Archive for January, 2011

උපුටා ගැනුම ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙනි

 
 ඇටමැස්සා  සාමාන්‍යයෙන්  දිවා ආහාරය වශයෙන් ගන්නේ ඔහුගේ ඔෆිසිය ඉස්සරහ ඇති හෝටලයෙන් මිල දී ගන්න එළවලු කෑම එකකි.රාත්‍රියට නවාතැන  අසල ඇති හෝටලයකිනි. ඒත් වැඩි පුර එළවලු කෑමය.   ඔහු එළවලු කෑම කන්නේ අර සමහරුන් ශෝබනයට කියන  පරිදි කොලෙස්ටරෝල් ගැන සිතා නම් නොවේ. සාක්කුව  ගැන සිතාය.
 
මේ දවස් වල ඔහුට මේ හෝටල් දෙකෙන් ලැබුණු කෑම වට්ටෝරු මෙසේය.තම කාර්යාලයේ සගයන් සමග එකට හිඳ වළඳන ඇට මැස්සා දකින්නේ හෝටලයකින් වුව , ගෙදරින් වුව තම සගයින් ගෙන බත් පතද මීට අඩු වැඩි වශයෙන් සමාන බවයි.
                                                                                   
 
 
සඳුදා                           දවල් –  පරිප්පු, සෝයා, මැල්ලුම්                        
                                  රාත්‍රී-   පරිප්පු, අල, පපඩම්
 
අඟහරුවාදා                දවල් –  පරිප්පු, කැකිරි, පපඩම්  ,මැල්ලුම්
                                 රාත්‍රී-    පරිප්පු, මැල්ලුම්  ,සෝයා
 
බදාදා                        දවල් –    පරිප්පු, සෝයා, මැල්ලුම් , පතෝල,       
                               රාත්‍රී-      පරිප්පු, කැකිරි, සෝයා,
 
බ්‍රහස්පතින්දා          දවල් –   පරිප්පු, අඹ , මැල්ලුම්              
                              රාත්‍රී-  පරිප්පු, අල , සෝයා ,මැල්ලුම්
 
සිකුරාදා                දවල් –   පරිප්පු, සෝයා ,කැරට්,  මැල්ලුම්,    
                              රාත්‍රී-  පරිප්පු, අල, සෝයා ,මැල්ලුම්   ,පපඩම්,
 
උදේට ඉතින් පානුයි පරිප්පුයි කියල    අමුතුවෙන්  කියන්ට ඕනේ නැහැනේ  නේද?
 

කොහොමද  පරිප්පු කෑම ?????????  

 
 
ආසියාවේ ආශ්චර්ය බවට පත් වීමට අපට ඇත්තේ තව හූවකින් දහයෙන් පංගුවක දුර පමණි. එනම් අත ළඟය. අපිව පාලනය කරන පාලකයෝද,  ඔවුන්ගේ හොරනෑ බවට පත්ව සිටින සිළුමිණ, දිනමිණ , අයි ටී එන් , ජාතික රූපවාහිනිය පමණක් නොව තමන් ස්වාධීන යැයි කියාගන්න ස්වර්ණවාහිනිය, දෙරණ , දිවයින වැනි මාධ්‍යද අපිට උදේ සිට රෑ වෙන තෙක්ද , රෑ සිට එලි වෙන තෙක්ද නොනැවතීම  ඒ බව අපිට මතක් කර දෙයි. අධි වේග මාර්ග,  ගුවන් පාලම , මුහුද ගොඩ කර හදන නගර, භූමිය කපා හදන වරාය , ගුවන් තොටුපල , ජාත්‍යන්තර ක්‍රීඩාංගන ගැන ප්‍රවෘත්ති හතර වටින් ඇසෙයි.
 
මේ කියන හැටියට තව මාසද දෙක තුනකින් සිංගප්පුරුවද , අවුරුද්දකින් පමණ චීනයද , ඊළඟ අවුරුදු  කීපය ඇතුලත, ඇමෙරිකාව දක්වා වන සියලු රටවල්ද ආර්ථික සංවර්ධනයෙන් අපිට පැරදෙනු ඇත.
 
මෙසේ රටක් සංවර්ධනය වන විට වාසි ලැබෙන්නේ එහි වැසියන්ටය. , තමාගේම සුඛෝපභෝගී රියෙන්  අධිවේග මාර්ගය දිගේ ඉලක්කම් හයේ  වැටුපක්  ගෙවන රැකියාවට යන හැටි මේ දිනවල ඇට මැස්සා නිතර සිහින දකී. ඒ සිහිනය හරි සුන්දරය. කුණු පොදක් නැති කොළඹ නගරයෙන්  හමන්නේ මල් සුවඳය. ( වරදවා වටහා නොගන්න , ජැස්මින් සුවඳ නොවේ) . පැල්පත් නැත. හරියටම යුරෝපයේ නුවරක් බඳුය. ජීවිතය හරිම පහසුය. කිසිම හැලහැප්පීමක් නැතිව ඔහේ , ලතාවකට ගලා යයි. සියලු දෙනාම සතුටිනි.
 
මෙසේ රටම ආශ්චර්ය කරා සිහිනෙන් ගමන් කරමින් සිටින අතර මේ ආශ්චර්යේ සිහිනය බිඳීමට උත්සාහ කල පිරිසක් ගැන අද ලංකාදීපයේ වාර්තා කර තිබිණි.
 
නාවුල කඹරව කනිටු විදුහලේ  පාසලේ ඉගෙන ගන්න සිසුන් හා උන්ගේ දෙමව්පියන්ය. ඔවුන් කියනපරිදි එම පාසලේ සිසුනට වසර දෙකක් තිස්සේ නිසි උගැන්වීමක් කර නැත. ඒ අවශ්‍ය ගන්නට ගුරුවරුන් නැති නිසාය. මේ සිසුනට උගන්වන්නේ චිත්‍ර විෂය පමණකැයි ඔවුන් පවසා තිබිණි. ප්‍රවෘත්තිය වුයේ  ගුරුවරුන් ඉල්ලා දෙමව්පියන් අධ්‍යාපන කාර්යාලය වැටලීමයි.
 
මේ පාසලේ සිසුන් 90 හා ගුරුවරුන්  7 සිටිති. ඒ අනුව නම් ගුරු සිසු අනුපාතය ඉහටත් උඩින්ය. එහෙත් එම පාසලේ 1 සිට 11 වසර තෙක් පන්ති තිබේ . ගුරුවරුන්  7 දෙනෙක් පන්ති 11  උගන්වන්නේ කෙසේද. සෑම විටම පන්ති 4 ක සිසුන්ට  නිකරුනේ  කාලය ගත කිරීමට සිදු ව තිබේ. සමහර විට එම නිකරුනේ සිටින  සිසුන්ගේ ඝෝෂාව ඉවසා ගත නොහෙන ගුරුවරයෙක් ඔවුනට චිත්‍ර අඳින්නට කියනු ඇත. තමන්ට වැඩියෙන්ම උගන්වන්නේ චිත්‍ර යයි මේ දරුවන්   කියන්නේ ඒ නිසාය.
 
සමහර පාසල් වල දෙමවුපියන්ට තම දරුවා යන පාසලේ  ඇති ප්‍රශ්න බවට පිහිනුම් තටාකයේ ඉඩ කඩ  හෝ පරිගණක වල වේගය අඩු කම , පත් වෙද්දී තවත් සමහරුන්ට මෙසේ තම දරුවන්ට අකුරු කරනට ගුරුන් ඉල්ලා උපවාස කරන්නට සිදුව ඇත. අපේ රට ආසියාවේ ආශ්චර්ය කරන්නේ මෙසේද?
 
නැත්නම් මේ දරුවන් අපේ රටේ ආශ්චර්යට අනවශ්‍ය උන්වත්ද?
 
 
සටහන- ගුරුවරයෙකුගේ ආරම්භක වාර්ෂික වැටුප ලක්ෂ දෙකකටත් අඩුය. පසුගියදා ඇමතිකම්  නොලැබුන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන්ට ලබා දුන් එක ප්‍රාඩෝ රථයක මුදලින් ගුරුන් 60 දෙනෙකුගේ වසරක වැටුප් ගෙවිය හැක.

වසර විසිතුනක් තිස්සේ ටියුනීසියාවේ මහජනතාවගේ ආඩම්බරකාර තාත්තා  වෙලා උන්නු  ජනතාවගේ ආදරණීය නායක,  බෙන් අලි උත්තමයා ඒ රටේ ජනතාව විසින් බලයෙන් පහ කරලා. එතුමාණෝ රටෙත් ඉන්න බැරිව සවුදි අරාබියට පැනලා ගිහින්. එයා බලයේ ඉන්න කාලේ හැම චන්දයක්ම ජය ගත්තේ සියයට 90 තරම් චන්ද ප්‍රතිශතයක් අරගෙන. ඔය සමහරු වගේ සියයට 57 එහෙම නෙවේ.

මහාරාජ ලීලාවෙන් ටියුනීසියාවේ වැජඹෙන කාලේ හිටපු අති ජාත මිත්‍රයෙක් වන ප්‍රංශයේ සාර්කොසි, බෙන් අලි ගේ ගුවන් යානය ප්‍රංශයට ගොඩ බහින්න වත් ඉඩ දීල නැහැ. ඒ කාලේ මහා බල පරාක්‍රමයෙන් රටේ දේපල ගසා කාපු එයා ගේ නෑදෑයො දැන් ඉන්නේ කූඩුවල නැත්නම් අලි වගේම පිට රටවලට පැනලා. ජනතාව හදිසි නීතියෙන් මර්ධනය කරගෙන හිටිය ඒකාධිපතියා  එලවපු ජනතා අරගලය හඳුන්වන්නේ ජැස්මින් විප්ලවය කියලා.

ටියුනීසියාවේ අරගලය අවුලුවපු ගිනි පුපුර වුනේ   රැකියා විරහිත උපාධිදාරී තරුණයෙක්. රැකියාවක් නැති නිසා ඔහු එළවලු වෙළඳාමෙන් ජීවත් වුනේ  . ඔහුගේ එළවලු  කරත්තය අග නුවර ලස්සනට , රටේ සංචාරක ව්‍යාපාරයට බාධාවක් කියලා හිතපු  පාලකයෝ පොලිසිය ලවා ඒක පැහැර ගත්තා . හරියට අපේ රටේ පදික වෙළෙන්දෝ එලවනවා වගේ. මේ තරුණයා ඒ අස්සාධාරණයට එරෙහිව ගිනි තියාගෙන මැරුණා . ඒක හොඳ සටන් ක්‍රමයක් නොවුන බව හැබැයි. ඒ වුනාට ඔහු නිවටයෙක්  වගේ යටත් වුනේ  නැහැ. එකයි වැදගත් අනික ඔහුගේ මරණින් ඇවිස්සුනු ජනතාව ඒකාධිපති පාලනයක් හමාර කළා. ඒක මොන අතට ගමන්  කරයිද කියන ඒක වෙනම කාරණයක්.

දැන් මේ සිද්ධිය නැවත සිදු වෙමින් තියෙනවා යේමනයේ. ඒ රටෙත් වීදිවල උද්ඝෝෂණ පටන් අරගෙන ජනාධිපති අලි අබ්දුල්ලට එරෙහිව.   යේමනයේ ජනතාව මොර දෙනවා පලයන් අලි , ගිහින් එකතු වෙයන් උඹේ යාළුවා අලිට කියලා . ඒ කියන්නේ ටියුනීසියාවේ  අලිට . මේ දවස් වල ඒ රටේ අගනුවර සානාවේ වීදි වල රැව් පිලි රැව්  දෙන්නේ  අලි පලයන් කියන හඬ .

ජනතාව රවට්ටගෙන තමන්ට සදාකාලයට බලයේ ඉන්න පුළුවන් කියලා හිතාගෙන හිටපු පාලකයෝ තමා මේ අලි ලා. එයාලා ජනතාව රවට්ටගෙන , උන් කුස ගින්නේ දුක් විඳිත්දී  ජනතා මුදල් වලින් සැප වින්දා. ඒ මුදල් ස්විස් බැංකු වල ගොඩ ගහ ගත්තා. රටේ ප්‍රධාන ව්‍යාපාර ඔක්කොම නෑදෑයින් ට  බෙදල දුන්නා . ඉඩකඩම් ටික බෙදා ගත්තා.  ඒ අතරේ ජනතාව කුස ගින්නෙන් , විරැකියාවෙන් පීඩා වින්දා

හැබැයි එයාලා ට එක දෙයක් අමතක වුනා . ඒක තමා  අර සුප්‍රසිද්ධ කියමන

” ඔබට ටික දෙනෙක් බොහෝ කල් රවටා ගෙන සිටිය හැක. බොහෝ දෙනෙක් ටික කලක් රවටා ගෙන සිටිය හැක. එහෙත් ඔබට බොහෝ දෙනෙක් බොහෝ කලක් රවටාගෙන සිටිය නොහැක. ”

 

අහිමි කළ පිය සෙනෙහස සොයමින්
ගිනිගත් පුරයේ  සැරිසරා
විඩාබර පා යුග රිදුන  මොහොතක
පෙනී නොපෙනී ගියෙද ඔහු රුව

 
නිදි නැතිව වැලපෙන 
දුරුතු මහ සීතල ‍රැයක
ඔහුගේ උණුසුම දැනුනිද පුතුනි
 සිහිනෙන් ගෑ  සුවඳක් සේ
 
 
 සෙමින් ඇඟිලි තුඩු මතින් පැමිණ
සිඹ නළල සකසා පොරෝනය
වැතිරුණිද ඔහු  නුඹ අසල
දෑස පියවුනු සිහිනයේවත්
 
බොහෝ පෙර වූ සොඳුරු දින මෙන්
අනා කවනට බත් කටක්
නින්ද එන තෙක් කතා කියනට
නැවත එන තෙක් බලා ඉන්නෙද
   
– ඒයි මචං හෙන්නායක  මන් දැක්කා අද උඹේ පබ්ලිකේෂන් එකක්  පත්තරේ තියෙනවා . මන් හිතන්නේ උඹේ පලවෙනි එක නේද . අපිට ඩ්‍රින්ක් එකක් ඕනේ මල්ලි. හරිද?
 
– මොකක් කිව්වා? හෙන්නාගේ පබ්ලිකේෂන් එකක්? විහිලු කරන්න එපා බන් ,ඕකා අර හෙළ උරුමෙට කඩේ යනවා ඇරෙන්න වෙන වැඩක් කරනවද? හෙහ් හෙහ් . අඩු ගානේ උගන්නනවා වත්ද?  
 
– අඩෝ එහෙම කියන්ට එපා හරිද? මන් ඇත්තටම මුගේ නම දැක්ක
 
– ඇත්තට ?
 
– ඔවු හැබැයි මොකක්ද කේස් එකක් ගැන , පබ්ලිකේෂන් එකක් නම් නෙවේ . මොකක්ද කේස් එක හෙනා ?
 
– අර ද්වාරකා කේස් එකද බන්?
 
– මොකද බන් කේස් එක , අපිටත් කියපල්ලකෝ
 
– ආ, මාත් දැක්කා මචං , අර කාට ද කෙල්ලෙකුට එක්සෑම් කරන්න දුන්නේ නැහැ කියලා නේද ?
 
– ඔව් බන් අර ද්වාරකා කියලා කොටි කෙල්ලෙක්. එකී දැන් බූස්සේ හිරේ ඉන්නේ .ඒකි ඉල්ලුවා එක්සෑම් කරන්න. මම දුන්නේ නැහැ ඇටෙන්ඩන්ස්  නැහැ කියලා. ඔය කොටි පැටව් නැති කරලාම  දන්නා ඕනේ .
 
– හෙහ් හෙහ් ඒකි කොහොම ඇටෙන්ඩන්ස් පෙන්නන්නද  හිරේ ඉඳ ගෙන ?
 
– ඉතින් මන් කීවය බන් ඒකිට හිරේ යන්න ?හෙහ් හෙහ්
 
–  ඒකි ඇත්තටම කොටියෙක්ද බන් ?
 
– කවුද දන්නේ ? මට ඒවායින් වැඩක් නැහැ? ඔව්වෝ දෙමල . හැම දෙමලාම හිතෙන් හරි කොටින්ට සපෝර්ට් කළා. ඔව්වන්ට  කෙලවන්න ඕනේ. ඕකි නිදහස් වෙලා ආවත්  මමනම් ඕකිට විභාග කරන්න දෙන්නේ නැහැ , මම හෙඩ් වෙලා ඉන්න කම් .
 
– ඒකි විභාගේ කරයි උඹ ගියාට  පස්සේ, උඹ හැම දාම හෙඩ් වෙලා ඉන්නවයි ?
 
– හෙහ් හෙහ් , හෙඩ් වෙලා ඉන්න ඕනේ කාටද බන් හැමදාම හෙඩ් , ඊළඟට ඩීන්, ඊ ලඟට වීසී ,
 
– ආ උඹේ හීන
 
– හීන නෙවේ බන් ඕකා අර චම්පිකයා පස්සේ ගිහින් කරගනියි වැඩේ , ඔය ඒකට ලකුණු දාගන්න නේ දේශප්‍රේමී වැඩ කරන්නේ
 
– හරි හරි, උඹ ඉතින් දේශප්‍රේමියානේ .අපිට ඕවයින් වැඩක් නැහැ . අපිට ගල් සීය ගානේ අරන් දීපන් , උඹේ නම පත්තරේ වැටුන එක සෙලිබ්‍රේට් කරන්න
 
– හෙහ් හෙහ් , ගල් නියම දේශීය  බඩු නේ . ජාතික චින්තනයටත් ගැලපෙනවා , හෙහ් හෙහ්
 
– හරි හරි , දාගනිල්ල මගේ ගානේ , මම නම් ඉතින් ගල් ගහන්නේ නැහැ,බිව්වාම හෙටත් ගඳ ගහනවා , මටත් ඔය ජින් සීයක් දානවා අයිසේ , හෙහ් හෙහ්
 
 
අපේ රටේ පාලකයින් ඉතා ශූර විජ්ජා කාරයින්ය. ජනතාවගේ සියලු ප්‍රශ්න වලට විසඳුම් තමන් ළඟ ඇතැයි ද , තමන බලයට පත් වුනාම ඒ සියලු ප්‍රශ්න විසඳා රට සුර පුරයක් බවට පත් කරන බවටත් පොරොන්දු දී බලයට එන මොවුන් , බලයට පත් වූ පසු ජනතාව විසඳුම් ඉල්ලන විට නොයෙක් ආකාරයේ විජ්ජා පෙන්වා ඔවුන් මුලා කරති. උපවාස විජ්ජා, ගස් බැඳුම් විජ්ජා , වරාය  විජ්ජා , කොට ගවුම් විජ්ජා ආදිය මෙසේ පසු ගිය කාලයේ අපිට පෙන්වූ විජ්ජාය.
 
වීරවංශ , මර්වින්  ආදීන්  අප රටේ ප්‍රසිද්ධ විජ්ජා කාරයින්ය. මේ විජ්ජා කාරයින් අතරට පැන විජ්ජා පෙන්වීමට අලුතෙන් ම සැට් වී ඇත්තේ මෙතෙක් කල් හීන්  නුලෙන් ඇඹරූ  විජ්ජාවෙන්  නතාව මුලා කරන ලොකු බණ්ඩාර උතුමාණන්ය.
 
එතුමා පෙන්වන්නේ බෞද්ධ විජ්ජාය. පැය අටේ වැඩ නීතිය පවා උල්ලංගනය කරමින් සබරගමුවේ පළාතේ රාජ්‍ය සේවකයින්ට උදේ අටට වැඩට ඇවිත් පන්සිල් ගන්නයි එතුමා නියෝග කලේ ඊයේ පෙරේදාය.
 
දැන් එතුමා තව එකක් නිකුත් කර තිබේ. ඒ පළාතේ සියලු පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහ ගුරුවරු ගුරුවරියන් සෑම පෝයකටම අට සිල් සමාදන් විය  යුතුයි කියලා.
 
එදිනෙදා වෙලා ගැට ගහ ගන්න බැරිව ඉන්න මිනිස්සුන්ට මේ වැඩෙන් දැන් පෝයට දාන මාන ලෑස්ති කරගෙන පන්සල්  ගානේ යා යුතුය. දානයක් දෙන කොට ගෙදර කන විදියට දෙන්ටත් බැරිය.තමන්ට කන්න නැතත් දානය හැකි ඉහලින්ම දීම අපේ රටේ අහිංසක ගැමියන්ගේ  පුරුද්දකි. පොල් ගෙඩිය හැටට අර ගෙන දන් දෙන්ට වීම මේ දුප්පතුන්ට දරා ගත නොහැකි දෙයක් වනු ඇත.
 
 අනිත් කාරණය මේ විජමු උන්නැහේලා බුද්දාගම තේරුම් අරගෙන ඇති විදියයි. පන්සිල් ගැනීම හොඳ වුවත් එය නීති මගින් කල හැකිද ? අට සිල් ගැන්නවීම නීති මගින් කල හැකිද? අනික යම් කිසිවෙක් දිනපතා පන්සිල් ගත යුතුද? පන්සිල් හා අට  සිල් යනු යම් යම් පොරොන්දු කීපයකි. ඒවා ආරක්ෂා කරන්නේ නම් හැමදාම කියවමින් සිටිය යුතු නැත.
 
මම බොරු නොකියමි යි, මම සොරකම් නොකරමියි  හැමදාම කියමින් සිටිය යුත්තේ ඒවා ආරක්ෂා නොකරන මිනිසුන්ය. එනම් බොරු කාරයින්ය, හොරුන්ය.  අපේ රටේ රාජ්‍ය සේවකයින් හා සිසු සිසුවියන් බොරු කාරයින්, බේබද්දන්, සල්ලාලයින් , හොරුන් යයි එතුමා සිතන්නේද? නොඑසේනම් මෙලෙස පන්සිල් හා අටසිල්  පිලිබඳ නීති දමන්නට අවශ්‍ය නැත.
 
මෙතුමා මෙසේ කරන්නේ  නායකයාට මේවා පෙන්වා  තමනුත් වැඩ කරන බවා අඟවා ලකුණු දමා ගැනීමට බව අපේ හැඟීමයි.  එසේම ගම් වල සිටින අහිංසක බෞද්ධන් රවටා චන්දය කඩා ගැනීමත් මීට ඇතුලත්ය. කෙටියෙන් කිව්වොත් තමන්ගේ ප්‍රතිරූපය හදා ගැනීමටය. හැබැයි එතුමාගේ වයසේ හැටියට අපිට හිතෙන්නේ වෙන දෙයකි. ඒ එතුමාගේ පුත්‍රයාට ඉහලට නැගීමට ඉනි මගක් තනා ගැනීමට විය යුතු බවයි. 
 
 හැබැයි ඉතින් අපිට නම් පේන්නේ එතුමාගේ පුත්‍රයාට වුනත් යා  හැකි උපරිම දුර වැඩිම වුනොත් ඇමති කමක් හෝ කතානායක කම වැනි සොච්චම් දුරකට බවයි. ඒත් මදෑ, සොහොන් කොතේ හිටපු  කථානායක   කියලා කොටවා ගන්න පුළුවන්නේ.
 
සටහන- ඇට මැස්සාට  මතක හැටියට ජේ ආර්ගේ කාලෙත් දේශපාලකයෝ මේ වගේ ව්‍යාපෘති කරා තමන්ගේ ප්‍රතිරූපේ හදා ගන්න.  ප්‍රේමදාස  උදාගම කළා, ලලිත් මහපොළ කළා, ගාමිණි මහවැලිය කළා. ඒ වැඩ වලින් එයාලා ගැන කපා ගත්තත් මොකක් හරි වැඩක් රටට වුනා. උදාගමේ ගෙවල් හැදුණා, මහපොලින් ශිෂ්‍යත්ව දුන්නා.   ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු ගත්තත්    මහවැලිය ඉවර කළා. හැබැයි මේ කාලේ ඒ වගේ වැඩ කරන්න පුළුවන් , ගානක් හම්බ වෙන ඔක්කොම ප්‍රොජෙක්ට් කරන්නේ සහෝදර සමාගම. විජමු වගේ සොක්කොන්ට  තියෙන්නේ ඔය පන්සිල් , අටසිල් ,  කොට ගවුම් වගේ ප්‍රොජෙක්ට් විතරයි.