Posts Tagged ‘රෝහල්’

 
දිවයින පත්තරේ සෞඛ්‍ය ගැන ලියන ඒමන්ති නෝනා මාර සොයාගැනීම් තොගයක් කරලා, ඒ ගැන පහුගිය  ජනේරු  හතර   වෙනිදා  පත්තරේට  ලියලා තිබුනා. මං හිතන්නේ එයා  නොබෙල් තෑග්ග දිනා ගනියි  වගේ ඒ කරලා තියෙන සොයා ගැනීම්වලට.  එයා කියන විදියට මේ නව ඉන්ෆ්ලුවන්සාව එච්චර බය වෙන්න ඕනේ  රෝගයක් නොවේ. අපරාදේ , මේ බව දැන ගෙන නොහිට මැරුණු අහිංසකයෝ 23 තුන් දෙනා.
 
ඒමන්ති නෝනගේ ලිපිය කියෙව්වාම මගේ හිතේ මතු වුන ප්‍රශ්න කීපයක් තමා මේ තියෙන්නේ. මේවාට උත්තර දෙන්න නම් ඔය නෝනලා එන එකක් නැහැ.
 
 1. දැන් මේ නෝනා කියනවා කාලයෙන් කාලයට මෙරට වසංගත රෝග පැතිර යැම සාමාන්‍ය දෙයක්ලු. එයාගේ තර්කයයට අනුව මේ කාලයේ පැතිර යනවා කියලා ප්‍රචාරය වුන නව ඉන්ෆ්ලුවන්සාව බලධාරීන් විසින් කෘතිමව මවා පාපු එකක්ලු. එතකොට අහන්නේ තියෙන්නේ පහු ගිය දවස් වල මැරුණු 23 දෙනා මැරුණේ ඇත්තට  නෙවේද? එයාල මැරුණා කියලා කිව්වේ බොරුවටද?  එහෙම නැත්නම් ඒමන්ති නෝනාට මරණ 23 ක් කියන්නේ ගණන් ගන්න තරම් දෙයක් නොවේද?

2. ඒ එන්නත් වල කල් ඉකුත් වෙන දිනය විදියට 2011/ 1 සටහන් කරලා තියෙද්දී අපේ වීරෝදාර ඒමන්ති නෝනා එන්නත් දෙසැම්බර් මාසයේ කල් ඉකුත් වෙන බව කියන්නේ මොකද?

3.ගැබිනි මවුවරුන්ට මෙම එන්නත ලබාදීම ගැන නෝනා කියන දේවල් ඇත්තනම් ඔවුන්ට එය ලබාදීම මාරාන්තික අපරාධයක් වෙන බවත්  ඒ ගැන මොනවත් ම නොකර දිවයින වගේ කවුරුත් නොකියවන පත්තරේක අහු මුල්ලක ලිපියක් ලිවීමෙන් පමණක් එය නතර නොවෙන බවත් නොදන්නේද? . එන්නත මේ වනකොටත් රට පුරා ගැබිණි මවුවරුන්ට දෙන බව ඒමන්ති නොදන්නවාද?  

4.   මව්වරුන්ට එසේ එන්නත් ලබාදෙන ලද්දේ පර්යේෂණ කාර්යක්‌ සඳහා යැයි  ඇය සමග මේ පිළිබඳව  සැක මතු කල   මෙරට ප්‍රධාන පෙළේ වෛද්‍යවරුන් කිහිප දෙනා වත් මේ ගැන කියන්නට ඉස්සරහට නො එන්නේ ඇයි. ඔවුන් ඒ යුතුකම ඉටු නොකරනවා නම් ඔවුන් එළිදරව් කිරීම ඒමන්ති බඳු අභීත මාධ්‍යවේදීන්ගේ යුතුකමක් නොවේද?  දඹුල්ල ප්‍රදේශයේ මේ  එන්නත් ලබාගත් ගැබිනි මව්වරුන් කිහිපදෙනකු  ගබ්සා වූ වෙලාවේ වත් එය කල යුතු නොවේද? 

5.  නව ඉන්ෆ්ලුවන්සා එන්නත් කල් ඉකුත් වීමට ආසන්නව පැවැතිම පිළිබඳව  භීතිකාවක්‌ ජනතාව තුළ කරන්නේ මාධ්‍ය කරුවන්ම නොවේද? ඒ කලේ ජනතාව එන්නත ගැනීමෙන් වැළකීමටද? අද ඒමන්ති කරන්නෙත් ඒ දෙයම නොවේද? එහෙම නම් ඒකෙන් වාසි වෙන්නේ කාටද?

6.  එන්නත් තොගයක්‌ හොර පාරෙන් පුද්ගලික වෛද්‍ය අංශයට විකිණීම   නිලධාරියෙකු   තම පුද්ගලික කෝන්තරයක්‌ සඳහා නිෂ්පාදනය කල බොරුවක් නම් ඔහු හෙළි දරව් කරන්නේ නැත්තේ මන්ද?

7. රටපුරා විහිදුනු මහරෝහල්, දිස්ත්‍රික් රෝහල්, මූලික රෝහල්, ග්‍රාමීය රෝහල්, දිස්පෙන්සරි, මාතෘ සායන සහ එම්. ඕ. එච්. කාර්යාල වශයෙන් වූ ජාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබියදී එන්නත් ලබා දීම සඳහා පෞද්ගලික අංශයට නිකුත් කලේ හොඳ හිත නිසා යැයි ඔබ අපට කියන්නේද ඒමන්ති  නෝනෝ.  එකක් රුපියල් 10,000 පමණ වන මේ එන්නත අපේ සෞඛ්‍ය ලොක්කන් පුද්ගලික අංශයට දුන්නේ නිකම්මද?

8.  නොමිලයේ (  සුන්දර වචනයක්  )  පුද්ගලික රෝහල් වෙත නිකුත් කරනු ලැබූ මෙම එන්නත් රෝගීන්ට ලබා දීමේදී එය ලබාදෙන හෙද නිලධාරිනිය සඳහා පමණක්‌ රුපියල් 100 ක මුදලක්‌ රෝගීන්ගෙන් අයකර ගෙන තිබිණි යැයි  කියන ඒමන්ති එම  පුවත් පතේම පළවූ මෙම ලිපිය ගැන කියන්නේ කුමක්ද? සමහර විට ඇය එය මෙතෙක් නොදැක වෙන්නට ඇත.

පුද්ගලික රෝහල්වලදී ඉන්ෆ්ලුවන්සා එන්නතට රු. දහස බැගින් අයකරලා
ජනිත සෙනෙවිරත්න

රජය මගින් නොමිලේ පුද්ගලික රෝහල්වලට ලබාදී ඇති නව ඉන්ෆ්ලුවන්සා ප්‍රතිශක්‌තිකරණ එන්නත ලබාදීම සඳහා කොළඹ නගරයේ ඇතැම් පුද්ගලික රෝහල්වලින් එක්‌ අයකුගෙන් රුපියල් දහස බැගින් අයකරන බව සඳහන් වේ…………

9. නොමිලේ ලබා දුන් දෙයක් එන්නත් කිරීමට රුපියල 100    අය කිරීම සාධාරණීකරණය කරන්නේ මන්ද? එක එන්නතක් ලබා දීමට හෙදියකට රුපියල් 100 ක වැටුප් ගෙවන පෞද්ගලික රෝහල් පිහිටියේ මොන ලෝකයේද?

10. ……………..ඒ අතරේ පාසල් ළමුන්ටද, මෙම එන්නත ලබාදෙන ලෙස ඉල්ලීම් මතු වූ අතර …………………………… බවට පුවත් පළ විය. මෙම සෑම කරුණකින්ම පෙනී යනුයේ ජනතාව කෙතරම් නව ඉන්ෆ්ලුවන්සා රෝගයට බිය වී ඇත්ද යන්නය…. බෝවෙන රෝගයකින් කෙටි කලක් තුල 23 දෙනෙකු මිය ගොස් සිටින විට එම රෝගයට බය නොවී සිටින්න යයි කීමෙන් මේ නෝනා සේවය කරන්නේ කාටද?

ඕනේ නම් එයාගේ ලිපියත් කියවන්නhttp://www.divaina.com/2011/01/04/feature02.html