Posts Tagged ‘GMOA’

පසු ගිය සෙනසුරාදා පැවති රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ නිලවරණයෙන් සේනාරත්න/බිමන්ත රාජපක්ෂවාදි කණ්ඩායම පරදා පාදෙනිය කණ්ඩායම ජයග්‍රහණය කොට ඇත. මෙය ඉතා වැදගත් ප්‍රතිපලයකි.

ප්‍රතිපත්ති වශයෙන් ගත් කල පාදෙණිය කණ්ඩායමේ හෝ ඔවුන්ගේ ප්‍රතිවාදින්ගේ කිසිම වෙනසක් නැති තරම්ය. පාදෙනියලාගේ ජය නිසා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අබ මල් රේණුවක යහපතක් නොවනු ඇත. එසේ නම් මෙම ප්‍රථිපලය වැදගත් වන්නේ කෙසේද?

සේනාරත්න කණ්ඩායම මුලු ඡන්ද ව්‍යාපරය පුරාම භාවිතා කලේ පාලක රෙජිමය හා තමන්ගේ ඇති සම්බන්ධයයි. තමන් එම සම්බන්ධය භාවිතා කොට වෛද්‍යවරුන්ට ස්වර්ගයක් මවන්නට ඔවුන් පොරොන්දු විය. එය අසාර්ථක වන විට මැර බලය යෙදුවේ ඔවුන්ගේ ස්වාමීන්ව පූර්ණ වශයෙන් අනුකරණය කරමිනි. තමන්ට විරුද්ධ කිසිවෙකුටවත් ඡන්දය දින කැළණියෙන් මෙහාට ඒමට ඉඩ නොදෙන බවට ඔව්හු තර්ජනය කලහ.ප්‍රතිවාදින් ජනරාල් ෆොන්සේකාගේ අනුගාමිකයින් යැයි ප්‍රචාරය කලහ. අවසානයේ ඒසියල්ල අසාර්ථක බව දැන හොර ඡන්ද මිටි පිටින් දැම්මවීය.

නූගත් දේශපාලකයින්ගේත් උගත් යැයි කියාගත් මෙම වෛද්‍යවරුන්ගේත් කිසිම වෙනසක් තිබුනේ නැත.

නමුත් අවසානයේ මෙම රාජ අනුග්‍රහය , අල්ලස්, තර්ජන හා හොරකම් තිබියදීත් සේනාරත්න කණ්ඩායම අන්ත පරාජයක් ලැබීය.වැදගත් එයයි.

තමන් රාජ්‍ය නායකයාගේ උදේ තේ මේසයේ මිතුරා බවට පාරම් බෑවෙකු පරාජය කිරීමට රජයේ වෛද්‍යවරුන් තීරණය කර තිබීමයි. ඔවුන් ඡන්දය භාවිතා කිරීමෙදී සේනාරත්න කණ්ඩායමේ රාජපක්ෂික භාවය තුට්‍ටුවකට නොසැලකීමයි. එම නිසා මෙය රාජපක්ෂ පාලනය ගණන් නොගෙන , භාවිතා කල ඡන්දයකි.සමහර විට මෙහි චන්දය භාවිතා කල බොහෝ දෙනා එසේ කරන්නට ඇත්තේ තමන්ට ආවේණික වූ හේතු නිසා වන්නට ඉඩ තිබුනත් ඔවුන් බිය නොවී එම හේතුව වෙනුවෙන් හෝ ඡන්දය භාවිතා කිරීම වැදගත්ය.

බහුතරයක් දෙනා රාජපක්ෂ නාමයට වැඳ වැටෙන රටක මෙය ඉතා වැදගත්ය. මෙය අඩුම තරමේ තමන්ට පහර වදින විට වත් මිනිසුන් පාලකයින්ට එරෙහිව නැගී සිටීමට ඉඩ ඇති බව පෙන්වන සලකුණකි. තමන් පාලකයින්ගේ අති ජාත මිත්‍රයින් යැයි ද ඒ නිසා ම අනික් උන් තමන්ට ඡන්දය දිය යුතු යැයිද සිතා සිටි කල්ලියකට එරෙහිව ඡන්දය භාවිතා කිරීමට තරම් කොන්දක් වෛද්‍යවරුන්ට තිබීම ගැන අපි සතු‍ටු වෙමු.

පාදෙණියලා පවා අවසන් විග්‍රහයේදී ,සමහර විට ඊට බොහෝ මෙහා විග්‍රහ වලදී පවා නවතින්නේ පාලකයින්ගේ තුරුල්ලේ වුවත් මේ නිශ්චිත මොහොතේ ඔවුන්ගේ ජයග්‍රහණය වැදගත්ය. ඒ භීතියට හා මෝහනයට පත්ව සිටින මිනිසුන්ට එය යම් තරමක හෝ අස්වැසිල්ලක් වීමට ඉඩ ඇති නිසාය.

එතරම් අවධානයකට ලක් නොවුනත් මෙම සිදු වීමද වර්තමාන දේශපාලන ලෝකයේ සෑහෙන වැදගත් සිදුවීමක් වන්නේ එබැවිනි.


රාජපක්ෂ රෙජිමය තමන්ට තර්ජනයක් විය හැකි සෑම සංවිධානයකටම පහර දී දෙකඩ කර දුර්වල කලේය. ඒවායේ සිටි ධනයට ගිජු දුර්වල කොටස් තමන් වෙත බා ගත්තේය.

එජාපය තුල අර්බුදය තවමත් ඉවර නැත. එහි සිටි ප්‍රධාන පෙලේ නායකයින් රොත්තක්ම අද සිටින්නේ ආණ්ඩුව තුලය. ඉතිරිව සිටින උන්ද එකිනෙකා මරා ගනිති.

ජවිපේ දෙකඩ කොට වීරවංශ ඇතුලු පිරිසක් තමන් වෙත බා ගත් අතර අද ජවිපෙට පහර දීම සඳහා උන් භාවිතා කරයි.

මුස්ලිම් කොන්ග්‍රසය, ද්‍රවිඩ සංධානය ආදි කිසිවකට මේ ඉරණමින් බේරීමට නොහැකි විය.

එවැනි දේශපාලන පක්ෂ පමණක් නොව තමන්ට කරදරයක් විය හැකිය යයි ඔවුන් සිතන ඕනෑම සංවිධානයකට මේ ඉරණම අත් කර දීමට, ඔවුන් කොතරම් සුලු සංවිධානයක් වුවත්, මේ පාලකයින් පසු බට වන්නේ නැත.

අද මේ ඉරණමට අලුතින්ම ගොදුරුව සිටින්නේ මෙ රටේ තිබෙන ප්‍රබලම වෘත්තිය සමීතියක් වන රජයේ වෛද්‍ය නිලධාරි සංගමයයි.

ඉදිරියේ ඇති වීමට නියමිත වෘත්තීය අරගල තුල තමන්ට අභියෝගයක් එල්ල කල හැකි මේ ප්‍රබල සමීතිය කෑලි වලට කඩා දමා දුර්වල කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ නිලවරණය මේ ජුනි මස 25 දිනට යෙදී ඇති අතර ඒ සඳහා තමන්ට පක්ෂපාත කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට හැකියාව ලැබී ඇත. ඒ සේනාරත්න/ බිමන්ත කණ්ඩායමයි. රාජ්‍ය නායකයාගේ අතිජාත මිත්‍රයන් වන මෙම කණ්ඩායමේ නායකයින්ට පැවරී ඇති කාර්යය වනුයේ ර.වෛ.නි.ස රජයට බලපෑම් එල්ල කල නොහැකි දුර්වල කණ්ඩායමක් බවට පත් කිරීමයි.

දැනටමත් වෛද්‍ය වෘත්තිකයන් කණ්ඩායම් දෙක එකිනෙකාට විරුද්ධව මාරන්තික ලෙස සටන් වදින කණ්ඩායම් දෙකකට බිඳ දැමීමට රජයට හැකියාව ලැබී ඇත.

ආණ්ඩු හිතවාදි කණ්ඩායම ර.වෛ.නි.සං හි බලයට පැමිණියහොත් නියත ලෙසම එය ශ්‍රිලංකා නිදහස් සේවක සංගමයේ ශාඛාවක් බවට පත් වීම කිසිවෙකුටත් වැලක්විය නොහැකි වනු ඇත.

මෙම නිලවරණයෙන් පාදෙනිය කණ්ඩායම දිනුවත් , ඔවුන් ඉදිරි කාලයේ වෘත්තිය සටන් වල යෙදෙන විට ඒවාට විරුද්ධව හොරිකඩ කම් කිරීමට සේනාරත්න කණ්ඩායම ආණ්ඩුව සමග සිටියි.

ඒ අනුව මෙම නිලවරණයෙන් කවුරුන් දිනුවත් ආණ්ඩුව දිනුම්ය.

කවුරු දිනුවත් ර.වෛ.නි.සංගමය පරාදය.

මේ අනුව පෙනී යන්නේ ප්‍රබල වෘත්තීය සමීතියක් ලෙස ලෙස ර.වෛ.නි. සං ට හිමිව තිබූ තැන මේ මස 25 වෙනි දායින් පසු ඔවුන් විසින්ම අවසන් කර ගනු ඇති බවයි.

සටහන- මීට ප්‍රථමයෙන්ද මෙම සංගමයේ නිලවරණ සඳහා කණ්ඩාවම් කිහිපයක් ඉදිරිපත් වූවත් මෙවර මෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් ඉදිරිපත් වුවන් නොසිටියේය.

 
ඊයේ සවස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දෙසට  උද්වේගකර ලෙස   ඇදුණු  සරසවි සිසු පෙළපාලිය දෙස ඒ අසල තිබුණු ගොඩනැගිල්ලක ඉහල මාලයේ ජනේලයකින්  බලා සිටියෙමි. තමන්ට සිසුන්  හූ කීම නිසා ඔවුන් සමග වෛර  බැඳ  ගත්    එස්. බී ඇමතිවරයා  සරසවියේ සිටින නිවට පාලකයින් ලවා බොරු චෝදනා කොට අත් අඩංගුවට ගෙන සිර කොට සිටින සිසුන් නිදහස් කරන මෙන් ඉල්ලමින් ඇදුණු මේ  පෙළපාලිය   ගමන් කරනු අයුරු බැලීම සඳහා අප ආයතනයේම සේවය කරන තරුණ කම්කරුවන් කීප දෙනෙක්ද  එක් වී සිටියහ. මෙම කම්කරුවන් අතුරින් කීප දෙනෙක් ඈත දුෂ්කර ගම්වලින් කොළඹට පැමිණිය වුන් වෙන අතර අනෙකුන් කොළඹ හා ඒ අවට ජීවත් වන දුප්පත් තරුණයින්ය.
 
ඔවුන්ගේ පසුබිම කුමක් වුවත් ,ඔවුන් සියලු දෙනාම පෙළපාලිකරුවන් කෙරෙහි දැක්වුයේ එකම ආකල්පයකි. එය සුහද එකක් නම් නෙවේ. මේ කම්කරුවන් පෙළපාලිය නරඹමින් කල කතා බහේ සාරාංශය වුයේ ඉගෙන ගැනීමට යැයි පැමිණ දෙමවුපියන්ගේ මුදල් නාස්ති කරමින් මෙසේ කාලය කා  දමන මොවුන්ගේ  හිස් හා ඇටකටු  පොලීසිය ලවා  කුඩු කරවිය යුතු බවයි.
 
විප්ලයේ ගිනිසිළුව යැයි ලෙනින් විසින් වරෙක හැඳින්වූ සිසුන් ගැන විප්ලවයේ ගාමක බලවේගය වන කම්කරුවන්ගේ ආකල්පය එබඳුය.
 
මිනිසුන් වනචාරිව කුඩා ගෝත්‍ර ලෙස ජීවත් වූ සමයේ වෙනස් ගෝත්‍ර  දෙකක මිනිසුන් එකිනෙකා හමු වූ විට මාරාන්තික යුද්ධ ඇතිවීමත් එකිනෙකා මරා ගැනීමත් සාමන්‍යයය.
 
එලෙසම නූගත්   කම්කරුවන් පිරිසක්  ,මේ ශිෂ්‍යයන් තම ගෝත්‍රයෙන් පිට උන් ලෙස හඳුනා ගෙන සතුරුකම් දැක්වීම  , සිසුන් හා කම්කරුවන් යනු සම්පූර්ණයෙන්ම වෙනස්  පංති දෙකක් බැවින් අපට තේරුම් ගත හැක. එහෙත්   තමන් උගතුන් , බුද්ධිමතුන් ලෙස හඳුන්වා ගන්නා හා අසමාන ,  නොනැමෙන කම්කරු  සටන් කරුවන් ලෙස පෙනී සිටින උදවිය පවා එකම ක්ෂේත්‍රයේ රැකියා කරන තම සගයින්ට එරෙහිව මෙලෙස සතුරු  ආකල්ප දැරීම අප තේරුම් කර ගත යුත්තේ කෙසේද? මේ සඳහා බොහෝ උදාහරණ අප රටේ වෘත්තීය සමිති සටන් තුල දැකිය හැක.
 
 
 
 හෙදි වෘත්තීය සමිති  විසින්  කලක සිට ගෙන ගිය සටනේ ප්‍රථිපලයක්  ලෙස දිනා ගත් හෙද ව්‍යාවස්තාව ක්‍රියාත්මක කිරීම නැවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරි සංගමය උත්සාහ දැරීම  ඒ සඳහා ඔවුන් දෙන හේතු වලින්  කිසිසේත් සාධාරණීකරණය කල හැකිද?
 
ඔවුනට ඇති ප්‍රශ්නය මෙම ව්‍යවස්ථාව නිසා හෙදියන් පරිපාලන කටයුතු වලට පත් වීමත් එවිට හෙදියන් තම පාලනයට නතු නොවීමත් ඔවුනට ඇති ගැටලුවයි. මෙය පුදුම සහගත තත්වයකි. හෙදියන් වෛද්‍යවරුන් යටතේ ඔවුන්ගේ සුවච කීකරු දාසයන් සේ සිටිය යුතුයි මොවුන් සිතන සෙයකි.
 
සංගමයේ නිලතල හොබවන  තාක් කල් රෝගීන් මාරාන්තික අපහසුතාවන්ට පත් කරමින්  මාරාන්තික වැඩ වර්ජන  ඇතිකරමින් , තමන් හා සෞඛ්‍ය ඇමති අතර ඇති සම්බන්ධය නයි මුගටි පන්නයේ එකක් බව පෙන්වන හා  එයින් පසු  ඇමති වරයාගේ සම්බන්ධිකරණ නිලධාරින් වශයෙන්  කටයුතු කරන නිලධාරීන්ගෙන් සමන්විත  රජයේ වෛද්‍ය නිලධාරි සංගමයෙන් මීට වඩා කුමක් බලාපොරොත්තු විය හැකිද? 
 
මේ සිදු වීමේදී වඩාත්ම ඛේදජනක කරුණ වූයේ    එකම රැකියාවේ , එනම් හෙදි වෘත්තියේම විවිධ සමිති පවා කුලල් කා ගන්න ආකාරයයි. ඇති වී තිබෙන තත්වයට එරෙහිව එක හෙදි සමිතියක් වර්ජනයක් කැඳවූ විට කුප්‍රකට හෙද නායක හාමුදුරුවෝ සහ ඔහුගේ ගෝලබාලයින් එය කඩාකප්පල් කිරීමට එළිපිටම වැඩ කළහ.
 
මෙලෙස වෘත්තීය සමිති එකිනෙකාගේ ගෙල මිරිකා ගැනීම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල කැපී පෙනුනත් , අනිකුත් ක්ෂේත්‍ර තුලද මේ තත්වය අඩු වැඩි වශයෙන් පවතී. නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලනම් තත්වය ඉතා පිළිකුල් සහගතය.
 
හෙදියන් අරගල කර අයිතිවාසිකමක් දිනා ගතහොත් වෛද්‍යවරුන් එයට විරුද්ධය. නැතහොත් රසායනාගාර ශිල්පින් , විකිරණ ශිල්පින් වැනි වෙනත් ශ්‍රේණියක උන් විරුද්ධ වේ. වෛද්‍යවරුන් හා හෙදියන්, වෛද්‍ය වරුන් හා ලියාපදිංචි වෛද්‍යවරුන්, හෙදියන් හා අනිකුත් පාර වෛද්‍ය සේවකයින් , හෙදියන් හා පවුල් සෞඛ්‍ය සේවකයින් ආදී වශයෙන් එකිනෙකාට එරෙහිව කුලල් කා ගැනීමේ කෙළවරක් නැත.
 
මොවුන් මේ මරා ගන්නේ ඉතාමත් ප්‍රථමික හා කාලකණ්නි හේතුන් වෙනුවෙනි. වෙන කුලකයකට වැටුප් වැඩි වුවහොත් තම තත්වය පහල යනු ඇතැයිද , තම අධිකාරි බලය නැතිවනු ඇතැයිද තමනට  නැති වරප්‍රසාද අනිකුන්ට හිමි වනු ඇතැයිද ආදී වශයෙන් වූ හේතු වෙනුවෙනි.
 
වෙනකක් තබා මීට වසර කිහිපයකට පෙර පවුල් සෞඛ්‍ය සේවිකාවන් ගේ වැටුප් වැඩි වන විටද වෛද්‍ය වරුන් එයට එරෙහි විය. ඒ  නව වැටුප් ක්‍රමය තුල වසර විස්සකටත්  වඩා සේවයක් ඇති පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ වැටුප ආධුනික වෛද්‍ය වරුන්ගේ වැටුප ඉක්මවන බව කියමිනි. ( මේ ගැන W3Lanka  ද පසු ගියදා පැවසිය)
 
දැන් අලුත්ම ප්‍රශ්නය වී ඇත්තේ සෞඛ්‍ය සේවයේ අවම වැටුප් ලබාගන්න පිරිසගේ හා වෛද්‍ය වරුන්ගේ වැටුප අතර ඇත්තේ 1:4 අනුපාතයක් පමණක් වීමයි. වෛද්‍ය වරුන්ට මෙය මදිය . ඒ නිසා වෛද්‍යවරුන්ගේ වැටුප ලක්ෂ දෙකක් දක්වා වැඩිකර අනිකුන්ගේ වැටුප එලෙසම තැබිය යුතුය. ඒ  වැටුප් පරතරය 1:20 මට්ටමේ  තබා ගැනීමටය . තමන්ගේ වැටුප වැඩි කරන ගමන් අනිකුන්ගේ වැටුප අඩු කිරීමට යෝජනා නොකිරීම ගැන අනිකුත් සෞඛ්‍ය සේවකයින්  මොවුනට ස්තුතිවන්ත විය යුතුය.
 
සෞඛ්‍ය සේවයේ ඇති මේ තත්වය පාලකයින් ඉතා හොඳින් ප්‍රයෝජනයට ගනියි. හෙදියන් හා පවුල් සෞඛ්‍ය සේවිකාවන් කරපටියකට මාරා ගැනීමට සුදානම් වෙමින් සිටින බවට සෞඛ්‍ය ඇමතිවරයා ඔච්චම් කලේ මේ මෑතකදිය.මොවුන් මේ ආකාරයෙන් කුලල් කා ගානවා හැර ක්ෂේත්‍රයේ ඇති ,  කඩා වැටීම්,  දුෂණ හා වංචා  ගැන වචනයකුදු දොඩන්නේ නැත.
 
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතු නොව අනිකුත් තැන් වලද තත්වය එලෙසමය.
 
පසුගියදා තමන්ගේ අසමත් බාවය හා රාජාණ්ඩුවට එරෙහිව යාමට තමන්ගේ ඇති බිය පෙන්වමින් සරසවි ඇදුරන් විසින් අතහැර දැමු වැටුප් සටන තුලද එවැනි තත්වයක් උද්ගත විය.
 
ඇත්ත වශයෙන් ගතහොත් ශ්‍රී ලංකාවේ සරසවි ඇදුරන්ගේ වැටුප් තත්වය ඉතා කණගාටුදායකය. කාර්යක්ෂමතා කඩ ඉම සඳහා ආචාර්ය උපාධියක් වැනි බරපතල සීමාවන් ඇති තත්වයක මෙය ඉතාමත් විශේෂ වේ.
 
නමුත්  වැටුප් සටන අරඹන විටම විශ්ව විද්‍යාල පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ මුත්තෙට්ටුවේ  නැමැත්තෙක් නිවේදනයක් නිකුත්  කරමින් කියා සිටියේ සරසවි ඇදුරන්ට වැටුප් වැඩි කරන්නේ නම් තමන්ටද වැටුප් වැඩි කල යුතු බවය.
 
එය කිසි ප්‍රශ්නයක් නැති අහිංසක ඉල්ලීමක්  බව කිසිවෙකුට පෙනී යා හැකිය. නමුත් ඔවුනට වැටුප් වැඩි කරන්නේ නම් තමන්ටද වැටුප් වැඩි කලයුතු යැයි කීම වෘත්තීය සමීතියක ඉල්ලීමක් වන්නේ කෙසේද. මේ නොකියා කියන්නේ ඔවුන්ට දෙන්නේ නැත්නම් තමන්ටද එපා නොවේද ?
 
බළලා මල්ලෙන් එලියට පනින්නේ මුත්තෙට්ටුවේගෙදරගේ ඊ ළඟ වාක්‍යයෙනි. කෙසේ නමුත් මේ අවස්ථාවේ වැටුප් වැඩි  වීමක්  තමන් බලාපොරොත්තු නොවන බව ඊ ලඟට ඔහු කියයි. මේ කුමක්ද මොහු කියන්නේ. සරසවි ඇදුරන්ගේ වැටුප් වැඩි නොකල යුතු බව නොවේද?
 
මෙවන් වූ අපූරු වෘත්තීය සමිති ඇත්තේ මේ ආශ්චර්යලන්තයේ මිස වෙන කොහිද? ඇත්තටම ගතහොත් අප රටේ පසු ගිය කාලය පුරාවට සිදු වූ දේ දෙස බලන විට මේවා එතරම් ගණන් ගත යුතු දේවල් නොවේ. කණගාටු විය යුතුද නොවේ.
 
කණගාටු විය යුත්තේ වෘත්තීය සමිති වල සිටින රාජ්‍ය සේවකයින් ලංකාවේ කම්කරු පන්තිය ලෙස හඳුනා ගෙන ඔවුන් සමග ලාංකීය විප්ලය කිරීමට දරන උත්සාහය ගැනය.