Posts Tagged ‘සෞඛ්‍ය අමාත්‍යාංශය’

ඔබාමාද , බ්ලේක් ද නවනීදන්පිල්ලේද , බැන්කී මූන් ද ඇතුලු මෙකී නොකී එකී සියලු ධිරාජ්‍යවාදි බලවේග එකා මෙන් එකතු වී ඉන්දියන් සාගරයේ මුතු ඇටයට විරුද්ධව කුමන්ත්‍රණ  කරමින් අපේ ජාතික වීරයින් විදුලි පු‍ටුවට එල්ලන්ට යවන්ට හදමින් ඉන්නා මේ මොහොතේ , හරියටම කියන්නේ නම් ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක මේ මොහොතේ දේශප්‍රේමි, දේශහිතෛෂී ,දේශ මාමක, සියලු ජනතාවගේ කාර්ය භාරය විය යුත්තේ බඩගින්නේ සිටිමින් හෝ ආණ්ඩුවට පක්ෂපාතව  පෙලපාලි යාමය. බඩගින්නේ සිටිමින් හෝ ඒ දේ කල යුතු බව වීරවංශ තුමාද මේ ලඟදී කියා තිබුනි.

හෙදි නෝනලාගේ නායක මුරුත්තෙට්‍ටුවේ උන්නාන්සේ ද තමන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ග අත හැර තමන් හා තමන් සමග සිටින හෙදි නෝනලා නියම දේශප්‍රේමින් බව පෙන්වා තිබේ. දොස්තර මහත්තුරුන්ගේ සංගම් නායක කට්ටියද ඒ ආකාර දේශප්‍රේමින් බව වටින් කොනින් ආරංචි වේ.වෙන එකක් තියා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන පවා මේ දවස් වල හා හූවක් නැත. ඒ තරමට දේශප්‍රේමය ඉහින් කනින් ගලා යයි.

නියම දේශප්‍රේමින් වැඩ කල යුත්තේ ඒ ආකාරයටය. භූමිතෙල් කුප්පියකට, පාන් ගෙඩියකට, වැ‍ටුප් විෂමතාවකට මේ වෙලාවේ පාරට බැස ආණ්ඩුව මේ අධිරාජ්‍යවාදින් ඉස්සරහ අපහසුතාවකට පත් කිරීම නොහොබිනා කාර්යයකි.

නමුත් විශ්වවිද්‍යාල වල සිටින හාල් පාරුවන් ලඟ නම් දේශප්‍රේමේ බෙහෙතකටත් නැති බව පෙනේ.මේ දවස් වල සරසවි අනධ්‍යන  කාර්ය මණ්ඩල වර්ජනයයේය. ජීනිවා වල අපේ රට විරුද්ධව මහා කුමන්ත්‍රණයක් කරන මේ  දවස් වල වැඩ වර්ජන කරන්නේ දේශද්‍රෝහින් මිස අන් කවරෙක්ද.

වර්ජන කරන උන්ගේ පඩි කපන බවට ප්‍රතිපාදන කොමිසමේ සමරනායක තුමා තීරණය කර තිබේ. අන්න මිනිස්සු. නියම දේශප්‍රේමියෙක්. ඇත්තටම එතුමා පසුගිය 27 දා ප්‍රතිපාදන කොමිසම ඉස්සරහ බෝර්ඩ් ලෑල්ලකුත් උස්සා ගෙන ජීනිවා කුමන්ත්‍රණයට විරුද්ධව උද්ඝෝෂණයක්ද කර තමන් රට ජාතිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානම් බවද පෙන්වා තිබේ. එතුමාට අපේ ගෞරවය සමග තව වතාවක් කොමිසමේ සභාපති කම ලැබේවා යැයි පතමු.

නමුත් අපි නම් කියන්නේ පඩි කැපීම විතරක් මදි බවයි. මේ දේශද්‍රෝහී නඩය එල්ලා මැරිය යුතුය. විශේෂයෙන්ම මේ වෘත්තීය සමිතීයේ නායක  චන්ද්‍රපාල එල්ලිය යුතුය. ජාතියේ මේ වැනි  අර්බුද අවස්ථාවල ද්‍රෝහී කම් කරන්නට බලා සිටින් උන්ට පාඩමක් උගන්නන්ට එය කල යුතුමය.

සටහන- ඇත්තටම නම් කල යුතුව තිබෙන්නේ මූව විදුලි පු‍ටුවේ යැවීමය. ඒත් විදුලි පු‍ටුව වීරවංශතුමා සින්නක්කරේටම අයිති කරගෙන සිටින නිසා ඒක හරියන්නේ නැත. ඒ නිසා අපිට එල්ලා මැරීමෙන් සෑහිමට පත් වන්නට සිදුව තිබේ.

ප.ලි-  මේකත් රටක්ද මර්තේලිස්?

Advertisements

නැවත වතාවක් මහා දේශප්‍රේමි සැණකෙලියක් ඇරඹී තිබේ.

රූපවාහිනි නාලිකවල ගිනි විසි වෙන දේශප්‍රේමි කතා ඇසේ. ගුවන් විදුලි නාලිකාවල උදේ සිට රෑ වන තෙක් දේශප්‍රේමී ,දේශාභිමානි ගී ඇසෙන්නේ   70 ගණන් වල වගා සංග්‍රාම කාලයේ දේශාභිමානි ගී ඇසුනාමෙනි. ඒ කාලයේ සිටි පාලකයෝ උන් බාසුමති හාලේ බත් කද්දී ජනතාවට මඤොක්කා කැවූහ. වෙනසකට ඇත්තේ දැන් පාලකයින් ජනතාවට කවන්නේ ඊනියා දේශප්‍රේමයේ  වස මිශ්‍ර කල පිදුරු වීමයි.

ආණ්ඩුව ලබන 27 දා මහා දේශප්‍රේමී අරගලයක් සඳහා  ජනතාව වීථි වලට කැඳවමින් සිටියි.  ඒ වෙනුවෙන් වැ‍ටුප් සහීත නිවාඩු, නොමිලේ ප්‍රවාහන පහසුකම් හා බාගෙට කුණු වූ බත් පැකට් පමණක් නොව අරක්කුද යහමින් සැපයෙනු ඇත.

ඒ කුමකටද?

27දා ජීනිවාහි ඇරඹෙන මානව හිමිකම් කොමිසම් සභා සැසිවාරයේදී ලංකාව මතට න්‍යෂ්ඨික බෝම්බයක් හෙලීමට යෝජනාවක් සම්මත කර ගනියිද? එසේ නැත්නම් ලංකාව සුනුවිසුණු කරන හමුදා මෙහෙයුමකට බටහිර බලවතුන් සූදානම් වෙයිද?

එසේත් නැත්නම් වීරවංශලාගේ මුකරි කටවලින් කියන පරිදි ලංකාවේ ජනාධිපතිවරයා ඇතුලු නායකයින් කුදාලාගෙන ගොස් එල්ලීමට හෝ විදුලි පු‍ටුවේ යැවීමට පිඹුරුපත් සැකසෙමින් තිබේද?

මේ සියල්ලටම පිලිතුර නැත යන්න බව අපිටත් වඩා හොඳින් දන්නේ රාජපක්ෂලා හා වීරවංශලාය. ආර්ථික ක්ෂේත්‍රයේ ඔවුන් කියන ඕනෑම දෙයක් දෙකට නැමී පිලිගන්නා රාජපක්ෂලා එලවීමට බටහිර බලවතුන්ට කිසිම උවමනාවක් නැත.

මේ ජිනීවා සමුලුවේ සිදු වෙන්නට යන්නේ , ශ්‍රී ලංකා ආණ්ඩුව  විසින්ම පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසංස්කරණ කොමිසම විසි න් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඒ ආණ්ඩුවෙන්ම ඉල්ලීමයි. ඒ හැර ආණ්ඩුව පෙන්වීමට උත්සාහ දරන අන්දමේ මහා කුමණ්ත්‍රනයක් නැත. නමුත් ආණ්ඩුවට අවශ්‍ය එවැන්නක් කර ගැනීමට හෝ අඩුම තරමේ එවැනි කුමන්ත්‍රණයක් ඇති බවක් මෙරට ජනයාට පෙන්වීමටය.

මේ මහා දේශප්‍රේමි වලිප්පුව ඒ වෙනුවෙනි.

ආණ්ඩුවේ ඉහල සිට පහල දක්වා දෝරේ ගලන්නා වූ දූෂණය, වංචාව හා නාස්තියත් කළමනාකරණයේ නොහැකියාවත් නිසා දිනෙන් දින අගාධයට යන්නා වූ ආර්ථිකය හමුවේ නැග එන ජනතා විරෝධය  යටපත් කර ගැනීම සඳහා මේ අසමත් ආණ්ඩුවට වෙන විකල්පයක් නැත. ඔවුන් දන්නේ එපමණකි. දේශප්‍රේමය අලෙවි කිරීම පමණි.

මේ මානව හිමිකම් සභාවාරය එනතෙක් ආණ්ඩුව බලා සිටියේ නො ඉවසිල්ලෙනි. ඒ අන්කිසිවකට නොව එයට මුවා වී ඉතිහාසයේ කවර කලකටත් වඩා වූ ප්‍රතිශතයකින් ඉන්ධන මිල වැඩි කර ගැනීමටය. විදුලි මිල ගෑස් මිල වැඩි කර ගැනීමටය. හරියට කල් යල් බලා ජිනීවා සමුලුවට දින කිහිපයක් තියා මිල වැඩි කලේ  එබැවිනි. එවිට එම මිල වැඩි කිරීමට එරෙහි වන ජනතා හඬ විදුලි පු‍ටු හා කුමන්ත්‍රණ ගැන ගල් පැලෙන බේගල් කියා යටපත් කල හැකි බවට හොඳ හැටි ගනන්  බලාගෙනය.

එම නිසා මේ 27දා ජනතාව පාරට බැසීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පමණක් නොව ජනතාවද පල් මෝඩයන් බව නැවත වතාවක් ඔප්පු වීමයි. ඒ හැර  අන් දෙයක් නැත.

දඩාවතේ යන බල්ලන් මිලියන තුනක් පමණ මේ වන විට ලංකාවේ ඇතැයි ගණන් බලා තිබේ. ශ්‍රී ලංකාව තුල දිනකට බල්ලන් සපා කෑම් 2000 ක් පමණ වාර්තා වන බවත් ඔවුනට ප්‍රතිකාර කිරීම සඳහා අධික වියදමක් දැරීමට සිදු වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.

මේ ගැන කථා කල සෞඛ්‍ය අමාත්‍යවරයා පසු ගියදා ප්‍රකාශ කළේ වසරකට කෝටි සියයක් පමණ වියදම් කරමින් බල්ලන් වන්ධ්‍යාකරණ වැඩ පිලිවෙලක් ගෙන ගියත් එය අසාර්ථක වී ඇති බවත් බලු ගහණය අඩු වී නොමැති බවත්ය.

මෙම වන්ධ්‍යාකරණ වැඩ පිලිවෙල පෞද්ගලික අංශයේ හා රාජ්‍ය  නොවන සංවිධාන වල සහය ඇතිව කර ගෙන ගිය අතර පසු ගිය කාලයේ බලු ගහණයේ වැඩි වීම දෙස බලන විට එය සම්පූර්ණයෙන්ම අසාර්ථක එකක් බව පැහැදිලිය.

ඒ අනුව මෙම ප්‍රශ්නයට ඇති විසඳුම ලෙස බල්ලන් ඝාතනය කළ යුතු යැයි කතා බහක් මතු විය.

ඒ සමග මහ හඬක් නගමින් එලියට පැන්නේ සත්ව අවිහිංසාවාදි සංවිධාන කීපයකි. අන්තර් ජාලයේ ෆේස් බුක් පි‍ටුවලත්, බ්ලොග්වලත් , තව නොයෙක් වෙබ් අඩවි වලත් මොව්හු තම සටන ගෙන යමින් බල්ලන් මැරීම ඉතා අමානුෂික ක්‍රියාවක් බවත් කල යුත්තේ වන්ධ්‍යාකරණය බවත් ඔවුන් අපිට කියමින් සිටිති. එසේම මෙම ප්‍රශ්නය මතු කල සෞඛ්‍ය අමාත්‍යාංශ නිලදාරින්ගේ මවුවරුන් පවා මතක් කරමින් බැණ වදිති. සත්ව කරුණාව එතරම්ය.

මොවුන්ගේ සිත් තුල මිනිසුන් කෙරෙහිවත් නැති  කරුණාවක්  බල්ලන් ගැන පහල වූයේ මන්දැයි සෙවීම ඇත්තෙන්ම අපූරු කාරණාවක් බව ඇට මැස්සාට හිතුනේය. දඩාවතේ යන බල්ලන් අල්ලා ඔවුන්ව සැත්කමකට ලක් කර තුවාල හොඳ වෙන්නටත්  කලින් මුදා හැර දසදුක්  විඳින්නට හරිනවාට වඩා  ඔවින් කෙලින්ම මරා දැමීම හොඳ බව ඇට මැස්සාගේ පෞද්ගලික මතයයි.  

ඇටමැස්සා මුලින්ම සිතුවේ  බල්ලන් ඝාතනය කල හොත් වන්ධ්‍යාකරණ වැඩ පිලිවෙලින් අතට  ලැබෙන තුට්‍ටු දෙක නැතිවෙතැයි යන බිය නිසා මොවුන්ගේ සිත් තුල සත්ව කරුණාව පහල වෙන්නට ඇති බවයි. එහෙත් කාරණා සිදුවන්නේ එම පරිමාණයෙන් නොවන බව වැටහුණේ මෙම ඊනියා සත්ව අවිහිංසාවාදි එන්ජීඕ වලට ආධාර ලබා දෙන්නේ ග්ලැක්සො ස්මිත් ක්ලයින් වැනි බහුජාතික ඖෂධ සමාගම් බව හෙලි වූ විටය.

බල්ලෙක් සපා කෑ පුද්ගලයෙකුට විදින එන්නතේ වටිනාකම රුපියල් 5000 ක් පමණ වන අතර එක් අයෙකුට එන්නත් හයක් විදිය යුතුය. එවිට එක් අයෙක් වෙනුවෙන් මුලු වියදම රුපියල් 30,000කි. දිනකට 2000ක් දෙනා බල්ලන සපා කන්නේ නම්  GSK ලාගේ  ආදායම කොපමණ දැයි ඔබට ම සිතා ගත හැකිය. බල්ලන්ට මැරෙන්නට හැර ඒ විශාල ආදායම නැති කර ගන්නට ඔවුන් කැමති නැත. රටේ මිනිසුන් සිය ගනනින් බල්ලන් සපා මිය යෑම ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ.

බල්ලන් ඝාතනයට විරුද්ධව හඬ නැගීම සඳහා කසි කබල් NGO කීපයකට මෙම සමාගම් අත දිග හැර වියදම් කරන්නේ ඒ නිසාය.

 

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ලබාදෙන රෝහල් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පියවර ගෙන ඇතැයි  පසු ගිය දාක දිනමිණ පත්‍රය වාර්තා කර තිබිනි. මේ පියවර ගෙන ඇත්තේ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි බවද එහි වැඩි දුරටත් සඳහන්ය.  එතුමා සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයට රෝහල් ආහාර පරීක්ෂා කිරීමට කියා ඇත්තේ රෝගින් ට දෙන ආහාර අපිරිසිදු බවට පැමිණිලි ලැබීමෙන් පසුලු.

මේ ප්‍රවෘත්තිය දු‍ටු විට අපගේ නොදන්නා කමටදෝ ප්‍රශ්න කීපයක් අප හිතේ ඇති විය.ඒවා මෙසේය. පිලිතුරු බලාපොරොත්තු නොවෙමු.

1. තමාගේ අමාත්‍යාංශය යටතේ ඇති රෝහලක ආහාර අපිරිසිදු යැයි පැමිණිලි ආ විට ඇමති තුමා කල යුත්තේ ඒ ගැන සොයා බැලීමට අදාල නිලධාරින්ට ඒ පිලිබඳව නිල වශයෙන් දැනුම් නොදී වෘත්තීය සමීතියකට වැඩේ පැවරීමද?

2.  සෑම රෝහලකම රෝගීන්ට ලබා දෙන ආහාර ගැන සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙක් පත් කර සිටී. ඇමතිතුමා ඒ බව නොදනීද?

3. තමන් පරීක්ෂා කල රෝහල් 115 ම ආහාර පිලියෙල කිරීම පිලිබඳ ගැටලු ඇති බව ට සෞඛ්‍ය පරීක්ෂක සංගමය කියන්නේ තම සහෝදර නිලදාරින් හරියට රාජකාරි නොකරන බවද?

4. එසේ නම් මුලින්ම කල යුත්තේ තම සාමාජිකත්වයෙන් හරියට රාජකාරි කරන මෙන් ඉල්ලා සිටීම නොවේද?

5. තම රාජකාරි හරි හැටි ඉෂ්ට නොකල තම සාමාජිකයන් ගැන සංගමය ගන්නා පියවර කුමක්ද?

6.වෘත්තීය සමීතිය පැමිණ සොයා බලා වැරදි හමු වන තෙක් අදාලා රෝහල් බලධාරින් කුමක් කලේද?

7. අවශ්‍ය දේ නොකර  මෙවැනි බයිලා කීමෙන් ඔවුන් මුලා කිරීමට හදන්නේ කවුද?

ඇස්ට්‍රා මාගරින්වල එ3 අඩංගු ඊ 319  නමැති රසායනිකය නිසා කුඩා දරුවන්ගේ මොලයට හානි වෙන බව සොයා ගෙන ඇති බැවින් ඇස්ට්‍රා මාගරින් වලට යම් යම් තංහංචි පැනවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට ඇස්ට්‍රා මාගරින් අලෙවි කිරීමේදී පැකට්‍ටුවේ ” අවුරුදු තුනට අඩු දරුවන්ට නුසුදුසු යැයි සටහන් කළ යුතු බව සෞඛ්‍ය බලධාරින් පවසයි. එහෙත් අදාළ සමාගම මුහුණ පාන ප්‍රායෝගික ප්‍රශ්න වලට පිලියමක් ලෙස එම තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා මාස තුනක සහන කාලයක්ද ලබා දී තිබේ.

අනික් අතට මෙම රසායනිකය නිසා කහටගස් දිගිලිය මහෙස්ත්‍රාත් වරයා ඇස්ට්‍රා මාගරින් තම කලාපය තුල තහනම් කලේ මීට මාස හයකට පමණ කලිනි. එම නිසා තව දුරටත් සහන කාලයක් දීමට අවශ්‍යතාවක්ද නැතිව තිබියදී මෙසේ කිරීම නම් ගැටලු සහගහතය.

බහුජාතික සමාගම් ගැන මහා සත්ව කරුණාවක් පහල වී ඔවුනට සහන කාලයක් දෙත්දී එම කාලය තුල රෝගී විය හැකි දරුවන් ගැන කරුණාවක් පහල නොවීම   කොතරම් සදාචාරසම්පන්නදැයි අපට නම් නොතේරේ.

සෞඛ්‍ය බලධාරින්ගේ මෙම ක්‍රියාවෙන්ද  අපට පෙනී යන්නේ  ඔවුන් ජාතියේ දරුවන්ගේ සෞඛ්‍යයට වඩා කොම්පැනි වල සෞඛ්‍ය ගැන සිතන බවට ඇති මතය සත්‍ය බවයි. 

සටහන- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ගේ මෙම චක්‍රලේඛය පිලිබඳව අපේ මහා මානව හිතවාදි ජනමාධ්‍ය පමණක් නොව ඊනියා දේශප්‍රේමින් ද නිහඬය. ඒ ඔවුන්ගේ දේශප්‍රේමයේ  හා මානව ප්‍රේමයේ ස්වභාවයයි.

අපේ ඇමති මණ්ඩලය ප්‍රසිද්ධිය සඳහා  නානප්‍රකාර දේවල් කරයි. උදාහරණයක් ලෙස වීරමල්වංශ ඇමතිතුමා ලෙමන්පෆ් කකා උපවාස කරයි. සුසිල් තුමා පෙට්‍රල් වලට වතුර දමයි. ජොන්ස්ටන් තුමා බාල සිමෙන්ති ගෙන්වයි. ඇස්බීන් තුමා නම් හතර අතේ ගාගනියි. මේවා දකින ජහමනයා ආ! අර ඇමතිතුමාත් තාමත් ඉන්නවනේ කියා දැනගනී. දැනගෙන ප්‍රීති වෙති.
 
අපේ සෞඛ්‍ය ඇමතිතුමා මේ සඳහා නොයෙක් දේවල් අත්හදා බලා අන්තිමට ‍තෝරාගත්තේ  බනින එකය. මොකක් හෝ හේතුවක් හදා ගෙන කාට හරි  බැන්නේ නැත්නම් එතුමාට නින්ද යන්නේ නැතියයි කාට හරි හිතෙන තරමට එතුමා බනිනවාය.    එතුමා වැඩි පුර බනින්නේ තමන්ගේ කට්ටියටය.ඒ කියන්නේ තමන්ගේ පක්ෂයේ කට්ටියට හා අමාත්‍යාංශයේ කට්ටියටය. 
 
අර දේශප්‍රේමි වංශ ඇමතිතුමා වගේ බටහිරටයි, බෑන් කී  මූන් ටයි ,කොල්ලටයි, බල්ලටයි බනින්නේ නැතිය. ඒක නිසා මේ බැනිල්ලෙත්   හොඳක් තියෙනවාය. ඇත්තටම කියනවානම් හොඳ දෙකක් තියෙනවාය.
 
එකක් නම් අමාත්‍යාංශයේ සිද්ද වෙන වැඩ කිඩ රටේ ජනයා දැන ගැනීමය. අනික එතුමා ගේ වැඩ කිඩ රටේ ජනයා දැන ගැනීමය.
 
එතුමා අමාත්‍යාංශය ගත්ත ගමන් හිටපු ඇමතිතුමාගෙ කාලය ගැන කියමින් බැන ගෙන බැන ගෙන ගියේය. මිනිස්සු නම් ඒකට කිව්වේ ඔය කෑ ගහන්නේ අගමැති පු‍ටුවට පොරකන හින්දාය කියලාය. හැබැයි එහෙම බනින කොට  තමන් මේ බනින්නේ තමන්ගේ පක්ෂයේම කෙනෙකුට කියලා එතුමාට අමතක වුනේය.
 
මේ මෑතකදී එතුමා තමන්ගේම ලොක්කාට ත් බැන්නේය. හැබැයි වහෙන් ඔරෝ භාශාවෙන්ය. මම කොන්ත්‍රාත් කාරයින්ගෙන් තේ කෝප්පයක්වත් බීලා නැතිය. මගේ පවුලෙ කවුරුවත් දේශපාලනේට ගෙනාවේ නැතිය ආදි වශයෙන් බැන්නේ වදින කෙනෙකුට වදින්න වගේ වුනත් ඒ වගේ කතාවලින් වැඩිපුරම වදින්නේ කාටද කියලා රටම නෙවේ ලෝකෙම දන්නවාය.
 
මේ දවස් වල එතුමා සිරිතක් වශයෙන් තමන්ගෙම අමාත්‍යාංශයේ නිලදාරින් දූෂිතය, හොරවැඩ කරනවාය, බාල බෙහෙත් ගේනවාය, ගොඩ නැගිලි කොන්ත්‍රාත් වලින් හොරා කනවාය ආදි වශයෙන් ‍රැස්වීම් වල කියන්නේය, පත්තර වලට ලිපි ලියන්නේය, ඉන්ටවීව් දෙන්නේය. මේ බනින බනින වාරයක් පාසා අපි මේ නිලදාරි හැත්තට ශාප කරමින් මේවා හෙලි කරන ඇමතිතුමාට චියර් කරනවාය.
 
හැබැයි මේ බනින්නේ ඒ නිලධාරින්ගේ ලොකුම ලොක්කා වන ඇමතිතුමා බව අපි අමතක කරමු. තමන්ගේ නිලදාරින් හොරකම් කරන කොට ඒක නවත්තන්නේ නැතිව , වැරදි කරන නිලදාරින්ට දඬුවම් නොකර පත්තරවල පි‍ටු පිරෙව්වාට වැඩක් නැත.
 
ඒකෙන් පේන්නේ ඇමතිතුමාට අමාත්‍යාංශය ඇතුලේ හරියට පාලනයක් කරගන්න බැරි බවය. නිලදාරින් තමන්ට ඕනෑ විදියට වැඩ කරන බවය. කොටින් කිව්වොත් ඇමති තුමා දුර්වලයෙක් බවය.
 
ඒ වගේම පක්ෂයේ අය හොරකම් කරනවානම් , ඥාති සංග්‍රහ කරනවානම් පක්ෂයේ මහ ලේකම් විදියට එතුමා ඒවා හොයා බලා අවශ්‍ය පියවර ගන්ට ඕනේය. එහෙම නැතිව ඒවා ගැන තැන් තැන් වල වහෙන් ඔරෝ කතා කීමෙන් පෙනී යන්නේ පක්ෂයේ ලේකම් වැඩේත් හරියට නොකරන බවය.
 
ඒ අනුව අපේ අවසාන නිගමනය  වන්නේ ඇමතිවරයෙක් විදියටත් දේශපාලකයෙක් විදියටත් එතුමා දුර්වලයෙක් බවත් සම්පූර්ණයෙන්ම  අසමත් බවත් ය.
 
සටහන-  හැබැයි ඒ දුර්වල කම හා අසමත් වීම නිසා එතුමා තමන් අගමැති කමට නම් ගැලපෙන බව ඔප්පු කර ඇත. මක් නිසාද යත් විජේතුංග තුමාගෙන් පසු දිගටම අගමැති කමේ හිටියේ ඒ කැටගරියේ අය නිසාය.
 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ මිල දී ගැනීම් වලදී මහා පරිමාණ වංචා දූෂණ සිද්ද වෙනවා ලු. බොහෝ නිලදාරිනුත් මේ වැඩේට හවුල්ලු.

 මෙහෙම කියන්නේ වෙන කවුරුත් එහෙම නෙවේ අති ගරු සෞඛ්‍ය ඇමතිතුමා මයි. එතුමාම එහෙම කියනවා නම් බොරු වෙන්න බැහැනේ. සාමාන්‍යයෙන් ඇමති තුමාල බොරු කියන්න්නේ නැහැනේ.

අනික  මේ ගරු ඇමති තුමා එහෙම දූෂණ වංචා තියෙනවා කියලා සද්දේ දාලා නිකම් හිටියේ නැහැ. ( ඈ …. එහෙනම් උන්දෑ ඒ වංචාවලට හවුල් නිලදාරින්ට දඬුවම් කරන්නත් ඇති නේද? නෑ නෑ අහගන්නවකෝ පනින්නේ නැතිව)එතුමා මේ වංචා නතර කරන්න ක්‍රමයක් හොයා ගෙන.
 
එතුමා කියන්නේ දූෂන වංචා වෙන්නේ අපේ රටේ තියෙන ටෙන්ඩර් ක්‍රමේ නිසා කියලා. ඒ නිසා එතුමා දැන් ඖෂධ මිලට ගන්න යන්නේ ටෙන්ඩර් නැතිව කෙලින්ම. මෙච්චර සීමා නීති දාලා තියෙන ටෙන්ඩර් ක්‍රමේ අස්සෙනුත් රිංගලා ගිහින් හොරකම් කරන නිලදාරි ටෙන්ඩර් නැති වුනාම කොහොම කරයිද කියලා අහන්ට එපා.
 
අපේ ඇමති තුමා ඒකටත් ක්‍රමෙයක් ලෑස්ති කරලා තියෙන්නේ. ඒ වැඩේ දැනටමත් ක්‍රියාත්මකයි. ඒ ක්‍රමෙට බෙහෙත් ගන්න පහුගිය දාක ඇමතිතුමාම ගියා ඉන්දියාවට නිලදාරි ගොන්නකුත් එක්ක.
හරි, දැන් මොකක්ද ඔය ක්‍රමේ.
 
ඇමති තුමා කියන විදියට මීට පස්සේ බෙහෙත් ගන්නේ ඉන්දියාවෙන් , ආණ්ඩු දෙකක් අතර සිද්ද වෙන ගනු දෙනුවක් විදියට. එතකොට කොමිස් සෙල්ලම් දාන්න බැරිලු.
 
කොමිස් ගැහිලි නතර වෙනවා නම් කමක් නැහැ , මොන විදියකින් හරි . ඒක හොඳ වැඩක්නේ. අපි හොඳ දේට හොඳයිකියන්න එපැයි.
ඒත් අපිට පොඩි පොඩි ප්‍රශ්න කීපයක් නම් මතු වෙනවා.
 
ඇයි මේ වැඩෙට ඉන්දියාවම ‍තෝරාගත්තේ.?
 
ඉන්දියන් බෙහෙත් වල නියම ගුණාත්මක බාවය නෑ කියලා දැන් කාලයක් තිස්සේ පැමිනිලි තියෙනවා නේද?
 
ඒ වගෙම නියමිත ප්‍රමිතියක් නැති ඉන්දියන් බෙහෙත් තොග , කෝටි ගනන්  වටින තොග විනාශ කරන්න වුනා නේද පහු ගිය කාලේ.?
 
අන්තිම ඒත් වැදගත්ම ප්‍රශ්නේ.
 
දැන් ඇමතිතුමා අපිට කියන්නේ මේක රජයන් දෙකක් අතර ගනුදෙනුවක් විදියට සිද්ද වෙනවා කියලානෙ.
 
එහෙනම් අපිට කියනවාද ඔබතුමාලා ඔය බෙහෙත් මිලට ගන්න යන ඉන්දියන් ආන්ඩුවට අයිති කොම්පැනි වල නම්.
 
එහෙම බැරි නම් ඉන්දියන් ආන්ඩුවට අයිති එක බෙහෙත්  කොම්පැනියක හරි නමක් කියනවාද ,අපිට නිකම් දැන ගන්න එහෙම එව්වා තියෙනවා කියලා.