චන්දයයි උණ්ඩයයි- 1982 හා 2010

Posted: May 31, 2010 in Uncategorized
 
ප්‍රවීණ පුවත් පත් කලාවේදී රිචර්ඩ් විජයසිරි මහතා ලිවූ  මේ ලිපිය ඇට මැස්සා උපුටා ගත්තේ මනහර සඟරාවේ 1982  දෙසැම්බර්  කලාපයෙන්.
 
චන්දයයි උණ්ඩයයි
 
 
බොහෝ අය කල්පනා කරන්නේ රටක ඒකාධිපතියකු බවට කිසියම් කෙනෙකුට පත් විය හැක්කේ හුදෙක් විප්ලවයක් හෝ හමුදා කුමන්ත්‍රනයක් මගින් පමණක් බවයි.
 
එහෙත් ඒකාධිපතියකු පහල වීම සඳහා විප්ලවයක් හෝ හමුදා කුමන්ත්‍රණයක් අනිවාර්යෙන්ම අවශ්‍ය නැති බව ලෝක ඉතිහාසය විසින් නොයෙක් වර ඔප්පු කර තිබේ.
 
විප්ලවයක් හෝ හමුදා කුමන්ත්‍රණයක් මගින් රටක් ජනතාවක් ඒකාධිපති ග්‍රහණයට හසු කරගන්නා විට එය කෙලින්ම රටටත් ලෝකයටත් පැහැදිලිව පෙනෙන දෙයකි. එවන් කරදරයකට හෝ අසීරුවකට පත් වන්නේ නැතිව ” ගානෙන්  ගානෙන් තම්බි ගෙට ගොඩ වුනා ” සේ ආඥාදකයත්වයේ සිංහාසනයට  නැග  ගැනීමේ  සූක්ෂ්ම ක්‍රමයක්ද තිබේ.
 
ලෝකයේ වඩා කෛරාටික හා බල ලෝභී දේශපාලනඥයන් , ඒකාධිපතියන් වීමට යොදා ගෙන ඇත්තේ තම්බි ගෙට ගොඩ වීමේ උපක්‍රමයයි.
මේ  උපක්‍රමය  නම් චන්ද බලය, මැතිවරණ ක්‍රමය හා පාර්ලිමේන්තුව ඔස්සේම ඒකාධිපති බලතල ආරුඩ කර ගැනීමය. ඒකාධිපති අභිප්‍රායන් ඇති පුද්ගලයා මේ සටප්‍රයෝගය යොදා ගන්නේ තම සුදනකු බව අඟවමින් මහජනයා ගේ ඇසට වැලි ගැසීමටය.
 
මැති සබය තුල වැඩි චන්දයක් ඇති නායකයාට තමන්ට අවනත “සිග්නල් කණුවල” මාර්ගයෙන් එහිදී ඕනෑම දරුණු නීතියක් සම්මත කරගත හැක. බොහෝ  විට සිග්නල් කණු පවා එවන් නීති වලට අත ඔසවන්නේ ඒකාධිපති තොණ්ඩුව තමන්ගේ බෙල්ලට ද කවදා හෝ හිර වීමට ඉඩ ඇති බව නොදැනය.
 
මැති සබය වූ කලි මහජනයා විසින් තෝරා ගනු ලබන නියෝජිතයන්ගෙන් සැදුම් ලද්දා වූ ද,  මහජනයාගේ  පරමාධිපත්‍ය ගැබ් ව ඇත්තා වූද , පරමෝත්කෘෂ්ට   බලමුළුව  වන නමුත් එහිම සම්මත කරගන්නා නීති මගින් බලමුළුව  “බලු මුළුවක්”  බවට පත් කොට මැති සබයේ  නටබුන්  තුලින්  ඒකාධිපති  මාරයෙකුට හිස එසවිය හැක්කේය. මෙය ඌරාගේ  මාළු  ඌරාගෙම පිට උඩ තබා කැපීමක් හැර අන් කුමක්ද? 
 
උණ්ඩ බලයෙන් රට පාලනය කරනු පිණිස චන්ද බලය උපයෝගී කරගත් ඉතිහාසගත අනගිතම නිදර්ශනය නම් ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් ය.
 
උණ්ඩයෙන් බලයට අවුත් චන්දය නැති කරනවට වඩා චන්දයෙන් බලයට අවුත් චන්දය නැති කිරීම වඩා පහසු ක්‍රමයක් බව සිල් රෙදි පොරව ගත් හැම හොර උපාසකයෙක්ම දනී.
 
හැබැයි උපාසක උන්නැහේ දුම්මැස්ස අත ගාන ශබ්දය ඇසෙන විට සිහි බුද්ධිය ඇති පුද්ගලයන් ප්‍රවේශම් විය යුතුය.
 
හිට්ලර් වැනි හොර උපාසක ඒකාධිපතියන් චන්ද බලය හා මැතිවරණයේ අගය අහස උසට වණන විට සාමාන්‍ය මහජනයාට ඔවුන් පෙනෙනුයේ අහිංසක ගැරඬින් සේය.  එහෙත් මහජනයාගේ ඇසට වැලි ගසා බලයට පත් වූ ඒකාධිපතියා එතැන් පටන්  පෙනය පුප්පන්නට පටන් ගත් විට චන්ද පෙට්ටිය තුලින් එලියට ආවේ අනුකම්පා විරහිතව මහජනයාට දෂ්ට කරන දුෂ්ට නාගයකු බව ඔවුනට ඒත්තු යයි. එවිට පමා   වූවා   වැඩිය. නාග දෂ්ටයෙන් බේරෙන්නට නම් ඌ චන්ද පෙට්ටිය තුලදීම නෂ්ට කර දැමිය යුතුය.
 
ඒකාධිපති අදහස් ඇති පුද්ගලයෙකු සිල් රෙදි පොරවා ගෙන දෙසන වැදි  බණ වලට රැවටීම නිසා ජර්මන් ජනතාවට අන්තිමේදී සිදු වූයේ ඉතාම දුක්ඛිත හා බිහිසුණු ඉරණමකට මුහුණ පෑමටය.
 
ඉතා කීකරු “සුවීනිත” ධර්මිෂ්ට සතකු ලෙස පෙනී සිටි කොටියකු පිට නැගී විනෝද සවාරියක් ගැසූ රීගා  ප්‍රදේශයේ මෝඩ තරුණියකට අත් වූ ශෝචනීය ඉරණම විස්තර කෙරෙන ලස්සන කාව්‍යයක් රුසියානුන් අතර ප්‍රචලිතය. 
 
 එම රුසියානු කාව්‍යයේ සිංහල අනුවාදය මෙසේය.
 
 
 
රීගා පළාතේ – විසූ එක ලලනාවක්
 
කොටියකු පිට නැගී- පාමින් ලොකු සිනාවක්
 
ගසා පොඩි රවුමක්- ආපසු පැමිණියා  මුත්
 
ඇය දක්නට නොමැත- කොටියා නම් සිනාසෙයි
 
– රිචඩ්  විජයසිරි විසිනි
 
( සටහන- 1982 ඔක්තෝබරයේ පැවති ජනාධිපතිවරණයෙන් ජය ලැබූ  ජේ .ආර්. ජයවර්ධන ජනාධිපති වරයා  මැතිවරණයක් නොපවත්වාම   පාර්ලිමේන්තුවේ ආයු කාලය වසර 6 කින් දිගු කර ගැනීම සඳහා  ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආවේය. එහෙත් එය ජන මත විචාරණයකින්  අනුමත විය  යුතු බව උසාවිය තීන්දු කළේය. ඒ අනුව 1982 දෙසැම්බරයේදී  අදාල  ජනමත විචාරණය පැවැත්වෙන විටදීය , රිචඩ් විජයසිරි තම සංස්කාරකත්වයෙන්   යුතු මනහර සඟරාවේ 1982 දෙසැම්බර් කලාපයේ මේ ලිපිය පල කලේ. එම වසරේ ඔක්තෝබරයේදී  පැවති ජනාධිපතිවරණයෙන්  ජය ලබා තව වසර හයක් නියත ලෙසම රට පාලනය කරන නායකයා ගේ දෑත ශක්තිමත් කිරීමට නොගොස් , රට ඉදිරියේ ඇති  සැබෑ  අනතුර කුමක් දැයි ජනතාවට අවබෝධ කර දීමට ඔහු උත්සාහ කළේය. ඔහුගේ එම උත්සාහය වත්මන් ප්‍රවීනයි කියාගන්නා පුවත් පත් කලාවේදීන් ගේ හා කලක්  ආමර්  වීදියේ තැබෑරුම් වල විප්ලව කිරීමට උත්සාහ කල ඊනියා සත්‍ය වාදීන්ගේ ක්‍රියා කලාපය හා සසඳා බලනු  පිණිස මේ ලිපිය උපුටා පල කලෙමි. )
 
Comments
  1. Lahiru says:

    ඔහුගේ එම උත්සාහය වත්මන් ප්‍රවීනයි කියාගන්නා පුවත් පත් කලාවේදීන් ගේ හා කලක් ආමර් වීදියේ තැබෑරුම් වල විප්ලව කිරීමට උත්සාහ කල ඊනියා සත්‍ය වාදීන්ගේ ක්‍රියා කලාපය හා සසඳා බලනු පිණිස මේ ලිපිය උපුටා පල කලෙමි. )

  2. Lahiru says:

    ඔහුගේ එම උත්සාහය වත්මන් ප්‍රවීනයි කියාගන්නා පුවත් පත් කලාවේදීන් ගේ හා කලක් ආමර් වීදියේ තැබෑරුම් වල විප්ලව කිරීමට උත්සාහ කල ඊනියා සත්‍ය වාදීන්ගේ ක්‍රියා කලාපය හා සසඳා බලනු පිණිස මේ ලිපිය උපුටා පල කලෙමි. )

    good said. Good post. i love to read your post.

    • gadfly says:

      ස්තුතියි . එදා රිචඩ් විජේසිරිල, දයාසේන ගුනසිංහල , දුටු දෙය මෙරට බහුතර ජනතාවක් නොදුටු අතර , JR ගේ ඒ ගමන කෙලවර උනේ ලේ ගංගා වලින්. අද අපි අතරේ ඒ වගේ දුර දක්නා මිනිස්සුත් නැහැ.

  3. ramachandra says:

    ඉතිහාසය නැවත වතාවක් සිදු වේ.පලමු වර ඛේදවාචකයක් හා දෙවන වර හාස්‍යජනකයක් ලෙසිනි 🙂 ( පොතේ තිබුන වචන සෙට් එක හරියටම මතක නැහැ )
    කොහොම හරි මහින්ද මාමාව කොමඩියක් කරලා දාන එක එතුමාට මුහුන දෙන්න තියෙන එක ආකාරයක්.

    පලි – සුනිල් මාධවට වැඩිය මුකුත් කියන්න එපා.ඔය අහිංසකය ලොක්කට වශී වෙලා හිටියට ඒක අනිත් අයගෙ වගේ තක්කඩිකම නෙමෙයි.emotional reaction එකක්.

    • gadfly says:

      ප්‍රශ්නේ තියෙන්නේ හැම දෙයක්ම කොමඩියක් බවට පත් වෙමින් තියෙන එක.
      සුනිල් මාධව ගැන කියනවනම් එක tragicomedy එකක්.

Leave a reply to gadfly Cancel reply