Archive for August, 2011

අප විසින් ලියන ලද අපේ චූන් අපිට චූන්  නොහොත් වීරවංශගේ ස්වයංවින්දනය නැමැති ලිපිය කියවා පෙරමුණේ රාල නමැති වර්ගවාදි බ්ලොග්කරුවා ඉමහත් කලබලයකට පත්ව ඇත,

හමුදා කුමණ්ත්‍රන හා වංචා සහගත මැතිවරණ වලින් බලයට අවුත් වසර ගානක් තිස්සේ  මැදපෙරදිග රටවල ජනතාව  තම ඒකාධිපති ග්‍රහණයට හසු කරගෙන , ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් කප්පාදු කරමින්, එම රටවල  ජාතික ධනය තමන්ගේ හා තම පවුලේ සුඛවිහරණයට යොදා ගත් දුෂ්ඨ ඒකාධිපතියන් එලවා දැමීමට ජනතාව නැගී සිටින විට මෙරට සිටින රාළලාගෙත් ඉහමොළ රත් වී ඇති බවට හොඳ සාක්ෂියකි එය.
 
මේ රාලහාමි ඉතිහාසය ගැන නන් දොඩවයි ඔහු කියන ඉතිහාසය  කුරිරු ඒකාධිපතින්ට චරිත සහතික දෙන ඉතිහාසයකි. ලිබියාවේ තෙල් සම්පත ගැන කතා කරන රාල එම තෙල් සම්පත් පාලනය කලේත් ඒවායෙන් ලැබුන ධනය ගියේත් ගාඩා‍ෆි පවුලට පමනක් බව හිතාමතාම වසන් කරයි.සදාම් හුසේන්ලා ඉරාක ජනතාව මර්ධනය කලේ කෙසේදැයි නොකියයි.
 
මේ හා සමාන  සිදු වීමක්  පසුගියදා අප රටෙන්ද වාර්තා විය. එනම් ලංකාවේ තෙල් සම්පත කැණීම සඳහා ඉන්දියාව හා අත්සන් කර ඇති  අමන ගිවිසුමයි. ඒ ගිවිසුමට අනුව තෙල් සම්පතින් ලංකාවට  හිමි වන්නේ  සිඅයයට දහයක (10%) කොටසක් පමණි. අඩු තරමෙන්  නොයෙක් බදු පනවා තවත් පමණ ලබා ගැනීමට තිබු අවස්ථාව මේ ඊනියා දේශප්‍රේමි ආණ්ඩුව අහිමි කරන විට රාලගේ දේශප්‍රේමය , ජාතිවත්සල්‍ය තිබෙන්නට ඇත්තේ අධෝමුඛයේ හිර වී විය යුතුය.
 
ඊලඟ කාරණය වන්නේ මලිත්ට ගැහුවාම චංචලා අඬන්නේ ඇයි ජාතියේ එකකි. වීරවංශගේ වෙබ් අඩවියේ පලවූ ලිපියක් ගැන අප කියන විට කොහෙවත් යන රාල කෙනෙකුට මල පනින්නේ ඇයිදැයි අප සිතුවත් රාලගෙ ලිපියේ අගට යන විට අප සැක සංකා සියල්ල සන්සිඳුනේය. ලෙමන් පෆ් කමින් උපවාස කර  ලෝකයේ හිනාවට තමන් පමණක් නොව  තම රටත් එහි වෙසෙන සියලු දෙනාත් ලක් කල කුප්‍රකට උපවාස කරුවාට කඩේ යන හැටි දැකීමෙනි.

මේ අනුව අපට තේරුම් යන්නෙ මල්වංශගේ වෙබ් අඩවිය කරන්නෙත් නොයෙක් නම් වලින් එහි ලිපි ලියන්නෙත්  පමණක් නොව එම ලිපි වලට නොයෙක් නම් වලින් කොමෙන්‍ටු දමන්නේත් මෙම ඊනියා රාල සහ නඩය බවයි.

 

 

 

බ්ලොග් අඩවි දෙක තුන පවත්වාගෙන යමින් ඒවායේ ලිපි හා කොමෙන්‍ටු තමන්ම දමමින් ස්වයංවින්දනයේ යෙදෙන රාලලා  මහින්දගේ ජනප්‍රියතාව ගැන නන් දොඩවන්නේ තමන් බලයෙන් පහ වීමට මාස කිහිපයකට පෙර පැවත්වූ ජනපතිවරණයෙන් ටියුනීසියාවේ එකාදිපතියා සියයට අනූ ගණනක් ගත් බව හොඳාකාරවම දැනගෙනය.
 
ඒනිසා අපට අවසන් වශයෙන් කීමට ඇත්තේ ඔය වැඩේ කරගෙන යන්න.නමුත්  අවුරුදු දහහතරේ පහලවේ කොල්ලන් කරන වැඩ වැඩුණු මිනිසුන් කරන සැටි දකින විට නම් දැනෙන්නේ අපුලකි. 
අපේ ඇමති මණ්ඩලය ප්‍රසිද්ධිය සඳහා  නානප්‍රකාර දේවල් කරයි. උදාහරණයක් ලෙස වීරමල්වංශ ඇමතිතුමා ලෙමන්පෆ් කකා උපවාස කරයි. සුසිල් තුමා පෙට්‍රල් වලට වතුර දමයි. ජොන්ස්ටන් තුමා බාල සිමෙන්ති ගෙන්වයි. ඇස්බීන් තුමා නම් හතර අතේ ගාගනියි. මේවා දකින ජහමනයා ආ! අර ඇමතිතුමාත් තාමත් ඉන්නවනේ කියා දැනගනී. දැනගෙන ප්‍රීති වෙති.
 
අපේ සෞඛ්‍ය ඇමතිතුමා මේ සඳහා නොයෙක් දේවල් අත්හදා බලා අන්තිමට ‍තෝරාගත්තේ  බනින එකය. මොකක් හෝ හේතුවක් හදා ගෙන කාට හරි  බැන්නේ නැත්නම් එතුමාට නින්ද යන්නේ නැතියයි කාට හරි හිතෙන තරමට එතුමා බනිනවාය.    එතුමා වැඩි පුර බනින්නේ තමන්ගේ කට්ටියටය.ඒ කියන්නේ තමන්ගේ පක්ෂයේ කට්ටියට හා අමාත්‍යාංශයේ කට්ටියටය. 
 
අර දේශප්‍රේමි වංශ ඇමතිතුමා වගේ බටහිරටයි, බෑන් කී  මූන් ටයි ,කොල්ලටයි, බල්ලටයි බනින්නේ නැතිය. ඒක නිසා මේ බැනිල්ලෙත්   හොඳක් තියෙනවාය. ඇත්තටම කියනවානම් හොඳ දෙකක් තියෙනවාය.
 
එකක් නම් අමාත්‍යාංශයේ සිද්ද වෙන වැඩ කිඩ රටේ ජනයා දැන ගැනීමය. අනික එතුමා ගේ වැඩ කිඩ රටේ ජනයා දැන ගැනීමය.
 
එතුමා අමාත්‍යාංශය ගත්ත ගමන් හිටපු ඇමතිතුමාගෙ කාලය ගැන කියමින් බැන ගෙන බැන ගෙන ගියේය. මිනිස්සු නම් ඒකට කිව්වේ ඔය කෑ ගහන්නේ අගමැති පු‍ටුවට පොරකන හින්දාය කියලාය. හැබැයි එහෙම බනින කොට  තමන් මේ බනින්නේ තමන්ගේ පක්ෂයේම කෙනෙකුට කියලා එතුමාට අමතක වුනේය.
 
මේ මෑතකදී එතුමා තමන්ගේම ලොක්කාට ත් බැන්නේය. හැබැයි වහෙන් ඔරෝ භාශාවෙන්ය. මම කොන්ත්‍රාත් කාරයින්ගෙන් තේ කෝප්පයක්වත් බීලා නැතිය. මගේ පවුලෙ කවුරුවත් දේශපාලනේට ගෙනාවේ නැතිය ආදි වශයෙන් බැන්නේ වදින කෙනෙකුට වදින්න වගේ වුනත් ඒ වගේ කතාවලින් වැඩිපුරම වදින්නේ කාටද කියලා රටම නෙවේ ලෝකෙම දන්නවාය.
 
මේ දවස් වල එතුමා සිරිතක් වශයෙන් තමන්ගෙම අමාත්‍යාංශයේ නිලදාරින් දූෂිතය, හොරවැඩ කරනවාය, බාල බෙහෙත් ගේනවාය, ගොඩ නැගිලි කොන්ත්‍රාත් වලින් හොරා කනවාය ආදි වශයෙන් ‍රැස්වීම් වල කියන්නේය, පත්තර වලට ලිපි ලියන්නේය, ඉන්ටවීව් දෙන්නේය. මේ බනින බනින වාරයක් පාසා අපි මේ නිලදාරි හැත්තට ශාප කරමින් මේවා හෙලි කරන ඇමතිතුමාට චියර් කරනවාය.
 
හැබැයි මේ බනින්නේ ඒ නිලධාරින්ගේ ලොකුම ලොක්කා වන ඇමතිතුමා බව අපි අමතක කරමු. තමන්ගේ නිලදාරින් හොරකම් කරන කොට ඒක නවත්තන්නේ නැතිව , වැරදි කරන නිලදාරින්ට දඬුවම් නොකර පත්තරවල පි‍ටු පිරෙව්වාට වැඩක් නැත.
 
ඒකෙන් පේන්නේ ඇමතිතුමාට අමාත්‍යාංශය ඇතුලේ හරියට පාලනයක් කරගන්න බැරි බවය. නිලදාරින් තමන්ට ඕනෑ විදියට වැඩ කරන බවය. කොටින් කිව්වොත් ඇමති තුමා දුර්වලයෙක් බවය.
 
ඒ වගේම පක්ෂයේ අය හොරකම් කරනවානම් , ඥාති සංග්‍රහ කරනවානම් පක්ෂයේ මහ ලේකම් විදියට එතුමා ඒවා හොයා බලා අවශ්‍ය පියවර ගන්ට ඕනේය. එහෙම නැතිව ඒවා ගැන තැන් තැන් වල වහෙන් ඔරෝ කතා කීමෙන් පෙනී යන්නේ පක්ෂයේ ලේකම් වැඩේත් හරියට නොකරන බවය.
 
ඒ අනුව අපේ අවසාන නිගමනය  වන්නේ ඇමතිවරයෙක් විදියටත් දේශපාලකයෙක් විදියටත් එතුමා දුර්වලයෙක් බවත් සම්පූර්ණයෙන්ම  අසමත් බවත් ය.
 
සටහන-  හැබැයි ඒ දුර්වල කම හා අසමත් වීම නිසා එතුමා තමන් අගමැති කමට නම් ගැලපෙන බව ඔප්පු කර ඇත. මක් නිසාද යත් විජේතුංග තුමාගෙන් පසු දිගටම අගමැති කමේ හිටියේ ඒ කැටගරියේ අය නිසාය.
 

චීනය ,රුසියාව, වෙනිසියුලාව වැනි රටවල් අප රටේ අතිජාත මිත්‍රයන් යැයිද , එම රටවල් ඕනෑම කරදරයකදී අප වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිතැයිද විශ්වාස කරන පිරිසක්  අප රටේ සිටිති. එම පිරිස අතර රටේ පාලකයින්ද සිටින බවක් පෙනේ.

ඇමෙරිකාව සහ අනිකුත් බටහිර රටවල්ද එජා සංවිධානය වැනි අන්තර් ජාතික සංවිධානද මානව හිමිකම් ගැන අපට චෝදනා කරද්දි ඒ ගැන වගේ වගක් නැතිව අප සිටින්නේ අප මිත්‍රයින් එම චෝදනාවලින් අපව නිදහස් කර ගනු ඇතැයි යන විශ්වාසයෙනි. විශේෂයෙන්ම චීනය හා රුසියාව ආරක්ෂක මණ්ඩලේදී අපව ‍රැක ගනු ඇතැයි අප දේශපාලකයින් බලාපොරොත්තු වෙත්.

එහෙත් එය තමන් දු‍ටු සොඳුරු සිහිනයක් පමණක් බවත් යථාර්තය එතරම් සොඳුරු නැති බවත් ලිබියාවේ ගඩා‍ෆිට සිදු වූ දෙයින් වත් අවබෝධ කර ගත යුතුය. ලිබියාවේ ගඩා‍ෆි හා මෙම දෙරට අතර සම්බන්ධය අප හා චීනය හෝ රුසියාව අතර මෙන් අද ඊයේ ඇති වූවක් නොවේ.  එසේම එම දෙරට ලිබියාවේ කර ඇති ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන ගණනකි. ඒවා ආයෝජන මිස අපට මෙන් ගිනි පොලියට දුන් ණයද නොවේ. එසේම එම රටවල් ලිබියාව සමග තෙල් සඳහාද ගිවිසුම් තිබිණි.

මේ සියල්ල තිබියදීත් ඔව්හු තීරාණාත්මක මොහොතේදී ගඩා‍ෆිව අත හැරියහ.
 
ගඩා‍ෆිගේ ප්‍රශ්නය මුලින්ම ආරක්ෂක කවුන්සිලයට ආ මොහොතේදී ඔව්හු ගඩා‍ෆි වෙනුවෙන් පෙනී සිටියේ නැත. ඒ වෙනුවට කලේ චන්දය දීමෙන් වැලකී සිටීමේ ප‍තෝල ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. ඉන්පසු දිගින් දිගටම ගඩා‍ෆිට පහර වදිත්දීත් ඔවුහු ගඩා‍ෆි වෙනුවෙන් ඇඟිල්ලක් වත් නො එසවූහ.  අවසානයේ ඌරු මීයෙකු මෙන් කාණුවක් දිගේ පලා යාමට ගඩා‍ෆි සහ පුත්‍ර සමාගමට සිදු විය.
 
දැන් චීනය ලිබියාවේ කැරලිකාර රජය අමතමින් තමන්ගේ ආයෝජන ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලීමක් ද කලේ මේ කැරලිකරුවන් බලයට ආවේ ලිබියාවේ තම අතිජාත මිත්‍රයා පලවා හරිමින් බවද නොතකමිනි. එපමණක්  නොවේ, තමන් ගඩා‍ෆි රජය හා ඇති කරගෙන තිබූ තෙල් ගිවිසුම්ද එලෙසම පවත්වා ගෙන යෑමට ඇති කැමත්ත චීනය පෙන්වා තිබුණි.
 
ජාත්‍යන්තර දේශපාලනයේ හැටි එබඳුය. එහිදීද සදාකාලික සතුරන් මිතුරන් නොමැතිය. සියල්ල තීරණය වන්නේ ආර්ථික කාරණා මතය.
මෙවන් තීරණාත්මක අවස්ථාවක චීනයේ සහය ශ්‍රි ලංකාවේ රාජපක්ෂ පාලනයට ලබා දීම වෙනුවෙන් ඔවුන් චීන භාණ්ඩ සඳහා ඇමෙරිකාවේ  ඇති අති දෑවන්ත වෙලඳ පොල අත හරින්නේ නැත.
 
ගාලු මුවදොර පිටියෙන් තමන්ට ලබා දුන් අක්කර කිහිපය එතරම් වටින්නේ නැති බව ඔව්හු දනිති. එසේම යම්  හෙයකින් රාජපක්ෂලා වෙනුවට වෙන පාලකයෙක් ආවත් ගාලුමුවදොර ඉඩම තමන්ට අහිමි නොකරන බවත් ඔව්හු දනිති.
 

අතිගරු ජනපති උතුමාණන් විසින් හදිසි නීතිය ඉවත් කොට ඇතැයි වාර්තා වේ .

මර්ධන නීති වලින් තම රට වැසියන් සදාකාලයටම යටත් කර ගෙන සිටිය නොහැකි බව   එලෙස බලයේ සිටිය හැකි යයි සිතා ඉතිහාසයේ කුණු කූඩයට තල්ලු වූ ලිබියාවේ ගඩා‍ෆි, ඊජිප්තුවේ මුබාරක් ඇතුලු තම සහෝදරයින්ගේ  ඉරණම  දැක මේ තීරණය ගත්තා දැයි අපි නොදනිමු.

මොන හේතුවක් නිසා ගත්තත්   මෙය නම් හොඳ වැඩකි. මක් නිසාද යත් හදිසි නීතිය නැති ජීවිතය කෙබඳු දැයි නොදන්නා බොහෝ දෙනෙකුන් මෙරට ජීවත් වන බැවිනි. ඇට මැස්සාද ඇතුලත් ඒ පිරිස් සාමාන්‍ය නීතිය යටතේ ජීවත් වීම කෙබඳු දැයි දැන ගැනීමට ඉතා ආශාවෙන් සිටිති.

නමුත් මේ හදිසි නීතිය ඉවත් කරන්නේ එහි අඩංගු වගන්ති සාමාන්‍ය නීතියට ඇතුලත් කිරීමෙන් පසු නම් මේ ඉවත් කිරීමෙන් පලක් නැත.
 
එසේම හදිසි නීතියටත් වඩා භයානක ත්‍රස්තවාදය වැලක්වීමේ පනත බඳු මර්ධන නීති  තවමත් ක්‍රියාත්මක වන බවද මෙහිදී සැලකිය යුතුය.හදිසි නීතිය සේම මේ නීතිද ඉක්මනින්  ඉවත් කල යුතුය. රටේ මිනිසුන්ට නිදහසේ හුස්ම ගැනීම ගැන සිතීමටවත්  ඉඩක් ලැබෙන්නේ  එවිටය.
 
 
දැන් කාලේ සති අන්ත පුවත් පත් හැම එකකම වගේ තියෙන විශේෂාංගයක් තමා දේශපාලන ඕපදූප තීරය. එක එක දේශපාලන පක්ෂවල අභ්‍යන්තර තොරතුරු බොහෝම රහසිගත මාර්ග වලින් ලැබෙන බව පෙන්වමින් ලියන මේ ඕපදූප සැම විටම ලියලා දෙන්නේ අදාල පක්ෂයෙන් ඒ කටයුත්ත පවරලා තියෙන කෙනෙක්. ඒ ඒ පක්ෂවලින් අනුමත කරපු තොරතුරු විතරයි මේ විදිහට එලියට දෙන්නේ.

ඉරිදා ලක්බිම පත්තරේ පල වෙන මේ ජාතියේ ඕපදූප තීරුවේ නම  “කතා මැද කතා”
 
පහුගිය සතියේ ලක්බිම පත්තරේ තිබුණු එක  කතා මැද කතාවක් මේ තියෙන්නේ.  ඒකෙන් විස්තර කරන්නේ කලින් සතියේ කැබිනට් මීටිමේදී සිද්ද වුණු දේවල් කියලා තමා කියන්නේ.
 
අනතුරුව ජනපතිවරයා උදයන් පුවත්පතේ කර්තෘවරයෙකුට පසුගියදා පහරදීමේ සිද්ධිය පිලිබඳව අදහස් දැක්වුවේය.
 
” මේ වැඩේ කෙරුවේ ඩග්ලස් කියලයි හැමෝම කිව්වේ . දැන් ඔප්පු වෙලා තියෙනවා ඩග්ලස් නෙමේ මේක කෙරුවේ මානව හිමිකම් කතා කරන නීතිඥයෙක් කියලා. එයා මේක කරල තියෙන්නෙත් ඩග්ල්ස් හම්බ වෙන්න එයා ආවා කියලා පත්තරේ දාපු නිසයි.”
 
ජනපතිවරයා මෙසේ කියූ විට ඩග්ලස්ද අදහස් දැක්වූවේය..
 ටීඑන් ඒ එකේ මානව හිමිකම් ගැන කතා කරන කෙනාම කරලා අපේ පිට පටවන්න හැදුවා”
 
එවිට ජනපතිවරයා සභාව හිනස්සමින් මෙසේ කීවේය.
 
‘ මේක ඩග්ලස් කළේ නැහැ කියලා ජනතාව දැන් දන්නව. හැබැයි ඩග්ලස් ඒ වගේ වැඩ නොකරන්නෙත් නැහැ කියලා ජනතාව දන්නවා”
 
මේ කැබිනට් මීටිමේ ඉන්න මහත්තුරු  හිනාවෙනවලු. මොකටද?
 
ඩග්ලස් ඒ  වගේ වැඩ නොකරන්නේ නැති නිසා. වෙනත් වචන වලින් කිව්වොත් “ ඩග්ලස් ඒ වගේ වැඩ කරන නිසා”
 
දැන් මේ මහත්තුරුන්ට හිනා ගිය ඩග්ලස් කරන වැඩේ මොකක්ද?
 
උදයන් පත්‍රයේ කර්තෘට පහර දීම වගේ වැඩ. උදයන් ප්‍රවෘත්ති කර්තෘ කුගනාදන් යකඩ පොලු පාරවල් කාලා යම්තම් මරණයෙන් බේරුණා .
 
 ඩග්ලස් , පත්තර කාරයින්ට ,මිනිස්සුන්ට ඒ වගේ පහර දෙන එක ඒ ගරු කටයුතු සභාවට  හිනහවට කාරණයක්. මේ ඩග්ලස් කියන්නේ ඩග්ලස් දේවානන්ද ගරු ඇමති තුමා. ලක්බිම පත්තරේ අපිට කියන විදියට එහෙව් ඩග්ලස්  ඔලු ක‍ටු කුඩු කරන එක ගරු කටයුතු එතුමාලාට හිනහවට කාරණයක්. එතුමන්ලා හිනහ වෙන්නේ ඒ වගේ දේවලට. එතුමන්ලා විනොද වෙන්නේ ඒ වගේ දේවලින්.
 
ඩග්ලස් ඒ වගේ වැඩ කරනවා කියලා දැන ගත්තම රටේ නායකයා කරන්නේ හිනහවෙලා නිකම් ඉන්න එක.
රටේ පත්තරකාරයොත් හිනහ වෙවී ඒවා ලියනවා.
 
මේ රටේ ජහමනයා වන අපිත් හිනහවෙවී ” ෂා මාරයි, ඩග්ලස් ඔයානම් මාරයි ” කියලා හිනහ වෙවී ඒ ලියන ඒවා කියවනවා..

ඒ පොලු පාරවල් අපේ ඔලුවලට එනකම්ම අපිත් හිනහවෙමු.

තම වසර 41 ක ඒකාධිපති පාලනයේ අවසන්  පැය කීපය ගත කරන ගඩා‍ෆි ‍රැක ගැනීම සඳහා ,වීරවංශතුමානන් විසින් පවත්වා ගෙන යනු ලබන වෙබ් අඩවිය විසින් ඊයේ (21 දා)  මාරන්තික උත්සාහයක්  දැරුවේය. මේ දිනවල ඒකාධිපතියන් මුහුණ දෙන බිහිසුණු ඉරණම ගැන මහත්සේ කලබලයට පත්ව සිටින එතුමානෝ මේ 21 වැනි ශත වර්ෂය බව අමතක අර ඇති සෙයකි. එතුමාණන් සිතන්නේ ලංකාවේ ජනයාට අන්තර්ජාතික පුවත් ලැබෙන එකම මූලාශ්‍රය තම වෙබ් අඩවිය පමනක් බව පෙනී යයි. ( එම අඩවියෙන් පමනක් සියල්ල ඉගෙන ගන්නා වර්ගවාදින් ගැටවු කිහිප දෙනෙක් ද සිටිති) .

අදාල වෙබ් අඩවියෙන් උපුටා ගත් පහත කොටස් හුදු ජනයාගේ විනෝදාස්වාදය තකා මෙසේ පල කරමු.
තම ස්වාමියා අනුව යමින් ගඩා‍ෆි ජය ගනු ඇතැයි අවසන් මොහොත දක්වා සිහින දකින මේ හිටපු විප්ලවවාදියා දෙස බලන්න.

එන්න මහත්වරුනි, බඩ අල්ලාගෙන ,බිම පෙ‍රැලී, පෙ‍රැලී, හිනාවෙන්න එන්න.

 ලිබියානු කැරලිකරුවන් විසින් ගඩිෆීට විරුද්ධ සිදුකරනු ලබන අවසාන සටනට පිවිස ඇති බවත් ඔවුන් ට්‍රිපෝලිය අත්පත් කරගනිමින් සිටින බවත් බටහිර මාධ්‍ය ජාලය විසින් ගෙන යනු ලබන ප්‍රචාරයන් අමූලික බොරු බව රෂියා ටුඩේ මාධ්‍ය ජාලයට සජීවී පුවත් වාර්තාවන් සපයන ස්වාධීන මාධ්‍යවේදීනියක් වන ලිස්ෂී පෙහෙලාන් (Lizzie Phelan) විසින් ඇසින් දුටු සාක්‍ෂි සමඟින් කියා සිටියි.

ඊයේ (20) සවස් වරුව පුරාම ට්‍රිපෝලිය පුරාවට ඇසුන වෙඩි හඩවල් සහ බෝම්බ පිපිරුම් හඬවල් ලිබියානු නායක‍යාගේ අවසාන බලකොටුව අත්පත් කරගැනීමේ අවසන් මෙහෙයුම සනිටුවහන් කිරීමක් බව බටහිර මාධ්‍ය හරහා ලිබියානු කැරලිකාර කොමාන්ඩෝවරයෙකු විසින් කළ ප්‍රකාශය ද අසත්‍යයක් බව ඇය සඳහන් කරන්නී ය.

නේටෝ අධාර උපකාර ලබන ලිබියානු කැරලිකරුවන් විසින් මෙම මස අවසාන් වීමට ප්‍රථම ගඩාෆීව ඝාතනය කර ට්‍රිපෝලිය අත්පත් කරගන්නා බවට කර ඇති ප්‍රකාශයන් හුදු වාහසි බස් පමණක් බව ද ඇය සඳහන් කරයි. ට්‍රිපෝලියේ සිටින විශාල ජනතාවක් ආයුධ වලින් සන්නද්ධව සිටින බැවින් කැරලිකරුවන්ට ට්‍රිපෝලිය අත්පත් කරගැනීම සිතන තරම් පහසු නොවන බවත්, ඔවුන්ට ඒ සඳහා විශාල ලේ වැඟිරීමක් සිදුකිරීමට සිදුවන බවත් ඇය පවසයි.

කෙසේ හෝ ඊයේ (20) සවස විදේශීය ජනමාධ්‍යවේදීන් නැවතී සිටින ට්‍රිපෝලි හී පිහිටි හෝටලය අවට සිදුවූයේ යැයි සඳහන් බෝම්බ පිපිරීම් නේටෝ හමුදා විසින් ගුවනින් හෙලනු ලැබූ බෝම්බ වල පිපිරීම් හඬවල් බව ද ඇය සඳහන් කරයි. ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවාව සඳහන්කර සිටි පරිදි එම බෝම්බ හඬවල් ලිබියානු කැරලිකරුවන් විසින් විදින ලබන ආටිලරි පිපිරීම් ශබ්දයන් හෝ රොකට් ප්‍රහාරයන්හී පිපිරීම් ශබ්දයන් හෝ නොවන බව ද ඇය කියා සිටියි.

ඒ පිළිබඳවද  අදහස් දක්වන ඇය සහ තවත් මාධ්‍යවේදීයෙකු පවසා සිටිනුයේ කඩින් කඩ ඇසෙන්වා වූ වෙඩි ශබ්දයන් අන් කිසිවක් නොව ගඩාෆීට හිතවත් හමුදාවන් විසින් ජයග්‍රහණය සැමරීම සඳහා තබන්නා වූ වෙඩි ශබ්දයන් බවයි.

ස්වාධීන මාධ්‍යවේදීනී Lizzie Phelan පවසන ආකාරයට මේ සියල්ල නේටෝ හමුදා විසින් භීතියක් පැතිරවීම සඳහා ප්‍රචාරය කරනු ලබන පුවත් බවද සඳහන් කර සිටියි.

“අපට ඇසුන ඒ වෙඩි හඬවල් නම් ජයග්‍රහණයක් සැමරීමේ වෙඩි හඬවල්, අපිට ඇසුන පිපිරුම් හඬවලුත් නේටෝ ගුවන් බෝම්බ වලින් ඇසුන ශබ්ද හෝ නේටෝ බෝම්බ පිපිරීම්ම විය යුතුයි” යැයි රෂියා ටුඩේ මාධ්‍යවේදීනිය ප්‍රකාශ කරයි.

තවද, ලිබියානු කැරලිකරුවන් විසින් අල් ජසීරා මාධ්‍ය ජාලය සමඟ එක්ව වීඩියෝපට නිෂ්පාදනය කරමින් බොරු ප්‍රචාරයන් සිදුකරනු ලබන බව Lizzie Phelan සඳහන් කරයි. සියළුම බටහිර මාධ්‍ය ජාලයන් කූට උපක්‍රම ක්‍රියාත්මක කරමින් ලිබියානු ජනතාව තුල භීතියක් ඇති කිරීම සඳහා ද්‍රෝහී පුවත් වාර්තා කරන බව ද ඇය පවසයි.

මේ අතර ට්‍රිපෝලි වල සිටින විශාල ජනතාවක් ආයුධ සන්නද්ධව ගඩාෆිව ආරක්‍ෂා කිරීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කරන බව ද ඇය පවසයි.

සියලූම තත්ත්වයන් ලිබියානු රජයේ පාලනයට නතුකරගෙන ඇති බව ලිබියානු රජයේ ප්‍රකාශකයෙකු විසින් දැඩිව පවසා සිටිනවා” යැයි ප්‍රකාශ කරන ඇය ගඩාෆී හමුදාවන්ගේ මැදිහත්වීම මත නැවතත් තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බැවින් ප්‍රීතියට පත් ජනතාව අහසට වෙඩි තබමින් සහ මල් වෙඩි පත්තු කරමින් ජයග්‍රාහණය සමරන බවත්, මුවාමර් ගඩාෆී විසින් දූරකතනයෙන් සජීවිව ජනතාව ඇමතු බවත් සඳහන් කර සිටියි. එබැවින් ඔහු රටින් පැන ගියා යැයි සඳහන් වූ පුවත් ද සත්‍යයන් විය නොහැකි බව ද ඇය කියා සිටියි.

ට්‍රිපෝලීයට පහරදීමේ ප්‍රධාන අරමුණ තමයි භිතියක් මවාපාමින් චිත්ත ධෛර්යය අඩාල කිරීම” යැයි පවසන ඔහු ද, “‍මම නැවතී සිටින හෝටලයේ නැවතී සිටින මාධ්‍යවේදීයෝ පිරිසක් තමයි මේ බොරු ප්‍රචාර සිදුකරනු ලබන්නේ. ඔවුන්ට අනිවාර්යෙන්ම අවශ්‍යව ඇත්තේ භීතියක් ඇති කර ගඩාෆීගේ බලකොටුව කඩා වැට්ටවීමටයි. ඔවුන් මෙම රටට විරුද්ධව මානසික යුද්ධය සඳහා ඉන්දන සපයමින් බොරු ප්‍රචාරයන් සිදුකරනවා.” යනුවෙන් කියා සිටියි.

මාර ආතල් එකක් ගන්න ඇති නේද අපේ මල්වංශ තුමා , හීනියට  මලක් අදින ගමන්.

ආර්ථික ඝාතකයින් රටේ ආර්ථිකය විනාශ කරනවා යැයි වේදිකා මත පපුවට ගසා ගනිමින් මොරදෙන උදවියම ජනතාවට කොළේ වසමින් ඒ කටයුත්ත අපූරුවට කරන අයුරු විස්තර කෙරෙන ලිපියකි මේ. මෙය අප උපුටා නැවත පලකරන්නේ එහි අඩංගු කරුණු හැකිතාක් මෙරට මහජනයා අතරට යැවිය යුතු යැයි අප විශ්වාස කරන බැවිනි. මෙය උපුටා ගත්තේ ලංකා ටෘත් වෙබ් අඩවියෙනි.

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ගැසට් නිවේදනයක් මගින් ඛනිජ තෙල් කැණීමේදී රටට හිමිවීමට නියමිතව තිබූ 28%ක ප‍්‍රමාණයක් අහිමි වූ බවත් මෙම ජාතික අපරාධයට ඉඩ නොදිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. 

එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ, තෙල් කැණීම සඳහා ඉන්දියාවේ කායින් සමාගම සමග ඇති කර ගෙන තිබෙන ගිවිසුම ඉතා දූෂිත බවයි. ඒම ගනුදෙනුව පිටුපස කොමිස් ඇතැයි පෙන්වා දුන් අනුර දිසානායක මහතා ආර්ථික ඝාතකයින් සිටින්නේ වත්මන් ආණ්ඩුව තුළම යැයිද පෙන්වා දුන්නේය.

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා මෙසේද පැවසීය.

‘‘නෝර්වේ රාජ්‍ය ලංකාවේ සාමය ස්ථාපිත කරන්න නොවෙයි, තෙල් සම්පතේ කළමනාකරණය තමන්ගේ අතට ගැනීමේ අරමුණෙන් මැදිහත් වුණේ.  නොපෙක් සමාගම ලංකාවේ තෙල් සම්පත සම්බන්ධයෙන් සමීක්ෂණයක් කළා. එම සමීක්ෂණයේ දත්ත අපේ රටට නැවත ලබා ගැනීමට සිදු වුණේ විශාල මුදලක් ලබා දීලා.

2007මාර්තු 5වැනිදා පී. බී. ජයසුන්දර මහතා සහ එවකට ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති රොබර්ට්  ඕ බ්ලේක් මහතා ගිවිසුමක් අත්සන් කළා. ඉන් ඇමරිකාව ලංකාවට ඩොලර් ලක්ෂ 4ක ප‍්‍රදානයක් ලබා දුන්නා. එම ගිවිසුම මගින්, අපේ රටේ ඛනිජ තෙල් සම්පත නෙලා ගන්නා ව්‍යූහය සකස් කර දෙන්නත් තාක්ෂණික රෙගුලාසි සකස් කර දෙන්නත් එක්සත් ජනපදය බාර ගත්තා.

 ඔබ දන්නවා ඇමරිකාව අද ලෝකයේ රටවලට තම යුධ බල පරාක‍්‍රමය පතුරුවන්නේ තෙල් සම්පත ඉලක්ක කර ගෙන. ඇෆ්ගනිස්ථානයට මැදිහත් වුණා. මැද පෙරදිගට මැදිහත් වෙමින් ඉන්නේ ඒ අරමුණෙන්. එම එක්සත් ජනපදයට තමයි ලංකාවේ තෙල් කැණීමේ ආයතන ව්‍යූහය සහ රෙගුලාසි සකස් කරන්න බාර දුන්නේ.

ඉන් පසුව තෙල් කැණීම් සඳහා ආයෝජකයින් කැඳවන්න ප‍්‍රචාරක කටයුතු ඇරඹුවා. ලන්ඩන්, හූස්ටන්, ක්වාලාලම්පූර් නගරවල එම ‘රෝඞ් ෂෝ’ පැවැත් වූවා.  ඒ වෙලාවේ ඛනිජ ලේකම් කාර්යාලය තිබුණේ ෆවුසි ඇමතිතුමා යටතේ. එතුමා කිව්වා සමාගම් 200කට වඩා ඉල්ලූම් පත‍්‍ර බාර දීලා තිබෙනවා කියලා. අපි ඇහුවා මෙම ප‍්‍රචාරක කටයුතුවලට කොතරම් මුදලක් වියදම් වුණාද කියලා. නමුත් කිව්වේ නැහැ. නමුත් අප සොයා බැලූ විට දැන ගන්න ලැබුණා, මේ සඳහා මුදල් වියදම් කර තිබෙන්නේ ප‍්‍රංශයේ ටුටාල් සමාගම කියලා. හූස්ටන් නගරයේ පැවැත් වුණු ප‍්‍රචාරක කටයුතුවලට රොබල්  ඕ බ්ලේක් මහතා පෞද්ගලිකවම සම්බන්ධ වුණා.

ඛනිජ තෙල් ඇතැයි හඳුනා ගත් බිම් කොටස් තුනක් සඳහා ටෙන්ඩර් කැඳවූවා. ඛනිජ තෙල් බැරල් බිලියන 14ක් තිබෙන බව සමීක්ෂණවලින් සොයා ගෙන තිබෙනවා. ආසන්න වශයෙන් ලංකාවේ එක් පවුලකට බැරල් ලක්ෂ 14ක්. ඉන් එක කැබැල්ලකට සමාගම් තුනක් ටෙන්ඩර් ඉදිරිපත් කළා. ඉන් ඉන්දියාවේ කායින් සමාගම තෝරා ගත්තා.

මේ සමාගමත් එක්ක ගිවිසුම් අත්සන් කළ යුතුයි. ඛනිජ තෙල් කැණීම අපේ රටට අලූත්. ඒ ක්ෂේත‍්‍රයේ කළමනාකරණ ඥානයක් ඇති පිරිස් අඩුයි. එය අප පිළිගත යුතු යථාර්ථයක්. ඒ නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් කමිටුවක් සකස් කොට එම කමිටුවේ අධීක්ෂණය යටතේ මේ කටයුතු සිදු විය යුතුයි කියා යෝජනා වුණා. නමුත් රාජපක්ෂ පාලනය එය ගණන් නොගෙන හිතුවක්කාකරී හා අධිපතිවාදී ලෙස ඉන්දියාවේ කායින් සමාගම සමග ගිවිසුම අත්සන් කළා.

 මම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා, මේ ගිවිසුම අත්සන් කරන්න එපා, එය අදාළ ආයතනවල අධීක්ෂණය සඳහා කාලය ලබා දෙන්න කියලා. නමුත් පාර්ලිමේන්තුව තුළ, කැබිනට් මණ්ඩලය තුළ, ආණ්ඩුව තුළ, ඛනිජ තෙල් ක්ෂේත‍්‍රයට අදාළ ආයතනවල පමණක් නොවෙයි, අඩුම තරමේ ඛනිජ තෙල් ඇමතිවරයාවත් දැනුවත් නොකර මෙම ගිවිසුම අත්සන් කළා.

රටේ වටිනාම සම්පත සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කළේ එවැනි ක‍්‍රියාමාර්ගයක්. එහෙම කළේ තෙල් සම්පත සමග බැඳී පවතින කොමිස් නිසා. අදාළ සමාගම ජනාධිපතිවරයාට ඩොලර් මිලියනක චෙක්පතක් දුන්නා. ගොමවත් ඒ මුදලට ගන්න බැහැ.

මෙම ගිවිසුම සකස් කළේ ඉන්දියාවේ ෆාගෝ සමාගම. ගිවිසුම සකස් කිරීම සඳහා එම සමාගමට රුපියල් කෝටි 12ක් ලබා දී තිබෙනවා. මේ ගිවිසුම පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලය, ආණ්ඩුවේ මන්ත‍්‍රී කණ්ඩායම තුළ, අදාළ ආයතනවල සාකච්ඡා නොකර අත්සන් කළ ගිවිසුමක්.

මේ ගිවිසුම හැදූෆාගෝ සමාගම දැන් කායින් සමාගමේ ලංකාවේ නියෝජිතයා විදියට කටයුතු කරනවා. කල්පනා කර බලන්න. මෙම ගිවිසුම සකස් කිරීමත් සමග වෙබ් අඩවියක් නිර්මාණය කරන්න  නියමිතව තිබුණා. මේ කටයුතු සිදු වුණේ 2008. අවුරුදු තුනකට වඩා කල් ගොස් තිබෙනවා, ඔබට අදත් අවශ්‍ය නම් ගිහින් බලන්න පුළුවන් වෙබ් අඩවියේ තිබෙන්නේ coming  Soon කියලා.

මේ ගිවිසුමේ ප‍්‍රධාන වගන්තියකට අනුව ලංකාවේ රජයේ නියෝජිතයින් තිදෙනෙක්, කායින් සමාගමේ නියෝජිතයින් තිදෙනෙක් ඇතුළත් වන පරිදි කළමනාකරණ කමිටුවක් පත් කළ යුතුයි. ගිවිසුම අත්සන් කර වසර තුනයි. තවමත් එම කමිටුව පත් කර නැහැ. ඒ වගේම මේ ගිවිසුමට අනුව රාජ්‍ය භාගය ලෙස ලැබෙන්නේ 10%යි. තෙල් බැරල් දහසක් ගොඩගත්තොත් 900ක්ම කායින් සමාගමට. ලංකාවට ලැබෙන්නේ 100ක් පමණයි.

මේ සම්බන්ධයෙන් අප ප‍්‍රශ්න කළ විට ආණ්ඩුවේ මහත්තුරු කිව්වේ රාජ්‍ය භාගය 10%ක් වුණත් රජයට අය විය යුතු බදු සමග බැලූවාම 38%ක් ලැබෙනවා කියලා. එසේ තිබියදී 2008අලූත් පනතක් ගෙනාවා. මෙම පනත ක‍්‍රියාත්මක වෙන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශය යටතේ.

 කිසියම් ව්‍යාපෘතියක් ඇමතිවරයාගේ කැමැත්ත මත ක‍්‍රම උපායික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස නම් කිරීමේ හැකියාව මේ පනත මගින් ඇමතිවරයාට ලබා දෙනවා. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය පෙබරවාරි 29වැනිදා කායින් සමාගමට දුන් තෙල් ගවේෂණ ව්‍යාපෘතිය ක‍්‍රම උපායික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස නම් කළා.

 ඒ වගේම එම පනත මගින්, අදාළ ක‍්‍රම උපායික ව්‍යාපෘතියට දෙන සහන මොනවාදැයි තීරණය කිරීමේ බලය ඇමතිවරයාට ලබා දී තිබෙනවා. ඒ අනුව පසුගියදා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් කායින් සමාගමට පනවා තිබූ සියලූම බදු අහෝසි කරනු ලැබුවා. නිෂ්පාදන බදු, සංස්ථාපිත බදු, රඳවා ගැනීමේ බදු, එකතු කළ අගය මත බදු, වරාය හා ගුවන් තොටුපළ බදු ඇතුළු සියලූම බදු ඉවත් කළා. දැන් ඛනිජ තෙල් කැණීමෙන් අපේ රටට ලැබෙන්නේ රාජ්‍ය භාගය ලෙස සඳහන් කර තිබෙන 10%ට පමණයි.

සමාගම තෝරා ගත් පසුවයි, මේ බදු සහන දුන්නේ. බදු සහන දෙනවා නම්, දිය යුතු නම් එය කළ යුතුව තිබුණේ ටෙන්ඩර් කැඳවීමට පෙර. එසේ වූවා නම් මීට වඩා වැඩි සමාගම් ප‍්‍රමාණයක් ඉදිරිපත් වෙන්න තිබුණා. ඒ වගේම අපේ රටට ලැබෙන රාජ්‍ය භාගය මීට වඩා වැඩි අගයක් සඳහන් කරන්න තිබුණා. නමුත් ටෙන්ඩර් කැඳවීමේ ලියවිල්ලේ මෙම බදු සහන පිළිබඳව කිසිවක් සඳහන් වෙන්නේ නැහැ.

බැසිල් රාජපක්ෂට ඉන්දියාවේ ඥාති ගනු දෙනු තිබුණත් දෝණියැන්දලා ඉන්දියාවේ ජාවාරම්කරුවන් එක්ක විවාහ වුණත් අපට ප‍්‍රශ්නයක් නැහැ. දෑවැදි දෙනවා නම් දිය යුත්තේ ඔහුගේ පෞද්ගලික ධනයෙන්. ජාතික සම්පත්වලින් දෑවැදි දෙන්න ඔහුට අයිතියක් නැහැ.

ආණ්ඩුව කියනවා ආර්ථික ඝාතකයින් ඉන්නවා කියලා. මොවුන් නොවේද ආර්ථික ඝාතකයින්. මේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරුන් හතර දෙනා විතරයි ඊට විරුද්ධ වුණේ. එක්සත් ජාතික පක්ෂය නිහඬව සිටියා. සන්ධානයේ සියලූ දෙනා ඊට පක්ෂව ඡුන්දය දුන්නා.

එහෙම නම් කවුද ආර්ථික ඝාතකයින්. මේ ගැසට් හැදූඅය සහ ඒවා සම්මත කළ අය නොවේද ආර්ථික ඝාතකයින්. ජනාධිපතිවරයා කියා තිබුණේ රට තුළ ආර්ථික ඝාතකයින් ඉන්නවා කියලා. ආර්ථික ඝාතකයින් ඉන්නේ එතුමා ළඟ, එතුමාගේ පවුලේ, එතුමාගේ කැබිනට් මණ්ඩලයේ, එතුමාගේ ආණ්ඩුවේ.

රජයට තනිව මේ සඳහා ආයෝජනය කරන්න බැරි වෙන්න පුළුවන්. තෙල් කැණීම සඳහා ආයෝජනය ඩොලර් බිලියන තුනයි. නමුත් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය ඩොලර් බිලියන 4.4ක් වැය කරන්න ඇස්තමේන්තු කරලා තිබෙනවා. මොකකකටද ප‍්‍රමුඛතාව දිය යුත්තේ? තෙල් කැණීමටද නැත්නම් එංගලන්ත මහ රැජින ඇවිත් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමාට ‘උම්මා’ එකක් දෙන එකටද?

තෙල් කැණීම මුළුමනින්ම රාජ්‍ය සමාගමකින් කරන්න  ඕන කියලා අපි කියන්නේ නැහැ. නමුත් සලකා බැලිය යුතු අවස්ථා කිහිපයක් තිබුණා. අපේ රටේ සමාගමක් තමන්ගේ වියදමෙන් පේරාදෙණිය සරසවියේ විද්‍යාර්ථයින් 14දෙනකු තෙල් කැණීම සම්බන්ධයෙන් විදේශ පුහුණු සඳහා පිටත් කළා.

මෙම ක්ෂේත‍්‍රයේ තමන්ගේ මුදල් ආයෝජනය කරන්න එම සමාගම සූදානමින් සිටියා. ඒ වගේම මෙම තෙල් කැණීම රජයට තනිවම කරන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් රාජ්‍ය සහ දේශීය සමාගම් ඒකාබද්ධව කරන්න පුළුවන්ද? රජය සහ විදේශීය සමාගම් ඒකාබද්ධව කරන්න පුළුවන්ද? දේශීය සහ විදේශීය සමාගම් ඒකාබද්ධව කරන්න පුළුවන්ද කියලා සොයා බැලිය යුතුව තිබුණා.

ඒ එකක්වත් කරන්න බැරිනම් තමයි මුළුමනින්ම විදේශීය සමාගමකට දිය යුතුව තිබුණේ. නමුත් එහෙම කළා නම් ලැබෙන කොමිස් මුදල අඩු වෙනවා. ඒ නිසායි මෙවැනි ව්‍යාපෘතියකට ගියේ. මීට විරුද්ධව සියලූ දෙනා පෙරට ආ යුතුයි කියා අප විශ්වාස කරනවා.’’

http://www.lankatruth.com/sin/index.php/news/local-news/12312-2011-08-21-08-23-28