කැන්දා
 
මෙහෙම දෙන නිරින්දෝ වෙන කොයින්දා
 
එක්දහස් එකසිය අසූ පහක්
 
මොන තරම් දේ කරන්ට ඇහැකිද?
 
ලොකු කොලුට කැසිනෝ යන්ට   කීයක් හරි අතට දෙන්ට
 
පොඩි කෙලීගේ ප්‍රයිවට්  මෙඩිකල් කොලිජියේ  බිල  ගෙවන්ට
 
බඩ පිස්සට රවුමේ යන්ට ඇස්ටන් මාර්ටින් එකක් ඇන්න දෙන්ට
 

මහා ගෑනිට යුරෝපේ වටේ  සවාරියක් ගොහින්  එන්ට
 
එක්දහස් එකසිය අසූ පහක්
 
සියට පහයි  , පන්සීය අසූ පහයි
 
ජීවන අංකේ හයසීයයි
 
බුදු හප්පේ තව මොකටද?
 
 

ඒ එක්දහස් නවසිය අසූව දශකයේ මැද භාගයයයි. කොටි සංවිධානය විසින් රට පුරා පුපුරුවා හැරි බෝම්බ නිසා මිනිසුන් සිය ගණනින් මිය යමින් තිබුනි. රටම යම්  අරාජික බවකින් වෙලී තිබුනු අතර පාලකයින්ද සිටියේ අන්ද මන්දවය. තත්වය පාලනය කර ගැනීමට ප්‍රමාණවත් යමක් නොකළේ යැයි  එවක පැවති රජයට විවේචන එල්ල වෙමින් පැවතිණි.
 
මේ විවේචන නිසා කුපිත වූ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන,ලෝකයේ කිසිම  රාජ්‍ය නායකයෙකු විසින් කිසිදා නොකල ආකාරයේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ” ජනතාව  තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතු”  බවයි.
 

තමනට කළ නොහැක්කේ ගැහැණියෙකු පිරිමියෙකු කිරීම පමණකැයි වහසි බස් දොඩමින් සිටි නායකයාගේ  මේ අමන ප්‍රකාශයෙන් කෝපයට  පත් එක් පුවත් පත් කතුවරයකු   එය තදබල ලෙස විවේචනය කරමින්   ඒ ගැන කතු වැකියක් ලිවීය.
 
මෙවැනි ප්‍රකාශ කිරීමට නම් රටකට නායකයෙකු අනවශ්‍ය බවත්, මෙබඳු කතා කියන නායකයා ගැහැණියෙකු හෝ පිරිමියෙකු විය නොහැකි බවත් ඔහු ලිවීය. 

w3 Lanka  ලියන පැරා,  දයාසේන ගුණසිංහයන්ගේ පෞරුෂය ගැන මොනවා හිතුවත් ගුණසිංහයන් එදා නොකියා කිව්වේ ජේ.ආර්. පොන්නයෙකු බවයි.

මේ කතුවැකිය දු‍ටු විගස කෝපාවිෂ්ට වූ ජනාධිපතිවරයා දිවයින පුවත්පතේ අයිතිකරුවන් වූ තම ඥාතින් වන විජේවර්ධන පවුල ලවා එම කතුවරයා  දිවයින පුවත් පතින් එලවා දැමූයේය.එකල පවා මහා ප්‍රගතිශීලි මාධ්‍යවේදින් ලෙස පෙනී සිටී සුගාරලා කසුරිලා තබා අටවෙනි පි‍ටු හරහා ලාංකීය විප්ලවය කිරීමට උත්සාහ කල සුනිල් මාධවටවත්  මේ අසාධාරණය හමුවේ කෙලින් සිට ගැනීමට තරම් ශක්තිමත් කොඳු ඇට නොතිබිණි. 
 
තමනට කල නොහැක්කේ ගැහැණියක පිරිමියෙකු කිරීම පමණක් බව කියමින් , දැඩි මර්ධනකාරි ප්‍රතිපත්ති අනුගමනය කරමින් රට පාලනය කල සියලු බලතල ඇති විධායක ජනධිපතිවරයාට එරෙහිව මෙලෙස කතු වැකියක් ලිවීමට තරම් ආත්ම ශක්තියක් තිබූ ඔහු , අප යුගයේ විසූ විශිෂ්ඨතම මාධ්‍යවේදියෙකු වූ එවකට දිවයින ඉරිදා සංග්‍රහයේ සංස්කාරකවරයා වූ දයාසේන ගුණසිංහයන්ය.
 
මත්පැන් වීදුරුවකට , බත් පිඟානකට තම ආත්මය පාවාදෙන වත්මන් ඊනියා ජ්‍යෝෂ්ඨ මාධ්‍යවේදින් මෙන් නොව ඔහු සැබැවින්ම අභීත හා අදීන  පත්තර කාරයෙක් විය.උකුස්සා ,රයිගම් රාල බඳු ඔහුගේ සුප්‍රසිද්ධ තීරු ලිපි තුලින් පහර දිය යුතු තැන්වලට ඔහු නොබියව පහර දුන්නේය. හෙලි කල යුතු දෑ නොවලහා හෙලි කලේය.
 
නමුත් ඔහු අපක්ෂපාති මාධ්‍යවේදියෙකු නොවීය. ඔහු පක්ෂපාතිත්වය සැම විටම තිබුනේ තැලෙන පෑගෙන මිනිසුන් වෙනුවෙනි. කම්කරු සටන් වලදි ඔහු ඔහු කම්කරුවන් සමග සිටියේය. ශිෂ්‍ය අරගල වලදි ඔහු සිසුන් වෙනුවෙන් නොබියව පෙනී සිටියේය.
 
වත්මන් රජය ගෙනයන සිසු මර්ධනය හමුවේ ඊට උඩගෙඩි දෙමින් සිසුන් දඬුකඳේ ගැසිය යුතුයැයිද, සිසුන් එල්ලා මරා දැමිය යුතු යැයිද කියමින් පාලකයින්ටත් එහා යමින් කතුවැකි  ලියන සුගාරලා කසුරිලා බඳු මාධ්‍ය පණුවන් ගැන සිතන විට ගුණසිංහයන් සැබැවින්ම මාධ්‍ය සිංහයෙකි.
 
ඉංග්‍රිසි,සිංහල භාෂා දෙකේම සප්‍රමාණික උගතෙකු වූ ඔහු විශිෂ්ඨ සාහිත්‍ය කරුවෙක්ද විය. ඔහුගේ ලිපි සාරගර්භ විය. ආකර්ශනීය විය. ඔහු ලිපියකට මාතෘකාවක් යොදන විට පවා බොහෝ සැලකිලිමත් විය. මැලේරියා වසංගතය ගැන ලියු ලිපියකට ඔහු යෙදූ ” අනේ ප්ලීස්, ඇනෝප්ලීස් ”  මාතෘකාව එසමයේ ඉතා ප්‍රචලිත එකක් විය.
 
මහාචාර්ය සෝමරත්න බාලසූරිය වරෙක පැවසූයේ තම ” කරත්තය” නම් වූ සම්මානිත කෙටි කතා සංග්‍රහය සංස්කරණය කොට ,ඊට තමන් යෙදු  කරත්තකාරයා යන නම වඩාත් ආකර්ශනීය ” කරත්තය” ලෙස වෙනස් කලේ දයාසේන ගුණසිංහයන් බවයි.
 
ඔහු තම දිවියේ ප්‍රමුඛතාවය දුන්නේ පුවත්පත් කලාවට වුවත් සාහිත්‍ය නිර්මාණයෙහිලා අපූර්ව දස්කම් දැක්විය. “කැනල් පාරේ නිශාචරයෝ” හා ” කේතුමති හෝටලයේ රාත්‍රියක්” යනුවෙන් කෙටිකතා සංග්‍රහ දෙකක්ද   ” රන් තැටියක කඳූලු”, ” නොවඳිමි සිදුහත්” හා “දොරමඬලාව” යනුවෙන් කාව්‍ය සංග්‍රහ තුනක්ද ලියා පලකලේය.
 
1988-89 ධවල භීෂණයෙන් පසු ඔහු පලකල දොරමඬලාව කාව්‍ය සංග්‍රහයේ වූ එනමින්ම යුත් පැදි පෙලෙහි ඔහු මෙසේ ලිවීය.
 

 ඉර හඳ පවතින තාක් කල්
මල් පිපෙනු තහනම්
පැණවී අණක් රජ
පල දී පවක් පෙර
දුගඳ වූ මල් සුවඳ
 
හිරුගෙන් පැහැය ලැබ
සඳුගෙන් රුසිර ලැබ
සුලඟින් සුවඳ ලැබ
මල් පිපුණි පෙර ලෙස
නොතකමින් රජ අණ
 
ගුගුරා හඬ තැලී රජ
වනසව් සියලු මල්
විස හතු විලස මතුවන
දිය ගොඩ සියලු තැන
නොතකා වැයද වෙහෙසද
………………
………….
 
 
තම අයිතිවාසිකම් ඉල්ලා අරගල කරන සරසවි සිසුන් උල තැබීමට පාලකයින්ට උපදෙස් දෙන කාලකන්නි පත්තර කාරයින් සිටින අද වැනි යුගයක ,තරුණ පරපුර දෙස දයාවෙන් බැලූ දයාසේන ගුණසිංහ වැනි වුන්ගේ අඩුව බෙහෙවින් දැනේ.
 
මීට දහහතර වසකට පෙර ,1996 ඔක්තොබරයේ අප අතරින් වෙන්ව ගිය මේ ශ්‍රේෂ්ඨ මිනිසාගේ අවමගුල දා ඔහුගේම දොරමඬලාව කෘතියෙන් උපුටා ගත් කවි පෙලක් කවුදෝ විසින් මුද්‍රණයකර පැමිණි සිටි වුන් අතර බෙදා හැරියේය.

 

ඒ අදීන පත්තර කාරයාට ගෞරව පිණිස එම කවි පෙළ මෙසේ යලි සටහන්  කරමු.

කුණාටුවක් සැන්දෑවක් හා මළගමක්
 
සිය දහස් ළයෙහි නිහඬව හඬන වේදනා
එක්වන්ව නික්ම ගත් ලෙසින් වා ගැබ සලා
නොසිතු ලෙස හමා ආ සැඩ සුළං රළ නිසා
තුරු ලියද වැලපෙනා සේය ලැම අත් ගසා
 
මියැදි හිරු මොහොතකින් සිතිජයේ සැඟව යයි
කුණා‍ටුව මැදින් ‍  රැය සොර පියෙන් එනු දැනෙයි
අඳුරු ලොවකට බියෙන් මිළින වූ සැඳෑ එළි
නෙතින් නෙත කඳුලු බිඳු පහන් සිළු මවයි
 
මිතුරු දිවි මග මෙතෙක් අප කැ‍ටුව ගිය නිබඳ
පමා විය යුතුය අප යන අතර ඔබ තනිව
හිරු එළිය සමග යලි තව දිනක හමු වනුව
මේ සැඳෑවෙහි නොවේ සමු ගැනුම පෙර විලස
 
රජුන් රියසක් බිඳින අසරණුන් ගෙල මතින්
ඇස නුදූ‍ටු මල් කැකුළු පරව යන සුන් බතින්
ප්‍රශස්තිය සක්විතිව  කිරුළු පලඳින රනින්
ලොවක නුඹ මැවුයෙහි  අසිපතක්  පන් හි‍ඳෙන්
 
නිමා නැති මහ සටන් ඇවිල යන පෙරමුණෙහි
දැනේ දැනටම අඩුව නුඹේ එම අසිපතෙහි
විරාමය ලද විගස උණුසුමෙන් මී විතෙහි
පිළිසඳර කුමට යළි නුඹ නොමැති සැඳෑවෙහි
 
 
දයාසේන ගුණසිංහදොරමඬලාව1991

 

මහින්ද මහත්තයා තරම් පොඩි මිනිහාගේ හිත හඳුනා ගත්ත වෙන නායකයෙක් මේ රටේ මීට කලින් හිටියේ නැහැ කියලා අපිට කී වතාවක් නම් කියලා ඇත්ද? ඒත් ඇට මැස්සා ඒක විශ්වාශ කළේ නැහැ මේ සැරේ අය වැය කතාව අහන කම්.

 ඇත්තටම එතුමා පොඩි  මිනිහාගේ හිත ඉතාමත් හොඳින්  හඳුනන බව ඔප්පු කරලා පෙන්නුවා මේ සැරේ අය වැයෙන් සීයට පහකින් පඩි වැඩි කරලා. එතකොට පඩිය රුපියල් 11,000 ක් ගන්න මිනිහාට රුපියල් 550 කින් වැඩි වෙන කොට රුපියල් 50,000 ගන්න කෙනාට රුපියල් 2500 කින්ම වැඩි වෙනවා .

 මහින්ද මහත්තයා දන්නවා ඔය අය වැයේ රස්නේ යනකම් ක්ලාක් මහත්තුරු, පියන් මහත්තුරු ඔ‍ෆිස් එකේදි, කෝච්චියේදි බස් එකේදි ආන්ඩුවටයි, ඒකේ ලොක්කොන්ටයි අම්ම මතක් කරලා බැන්නට චන්දයක් කිට්‍ටු වෙන කොට ආපහු තමන් ලඟට එනවා කියලා.

  ඒ වගේම එතුමා දන්නවා එයාලා  මන්දිරේට ගෙන්නලා  කරවල හොද්දක් එක්ක බත් ඩිංගක් දුන්නා නම් ඔය පරණ කතා ඔක්කොම අමතක වෙනවා  කියලා. ඉතින් ඒ වගේ අය සතු‍ටු කරන්න මොකටද ආණ්ඩුවේ සල්ලි වියදම් කරන්නේ කියලා එතුමා හිතන්න ඇති. ඒ සල්ලි වලින්  කරන්න ඊට වඩා කොච්චර වැඩ තියෙනවද. දැන් බලන්න මිහින් ලංකා එකට වුනත් තව කීයක් හරි  වැඩි පුර දෙන්න පුලුවන් නේ.

 ඔය පහල පංතියේ උන්ට සලකනවට වඩා වටිනවා විස්ස විජ්ජාල මහාචාරිය , වගේ අයට ටිකක් අත මිට දිග ඇරලා සීයට 25 ක් විතර දෙන එක. එතකොට ඒ ගොල්ලොත් තමන්ගේ ඔඩොක්කුවට වැටෙනවා නෙව.  හදිස්සියකට වොයිස් කට් එකක් වත් ගන්න පුලුවන්නේ ෂේප් කරලා තියා ගත්තොත්.

  අනික  ක්ලාර්ක්ලා , ගුරුවරු වගේ අය ගෙන් ඒ වගේ වැඩක්වත් ගන්න පුලුවන්ද? එයාලා දුන්නත් කවුද ඒ වොයිස් කට් අහන්නේ.?

 ඔය වගේ උන්ට  මොකට පඩි වැඩි කරනවද? ඔන්න ඔහෙ හිටපුවාවේ.

 
දෙවැනි පදවි ප්‍රාප්තියට ගහපු සියලුම කටවුට්, බැනර්, පෝස්ටර් හෙට වෙනකොට ගලවන්න කියලා ආණ්ඩුව ඉල්ලීමක් කොරා කියලා අද දිනමිණ පත්තර කඩ මාලේ දාලා තියෙනවා ඕන්. එහෙම කරන්නේ නගරේ අලංකාරය නැවත ප්‍රතිෂ්ඨාපනය කරන්නලු.
 
දැන් මේ උන්නැහෙලා අපිට කියන්නේ මොකක්ද? ඔය පෝස්ටර් ,කටවුට් නිසා නගරේ අලංකාරේ නෙති වුනා කියලාද? එහෙම වෙන්න බැහැනේ. එහෙම වෙනවානම් ඕවා ගහන්න පොලෝසිය ඉඩ දේවිද?  පේනවානේ  අර ජේ වී පී කාරයන්ගේ පෝස්ටර් ගහන කොට අල්ලන් යන හැටි.
 
මේ ප්‍රවෘත්තිය දැක්කාම ඕනේ කෙනෙකුට හිතෙයි පදවි ප්‍රාප්තිය  නිසා ප්‍රීති ප්‍රමෝදයට පත් වෙච්චි ජනතාව කටවුට් ,බැනර්, තොග පිටින් දාලා තියෙනවාය,  ඒ වැඩේට ආණ්ඩුව කැමති නැතිය, ඒ නිසා ඒවා ගලවන්න කියනවා කියලා . මං හිතන විදියට ඒක තමා අරමුණ.
 
කාවද මේ රවට්ටන්න හදන්නේ? අපිවද? අනේ පවු!
 
පහු ගිය දවස්වල රට පුරා දාලා තිබුනු කටවුට් ඔක්කොම එක සමානයි. එකම රූපයක්, චිරං ජයතු කියන පද දෙක , එකම කවි පේලි දෙකක් තමා ඒවායේ තිබුණේ. මේ රටේ පොදු මහ ජනතාවට  පර චිත්ත විඥානය තියෙනවාද මේ විදියට රට පුරා එක විදියට කටවුට් ගහන්න.
 
නිකම් අපිව රවට්ටන්න බොරුවට නිවේදන දාන්න එපා.
 
ඔය කටවුට් ගහන්න කියලා රාජ්‍ය ආයතන වලට චක්‍රලේඛ එවපු විදියටම දැන් ආපහු චක්‍රලේඛයක් යැව්වා නම් ඉවරයිනේ ගලවන්න කියලාත්.
 
 කලින් සැරේ නම් චක්‍ර ලේඛය එව්වේ සී ඩී එකක දාලා.පාවිච්චි කරන්න ඕනේ  ෆොටෝ එක ,  කවි පද දෙක ඇතුලු ඊට අදාල වෙනත් උපදෙස් ඒ සී ඩී එකේ තිබුනා. මේ සැරේ එච්චර වියදමක් කරන්න ඕනෙත් නැහැනේ. නිකම් කොල කෑල්ලක් යැව්වම ඇතිනේ.
 
මොනවා වුනත් මේ  වැඩේ නිසා පදවිප්‍රාප්තියෙන්  ජනතාව ප්‍රීති ප්‍රමෝදයට පත් වෙලා , පිනා ගිහින් රටම එකම  මගුල් ගෙයක් වෙලා කියලා ස්වර්ණවාහිනියයි, දෙරණයි අපිට කිව්වට මේ විදියට චක්‍රලේඛ  යවලා  බලෙන් කටවුට් ගැස්සුවේ නැත්නම් කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා ආණ්ඩුවේ ලොක්කෝ දැන ගෙන හිටිය බව නම් තේරෙනවා.
 
සටහන- මේ විදියට එකම ජාතියේ කටවුට්  ගැහුවාම , ඒ වැඩේ ආණ්ඩුව සල්ලි වියදම් කරලා කරපු එකක් බව පොඩි එකෙකුට වුනත් තේරෙනවානේ. එහෙම තියෙද්දිත් ඇයි ඒ වගේ වැඩක් කලේ. ඒකට උත්තරය තමා ලොක්කෝ මොන තරම් නවීන දේවල් ගැන කතා කරත් , 21 වැනි ශත වර්ෂයට රට අරං යනවා කිව්වත් එයාලගේ ඔලු පසු ගාමියි කියන එක. මේ වැඩේ කරන්න ඇත්තේ නිසැකවම කවුරු හරි ජ්‍යෝතිෂ කාරයෙක් ගේ උපදෙස් පිට. ආනිවාර්යෙන් ඔය කටවුට් වල තිබුනු කවි පද දෙක කවුරු හෛර් ලියලා දීපු සෙත් කවි යක්. මිනිහා කියන්න ඇති මේ කවි පද දෙක හැකි තරම් වාර ගනනක්  මිනිස්සු ලවා කියවා ගන්න කියලා වස් දොස් යන්න.
 
මේ වගේ වැඩක් එක සැරයක් ප්‍රේමදාසත් කලා. මිනිහාගේ රූපේ රුපියලේ කාසියට දාලා.

 
මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගේ දෙවැනි ධූර කාලය පෙරේදා  ආරම්භ  වුනා .  ලෝකයේ  ලොකුම කැබිනෙට්ටුව එක්ක ලෝකයේ ලොකුම කිරිබත කාලා , ලෝකයේ  ලොකුම වියදම කරපු දෙවැනි වර වැඩ භාර ගැනීමේ උත්සවය පවත්වලා තමා වැඩේ පටන්  ගත්තේ. 
 
වික්ටර් අයිවන්ලා , ජෙහාන් පෙරේරා ලගේ පටන්  ගුණදාස අමරසේකර දක්වා වූ විවිධ පුද්ගලයෝ විවිධ මට්ටමේ  බලාපොරොත්තු සහගත ප්‍රකාශ නිකුත් කරනවා. සංවර්ධනය ගැන, ධනවාදී ආර්ථිකය ස්ථාපනය කිරීම ගැන, උතුරේ අර්බුධය විසඳීම ගැන , නොයෙක් ආකාරයේ සුභ සිහින දකිනවා .
 
නමුත් ඒ හීන හුදු හීන පමණක් ම බවට මොලේ කලඳක් හරි තියෙන ඕනෙම කෙනෙකුට තේරෙනවා.  ජාතියක් වශයෙන් , මෙතැනදී මම කිව්වේ ශ්‍රී ලාංකීය ජාතිය ගැන, අපි ශීග්‍රයෙන් පල්ලම් බහිමිනුයි ඉන්නේ. ඒක  පුද්ගල ආදායම  ඇමෙරිකන් ඩොලර් දාහේ ඉඳලා දෙදාහ දක්වා වැඩි කළා කියලා එක පැත්තකින් පුරසාරම් ගහද්දි ,  ජනගහනයෙන් සියයට  හතළිහකට දිනක ආදායම විදියට ලැබෙන්නේ ඩොලර් දෙකකට අඩුවෙන් කියලා වාර්තා වෙනවා. දේශයේ දරුවන්ගෙන් සියයට  25 කට වැඩිය මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ආදායම් විෂමතාව එන්න එන්නම වැඩි වෙමින් , පුද්ගලයින් දිළිඳු බවට ඇද දමනවා. මිනිස්සුන්ගේ වියදම ආදායමට වඩා වැඩියි . ණය බර එන්න එන්න ම වැඩි වෙනවා .  මිනිස්සුන්ගේ ආර්ථිකය රටේ   ආර්ථිකයේ මයික්‍රෝ  මොඩල් එකක් වගේ.
 
මේ අතරේ  මිනිස්සු උන් හිටි තැනින් පන්න දමමින් උන්ගේ ඉඩ කඩම්  සංවර්ධනයේ නාමයෙන් අල්ල ගන්නවා. මිනිස්සුන්ගේ ආදායම් මාර්ග අහුරමින් ඔවුන් ව හිඟමනට ඇද දානවා. හැබැයි ඇද හිඟා කන්නත් බැහැ. ඔලුවට ගල් ගෙඩි පාත් වෙනවා.
 
මේ තත්වය වෙනස් කරන්න ඕනේ කියලා කතා කරන මිනිස්සුන්ව මර්ධනය කරනවා.පහර දෙනවා. හිරේ දානවා. ජනාධිපතිවරයා තමන්ගේ දෙවැනි ධූර කාලය පටන් ගන්නේ තමන්ට එරෙහි වන හැම කෙනෙකුටම, තමන්ට තර්ජනයක් වෙයි කියලා හිතන හැම කෙනෙකුටම  පහර දෙමින් . විපක්ෂ මහජන නියෝජිතයන්ගේ    ඔලු පලමින්. විපක්ෂ හා බහු ජන ක්‍රියා කාරීන් හිරේ දමමින්.
 
 ජනපතිවරණයේ තමන්ගේ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා අභූත චෝදනා කරලා   හිරේ දාලා වධ දෙනවා. නොමරා මරනවා. ටැබූ නිවැරදිව කියපු විදියට ඔහු කරපු එකම වැරැද්ද ප්‍රජාතාන්ත්‍රික විදියට , තමන්ගේ අයිතිවාසිකම් පාවිච්චි කරලා, ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච එක. ඔහු එහෙම කලේ අවශ්‍යතාවක් තිබුනා නම් ඉතා පහසුවෙන් බලය අල්ලා ගැනීමට හැකියාවක් තිබෙද්දී. යුද්දයෙන් දිනපු හමුදා  නායකයා විදියට  ඔහුට ඒ දේ කරන්න හොඳටම හැකියාවක් තිබෙද්දිත් එහෙම නොකර හමුදාවෙන් විශ්‍රාම අර ගෙනයි  ඔහු දේශපාලනයට ආවේ. ඔහුට පහර දෙන්නේ ආණ්ඩුව ඔහුට බය නිසා. ජනාධිපතිවරණ  කාලේ එක හොඳටම පෙනෙන්න තිබුනා.
 
 ශිෂ්‍ය ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රමුඛ ඉලක්කයක්.  තරුණ ශිෂ්‍යයෝ හැම විටම සමාජයේ සෙසු පිරිස් වලට වඩා සංවේදියි. අසාධාරණය හමුවේ මුලින්ම ඊට විරුද්ධ වෙන්නේ ඔවුන්. මුළු මහත් සමාජයම නිදා ගෙන ඉන්න අතරේ  ශිෂ්‍යයන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන වදින බව පාලකයෝ දන්නවා. පොදු ජනතාවත් ශිෂ්‍යයෝ යන පාරේ යයි  කියලා පාලකයෝ  බයයි.තමන් කරන දේවල් මිනිස්සු හරියට තේරුම් ගත්තොත් උන් තමන්ට  එරෙහිව නැගිටියි කියලා පාලකයෝ බයයි.  උදුල අද හිර ගෙදර ඉන්නේ ඒ බය නිසා. පෝස්ටර් අලවන උන් අල්ලාගෙන ගිහින් හිරේ දාන්නේ ඒ නිසා. හඳුනෙත්තිලාගේ ඔලු පලන්නේ ඒ නිසා. එක්නැළිගොඩ ලා  අතුරුදන් වෙන්නෙත් ඒ නිසා. ඉදිරියට එන උන්ට අත් වෙන ඉරණම දකින සමාජය, පොදු ජනයා බය වෙනවා. ඒ බය නිසා උන්  තමන්ගේ ඇඳිවත පැහැර ගත්තත් සද්ද නොකර ඉන්න පුරුදු වෙනවා.
 
මේ අනුව පෙනෙන්න තියෙන්නේ ආණ්ඩුවත් පොදු ජනතාවත් එකිනෙකාට බයෙන් කල් ගෙවන යුගයක් එළඹෙමින් තිබෙන බවයි. අපේ සමාජයේ අනාගතය තීරණය වෙන්නේ මේ බයට ආණ්ඩුව හා මිනිස්සු මූණ දෙන ආකාරය අනුව . ආණ්ඩුව නම් බයෙන් මිදෙන්න වැරෙන් පහර දෙන්න තීරණය කරලා තියෙන්නේ. පොදු ජනයා වන අපි එක්කෝ මේ බයට යට වෙලා මිනිස් පනුවන්   බවට පත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් බය මැඩගෙන බයට එරෙහිව, අයිතිවාසිකම් වෙනුවෙන්, තමන්ගේ හා අනුන්ගේ අයිතිවාසිකම්  වෙනුවෙන් සටන් වදින්න ඕනේ. ඒ වෙනුවෙන් සමාජයේ මතයක් හදන්න ඕනේ.  හැබැයි ඉතින් එක එච්චර ලේසි නැහැ. බස් කොන්දොස්තරටත්  බයේ ජීවත් වෙන මිනිස්සු බහුතරයක්  ඉන්න සමාජයක එක ලෝකේ ලොකුම කිරිබත හදනවාට වඩා ලොකු වැඩක්. ඒත් එක්කම එක හරිම පොඩි වැඩක්.
 
 

ආණ්ඩුව කිරිබත් වලට පේටන්ට් බල පත්‍රයක් ගන්ට යනවාය කියලා කෙහෙලිය ඇමතිවරයා කියු බවක් පහු ගියදාක පත්තර වල පල වෙලා තිබුනා. ලංකාව ආසියාවෙ ආශ්චර්ය කරනවා කියපු වෙලේ හිනාවුනු එවුන්ට , රට ණය උගුලක හිර වෙලා ඉන්නවා කියන එවුන්ට , අපේ රටේ ආර්ථිකය බංකොලොත් කියලා කියන එවුන්ට මේක හොඳ කනේ පාරක්.

රට සංවර්ධනය කොරන්ට ඕනේ ආදායම් උපද්ද ගන්ට ඕනේ එහෙම තමා.අලුත් අලුත් ක්‍රම හොයා ගන්ට ඕනේ.පරණ සම්ප්‍රදායික ක්‍රම වලට බැහැ ආසියාවේ ආශ්චර්ය කරන්ට.

නායකයෝ වුනාම නිර්මාණශීලි වෙන්ට ඕනේ. අන්න අපිට දැන් ලැබිලා ඉන්නවා නියම නිර්මාණශීලි නායකයෙක්.එතුමාගේ ආණ්ඩුව මොනතරම් නිර්මාණශීලි විදියටද ආදායම් හොයන්නේ.

දැන් බලන්ට , ආණ්ඩුව බූරු ගස්සලා ‍තෝන් සල්ලි ගන්ට වැඩ පිලිවෙලක් ලෑස්ති කරා පහු ගිය සතියේ. ඒකෙන් මොන තරම් නම් ආදායමක් ගලාගෙන එයිද? දැන් මේ අලුත් ප්ලෑන බලන්ට.

මීට පස්සේ කාට හරි කිරිබත් කන්ට ඕනේ නම් ආණ්ඩුවට ගානක් ගෙවලා බල පත්‍රයක් ගන්ට වෙනවා. හොඳ ආදායමක් ගන්ට පුලුවන් ෂුවර් එකටම. මොකද අපේ රටේ ඉන්නේ කිරිබත් කන්ට රුසියෝ නෙව. මිනිහෙක් මලත් කිරිබත් කනවා. තමන්ගේ බෙල්ලට තොණ්ඩුව දැම්මත් කිරිබත් කනවා. මෙදා පොටේ නම් ආණ්ඩුවෙ හොද්ද බොරයි.

පේන විදියට වැඩි කල් නොයා අපි ආසියාවේ ආශ්චර්ය වෙනවා.

මේ වෙලාවේ දේශප්‍රේමි රට වැසියෙක් විදියට මගෙත් තියෙනවා යෝජනාවක්. අපිත් පුලු පුලුවන් විදියට දායක වෙන්ට එපැයි ආශ්චර්යට.

මෙහෙමයි වැඩේ. දැන් ලෝකේ තියෙන කෑම වලට කවුරුත් පේටන්ට් අරන් නැහැනේ.

බත්, පාන්, කේක්, ‍තෝසේ ඉඳි ආප්ප,ආප්ප, පැණි ආප්ප, වන්ඩු ආප්ප, පිට්‍ටු , මනි පිට්‍ටු, ඉට්ලි, පිසා,කොත්තු, පරාටා,  පොල් සම්බල්, අල හොදි ,ජාඩි, ………………………….. 

මගෙ  අම්මෝ මේ විදියට අවුරුදු ගානක් ලියන්ට පුලුවන් ලැයිස්තුවක් තියෙනවානේ. මේ හැම එකටම අපි ගමු පේටන්ට්. එතකොට ඉතින් අපිට ගානක් ගෙවලා තමයි මොන ජගතාට  වුනත් කන්ට වෙන්නේ. කොහොම සල්ලියක් හොයා ගන්ට පුලුවන් වෙයිද?

ආසියාවේ නෙවේ මුලු ලෝකේම ආශ්චර්ය කොරන්ට බැරිය ඔය විදියට.

සටහන 1- මේකත් මගේ යෝජනාවේ කෑල්ලක්, හැබැයි මේක ඉතින් මෙහේ විතරයි කොරන්ට වෙන්නේ. පිට රට නම් කරන්ට බැරි වෙයි. අපිට පුලුවන් කුස්සි පරීක්ෂක කියලා කට්ටියකට රස්සා දීලා , උන්ව යවන්ට මුලු රටේම තියෙන කුස්සි කෑම වෙලාවට පරිස්සා කරන්ට. එතකොට මොකෙක් හරි තමන්ට  කෑමට  බලපත්‍රයක්  නැති කෑමක්  කනව නම්  ඔන් ද ස්පොට් දඩයක් ගහන්ට පුලුවන්. තවත් ආදායමක් එනවා විතරක් නෙවේ, රස්සා තොගයක් දෙන්ටත් පුලුවන්.

සටහන 2- ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ මැලේසියාවේ ජාතික ආහාරයක් වන නාසි ලෙමාක් යනුවෙන් හඳුන්වන පොල් කිරි යෙදු කිරි බතයි.