Archive for May, 2017

18485502_1759943294228139_8677413271019008556_n

අද දින නෙවිල් ප්‍රනාන්දුගේ වෙද කලු කඩයට එරෙහිව පා ගමනක යෙදුනු සරසවි සිසුන්ට , නෙවිල් ප්‍රනාන්දුගේ මුදලට යට වූ ආණ්ඩුවේ පොලීසිය අති අමානුෂික හා තිරිසන් ප්‍රහාරයක් එල්ල කළේය. ඉතාමත් අමානුෂික ලෙස සිසුන්ගේ ශරීර වලටම එල්ල කර කඳුලු ගෑස් උණ්ඩ යැවූ පොලිස් කාරයින් පසුව එලව එලවා සිසුන්ට පහර දුන්නේ උම්මත්තක විලාසයෙනි. ප්‍රහාරයෙන් ගැලවීමට විහාරමහා දේවි උද්‍යානයට පසු බැස්ස සිසුන්ට පවා පහර දුන් පොලිස් ම්ලේච්ඡයින් , ඔවුන් අත් අඩංගුවට ගෙන යද්දී පවා පහර දුන් හැටි දැක්වෙන වීඩියෝ සමාජ ජාලවල දක්නට ඇත.

පොලිසිය කරන්නේ රාජකාරිය යැයි අපිට කියන්නට සැරසෙන මහත්වරුන්ට අප කියන්නේ ඔය ආකාරයේ රාජකාරි කෙරුමට වඩා හිඟා කෑම දාහෙන් සම්පතක් බවයි. ඉහළින් එන අණ පිලිපැදීම එකක් වන අතර මේ ආකාරයේ තිරිසන් පහර දීම් ඉහළ අණ පිළිපැදීම් යැයි කියන්නට හැක්කේ ඒ ආකාරයේම පරපීඩක මානසිකත්වයක් ඇත්තන්ට පමණි.

රාජපක්ෂ කල්ලියේ මැරකම් වලට එරෙහිව පෙනී සිටියා යැයි කියන සරත් විජේසූරිය, වික්ටර් අයිවන්, අජිත් පැරකුම් , ඇතුලු යහපාලන නඩය මෙම පහර දීම සාධාරණීකරණය කිරීමට හෙට ගෙනෙන තර්ක බැලීමට ( ඔව් බැලීමට) අප මග බලාගෙන සිටිමු.

සිසුන්ට එල්ල කළ තිරිසන් ප්‍රහාරය හෙලා දකිමු

z_p11-Universities-02

නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහත්මා විසින් වෛද්‍ය උපාධී විකිණීමට පවත්වාගෙන යනු ලබන සයිටම් හොර කඩය /කලු කඩය වෙනුවෙන් පෙනී සිටින හිටපු වාමාංශිකයන් ඇතුළු සයිටම් වාදින් විසින් කියනු ලබන පරිදි එය අධ්‍යාපනයේ නිදහස මූර්තිමත් කරන සංකේතයකි. මේ කට්ටඩියන් තමන්ගේ පිලිකුල් සහගත තර්කය සාධාරණීකරණය සඳහා ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා යැයි සැලකෙන සී.ඩබ්.ඩබ්. කන්නන්ගරයන්ද යොදා ගැනීමට නින්දිත වූ උත්සාහයක නිරත වේ. මේ ඊනියා මහත්වරුන් කියන පරිදි කන්නන්ගර ගේ අරමුණ වූයේ අධ්‍යාපනයේ නිදහස මිස නිදහස් අධ්‍යාපනය නොවේය. මෙම මතය සයිටම් වාදි නඩය විසින් සමාජ ගත කිරීමට උත්සාහ කරන පට්ට පල් කෙබරයක් මිස අන් කිසිවක් නොවේ. එය කන්නන්ගර නාමයට කරනු ලබන තුච්ඡ නින්දාවකි.

තමන් විසින් වෙනත් ක්ෂේත්‍ර තුල ලබා ගත් කීර්තිය නෙවිල් ප්‍රනාන්දු මුදලාලිගේ රුපියල් වලට උකස් කර කෑ ගසන කුහක නරුමයන්ට එරෙහිව කන්නන්ගරයන් ම පිළිතුරු දෙන්නේ මෙසේය.

“ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා.මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිළ අඩු කළ බවත්, වසා තිබූ පොතක් විදිහට අපිට දිස් වුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය දිළින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත් සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුළුවනි නම්, ඒ ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාව වඩා කොයිතරම් ශ්‍රෙෂ්ඨද ? ” (හැන්සාඩ් 1944/946 පි‍ටුව)

  • (1944 ජුනි 02 දා නිදහස් අධ්‍යපන පනත පිලිබඳ රාජ්‍ය මන්ත්‍රණ සභා විවාදයේදී අධ්‍යාපන ඇමතිවරයා ලෙස සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා කළ කතාව)