Archive for October, 2011

ලබන වසරේ ජල බිල්පත සමග ජලය සැපයීමට රජය දරණ වියදමද පෙන්වා දෙන බව වර්තා වී තිබිණි. ඒ ජලය පරිස්සම් කිරීමට ජහමනයා පෙලඹවීමටලු. ඒ වියදම් ලැයිස්තුවට පහත සඳහන් වියදමුත් විස්තර ඇතිවම  ඇතුල් කලා නම් හොඳ යැයි අපට සිතේ. මක් නිසාද යතොත් මේ වියදම් ද නියමින් හෝ අනියමින් අපේ ජල බිල් පත්, විදුලි බිල්පත් ආදි සෑම බිල්පතකටම බල පාන බැවිනි.

1. ජල  සම්පාදන මණ්ඩලේ සභාපති තුමාගේ හා අධ්‍යක්ෂ මණ්ඩලේ පඩිය

2. එතුමන්ලාට ගෙවන අනෙකුත් දීමනා

3. එතුමන්ලාට වාහන මිල දී ගැනීමට ගිය වියදම් හා ඉන්ධන වියදම්

4. ජල මණ්ඩලෙන් පහු ගිය මැතිවරණවලට වියදම් කල මුදල්-නියම් හා අනියම්

5. ජල සම්පාදනේ බාර ඇමති තුමාගේ හා නියෝජ්‍ය ඇමති තුමාගේ  වැ‍ටුප හා අනෙකුත් දීමනා

6. එතුමන්ලාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලේ වැ‍ටුප් ,දීමනා හා වියදම්

7. එතුමන්ලා සියලු දෙනා රට සවාරි වලදී කරන වියදම්

8.එතුමන්ලාගේ අඹුවන් රට සවාරි වලදී සාප්පු සවාරි යෑමට කරන වියදම්

9. ඒ ඇමතිතුමාලත් අයිති වෙන ආණ්ඩුවේ ලොක්කන් ගේ විය හියදම් පඩි නඩි

10. ඒ ලොකුම ලොක්කන්, තුන් හාරසිය දෙනා පිරිවරාගෙන කරන  රට සවාරි වලදී ගුවන් යානා වලට කරන වියදම්

11. ඒ සවාරි වලදී ලිමුසින් වර්ගයේ මොටර් රථ කුලියට ගැනීමට යන වියදම්

12. ඒ  මෙගා සවාරි වලදී හෝටල් ගාස්තු

13. රජ පැටියන්ගේ රූපවාහිණි නාලිකා වලට කරන වියදම්

14. ……………..

15. ලැයිස්තුව තව දිගය…………..

මේ සියලු වියදම් අපි ආණ්ඩුවට ගෙවන බිල්පත් වල පෙන්වනවා නම් ජහ මනයා වන අපට හිතේ කහටක් නැතිව බිල් පත් ගෙවිය හැකිය.

Advertisements
 
මීට මඳ කලකට පෙර රජවාසල කවටයෙක් ලෙමන් පෆ් කමින් බෑන් කී මූන් ට එරෙහිව උපවාසයක් කරන විට රටම ඒ දෙස බලා සිටියේය. එම උපවාසයට අවශ්‍ය මඩු කූඩාරම් , වෙනත් කළමනා සැපයුයේ එම කවටයාගේ අමාත්‍යාංශයට අයත් සංස්ථාවලිනි.
 
කැමරා අටවා ගත් මාධ්‍ය කරුවෝ දිවා රෑ දෙකෙහිම නිදි මරමින් එහි කල් ගත කලහ. මැති ඇමතින් ඇතුලු වී.අයි. පී ලා කුස පිරෙන්නට කමින් කරන මේ අරුම පුදුම උපවාසය නැරඹීමට එහි ආ ගියහ.
 
පොලිසීය එම උපවාසයට ආරක්ෂාව දෙමින්  එහි ‍රැඳී සිටියේය.
අවසානයේ රාජ්‍ය නායකයාම පැමිණ තැඹිලි පොවා එම උපවාස නාඩගම අවසන් කලේය.
 
ඒ එක උපවාසයකි.
 
මේ දිනවල කල්පිටියේ තව උපවාසයක් ක්‍රියාත්මක වේ. ඒ බෞද්ධ හිමිවරුන් දෙදෙනෙක් හා මහලු මවකි. ඔවුන් ඉල්ලා සිටින්නේ දරුස්මාන් වාර්තාව ඉරා දැමීමට හෝ බෑන් කී මූන් පලවා හැරීමට නොවේ.
 
ධීවර කර්මාන්තයේ යෙදී සිටිත්දී අත් අඩංගුවට ගෙන අන්දමන් දූපත් වල හිර කර ගෙන සිටින තම ඥාතින් නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස ඔව්හු රජයෙන්  ඉල්ලති.වාර්තා වන ආකාරයට  මේ පුද්ගලයින් දැන් වසරක් පමණ ඉන්දෙය අත් අඩංගුවේ පසු වෙත්. කීමට සිටින සියලු බලධාරින්ට කියා පලක් නොවූ තැන ඔව්හු මෙලෙස උපවාසයකට බැස සිටිති.
 
එම උපවාසය ගැන රටේ  මාධ්‍ය නිහඬය. දේශපාලකයින් හෝ දේශප්‍රේමින් පලාතකවත් නැත.අඩුම තරමෙන් මේ ප්‍රශ්නයට අදාල ධීවර අමාත්‍යාංශයේ නිල්ධාරින්වත් නැත.
 
තම දරුවන් ඉල්ලා හඬන ඒ මවට තැඹිලි වතුර පොවන්නට ජාතියේ ආඩම්බරකාර තාත්තලා එන්නෙත් නැත. ජාතියේ තාත්තලාට තම පුතුන්ගේ රගර් තරඟ නැරඹීමට යෑමට ඇතිවා විය යුතුය.
 
තව ටික දිනකින් උසාවි නියෝගයක්ද ‍රැගෙන එන පොලිසීය මේ උපවාස කරුවන් කුදලාගෙන ගොස් රෝහලකට දමනු ඇත.
 
ඔවුන්ගේ දරුවන් අන්දමන් දූපත් වල තවදුරටත් සිර වී සිටිනු ඇත.
 
ආසියාවේ ආශ්චාර්යේ වැඩ සිද්ද වෙන්නේ එහෙමය.
 අනේ සුසානෝ මම යනකොට
ජයවර්ධනපුර  ඩිස්පැන්සරියේ
කොන්ද කැක්කුමට බෙහෙතක් ගන්න
අම්මා  කියනවා ඇහුණා හීං හඬින්
 
රිංගා ගොහින් බැලු විට යුනිෆෝම් අස්සේ
මල කෙලියයි ඉඳුල් කට ගෑමේ මගුලක්
හිච්චි එකා දණ ගාගෙන ඇවිදිල්ලා
බත් ඩිංගක් කෑවා මට දුකේ බෑ

-රංචාගොඩ ළමයා –

ගඩා‍ෆි මලේය. තම රටවල්  ඒකාධිපතිත්වයේ දඬු අඬුවට හිර කර ගෙන රටේ සම්පත් තමන්, තම පවුලේ උන් හා තම  හෙංචයියන් සමග බෙදා ගනිමින් සදාකාලයටම සැප විඳීමට සිහින් මැවූ බොහෝ ඒකාධිපතියන්ට සිදු වූ පරිදි මහ මග මැරෙන්නට , තම රටේම ජනතාව අතින් ගුටි කා මැරෙන්නට ගඩා‍ෆිටත් සිදු විය. 

ඉතාලියේ ඒකාධිපති මුසෝලිනි හා ඔහුගේ පෙම්වතිය මරා ලයිට් කණුවක එල්ලා ප්‍රදර්ශනය කෙරිණි. හිට්ලර් තම බිරිඳ හා සිය දිවි නසා ගත්තේය. ඉරානයේ ෂා, උගන්ඩාවේ ඉඩි අමින් ආදින්ට සිය ජීවිතයේ අවසන් කාලය පිටිවහලුන් ලෙස විදේශ වල කල් ගෙවන්නට සිදු විය.  චිලියේ පිනෝචේ, ඊජිප්තුවේ හොස්නි මුබාරක් ආදින් මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද අපරාධ වෙනුවෙන් නඩු විභාග වලට මුහුණ දී සිටිති. 

තම රටවල ජාතික ධනය තම පෞද්ගලික බූදල් සේ සිතා ගනිමින්  සුර සැප විඳින අතර පොදු මහත් ජනයා දුගී භාවයට ඇද දැමූ මේ පාලකයින් , ජනයා එයට එරෙහි වන විට පිලිතුරු දුන්නේ වෙඩි උණ්ඩ  හා බෝම්බ වලිනි.උන් මර්දනයට නිල හා නොනිල මැර හමුදා යොදවමිනි.  විරුද්ධ පාක්ෂිකයන් මරා දමමින් හා උන් සිර ගෙවල දමමිනි. 

මුන් බලයේ සිටින තාක් කල් ඒ රටවල සියලු මාධ්‍ය ක්‍රියා කලේ මුන්ගේ හොරණෑ ලෙසිනි. මුන්ට විරුද්ධ හඬක් රට තුල නොතිබිණි. විරුද්ධ වීමට තරම් කොන්දක් තිබූ වුන් සිටියේ සිර ගෙවලය. නොමැතිනම් සොහොනේය.

නමුත් අවසානයේ මේ සියලු මර්ධනයන් හමුවේ ජනයා  නැගී සිටියි. එවිට ඒකාධිපතියන්ට සිදු වන්නෙ මෙතෙක් කල් ඔවුන් විසින් පාගා ගෙන සිටි ජනයාගෙන් ගුටි කා මියදෙන්නටය.  ලිබියාවේ  සිදු වූයේ ද එයයි.  අරාබියේ මතුව ආ ‍රැල්ලත් සමග ලිබියාවේද ජනයා නැගී සිටියහ. එවිට ගඩා‍ෆි ඔවුන් හැඳින්වූයේ මීයන් ලෙසය. ඔහු මීයන් මරන ලෙස තම හමුදාවට අණ දුන්නේය. තමන්ගේම රටේ ජනයාට ගුවනින් බෝම්බ දැම්මේය. මීයන් මෙන් තම රටේ ජනයා මැරුවේය. දෛවයේ සරදමටමෙන් අන්තිමේ ගඩා‍ෆිටත් මීයෙකු මෙන් කාණුවක සැඟවී සිටින්නටත් ඔහු විසින් මීයන් යැයි හැඳින්වූ පිරිස  අතින්ම මැරුම් කන්නටත්  සිදු විය. 

ගඩා‍ෆිගේ ඉරණම නිසා අප රටේද බොහෝ දෙනෙකුන් කිපී ඇති බවක් පෙනෙන්නට තිබේ. ඔවුන් සියලු දෙනාම රාජපක්ෂ රෙජිමයේ කුණු සෝදනවුන් වීම අහම්බයක් නොවේ. මේ පිරිස් අතර ඉදිරියේම සිටින්නේ වීරවංශ , නලින් ද සිල්වා, එස්.එල්. ගුණසේකර, දිවයින පුවත්පත,  ප්‍රමුඛ ජාතිවාදි නඩයයි. 

මෙයින් වීරවංශට කෙතරම් රිදී ඇත් දැයි කිවහොත් ඔහු අතේ පැලවෙන කෙබර ගසමින් ගඩා‍ෆි ඝාතනයට විරෝධය පල කරයි.  මීට කලින් වතාවක “මහල්ලා සහ මුහුද ” ගී ද මෝපසාං ලවා ලියෙව්වාක් මෙන් මෙවර ” ලිබියාව යනු අප්‍රිකාවේ ස්විට්සර්ලන්තය ” ලෙස හැඳින්වූ බව කියයි. ලිබියාව අප්‍රිකාවේ ස්විට්සර්ලන්තය වූයේ කෙසේ දැයි අප නොදනිමු. නමුත් ලෙබනනය නම් මැද පෙරදිග ස්විට්සර්ලන්තය ලෙස හැඳින්වූ බව අප දනිමු. 

මොවුන්ට අනුව ගඩා‍ෆි යනු  අධිරාජ්‍ය විරෝධී අසාහය නායකයෙකි. නමුත් මේ අධිරාජ්‍ය විරෝධියා ඔහුගේ සියලු ගණුදෙනු සිදු කලේ ඒ අධිරාජ්‍යවාදින් සමගය. ඔහු රටේ තෙල් ටික වික්කේ ඔවුන්ටය. ඔහුගේ සල්ලාල පුතුන් ඉගෙන ගත්තේ ,රටේ මුදල් නාස්ති කරමින් සුර සැප වින්දේ එම බටහිර රටවලය. රටේ ජනයා ගෙන් වැඩි හරියක් නොදියුණු තත්වයේ සිටිද්දි  තෙල් ආදායම තම පවුලේ උන් සමග බෙදා ගත්තේය. ඉතිරියෙන් යුද අවි මිලට ගෙන ඒවා තම රටේ ජනයාට එරෙහිවම එල්ල කලේය. අප රටේ සිටින දේශප්‍රේමින් මහා අධිරාජ්‍ය විරෝධී  නායකයෙකු ලෙස හැඳින්වූ ගඩා‍ෆිගේ කෙරුවාව එබඳුය. ඔහුගේ ජනතාව ඔහුට විරුද්ධව නැගී සිටියේ මේ අපරාධ වලට එරෙහිවය.

ගඩා‍ෆි මරා දැමූ ආකාරය නිවැරදි යැයි අප නොකියමු. එහෙත් ඔහු නෙලා ගත්තේ ඔහු වැපිරූ දෙයයි.

 එම ඉරණම ලෝකයේ ඒ වර්ගයේ පාලකයින් කා හටත් හොඳ පාඩමකි.

 

 
දුමින්ද සිල්වාත් භාරත ලක්ෂ්මනුත් පසු ගිය දා කොලොන්නාවේදී පෙන්වන ලද මාරන්තික සංදර්ශනයෙන් පසු නැවත වතාවක් මනාප චන්ද ක්‍රමයේ හොඳ නරක ගැන කතා බහක් ඇති වී තිබේ.
 
මේ ගැන අදහස් දක්වන සියලු දෙනා කියන්නේ  සමානුපාතික චන්ද ක්‍රමයේ  හා මනාප කෙලියේ වරදින් මෙවැනි දේ , එනම් එකම පක්ෂයේ අපේක්ෂකයින් හා ආධාර කරුවන්  අතර මරා ගැනීම් සිදුවන බවයි.
 
 ඊට අමතරව මේ සමානුපාත ක්‍රමය නිසා අපේක්ෂකයින්ට දිස්ත්‍රික්කය හෝ එවැනි විශාල බල ප්‍රදේශයක මැතිවරණය කිරීමට සිදු වන නිසා මහා මුදලක් වැය කිරීමට සිදු වේ. ඒ නිසා දූෂණ වැඩි වේ. මේ සියල්ල නතර කිරීමට   මනාප සෙල්ලම වහාම නතර කර පැරණි ඒකල කොට්ඨාස චන්ද ක්‍රමයට නැවත යා යුතුය.අපේ රටේ සිටින පණ්ඩිතයින් කොලොන්නාව සිද්ධියෙන් ඉගෙන ගෙන ඇති පාඩම එයයි.
 
එහෙත් ඇට  මැස්සා  එය දකින්නේ වෙනස් විදියකටය.
 
දුමින්ද සිල්වාල, භාරතලා කොහොමටත් මැරයින්ය. මේ එකම පක්ෂයේ සිටින මැරයින් එකිනෙකා මරා ගන්නේ මනාප ක්‍රමය නිසාය. මනාප ක්‍රමය නොතිබුනා කියා මුංගේ මැරකම් අඩු වෙන්නේවත් අඩු කරන්නේවත්, චන්දය දාට සිල් ගන්නේවත්  නැත. පැරණි ඒකල කොට්ඨාස ක්‍රමයට මැතිවරණය තිබුණා නම් මුං දෙගොල්ලොම එකතු වී මේ අකාරයට ගිනි බිඳින්නේ විපක්ෂ වල අපේක්ෂකයින්ට හා උන්ගේ ආධාර කරුවන්ටය.
 
හැබැයි දැන් මනාප ක්‍රමයට පිං සිද්ද වෙන්නට මරා ගන්නේ උනුන්මය. විපක්ෂ ආධාර කරුවන්ට යම්තම් පණ කෙන්ද ‍රැක ගෙන සිටිය හැක. නැත්නම් අඩු වශයෙන් උන් ගැන යෙදීමට ඇති ශක්තියෙන් භාගයක් වත් තමන්ගෙම පක්ෂයේ උන් මැරීමට හා පහර දීමට වැය කරන නිසා කෙසේ හෝ චන්දය කල හැක.
 
දුමින්දලා භාරතලා මරා ගන්නේත් , වීරවංශලා , කඩුවෙල  බුද්ධදාසලා එකෙනිකාගේ බෙලි කපා ගන්නේත් , තමන්ගේ මනාප හොරකම් කලා යැයි සුසන්තිකාලා, බුද්ධදාසලා, මුතුහෙට්ටිලා කුණුහරුප කියමින් තම පිලේ උන්ටම බනින්නෙත් මේ මනාප ක්‍රමය නිසා නොවේද?
ඉතින් රට කන මුං එකිනෙකා මරා ගැනීමට ඉඩ සලසන මනාප  ක්‍රමය හොඳද නැත්ද? ඔබම තීරණයක් ගන්න.
 
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ශ්‍රි ලංකාව තුලදී පිවිසීම නොනිල ලෙස වාරණය කර තිබේ. බුවා නිවැරදිව කියූ පරිදි මේ යුගයේ වෙබ් අඩවි වාරණය නම් තනිකරම ගොං පාර්ට් එකකි. ඒ වෙබ් අඩවි රට තුල තහනම් කලත් ඒවාට පිවිසීමට ඕනෑ තරම් ක්‍රම තිබෙන බැවිනි.

ප්‍රශ්නය එය නොවේ. 

මෙම වෙබ් අඩවියෙන් හෝ වෙනත් වෙබ් අඩවියකින් හෝ එසේ නැත්නම් පුවත්පත්, ගුවන් විදුලි හෝ වෙනත් ඕනෑම මාධ්‍යයකින් තමන්ට කරන විවේචන ඉවසා ගනු නොහැකිව මෙසේ වාරණය කිරීමයි ප්‍රශ්නය.  මෙය ප්‍රජාතාන්ත්‍රික රටක සිදු විය නොයුත්තකි. මෙවැනි දේ කරන්නේ ඒකාධිපතියන් හෝ වෙන්ට සිටින ඒකාධිපතියන්ය. එම අඩවියේ පලවන පුවත් හා ලිපි වල සංයුතිය ගැන ප්‍රශ්නයක් ඇත්නම් එය විසඳා ගත යුත්තේ මතවාදිමය ලෙස මිස එය තහනම් කිරීමෙන් , විශේෂයෙන් කොන්ද පණ නැති ලෙස හොර රහසේ පිවිසුම් අවහිර කිරීමෙන් නොවේ.
ඊනිව්ස් අඩවිය ගැන අපටද එතරම්  ප්‍රසාදයක් නැත. එය ජනතාවට පක්ෂ වෙබ් අඩවියක් නොවේ. එහි කතුවරුන් පාට මාරු කරන්නේ ක‍ටුස්සන්ටත් වඩා වේගයෙනි. එම අඩවිය වීරවංශ හා චම්පික රණවකලාටත්  වඩා ජාතිවාදිය.
කලක් සජිත් උඩ දමමින් සිටි එම වෙබ් අඩවිය පසු ගියදාක සිට හදිස්සියේම  ලයින් මාරු කර රනිල්ට කඩේ යන ගමන් සජිත්ට පලු යන්නට දෙන්නට පටන් ගෙන තිබේ. මේ වෙනස ඇති වූයේ ඊ නිව්ස් කාර්යලය ගිනි ගැනීමෙන් පසු එය නැවත ආරම්භ කිරීමට  රවි කරුණායක මංත්‍රී වරයා ආධාර කල පසුය. දැන් ඊ නිව්ස් හි මතය රවිගේ මතයයි. මෑත  ජවිපේ බෙදීමේ දී එම අඩවිය සෝමවංශ පිල ‍තෝරාගෙන අනිකුන්ට බැට දෙමින් සිටින්නේද ඒ නිසා විය යුතුය.
 
නමුත් මෙම අඩු පාඩු සියල්ල තිබියදීත් අප අප ඊනිව්ස් නොනිල වාරණයට විරුද්ධ වන්නේ විකල්ප අදහස් පැවසීමට ඇති අයිතිය වෙනුවෙනි.  රාජ්‍ය බලය යොදාගෙන මාධ්‍ය මර්ධනය ප්‍රජාතන්ත්‍රවාදයට ගුණදායක නැති බැවිනි.
 
එම නිසා  ඊ නිව්ස් අඩවිය හා රට තුල තහනම් කර ඇති සියලු දේශපාලනික හා සාමාජයීය වෙබ් අඩවි වල එම තහනම වහාම   ඉවත් කරන මෙන් අප  ඉල්ලා සිටිමු.
 
පසුගියදා මුල්ලේරියාවේ දී සිදු වූ සිදු වීම වෙස් වලා පැමිණි ආශිර්වාදයක් සේ තමා සළකන බව දුමින්ද තුමාණෝ ජයවර්ධනපුර රෝහලේ සිට නාථ දෙවියන් මගින්  මාධ්‍ය වෙත  එවූ පණිවිඩයක සඳහන් වේ. එම පණිවිඩය සම්පූර්ණයෙන්ම පහත දැක්වේ.
 
” පසු ගිය ඔක්‍තෝබර් අට වෙනිදා මුල්ලේරියාවේ දී වූ සිද්ධිය ගැන නොයෙක් කටකථා පැතිර යමින් තිබෙන බව මා හට දැන ගන්නට ලැබී තිබේ. ඒ කථා සියල්ල අමූලික බොරු බව කිව යුතුය. ලක්ෂ්මන් මැති තුමා හා මා අතර කිසි අමනාපයක් තිබුනේ නැත. මගේ දේශපාලන ජීවිතයේ විසඳා ගැනීමට නොහැකිව තිබූ ලොකුම ප්‍රශ්නය විසඳා දුන්නේ එතුමාය. එතුමා මගේ විරුද්ධවාදියෙක් නම් එසේ කරයිද? ඇත්තෙන්ම එතුමා මගේ මිත්‍රයෙක් බව එදා සිදු වීමෙන් තවත් තහවුරු වුනේය.
 
එදා සිද්ධියේදී මගේ මොළය හරහා වෙඩි උණ්ඩ දෙකක් ගමන් කළ බව දැන් ලෝකයම දන්නා කාරණයකි.  එතුමා මට කළ ලොකුම උදව්ව එයයි.
 
මගේ මොළය හරහා වෙඩි උණ්ඩ ගමන් කළා යැයි ලෝකය දැන ගන්නා විට ඒ සමග ඔවුන් දැන ගන්නා අනිත්  කාරණය නම් මට මොළයක්ද  තිබෙන බවයි. මට මේ තාක් ඔප්පු කරගන්නට බැරිව සිටි කරුණක් ඔප්පු  කර දීම  ගැන මම එතුමාට මුලු හදින්ම ස්තූතිවන්ත වෙමි.

එතුමාටත් ඒ උදව්ව කර දීමට නොහැකි වීම ගැන මම අවංකවම කණගා‍ටු වෙමි.

මගේ ශරීරයේ ඇත්තේ මාංශපේශී පමණක් යැයි කියූ අයගේ කටවල් දැන් වැසී යනු ඇත.

 මට මොලයක්ද තිබේ. ඒ ගැන කිසිදු සැකයක් නැත.
 
ජය වේවා,

ඔබට සුභ අනාගතයක්

මීට

දු. සිල්. වා

ප.ලි.- ඔබට මේ ගැන තවම විශ්වාස නැත්නම් ජයවර්ධනපුර රෝහලේ ඇති මගේ මොලයේ සීටී ස්කෑන් පිංතූර පරික්ෂා කර බලා සැක දුරු කර ගන්න.