Archive for February, 2011

මේ දවස් වල ඇට මැස්සාගේ ඔලුව ටිකක් අවුල් වෙලා. මේක කියවලා ඇටමැස්සාගේ ඔලුව කොහොමටත් අවුල් කියලා  පද්දලා, නෝ ෆ්‍රේම් ලා දාන කොමෙන්‍ටු ඇටමැස්සාට මැවිලා පේනවා.ඒත් මොනවා කරන්නද? අවුල් නම් අවුල්ම තමා. 
 
ඇටමැස්සාගේ ඔලුව අවුල් වුනේ පොඩි ගැටලුවක් විසඳා ගන්න ගොහින්. පොඩි කිව්වාට පොඩිත් නැහැ. මේක ඒක ටිකක් විතර දේශප්‍රේමි, අධිරාජ්‍ය විරෝධි සටනට සම්බන්ධ ගැටලුවක්. වන වනා ඉන්නේ නැතිව කෙලින්ම කියනවා නම් මේක මේ දවස් වල අපේ දේශප්‍රේමින්ගේ හිත්  දේශප්‍රේමයෙන් පුරවන ගඩා‍ෆි සහෝදරතුමා පිලිබඳ ප්‍රශ්නයක්.
 
ඒක මෙහෙමයි.
 
අපේ  වීරවංශ උත්තමයා පවත්වගෙන යන සීනිව්ස් වෙබ් අඩවියේ කියන විදියට මේ ගඩා‍ෆි කියන අධිරාජ්‍ය විරෝධි ,විප්ලවවාදි, මහා දේශපාලන පෞරුෂයක් හිමි, අපේ සහෝදර උත්තමයට විරුද්ධව  කැරලි ගහන්න ජනතාව පොලඹවන්නේ බටහිර අධිරාජ්‍ය වාදින්ලු. ගඩා‍ෆිට ගහන්න කියලා ලිබියාවෙ කොල්ලෝ කුරුට්ටන්ට ආර්.පී.ජී වගේ අවි ආයුදත් මේ බටහිරයෝ දෙනවලු.වෙන එකක් තියා ඔය අහවල් වෙබ් එකලියන ,ලියවන උත්තමයන්ගේ අරාබි දැනුමේ හැටියට , පහු ගියදා ගඩා‍ෆි සහෝ කරපු කතාවත් විකෘති කරලාලු බටහිර ජනමාධ්‍ය පල කලේ.
 
බටහිරයෝ කරන පාහර වැඩ ගැන හිත හිතා උන්ට පලු යන්න හිතෙන් බැන බැන තමා පහු ගිය ටිකේම ඇට මැස්සා කාලෙ ගත කලේ.
 
මෙන්න බොලේ මේ අතරේ ගඩා‍ෆි උතුමාණෝ ටෝක් එකක් දෙනවා” ලිබියාවෙ ජනතාව තමන්ට එරෙහිව උසි ගන්වන්නේ ඔසාමා බින් ලාඩන් සහ එයාගේ අල් කයිඩා එක ” කියලා.උන්ගේ අරමුණ ගඩා‍ෆි එලවලා ලිබියාවෙ ඉස්ලාමික ආන්ඩුවක් හදන එකලු. කාලා වරෙන්කෝ.
 
දැන් අපි පිලි ගන්නේ ගඩා‍ෆි කියන එකද? වීරවංශ කියන එකද?
 
වීරවංශ තුමාලා කියන එක හරි නම් ගඩා‍ෆි කියන්නේ බොරු. ගඩා‍ෆි කියන්නේ ඇත්ත නම් වීරවංශලා කියන්නේ බොරු .
 
මේ කැ‍රැල්ල පි‍ටුපස්සේ ඉන්නේ බින් ලාඩන් කියලා ගඩා‍ෆි සහෝ තුමා කියන්නේ ,බටහිරයන්ගේ අනුකම්පාව දිනාගෙන උන් එක්ක යාලු වෙන්නවත්ද කියලාත් හිතෙනවා. ඒත් හෙම්බිරිස්සාවක් හැදුනත් බටහිරට බනින  මේ සිරිලංකාවට ඉන්න  අපේ හොඳම යාලුවා එහෙම කරයිද. බටහිරට දණ ගහයිද? වෙන්න බැහැනේ. අපි ඉතින් යාලුවෝ ‍තෝරා ගන්නේ හොඳට හොයලා බලලානෙ.
 
ගඩා‍ෆි සහෝදරයා කියන එක ඇත්ත නම් අපේ සහෝදරතුමා මේකට බටහිර ඈඳා ගත්තෙ මොකද?ගෙදර ගෑණි වලං ගැට්ට මිනිහාගේ ඔලුවට දැම්මාමත් මිනිහා බටහිරට බනින  නිසා ඒ  පුරුද්දට ඔහේ කියලා දැම්මවත්ද?
 
අනේ මන්දා!
 
කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ? දෙන්නම බොරු කියනවාද? ( දෙන්නාම කියන්නේ ඇත්ත වෙන්න බැහැනේ)
 
ඔන්න ඔය ගැටලුව ගැන හිතන්න ගිහින් තමා ඇටමැස්සාගෙ ඔලුව අවුල් වුනේ.
 
 

නෙත් එෆ් එම් නාලිකාව හා ලංකා පත්තරෙන් තමන්ට විරුද්ධව අරගෙන යන ප්‍රචාරය නිසා කාලි දේව මෑණියන් කෝප වී  උන්ට දඬුවම් කර ඇතැයි කාලි මෑණියන්ගේ ශ්‍රි ලංකාවේ නියෝජිත හා පුත්‍ර ගාමිණි ආනන්ද  ,පිංබර දේවගැතිතුමා දිවයින හා ලංකාදීප පත්තර වල දැන්වීම් පල කරමින් කියාසිටියි..

පසු ගිය දා කීප දෙනෙක් මරණයට පත් කරමින්, තවත් දශ ලක්ෂ ගණනකට උන් හිටි තැන් අහිමි කරමින් මහ විනාශයක් කලේ දේව මෑනියන්ලු. තමන්ගේ පුත්‍රයාට ,පත්තර කාරයින් කීප දෙනෙක් කළ අපහාසය නිසා මේ මෑණියන්ට නහුතෙට නැග ඇත.

පෙනෙන්නට ඇති හැටියට ගාමිණි ආනන්ද මෙන් ඔහුගේ මෑනියෝ කපටි නැත. ඇත්තටම ඇය තරමක් මන්ද බුද්ධික  බවක්ද පෙනේ. නැතිනම් කොලඹ සිටින කීප දෙනෙක් කල වරදකට ත්‍රිකුනාමලේ, අනුරධපුරේ හා පොලොන්නරුවේ සිටින මිනිස්සුන්ට දඬුවම් නොකරනු ඇත.

එසේ නැත්නම් මේ මහා කාලි මෑනියොත් , අපේ සුප්‍රසිද්ධ කැකිල්ලේ පරපුරෙන් පැවත එන කෙනෙක්වත්ද?

ඇය දඬුවම් ලැබිය යුත්තා සොයා ගත්තේ කැකිල්ලේ ක්‍රමයටවත්ද?

සමහරවිට අප වැ‍රැදි විය හැක. ඇය තමන්ට හා පුත්‍රයාට අපහාස කලවුන්ට පමණක් නොව , නෙත් එෆ්.එම් අහන ලංකා පත්තරේ බලන වුන්ටත් දඬුවම් කිරීමට සිතුවාවත්ද?  තව දුරටත් උන්ගේ නෑයින්ටත් , යාලු මිත්‍රයින්ටත් , එතකොට එකට පාසල් ගිය උන්ටත් , කවදා හෝ එක බස් එකක , කෝච්චියක ගිය උන්ටත් , දඬුවම් කිරීමට ඇයට සිතුනාවත්ද? එපමණක් නොව උන්ගේ හතර වරිගේ සෑම සියලු දෙනාටම දඬුවම් කිරීමට ඇය සිතා ගත්තාවත්ද?

මේ අයුරින් බලා ගෙන ගියොත් කාලි මෑණියන්ට අපහාස කිරීමට මුලු ලංකාවම සම්බන්ධ බවත් එසේ නම් මුලු රටම දඬුවම් කිරීම සාධාරණ බවත් අපට පෙනේ.

ඒ වුනත් අපිට සිතා ගත නොහැක්කේ කාලි මෑනියෝ මේ අවු අස්සේම ඕස්ට්‍රේලියාවටත් දඬුවම් කලේ මන්දැයි කියාය.

දිවයින පුවත්පතේ පලවූ ලිපියක් හුදී ජන පහන් සංවේගය උදෙසා මෙසේ පල කරමු.
 

අනන්ත සිතිජයේ සිට හමන මඳ නල සිප නැගෙන බිඳෙන රළ ගොස ඇසෙන නෑසෙන මානයේ පිහිටි කොළඹ කොටුවේ ජනාධිපති නිල මැදුර ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පයේ ආඪ්‍ය ලක්‌ෂණ මතු නොව රාෂ්ට්‍රපතියකුගේ ප්‍රතාපවත් බවද පිළිබිඹු කෙරෙන සංකේතයක්‌ වැන්න. උදාහිරු කිරණ තවමත් සිසිල් බවකින් ගත වෙළෙයි. මැදුරෙහි ප්‍රවේශය අසල අවිගත් සෙබළු සීරුවෙන් සිටියහ.
………………….

මා නතරව සිටියේ නිල මැදුර වෙන් කළ උයනක්‌ අසල වූ මෑතකදී ඉදි කර ඇතැයි සිතෙන දිග ගොඩනැගිල්ලක්‌ සමීපයේය. මට එම ගොඩනැගිල්ල තුළටම කැඳවීමක්‌ ලැබුණි. මා තේරුම් ගත් විලසටම එය ශරීරික අභ්‍යාස සඳහාම ඉදි කරන ලද නවීන ක්‍රීඩාගාරයකි.

“හා එන්න එන්න යන වදන් තරමක්‌ උස්‌ හඬින් ඇසුණි. ඒ ක්‍රීඩාගාරයේ එක්‌ කෙළවරක කිසියම් ව්‍යායාමයක නිරතව සිටි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ හඬය. ඔහුගේ මුව සිනහවකින් සෝබාවත්ව තිබිණි. එහි වූයේ රාජ්‍ය නායකයකුගේ තේජස්‌ විලාසය පමණක්‌ නොව සැබෑ හෘදයාංගම බවකි.

සුදෝ සුදු ජාතික ඇඳුමත් කුරහන් සාටකයත් සමග ජනහද ඇඳි රුව වෙනුවට මා දුටුවේ දම් පැහැති ටී ෂර්ට්‌ එකක්‌ හා සුදු ට්‍රැක්‌ බොටම් එකක්‌ හැඳගත් බාහු බලයෙන්ද යුත් සෘජු කයක්‌ සහිත ක්‍රීඩකයකුගේ විලාසය ගත් ජනාධිපතිවරයාය. ඒ වූ කලී ජනාධිපතිවරයාගේ දෛනික කාල සටහනේ ප්‍රථම අංකය වූ ශාරීරික ව්‍යායාම් කරන වේලාවයි.

මම ක්‍රීඩාගාරයේ ඔබ මොබ ඇවිදිමින් සිටියෙමි. නවීන පන්නයේ විවිධ මාදිලියේ ක්‍රීඩා උපකරණ පෙළක්‌ම එහි විය. එවේලෙහි ජනාධිපතිවරයා සිටියේ එක තැන හිඳ ඇවිද යා හැකි ට්‍රෙඩ්මිල් නමින් හැඳින්වෙන ක්‍රීඩා උපකරණයක අභ්‍යාසයක යෙදෙමින්ය. ජනාධිපතිවරයා දෙපය තබා ඇවිද යද්දී ගමන ක්‍රමයෙන් වේගවත් වෙයි. කාලය මනිමින් අසල රැඳී සිටි සහායක උපදේශකයාගේ සංඥව අනුව වේගය ක්‍රමයෙන් අඩුවී ව්‍යායාමය නතර විය.

මම පරික්‌ෂාවෙන් බලා සිටියෙමි. මුහුණේ කිසිදු විඩා බර ගතියක්‌ නොවීය. නළලත රැඳුණු ඩා බිඳු සුරතින් පිස දමමින් ආ ජනාධිපතිවරයා පුංචි විරාමයක්‌ ගත්තේය.

“කෝ……අර කෝල් එක මට අරං දෙන්න.

ජනාධිපතිවරයා අසල සිටි සහායකයා සැණකින් කිසියම් අංකයක්‌ රැගෙන ජංගම දුරකථනයක්‌ ඔහුට දුන්නේය.

අනුරාධපුරයේ ගමනට එයාටත් එන්න කියන්න.

දුරකථනයෙහි එහා කෙළවර සිටි අයට උපදෙසක්‌ දුන් ජනාධිපතිවරයා යළි මා වෙතට හරුණි.

හැබැයි ඉතින් මං කැමතියි එළියෙ ටිකක්‌ හුළං වැදි වැදි දුවන්න. ඒත් දැන් කලක ඉඳන් මේකට පුරුදු වෙලා.

ජනාධිපතිවරයාගේ කුඩා විවේකය නිම විය. හේ යළිත් වෙනත් ක්‍රීඩා උපකරණයකට මාරු විය. එය මූලික වශයෙන්ම දෙ අත් හා ගෙලත් සිරුරේ උඩ කොටසත් සඳහා වූ ව්‍යායාමයක්‌ බව මට පෙනුණි. මට හැඟී ගියේ එය නම් මනා පුහුණුවකින් තොරව නොකළ හැකි තරමක්‌ දුෂ්කර ව්‍යායාමයක්‌ බවය. ඉන් පසු මඳ විරාමයක්‌ ගත් ජනාධිපතිවරයාගේ දත්වලට බොක්‌සිං ක්‍රීඩාවේදී භාවිත කරන අත්වැසුම් (ග්ලව්ස්‌) දෙකක්‌ එක්‌විය. සිරුරේ සමබරතාව මෙන්ම ජවසම්පන්න බවද විදහා පාමින් දෑතින්ම ඉදිරියේ එල්ලා තිබුණු දිගටි මෙට්‌ටයක්‌ වැනි දෙයකට නොනවත්වා ප්‍රහාර එල්ල කළ ජනාධිපතිවරයා මට සිහිපත් කළේ බොක්‌සිං ක්‍රීඩකයෙකි.

“මේක තමයි මට, ටිකක්‌ හරි දැනෙන්නෙ”

මගේ සිත දසක කීපයකට පෙර තර්ස්‌ටන් විද්‍යාලයීය ක්‍රීඩාගාරය වෙතට දිව ගියේය.

“ඔබතුමා කොලේඡ් එකේදී බොක්‌ෂිං කළාද”

මම ඇසීමි.

“නෑ ප්‍රැක්‌ටිස්‌ කළත් දිගට කරන්න බැරි වුණා මොකද මං රගර් ගැහුවනෙ. ඒ දෙකම එකට කරන්නත් අමාරුයි.”

ජනාධිපතිවරයා සිනාසෙමින් කීවේය.

මේ අතර තවත් ව්‍යායාමයක්‌ සඳහා සූදානම් වන අයුරුද මට පෙනුණි. එවර නම් බිම අතුරන ලද මෙට්‌ටයක දිගාවී සිරුරේ දෑත්, ඇඟිලි හා දෙපාත් මස්‌ පිඬුත් සඳහා වූ ව්‍යායාමයක නිරත විය. සහායකයෝ දෙදෙනාම එහිදී නම් එක්‌ වූහ. තවත් විනාඩි දහයක්‌ පමණ ගත වන්නට ඇත. නැගී සිටි ජනාධිපතිවරයා මෙට්‌ටය මත වාඩි විය. සහායකයෙක්‌ රූපවාහිනිය ක්‍රියාත්මක කරද්දී අනෙකා ජනාධිපතිවරයාට පැන් බඳුනක්‌ පිළිගැන්වීය.

රූපවාහිනි තිරයේ දිස්‌ වූයේ බැරක්‌ ඔබාමාගේ දසුනකි.

බලන්නකො ඊජිප්තුවෙ වෙලා තියෙන ලෙඩේ. දැන් ඔබාමටත් ඕනෑවෙලා තියෙන්නෙ මුබාරක්‌ යවා ගන්න.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර දේශපාලනයේ විවාදාත්මක මාතෘකාවක්‌ මා දෙසට යොමු කළේය.

හැබැයි ඇමෙරිකාවයි බටහිරයි තමයි අද තුන්වැනි ලෝකයටම ලෙඩ දාන්නෙ. අපිටත් මොනවද නොකළේ. යට වෙන්න හොඳ නෑ.

ජනාධිපතිවරයා යළිත් සිය විග්‍රහය ඉදිරිපත් කරමින්ම නැගී සිටියේය. එවර නම් සියලු ව්‍යායාම් අවසන් බව මට පැහැදිලි විය.

ජනාධිපතිවරයා තුවායකින් සිරුරෙහි රැඳුණු දහදිය මාත්තු කරමින්ම ඇවිද ගියේ ක්‍රීඩාගාරයේ මැද කොටසේ වූ සිය විශේෂ අසුනටය. මම ද ඔහු පසු පස ඇදුනෙමි. සහායකයා දුරකථන ඇමතුම් කීපයකම සාරාංශය ඔහු වෙත ඉදිරිපත් කළේය. මම ඒ සංවාදයට බාධා නොකර නිහඬව සිටියෙමි. මට සිහි වූයේ මා මෙතැනට පැමිණ විනාඩි හතළිහක පමණ කාලයක්‌ ගෙවී ඇති බවය. එසේ නම් අඩුම වශයෙන් ජනාධිපතිවරයා පැයකට නොඅඩු කාලයක්‌ උදෑසන ව්‍යායාම්වල නිරත වනු ඇතැයි මම සිතින් කාලය මැන්නෙමි. මගේ මතක වීදිය දිගේ දිස්‌ වූයේ කඳ බඩ මහත තරබාරු විකට රූප පෙළකි.

අපේම කාටුන් ශිල්පීන් විසින් දේශපාලනඥයන් චිත්‍රයට නංවන්නේ කෙබඳු උත්ප්‍රාසයකින්ද? ගෙල, කඳ, උදරය යන සියලු අංග අසමබර වාමන රූප බවට ඔවුන් පත් වන්නේ සිය ශරීර සුවතාව අමතක කිරීම නිසාය. එහෙත් රටේ රාජ්‍ය නායකයා සිය දවස ආරම්භ කිරීමට පෙර සිරුරට දෙන දුෂ්කර ක්‍රියාව ඔහුගේ පෞරුෂත්වයට මෙන්ම නිරෝගී බවටද මනා රුකුලක්‌ වී ඇතැයි මම හඟිමි. ජනාධිපතිවරයා පසු ගිය දිනක තමාත් සමග පයින් ඇවිදීමට කාටදෝ අභියෝගයක්‌ද කළ අයුරු මට මතක්‌ විය. සත්තකින්ම නව යොවුන් තරුණයකු සමග වුවද තවමත් කරට කර සිටිය හැකි ජව සම්පන්න බවක්‌ ඔහු තුළ ඇතැයි මා සඳහන් කරන්නේ කිසිදු ඇස්‌වහක්‌ කටවහක්‌ නොවේවා යන පහන් සිතින්මය.

මගේ කල්පනා ලෝකය යළිත් බිඳී ගියේ ජනාධිපතිවරයා ඉතින් යෑයි කියමින් යළිත් මා දෙසට හැරුණු හෙයිනි. මෙවැනි ක්‍රීඩාගාරයක්‌ කිසිසේත් දේශපාලන සමාජ කතිකාවකට උචිත නොවන බව මට හැඟුනත් මට සිදු වූයේ එබඳු කතාබහකට මුළ පිරීමටය.
…………………
…………………..
 අපි සියලු දෙනාම විහිළු තහළු කරමින් පාතරාසය ගනිමු. මට සමු ගැනීමට කාලය එළැඹ තිබිණි. මම ජනාධිපතිවරයාගෙන් සමුගනිද්දී ඔහු මා පෙන්වා විහිළුවක්‌ද කළේය.

“ඔය ඇවිල්ලා තියෙන්නේ මගෙ සැප සනීප බලාගෙන යන්න”

ජනාධිපතිවරයාගේ ඒ වදන් තුළ සැඟව ඇත්තේ පසුගිය දිනවල ඔහුට එරෙහිව ඇතමුන් විසින් පතුරන ලද කටකතා විය හැකිය. සත්තකින්ම ඒ වර්ගයේ කටකතා පිළිගන්නට තරම් දුබල මනසක්‌ මට නැත. ඒ පිළිබඳ අබැටක හෝ කුකුසක්‌ යමකු තුළ තිබේ නම් එය කෙරම් මුළාවක්‌දැයි මට ඉතා පැහැදිලිය. සත්තකින්ම මෙබඳු කටකතා පතුරුවන්නෝ රෝගීහු නොවෙත්ද? එය මානසික මෙන්ම දේශපාලන රෝගී තත්ත්වයක්‌ බව ඉතා පැහැදිලිය.

ගාමිණි සුමනසේකර

http://www.divaina.com/2011/02/13/politics04.html

 

ටියුනීසියවෙන් පටන් අරගෙන ආරාබි ලෝකය පුරා හමා යන නිදහස් සටන් ‍රැල්ල අරාබියේ විතරක් නෙවේ ,ලෝකයේ අනිත් කලාපවලටත් අරක් ගෙන ඉන්න ප්‍රජාතන්ත්‍ර විරෝධි පාලක ජුන්ටාවන් බයෙන් සසල කරවන්න සමත් වෙලා.

යුගයේ අසහාය දේශප්‍රේමියා වන වීරවංශ පුම්බන්න පවත්වගෙන යන කසි කබල් වෙබ් අඩවියේ පහු ගිය දාක පල කරලා තිබුනු ලිපියක මේ බය දෝරේ ගලලා තිබුනා.

මේ ලිපිය පටන් ගන්නේ උද්ඝෝෂණය වෙනත් මගකට ගමන් ගන්න බව බටහිර මාධ්‍ය වාර්තා කරා කියලා. බටහිරට බනින අතරේ බටහිර මාධ්‍යම උපුටල දක්වන සදාචාරය අයිතිත් එයාල මහ ලොකුවට කතා කරන සිංහල බෞද්ධ සම්ප්‍රදායටද එහෙම නැත්නම් ඉරාන , ලිබියන් වගේ වෙන මොකක් හරි එකකටද කියලාත් ඒ එක්කම කිව්වා නම් හුඟක් වටිනවා.

හැබැයි අපි නම් පහු ගිය දවස් වල බටහිර වේවා, නැගෙනහිර වේවා කිසිම මාධ්‍යයක් ඔයාකාර වාර්තාවක් දැක්කේ නැහැ.

ඊ ලඟට එයාලා කියනවා ,හොස්නි මුබාරක් පහු ගියදාක අති විශාල රූපවාහිනි තිර භාවිතා කරමින් උද්ඝෝෂකයන් අමතලා කරපු  කතාව හරිම සංවේදි එකක්යලු. ( සංවේදි නායකයෝ ඉන්නේ මෙහෙ විතරක් නෙවේ වගේ)

මේ සංවේදි කතාව නිසා ඊජිප්තු ජනතාව අධි සංවේදි වෙලා, ඒ වෙනකොට මිලියන් ගනක හිටපු උද්ඝෝෂකයන්ගේ ගණන මේ වෙන කොට දහස් ගානකට බැහැලාලු. ඒ වගෙම දැන් ඊජිප්තු ජන ජීවිතය යථා තත්වයට පත් වෙමින් තිබෙනවලු. තමන්ගේ ගෙවල් වලට යන්න කියලා ඊජිප්තු හමුදාව උද්ඝෝෂකයන්ගෙන් කරපු ඉල්ලීමක් පිලි අරගෙන එයාලාඅ විශාල වශයෙන් ගෙවල් වලට යන්න පටන් අරගෙනලු.

පේන්න  තියෙන විදියට  මේ වීරවංශලා බලන්නේ අඟහරු ලෝකේ ප්‍රවෘත්ති වෙන්න ඕනේ. අපි පහු ගිය දවස් වල දැක්ක පෘථුවි ලෝකේ ප්‍රවෘත්ති වල හැටියට නම් මේ වනකොටත් කයිරෝ වල විතරක් නෙවේ ඊජිප්තුව පුරාම මිලියන් ගනන් ජනතාව පාරට බැහැලා සටන කරනවා, ඒකාධිපති පාලකයාට විරුද්ධව.

වීරවංශගේ චක්ගෝලයෝ ඊලඟට කියන කතාව තමා මුබාරක්වාදින් දැන් පාරට බැහැලා උද්ඝෝෂකයන්ට විරුද්ධව සටන් කරන බව. මේ මුබාරක්වාදින් කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේ විදියේ පාලකවාදින් ලෝකේ කවදත් ඉන්නවා. ඒ තමා පාලකයින්ගේ මේස පල්ලෙන් වැටෙන ක‍ටු කන සුනඛ රංචු. අද මේ වංශලාගේ රෝල් එකත් ඒකම තමා. මේ වගේ ඇම්බැට්ටයෝ ඒකාධිපතියෝ එක්ක හැමදාම හිටියා. උන්ගේ රාජකාරිය තමා තමන්ගේ හාම්පුතුන්ට විරුද්ධව ජනතාව නැගිටිනකොට බයිසිකල් චේන් වලින්, පොලු මුගුරු වලින් , ඩප්පි වලින් පහර දෙන එක. තව වීරවංශ පන්නයේ පල් හෑලි ඇද බාන එක.

වීරවංශලා හිතන්නේ ලංකාවෙ ඉඳගෙන තමන්ගේ කසි කබල් වෙබ් අඩවි වල සිංහලෙන් ලිව්වම අරාබියේ ජනතා උද්ඝෝෂණ නවතියි කියලා.

අරාබියේ නෙවේ දැන් ලංකාවෙත් වීරවංශලාගෙ පච වලට ‍රැවටෙන මිනිස්සු නැහැ, ඔය රක්ෂා ගන්න, තමන්ගේ බිස්නස් ටික කරගන්න  වටේ කැරකෙන කීප දෙනෙක් හැර. එයාලත් ඉන්නේ වීරවංශගේ දේශප්‍රේමයට ‍රැවටිලා නෙවෙ,  ලබෙන පලමු චාන්ස් එකේම වීරවංශට පොල්ල තියලා පනින්න .

 
 පසු ගියදා එජාප උද්ඝෝෂණයට පහර දී ඇත්තේ බටහිර ආධාර ලබන කොටි ඒජන්තයින් පිරිසක් විසින් බව දේශ හිතෙෂි ජාතික කට්ටිය හොයා ගෙන තිබේ. මේ පිටිපස සිටින්නේ බෑන් කී මූන් හා සෝල්හයිම් බවද හෙළි වී ඇතැයි එහි මහා ලේකම්  වරයා පවසයි.
 
ජනපතිවරයා පසු ගිය 4 දා නිදහස් උළෙලේ කල කතාව සමච්ච්චලයට ලක් කිරීම මොවුන්ගේ අරමුණ බව දේශ හිතෙෂි කට්ටිය තව දුරටත් පැවසිය. එතුමා එදා කතා කරමින් “අපේ ප්‍රශ්න  අපිම  විසඳාගන්න තරම් පරිණත ප්‍රජාතන්ත්‍රවාදී මාවතක අපි ගමන් කර  තිබෙනවා ”  යි  පැවසීය.
 
එසේම එතුමා තව දුරටත් කතා කරමින් “මානව අයිතිවාසිකම් පිලිබඳ අපේ කැපවීම මේ  එයිතිහාසික දායාදයන්ගෙන් අපිට ලැබී ඇති උරුමයක් .නිදහස් මත පල කිරීමේ  පුරවැසියන්ගේ  මාතෘභූමියේ ගෞරවය රැක ගනිමින් එම අයිතිය බුක්ති විඳීම සෑම පුරවැසියෙකුගේම  යුතුකමක්  හා වගකීමක් .සිංහල ,  දෙමල ,   මුස්ලිම්   ආදී සියලුම ජාතීන්ට වගේම සියලු දේශපාලන පක්ෂවලත් එය වගකීමක් බව මම අවධාරණය  කරන්න ඕනේ. ” යි ද පවසා තිබුණි.
 
මේ කතාව ජනපති කල දින ම  සවස එජාපයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පෙනී යන්නේ නිසැක ලෙසම එය කුමන්ත්‍රණයක් බව යයිද දේශ හිතෙෂි මහා ලේනා වැඩි දුරටත් පැවසීය.
  
එසේම මේ ප්‍රහාරය එල්ල වන විට ඒ අසල බකං  නිලා  සිටි පොලිස් නිලධාරින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පගා ගත්ත උන් යැයිද  ඔහු තව දුරත් පැවසීය.
 
ඒ අතර මෙම පෙළපාලි කරුවන් ලඟ කාන්තා යට ඇඳුම් තිබුණු බව තමන් ඇස් දෙකටම දුටු බව  පචමින ප්‍රධාන කතෘ තුමා පවසා තිබුණි. ඒ අනුව ඔවුන් ලඟ නිසැකවම නිල් චිත්‍රපට , කොන්ඩම් හා මත්පැන් බෝතල් ද තිබෙන්නට ඇතැයි ඔහු පවසයි.
 
මේ තත්වය යටතේ බෑන් කී මූන් ට විරුද්ධව ළඟදීම තවත් උපවාසයක් කිරීමට සිදු විය හැකි යැයිද , ඒ සඳහා අවශ්‍ය ලෙමන් පෆ් ආදිය මේ දිනවල එකතු කරමින් සිටින බවද දේශ හිතෙෂි කට්ටිය නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

 

 
බෑන්  කී මූනා  භංග වේවා
 
සෝල්හයිම් භංග වේවා
 
 
 
 
 

 

දිනය එක

පත්තරයේ අලෙවිය අඩු වීම ගැන  පස් පංගුවේ  බැනුම් අසා  සභාපතිවරයාගේ කාමරයෙන් පිට වූ ප්‍රධාන කතුවරයා  බිම බලාගත් වනම  තම කාමරයට ගියේ කෝපයෙන් දැවෙමිනි.ඇයගේ  මේසය අසලදී යම්තම් හිස ඔසවා බැලු ඔහු ඇගේ මුහුණේ වූ මන්දස්මිතය දුටු සැනින් තම කෝපය මොහොතකට අමතක විය.  තම කාමරයට එන මෙන් ඇයට හිසින් සන් කරමින් ඔහු තම කාමරයට රිංගා ගත්තේය.

ඇය කාමරයට ඇතුල් වන විටත් ඔහු තම කාර්යාල මේස ලාච්චුවේ සඟවා තිබු ගල් අරක්කු බෝතලයෙන් වීදුරුවකට වක් කරමින් සිටියේය.

“ඔය මොකද? අද උදේම , මොකද මූණ නිකම් කොරහ වගේ කරගෙන ?”

“අපි පරම්පරා ගානක් ශ්‍රී ලංකා එකට කත් ඇදපු එව්වෝ , මේ ඊයේ පෙරේදා ආපු උන්  දැන් අපිට අරින්න එනවා “

“කවුද අනේ “

“කවුද ඉතින් අර කුමාරයා මිසක්”

“මොකටද ඔයාට ඌ බැන්නේ?”

“සර්කියුලේෂන් අඩුයි ලු . පරයා ඕක උදේට උදේට පත්තරේ තියෙන දේවල් අර වාහිනියෙන් කියවන කොට කාටද පත්තර සල්ලි දීල ගන්න හිතෙන්නේ “

” අනේ ඕවට ඔයා තරහ ගන්න එපා , ඔයා කවුද කියලා ලොක්කා දන්නවනේ” 

ඇය කීවේ ඔහුගේ මුඩු හිස මුදු ලෙස පිරිමදිමිනි. ඇය දෙස ආදරය පිරි බැල්මක් හෙලු ඔහු අශෝක වීදුරුවට කට කපා පුරවා තිබු ගල් අරක්කු වලින්  අඩක්ම එක හුස්මටඅමුවෙන්ම  ගිල දමා ඉතිරි අඩ ඇය වෙතට දිගු කළේය.

” අනේ , මට බෑ මේ උදේම , අනික අමුවෙන්ම  “

“ඔය වතුර ටිකක් දාලා ගන්න ,”

ඇය වීදුරුව ගැනීමට අත දිගු කරනවාත් සමග ඔහු ඇයගේ අතෙන් ඇද තම සිරුරට තුරුල් කරගත්තේය. ඇයද සෙමින් ඔහු උකුල මත  හිඳ ගත්තේ  අතින් ගත් අරක්කු වීදුරුවෙන් බිඳකුදු නොහැලෙන පරිදිය. ඇය වීදුරුවේ තිබු අරක්කු වලින් අඩක් පමණ එක උගුරට ගිල දමා ඇඹුල් කර ගත් මුහුණින් යුතුව ඉතිරිය ඔහු මුවට ලං කලේ පුරුදු කාරියක ලෙසිනි.

” හප්පා , හපන්න මුකුත් තිබ්බා නම් ” ඇය කෙඳිරුවේය.

” වෙන මුකුත් මොකටද , මේ තියෙන්නේ ” කියමින් ඔහු ඇයගේ මුව සිප ගත්තේය.

” අනේ කවුරුත් එයිද”

“ආවත් මොකද, අනික ඔයා මේ කාමරේට ආවම වෙන එකෙක්වත් ආයේ එන්නේ නැහැ ,ඔන්න ඔය ලාච්චුව ඇරලා බඩුවක් ඇති ගන්නකො.”

ඔහුගේ මේස ලාච්චුවට අත දැමු ඇය ඉන් එලියට ගත් සී ඩී තැටි වල පිට කවරවල වූ නග්න කාන්තා රූ දුටු ඇය ” ඊයා , මේ මොනාද, අනේ ඔයාගේ වයසටද මේ පිස්සු කරන්නේ  ” යි කීවාය.

” කවුද ඔයාට ඕවා අදින්න කිව්වේ  මං ගන්න කිව්වේ මෙන්න මේක ” කියමින් ඔහු ලාච්චුවට අත පොවා ඉන් කොන්ඩමයක් එලියට ඇද ගත්තේය.

……………..

දිනය දෙක

” ට්‍රීන් ,ට්‍රීන් “

” හෙලෝ , චිෆ් එඩිටර් හියර් ,….. මොනාව ඇත්තද, ……….. තියලා ,……. ඊයේ රෑද? හරි සර් හරි සර් මමදෙන්නම් නියම ආර්ටිකල් එකක් ,…………. ලියන්නම්කො උන්ම ගිනි තියා ගත්තා කියලා. “

” පිස්සුද ඕයි, ඕක පරණ කතාවක්නේ. වෙන මොකක් හරි ලියනවකෝ නිර්මාන ශීලීව”

” එහෙනම් මම ලියන්නද ඒක ඇතුලේ ආයුධ තිබ්බ කියලා”

“තමුසේ නම් මහා මැට්ටෙක් ඕයි “

” හරි,මට ආවා නියම අයිඩියා එකක් , ” ඔහු තම මේසය දෙස බලමින් කිව්වේය.

එය මත තිබුනේ ගල් අරක්කු බෝතලයක්, අසභ්‍ය වීඩියෝ තැටි කීපයක්, හා කොන්ඩමයක කොපුවකි.වටපිට බැලු ඔහු භාවිතා කර විසි කරන ලද කොන්ඩමය හා ඇයගේ යට ඇඳුම  තම පුටුව අසලම දුටුවේය.

” සර්,……………………….. ! ……………………………….. එහෙම හොඳද ? “

” තමුසේ නම් මරු ඕයි, මම හෙට උදේ පත්තරේ කියවනකොටත් ඕක කියවන්නම්, අයිසේ මේ … මම ඊයේ බැනපු ඒක අමතක කරලා දානවා”

” ඒක සිම්පල් සර් ”

අයිසේ , මේ .. තමුසේ ඔය කතාව දැන් කතුවැකියේ ලියන්න එපා ගොනා වගේ ,හරිද?

“නෑ ,සර්.මම ලියවන්නම් කාට හරි කියලා….හරි සර් තියන්නම්”

“ඩාර්ලින් ,………… කම් හියර්  ෆොර් අ මිනිට් ප්ලීස් …………………………..ඔයා මේ නිව්ස් අයිටම් එක කරන්න සුදා”

 

හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
බයිල කියා පුදදෙමු අපි ස්වෛරි සිරිලක
නිවන් දකිත්වා අපගේ ජන නායක කැළ

-සුනිල් ආරියරත්න-

 

ඊයේ  දිනමිණේ ලංකා ඊ  නිව්ස් ගිනි තැබීම ගැන පළවූ ප්‍රවෘත්තියේ මෙහෙමත් ලියල තිබුනා. ඒක දැක්ක ගමන්  වැඩේ  පැහැදිලි  වුනා. අටුවා ටීකා  ඕනේ නැහැ. දැන් තේරෙනවා ඔක්කොම .

ඊ නිව්ස් කාමරෙන්  සොයා ගනී

පාවිච්චි කළ මත්පැන් බෝතල්, කාන්තා යට ඇඳුම් නිල් චිත්‍රපට කීපයක් හා උපත් පාලන උපකරණ ඇතුළු භාණ්ඩ තොගයක් ගිනි ගැනීමට ලක් වූ ලංකා ඊ නිව්ස් කාර්යාලයේ තිබී සොයාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ස්තුතියි මහින්ද අබේසුන්දර මහත්තයෝ ඇත්ත පහදලා දුන්නාට . මේ වැඩේ කලේ කවුද කියලා අපිට හිතාගන්න බැරිව හිටියේ.

 
අපේ රටේ ජනතාවට පුදුමාකාර  පුරුද්දක්  තිබේ . මොකක් හෝ කුරුම්බැට්ටියක් කොතැනක හෝ  පෙන්වන බව ආරංචි වූ විට , එය තමන්ට අදාලද යන්න පවා නොසලකා , අතේ ඇති තුට්ටු දෙක ව්යදම් කරගෙන , වෑන්, ලොරි, බස් , ට්‍රැක්ටර් කුලියට ගෙන ගොස් , අව්වේ වේලෙමින්,  වැස්සේ  තෙමෙමින්  පැය ගණන් පෝලිම වල ලගිමින් එය බැලීමට යාම මේ පුරුද්දයි.
 
මෙසේ කුමක් හෝ ලබ්බක් බැලීමට ඇත්නම් ඔවුනට කෑම බීම පවා අනවශ්‍යය. බඩු මිල කොතෙක් ඉහල ගියද කම් නැත.
 
අපේ ජනතාවගේ මේ ගති ගුණය හොඳින් අවබෝධ කරගෙන සිටින වත්මන් පාලකයින්ද මසකට වරක්වත් කුමක් හෝ ජිල්මාලයක් එලියට දමති. පසු ගියදා පෙන්වූ , වරාය, උමග මෙන්ම වසරකට වරක් පෙන්වන දැයට කිරුලද එබන්දකි.
 
පසු ගිය කාලය මුළුල්ලේම පෙන්වූ යුද්ධ මැජික්  ජනතාවට අමතක වෙන්නට නොදී තබා ගැනීම මේ ප්‍රදර්ශනයේ තව ප්‍රධාන අරමුණකි. යුද්ධ ටැංකි , හෙලිජ්කොප්ටර්, මල්ටි බැරල් ආදී යුද්ධායුධ රුපියල් මිලියන් ගැන වියදම් කරමින් මේ දිනවල බුත්තල පටවන්නේ ඒ නිසාය.
 
මේවා බුත්තලට පැටවීම පමණක් ප්‍රමාණ වත් නැත. ඒ ගැන මනා ප්‍රචාරයකුත් දිය යුතුය. නැත්නම් ජනතාව එන්නේ නැත. මේ පළාත් පාලන චන්ද කාලයේ ජනතාවගේ අවධානය වැඩි වන බදු මිල දෙසට ගිය හොත් මල කෙලියකි. ඒ නිසා මේ වන විට සියලු ප්‍රධාන මාධ්‍ය මේ වනවිට දැයට කිරුල හා එක වෙමින් තිබේ. මේ අතරින් ස්වර්ණවාහිනිය ප්‍රධානය.
 
තම ස්වාමියාගේ හිත දිනා ගැනුමට ඔහේ දෙපා ලෙව කන සුවච කීකරු බල්ලෙකු සේ ස්වර්ණවාහිනිය යුද අවි වර්ණනා කරයි.
 
ඔවුන් ප්‍රදර්ශන භූමියට ගෙනවුත් ඇති ප්‍රහාරක ගුවන් යාන හා හෙලිකොප්ටර් පෙන්වන්නේ ” කොටින් නැසූ   යානා ” ලෙස  සිරස් තලයක් දමමිනි. භාණ්ඩ ප්‍රවාහන යාන ගැන වනන්නේ මේවාත් පහු ගිය යුද්ධයේදී ලොකු මෙහෙයක් කල බව කියමිනි. කොටින් වැනසූ යානා බලන්නට අකමැති කවුද දේශද්‍රෝහීන් මිසක. 
 
හරිම චූන්ය. සියලු දෙනාටම චූන්ය. මේවා බලන අයටත් පෙන්වන අයටත් , බලන්න එන්නයි අපට අඬ  ගසන  හරින්ද්‍ර ජයලාල් ලාටත් චූන්ය
 
කොටින් නැසූ හෙලිකොප්ටරයක් බලා,  අත ගා , උම්මා  එකකුත්  දී එන්ට ඇත්නම් කොච්චර චූන්ද?  බඩු මිල ඉහල ගියත් මොකද?