Posts Tagged ‘බැන් කි මූන්’

 
මීට මඳ කලකට පෙර රජවාසල කවටයෙක් ලෙමන් පෆ් කමින් බෑන් කී මූන් ට එරෙහිව උපවාසයක් කරන විට රටම ඒ දෙස බලා සිටියේය. එම උපවාසයට අවශ්‍ය මඩු කූඩාරම් , වෙනත් කළමනා සැපයුයේ එම කවටයාගේ අමාත්‍යාංශයට අයත් සංස්ථාවලිනි.
 
කැමරා අටවා ගත් මාධ්‍ය කරුවෝ දිවා රෑ දෙකෙහිම නිදි මරමින් එහි කල් ගත කලහ. මැති ඇමතින් ඇතුලු වී.අයි. පී ලා කුස පිරෙන්නට කමින් කරන මේ අරුම පුදුම උපවාසය නැරඹීමට එහි ආ ගියහ.
 
පොලිසීය එම උපවාසයට ආරක්ෂාව දෙමින්  එහි ‍රැඳී සිටියේය.
අවසානයේ රාජ්‍ය නායකයාම පැමිණ තැඹිලි පොවා එම උපවාස නාඩගම අවසන් කලේය.
 
ඒ එක උපවාසයකි.
 
මේ දිනවල කල්පිටියේ තව උපවාසයක් ක්‍රියාත්මක වේ. ඒ බෞද්ධ හිමිවරුන් දෙදෙනෙක් හා මහලු මවකි. ඔවුන් ඉල්ලා සිටින්නේ දරුස්මාන් වාර්තාව ඉරා දැමීමට හෝ බෑන් කී මූන් පලවා හැරීමට නොවේ.
 
ධීවර කර්මාන්තයේ යෙදී සිටිත්දී අත් අඩංගුවට ගෙන අන්දමන් දූපත් වල හිර කර ගෙන සිටින තම ඥාතින් නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස ඔව්හු රජයෙන්  ඉල්ලති.වාර්තා වන ආකාරයට  මේ පුද්ගලයින් දැන් වසරක් පමණ ඉන්දෙය අත් අඩංගුවේ පසු වෙත්. කීමට සිටින සියලු බලධාරින්ට කියා පලක් නොවූ තැන ඔව්හු මෙලෙස උපවාසයකට බැස සිටිති.
 
එම උපවාසය ගැන රටේ  මාධ්‍ය නිහඬය. දේශපාලකයින් හෝ දේශප්‍රේමින් පලාතකවත් නැත.අඩුම තරමෙන් මේ ප්‍රශ්නයට අදාල ධීවර අමාත්‍යාංශයේ නිල්ධාරින්වත් නැත.
 
තම දරුවන් ඉල්ලා හඬන ඒ මවට තැඹිලි වතුර පොවන්නට ජාතියේ ආඩම්බරකාර තාත්තලා එන්නෙත් නැත. ජාතියේ තාත්තලාට තම පුතුන්ගේ රගර් තරඟ නැරඹීමට යෑමට ඇතිවා විය යුතුය.
 
තව ටික දිනකින් උසාවි නියෝගයක්ද ‍රැගෙන එන පොලිසීය මේ උපවාස කරුවන් කුදලාගෙන ගොස් රෝහලකට දමනු ඇත.
 
ඔවුන්ගේ දරුවන් අන්දමන් දූපත් වල තවදුරටත් සිර වී සිටිනු ඇත.
 
ආසියාවේ ආශ්චාර්යේ වැඩ සිද්ද වෙන්නේ එහෙමය.
 
සංගක්කාර ඇතුළු ක්‍රිකට් නඩය ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තානම්   ඒක ඇතුලට බැහැලා මාසයක් දෙක දිය බුන් ගහන්නට බලා ගෙන හිටි ආණ්ඩුවට ක්‍රිකට් කණ්ඩායමේ දේශද්‍රෝහී කම නිසා  එල්ලෙන්නට වැලේ වැල් නැතිව ගියේය. එහෙවු  ආණ්ඩුවට බෑන් කී මූන් හොඳ මහත කඹයක් අඹරා දී තිබේ. එල්ලෙන්නට පමණක් නොව ඕනේ නම් මේ අවුරුදු මාසයෙත් වෙසක් මාසයෙත් ඔන්චිලි පදින්නටද ඒ කඹය  ප්‍රමාණවත්ය.
 
බෑන් කී මූන් ගේ උපදේශක කමිටු වාර්තාවට විරුද්ධව මහා පරිමාන යුද්ධයක් ආරම්භ කිරීමට ආණ්ඩුව සැරසෙන බවක් පෙනෙන්නට  ඇතිය. ලෝක කම්කරු දිනයද ඒ වැඩේට යොදා ගන්නට යන බවකි. කොහොම හරි වැඩේ මාස දෙකක් ඇද ගත්තොත් ගොඩය.  ඒ වෙනකොට අලුතින් කුමක් හෝ දෙයක් ලැබෙනු ඇත. දැන් කල යුතුව ඇත්තේ මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමය. 2009 මැයි මාසයෙන් පසු මෙවැනි ආතල් එකක් ලැබී නැති නිසා වැඩේ හරියට   කර  ගත යුතුව ඇත. පෙනෙන  හැටියට නම් වැඩේ නැගලා යනු ඇත. 
 
ඒ සඳහා මාධ්‍ය හරහා යුද්ධය පටන් ගෙන ඇත. එහෙත් තවම වීදි සටන් ආරම්භ වී නැත. දැන් ඒ සඳහා කාලයයි. තවත් පමා විය යුතු නැත.
 
ආරම්භයක් වශයෙන් මල්වංශ යොදා ගෙන  එජා කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් හෝ දෙකක් කල හැක. එයට හොඳ ගරා යකුමක් ද ඇතුල්  කල යුතුය. බෑන් කී මූන්ගේ හා උපදේශක කමිටුවේ පඹයන් කීප දෙනෙකුඳ ගිනි තබා විනාශ කල යුතුය. මිනිහා කොහොමටත් තියාගෙන ඉන්නේ ඔයාකාරයේ වැඩට නොව.
 
ඉන්පසු ලෙමන් පෆ් පැකට් කීපයක් සොයා දී ඔහු ලවාම  උපවාසයක් කර වීම  මනාය. මේවා සියල්ල රූපවාහිනියෙන් සජීවීව  පෙන්විය යුතුය.  ජනතාවට ගැම්මක් එන්නේ එවිටය. උපවාසය  කරන අතර වටේ සිටින සපෝටර් ලාට කෑම බීම අරක්කු ආදිය සප්ලයි කිරීමට  අමාත්‍යාංශයට අයිති සංස්ථා වලටම පැවරිය හැකිය. අවවාදයක් වශයෙන් දිය යුත්තේ එතුමා බංගලාදේශයට ගොස් ආපසු එන තෙක් උපවාසය පටන් නොගන්න ලෙසය. නැත්නම් වතුර පොවන්නේ කවුද?
 
චම්පික උන්නැහේද අමතක කල යුතු නැත. උන්නැහේටත් ලොකු කාර්ය භාරයක් තිබේ. අඩුම තරමේ පෙළපාලි කීපයක් වත් සංවිධානය කර ගැනීමට.
 
එසේම ඇට්ටි හැලෙන ප්‍රවෘත්ති කඳුළු ගලන , කර්තෘ වාක්‍ය පල කිරීමෙන් , ගාමිණී සුමනසේකර හා කරුණාදාස සූරියාරච්චිටත්  හොඳ සපෝර්ට්  එකක් දිය හැක. මහින්ද අබේසුන්දර ගේ විමසුම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැත. වික්ටර් අයිවන්ටත් සෑහෙන වැඩ කොටසක් බාර දිය හැක. එයා කොහොමටත් වැඩේට බසිනු ඇත.
 
ඒ ලියන දේවල් ගැන  පලිප්පු  දමමින්  ස්වර්ණවාහිනියේ මුල් පිටුවේ කියවීමට බන්දුල පද්ම කුමාර උන්නැහේට හැකිය. ස්වර්ණවාහිනියේ  හා-රේන්ද   ට ද  මල මිනි විකිණීමට අමතරව  බෑන් කී මූන් පට්ට  ගැසීමට විනාඩි  කීපයක් වෙන් කර දිය යුතුය.
 
මේ හා සමාන තව බොහෝ දේවල් ඉදිරියේ සිදු වෙනු ඇත. ඒ අතරේම මෙතරම් ජාතික විපත්තියක් හමුවේ බස් ගාස්තු, කිරිපිටි ආදියේ මිල ගැනද කතා කරන දේශද්‍රෝහීන් ද සිටිනු ඇත. අප ජනයා උන්ගෙන් පරිස්සම් වීම මැනවි.
 
 කෙටියෙන් කිව්වොත් සිද්ද වෙන්නට යන්නේ නැවත උපන් ප්‍රභාකරන් හෙවත් බෑන් කී මූන් හා අපේ මහා දේශප්‍රේමින් අතර සටනකි. එයට එරෙහි වන්නන් යනු දේශද්‍රෝහීන් ය. ඔබ දේශප්‍රේමියෙක්ද දේශද්‍රෝහියෙක්ද යන්න ඔබ දැන් තීරණය කර ගත යුතුය.
 
 
සටහන- 1 විපක්ෂයද නිකම් ඉන්නේ නැති බවකි. සජිත් ප්‍රේමදාස නම් තමාගේ පමා වූ දේශප්‍රේමයේ හිඟ පාඩු               අල්ලන්නට   මෙන්  ආණ්ඩුවටත් කලින් වැඩේට බැස ඇත.
 
සටහන -2 අපේ බ්ලොග් කරුවන්ට ද  පරණ පවු  සෝදා ගැනීමට, හැක් නොවී සිටීමට , විදේශ ගතව සිට පොර ටෝක් දෙමින් සිටි අයට, නැවත හොඳ පොතට නම දා ගැනීමට අවශ්‍ය නම් මෙය කදිම අවස්ථාවකි. එන්න ප්‍රයෝජනයට  ගන්න
 

මාර ආතල්ය. වීරවංශට ත් පෙරමුණේ රාලටත්  තව තව කට්ටියටත් හොඳටම  ආතල්ය. බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉස්සරහ යකඩ වැට වල් පෙරලන කොට ෆුල් ආතල්ය. මේවා බලන් ඉන්න අපිටත්  ඩබල් ආතල්ය.condem එක condom  එකක් වුනා නම් අපිට තව ආතල් ගන්න තිබ්බේය.  

ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලේ එක්ක තරහ වුනාට ඔක්ස්පර්ඩ් ඩික්ෂනරියක් හරි බලලා condemn  කියන එක හරියට ලියා ගෙන ආවානම් අපිට මෙච්චර ආතල් නැතිය.

පෙරමුණේ රාල ත් ඉන්නේ ෆුල් ආතල් එකේය.ජනපති මහින්ද ඩයස්පෝරාවට බියේ තම දේශනය අවලංගු කල බව කියන මාධ්‍ය වාර්තා බොරු  බව ඔක්ස්ෆර්ඩ් සිසු සමුළුව ඉදිරිපත් කල නිවේදනයෙන් ඔප්පු වුන බව ඔහු කියයි.

ඒ නිවේදනයෙන් කියන්නේ දේශනය නැවත්වුයේ ආරක්ෂාව  නිසා බවයි  පෙරමුණේ රාල කියන්නේ.ආරක්ෂාව නිසා නවත්වන්නේ  මොනවා හරි කරදරයක් වේ යයි  බිය නිසා නොවේදැයි අපිට අහන්නට  හිතෙන්නේ නැත. එහෙම අසා ආතල් කඩන්නේ මොකටදැයි අපිට හිතේ.

එක පැත්තකින් ඔක්ස්පර්ඩ් සංගමයේ නිවේදනයකින් හෙළුව වහගන්න පෙරමුණේ රාල ඊළඟට ඔක්ස්පර්ඩ් සිසු සංගමයට , කථනයේ නිදහස ගැන දේශනා පවත්වයි. රාළට අනුව මින් පසු මේ කවුරුන් හෝ අපිට ( මේ අපිට කියාගන්නේ පෙරමුණේ රාල ඇතුළු පිරිස රෙදි නැතුවම කඩේ යන ආණ්ඩුව මිස මෙරට පොදු ජනයා  නෙවේ) කථනයේ නිදහස ගැන කතා කිරීම ගණිකාවක් පතිවත ගැන කතා කිරීම බඳු වේලු.

 පෙරමුණේ රාළට කථනයේ නිදහස මතක් වෙන්නේ දැන්ය. තමන්ගේ ලොක්කා පච වූ පසුය. එංගලන්තයේ කතන නිදහස ගැන ප්‍රශ්න කරන නමින් පෙරමුණේ වුනත් වැඩවලින් පසුමුනේ රාලට  , තමන්ගේ රටේ නිදහස් කථනය ගැන වගක් නැත.

තමන්ගේ රටේ මාධ්‍ය කාරයින් , විපක්ෂ ක්‍රියා කාරිකයන් වල පල්ලට යැවීම  , අතුරු දැන් කිරීම , ඔලු පැලීම  කතන නිදහසට අදාළ නැත. පෝස්ටරයක් අලවන , අත් පත්‍රිකා බෙදන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අල්ල ගෙන ගිහින් කූඩු කරන එක ඒ නිදහසට අයිති නැත. මාධ්‍ය ආයතන වලට ගිනි තැබීම, පහර දීම හා සීල තැබීම මාධ්‍ය නිදහසට අදාළ නොවේ.  

මේ පෙරමුණේ රාල ලාට කථන නිදහස මතක් වී ඇත්තේ දැන්ය. තමන්ගේ ලොක්කා ගේ කතාව නතර කළ පසුය. එක දේශපාලකයෙකුගේ  කතාවක් ඔහුගේ ආරක්ෂාව නිසා කියමින් නතර කිරීම නිසා ඔක්ස්පර්ඩ් සංගමය අසාර්ථක ආයතනයක් , එංගලන්තය  අසාර්ථක  රාජ්‍යක් නම් නම් ඉහත කී කරුණු නිසා ලංකාව අසාර්ථක රජයක් නොවන්නේ මක් නිසාද?

අනික අනුන්ට අසාර්ථක රාජ්‍ය කියලා ඇත දික්  කරන මේ උන්නැහේලාට ඇයි බැරි වුනේ  , තමන්ගේ ගමනට මේ විදියේ විරෝධතාවක්  එයි  කියලා කලින් දැන ගන්න. එතෙන්දීම රාලාලයි , රාලගේ ගුරා වන වීරවංශයි එයාගේ ආණ්ඩුවයි ඔක්කොම ෆේල් නේද?

එහෙම නැත්නම් මේ වගේ විරෝධාතාවක් එන බව දැනගෙනම ගියාවත්ද? කොහොමටත්  මාස තුන හතරකට සැරයක් වත් මෙයාලට  මේ  විදියේ විශාල  රංගනයක් ඕනේ වෙනවා ආණ්ඩුව පවත්වා ගෙන යන්න. අතර මැදින් ඔය ගස් බැඳීම් , වරායවල් , උමග , වගේ  පොඩි පොඩි කොමික් කෑලි දැම්මත් , මේ වගේ මෙගා නාට්‍යයක් නැතුව බැහැනේ දේශප්‍රේමය තියා ගන්න. මීට කලින් බෑන් කී  මූන් අල්ලාගෙන අර විහිලුවංශ මේ විදියෙම නාඩගමක් නැටුවානේ. ලොක්කා හිතුවද දන්නේ නැහැ, මේ සැරේ තමන්ම ප්‍රධාන නළුවට අඳින්න . ගිය සැරේ නළුවා වැඩේ කා ගත්තා නේ.

කරන්ට ගිය කතාව කර ගන්න බැරිව ආපහු හරි ඒමට සිදු වීම පෙරමුණේ රාළලාට අනුව ජයග්‍රහණයකි. එක ඇත්තය. ඒ මේ රට ඇතුලේය. මොනවා උනත් අය වැය ගැන, පඩි වැඩි වීම් ගැන , බඩු මිල ගැන  කතා නොකර ඉන්නවා නම් මාර ජයග්‍රහණයක් නේ නේද? හැබැයි අන්තර්ජාතික  වශයෙන් …………..   හපොයි.. මාර ආතල්..

 

 
ඩෙංගු මර්ධනයට කියුබාවෙන් ගෙන්වනවා යයි කියූ බී ටී අයි   බැක්ටීරියාව   දැන් වසරකට ත් වැඩි කාලයක් සිට තාමත් නැවේය. දේශීයව නිෂ්පාදනය කල  බැක්ටීරියාව  භාවිතයට  එරෙහිව රජයේ ආයතන විසින් ම නොයෙක් ආකාරයේ බාධක පනවමින් සිටී.
 
මේ අතර ඩෙංගු රෝගීන්  වෙනුවෙන් භාවිතා කිරීම සඳහා එන්නතක්   තායිලන්තයෙන්   ගෙන්වන  බව සොඛ්‍ය බලධාරීන් පැවසුවත් එයට ද  බීටී අයි  බැක්ටීරියාවට අයත් වූ ඉරණම ම අත් නොවේ යැයි  කිසිම  සහතිකයක්  නැත.
 
මේ අතර පසු ගිය මාස හයක  කාලය තුල  23,000 කට  වැඩි පිරිසකට රෝගය වැළඳී  ඇති අතර ඉන් 164 දෙනෙක් මරණයට පත්ව ඇත. රජය රූපවාහිනියෙන් හා අනිකුත් මාධ්‍ය භාවිතා  කරමින් ඩෙංගු රෝගයට එරෙහිව වහසි බස් දොඩමින් සිටිති. එහෙත් රෝග මර්ධනයට කිසිම පලදායි දෙයක් නොකරයි. රෝගීන් සිය ගණනක් මිය යති.
 
තත්වය කෙතෙක් බරපතල ද යත් , තම ප්‍රදේශයේ  යමෙකු ඩෙංගු රෝගය වැළඳී මිය ගිය හොත් , පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා , ග්‍රාමසේවක ඇතුළු පිරිස් මළගෙදර  ඉදිරිපිට ගස් බඳින බව එවැනි වැඩවලට පරසිදු ඇමතියෙක්  පැවසුයේ ඊයේ පෙරේදාය. ඒ ඩෙංගු රෝගයට ඔහුගේ මොලයේ පරිමාව අනුව දුන් විසඳුමයි.
 
කරුණු කාරණා සිද්ධ වෙන ආකාරය දෙස හොඳින් බැලූ  විට පෙනී යන්නේ  තමන්ට අහිමි වූ ප්‍රභාකරන් නම් සතුරා වෙනුවට රජය විසින් තෝරා ගෙන ඇති අලුත් සතුරන් අතර ප්‍රමුඛයෙක්  වනුයේ ඩෙංගු රෝගය බවයි. සටන සිදු වන්නේ ඒ අයුරින්මය.
 
රජයට අවශ්‍ය  සදාකාලික  සතුරෙකි. ප්‍රභාකරන් මෙන් මාරක සතුරෙකි. ඩෙංගු රෝගයට ඒ සියලු සුදුසු කම් ඇත.
 
ඩෙංගු සමග සසඳා බලන කල  වීරවංශ තමන්ගේ හා රජයේ සතුරා ලෙස තෝරා ගත්  බැන් කි මූන්   පණුවෙකි.  බැන් කි මූන්  ට එරෙහි සටන ජනතාව අතර විහිළුවක් බවට  පත්  විය. 
 
 මේ අනුව රජයට ඉතිරිව ඇත්තේ ඩෙංගු රෝගය පමණි. ප්‍රභාකරන්  විනාශ කළා මෙන් ඩෙංගු රෝගය පරදවා තමන්ගේ එකම  ගැලවුම් කාරයා අහිමි කර ගැනීමට අවශ්‍ය කාටද ?  අපට නම් නෙවේ.
 
දැන් අපට අවශ්‍ය අලුත් සටන් පාටය. අලුත් වර්ගයේ දේශප්‍රේමයකි. එහි සතුරා ඩෙංගු රෝගයයි.
 
 කෙටියෙන් කිවහොත්  තත්වය  මෙසේය.
 
ඩෙංගු රෝගය අප මවු බිම  ආක්‍රමණය කරමින් සිටිති. එයින් මවු බිම මුදා ගත  යුතුය.  මෙය සමස්ත ජාතියම ඩෙංගු රෝගයට  එරෙහිව සටන් වැදිය යුතු වෙලාවකි. මෙය දේශප්‍රේමී  සටනකි. 
ඩෙංගු රෝගය වැළඳී මිය යන්නවුන් යනු මේ සටනේදී මවු බිම වෙනුවෙන් දිවි පුදන්නවුන්ය. ඔවුන් මළ පසු නැළවෙන්නේ සුන්දර සුරඹුන්ගේ අතේය. ඔවුන්ට ගරු කිරීම් වස් විශාල ස්මාරකයක්ද  ඉදි කල යුතුය.
 
අනිත් අතට ගත් කල ඩෙංගු රෝගය මර්ධනය නොකරන්නේ යැයි රජයට දොස් නගන්නේ දේශද්‍රෝහීන්ය.
මේ තීරණාත්මක අවස්ථාවේ වැඩි පඩි ඉල්ලන්නේ   එන්ජීඕ  කාරයින්ය.
පෙළපාලි යන්නේ  බටහිර ඒජන්තයින්ය.  
සරසවි සිසුන් සම්පූර්ණයෙන්ම   යුදෙව්වන්ය.

ඩෙංගු රෝගය  හා සටන් වැද තම දිවි පුද කලවුන්ට  මේ ද්‍රෝහීන් කරන්නේ අපහාසයකි. ඔවුන් ඩෙංගු රෝගයටම බිලි කල යුතුය.

 
සටහන.  –  ජාතික වීරයෙක් වීමට ඇති පහසුම මග ඩෙංගු රෝගය හදා ගෙන මිය  යාමය.