Archive for July, 2010

 

පෙරේදා රාත්‍රියේ සියත මාධ්‍ය ආයතනයට යම් පිරිසක් විසින් කල පහර දීම කලේ කවුදැයි නොයෙක් අදහස් මතු වෙමින් පවති.

 
 ඇට මැස්සාටත් මේ ගැන තමන්ගේම අදහසක් ඇත. ඇටමැස්සා ට එවන් අදහසක් පහල වෙන්නේ මෑත ඉතිහාසය පුරාවටම සිදු වූ මෙවන් සිද්ධින් ගැන කල විශ්ලේෂණයකින් පසුය.
 
ඉතාමත් මෑතකදි වූ සිදු වීම වූයේ  පහරදීමකින් රුහුණු සරසවියේ සුසන්ත බන්ඩාර සිසුවා මිය යාමයි. සුසන්ත විසින් සටන පාවා දුන් නිසා එම මරණය ජේ වීපී කාරයින් විසින් සිදු කල බව එස් බී දිසානායක ඇමති තුමා විසින් සොයා ගෙන තිබිණි. ජේවීපී කාරයින්ට මෙපමණ තරහ ඒමට තරම් සුසන්ත සිසුවා පාවා දුන් සටන කුමක්දැයි එස්බී ඇමති තුමා තම සුප්‍රකට අධෝමුඛයෙන් හෝ එලිදරව් කලා නම් අපූරුය. වැඩේ සම්පූර්ණය.
 
මේ ආකාරයේ ස්වයං නාශක ප්‍රහාර විශාල ප්‍රමානයක් මේ සිරි ලංකා  ද්වීපයේ සිදු වූ බව අපට මතකය.
 
සිරස මාධ්‍ය ජාලයට පහරදීම, ලසන්ත වික්‍රමතුංග   ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම ආදිය මීට නිදසුන්ය. සිරස තමන්ටම ගිනි තබා ගත් අතර ලසන්ත වෙඩි තබා ගෙන මලේය. ප්‍රගීත් තමන් ම අතුරුදන් කර ගෙන සිටියි.
 
මේවා සියල්ල රජය අපකීර්තියට පත් කිරීම සඳහා රජයට විරුද්ධවාදින් කරන දේය. මේවා සිදු වන්නේ බටහිර කුමන්ත්‍රණ වල ප්‍රථිපල ලෙසය.
 
 සියතට ගිනි තැබීමත් එවැනි සිදු වීමකි. මෙය රජය ජාත්‍යන්තර අපකීර්තියට පත් කිරීම සඳහා කල දෙයකි.
 
තමන්ගේ ත්‍රි පුද්ගල කමි‍ටුව ඉවත් කර ගැනීමට සිදු වූ නිසා කෝපයෙන් සිටින බෑන් කී මූන් මේ සිදුවීම පි‍ටු පස සිටීමට හොඳටම ඉඩ ඇත.එම නිසා මේ ගැන පරීක්ෂන පැවත්වීමට චීනයේ හා රුසියාවෙ සහය ලබා ගත යුතු යැයි ඇට මැස්සා යෝජනා කරයි.
 
ඩෙංගු මර්ධනයට කියුබාවෙන් ගෙන්වනවා යයි කියූ බී ටී අයි   බැක්ටීරියාව   දැන් වසරකට ත් වැඩි කාලයක් සිට තාමත් නැවේය. දේශීයව නිෂ්පාදනය කල  බැක්ටීරියාව  භාවිතයට  එරෙහිව රජයේ ආයතන විසින් ම නොයෙක් ආකාරයේ බාධක පනවමින් සිටී.
 
මේ අතර ඩෙංගු රෝගීන්  වෙනුවෙන් භාවිතා කිරීම සඳහා එන්නතක්   තායිලන්තයෙන්   ගෙන්වන  බව සොඛ්‍ය බලධාරීන් පැවසුවත් එයට ද  බීටී අයි  බැක්ටීරියාවට අයත් වූ ඉරණම ම අත් නොවේ යැයි  කිසිම  සහතිකයක්  නැත.
 
මේ අතර පසු ගිය මාස හයක  කාලය තුල  23,000 කට  වැඩි පිරිසකට රෝගය වැළඳී  ඇති අතර ඉන් 164 දෙනෙක් මරණයට පත්ව ඇත. රජය රූපවාහිනියෙන් හා අනිකුත් මාධ්‍ය භාවිතා  කරමින් ඩෙංගු රෝගයට එරෙහිව වහසි බස් දොඩමින් සිටිති. එහෙත් රෝග මර්ධනයට කිසිම පලදායි දෙයක් නොකරයි. රෝගීන් සිය ගණනක් මිය යති.
 
තත්වය කෙතෙක් බරපතල ද යත් , තම ප්‍රදේශයේ  යමෙකු ඩෙංගු රෝගය වැළඳී මිය ගිය හොත් , පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා , ග්‍රාමසේවක ඇතුළු පිරිස් මළගෙදර  ඉදිරිපිට ගස් බඳින බව එවැනි වැඩවලට පරසිදු ඇමතියෙක්  පැවසුයේ ඊයේ පෙරේදාය. ඒ ඩෙංගු රෝගයට ඔහුගේ මොලයේ පරිමාව අනුව දුන් විසඳුමයි.
 
කරුණු කාරණා සිද්ධ වෙන ආකාරය දෙස හොඳින් බැලූ  විට පෙනී යන්නේ  තමන්ට අහිමි වූ ප්‍රභාකරන් නම් සතුරා වෙනුවට රජය විසින් තෝරා ගෙන ඇති අලුත් සතුරන් අතර ප්‍රමුඛයෙක්  වනුයේ ඩෙංගු රෝගය බවයි. සටන සිදු වන්නේ ඒ අයුරින්මය.
 
රජයට අවශ්‍ය  සදාකාලික  සතුරෙකි. ප්‍රභාකරන් මෙන් මාරක සතුරෙකි. ඩෙංගු රෝගයට ඒ සියලු සුදුසු කම් ඇත.
 
ඩෙංගු සමග සසඳා බලන කල  වීරවංශ තමන්ගේ හා රජයේ සතුරා ලෙස තෝරා ගත්  බැන් කි මූන්   පණුවෙකි.  බැන් කි මූන්  ට එරෙහි සටන ජනතාව අතර විහිළුවක් බවට  පත්  විය. 
 
 මේ අනුව රජයට ඉතිරිව ඇත්තේ ඩෙංගු රෝගය පමණි. ප්‍රභාකරන්  විනාශ කළා මෙන් ඩෙංගු රෝගය පරදවා තමන්ගේ එකම  ගැලවුම් කාරයා අහිමි කර ගැනීමට අවශ්‍ය කාටද ?  අපට නම් නෙවේ.
 
දැන් අපට අවශ්‍ය අලුත් සටන් පාටය. අලුත් වර්ගයේ දේශප්‍රේමයකි. එහි සතුරා ඩෙංගු රෝගයයි.
 
 කෙටියෙන් කිවහොත්  තත්වය  මෙසේය.
 
ඩෙංගු රෝගය අප මවු බිම  ආක්‍රමණය කරමින් සිටිති. එයින් මවු බිම මුදා ගත  යුතුය.  මෙය සමස්ත ජාතියම ඩෙංගු රෝගයට  එරෙහිව සටන් වැදිය යුතු වෙලාවකි. මෙය දේශප්‍රේමී  සටනකි. 
ඩෙංගු රෝගය වැළඳී මිය යන්නවුන් යනු මේ සටනේදී මවු බිම වෙනුවෙන් දිවි පුදන්නවුන්ය. ඔවුන් මළ පසු නැළවෙන්නේ සුන්දර සුරඹුන්ගේ අතේය. ඔවුන්ට ගරු කිරීම් වස් විශාල ස්මාරකයක්ද  ඉදි කල යුතුය.
 
අනිත් අතට ගත් කල ඩෙංගු රෝගය මර්ධනය නොකරන්නේ යැයි රජයට දොස් නගන්නේ දේශද්‍රෝහීන්ය.
මේ තීරණාත්මක අවස්ථාවේ වැඩි පඩි ඉල්ලන්නේ   එන්ජීඕ  කාරයින්ය.
පෙළපාලි යන්නේ  බටහිර ඒජන්තයින්ය.  
සරසවි සිසුන් සම්පූර්ණයෙන්ම   යුදෙව්වන්ය.

ඩෙංගු රෝගය  හා සටන් වැද තම දිවි පුද කලවුන්ට  මේ ද්‍රෝහීන් කරන්නේ අපහාසයකි. ඔවුන් ඩෙංගු රෝගයටම බිලි කල යුතුය.

 
සටහන.  –  ජාතික වීරයෙක් වීමට ඇති පහසුම මග ඩෙංගු රෝගය හදා ගෙන මිය  යාමය.
 
රුහුණු සරසවියේ සිසුවෙකු වූ සුසන්ත බණ්ඩාර ඝාතනය කළේය යැයි පොලිසීය  විසින් චෝදනා කරනු ලබන බස්සා හෙවත් බස්නායක සිසුවාගේ ජීවිතයට බරපතල තර්ජනයක් එල්ල වී ඇතැයි අප විශ්වාස කරමු.
 
 
පසුගිය කාලය මුළුල්ලේම මෙරට  නීතිය ක්‍රියාත්මක වූ ආකාරය දෙස බැලීමේදී මෙය අසාධාරණ  සිතුවිල්ලක් නොවන බව කූඹි ඔලුවක් තරම් වත් මොලයක් ඇති ඕනෑම අයෙකුට  තේරුම් යනු ඇත.
 
 
පාතාල සාමාජිකයන් ලෙස හඳුන්වමින්  අත් අඩංගුවට ගත් පුද්ගලයින් එක දිගටම මිය ගියේ ආයුධ සඟවා තිබු තැන් පෙන්වා දීමට යන අතරේදීය. පොලිස් සිර මැදිරි වලදී එල්ලී මිය ගිය  සිරකරුවන් ගණන කොතෙක් දැයි කිව නොහැක.
 
 
එපමණක් නොවේ. මෙය මාධ්‍ය වේදීන් අතුරුදහන් වෙන රටකි. මෙය හිඟන්නන් ගේ හිසට ගල් ගෙඩි වලින් පහර දී මරා දමන රටකි. තම නිලධාරීන් බේරා ගැනීම උදෙසා කටට එන ඕනෑම  දෙයක් කියන පොලිස්පති වරයෙක් සිටින රටක , අපද ඕනෑම දෙයක් බලාපොරොත්තු විය යුතුය. එක් දිනකදී සුසන්ත සිසුවාගේ මරණය සිදු වුයේ ස්වාභාවික හේතුවක්  නිසා යැයි කිවූ ඔහු පසු දිනම එහි වගකීම බස්සෙකු  පිට පටවන්නට තැත් කල වෑයම තුලින් පෙන්වන්නේ එයයි.
 
 
අද වන විට ආණ්ඩුව හා පොලිසීය  තම සියලු බල ඇණි යොදවමින් මේ ඝාතනය බස්සා හා ජවිපෙ පිට පැටවීමේ උත්සාහයක  නිරතව සිටී. ඒ සඳහා  ඔවුන් රාජ්‍ය මාධ්‍යන් ට අමතරව  ,  ප්‍රථමයෙන්   සත්‍ය   කියා ඉන් පසු දිගටම අසත්‍ය වපුරන දෙරණ වැනි පෞද්ගලික මාධ්‍යන් පමණක් නොව පෝස්ටර් පවා යොදා ගනිමින් සිටිති. එම නිසා ඔවුන්ට මෙය සුළු පටු ප්‍රශ්නයක් නොවන බව පැහැදිලිය.
 
 
මේ ප්‍රශ්නයෙන්  ගොඩ ඒම සඳහා පමණක් නොව  එය යොදාගෙන තම සතුරන් මර්ධනය සඳහාද ආණ්ඩුව ඕනෑම දෙයක් කරනු ඇත. විශේෂයෙන් පෞද්ගලික සරසවි පිලිබඳ ප්‍රශ්නයේදී රජය සමග මුහුණට මුහුණ සටනකට එළඹ ඇති ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධනය කිරීම සඳහා මෙම සිදු වීම යොදා ගැනීමට රජය ප්‍රබල ප්‍රයත්නයක් දරණු ඇත.
 
 
මේ සඳහා මුලින්ම බස්සා වරද කරුවකු කල යුතුය. බස්සාට  එල්ල වන චෝදනා ඔප්පු කර ගැනීමට නොහැකි වන විට කල හැකි පහසුම දෙය වනුයේ ඔහු මරා  දමා සිය දිවි නසා ගත් බව හෝ ඔහු අත්අඩංගුවෙන් මිදී පලා යාමට තැත් කල බව පැවසීම  පමණි.       
 
සුසන්ත  බණ්ඩාරගේ මරණය පොලිසිය විසින් කලේ යැයි අනෙකුත්  සිසුන් විසින් චෝදනා නගන තත්වයක් තුල, තම නම රැක ගැනීම වෙනුවෙන්  බස්සලා එකෙක් නොව  සිය ගණනක් වුවද බිලි ගැනීමට ඉඩ තිබේ. 
 
 එසේ හෙයින් බස්සා නමින් හඳුන්වන සිසුවාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා  සියලු පාර්ශවයන් වහාම    මැදිහත් විය යුතුය . 
 

 

දැන් වසර කීපයක සිට රජය හා සමාගම් එක්ව කිරිපිටි මිල වැඩි කිරීමට සැරසෙන විට, කිරි පිටි බීමට එරෙහිව ලිපි දෙක තුනක්වත් පුවත් පත් වල පලවේ. කිරි පිටි වල ඇති ආදීනව  ගැන , එයින් සෞඛ්‍යට  ඇති වන අහිතකර බල පෑම් ගැන , කිරි පිටි නිසා මෙරට ආර්ථිකයට වන හානිය ගැන , මේ ලිපි ලියන්නේ එසේ මෙසේ පිරිසක් නෙවේ.

බොහෝ විට ලක්බිම පුවත් පතේ පල වූ මේ ලිපි ලියුවේ  මෙරට සිටින අග්‍රගන්‍ය  දේශප්‍රේමින්  පිරිසකි. මීට කලින් ලිපියකින්  අප හඳුන්වා දුන් කුප්‍රකට  දත් දොස්තර එයින් එකෙකි. 

මෙයට අමතරව තවත් දොස්තරුන් කීප දෙනෙක් ම මේ මහඟු කාර්යයට උර දී සිටියහ. මොවුන් ලියන දෑ කියවන විට සැබෑම දොස්තරුන්දැයි පැනයක් මතු වෙන අතර , සමහර විට මොවුන් දොස්තර  පට්ටමේ ඇති සිවිල් බලය භාවිතා කරන කොන්දොස්තරුන් වීමටද ඉඩ ඇත. 

මොවුන්ට පැවරී තිබුණු රාජකාරිය වූයේ කිරි පිටි මිල වැඩි වන විට ,එයින්  රජයට ඇති වන අප්‍රසාදය  අවම කිරීමයි. මේ  සඳහා ඔවුන් යොදා ගත් උපක්‍රමය වුයේ කිරිපිටි යනු මිනිසාට ඉතාමත් අහිතකර , අගුණ දෙයක්ය යන මතය කිරි පිටි මිල වැඩි  වන සමය තුල ජනතාවට කා වැද්දීමයි.

ඔවුනට අනුව රජය කිරි පිටි මිල වැඩි කිරීමට සමාගම් වලට ඉඩ දෙන්නේ , ජනතාව මේ අහිතකර දෙයින් මුදා ගැනීමටය.     ඒ ගැන මෙරට ජනයා රජයට ස්තුති කල යුතුය. එපමනක් නොව කිරි පිටි සමාගම් පවා මිල වැඩි කරන්නේ මෙ පරම පවිත්‍ර චේතනාවෙන් බව ඔවුහු අපට නොකියා කියති.

 ඔවුනගේ මේ දේශප්‍රේමී ක්‍රියාව  වෙනුවෙන් රජයෙන් මෙන්ම සමාගම් වලින්ද ඔවුනට නොයෙක් පඬුරු පාක්කුඩම් ලැබේ. මිල මුදල්,තාන්න මාන්න ,නිලතල, විදෙස් සංචාර  පමණක් නොව රුසියාවෙන් ආනයනය කරන ලද සුඛ විහරණයන් පවා මේ තෑගි භෝග වලට අයත්ය. 

එදා කොහේ හෝ අහු මුලු වල සැඟවී සිට මේ දේශප්‍රේමින්  දෙතුන් දෙනා කර ගෙන ගිය මේ මහා දේශප්‍රේමී     කාර්යය , අද දින එලි පිටම කිරීමටම කිරීමට ඔවුනට පමණක් නොව, ඔවුන්ගේ නායක කාරකාදින් ටත් සිදුව තිබේ.

 සීපා ගිවිසුම පිලිබඳව ජනාධිපතිතුමා කිසිත්  නොදන්නා බවත්, එය අමන නිලධාරින් කීපදෙනෙකුගේ ක්‍රියාවක්  බවත් පැවසීමට , මහා දේශප්‍රේමි  , දේශහිතේශි වසන්ත බණ්ඩාර දත් දොස්තර තුමාට සිදු වුයේ ඒ නිසාය. 

රජය තිරිඟු පිටි මිල වැඩි කරන විට එයනම් කදිම ක්‍රියාවක්  බවත්, තවත් රුපියල් දහයකින් මිල වැඩි කල යුතු බවත් , ආරියශීල වික්‍රමනායක  දේශහිතේශි තුමා පවසන්නේ ඒ නිසාය. පාන් ගෙඩියකින් , රොටී පලුවකින් තම කුස පුරව ගන්නා මෙරට අහිංසක  ජනයාට හෙණ ගැහුවත් මොවුන්ට කම් නැත. ඔවුනට වැදගත්  තම හාම් පුතුන් පිනවීම පමණි. තමන්ට පඬුරු ලැබෙන්නේ එවිටය.  එවිට පමණි. 

අප කලින් කිවු පරිදි කිරි පිටි මිල වැඩි කරන විට කිරිපිටි වල ඇති අගුණ ගැන ලිපි  ලියවෙන්නෙත් ඒ නිසාය. රටේ දරුවන් ගෙන් බහු තරය මන්ද පෝෂණයෙන් පෙලෙද්දි කිරි පිටි සමාගම් වෙනුවෙන් පෙනී සිටීම ගැන ඔවුනට කිසිම ලැජ්ජාවක් නැත. 

මේ ගෝල බාලයන්ගේ වැඩය. දේශප්‍රේමි  නායක තුමන්ලාගෙ වැඩ ඊට වඩා දස දහස් ගුණයකින්  අගනේය.

ජනාධිපති ධුරයේ වාර ගණන පිලිබඳ සීමා  ඉවත් කිරීමට පක්ෂව  වීරවංශ  තුමා පසු ගිය දිනවල තම ගිරිය කඩාගෙන කෑ ගැසුයේ එය තමන්ට පැවරුණු රාජකාරිය නිසාය. එය ඉතාමත් හොඳින් ඉටු  කිරීම  ඔහුගේ පරම අභිලාෂයයි.

 එපමණක් නොව මේ මහා  දේශප්‍රේමියා  පසු ගියදා තුන් මුල්ලේ නැ‍ටු රිලා නැ‍ටුමද එවැන්නකි. මැතිවරණ කාලයේ පොරොන්දු වී, මාසයෙන් මාසය කල් දැමු රුපියල් 2500 ඇතුලු සහනයන් අය වැයෙන් ලැබෙතයි බලා සිටි ජනතාවගේ  අවධානය වෙනතක හැරවීම  ඔහුට ලැබුණු කොන්ත්‍රාත්තුවයි.  තම රෙදි පිලි ගැලවී නිර්වස්ත්‍ර  වී ගියද , ඒ රිලා නැ‍ටුම නැටීමට ඔහුට සිදු විය. කුඩු කෑ විට කරුණු සිදු වන්නේ එසේය.

 කෙසේ වෙතත් වීරවංශ ගේ   රිලා නැ‍ටුමින් පසු , තමන්ගේත් වස්ත්‍ර  ගැලවී නිරුවත් ව සැඟවී සිටින දේශප්‍රේමින්  හට අනාගතයේදි වැදගත් විය හැකි කරුණු කීපයක් මතක් කර දීමට අප මේ ලිපියේ අරමුනයි.  අයිටීඑන් එකෙන්, ස්වර්ණවාහිනියෙන් හෝ දෙරණින්  පවා මේ අදහස් තමන්ගෙම අදහස් ලෙස ඒ ඒ අවස්ථා වලදි ඉදිරි පත් කිරීම ගැන අපගේ කිසිම විරුද්ධත්වයක්  නැත. ඒ තම දොස්තර පට්ටම්, දේශප්‍රේමි කම්  කම් භාවිතා කරමින් අපට වඩා හොඳින් මේවා සමාජ ගත කිරීමට ඔවුනට හැකි බැවිනි.

 1. රසායනික ද්‍රව්‍ය  යොදන බැවින්  එළවලු  මිනිස් සිරුරට ඉතාමත් අගුණය. එළවලු  වල ඇති විටමින් හා කෙඳි සහිත තත්වයන් නිසා පිලිකා පවා ඇති වීමට ඉඩ තිබේ. එම නිසා බතක් පිස එය ලුණු වතුර ටිකක්  ඉස ආහාරයට ගැනීම ඉතාමත් සුදුසුය.

 2. ගෑස් වලින් ආහාර පිසීමෙන් පරිසරය දුෂනය වේ. එය දේශද්‍රෝහී ක්‍රියාවකි.  එබැවින් දර වලින් ආහාර පිසීම මේ යුගයේ  දේශප්‍රේමිත්වයේ  සළකුණකි. හැකිනම් නොපිසම ආහාරයට ගන්න. ඔබට හොඳම දේශප්‍රේමියෙක් විය හැක.

 3.බස් රියේ හා දුම් රියේ ගමන් කිරීමෙන් ශරීර සෞඛ්‍ය   පිරිහේ. අනික එය බටහිර යුදෙව්වන්ගෙන් මෙරට ආ පුරුද්දකි. ඒ නිසා සැබෑ දේශප්‍රේමින්  කල යුත්තේ පයින් යෑමයි.

 4. රජයේ රෝහල් යනු උපතින්ම බටහිර සංකල්පයකි.  අතීතයේ  මෙරට ජනයා බෙහෙත් ගත්තේ වෙද ගෙදරට ගොසිනි. එය පුද්ගලික වෙද කමකි. ඒ නිසා අප අතීතයේ  සිට පැමිණි සම්ප්‍රදායන්  ආරක්ෂා කරමින් රජයේ රෝහල්   වලට නොගොස් හැකි තරම් පෞද්ගලික වෙද හල් කරා යා යුතුය. දේශප්‍රේමිත්වය   එයයි. රජයේ රෝහල් වල බෙහෙත් නැතැයි කෑ ගසන්නේ ජාති ද්‍රෝහින්ය.

 5. ඉහත කරුණ අධ්‍යාපනයටද ගැලපේ.  වෙද ගෙදර වෙනුවට ගුරු ගෙදර ආදේශ කිරීම පමණි කල යුත්තේ.

 6.තණකොල හා පිදුරු ඉතා පෝෂ්‍ය දායකය. ඒවා ආහාරයට ගැනීමට සියලු දේශප්‍රේමින් පුරුදු විය යුතුය.

  තම නම් වලට ඉදිරියෙන් ඇති ආචාර්ය, මහාචාර්ය , දොස්තර පට්ටම් භාවිතා කරමින් මෙම අදහස් ජනතාව වෙත ‍රැගෙන යන මෙන්  සියලු  දේශහිතෙෂින්   ගෙන්   ජාත්‍යාලයෙන්   යුක්තව ඉල්ලා  සිටිමු. අප රට ආසියාවේ ආශ්චාර්ය කල හැක්කේ එවිටය.

ප.ලි. – රුහුණු සරසවියේ මහා ශිෂ්‍ය  සංගමය  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශාඛාවක්  බවත්, පහර දීමෙන් මියගිය සිසුවා    බෑන් කි මූන් ගේ ඒජන්තයෙක් බවත්  අවශ්‍ය නම් පැවසිය හැක.


 

 ප්‍රගීත්  එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන් කර අදට මාස හයකි. 

  

  

  

 

 

මේ දිනවල මාගේ ප්‍රියතම මාධ්‍ය දෙරණ නාලිකාවයි. ඔවුන් තම පුවත් විකාශය හඳුන්වා ගන්නේ “සත්‍යය ප්‍රථමයෙන් -truth first ” යනුවෙනි.

මෙයින් අදහස් වන්නේ ප්‍රවෘත්ති කියන විට ඔවුන් මුලින්ම කියන දේ , එනම් නිවේදකයින්ගේ නම ගැන නම් එය සත්‍යය බවට සැකයක් නැත. තම ආදර්ශ පාඨයේ පරිදි මුලින්ම මේ ඇත්ත කියන ඔව්හු ඉන්පසු මුසා දෙඩීම පටන් ගනිති.

රුහුණු සරසවියේ සිසුවෙක් පහර දීමකින් මිය ගොස් ඇත. සිසුන් පවසන පරිදි මෙය පොලිසියේ වැඩකි. පොලිසිය කියන්නේ මෙය ස්වභාවික මරණයක් බවත් , සිසුවා මිය ගොස් ඇත්තේ මොළයේ නහරයක් පිපිරීමකින් වූ අභ්‍යන්තර ලේ ගැලීමකින් බවත්ය.

 සුසන්ත බණ්ඩාර    සිසුවා

මේ අතර වාර්තා වන පරිදි සිසුවා බදුල්ල රෝහල් පොලිසියටද පවසා ඇත්තේ , තමන්ට පොලිසිය පහර දුන් බවකි. ඔහු කට උත්තරය දෙන විට ඔහුගේ මවද ඒ අසල සිට ඇතැයි කියවේ. නමුත් දැන් , ඇය කුමක් හෝ හේතුවකට , තමන්ට පහර දුන්නේ පොලිසිය විසින් නොව සිසුවෙකු විසින් යි තම මිය ගිය පුතු කී බවක් කියයි. 

 දෙරණ නාලිකාවට නම් මෙය වෙනත් සිසුවෙකුගේ වැඩකි. මෙරට ජනතාවට අකුරු කියවීමට බැරි නිසා ඔවුන් ට පත්තර කියවා දීමට එන දෙරණ නාලිකාවේ නපුංසක මාධ්‍ය අප්පු අද උදේ පුන පුනා පැවසුවේ මෙය වෙන සිසුවෙකුගේ වැඩක් බවය. වහාම එම සිසුවා අත්අඩංගුවට ගෙන මෙරට නීතිය ආරක්ෂා කල යුතු බව ඔහු පොලිසීයට නැවත නැවතත් මතක් කර දුන්නේය .

දැන් තත්වය වෙනස් වී තිබිය හැකි වුවද. අද උදේ වෙන විටත් පොලිස්පති වරයා පවා මෙම මරණය වෙනත් සිසුවෙකුගේ ක්‍රියාවක් බව නො පැවසීය. ඔහු කියා සිටියේ සුසන්ත බණ්ඩාර    සිසුවා මිය ගොස් ඇත්තේ මොලයේ ලේ ගැලීමකින් බව පමණි. තම සගයින් ආරක්ෂා කර ගැනීම උදෙසා කතා ගොතද්දී පවා , ඔහු පවා මේ ඊනියා මාධ්‍ය කරුවන්ට වඩා සාධාරණ විය.

නමුදු කුලියට කහින දෙරණ නපුංසක මාධ්‍ය අප්පුට අඩුම තරමේ එයවත් නොපෙනේ. සරසවි සිසුන් කෙරෙහි තමා තුල ඇති බද්ධ වෛරය ඔහු අමු අමුවේ මුදා හරියි. බත් පත වෙනුවෙන් ඕනෑම සක්කිලි වැඩක් කරන මේ කුලී බුරන්නා ට අනුව පොලිසිය අතින් එවැන්නක් සිදු වීම සිතන්නටවත් බැරිය .

සිය නේවාසිකාගාරයට රැගෙන යන බව කියමින් ගෙන ගිය සිසුන්ට පොලිසිය විසින් එලවා එලවා පහර දුන් බවට සිසුන් කරන ප්‍රකාශ ගැන මේ මාධ්‍ය ඔස්තාර් ලාට වගේ වගක් නැත. ඔවුන් අමු නිරුවතින්ම මගට බැස , කිසිදු ලැජ්ජාවකින් තොරවම , තම ස්වාමි දුව තමන්ට පැවරු කාරිය අකුරටම ඉෂ්ට කරමින් සිටිති .එනම් මේ ඒකාධිපති පොලිස් තන්ත්‍රය  වෙනුවෙන් කඩේ යමින් සිටිති.

එක සිසුවෙකු නොව මෙරට සියලු ජනතාව හැඳි ගැවි ගියත් ඔවුන්ට කම් නැත. ඔවුන්ට වැදගත් තම කුස පුරවා ගැනීම පමණි. තම මවු විකුණා හෝ ඔවුන් එය ඉටු කර ගනු ඇත.

 

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඊයේ සවස කැම්බල් පිටියේ පැවත්වූ උද්ඝෝෂණය “අපක්ෂපාති , මාධ්‍යයක්” වන දෙරණ නාලිකාව වාර්තා කලේ මෙහෙමයි.

” ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය අද පැවත් වූ උද්ඝෝෂණයට එම සන්ධානයේ පක්ෂ කීපයක්ම සහභාගී නොවීම විශේෂ සිදු වීමක් විය. ”

ඒක අතකට වරුණි අමුනුගමගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

ඩෙංගු මදුරුවන් සිටින තැන් සොයා දෙන පාසල් සිසුන්ට රුපියල් දහස බැගින්  තෑගී  දීමට   ඌව පළාතේ අතිගරු මහා ඇමති තුමා ඉදිරි පත් වී ඇතැයි කියවේ. කදිමය. ඉතා කදිමය. මෙවන් වූ බුද්ධිමත් නායකයන් වෙසෙන රටක ඉපදීම  කවර නම් පිනෙක්ද?
 
මෙපුවත  ඇසූ මොහොතේ පටන් මගේ සිතෙහි  විචිත්‍ර සිහින මැවෙන්නට ගත්තේය. 
 
 පාසල්  සිසුන්ගේ අතමිට සරු වෙයි. ඔව්හු දිනපතා රුපියල් දසදහස් ගනින් උපයති . ඩෙංගු මදුරුවන් ඇති කිරීම ගෘහ කර්මාන්තයක් ලෙස දියුණු වෙයි.
 
සෑම නිවසකම ඩෙංගු මදුරු  තවානක්  ඇතිවෙයි. එයින් ඩෙංගු කීටයන් දෙදෙනෙක් හෝ  තුන් දෙනෙක් බැගින් ටින් කබල් කීපයක  දමා ගන්නා එනිවස වෙසෙන සිසුවා (හෝ සිසුවිය ) ඒවා තමන් පාසල් යන පාර අද්දර තැන් තැන් වල තබා තම ජංගම දුරකථනයෙන්  හොට් ලයින් එකට කතා කරයි. එතන සිටින ඔන් ද ස්පොට් නිලදාරියෙක් මෝටර් බයිසිකලයේ නැගී රූන් ගා පැමිණ සිසුවාට රුපියල් තුන් දහසක් දී ආපසු යයි.
 
ඔහු මදක් දුර ගිය පසු එම ටින් කබල් වෙන  තැනක  තබන සිසුවා නැවත එම නිලදරුවාට දුරකතනයෙන් කතා කරයි. ඔහු පැමිණ ටින් කබල පිරික්සා , කපටි සිනහවක් මුවට නංවාගෙන තවත් රුපියල් තුන්දහසක් සිසුවාට දී ආපසු යයි. පාසැල පටන් ගන්නා වෙලාව එළඹී නැත්නම් තවත් රුපියල් හත් අට දහසක් උදේ වරුවේ සොයා ගැනීමට  ඔහුට හැකිය.
 
ඔහු ටින් කබල කීපය පඳුරක් අස්සේ සඟවා පාසල් යන්නේ පාසැල ඇරි විගසම පැමිණ තවත්  රුපියල් කීප දහසක් සොයා ගන්නා අරමුණිනි.
 
මේ අතර ඩෙංගු මදුරුවන් ඇති කරන ආකාරය කියා දීමට උපදේසක සමාගම් බිහි වේ. ඔව්හු නිවෙස් වලට ම පැමිණ මදුරුවන් ඇති කරන  ජලයේ තිබිය යුතු ඛනිජ ප්‍රමාණයන්ගේ   සිට, හානි නොවන සේ මදුරුවන් අල්ලා ටින් හා පරණ ටයර් වලට දැමීම, ආදී කාරණා ගැන ජනතාවට කියාදෙති.
 
මේ අයුරින්ම  , ඩෙංගු මදුරු බිත්තර විකිණීම , පරණ ටින් හා ටයර සැපයීම ආදී වූ නොයෙක්  රැකියා බිහිවේ.
 
ඌව පළාතේ සිසුන්ගේ වාසනාව ගැන ඇසූ වෙන පළාත් වල සිසුන් ඌව පළාතේ පාසල් වලට ඒමට පොර කති. එසේ ඌවෙ  පාසල් වලට ඇතුල් වීමට නොහැකි   වූවන්   සති අන්ත හා පාසල් නිවාඩු කාලවල  පැමිණ මදුරු වගාවේ  යෙදෙති. අත මිට සරු කර ගනිති.
 
පාසල් හැර ගියොත් තමන්ට මේ ක්‍රීඩාවේ යෙදීමට නොහැකි බව දන්නා සිසුහු එකම පන්තියේ වසර දෙක තුන අසමත් වීමට ගනිති .මෙයින් රජයට පාසල් පෙළ පොත් සඳහා යන වියදම සියයට පනහකින් අඩු කර ගැනීමට හැකි වෙයි. මෙය 100% දක්වා ගෙන යාම තම අරමුණ බව අධ්‍යාපන ඇමති පවසයි.
 
මේ අතර   ආණ්ඩුවෙන් පොරොන්දු වූ රුපියල් 2500 නොදීමට එරෙහිවත් ,   රුපියල් අට දහසක වැටුප් වැඩි වීමක් ඉල්ලමිනුත්  සේවකයින් වර්ජනයකට පෙළඹවීමට ලාල් කාන්ත පැමිණෙයි.
 
ජනතාවෝ ඔහුට මෙසේ කියති.
 
” ඔහේට පිස්සුද ලාල්කාන්ත උන්නැහේ. තමුසෙලා හදන්නේ මේ ආණ්ඩුව පෙරලන්න. අපි මොකටද මේ වගේ ආණ්ඩුවක් පෙරලන්නේ. බලනවා මගේ පවුලේ දරුවෝ පස් දෙනයි. එකෙක් ගේනවා රුපියල් තිස් හතලිස් දාහක් දවසකට . ඉතින් අපිට මොකටද ඔය රුපියල් 2500 . මේ අපිට කරදර නොකර යනවා, අපි මේ මදුරුවෙක් දෙන්නෙක් ඇති කරගෙන දෙයියනේ  කියලා  අපේ   පාඩුවේ ඉන්න  එකට කෙලින්නද තමුසෙලා හදන්නේ?”

 

පහු ගිය දාක උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක උන්නැහේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට කඩා ගෙන පැන්නා.  මෙහෙම කියන කොට කාට හරි අර වළං කඩේ ට පැන්න ගොනා මතක් වෙනවා නම් ඒකට මට වග කියන්න බැහැ.ඔන්න මම එහෙම සමාන කිරීමක් කලේ නැහැ. හැබැයි ඉ තින් මෙහෙ ප්‍රජාතන්තරේ ඉහලින්ම තියෙන නිසා තමන් කැමති දෙයක් හිතාගන්නත් නිදහස තියෙනවා .

ඉතින් ඒ වෙලාවේ එතුමාට හූ කියපු ශිෂ්‍යයන්ට විරුද්ධව නඩු දාන්න කටයුතු කරගෙන යනවයි කියලා පත්තර වල වාර්තා වෙලා තිබුනා. මේ ශිෂ්‍යයන්ට විරුද්ධව තියෙන චෝදනා මොනවද කියලා නම් ඒ වාර්තාවල තිබ්බේ නැහැ. චෝදනා නැත්නම් අලුතෙන් හදල හරි දාන්න බැරිය.නීති කැඩුවා නම් නඩු දාන්න ඕනේ එකේ දෙකක් නැහැ.නීතිය කාටත් පොදුයි.

මම මේ දැන් ලෑස්ති වෙන්නෙත් ඒ වගේ දෙයක් ගැන පොඩි ඔත්තුවක් දෙන්න. මේක සිද්ද වුනේ තුම්මුල්ල හන්දිය කිට්ටුව. අතිගරු ඇමති වීරවංශ තුමා ඇතුළු පිරිසක් ඇවිත් එක්සත් ජාතීන්ගේ කාර්යාලය වට කරලා එතන හිටපු නිලධාරින් ප්‍රාණ ඇපයට අරගෙන මහා නාඩගමක් නැටුවා. ඊටපස්සේ ඇමතිතුමා සියදිවි නසා ගන්න හැදුවා. ඉතින් අපි මේ කියන්නේ අර ශිෂ්‍යයන්ට විරුද්දව නඩු දාන්න කලින් පුලුවන්නම් මෙතුමාලාටත් නඩු දාන්න කියලා.

නීතිය බාර මහත්තුරුන්ට ලේසි වෙන්න චෝදනා පත්‍රයත් හදලම දෙන්නම්කො.

1. එක්සත් ජාතීන්ගේ කාර්යාලය වට කර නිලධාරින් ප්‍රාණ ඇපයට ගන්නා ලෙස ජනතාව උසි ගැන්වීම.( වාසනාවට ජනතාවට මොලේ තිබුනා එතුමාට වැඩිය)

2. තමන්ගේ අතවැසියන් හා කුලියට ගත් පිරිසක් සමග පැමිණ එක්සත් ජාතීන්ගේ කාර්යාලය වට කර එහි සිටි නිලධාරීන් ප්‍රාණ ඇපයට ගැනීම.

3. එහි සිටි ගැබිණි මවකට එලියට යාමට ඉඩ නොදෙමින් ඇයගේ ජීවිතයට හානි කිරීමට තැත් කිරීම.( මෙයාට යන්න දුන්නොත් ඕක ඇතුලේ ඉන්න ඔක්කොම එවුන් එක එක කතා කියා කියා එලියට යයි කියලා මේ මහා දේශප්‍රේමින් කිව් බව වාර්තා වුනා)

4.ඒ ස්ථානයේ ජීවිත හා දේපොළ ආරක්ෂාවට පැමිණි පොලිස් නිලධාරීන්ට බාදා කිරීම, පහර දීම හා තර්ජනය කිරීම.( නියෝජ්‍යය පොලිස්පති තුමාගේ තොප්පිය තාම හම්බු උනේ නැද්ද)

5. ආහාර පාන නොගෙන සිටිමින් සිය දිවි නසා ගැනීමට තැත් කිරීම. ( මේ චෝදනාවෙන් නිදහස් වෙන්න නම් එතුමාට කියන්න තියෙන්නේ ” නැහැ , මම නොකා නොබී හිටියේ නැහැ. වැසිකිලියට ගිහින් හොරෙන් හොරෙන්  ආහාර පාන ටිකක් ගත්ත කියලා විතරයි)

ඔන්න තියෙනවා වැඩේ , පුලුවන්නම් අර හූ කියපු ශිෂ්‍යයන්ට නඩු දාන්න කලින් වීරවංශ තුමාටයි එතුමාගේ ගෝලයෝ රොත්තටයි නඩු දාන්න ඔය චෝදනා යටතේ. සාක්කි ඕනේ තරම් හොයා ගන්න පුළුවන්. පතිරණ මහත්තයා වුනත් සාක්කි දෙයි නොවැ.

( ශාරීරිකව කොහොම වෙතත් දේශපාලනිකව නම් වීරවංශ තුමාගේ  සියදිවි නසා ගැනීම නවත්තන්න ජනාධිපති තුමාගේ වතුර වීදුරුවටත් බැරි වුනා. හැබැයි ඉතින් ඒකට නඩු දාන්න බැහැනේ. )

වීරවංශ සහෝදරයා , සමාවෙන්න ඇමතිතුමා, තුම්මුල්ලේ මාරාන්තික උපවාස රංගනයක යෙදී ඉන්න අතරේ නැවත වතාවක් ආණ්ඩුව ජනතාවගෙන් හොර කම් කර අරගෙන තමන්ගේ මල්ල පිරවීමට කටයුතු යොදා ඇත.

මෙවර ඒ සඳහා යොදා ගෙන ඇත්තේ දුරකථන ගාස්තුයි. මේ වන විටත් නොයෙක් ආකාරයේ බදු පනවමින් දුරකථනවලින් හොඳ ආදායමක් රජය උපයමින් සිටී. රජයේ ඇස්තමේන්තු අනුව ස්ථාවර හා ජංගම දුරකථන මිලියන 17 ක් පමණ දැනට නිකුත් කර ඇත. ඒ අනුව බදු මුදල් වලින් කොපමණ මුදලක් උපයනු ඇත්දැයි සිතා ගත හැකිද?

රජය  පරිසර බද්ද, ජාතික ආරක්ෂක බද්ද ආදී වසයෙන් නොයෙක් බදු පනවමින් ජනතාවගේන මුදල් කොල්ල කයි. පරිසර බද්දක් අය කලත් , ජංගම දුරකථන බැටරි නිසා පරිසරයට හානි නොවන පරිද්දෙන් ඒවා ඉවත් කිරීමට නිසි වැඩ පිළිවෙලක් සකස් කර ඇද්ද?
අප තවමත් ඉවත් කරන බැටරිය නිකම් ම කසල ගොඩකට විසි කර දමමු. ඒ වෙනුවෙන් අය කරන පරිසර බද්ද අප ගරු මැති ඇමති තුමන්ලාගේ සුඛ විහරණය උදෙසා යොදවමු. යුද්දය නැතත් ආරක්ෂක බදු අය කරමු.

දැන් දුරකථන ගාස්තු වෙනුවෙන් අද සිට රුපියල් දෙකක අවම ගාස්තුවක් නියම කිරීමට රජය තීරණය කර ඇත. මෙයනම් අප ආසියාවේ ආශ්චර්ය බව බව නැවත වරක් මුළු ලොවටම පෙන්වා දීමකි. TRC ( විදුලි සංදේශ නියාමන කොමිසම) කියන පරිදි ඔවුන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ දුරකථන සමාගම් විසින් තරඟයට ගාස්තු අඩු කිරීම නිසා ඔවුන් පාඩු ලබන තත්වයක් උදා වී ඇති බවත්, එම තත්වයෙන් සමාගම් මුදා ගන්නට මෙම අවම ගාස්තුව නියම කල බවත්ය.

හරිම අපූරුය. මෙවන් වූ සිතුවිලි පහල වන්නේ අප වන් වූ ආශ්චර්යාත්මක ජාතියකට පමණක්මය.

මෙහිදී අපට නැගෙන මූලිකම ප්‍රශ්නය  වනුයේ දුරකථන සමාගම් පාඩු ලබන්නේ නම් ඔවුන් එලෙස ගාස්තු අඩු කරන්නේ කෙසේද ,මක් නිසාද යන්නයි. පසු ගිය කාලයේ උපහාර, බ්ලාස්ටර් ආදී වසයෙන් නොයෙක් ආකාරයේ සහන පැකේජයන් සමාගම් විසින් ජනතාවට ලබා දී තිබිණි. මොබිටෙල් සමාගම උපහාර දෙන විට ඩයලොග් සමාගම බ්ලාස්ටර් ගෙනාවේය. මේවා නිසා සමාගම් පාඩු ලබන්නේ නම් ඔවුන් විසින් එවන් වූ පැකේජයන් ලබා දෙන්නේ කෙසේද?

පාඩු කෙසේ වෙතත් , මෙවන් වූ සහනයන් නිසා ජනතාව විශාල වශයෙන් දුරකථන සම්බන්දතා ලබාගත් අතර සමාගම් වල පිරිවැයද විශාල ලෙස වැඩිවිය.එයට සමපාතව ඔවුන් ලබන ලාබයද වැඩිවේ.

අඩු ගාස්තු නිසා දුරකථන සමාගම් පාඩු ලබන්නේ නම් ( එය අමූලික බොරුවකි) රජයක් වශයෙන් කලයුතු වන්නේ අවම ගාස්තු නියම කිරීමද? නොඑසේනම් එම පාඩු මකා ගැනීම සඳහා සාමාන්‍ය  ජනතාවට බරක් නොවන වෙනත් වැඩ පිළිවෙලවල් සඳහා යොමු වන ලෙස සමාගම් යොමු කරවීමද?

මෙම සමාගම් ස්ථාවර කිරීම සඳහා කලයුතුවන්නේ ඔවුන් සතු සම්පත් යොදවමින් වෙනත් සේවාවන් ඇරඹීමයි. උදාහරණ ලෙස අධිවේග අන්තර් ජාල පහසුකම් දියුණු කිරීම, රූපවාහිනී සේවා ලබා දීම, වැනි වෙනත් ක්ෂේත්‍රවල ආයෝජනයන් කලයුතුයි. ඒ තුලින් ලැබෙන ලාබය දුරකථන ග්‍රාහකයින්  ලබා දීමයි සැබෑවට කල යුත්තේ. ලෝකයේ දියුණු රටවල අභ්‍යන්තර  ගාස්තු ඉතාමත් අඩුය. එසේත් නැත්නම් නොමිලේම වගේ ලබා දෙයි . නමුත් අපි අවම ගාස්තු නියම කරමින් සිටිමු. 

ඔවුන්  ඒ සඳහා යොදවන්නේ මා  ඉහතින් කිවූ පරිදි වෙනත් සේවාවන් අලෙවියෙන් හා ආයෝජනයෙන් ලබා ගන්නා  ලාබයයි . නමුත් මෙයින් කියවෙන්නේ නැහැ දුරකථන ගාස්තු අඩු නිසා ඔවුන් පාඩු ලබන බවක්. ඇත්තටම TRC එක කල යුත්තේ මේ සඳහා සමාගම් දිරි ගැන්වීමත්, ඒ වෙනුවෙන්  අවශ්‍ය  වන තාක්ෂණික හෝ වෙනත් සහයක් ලබා දීමත් මිස ගාස්තු වැඩි කරන ලෙස සමාගම් වලට බල කිරීමද?

විවෘත ආර්ථිකයෙන් ජනතාවට ලැබෙන එකම වාසිය තමා මේ තරඟකාරීත්වය තුල අඩු මිලට සේවා හා භාණ්ඩ ලබා ගැනීමට හැකියාව ඇතිවීම . නමුත් TRC එකේ මේ නව  ක්‍රියා  මාර්ගය නිසා ඒ වාසියත් ජනතාවට අහිමි වෙනවා. ජනතාව විසින් ඇති මහත් බහුතරයකින්( ??? ) පත් කල රජයක කාර්ය  විය යුත්තේ සමාගම් ආරක්ෂා කිරීම පමණක්ද? ජනතාව වෙත පැටවෙන බර ගැන ඔවුන්ට හැඟීමක් නැත්ද?

එසේත් නැතිනම් TRC විසින් තම නිදහසට කියන මේ සියලු කරුණු අමූලික බොරුද?

 ඇත්තෙන්ම මෙම තීන්දුව ගැනීමට හේතු වූ කරුණු මොනවාද?

එයාර්ටෙල් සමාගම ලංකාවට එන විට බොහෝ දෙනෙකුගේ මත වුයේ ඔවුන්ගේ දුරකථන ගාස්තු සමග තරංග කිරීමට මෙරට සමාගම් අසමත් වනු ඇති බවයි. එහෙත් ඔවුන් එනවාත් සමාගම මොබිටෙල් සමාගම ,රජය හා එක්ව උපහාර පැකේජය ලබා දුන් අතර , ලක්ෂ සංඛ්‍යාත  රජයේ සේවකයින් එය ලබා ගති. ඒ සමාගම ඩයලොග් සමාගමද බ්ලාස්ටර් පැකේජය ඉදිරිපත් කරමින් වෙළඳ පොලේ තම කොටස ආරක්ෂා කර ගත්තේය.

අති විශාල ප්‍රාග්ධනයක් යොදවමින් මෙරට පැමිණි එයාර්ටෙල් සමාගම ඇති මහත් දුෂ්කර තත්වයකට පත් විය. ඔවුන්ගේ අරමුණු සහමුලින්ම පරාජය විය. මොබිටෙල් හා ඩයලොග් ලබා දුන් පන්නයේ සහන පැකේජයන් ලබා දීමටද ඔවුන්ට හැකියාවක් නැත. දැන් TRC එක සුදානම් වන්නේ ඔවුන්ට අවශ්‍ය  වෙළඳපොල සඳහා තරඟයක් ලබා දීමයි. උපහාර බඳු පැකේජයන් සමාජ ගතව ඇති විටෙක එය කල නොහැක. අවම ගාස්තු නියම වන්නේ ඒ නිසාය.

නමුත් ප්‍රශ්නය  වනුයේ එයාර්ටෙල් සමාගම ගැන මෙතරම් කැක්කුමක් TRC එකට අති වන්නේ මක් නිසාද යන්නයි.

එයට පිළිතුර ඇත්තේ එයාර්ටෙල් ලංකා සමාගමේ කොටස් හිමි නාම ලේඛනයේය.

එය සොයා ගැනුමට නොහැකි අයට කිව යුත්තේ ” පිළිතුරු ඇත්තේ හමනා සුළඟ තුලමයි . ” යන ගී පදයයි