Archive for September, 2010

යුද්ධාධිකරණය විසින් හිටපු හමුදාපති ජෙනරාල්  සරත් ෆොන්සේකාට  පැනවූ සිර දඬුවම ජනාධිපති වරයා විසින් ස්ථිර කර ඇත. ඔහුව නිදහස් කරන මෙන් ත්‍රයි නිකායික මහා නාහිමිවරුන් කල ඉල්ලීමද තුට්ටුවකට ගණන් නොගනිමිනි.  

මීට යම්තම් වසරකට කලින් රටේ වීරයෙකුව  සිටි පුද්ගලයා ඉදිරි අවුරුදු දෙකහමාර ගත කරනු ඇත්තේ බරපතල වැඩ සහිත සිර කරුවකු වශයෙනි .   

අප යමින් සිටින දිශාව ඉතාමත් හොඳින් පැහැදිලිය. මෙය හුදෙක් සරත් ෆොන්සේකාට දෙන දඬුවමක්  නොවේ. මේ දඬුවමින් පෙන්වා දෙන්නේ  රජ   පවුලේ   පාලනයට එරෙහි වන ඕනෙම අයෙකුට අයත් වන්නේ මේ ඉරණම බවයි.  

එහෙත් මේ ගැන කිසිවෙකු කිසිවක් නොකියයි. සියල්ලන්ම ගොළු වී ඇත.  

අප මීට මාස කිහිපයකට පෙර පල කල මේ පෝස්ටය එදාටත් වඩා අදට ගැලපේ යයි මට සිතේ .ඔබගේ හෘද සාක්ෂියට වධ දෙනු වස් එය මෙසේ   යලි පල කරමි.  

  මර්ධනයට එරෙහිව ………සුදු රෝස

  

ජනාධිපතිවරණය හමාර විය.ජනතාවට ,තරුණ තරුණියන්ට පමනක් නොව දරු දැරියන්ටත් සුබ අනාගතයක් උදා කර දීමට පොරොන්දු වූ අපේක්ෂකයා ජයගෙන ඇත. අඩුම වශයෙන් නිල ප්‍රතිපල අනුව ජයගෙන ඇත.දැන් ඔහු සුබ අනාගතයක් උදා කර දීමට ක්‍රියා කරගෙන යනු පෙනේ.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් තරඟ කල ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැහැරගෙන ගොස් හමුදා සිර අඩස්සියේ  තබා ගෙන සිටී. රාජපාක්ෂිකයන්ගේ වංචා දූෂණ හෙලි කරමින් ජෙනරාල්ගේ මැතිවරණ සටනේ ප්‍රධාන මාධ්‍ය භූමිකාව ඉටු කල ලංකාපුවත් පත සීල් කොට එහි ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා අත් අඩංගුවට ගැණිනි ( පසුව උසාවි නියෝග මගින් මේ දෙකම හකුලා ගැනීමට සිදු වුවද ) .  ස්වාධීන මාධ්‍යවේදියෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කොට දින 45කට වඩා ගතවී ඇත.රජයේ නිල මතවාදයන්ට වඩා වෙනස් අදහස් පලකරන වෙබ් අඩවි වලට නොයෙකුත් බාධා පැමිණෙයි.පසු ගියදා චීන විශේෂඥ පිරිසක් පැමිණ ,රජයට ඒ සඳහා උපදෙස් ලබාදෙමින් තිබෙන බව වාර්තා විය.කෙටියෙන් කිවහොත් විරුද්ධ පාක්ෂිකයන් , විකල්ප මත ධාරින් මර්ධනය කිරීමට රජය උපරිමයෙන් ක්‍රියාකරමින් සිටී.

සුබ අනාගතයක් කදිමට උදාවෙමින් තිබෙන සෙයකි.විපක්ෂ ක්‍රියා කාරින් මරා දමමින් , විපක්ෂ දේශපාලන කාර්යාල වලට පහර දෙමින් ,ගිනි තබමින් ඒ කටයුත්ත ඉතාමත් ඉහලින් කිරීමට සැරසෙන බවක් පෙනෙන්නට තිබේ., හදිසි නීතිය යොදා ගෙන අත් අඩංගුවට ගන්නා පිරිස් දස දහස්  ගණනින්   රැඳවීමට රැඳවුම් කඳවුරු ගනනක් ම ප්‍රකාශයට පත් කොට ඇත.ගොනා හැරෙන්නේ පොල් පැලය කෑමට බව සේම , රාජපක්ෂ රෙජිමයේ හැරුම අන්ත දුෂ්ඨ ඒකාධිපති පාලනයක් කරා බවත් අවබෝධ කරගැනුමට අමුතු දේශපාලන ඥාණයක් අවශ්‍ය නොවේ.

පුත් කුමාරවරුන්ට හා යුවරාජ මල්ලීලාට එක් එක් ප්‍රාන්තය භාර දෙමින් මේ යන්නේ ඒකාධිපති වාදයෙනුත්  ඔබ්බට ගිය වැඩවසම් රාජාණ්ඩු පාලනයකට දෝයි සැක සිතෙන තරමට තත්වය බරපතලය.

මෙලෙස ඒකධිපතිත්වයේ රුදු වියරුවෙන් ජාතියක ගෙල සිරකර ගෙන,එයට විරුද්ධව අවම විරෝධයක් හෝ පල කිරීමට ඇති සියලු මං  අවුරා ඇති විටෙක , ජනතාවක් කුමක් කරනු ඇත්දකුමක් කල යුතුද?ලෝකයේ විවිධ රටවල ,විවිධ පන්නයේ ඒකාධිපතීන් හමුවේ ජනතාවන් දැක්වූ විවිධ ප්‍රතික්‍රියා පිලිබඳව උදාහරණ ඕනෑ තරම් දැකගත හැක. 

ඒකාධිපති පාලනය හමුවේ දණ නමා බියෙන් හැකිලී පලා යා හැක. එය කවුරුත් දන්නා ලෙස විදෙස් රටකට පලා යාමක් හෝ තමන් තුලටම පලා යාමක් විය හැක.තම ඇස් කන් වසා මුව අගුලු ලාගෙන සිදුවෙන විනාශය නොදුටුවා සේ සිටීමත් එක්තරා පලා යාමකි. බියසුලුකමකි.

නො එසේනම් පාලක කල්ලියට හවුල් වී , ඔවුනට ආශිර්වාද කරමින්, ලැබෙන වරප්‍රසද , වරදාන භුක්ති විඳිමින් ජීවත් වීම තවත් පිලිතුරකි.

මෙහිදී අප සිහියට නිතතින්ම නැගෙන්නේ ,වැසිකිලි යනවිටත් බටහිර කුමන්ත්‍රණ  යැයි මතුරමින් දේශප්‍රේමය තොරොම්බල් කරන හිටපු විප්ලවවාදීන් රොත්තයි.ඔව්හු දුරකතන සමාගමක කොටස් කීපයකට, වෙඩි බෙහෙත් ආනයන බලපත්‍රයකට හෝ පරණ යකඩ නැවකට ගැති වී ඒකාධිපති පාලනයක් හමුවේ දනින් වැටී සිටිති.නිකම්ම නොව පාලකයන්ගේ සපත්තුද ලෙව කමිනි. 

මේ ආකාරයේ ජනතා ද්‍රෝහීන් ඉතිහාසය පුරා ඕනෑ තරම් දැකගත හැක.ඔවුහු මිනිස් වර්ගයාගේ ශාපයට ලක්ව ඉතිහාසයේ අඳුරු මං පෙත් තුල කාලයේ වැලි තලාවෙන් යට වී වැසී යති.මිනිස් වර්ගයා ඉඳ හිට ඔවුන් සිහි කරතත් එසේ කරන්නේ පිලිකුලෙනි. හිට්ලර්ට ආ වැඩූ ගොබෙල්ස් මෙනි.

එහෙත් එම මං පෙත් සදා පෙත් සදා ආලෝකවත් කරමින් පහන් කනු සේ නැගී  සිටින්නේ , රුදුරු පාලකයන්ට එරෙහිව සටන් වැදුනු  අභීත මිනිසුන්ය.රෝම අධිරාජ්‍යයට එරෙහිව සටන් කල ස්පාර්ටකස් නම් වහලාගේ සිට රාජපක්ෂ රෙජිමය විසින් පසු ගිය දා මරා දැමුනු චන්ද්‍රදාස නයිදුහේවා දක්වා ඔවුහු සියල්ලෝම තමන් පිලිබඳ මතකය මිනිස් වර්ගයාට ආඩම්බරයක් ප්‍රෞඩත්වයක් ගෙන දෙන  එබඳු ගැහැණුන්ය,   මිනිසුන්ය. 

සුදු රෝස ව්‍යාපාරය යනු , ඒකාධිපති හිට්ලර්ගේ පාලනයට එරෙහිව අභීතව නැගී සිටි එවන් නව යොවුන් තරුණ තරුණියන් කිහිප දෙනෙකුන් තම විරෝධ ව්‍යාපාරය හඳුන්වාගත් නාමයයි.එවකට ජර්මනියේ සිටි අනෙකුත් දශලක්ෂ සංඛ්‍යාත පිරිසක් කල පරිද්දෙන් ඔවුනටත් දෑස් පියගෙන සිටීමට හෝ , පාලක නාසි පක්ෂයට හවුල් වී වරප්‍රසාද ලබමින් සුව පහසු ජීවිත ගත කිරීමට ඉඩ කඩ හොඳටම තිබුනි. නමුත් ඔවුන් තෝරා ගත්තේ එදා එහි සිටි සත්‍යවාදී මිනිසුන් කිහිපදෙනෙකුන් පමනක් තෝරාගෙන තිබූ ඒකාධිපති පාලනයට එරෙහි කටුක අරගලයේ මාවතයි.

ඔවුන් සිටියේ කිහිප දෙනෙකුන් පමණි.

හන්ස් ෂොල් ( 1919.09.22-1943.02.22) ,

සොෆී ෂොල් (1921.05.09-1943.02.22) – හන්ස් ගේ සොහොයුරිය

විලී ග්‍රාප් (1918.01.02-1943.10.12) ,

ක්‍රිස්තෝප් ප්‍රොබ්ස්ට් (1919.11.06-1943.02.22) ,

ඇලෙක්සැන්ඩර් ෂ්මොරල්( 1917.09.16-1943.07.13)

 

 

මේ සියලු දෙනාම මියුනිච් සරසවියේ සිසුන් වූ අතර ,දර්ශනවාදය පිලිබඳව උගත් සොෆී හැරෙන්නට අනිත් සියලු දෙනාම වෛද්‍ය සිසුන් වූහ.එම සරසවියේ දර්ශනවාදය පිලිබඳව  මහාචාර්ය කර්ට් හියුබර් ද ඔවුන් සමග එක්ව සිටියේය .

සංවිධානයේ අරටුව මේ හය දෙනා වූ අතර ඔවුන් සමග මේ කටයුත්තේදී එක් ව කටයුතු කල තවත් බොහෝ දෙනෙක් විය.මුෂුවෙල් ලාප්‍රෙන්ස්,කැතරිනා ෂුඩකොෆ්,ලිලෝ බ්‍රොන්ඩ්, ජර්ගන් විට්ස්ටන් හා පෝල් හාර්නක් ද හන්ස් හා සොෆී ගේ සොහොයුරිය වූ     ඉන්ග ෂොල් ද ඔවින් අතර විය.මහාචාර්ය හියුබර් ඇරෙන්නට අනිත් සියලු දෙනාම වයස විසි ගනන් වල පසු වූ තරුණ තරුණියන් ය.

ජර්මනිය නාසිවාදයේ රුදුරු මර්ධනයට යටත්ව තිබියදි,සමස්ත ජර්මන් ජාතියම හිට්ලර් වන්දනාවේ යෙදෙත්දී ,එයට එරෙහි වූවන්ගේ නියත ඉරණම මරණය වෙත්දී , මෙම අභීත තරුණ පිරිස මානව වර්ගයා වෙනුවෙන්, තම රට හා ජාතිය වෙනුවෙන් කල යුතු දෑ නිවැරදිව හඳුනා ගෙන , දුෂ්ට පාලනයට එරෙහිව සංවිධානය වූහ.1942 දී පමණ ඔවුන් මුල් වරට සංවිධානය වන විට හිට්ලර්ගේ හමුදා ලොකයේ එක් රටකින් පසු තවත් රටක් වශයෙන් යටපත් කරමින් විජයග්‍රාහීව ඉදිරියට යමින් සිටියහ.සැබැවින්ම ඔවුන් නැගී සිටීමට තීරණය කලේ නාසි පාලනයේ උච්චතම කාලයේය.

පළමු ලෝක යුධයේ පරාජයෙන් පසු අති දෑවන්ත උද්ධමනයක හා විරැකියාවක ගිලී සිටි ජර්මනිය,යුධ ජයග්‍රාහකයන් හට වන්දි ගෙවීමට සිදුවීම නිසා ආර්ථික අර්බුදයට අමතරව අවමානයටත් ලක්ව සිටියේය.සමස්තයක් වශයෙන් එසමයේ ලෝකයම ආර්ථික අවපාතයක් කරා ගමන් කරමින් සිටි අතර ජර්මනිය වඩ වඩාත් ආගාධයකට තල්ලු වෙමින් තිබුණි.

හිට්ලර්ගේ ජාතිවාදි ,වර්ගවාදි දේශපාලනයට මෙම තත්වය සරු පසක් වූ අතර , න්‍යායිකව බෙදී තිබුනු වමෙන් කිසිම ප්‍රතිරෝධයක් නොවූ තරම්ය.

1933දී හිට්ලර් බලයට පත් වූයේ කැරල්ලකින්, ප්‍රචණ්ඩ විප්ලවයකින් හෝ හමුදා කුමන්ත්‍රණයකින් නොවේ.ජනතාවගේ චන්දයෙනි. එම වසරේ පෙබරවාරියේ බලයට පැමිණි හිට්ලර් , මාර්තුවෙදී , පාර්ලිමේන්තුවේ තමන් සතු වැඩි චන්ද බලය යොද ගනිමින්, සියලු බල තල තමන් වෙත නීත්‍යානුකූලවම  පවරා ගත්තේය.පාර්ලිමේන්තුව තමන් සතු සියලු බලතල හිට්ලර් නමැති මේ තනි පුද්ගලයා වෙත පවරා දුන්නේය.කෙටියෙන් කිවහොත් එරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සිය දිවි නසා ගත්තේය.හිට්ලර් ජර්මනියේ අනභිබවනීය නායක තුමාවිය. හරියටම මහරජානෝබඳුය.සියලු වැදගත් තනතුරු වලට ඔහුගේ එහෙයියන් පත් විය. ඇරඹීමට තිබුනේ හීම සමයයි.

ගෙස්ටාපෝ රහස් පොලීසිය, එස් එස් හමුදාව ඇතුලු නිල හා නොනිල හමුදා මගින් විරුද්ධවාදින් පැහැරගෙන යාම්, මරාදැමීම් දිගටම සිදු විය.විරුද්ධ පක්ෂ තහනම් විය.ජර්මනියේ එකම නීත්‍යානුකූල පක්ෂය හිට්ලර්ගේ නාසි පක්ෂය පමණක් විය.පුවත් පත් තහනම් කෙරිනි.යම්තමින් හෝ පාලකයින්ගේ සැකයට බඳුන් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක්කෝ මරා දමන ලදි. නැතහොත් රට පුරා පිහිටුවා තිබූ වද කඳවුරුවල හිරකර සෙමෙන් සෙමෙන් මියයාමට සලස්වන ලදි. 

පිරිසිදු ආර්ය ලේ ඇති ජර්මන් ජාතියක් පිලිබඳව අන්ත වර්ග වාදී මිත්‍යාවන් වපුරමින් ,යුදෙව් ජාතිකයන් දශ ලක්ෂ ගනනක් ඝාතනය කෙරිණි.මේ සියලු අපරාධ හමුවේ ජර්මන් ජාතිය නිහඬව බල සිටියහ.නැතහොත් ඒවාට සහයෝගය ලබා දුන්නේය.ඊට විරුද්ධ වීමට තරම් නිර්භීත බවක් තිබූ කිසිවෙක් සිටියේනම් ඒ නිසැකවම සිපිරි ගෙයක හෝ සොහොනකය.

 දේශීය පෙරමුණ මෙසේ මහජන චන්දයෙන්ම තමන්ට අවශ්‍ය පරිදි සකස් කර ගත් හිට්ලර් ඉන්පසු විදේශ්යන් ආක්‍රමණය කරමින් දෙවන ලෝක යුද්ධය ඇරඹීය. දශලක්ෂ සංඛ්‍යාත ජනතාවක් යුද බිම් තුලත් ඉන් පිටත් මරා දැමිනි.තවත් දශ ලක්ෂ ගනනක් වධ කඳවුරු වල සිර ගත කෙරුනි. 

සුදු රෝස ව්‍යාපාරය ඇරඹෙන 1941 වන විට ජර්මනියේ තත්වය එබඳුය.

හන්ස් සහ සොෆී තම මිතුරන් සමග මේ තත්වයන් ගැන නිතරම් සාකච්ඡා කලෝය.ඔව්හු සියලු දෙනාම හිට්ලර්ගේ පාලනයේ දැඩි විවේචකයන් වූ අතර ,මේ තත්වයට එරෙහිව වඩාත් ක්‍රියාකාරි විය යුතු බැව් තීරණය කලහ. හොර රහසේ , සැඟවී කරන විවේචනය පමනක් ප්‍රමාණවත් නොවන බවත් හැකි උපරිම අයුරින් එකාධිපති පාලනයට එරෙහිව සටන්  වැදිය යුතු බවටත් ඔව්හු එකඟවූහ.

මහාචාර්ය හියුබර් සමඟ එක්වූ ඔවුහු ඒකාධිපති පාලනය විවේචනය කරමින්  අත් පත්‍රිකා ලියා හොර රහසේම මුද්‍රණය කර බෙදා හැරියහ.

මෙය වැදගැම්මකට ගත යුතු විරෝධයක් නොවේ යැයි අද යම් කිසිවෙකුට පෙනී යා හැක. නමුත් සැලකිල්ලට ගත යුතු කාරණාව වනුයේ ඔවුන් හිට්ලර් සමඟ සටන් වැදුනේ කුමන ආකාරයකින්ද යන්න නොව, කුමන ආකාරයකින් හෝ හිට්ලර් සමඟ සටන් වැදුනු බවයි.

ඔවුන් 1942දී ක්‍රියා කිරීමට සිදුව තිබුනේ හිට්ලර්ගේ නාසි පක්ෂයේ නිල ඇඳුම අඳින උපකුලපති වරයෙක් සිටින, හිට්ලර් යොවුන් බලකායට මුලුමනින්ම යටපත් වූ සරසවියක සිටය.නාසි පක්ෂය විසින් තහනම් කරන ලද පොත් ගිනි තැබීමට මහත් උනන්දුවෙන් හවුල් වූ ආචාර්ය වරුන් හා සිසුන් සිටි සරසවියක් තුලය.මියුනිච් විශ්ව විද්‍යාලයේ එදා තිබූ තත්වයට හොඳම උදාහරණය නම් එහි පුස්තකාලයේ දොරටුවෙහි එල්ලා තිබූ දැන්වීමයි.

යුදෙව්වන්ට ඇතුල් වීම තහනම්” 

මේ සියල්ලටත් වැඩියෙන් , තමන්ගේ මෙම ක්‍රියාවන් රාජ ද්‍රෝහිකම් වශයෙන් හඳුන්වා මරණ දඬුවම් ලබා දිය හැකි බැව් ඔව්හු දැන සිටියහ. නමුදු,මේ සියලු තත්වයන් තිබියදීත් , ක්‍රියාත්මක වීමට, අකර්මන්‍යව නොසීටීමට, ද්‍රෝහී නොවීමට , සටන් කිරීමට ,ඔව්හු තීරණය කලහ. 

අත් අඩංගුවට පත් වී මරා දැමෙන විට ඔව්හු අත් පත්‍රිකා හයක් ලියා හොර රහසේ මුද්‍රණය කර බෙදා හැර තිබුනහ.

හිට්ලර්ගේ ගෙස්ටාපෝ රහස් පොලීසිය තම අඬු සෑම තැනකම විහිදුවාගෙන සිටි එසමයේ එය ඉතාමත් අසීරු කටයුත්තක් විය.ඔව්හු පත්‍රිකා කුඩා ප්‍රමාණ වලින් ප්‍රවාහනය කලහ. දුරකතන නාමාවලියෙන් ලබා ගත් ලිපින වලට තැපල් කලහ.සරසවි දේශන ශාලාවල දොරටු අසල , අපානශාලවල , ක්‍රීඩා පිටිවල , මහජනයා වැඩිපුර ගැවසෙන ඕනෑම තැනක තැබූහ.ඔවුන් බොහෝ විට ඉලක්ක කර ගත්තේ සරසවි සිසුන් හා බුද්ධිමතුන්ය.මේ ඒකාධිපති වියරුවට එරෙහිව පුලුල් ජනමතයක් ගොඩනැගීමට, එයට එරෙහිව සංවාදයක් ඇති කිරීමට ඔවුන්ට අවශ්‍ය විය. දෑස් වසාගෙන සිටි ජනතාවක දෑස් ඇරවීමට, මුව අගුලු ලා ගෙන සිටි ජනතාවක මුව ඇරවීමට ඔවුන්ට අවශ්‍ය විය. බියෙන් තැති ගෙන සිටි ජනතාවක් එම බියෙන් මුදා ගැනීමටහිට්ලර්ට වන්දනා කරමින් ස්වයං මෝහනයක ගිලී සිටි ජනතාවක් එම මෝහනයෙන් මුදා ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය.

පත්‍රිකා නැවත නැවතත් මුද්‍රණය වෙමින් , පිටපත් වෙමින් සමාජය තුල බෙදා හැරිනි. හිට්ලර්වාදි ස්වයංමෝහනයකට පත්ව් සිටි ජනතාව අතර කැළඹීමක්, මහා පරිමාණයෙන් නොවුනද සමාජය තුල විරෝද බලවේග ගොඩනැගෙමින් තිබෙන බවට ජනතාවට පමණක් නොව පාලකයින්ටද දැනෙන කැළඹීමක් ඇති විය.ගෙස්ටපෝව පත්‍රිකා කරුවන් සොයා දැල් එලීම ඇරඹීය.

මේ අතර තම කටයුතුවල රහස් බව රැකගනු වස් හන්ස් ඇතුලු පිරිස නොයෙක් උපක්‍රම භවිතා කලහ. ඔව්හු කඩදාසි, මුද්‍රණ තීන්ත හා ලිපි කවර ඉතා කුඩා ප්‍රමාණ වලින් මිලදී ගත් හ.තම මූලස්ථානය මියුනිච් සරසවිය බව සඟවනු වස් දුර පිහිටි කුඩා නගර වලින් පත්‍රිකා තැපෑලට දැමූහ. 

මේ අතර යුද පෙරමුණහි තීරණාත්මක වෙනසක් සිදු විය. 1943 පෙබරවාරියෙදී ජර්මනිය සෝවියට් රතු හමුදා අතින් තම ප්‍රථම දැවන්ත පරාජය ලැබීය. මෙම පරාජිත මානසිකත්වය ත්‍රීව කරනු වස් තවත් පියවරක් ඉදිරියට තැබීමට සුදු රෝස ව්‍යාපාරය තීරණය කලේය.ඔවුන් නගරය පුරා තාප්ප හා බිත්ති වල විරෝදතා සටන් පාඨ ලිවූහ.

හිට්ලර් භංග වේවා”    ……………………………..”නිදහස

එයනම් අන්ධ හිට්ලර් භක්තිකයන් මහා කම්පනයකට ඇද දමන්නට සමත් වූ ක්‍රියාවක් බව නිසැකය.බිත්ති මත මේ සටන් පාඨ දුටු විට එම හිට්ලර් වාදින් හැසිරුනු ආකාරය දැකගන්නට ඔබ කල යුත්තේ අද මෙහි සිටින පිරිහුන විශ්‍රාමික කැරලි කරුවන් දෙස බැලීම පමනි. 

එනමුදු හිට්ලර්ගේ ගෙස්ටාපෝවට මේ තරුණ පිරිස කොටු කරගැනීමට ඉක්මනින්ම මග පෑදුනි. ඒ ඔවුන් අතින්ම වූ වරදකිනි.

 

1943 පෙබරවාරි 18 දින හයවැනි පත්‍රිකාව පිරවූ සූට්කේසයක්ද සමඟ හන්ස් සහ සොෆී සරසවියට පිවිසුනි. දේශන හමාර වී එලියට පැමිණෙන සිසුන්ට ලබා ගතහැකිවන පරිදි දේශන ශාලාවල දොරකඩ පත්‍රිකා මිටි තැබූ ඔවුන් දෙදෙනා කඩිනමින් ඉන් ඉවත්ව යද්දි සූට්කේසය තුල තවත් පත්‍රිකා කීපයක් ඉතුරුව තිබෙනු සොෆී දුටුවාය. මේ වන විට දේශන අවසන් වී සිසුන් එලියට පැමිණෙමින් තිබූ නිසා නැවත දේශන ශාලා වෙත යාම කල නොහැක්කක් විය.

තමන් සිටි ගොඩනැගිල්ලේ ඉහල මාලයට දුව ගිය ඇය එම පත්‍රිකා ජනේලයකින් පහතට විසි කලේ මිඳුලේ සිටි සිසුන්ට අහුලා ගැනීමටය.

ඇ‍ය පත්‍රිකා විසි කරනු දුටු ගොඩනැගිල්ලේ සිටි පවිත්‍රතා සේවකයෙක් ඒ බව උපකුලපති හට දනුම් දුන් අතර , ඔහු වහාම ගෙස්ටාපෝව ගෙන්වීය.සොෆී හා හන්ස් ගෙස්ටාපෝ අත් අඩංගුවට පත් විය.ඉක්මනින්ම ඔවුන්ගේ සමීපතයන් හා මිතුරන්ද අත් අඩංගුවට පත් විනි.දින හතරක් තිස්සේ ඔවුන්ව ගෙස්ටපෝවේ දරුණු වද හිංසා වලට භාජනය විය. ඔව්හු නිර්භීතව තමන් කල දෙය පිලිගත්හ. කෙටි නඩු විභාගයකින් පසු ඔවුන්ගේ හිස් ගස දමා මරණයට පත් කරන ලදි. 

ඔවුන්ගේ ව්‍යයාමය නිෂ්පල වූවකයි කෙනෙකුට වාද කල හැක. නමුත් එය නිෂ්පල උත්සාහයක් ද? ඔවුන් පරාජය කිරීමට හිට්ලර්ට හැකි වීද?හිට්ලර්ගේ සියලු බල පරාක්‍රමයන් ඉදිරියේ නැගීසිටීමට මේ තරුණ පිරිස තීරණය කිරීම තුලම හිට්ලර්ගේ  පරාජය සනිටුහන් නොවන්නේද?

ඔව්හු අසාධාරණය, අයුක්තිය හා භීෂනය හමුවේ නිහඬව සිටීම ප්‍රතික්ෂේප කලහ. ඒකාධිපති පාලනයක් හමුවේ නිදි වැද සිටි ජාතියක් අවදි කිරීමට උත්සාහකලහ. එයම ප්‍රමාණවත් නොවන්නේද?

ඔවුන්ගේ පලමු පත්‍රිකාව මෙසේ ඇරඹෙයි.

යම් කිසි ශිෂ්ඨ සම්පන්න ජාතියක් , නින්දා සහගත අරමුණු ඇති දුෂ්ඨ පාලන කල්ලියක පාලනයට ගොදුරු වී ඇති විටෙක , ඊට හැකි පමණින් විරෝධයක් නොපාන්නේ නම් ඒ ජාතිය තඹයකුදු නොවටී.අද ජීවත් වන හැම අවංක ජර්මන් ජාතිකයෙක්ම ලැජ්ජා වන්නෙ ඒ නිසාය.” 

ඉන්පසු ඔව්හු මෙසේ ලියති.

මිනිසා අනිත් සියලු සතුන්ට වඩා ඉහලින් ඔසවා තබන ඔහුගේ නිදහසේ අයිතියට  ජර්මන් ජනතාව විසින් පාවාදෙනවානම්,…. තම පෞද්ගලිකත්වය පවා නැති කරගනිමින්, සිතීමට පවා නොහැකිබියගුලු මිනිසුන් බවට පත් වෙන්නේ නම් : ඔව්, එවන් ජාතියක් නැති භංග වී යාමට සුදුස්සෝය. සියලු දෙනාම අනෙකා පටන් ගන්නා තුරු බලා සිටියොත් සිදු වන්නේ ඒ මාරයින් අප වෙත දිනෙන් දින  ලං වීම පමණි……..  ඔබ කොහේ සිටියත් එතැන සිට විරෝධය පාන්න.” 

ඔව්හු තවත් පත්‍රිකාවක මෙසේ සටහන් කරති.

අප උත්සාහ කරන්නේ මේ ජඩ ක්‍රමය පෙරලා දැමීම තනිව කල නොහැක්කක් බව පැවසීමටය. එය කල හැක්කේ මේ කරුණු අවබෝධ කරගත් සීයලු දෙනාගේ සහයෝගයෙනි .අරමුණට ලඟාවීම සඳහා තෝරාගත යුතු මාර්ගය  දිගේ ඉදිරියට ගමන්කරන මිනිසුන්ගේ එකතුවකින් පමනි.සැබැවින්ම අපට එතරම් මාර්ග නැත.ඇත්තේ එකම එක මාර්ගයක් පමණි. එනම් රහසිගත විරෝධයේ මාවතයි.” 

” ….. අපි ඔබලාට වද දෙන ඔබගේම නරක් වූ හෘද සාක්ෂියයි.අවට සිදු වන දේ ගැන නිහඬව බලා සිටීමට අප ඔබට ඉඩ නොදෙමු.” 

ඔව්, ඔවුන් මරණය තෙක් පමණක් නොව මරණින් පසුද ඒ යුතුකම ඉටු කරමින් සිටින්නෝය. 

වයස අවුරුදු විසි ගනන් වල මුල් භගයේ පසුවූ මේ තරුණ තරුණියන් කිහිපදෙනාට පත්‍රිකා කිහිපයක් බෙදා හැරීමට වඩා වැඩි යමක් කල නොහැකි වූ බව සැබෑය.නමුදු ඔවුන් ඉතිහාසය තුල තබා ගිය සටහන නොමැකෙන සුලුය.එය අප හඩවත් තුල ගැඹුරටම කා වැදී ඇත.

අද දින අපිට වද දෙන අපේ හෘද  සාක්ෂිය ඔවුන් නොවන්නේද?

තම සොහොයුරිය හා සගයන් සමග 1943 පෙබරවාරි 22 දින ගිලටීනයට ගෙල තබා ගෙන සිටිද්දි, හන්ස් ෂොල්ගේ මුවින් පිටවූ අවසන් වදන් පෙල අප හදවත් තුල නිදහස පිලිබඳ උණුසුම් හැඟුම් පුරවලනු නොමැතිද?

…  ” නිදහස දිගුකල් දිනේවා

නිසැකින්ම ,ඕනෑම වර්ගයක ඒකාධිපති පාලනයකට එරෙහිව සටන් වැදීමට අවශ්‍ය ධෛර්ය ඔවුන් අපට සපයනු ඇත.

 
 
 
ශ්‍රී ලංකාව තුල  දියවැඩියා  රෝගය ශීඝ්‍රයෙන්  පැතිර යන බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. මෙය ඉතා බරපතල තත්වයක් බවත් ඉතා ඉක්මනින් යම් පියවරක් නොගතහොත් වැඩි කල් නොගොස්  රටේ ජනගහනයෙන් ඉතා විශාල ප්‍රතිශතයක් මෙම  රෝගයට ගොදුරු විය හැකි බවත්  එම වාර්තා පෙන්වාදෙයි.
 
මෙම වාර්තා ගැන විමසිලිමත් වූ , තමන්ගේ රට වැසියන්ගේ සුව සෙත ගැන නිරන්තරයෙන් සොයා  බලන රජය දියවැඩියාව රෝගයට ජනතාව ගොදුරු වීම  වැලැක්වීම සඳහා ක්ෂණික පියවරක් ගෙන තිබේ.
 
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනය කරන සීනි මත පැනවූ බද්ද වැඩි කර තිබෙන අතර  මෙයින් සීනි කිලෝවක මිල රුපියල් පහකින් ඉහත යනු ඇත.
 
එම මිල වැඩි වීමට සමාන අනුපාතයකින් දිය වැඩියා රෝගීන්ගේ සංඛ්‍යාවද  පහල යනු ඇතැයි  බලාපොරොත්තු වේ.
 
 ශ්‍රී ලංකාව වැනි රටවල් ගිල ගැනීම සඳහා සීනි ත්‍රස්තවාදයක් බිහිව ඇතැයිද , එය පරාජය කිරීම දේශප්‍රේමින් වශෙයන් අපගේ යුතු කම බවත් මේ අතර නිවේදනයක් නිකුත් කරන ජාතික නිරුවත් පෙරමුණේ නායක විකටවංශ මහතා පවසයි.
 
මේ පිළිබඳව ඊයේ පවතී මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ   දත් දොස්තර විකට  බණ්ඩාර මහතා පැවසුයේ සීනි කෑම නිසා කුඩා ළමයින්ගේ දත් පනුවෝ කන බවත් ඒ නිසා සීනි මිල තවත් ඉහල දැමිය යුතු බවත්ය.
 
ළමයින්ගේ දත් නරක් වීම දත් දොස්තර කෙනෙක් වශයෙන් ඔබට වාසි සහගත නොවේදැයි ඇසූ විට ඔහු පවසා සිටියේ  දැන් දත් වෙද කම නොකරන බවත් තමන් දැන් ගොඩනැගිලි ඉදි කිරීම පිලිබඳ විශේෂඥයකු බවත්ය.
 
එසේම එකසිය තිස්දෙනෙකු සමග  ජනාධිපතිවරයා සිදු කල නිව්යෝර්ක් සංචාරයේ වියදම් හා මෙම බදු වැඩි කිරීම්  අතර සම්බන්ධ කම් සොයන්නේ දේශද්‍රෝහීන් බවත් , උන් සීනි ත්‍රස්තවාදීන්ගේ අතකොලු බවත්  වැඩි දුරටත් පැවසු ඒ මහතා උන් අල්ලා දේශද්‍රෝහී ෆොන්සේකා  සමග හිරේට දැක්කිය යුතු යැයිද  යෝජනා කළේය.  
 
 
 
 
 
ආර්ථික ප්‍රශ්න නිසා හෙම්බත් වෙලා ඉන්න ජනතාව රවට්ටලා ඔවුන්ගේ අවධානය වෙන අතකට ඇදලා අරගෙන දේශප්‍රේමය තොරොම්බල් කරන්න ආණ්ඩුවට හතුරෙක් ඕනේ කරලා තියෙනවා. 
 
 
පහු ගිය අවුරුදු 30 තිස්සෙම මේ රටේ ආණ්ඩු තමන්ගේ හතුරා විදියට යොදා ගත්ත  ප්‍රභාකරන්  ගේ මරණින් පස්සේ , හතුරෙක් නැති වුනු ආණ්ඩුව මහා  අර්බුයකට ලක් වෙලා ඉන්නේ. 
 
 
දැන් ඔවුන් එක එක ජාතියේ සතුරෝ , සතියට එක ගානේ නිර්මාණය කරලා , කරලියට දානවා. 
 
 
නමුත් අවාසනාවට , මේ හතුරෝ නිර්මාණය කරන්න භාර දීලා තියෙන්නේ , කිසිම නිර්මාණ  ශක්තියක් නැති , කට ඇරියාම මොලේ නවතින , ජාතික  නිරුවත්  පෙරමුණේ  ( ජානිපෙ)  විකටවංශට.  
 
 
විකටවංශය ඒ වැඩේට උපදෙස් ගන්නේ ප්‍රතිභාව කියන එක හත් මුතු පරම්පරාවකත් නොතිබිච්ච නලින් අර්ශස් සිල්වා  , ගුණදාස ගොඩපයයි වල පයයි අමරසේකර , දත් දොස්තර කම ඇරෙන්න අනිත් හැම දෙයක්ම දන්නවා කියලා පෙන්නන වසන්ත .සී. අයි. ඒ  .බණ්ඩාර වගේ  මන්ද බුද්ධික රැලකින් .
 
 
මේ නඩේ එකතු වෙලා මුලින්ම නිර්මාණය කරපු හතුරා තමා බෑන් කී මූන් . හතුරා නිර්මාණය කළා විතරක් නෙවේ. ඒ හතුරාට විරුද්ධව මාරාන්තික ලෙමන් පෆ් උපවාසයක් කරලා ලංකාව ලෝකේම හිනාවට ලක් කෙරුවා.
 
 
මීට යම්තම් මාස දෙකකට කලින් තමන්ගේ ඇමති කුක්කෙක් විසින් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරපු බටහිර කුමන්ත්‍රණ කාර බෑන් කී මූන් ව ,  ලොක්ක ඉඹල පිලි ගන්න කොට විකටවංශ ලා  බලාගෙන ඉන්නේ ඉංජිනේරු සංස්ථාවට ගෙනාපු සිමෙන්ති කටේ හිර වෙලා වගේ.
 
 
එහෙන් බෑන් කී මූන් ඉඹල පිළිගන්න අතරේ රටේ ජනතාවට චූන් දෙන්න අලුත් සතුරෙක් හදන්න කියලා විකටවංශ ඇතුළු නඩේට අණ ලැබිලා. කට්ටිය හත් අතේ කල්පනා කරලා, කරලා හොයා ගත්තා සතුරෙක්ව.
 
 
මෙතුවක් කාලෙකට කිරිපිටි , පාන්පිටි මිල නගින කොට මේ විකටවංශ පස්සේ වැටිලා ඉන්න දත් දොස්තර , කොන්දොස්තර නඩේට බාර වුනේ   ලක්බිම, දිවයින වගේ පත්තර කඩමාලු වල පිටු ගණන් පුරවමින්  මිල වැඩි වීමට විරුද්ධව ජනතා මතයක් හැදෙනවා නම් එක සමනය කරන්න කටයුතු කිරීම.
 
හැබැයි දැන් තියෙන තත්වය අනුව එක මදි.
 
 
බෑන් කී මූන් වෙනුවට අලුත් සතුරෙක් ඕනේ වෙලා තියෙන නිසා මේ හාල් පාරුවෝ ( එක බ්ලොග් සගයෙක් ලියලා තිබුනා හාල් දේශප්‍රේමින් කියලා)  තීරණය කරලා තියෙනවා තමන්ගේ අලුත්ම හතුරා විදියට පාන් පිටි ත්‍රස්තවාදියා කියලා එකෙක් ව තෝරාගන්න. මූ ඉන්නේ මොන ලෝකෙද කියලා දන්නේ මේ හාල් පාරු දේශප්‍රේමියෝ විතරමයි.
 
වැඩේට මුලින්ම බැස්සේ සුපුරුදු  විදියට වසන්ත සී අයි ඒ බණ්ඩාර. එයා දිවයිනට ලියනවා පාන් පිටි  ත්‍රස්තවාදයක් ගැන . මුළු ලිපිය පුරාම පාන් පිටි ත්‍රස්තවාදය කියලා ලියනවා ඇරෙන්න වෙන ගත යුත්තක්   ඒ ලිපියේ නැහැ.
 
 
ඒ ලඟට එනවා පිස්තෝලේ වන වනා ( වනන්නේ අර පානදුරේ පක්ෂ කාර්යාලේ හිටපු දැරිවිට වනපු පිස්තෝලේමද කියලා අහන්න එපා)  තට්ට විජේ . මිනිහා යෝජනා කරනවා පාන්පිටි ත්‍රස්තවාදයෙන් රට මුදවාගන්න වහාම පිටි මිල වැඩි කරන්න ඕනේ කියලා. ඒ වගේම රෝහල්, හිරගෙවල්, හමුදා වල ඉන්න අයට පාන් පිටි කෑම දෙන්න එපා හාල් පිටි කෑම විතරක්දෙන්න කියලා.
 
 
මේ මන්ද බුද්ධික රැල දන්නේ නැතිව ඇති වතු කරයේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරය   පාන්  පිටි රොටී කියලා.  ඊ ලඟට ප්‍රධාන ආහාරය නොවුනත් මිනිස්සු විවිධත්වයෙන් යුතු ආහාර  ගන්න  කැමතියි කියලා. මේ විදියට ගිහින් මේ මී හරක් රැල කියන්න බැරි නැහැ කෑම වෙනුවට විටමින් පෙත්තක් දුන්නාම ඇති කියලා.
 
 
 
මොනවා උනත් තාම ප්‍රධාන විකටයා ඉස්සරහට ආවේ නැහැ. මිනිහා කල්පනා කරනවා ඇති බෑන් කී මූන් නාඩගමේ වගේ පැනලා දෙන්න ගිහින් මොකටද නිකම් නොන්ඩි වෙන්නේ කියලා.
 
දැන් මේ විකට නඩේ කියන විදියට ලෝකේ තියෙන විෂම කෑම තමා පාන් පිටි. ඒ මදිවට පාන් පිටි මිල අඩු කලොත් ඒකෙ වාසිය යන්නේ  ඇමෙරිකාවේ ගොවියාට ලු. එක නිසා පාන් පිටි වලට බදු වැඩි කරලා ඇමෙරිකාවේ ගොවියෝ වට්ටන ඕනෙලු. හැබැයි  මුං  කියන්නේ නැහැ, පාන් පිටි  මිල වැඩි කලාම වාසි කාටද කියලා. පොලොන්නරුව ගොවින්ටද, එහෙම නැත්නම් , ගොවීන්ගේ වී ටික කොල්ල කන මෝල් කාර තක්කඩින්ට ද කියලා  කියන්න ගියොත් ඉතින්  ඩඩ්ලි හාමුයි , සිරිපාල උන්නැහෙයි ඔය විකටවංශ ලා හම ගහයි.
 
කොහොම වුනත් මේ නඩේ තමන්ගේ අලුත් සතුරා විදියට තෝරාගෙන තියෙන පාන් පිටි වලට විරුද්ධ සටන බෑන් කී මූන් ට එරෙහිව කරපු සටන වගේ කොමඩියක් නොවන්නේ , මුන් මේ ලෑස්ති වෙන්නේ පාන් පෙත්තකින් , රොටි පලුවකින් කුස ගින්න නිවා ගන්න දුප්පතුන්ගේ බඩට ගහන්න නිසා.
 
 
 
 
 
 
 
 
 
 
විශ්ව විද්‍යාල සිසුවියන්ගේ කන්‍යා භාවය පරික්ෂ කරන්න ලෑස්ති  වුනු මානසික රෝගියෙක් ගැන මේ දවස් වල බ්ලොග් අඩවි වලයි, පත්තර වලයි දකින්න ලැබුනා.
 
මේ යෝධයා  මෙච්චර මානසික රෝගියෙක් වුනේ කොහොමද කියලා මම පර්යේෂණයක්  කරලා ලියපු නිබන්ධනයේ සාරාංශය ( abstract ) තමා මේ තියෙන්නේ.
 
මේ මනුස්සයගේ අධ්‍යාපන වැඩ වලදී හරි දුර්වලයි. බුද්ධිය හරි අඩුයි. මන්ද බුද්ධික ගානයි. හැබැයි විභාග පාස් වෙලා ඉහලට යන්න හරිම ආශාවක් තිබුනේ. 
 
 ඉතින් මිනිහා පාසලේයි, විශ්ව විද්‍යාලේයි ඉන්න කම් කලේ පිස්සෙක් වගේ පාඩම් කරන එක. කාමරේට වැදිලා පාඩම් කරනවා ඇරෙන්න වෙන කිසිම වැඩක් නැහැ. කිසිම විෂය බාහිර  ක්‍රියා කාරකමකට සම්බන්ධ වුනේ නැහැ. සම වයසේ තරුණයෝ විනෝද වෙද්දී මේ යකා කකුල් දෙක වතුර බේසමක දා ගෙන පාඩම් කළා. පොඟවාපු  තුවා ඔලුවේ ඔතාගෙන පාඩම් කළා.  පස්ස පැත්ත රත් වෙලා පුටුව ගිනි ගන්න කම් පාඩම් කළා.
 
අනිත් කාරණේ තමා මුගේ මූණ හරිම කැතයි. බලන්න අජූවයි. මිනිහා මූණ වැහෙන්න රැවුල වවලා ඉන්නෙත් එකයි.
 
ඉතින් මේ කාරණා දෙකම හින්දා මේ උන්නැහැට තරුණ කාලේ කෙල්ලෙක් යාලු කර ගන්නත් බැරි වුනා. මිනිහා විශ්ව  විද්‍යාලේ  ඉන්න අකාලේ කෙල්ලෝ හතලිස් ගානකගෙන් අහලා තියෙනවා යාලු වෙන්න කැමතිද කියලා. එකෙක් වත් කැමති වෙලා නැහැ. කොටින්ම කියනවානම් කපුවෙක් ගෙනා යෝජනාවකින් කසාදෙ කර ගන්න කම් කෙල්ලෙක්ගෙ දනිහෙන් ඉහළ දැකලා නැහැ. ( දැන් කරන වැඩ දිහා බැලුවම කසාදෙන්  පස්සෙත් එහෙම වගේ )
 
කොහොම වුනත් මිනිහා අවුරදු හතලිහ පනින කම් ලිංගික ජීවිතේ කියලා හිතන් ඉඳලා තියෙන්නේ හස්ත කර්මාන්තයට. ඉස්කෝලේ යන කාලේ ඉඳලා කාම සඟරා පොත් අස්සේ හංගා ගෙන හොරෙන් හොරෙන් බලලා. පස්සේ විශ්ව විද්‍යාලේ ඉන්න කාලේ කොල්ලෝ කෙල්ලෝ ලව් කරන තැන්  වලට රිංගලා හොරෙන් බලාගෙන ඉඳල උන් යන්න ලෑස්ති වෙන කොට ගල් වලින් ගහනවා.
 
මේ හාදයා ඒ කාලේ ඉඳලා ලව් කරන උන් එක්ක තරහයි. තමන්ට අහිමි වුනු  සතුට වෙන එවුන් විඳිනවාට ඊරිසියයි. අනික  මිනිහා කෙල්ලෝ එක්ක කොහොමත් තරහයි, මිනිහාව  තරුණ කාලේ ප්‍රතික්ෂේප කල නිසා.
 
දැන් තේරෙනවානේ මිනිහා කෙල්ලන්ගේ කන්‍යා භාවය පරික්ෂා කරන්න යන්නේ මොකද කියලා.
 
මානසික රෝහල් වල ඉන්න ඕනේ උන්ට විශ්ව විද්‍යාල භාර දුන්නාම  වෙන මොනවා බලා පොරොත්තු වෙන්නද?
 
 
ඊයේ  පෙරේදා ලංකාදීප පත්තරේ මුල්ලක  තිබුණු ප්‍රවෘත්තියක්  දැකල   පොඩි පොඩි ප්‍රශ්න රාශියක්  මගේ ඔලුවේ මතු වුනා.ඇත්තටම කියනවා නම් මගේ ඔලුව තෝන්තු වුනා .
 
මේ ප්‍රවෘත්තිය තමා මාතර මුහුදු වෙරළේ  ඇවිදිමින් හිටපු කාන්තාවන් තුන්දෙනෙක් පොලිස් අත් අඩංගුවට  ගත්තු බව. මේ තුන්දෙනා රක්ෂාවට යනවා කියලා ගෙදරින් ඇවිත් මුහුදු වෙරළේ හිටියලු. මෙයින් දෙන්නෙක් විවාහක කාන්තාවෝ බවත් ප්‍රවෘත්තියේ සඳහන් කරලා තිබුනා.ඔවුන් මුහුදු වෙරලට ආවේ මොන අදහසින්ද  කියලා හොයන්න පරීක්ෂණ  කරගෙන යනවාලු.
 
දැන් මට තියෙන ප්‍රශ්න මේවායි.
 
1.කාන්තාවන්ට මුහුදු වෙරළේ ඉඳීම තහනම්ද?
 
2. විවාහක කාන්තාවන්ට නම් ඒ තහනම තවත් තද වැඩියිද?
 
3. රක්ෂාවට යනවා කියා මුහුදු වෙරළට  යාම තහනම් ද?
 
4. එසේ නම් ඒ දණ්ඩ නීති සංග්‍රහයේ මොන වගන්තිය අනුවද?
 
5. කාට හරි මුහුදු වෙරළට එන්න හේතුවක් අවශ්‍යමද? මාළු අල්ලන්න , මිල දී ගන්න, වගේ හේතුවක් ඕනෙද?
 
6. මුහුදු වෙරළට ඇවිත් කිසිම අරමුණක්  නැතිව ටිකක් නිදහසේ ඉන්න එක තහනම් කලේ කවදා ඉඳලාද?
 
7. ඒකට පොලිසියෙන් ලයිසන් ගන්න ඕනෙද?
 
8. කෙටියෙන් කිව්වොත් මුහුදු වෙරල වගේ තැනක තමන්ගේ යාලුවොත් එක්ක නිදහසේ කතා බහ කරලා ඉන්නවත් නිදහසක් නැද්ද?
 
9. පිරිමි මේ වගේ මුහුදු වෙරළක රස්තියාදු ගහමින් හිටියොත් මේ වගේම අල්ලන් යයිද?
 
10. මේ කාන්තාවෝ අත් අඩංගුවට ගත්තේ    හේතුවක් නැතිව මුහුදු වෙරළේ හිටියේ  ගණිකා වෘත්තියේ නියැලෙන්නය කියල සැක කරලා ද? 
 
11. ඔවුන් ගනිකාවන්ම  වුනත් ඒක මුහුදු වෙරළට එන්න තහනමක්ද?
 
12. එහෙමනම් ස්ත්‍රී දුෂණයට අවශ්‍ය ආයුධයක් හැම තිස්සෙම ඉනේ ගහ ගෙන ඉන්න පිරිමි  ඇයි අත් අඩංගුවට ගන්නේ නැත්තේ. ?
 
13. කාන්තා අයිතිවාසිකම් ගැන ලතෝනි දෙන කවුරුවත් ඇයි මේවා ගැන කතා කරන්නේ නැත්තේ?
 
14.අන්තිමට   මම අහන්නේ අපි මේ ඉන්නේ මේක ශ්‍රී ලංකාවේද , ඉරානයේද කියලා?
 

ගොනා පොල් පැළය දිහාට හැරෙන්නේ ඒක කෑමට මිසක් උම්මා දෙන්ට නෙවේ කියලා තේරුම් ගන්න මහා ලොකු ආචාර්ය උපාධි ඕනේ නැහැ.

ඒ වගේම තමා කස හඬ ඇහෙන කොට පෙරහැර මග එනවා කියලා අපි දැන ගන්ට ඕනේ.

දැන් කස කාරයෙක් එලියට බැහැල වැඩ අල්ලලා . ඒ වෙන කවුරුවත් නෙවේ, විලි ලැජ්ජා නැති කම තමන්ගේ එකම ප්‍රතිපත්තිය කර ගත්තු උපවාස වංශ.

කොළඹ නගරය සංවර්ධනය කරන්ට නගර සභාව වගේ සම්ප්‍රදායික ආයතනයකට බැරි බවත් ඒ වැඩේ හරියට කරන්ට නම් පූර්ණ බලැති අධිකාරියක්  පත්  කරන්ට   ඕනේ  බවත් , පහු ගිය දවස් වල මාරාන්තික උපවාසයක් කරන්ට ගොහින් ලෝකෙම හිනස්සපු මේ විකටවංශයා කියනවා.

මේ යෝජනාව විකටවංශ ගේ ඔලුවේ පහල වෙච්ච එකක් නෙවේ කියලා මේ සිරි ලංකාවේ අත දරුවොත් දන්නවා. ඒක මිනිහාට ලවා කියවන එකක්.

අද මේ විකටයන්ට පැවරිලා තියෙන්නේ ඔය වගේ ලපයි සිපයි වැඩ. මිනිහා හිතන් ඉන්නේ මිනිහත් ටීම් එකේ මුල් පෙලේ ක්‍රීඩකයෙක් කියලා. ඒ වුනාට මිනිහගේ රාජකාරිය තමා තරඟෙට කලින් ග්‍රවුන්ඩ් හැදීම.

තව ඕනේ නම් තරඟ පටන් ගත්තාට පස්සේ වතුර ඇදීම , චියර් කිරීම වගේ වැඩත් බාර දෙයි.

සල්ලි විසි කරලා බාගත්තු මන්ත්‍රීන් ගේ සහයෝගෙන් හදා ගත්තු තුනෙන් දෙකේ වැඩි චන්දෙන් 18 සංශෝධනය සම්මත කරගෙන සම්පූර්ණ ඒකාධිපති පාලනයක් මේ රටේ හදන්න පාලකයෝ උත්සාහ කරමින් ඉන්න මොහොතක් මේක. කුප්‍රකට උපවාස කාරයාගේ ඉහත ප්‍රකාශය සලකා බලන්න ඕනේ ඒ තත්වය තුල මිසක් ඉන් වියුක්තව නම් නෙවේ.

අශූචි ගොඩක තියෙන ශත පහක් වුනත් දිවෙන් ගන්න පුළුවන් මේ දේශපාලන විගඩමා කියන්නේ මොනවාද?

 කොළඹ නගරය සංවර්ධනය කරන්න නම් ඒක අධිකාරියක් යටතට පත් කරන්න ඕනේලු. ඒ කියන්නේ එහි ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් අහෝසි කරන්න ඕනේ.

 දැන් මේ මහත්තුරු ඒ ලඟට මොනවා කියයිද ?

 ශ්‍රී ලංකාව සංවර්ධනය කරන්න නම් පාර්ලිමේන්තුව වගේ යල් පැන ගිය ආයතන වලට බැරිය, ඒ සඳහා පූර්ණ බලැති අධිකාරියක් පත් කරන්න ඕනෙය කියලා කියන දවස වැඩි ඈතක නොවේ.

ඒකට ඕනේ කරන සැලසුම් 18 වන සංශෝධනයෙන් සකස් කරගෙන ඉන්නේ. දැන් ඕනේ වැඩේට පස සකස් කරන එක .

එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ඔලු ගෙඩි නම්මා ගන්න එක. විකටවංශ ලා ගේ මුඛරි කමත් , දේශප්‍රේමී වචන සැට් එකත් ඕනේ වෙන්නේ ඒකටය . මිනිහා ඒ වැඩේ කරයි ඉතාමත් ඉහලින්.

    

ඔන්න පහුගියදා ව්‍යවස්ථා සංශෝධනේට පක්ෂව පෙලපාලි ගිහින් , පත්තර පි‍ටු පුරවලා, බ්ලොග් ලියලා, වොයිස් කට් දීලා, කෝච්චියේ බස් වල ,ඔ‍ෆිස් වල වාද විවාද කරල ,  විරුද්ද නොවී නිස්සද්දව ඉඳලා ,  ආදී නොයෙක් ආකාරයට මේ රටේ දේශප්‍රේමි, කලගුන දන්නා ජනතාව දීපු සහයෝගෙට ආන්ඩුව තවත් තෑග්ගක් එවලා.    

 කාපාන් පාන් කියලා පාන් ගෙඩියක මිල රුපියල් තුනකින්ම වැඩි කරලා.    

කොච්චර අපූරුද? යුද්දය දිනවපු  නායකයට  රටේ ජහමනයා  කලගුන සැලකුවා වගෙම උන්නැහෙත්  තමන්ට උදව් කරපු උදවියට කලගුන සලකනවා  .    

මේ වගේ කලගුන සලකන ජනතාවක්, නායකයෝ ඉන්නේ වෙන මොන රටේද? 
(හැබැයි පොඩි පුරස්නෙකට තියෙන්නේ, ඔය උදව්, ප්‍රති උදව් , මොනවටවත් සම්බන්ද නැති අපි වගේ දේශද්‍රෝහින්ටත් මේ විදියේ තෑගි ලැබෙන එක.මේ විදියට තෑගි එවන කොට මීට පස්සේ තම්න්ගේ ගෝල බාල රොත්තට විතරක් එවන්ඩ් බැයිද කියලා අහන්ඩ කැමතියි.)    

දැන් මේ පාන් ගෙඩියක මිල වැඩි කරන හේතුව පිටි සමාගම් මෙතුවක් කාලයක් බේකරි හිමියන්ට පිටි කිලෝ එකකට දුන්නු රුපියල් තුනක වට්ටම අයින් කිරීමලූ.    

පිටි සමාගම් පාන් පිටි කිලෝ එකක මිල රුපියල් තුනකින් වැඩි කරන කොට ග්‍රෑම් 450 බර පන් ගෙඩියක මිල රුපියල් තුනකින්ම වැඩි වෙන්නේ කොහොමද කියලා අපි දන්න ගනිත සාස්තරේට නම් තේරෙන්නේ නැහැ.    

සමහර විට කුරුනෑගල පැත්තේ ඉස්කෝල වල නමයේ පන්තියේදි උගන්නන්නේ මේ විදියේ ගනන් වෙන්න ඇති.    


හැබැයි ඊයේ නම් මේ ගැන කතා කරන්න ඉස්සරහට එව්වේ උප ඇමති තුමා. උන්නැහෙත් මේ ගනිත සාස්තරේ සූරයෙක් වගේ තමා කතා කොලේ. අල්ලපු දිස්ත්‍රික්කේ නොවැ.
    


උන්නැහැ ඇවිත් බේකරි හිමියන්ට කියනවා දැන් පාන් මිල වැඩි කරපු නිසා  නියම බරට පාන් ගෙඩිය  දෙන්න කියලා.
 
බේකරි හිමියොත් කියනවා ” හරි, හරි, පාන්ගෙඩියක මිල රුපියල් තුනකින්ම වැඩි කරපු නිසා අපි ට්‍රයි එකක් දෙන්නම්” කියලා.    

දැන් මේ ප්‍රකාශ වලින් අපිට නොකියා කියන්නේ මොනවාද?    

1.පිටි සමාගම්  කරපු මිල වැඩි කිරීම ගැන ආන්ඩුව කිසි දෙයක් කරන්නේ නැහැ. 
 
2. පිටි කිලො එකක මිල රුපියල් තුනකින් වැඩි කරන කොට පාන් ගෙඩියක මිලත් රුපියල් තුනකින්ම වැඩි කරන එක ගැනත් ආන්ඩුව නිස්සද්දයි. 
 
3. මෙච්චර කාලයක් බේකරි හිමියෝ පාන් ගෙඩිය අඩු බරට හැදුවේ ආන්ඩුවේ දැනුම හා සහයෝගය ඇතුව. 
 
4.මේ වෙලාවේ ආන්ඩුවට කොරන්න පුලුවන් හා කරන එකම දේ තමා නියමිත බරට පාන් හදන්න කියලා ආයාචනයක් කරන එක. 

 

   
කොහොම වෙතත් ඉස්සරහට මේ වගේ තෑගිනම් දිගටම ලැබෙයි වගේ. දැනටමත් කිරි පිටි වලටයි , බස් ගාස්තු වලටයි ඉල්ලීම් ඇවිල්ලානෙ තියෙන්නේ.