Archive for March, 2010

ප්‍රගීත්

Posted: March 31, 2010 in Uncategorized

 සුදු රෝස ව්‍යාපාරය ඇරඹෙන 1941 වන විට ජර්මනියේ තත්වය එබඳුය.

හන්ස් සහ සොෆී තම මිතුරන් සමග මේ තත්වයන් ගැන නිතරම් සාකච්ඡා කලෝය.ඔව්හු සියලු දෙනාම හිට්ලර්ගේ පාලනයේ දැඩි විවේචකයන් වූ අතර ,මේ තත්වයට එරෙහිව වඩාත් ක්‍රියාකාරි විය යුතු බැව් තීරණය කලහ. හොර රහසේ , සැඟවී කරන විවේචනය පමනක් ප්‍රමාණවත් නොවන බවත් හැකි උපරිම අයුරින් එකාධිපති පාලනයට එරෙහිව සටන්  වැදිය යුතු බවටත් ඔව්හු එකඟවූහ.

මහාචාර්ය හියුබර් සමඟ එක්වූ ඔවුහු ඒකාධිපති පාලනය විවේචනය කරමින්  අත් පත්‍රිකා ලියා හොර රහසේම මුද්‍රණය කර බෙදා හැරියහ.

මෙය වැදගැම්මකට ගත යුතු විරෝධයක් නොවේ යැයි අද යම් කිසිවෙකුට පෙනී යා හැක. නමුත් සැලකිල්ලට ගත යුතු කාරණාව වනුයේ ඔවුන් හිට්ලර් සමඟ සටන් වැදුනේ කුමන ආකාරයකින්ද යන්න නොව, කුමන ආකාරයකින් හෝ හිට්ලර් සමඟ සටන් වැදුනු බවයි.

ඔවුන් 1942දී ක්‍රියා කිරීමට සිදුව තිබුනේ හිට්ලර්ගේ නාසි පක්ෂයේ නිල ඇඳුම අඳින උපකුලපති වරයෙක් සිටින, හිට්ලර් යොවුන් බලකායට මුලුමනින්ම යටපත් වූ සරසවියක සිටය.නාසි පක්ෂය විසින් තහනම් කරන ලද පොත් ගිනි තැබීමට මහත් උනන්දුවෙන් හවුල් වූ ආචාර්ය වරුන් හා සිසුන් සිටි සරසවියක් තුලය.මියුනිච් විශ්ව විද්‍යාලයේ එදා තිබූ තත්වයට හොඳම උදාහරණය නම් එහි පුස්තකාලයේ දොරටුවෙහි එල්ලා තිබූ දැන්වීමයි.

යුදෙව්වන්ට ඇතුල් වීම තහනම්” 

මේ සියල්ලටත් වැඩියෙන් , තමන්ගේ මෙම ක්‍රියාවන් රාජ ද්‍රෝහිකම් වශයෙන් හඳුන්වා මරණ දඬුවම් ලබා දිය හැකි බැව් ඔව්හු දැන සිටියහ. නමුදු,මේ සියලු තත්වයන් තිබියදීත් , ක්‍රියාත්මක වීමට, අකර්මන්‍යව නොසීටීමට, ද්‍රෝහී නොවීමට , සටන් කිරීමට ,ඔව්හු තීරණය කලහ. 

අත් අඩංගුවට පත් වී මරා දැමෙන විට ඔව්හු අත් පත්‍රිකා හයක් ලියා හොර රහසේ මුද්‍රණය කර බෙදා හැර තිබුනහ.

හිට්ලර්ගේ ගෙස්ටාපෝ රහස් පොලීසිය තම අඬු සෑම තැනකම විහිදුවාගෙන සිටි එසමයේ එය ඉතාමත් අසීරු කටයුත්තක් විය.ඔව්හු පත්‍රිකා කුඩා ප්‍රමාණ වලින් ප්‍රවාහනය කලහ. දුරකතන නාමාවලියෙන් ලබා ගත් ලිපින වලට තැපල් කලහ.සරසවි දේශන ශාලාවල දොරටු අසල , අපානශාලවල , ක්‍රීඩා පිටිවල , මහජනයා වැඩිපුර ගැවසෙන ඕනෑම තැනක තැබූහ.ඔවුන් බොහෝ විට ඉලක්ක කර ගත්තේ සරසවි සිසුන් හා බුද්ධිමතුන්ය.මේ ඒකාධිපති වියරුවට එරෙහිව පුලුල් ජනමතයක් ගොඩනැගීමට, එයට එරෙහිව සංවාදයක් ඇති කිරීමට ඔවුන්ට අවශ්‍ය විය. දෑස් වසාගෙන සිටි ජනතාවක දෑස් ඇරවීමට, මුව අගුලු ලා ගෙන සිටි ජනතාවක මුව ඇරවීමට ඔවුන්ට අවශ්‍ය විය. බියෙන් තැති ගෙන සිටි ජනතාවක් එම බියෙන් මුදා ගැනීමට හිට්ලර්ට වන්දනා කරමින් ස්වයං මෝහනයක ගිලී සිටි ජනතාවක් එම මෝහනයෙන් මුදා ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය.

පත්‍රිකා නැවත නැවතත් මුද්‍රණය වෙමින් , පිටපත් වෙමින් සමාජය තුල බෙදා හැරිනි. හිට්ලර්වාදි ස්වයංමෝහනයකට පත්ව් සිටි ජනතාව අතර කැළඹීමක්, මහා පරිමාණයෙන් නොවුනද සමාජය තුල විරෝද බලවේග ගොඩනැගෙමින් තිබෙන බවට ජනතාවට පමණක් නොව පාලකයින්ටද දැනෙන කැළඹීමක් ඇති විය.ගෙස්ටපෝව පත්‍රිකා කරුවන් සොයා දැල් එලීම ඇරඹීය.

මේ අතර තම කටයුතුවල රහස් බව රැකගනු වස් හන්ස් ඇතුලු පිරිස නොයෙක් උපක්‍රම භවිතා කලහ. ඔව්හු කඩදාසි, මුද්‍රණ තීන්ත හා ලිපි කවර ඉතා කුඩා ප්‍රමාණ වලින් මිලදී ගත් හ.තම මූලස්ථානය මියුනිච් සරසවිය බව සඟවනු වස් දුර පිහිටි කුඩා නගර වලින් පත්‍රිකා තැපෑලට දැමූහ. 

මේ අතර යුද පෙරමුණහි තීරණාත්මක වෙනසක් සිදු විය. 1943 පෙබරවාරියෙදී ජර්මනිය සෝවියට් රතු හමුදා අතින් තම ප්‍රථම දැවන්ත පරාජය ලැබීය. මෙම පරාජිත මානසිකත්වය ත්‍රීව කරනු වස් තවත් පියවරක් ඉදිරියට තැබීමට සුදු රෝස ව්‍යාපාරය තීරණය කලේය.ඔවුන් නගරය පුරා තාප්ප හා බිත්ති වල විරෝදතා සටන් පාඨ ලිවූහ.

හිට්ලර් භංග වේවා”    ……………………………..”නිදහස”

එයනම් අන්ධ හිට්ලර් භක්තිකයන් මහා කම්පනයකට ඇද දමන්නට සමත් වූ ක්‍රියාවක් බව නිසැකය.බිත්ති මත මේ සටන් පාඨ දුටු විට එම හිට්ලර් වාදින් හැසිරුනු ආකාරය දැකගන්නට ඔබ කල යුත්තේ අද මෙහි සිටින පිරිහුන විශ්‍රාමික කැරලි කරුවන් දෙස බැලීම පමනි. 

එනමුදු හිට්ලර්ගේ ගෙස්ටාපෝවට මේ තරුණ පිරිස කොටු කරගැනීමට ඉක්මනින්ම මග පෑදුනි. ඒ ඔවුන් අතින්ම වූ වරදකිනි.

1943 පෙබරවාරි 18 දින හයවැනි පත්‍රිකාව පිරවූ සූට්කේසයක්ද සමඟ හන්ස් සහ සොෆී සරසවියට පිවිසුනි. දේශන හමාර වී එලියට පැමිණෙන සිසුන්ට ලබා ගතහැකිවන පරිදි දේශන ශාලාවල දොරකඩ පත්‍රිකා මිටි තැබූ ඔවුන් දෙදෙනා කඩිනමින් ඉන් ඉවත්ව යද්දි සූට්කේසය තුල තවත් පත්‍රිකා කීපයක් ඉතුරුව තිබෙනු සොෆී දුටුවාය. මේ වන විට දේශන අවසන් වී සිසුන් එලියට පැමිණෙමින් තිබූ නිසා නැවත දේශන ශාලා වෙත යාම කල නොහැක්කක් විය.

තමන් සිටි ගොඩනැගිල්ලේ ඉහල මාලයට දුව ගිය ඇය එම පත්‍රිකා ජනේලයකින් පහතට විසි කලේ මිඳුලේ සිටි සිසුන්ට අහුලා ගැනීමටය.

ඇ‍ය පත්‍රිකා විසි කරනු දුටු ගොඩනැගිල්ලේ සිටි පවිත්‍රතා සේවකයෙක් ඒ බව උපකුලපති හට දනුම් දුන් අතර , ඔහු වහාම ගෙස්ටාපෝව ගෙන්වීය.සොෆී හා හන්ස් ගෙස්ටාපෝ අත් අඩංගුවට පත් විය.ඉක්මනින්ම ඔවුන්ගේ සමීපතයන් හා මිතුරන්ද අත් අඩංගුවට පත් විනි.දින හතරක් තිස්සේ ඔවුන්ව ගෙස්ටපෝවේ දරුණු වද හිංසා වලට භාජනය විය. ඔව්හු නිර්භීතව තමන් කල දෙය පිලිගත්හ. කෙටි නඩු විභාගයකින් පසු ඔවුන්ගේ හිස් ගස දමා මරණයට පත් කරන ලදි. 

ඔවුන්ගේ ව්‍යයාමය නිෂ්පල වූවකයි කෙනෙකුට වාද කල හැක. නමුත් එය නිෂ්පල උත්සාහයක් ද? ඔවුන් පරාජය කිරීමට හිට්ලර්ට හැකි වීද?හිට්ලර්ගේ සියලු බල පරාක්‍රමයන් ඉදිරියේ නැගීසිටීමට මේ තරුණ පිරිස තීරණය කිරීම තුලම හිට්ලර්ගේ  පරාජය සනිටුහන් නොවන්නේද?

ඔව්හු අසාධාරණය, අයුක්තිය හා භීෂනය හමුවේ නිහඬව සිටීම ප්‍රතික්ෂේප කලහ. ඒකාධිපති පාලනයක් හමුවේ නිදි වැද සිටි ජාතියක් අවදි කිරීමට උත්සාහකලහ. එයම ප්‍රමාණවත් නොවන්නේද?

ඔවුන්ගේ පලමු පත්‍රිකාව මෙසේ ඇරඹෙයි.

යම් කිසි ශිෂ්ඨ සම්පන්න ජාතියක් , නින්දා සහගත අරමුණු ඇති දුෂ්ඨ පාලන කල්ලියක පාලනයට ගොදුරු වී ඇති විටෙක , ඊට හැකි පමණින් විරෝධයක් නොපාන්නේ නම් ඒ ජාතිය තඹයකුදු නොවටී.අද ජීවත් වන හැම අවංක ජර්මන් ජාතිකයෙක්ම ලැජ්ජා වන්නෙ ඒ නිසාය.” 

ඉන්පසු ඔව්හු මෙසේ ලියති.

මිනිසා අනිත් සියලු සතුන්ට වඩා ඉහලින් ඔසවා තබන ඔහුගේ නිදහසේ අයිතියට  ජර්මන් ජනතාව විසින් පාවාදෙනවානම්,…. තම පෞද්ගලිකත්වය පවා නැති කරගනිමින්, සිතීමට පවා නොහැකිබියගුලු මිනිසුන් බවට පත් වෙන්නේ නම් : ඔව්, එවන් ජාතියක් නැති භංග වී යාමට සුදුස්සෝය. සියලු දෙනාම අනෙකා පටන් ගන්නා තුරු බලා සිටියොත් සිදු වන්නේ ඒ මාරයින් අප වෙත දිනෙන් දින  ලං වීම පමණි……..  ඔබ කොහේ සිටියත් එතැන සිට විරෝධය පාන්න.” 

ඔව්හු තවත් පත්‍රිකාවක මෙසේ සටහන් කරති.

අප උත්සාහ කරන්නේ මේ ජඩ ක්‍රමය පෙරලා දැමීම තනිව කල නොහැක්කක් බව පැවසීමටය. එය කල හැක්කේ මේ කරුණු අවබෝධ කරගත් සීයලු දෙනාගේ සහයෝගයෙනි .අරමුණට ලඟාවීම සඳහා තෝරාගත යුතු මාර්ගය  දිගේ ඉදිරියට ගමන්කරන මිනිසුන්ගේ එකතුවකින් පමනි.සැබැවින්ම අපට එතරම් මාර්ග නැත.ඇත්තේ එකම එක මාර්ගයක් පමණි. එනම් රහසිගත විරෝධයේ මාවතයි.” 

” ….. අපි ඔබලාට වද දෙන ඔබගේම නරක් වූ හර්ද සාක්ෂියයි.අවට සිදු වන දේ ගැන නිහඬව බලා සිටීමට අප ඔබට ඉඩ නොදෙමු.” 

ඔව්, ඔවුන් මරණය තෙක් පමණක් නොව මරණින් පසුද ඒ යුතුකම ඉටු කරමින් සිටින්නෝය. 

වයස අවුරුදු විසි ගනන් වල මුල් භගයේ පසුවූ මේ තරුණ තරුණියන් කිහිපදෙනාට පත්‍රිකා කිහිපයක් බෙදා හැරීමට වඩා වැඩි යමක් කල නොහැකි වූ බව සැබෑය.නමුදු ඔවුන් ඉතිහාසය තුල තබා ගිය සටහන නොමැකෙන සුලුය.එය අප හඩවත් තුල ගැඹුරටම කා වැදී ඇත.

අද දින අපිට වද දෙන අපේ හර්ද සාක්ෂිය ඔවුන් නොවන්නේද?

තම සොහොයුරිය හා සගයන් සමග 1943 පෙබරවාරි 22 දින ගිලටීනයට ගෙල තබා ගෙන සිටිද්දි, හන්ස් ෂොල්ගේ මුවින් පිටවූ අවසන් වදන් පෙල අප හදවත් තුල නිදහස පිලිබඳ උණුසුම් හැඟුම් පුරවලනු නොමැතිද?

…  ” නිදහස දිගුකල් දිනේවා”

නිසැකින්ම ,ඕනෑම වර්ගයක ඒකාධිපති පාලනයකට එරෙහිව සටන් වැදීමට අවශ්‍ය ධෛර්ය ඔවුන් අපට සපයනු ඇත.

 

 

ජර්මනිය නාසිවාදයේ රුදුරු මර්ධනයට යටත්ව තිබියදි,සමස්ත ජර්මන් ජාතියම හිට්ලර් වන්දනාවේ යෙදෙත්දී ,එයට එරෙහි වූවන්ගේ නියත ඉරණම මරණය වෙත්දී , මෙම අභීත තරුණ පිරිස මානව වර්ගයා වෙනුවෙන්, තම රට හා ජාතිය වෙනුවෙන් කල යුතු දෑ නිවැරදිව හඳුනා ගෙන , දුෂ්ට පාලනයට එරෙහිව සංවිධානය වූහ.1942 දී පමණ ඔවුන් මුල් වරට සංවිධානය වන විට හිට්ලර්ගේ හමුදා ලොකයේ එක් රටකින් පසු තවත් රටක් වශයෙන් යටපත් කරමින් විජයග්‍රාහීව ඉදිරියට යමින් සිටියහ.සැබැවින්ම ඔවුන් නැගී සිටීමට තීරණය කලේ නාසි පාලනයේ උච්චතම කාලයේය.

පළමු ලෝක යුධයේ පරාජයෙන් පසු අති දෑවන්ත උද්ධමනයක හා විරැකියාවක ගිලී සිටි ජර්මනිය,යුධ ජයග්‍රාහකයන් හට වන්දි ගෙවීමට සිදුවීම නිසා ආර්ථික අර්බුදයට අමතරව අවමානයටත් ලක්ව සිටියේය.සමස්තයක් වශයෙන් එසමයේ ලෝකයම ආර්ථික අවපාතයක් කරා ගමන් කරමින් සිටි අතර ජර්මනිය වඩ වඩාත් ආගාධයකට තල්ලු වෙමින් තිබුණි.

හිට්ලර්ගේ ජාතිවාදි ,වර්ගවාදි දේශපාලනයට මෙම තත්වය සරු පසක් වූ අතර , න්‍යායිකව බෙදී තිබුනු වමෙන් කිසිම ප්‍රතිරෝධයක් නොවූ තරම්ය.

1933දී හිට්ලර් බලයට පත් වූයේ කැරල්ලකින්, ප්‍රචණ්ඩ විප්ලවයකින් හෝ හමුදා කුමන්ත්‍රණයකින් නොවේ.ජනතාවගේ චන්දයෙනි. එම වසරේ පෙබරවාරියේ බලයට පැමිණි හිට්ලර් , මාර්තුවෙදී , පාර්ලිමේන්තුවේ තමන් සතු වැඩි චන්ද බලය යොද ගනිමින්, සියලු බල තල තමන් වෙත නීත්‍යානුකූලවම පවරා ගත්තේය.පාර්ලිමේන්තුව තමන් සතු සියලු බලතල හිට්ලර් නමැති මේ තනි පුද්ගලයා වෙත පවරා දුන්නේය.කෙටියෙන් කිවහොත් එරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සිය දිවි නසා ගත්තේය.හිට්ලර් ජර්මනියේ අනභිබවනීය “නායක තුමා” විය. හරියටම “මහරජානෝ” බඳුය.සියලු වැදගත් තනතුරු වලට ඔහුගේ එහෙයියන් පත් විය. ඇරඹීමට තිබුනේ හීම සමයයි.

ගෙස්ටාපෝ රහස් පොලීසිය, එස් එස් හමුදාව ඇතුලු නිල හා නොනිල හමුදා මගින් විරුද්ධවාදින් පැහැරගෙන යාම්, මරාදැමීම් දිගටම සිදු විය.විරුද්ධ පක්ෂ තහනම් විය.ජර්මනියේ එකම නීත්‍යානුකූල පක්ෂය හිට්ලර්ගේ නාසි පක්ෂය පමණක් විය.පුවත් පත් තහනම් කෙරිනි.යම්තමින් හෝ පාලකයින්ගේ සැකයට බඳුන් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක්කෝ මරා දමන ලදි. නැතහොත් රට පුරා පිහිටුවා තිබූ වද කඳවුරුවල හිරකර සෙමෙන් සෙමෙන් මියයාමට සලස්වන ලදි. 

පිරිසිදු ආර්ය ලේ ඇති ජර්මන් ජාතියක් පිලිබඳව අන්ත වර්ග වාදී මිත්‍යාවන් වපුරමින් ,යුදෙව් ජාතිකයන් දශ ලක්ෂ ගනනක් ඝාතනය කෙරිණි.මේ සියලු අපරාධ හමුවේ ජර්මන් ජාතිය නිහඬව බල සිටියහ.නැතහොත් ඒවාට සහයෝගය ලබා දුන්නේය.ඊට විරුද්ධ වීමට තරම් නිර්භීත බවක් තිබූ කිසිවෙක් සිටියේනම් ඒ නිසැකවම සිපිරි ගෙයක හෝ සොහොනකය.

 දේශීය පෙරමුණ මෙසේ මහජන චන්දයෙන්ම තමන්ට අවශ්‍ය පරිදි සකස් කර ගත් හිට්ලර් ඉන්පසු විදේශ්යන් ආක්‍රමණය කරමින් දෙවන ලෝක යුද්ධය ඇරඹීය. දශලක්ෂ සංඛ්‍යාත ජනතාවක් යුද බිම් තුලත් ඉන් පිටත් මරා දැමිනි.තවත් දශ ලක්ෂ ගනනක් වධ කඳවුරු වල සිර ගත කෙරුනි. 

සුදු රෝස ව්‍යාපාරය ඇරඹෙන 1941 වන විට ජර්මනියේ තත්වය එබඳුය.

-මතු සම්බන්දයි

ජනාධිපතිවරණය හමාර විය.ජනතාවට ,තරුණ තරුණියන්ට පමනක් නොව දරු දැරියන්ටත් සුබ අනාගතයක් උදා කර දීමට පොරොන්දු වූ අපේක්ෂකයා ජයගෙන ඇත. අඩුම වශයෙන් නිල ප්‍රතිපල අනුව ජයගෙන ඇත.දැන් ඔහු සුබ අනාගතයක් උදා කර දීමට ක්‍රියා කරගෙන යනු පෙනේ.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් තරඟ කල ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැහැරගෙන ගොස් හමුදා සිර අඩස්සියේ  තබා ගෙන සිටී. රාජපාක්ෂිකයන්ගේ වංචා දූෂණ හෙලි කරමින් ජෙනරාල්ගේ මැතිවරණ සටනේ ප්‍රධාන මාධ්‍ය භූමිකාව ඉටු කල ” ලංකා” පුවත් පත සීල් කොට එහි ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා අත් අඩංගුවට ගැණිනි ( පසුව උසාවි නියෝග මගින් මේ දෙකම හකුලා ගැනීමට සිදු වුවද ) .  ස්වාධීන මාධ්‍යවේදියෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කොට දින 45කට වඩා ගතවී ඇත.රජයේ නිල මතවාදයන්ට වඩා වෙනස් අදහස් පලකරන වෙබ් අඩවි වලට නොයෙකුත් බාධා පැමිණෙයි.පසු ගියදා චීන විශේෂඥ පිරිසක් පැමිණ ,රජයට ඒ සඳහා උපදෙස් ලබාදෙමින් තිබෙන බව වාර්තා විය.කෙටියෙන් කිවහොත් විරුද්ධ පාක්ෂිකයන් , විකල්ප මත ධාරින් මර්ධනය කිරීමට රජය උපරිමයෙන් ක්‍රියාකරමින් සිටී.

සුබ අනාගතයක් කදිමට උදාවෙමින් තිබෙන සෙයකි.විපක්ෂ ක්‍රියා කාරින් මරා දමමින් , විපක්ෂ දේශපාලන කාර්යාල වලට පහර දෙමින් ,ගිනි තබමින් ඒ කටයුත්ත ඉතාමත් ඉහලින් කිරීමට සැරසෙන බවක් පෙනෙන්නට තිබේ., හදිසි නීතිය යොදා ගෙන අත් අඩංගුවට ගන්නා පිරිස් දස දහස්  ගණනින්   රැඳවීමට රැඳවුම් කඳවුරු ගනනක් ම ප්‍රකාශයට පත් කොට ඇත.ගොනා හැරෙන්නේ පොල් පැලය කෑමට බව සේම , රාජපක්ෂ රෙජිමයේ හැරුම අන්ත දුෂ්ඨ ඒකාධිපති පාලනයක් කරා බවත් අවබෝධ කරගැනුමට අමුතු දේශපාලන ඥාණයක් අවශ්‍ය නොවේ.

පුත් කුමාරවරුන්ට හා යුවරාජ මල්ලීලාට එක් එක් ප්‍රාන්තය භාර දෙමින් මේ යන්නේ ඒකාධිපති වාදයෙනුත්  ඔබ්බට ගිය වැඩවසම් රාජාණ්ඩු පාලනයකට දෝයි සැක සිතෙන තරමට තත්වය බරපතලය.

මෙලෙස ඒකධිපතිත්වයේ රුදු වියරුවෙන් ජාතියක ගෙල සිරකර ගෙන,එයට විරුද්ධව අවම විරෝධයක් හෝ පල කිරීමට ඇති සියලු මං  අවුරා ඇති විටෙක , ජනතාවක් කුමක් කරනු ඇත්ද?  කුමක් කල යුතුද?ලෝකයේ විවිධ රටවල ,විවිධ පන්නයේ ඒකාධිපතීන් හමුවේ ජනතාවන් දැක්වූ විවිධ ප්‍රතික්‍රියා පිලිබඳව උදාහරණ ඕනෑ තරම් දැකගත හැක. 

ඒකාධිපති පාලනය හමුවේ දණ නමා බියෙන් හැකිලී පලා යා හැක. එය කවුරුත් දන්නා ලෙස විදෙස් රටකට පලා යාමක් හෝ තමන් තුලටම පලා යාමක් විය හැක.තම ඇස් කන් වසා මුව අගුලු ලාගෙන සිදුවෙන විනාශය නොදුටුවා සේ සිටීමත් එක්තරා පලා යාමකි. බියසුලුකමකි.

නො එසේනම් පාලක කල්ලියට හවුල් වී , ඔවුනට ආශිර්වාද කරමින්, ලැබෙන වරප්‍රසද , වරදාන භුක්ති විඳිමින් ජීවත් වීම තවත් පිලිතුරකි.

මෙහිදී අප සිහියට නිතතින්ම නැගෙන්නේ ,වැසිකිලි යනවිටත් ” බටහිර කුමන්ත්‍රණ ” යැයි මතුරමින් දේශප්‍රේමය තොරොම්බල් කරන හිටපු විප්ලවවාදීන් රොත්තයි.ඔව්හු දුරකතන සමාගමක කොටස් කීපයකට, වෙඩි බෙහෙත් ආනයන බලපත්‍රයකට හෝ පරණ යකඩ නැවකට ගැති වී ඒකාධිපති පාලනයක් හමුවේ දනින් වැටී සිටිති.නිකම්ම නොව පාලකයන්ගේ සපත්තුද ලෙව කමිනි. 

මේ ආකාරයේ ජනතා ද්‍රෝහීන් ඉතිහාසය පුරා ඕනෑ තරම් දැකගත හැක.ඔවුහු මිනිස් වර්ගයාගේ ශාපයට ලක්ව ඉතිහාසයේ අඳුරු මං පෙත් තුල කාලයේ වැලි තලාවෙන් යට වී වැසී යති.මිනිස් වර්ගයා ඉඳ හිට ඔවුන් සිහි කරතත් එසේ කරන්නේ පිලිකුලෙනි. හිට්ලර්ට ආ වැඩූ ගොබෙල්ස් මෙනි.

එහෙත් එම මං පෙත් සදා පෙත් සදා ආලෝකවත් කරමින් පහන් කනු සේ නැගී  සිටින්නේ , රුදුරු පාලකයන්ට එරෙහිව සටන් වැදුනු  අභීත මිනිසුන්ය.රෝම අධිරාජ්‍යයට එරෙහිව සටන් කල ස්පාර්ටකස් නම් වහලාගේ සිට රාජපක්ෂ රෙජිමය විසින් පසු ගිය දා මරා දැමුනු චන්ද්‍රදාස නයිදුහේවා දක්වා ඔවුහු සියල්ලෝම තමන් පිලිබඳ මතකය මිනිස් වර්ගයාට ආඩම්බරයක් ප්‍රෞඩත්වයක් ගෙන දෙන  එබඳු ගැහැණුන්ය,   මිනිසුන්ය. 

සුදු රෝස ව්‍යාපාරය යනු , ඒකාධිපති හිට්ලර්ගේ පාලනයට එරෙහිව අභීතව නැගී සිටි එවන් නව යොවුන් තරුණ තරුණියන් කිහිප දෙනෙකුන් තම විරෝධ ව්‍යාපාරය හඳුන්වාගත් නාමයයි.එවකට ජර්මනියේ සිටි අනෙකුත් දශලක්ෂ සංඛ්‍යාත පිරිසක් කල පරිද්දෙන් ඔවුනටත් දෑස් පියගෙන සිටීමට හෝ , පාලක නාසි පක්ෂයට හවුල් වී වරප්‍රසාද ලබමින් සුව පහසු ජීවිත ගත කිරීමට ඉඩ කඩ හොඳටම තිබුනි. නමුත් ඔවුන් තෝරා ගත්තේ එදා එහි සිටි සත්‍යවාදී මිනිසුන් කිහිපදෙනෙකුන් පමනක් තෝරාගෙන තිබූ ඒකාධිපති පාලනයට එරෙහි කටුක අරගලයේ මාවතයි.

ඔවුන් සිටියේ කිහිප දෙනෙකුන් පමණි.

හන්ස් ෂොල් ( 1919.09.22-1943.02.22) ,

සොෆී ෂොල් (1921.05.09-1943.02.22) – හන්ස් ගේ සොහොයුරිය

විලී ග්‍රාප් (1918.01.02-1943.10.12) ,

ක්‍රිස්තෝප් ප්‍රොබ්ස්ට් (1919.11.06-1943.02.22) ,

ඇලෙක්සැන්ඩර් ෂ්මොරල්( 1917.09.16-1943.07.13)

මේ සියලු දෙනාම මියුනිච් සරසවියේ සිසුන් වූ අතර ,දර්ශනවාදය පිලිබඳව උගත් සොෆී හැරෙන්නට අනිත් සියලු දෙනාම වෛද්‍ය සිසුන් වූහ.එම සරසවියේ දර්ශනවාදය පිලිබඳව  මහාචාර්ය කර්ට් හියුබර් ද ඔවුන් සමග එක්ව සිටියේය .

සංවිධානයේ අරටුව මේ හය දෙනා වූ අතර ඔවුන් සමග මේ කටයුත්තේදී එක් ව කටයුතු කල තවත් බොහෝ දෙනෙක් විය.මුෂුවෙල් ලාප්‍රෙන්ස්,කැතරිනා ෂුඩකොෆ්,ලිලෝ බ්‍රොන්ඩ්, ජර්ගන් විට්ස්ටන් හා පෝල් හාර්නක් ද හන්ස් හා සොෆී ගේ සොහොයුරිය වූ     ඉන්ග ෂොල් ද ඔවින් අතර විය.මහාචාර්ය හියුබර් ඇරෙන්නට අනිත් සියලු දෙනාම වයස විසි ගනන් වල පසු වූ තරුණ තරුණියන් ය.

-මතු සම්බන්දයි

 

දමනය

Posted: March 30, 2010 in Uncategorized

හීලෑ කරනු   සියලුම බුද්ධිමතුන්

නැතහොත් මරාදමනු

අණකලා උතුමාණෝ

තහනම් කරව්

සියලුම න්‍යායන්  මතවාද  හා සංකල්ප

වාද  විවාද

වෘත්ත  චතුරශ්‍ර  හා ත්‍රිකෝණ

මතු නොව

තුනට ඉහලින් ඇති සියලුම සංඛ්‍යා

දැන් සර්ව බලධාරී උතුමාණෝ

දුර බැහැර රටකින් මිල දී ගත්

ආචාර්ය උපාධිය වෙනුවෙන්

පමා වූ තිසීසය ලියයි

නිදහසේ

එක  දෙක

එක  දෙක

එක  දෙක

යටත් නොවනු!

Posted: March 26, 2010 in Uncategorized

“මිනිසා අනිත් සියලු සතුන්ට වඩා ඉහලින් ඔසවා තබන ඔහුගේ නිදහසේ අයිතිය ජනතාව විසින් පාවාදෙනවානම්,…. තම පෞද්ගලිකත්වය පවා නැති කරගනිමින්, සිතීමට පවා නොහැකිබියගුලු මිනිසුන් බවට පත් වෙන්නේ නම් : ඔව්, එවන් ජාතියක් නැති භංග වී යාමට සුදුස්සෝය. සියලු දෙනාම අනෙකා පටන් ගන්නා තුරු බලා සිටියොත් සිදු වන්නේ ඒ මාරයින් අප වෙත දිනෙන් දින ලං වීම පමණි…….. ඔබ කොහේ සිටියත් එතැන සිට විරෝධය පාන්න.”
සුදු රෝස ව්‍යපාරය-1943,මියුනිච්, ජර්මනිය