Posts Tagged ‘සරත් ෆොන්සේකා’

ඊස් මීස් නැතිව පිරුණු සෙනග වැලිකඩ හිරගෙදර හිට අලුත්කඩේ දිහාවට පෙලපාලියකින් යයි.කස්ටිය හුස්මක් කටක් නැතිව මහ හඬින් කෑ ගහයි. දාඩිය පොලු නහය උඩින් පෙරෙයි. හැම එකාගෙම අතේ පෝස්ටර් හා බැනර්ය.හැමෝගෙම හිත්වල ඇත්තේ සාධාරණ කෝපයකි. සාධාරණ කෝපයක් කෙනෙකුගේ හිතට එන්නේ අසාධාරණයක් දු‍ටු විටය.

හේතුව වීරයා හිරගෙට දැක්කීමය. කවුද වීරයා

වෙනින් කවුරුත් නොව ලෙනින් මොරායස් ජනරාල් සරත් ෆොන්සේකා තුමාය.එතුමා අද ජම්පරයක් ඇඳගෙන හිරබත් කයි. කාගේ නම් හදවත උණු නොවෙයිද සහෝ…

සමහරුන්ට ඔහු වීරයා වෙන්නේ තිස් අවුරුදු යුද්ධය හමාර කළ හමුදාපති වීරයා ලෙසය. තවත් සමහරුන්ට ඔහු සුඛ විහරණ හැර දමා ඒකාධිපති රාජාණ්ඩුවකට විරුද්ධව සටන් බිමට බැස්ස මහා ප්‍රජාතන්ත්‍රවාදි වීරයාය.  ඔය ආදි වශයෙන් තවත් නොයෙක් හේතු තියෙන්නට ද ඇත.එහෙත් වැදගත්  කොයි කොයි විදියෙන් හරි ඒ තුමා වීරයෙක් වීමය. මිනිස්සු ඒ තුමා වෙනුවෙන් පාරට බැස්සේ ඒ නිසාය.

පෙලපාලිය මග එන විට දුෂ්ට රාජපක්ෂ රෙජිමය එවූ පොලිස් කුලු පොලු වතුර කඳුලු ගෑස් හමුදාව මග ‍රැක හිටියේය. තුවක්කු උරුක් කොරගෙනය. තත්වය හරිම ටෙන්ෂන්ය. ජනතාවද අරින පාටක් නැත. තමන්ගේ වීරයා වෙනුවෙන් ඉදිරියටම යන්නට හිතා ගත් හැටියකි. ….

” අපි යන්නේ කොයි පාරේ .. පොන්සේකා ගිය පාරේ… , කරවු කරවු අපේ වීරයා නිදහස් කරවු… ” සටන් පාට දෝරේ ගලයි. මාර සීන් එකය.

එක් පසෙකින් දූලියෙන් නෑවී සටන් පාට කියමින් , පෝස්ටර් වනමින්  ඉදිරියට එන  හදවත රත් වූ , ජනතාවය. අනික් පසින් ගල් පිලිම ලෙස නොසැලී සිටින , කුලු පොලු, තුවක්කු, යකඩ තොප්පි, ගෑස් මුහුණු දාගත් පොලිස් හමුදාවය.

.  මේ මොන හත්තිලව්වක්ද? පොලිස් හමුදාව පසු බසියි. ඔවුන් දෙබෑ කරගෙන ආ ට්‍රක් රථයක්…  කරාස්….. මහ හඬින් බ්‍රේක් පාරක්  ගසා නවත්වයි. ට්‍රක් රථයෙන් කුණු හරුප කියාගෙන එලියට පනින්නේ  කඩු කිනිසි මැෂින් තුවක්කු අරගෙන, පච්ච වර්ණ බැනියම් ඇඳ  ලන්කට් එක පෙනෙන්නට ඇඳ සිටින සරම උස්ස්ගෙන ඉන්න මරුමුස් අය්යලා සැට් එකකි.

පෙලපාලි කස්ටියගේ හදවත් දිය වී ගියේ හිම කිරම කට ඇතුලේ දිය වෙන විදියටය. පොලීසිය එක්ක නම් මොකක් හරි බේරා ගන්න පුලුවන් .. ඒත් මේ මැරයෝ…පලා යමුද, සටන් කරමුද? දෙගිඩියාවක්

අන්න ඒ මොහොතේ මැරවර කණ්ඩායමේ ලොක්කා දෙකයි දෙකේ පොල්ලක් ද වනමින් , සරම කැස කවමින් ප්‍රාදුර්බූත විය….

අම්මට හුඩු… මොකාද බොල මේ ?

වෙනින් කවුරුත් නෙවේ ආයේ සැරයක් ලෙනින් මොරායස් …. අපේ යුද වීරයා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා….

(අපි තාම පෙලපාලි ගිය කස්ටිය හොයනවා.. දැක්කොත් කියන්න හොඳේ…)

ආදර්ශය- ජෙනරාල් ලා එක්ක බුදියා ගත් විට නැගිටින්නට වෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් ලා එක්කය.

Advertisements

ලබන සතියේ ජීනිවා මානව හිමිකම් කොමිසම ‍රැස්වෙන්නට තිබෙන අතරේ මේ සතියේදී ආණ්ඩුව ජාත්‍යන්තරව මාර පරාජයන් දෙකක්ම ලැබුවේය.

ආණ්ඩුව විසින් පසුගිය දවස් වල මහත් සේ උඩ දමමින් අගය කල ශවේන්ද්‍ර සිල්වාට ලැබුනු එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා කටයුතු පිලිබඳ උපදේශක කොමිටියේ සාමාජිකත්වය එහි ආරම්භක ‍රැස්වීමේදීම අහෝසි කර දැමීම ඉන් පලමු වැන්නයි.

මෙයින් අන්ද මන්දව සිටින ආණ්ඩුවේ හො‍රැනෑ මේ ගැන  ජනතාවට  කියන්නෙ මොනවාදැයි තවමත් කල්පනා කරමින් සිටින බවක් පෙනේ.

ඒත් සමග සිදු වූ අනිත් පරාජය නම් ආණ්ඩුව විසින් වසර දෙකක් තිස්සේ සිර කරගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවෙකු බවට පිලි ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කිරීමයි.

මෙම තත්වය තුල පෙනී යන්නේ 27 දා ආරම්භ වෙන මානව හිමිකම් කොමිසම් සභා වාරය ශ්‍රී ලංකාවට ගුණදායක නොවන බවයි.

රොබර්ටෝ බ්ලේක් පසු ගියදා ශ්‍රී ලංකාවටම පැමිණ ප්‍රසිද්ධීයේ ම කියා සිටියේ එයයි.

දැන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යමින් ෆොන්සේකා ප්‍රමුඛ ද්‍රෝහීන් කල  දේශද්‍රෝහි ක්‍රියාවට බැට දීම සඳහා වීරවංශලා හෙට අනිද්දා වේදිකා මත තප්පුලද්දි ගුනදාස අමරසේකරලාට  බටහිර කුමන්ත්‍රණ ගැන කියමින් නැවත වතාවක් පත්තර පි‍ටු ගනන් ලිවිය හැක.

ඉන්ධන මිල ඉහල දැමීමත් ඒ සමග ජීවන වියදම අහස උසට නැගීමත් නිසා ශීඝ්‍රයෙන් පිරිහෙන තම ජනප්‍රියතාව මෙම සිදු වීම් උපයෝගි කරගෙන රඳවා ගන්නට එම කුලී කරුවන් යොදා ගෙන ආණ්ඩුව උත්සාහ කරනු ඇත.

මේ ආණ්ඩුව සෑම විටම කලේ එයයි. ජාත්‍යන්තර වශයෙන් එන බලපෑම් රාජ්‍යතන්ත්‍රික මට්ටමින්  විසඳා ගන්නවා වෙනුවට එම සිදු වීම් රට තුල බාල ජනප්‍රියතාව ඇති කර ගැනීම සඳහා භාවිතා කිරීමයි.

මේ තාක් කල් එය යම් පමණකට  හෝ සාර්ථක වූයේ යුද ජයග්‍රහණයේ රස්නයත්  ඒ නිසාම ආර්ථික අමාරු කම් කෙසේ හෝ පිරි මහගැනීමට ජනයා කැප වීමත් නිසාය.

එහෙත් දැන් තත්වය වෙනස් වෙමින් තිබේ.

වීරවංශලා කොතරම් මොර දුන්නත් යුද ජයග්‍රහණ වේගයෙන් අතීතයට ඇදී යමින් පවතී. එසේම දීනෙන් දින වැඩි වන ජීවන බර දැනටම දරා ගත නොහැකි මට්ටම පැන ඇත. ඒ අතර තත්වය තවත් අමාරු කරමින් නෙලුම් කූලුනු වලට ප්‍රමුඛත්වය ලැබෙන්නේ ගම්බද පාසැල් සිය ගනනින් වැසී යද්දීය.රටේ මුලු මහත් ජනතාවම දේශප්‍රේමි ඇස් බැන්දුම් වලින් ‍රැවටිය හැකි මෝඩයන් නොවන බව ලඟ ලඟ දෙවතාවක්ම මේ රටේ ජනයා පෙන්වා තිබේ. ඒ විශ්‍රාම වැ‍ටුප් පනත් අරගලයේදී හා හලාවත ධීවර සටනේදීය.

ජීවන වියදම වෙනුවෙන් ඉදිරියේදී සටන් අනිවාර්ය වෙනු ඇති  අතර විශ්ව විද්‍යාල සේවකයෝ ඊයේ සිටම සටනේය.

ඒ අනුව ඉදිරි කාලයේ ආණ්ඩුවට බාහිර හා අභ්‍යන්තර වශයෙන් පෙරමුණු දෙකක සටන් කිරීමට සිදු වනු ඇත.

ජාත්‍යන්තර තලයේදී ආණ්ඩුවේ හැසිරීම නරක් වුවහොත් සම්බාදක පැනවීමක් දක්වා ඔවුන් යා හැකි අතර එවිට රට ඇතුලත සටනද වේගවත් වනු ඇත.

අනිත් අතින් අභ්‍යන්තර සටන්   මත මර්ධනය දියත් කලහොත් , එවිට නැවත වතාවක් ජාත්‍යන්තරය තුල ආණ්ඩුව හුදකලා වනු ඇත.

ආණ්ඩුවේ හා රාජපක්ෂලාගේ පාලනය රඳා පවතිනු ඇත්තේ මෙම පෙරමුණු දෙක තුලම ඔවුන් කොතරම් රාජ්‍ය තාන්ත්‍රික ලෙස හැසිරෙනවාද යන්න මතය.

දැනට පෙනෙන්නට තිබෙන ආකාරයට නම් ඔවුන්ගේ හැසිරීමට දිය හැක්කේ ලකුණු බිංදුවකි.

ලංකාවේ මහ නාහිමිවරුන් දෙකේ කොලේට වැටී ඇති ආකාරය  ගැන අපූරු ලිපියක් අද W3LANKA  ලියා තිබේ.

ජනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන මෙන් මහ නාහිමි වරුන් ආණ්ඩුවෙන් කල ඉල්ලීම මෙන්ම පක්ෂයේ නායකයා ලෙස කරු ජයසූරිය පත් කරගන්නා මෙන් උන්නාන්සේලා එජාපයෙන් කල ඉල්ලීමද එම දෙපිරිසම පයිසෙකටවත් ගණන් ගෙන නැත. මේ බුදුන්ගේ දේශයේ උන්නාන්සේලා වැටී ඇති තැන ගැන කතා කිරීමට එකෙක්ද නැත.

තමන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් තමන්ව එසේ හෑල්ලුවට ලක් කිරීම ගැන උන්නාන්සේලාටද වගේ වගක්  නැත . ඒ ගැන වචනයකින්වත් විරෝධයක් නැත.  මෙසේ තමන් පීචං කල දේශපාලකයින්ට උන්නාන්සේලා හෙටත් පිරිත් නූල් ගැට ගසනු ඇත.

බෞද්ධ නායක හිමිවරුන් එසේ පච වෙද්දී ක‍තෝලික සභාවේ කාඩිනල් මැල්කම් රංජිත් හිමිනම , තම නිකායේ ප්‍රේම් ළමා නිවාස සිදු වීමේදී එක පුවත් පත් සාකච්චාවකින් ආණ්ඩුව දණ ගැස්සවීම ගැන එළකිරි වෙබ් අඩවියේ හාස්‍යයට ලක් කර තිබිනි. එහි සඳහන්ව තිබුනේ කාඩිනල් කොන්ද කෙලින් තියා ගෙන සටන් කර ආණ්ඩුව පරාජය කළ බවය.

ඒ කථාව වැරදිය. ආණ්ඩුව බය වුනේ කාඩිනල්ගේ  උත්සව වර්ජනයට නොවේ. කාඩිනල් වරයා උත්සව වලට ආවත් නාවත් ආණ්ඩුවට කම් නැත. ආණ්ඩුව බය වුනේ එම කතාව කාඩිනල් ලවා කරවූ බලවේග වලටය. කාඩිනල් මැල්කම් රංජිත්  හිමිනම හා ක‍තෝලික සභාව  පි‍ටුපස සිටින්නේ  වතිකානය හා බටහිර රටවල්ය. උදේ හවා කට කම සෙයියාවක් නැතිව බටහිර බලවේගයන්ට බනින ජාතිමාමක , අධිරාජ්‍ය විරෝධී ආණ්ඩුවේ ලොක්කන්  බටහිරින් ආ ඉතා සුලු තර්ජනයක් ඉදිරියේ දණ නැමුවේ එසේය.වේදිකාවල උඩ පනිමින්  මොණරාගල බයියන් සමග කථා කරන දේශපාලනය අන්තර්ජාතික තලයේ වලංගු නැත. ඒ නිසා ආණ්ඩුව ඉතා නිවැරදි ලෙස , කාඩිනල් වරයාගේ පලමු තර්ජනය හමුවේම ,මෝඩ නිලධාරිනියක් ,හුදු ප්‍රසිද්ධිය උදෙසා කල මෝඩ කම ආපසු හරවා ගත්තේය.

තමන් පි‍ටුපසින් වතිකානුවක් තබා මල්වත්තේ නම් අස්ගිරිය හෝ අස්ගිරිය නම් මල්වත්තවත් නැති, දළදා මාලිගාවේ තේවාව ලබා ගැනීමටත් එකිනෙකාට විරුද්ධව නඩු කියන ,අපේ නායක උන්නාන්සේලා ගෙන් එවැනි වීරත්වයක් බලාපොරොත්තු වීම සම්පූර්ණයෙන්ම වැරදිය. එය ඉබ්බන්ගෙන් පිහා‍ටු ඉල්ලනවාක් බඳු දෙයකි.

උන්නාන්සේලා , කවුරුන් විසින් හෝ රවටනු ලැබු විට ඉඳ හිට ප්‍රකාශයක් දෙකක් කළත් එතැනි න් ඉදිරියට යාමට හැකියාවක්වත් උවමනාවක් වත් නැත. උන්නාන්සේලා දන්නේ දෙන දෙයක් කා බොන දෙයක් තිබේ නම් බී සැතපීම පමණි. ඒ ගැන දොසක් කීමට නොහැකිය.


ඌන ක්‍රියාකාරි ව්‍යාවසායන් හා ඌන උපයෝජිත වත්කම පනත මගින් රජයට පවරා ගත් සමාගම් ආපසු බාර දෙන්නේ නම් තමන් රජයට සහය දැක්වීම ගැන සලකා බලන බව එජාපයේ නායකයෙක් පසු ගියදා තිබුණි.

එජාපයේ මහත්වරුන් මේ කියන්නේ කුමක්ද?

එජාපයේ සියලු කටයුතු සඳහා සල්ලි පොම්ප කරන, එහි නායකයින්ට ගමන් බිමන් සඳහා හෙලිකොප්ටර් ලබා දෙන දයා ගමගේ ගේ දේපොල නිදහස් කර දෙන්නේ නම් මේ රජයේ අනිත් සියලුම ජනතා විරෝධී ක්‍රියා සඳහා සහය දෙන බව නොවේද?

ඒ අනුව සෙවණගල නිදහස් කර දෙන්නේ නම් , සරත් ෆොන්සේකා අවුරුදු තුනකට නොව තිහකට හිරේ දැමුවත් කම් නැත. එක්නැලිගොඩලා සිය ගනනින් අතුරුදහන් වූවාවේ. මාධ්‍ය නිදහස කම්මුතුකර දැමීම ප්‍රශ්නයක් නොවේ.ප්‍රජාතන්ත්‍රවාදය භංග වුනාවේ. වංචාව දූෂණය නාස්තිය ගැන කතා කිරීමටවත් අවශ්‍ය නැත. අපේ මිනිහාගේ දේපොල පවරා නොගන්නේ නම් ඒ සියල්ල අපි ඉවසමු. ඒවා වඩාත් හොඳින් කරගෙන යන්නට අපේ සහයත් දෙමු.

අරක්කු බාගයකට, රුපියල් සීයකට , බත් පැකට්‍ටුවකට ලුම්පනයින් කරන දේශපාලනයේත් එජාපයේ මෙම දේශපාලනයේත් ඇති වෙනස කුමක්ද?

අප යුද්ධයේ අනුගාමිකයන් නොවෙමු. මිනිසුන් එකිනෙකා මරාගන්නා යුද්ධ අපට අපුලය.

එබැවින් යුද්ධයේ වීරයින් වෙනුවෙන් පෙනී සිටීමට අපට කිසිම වුවමනාවක් නැත. වීරයින්ට වඩා අපගේ සැලකිල්ල යොමු වන්නේ යුද්ධයෙන් පීඩාවට පත් වූ අහින්සක ගැහැණුන් හා මිනිසුන් වෙතය.
2009 මැයි මස අවසන් වූ ඊලාම් යුද්ධයේ  ජයග්‍රාහක  පාර්ශවයේ නියමුවෙක් හා වීරයෙක් වන  ජෙනරාල් සරත් ෆොන්සේකා එම යුද්ධයේ ඔහුගේ සගයින් විසින්ම දැන් දඩයම් කරනු ලබමින් සිටියි.
එම යුද සමයේ ඔහු මහා වීරයෙකු වශයෙනුත් ,ලෝකයේ හොඳම හමුදාපති වශයෙනුත් අභිෂේක කල අය විසින්ම ඔහු දේශය පාවා දුන් ද්‍රෝහියෙකු ලෙස  හඳුන්වමින් සිටිති.
මේ වන විටත් ඔහුගේ සියලු තනතුරු හා සම්මාන පමණක් නොව විශ්‍රාම වැ‍ටුප පවා උදුරා ගෙන ඇත.

එකල ජෙනරාල් ෆොන්සේකා ඇතුලු පිරිස් විසින් දේශද්‍රෝහින් ලෙස නම් කළවුන් අද දේශප්‍රේමින් වන අතර  , ෆොන්සේකා හා ඔහුගේ සගයින් දේශද්‍රෝහින්ය.
ඉතා ඉක්මණින්ම මේ දේශද්‍රෝහි ජනරාල් වරයා පාර්ලිමේන්තුවෙනුත් නෙරපා සිරකුටියක් වෙත යැවෙනු ඇත.

මේ අවස්ථාවේ අප ජෙනරාල් වරයා වෙනුවෙන් පෙනී සිටිමු. ඔහුව නිදහස් කරන මෙන් බල කර සිටිමු. අප එසේ කරන්නේ ඔහු යුද විරුවෙකු නිසා නම් නොවේ. අප කලින් කියු පරිදිම යුද්ධය යනු අපගේ ප්‍රියතම විෂයක් නොවේ.

එසේනම් අප ජෙනරාල් වරයා වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි.

ජෙනරාල් ෆොන්සේකා අද බැට කමින් සිටින්නේ ඔහු යුද්ධයේ කල කී දෑ නිසා නොව යුද්ධයෙන් පසු ඔහු කළ දෑ නිසා බැවිනි.

මේ සියලු චෝදනා ඔහුට එරෙහිව  ඉදිරිපත් වන්නේ රට වැඩවසම් ,ඒකාධිපති පාලනයක් කරා ගෙන යමින් සිටි පිරිසකට එරෙහි වූ බැවිනි.

ඒ සඳහා ඔහුට ඔහුගේම පෞද්ගලික හේතු තිබුණු බව නොරහසකි. එහෙත් එය අපට අදාළ ප්‍රශ්නයක් නොවේ.

කුමන හේතුවක් මත හෝ , රට ආගාධයට ඇදගෙන යන දූෂිත තන්ත්‍රයකට එරෙහිව සටන් වැදීමට ඔහු ඉදිරිපත් වූ නිසා ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. වැදගත් වන්නේ එයයි.

අප ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ මේ ඉරණමට මුහුණ දෙන අන්තිමයා ඔහු ඔහු නොවිය හැකි බැවිනි. මේ වැඩවසම් පාලකයින්ට එරෙහිවන ඕනෑම කෙනෙකුගේ ඉරණම මෙය විය හැකි බැවිනි.

එම නිසා අප යුද වාදියෙකු නොවීම හෝ ෆොන්සේකා හිතවාදියෙකු නොවීම ඔහුගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමට බාධාවක් නොවේ.
අද අප එසේ නොකලහොත් හෙට දිනයේ ඔවුන් අප සොයා එන විට අප වෙනුවෙන් හඬක් නැගීමට, මාර්ටින් නිමොලර් කී ලෙසම, කිසිවෙක් ඉතුරු නොවනු ඇත.

සටහන- 2010 අගෝස්තුවේ අප ලියූ සටහනක් අද නැවත මෙසේ පල කරන්නේ උපන් දින තෑග්ගක් වශයෙනි.

 

1982 දී මෙරට ජනමත විචාරණයක් පැවතිණි. එහි අරමුණ වූයේ ඊ ලඟ වසරේදී පැවත්වීමට නියමිතව තිබුණු මහ මැතිවරණය පැවත්විය යුතුද නැත්ද යන්නයි. වෙනත් විදියකින්  කිවහොත් තම නියෝජිතයන් ‍තෝරාගැනීමේ අයිතිය තිබිය යුතුද නැත්ද යන්න මහ ජනතාව විසින් තීරණය කළ යුතුව තිබිණි.

එවකට පැවති එජාප රජයට අවශ්‍ය වූයේ 1977 පත් වූ පාර්ලිමේන්තුවේ කාලයම 1983 සිට  තව වසර 6 කට  දිගු  කර ගැනීමටය. 1977 මහ මැතිවරණයෙන් ලැබුණු හයෙන් පහක බලය තව දුරටත් තබා ගැනීමට එජාපයේ කපටි නරියා ජේ. ආර්. ට අවශ්‍ය ව තිබිනි. ඒ වන විට සම්ම ත කර ගෙන තිබූ අනුපාත ක්‍රමය අනුව 1983 දී මැතිවරණය පැවත් වුවහොත් එම තත්වය පවත්වා ගත නොහැකි බව ඔහු හොඳින් අවබෝධ කර ගෙන තිබිණි. ලාම්පු කළගෙඩි සෙල්ලම යනුවෙන් ප්‍රසිද්ධ වූ  ජනමත විචාරණය  ඔහු  කැඳවූයේ ඒ අනුවය.

සිදූ බොහෝ අක්‍රමිතා , මැරකම් මැද  මෙරට බුද්ධිමත් ජනතාවගෙන් සෑහෙන ප්‍රමාණයක්ද  තමන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය එපා යැයි චන්දය  භාවිතා කර තිබිණි.  ජේ ආර් ට හයෙන් පහ දිගටම  හිමි වූ අතර චන්දය දුන් නොදුන් සියලු දෙනාට එහි විපාක විඳීමට සිදු විය.
 
83 කලු ජූලිය, ජවිපෙ තහනම, ඊලාම් යුද්ධය, ජවිපෙ කැ‍රැල්ල, ආදිය ඒ අමන තීන්දුවේ ප්‍රතිඵල ලෙස ජනතාවට ලැබිනි.
 
ඇට මැස්සාට මේ අතීත සිදු වීම මතක් වූයේ මේ දිනවල පවත්වන කොලඹ නගර සභා චන්දය ගැන සිතන විටය.
එකම ආකරයෙන් නොවුනත් එම සිදු වීම් දෙකෙහිම  යම් සමානතාවක් ඇත.
   කොලඹ නගරයේ වතු වල  වෙසෙන අඩු ආදායම් ලාභි ඔවුන් නිවෙස් වලින් පළවා හැර එම ඉඩම් අත් පත් කරගෙන ඒවා විදේශිකයන්ට විකිණීමට සියල්ල සූදානම්ය. මේ වන විටත් කොලඹ සමහර වතුවලින් පලවා හැරි ජනතාව තාවකාලික ලී මඩු තුල දහදුක් විඳිමින් සිටිති.
 
ඒ සියල්ල තිබියදී තමන්ට චන්දය දෙන මෙන් ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටිති. එනම් ජනයා ඔවුන්ගේ නිවෙස් වලින් පලවා හරින්නට තමන්ට බලය දෙන්නැයි එම නිවෙස් වලින් පලවා හැරීමට නියමිත ජනතාවගෙන්ම ආණ්ඩුව ඉල්ලමින් සිටිති.
 
ජනතාවගේ ඉඩම් කොල්ල කන සැලසුම් එසේම තිබියදී , තමන් ජනතාව ඔවුනගේ නිවෙස් වලින් එලවන්නේ නැතැයිද , ඔවුන්ට තට්‍ටු ගෙවල් දෙන්නේ යැයිද හත් අතේ දිවුරා පොරොන්දු වෙති.
 
එහෙත් මේ පොරොන්දු දෙන්නේ ,2010 ජනපතිවරණයේදී සරත් ෆොන්සේකා රුපියල් 10,000 ක වැ‍ටුප් වැඩි වීමක් දෙන්නේ යැයි පොරොන්දු වන විට තමන් ඉ‍ටු කිරීමට නොහැකි එවන් පොරොන්දු නොදෙන බවත් තමන් බලයට පත් වුවහොත් රුඉපය්ල් 2500 කින් වැ‍ටුප් වැඩි කරන බවටත් පොරොන්දු වී පසුව තමන් එසේ නොකී බව කියන නායකයන්මය.
 
සටහන- ඒ සියල්ල මැද ජාතියේ ලොකු පුත්‍රයා කියා සිටින්නේ තමන්ට චන්දය නොදුන්නොත් ජනයා කොහේට හෝ ගිහින් දමන ලෙස තම පියාට කියු බවයි.
 

පාවිච්චි කලාට පසු කොන්ඩම් එකෙන් වැඩක් නැත. ඉවත දැමිය යුතුය. මේ ආණ්ඩුව තමන්ගේ මිතුරන්ට සලකන්නේ කොන්ඩම් තියරියට අනුව යැයි බොහෝ දෙනා කියති.

රාජපක්ෂලාට  බලයට ඒමට උපකාර කළ බොහෝ දෙනෙක්  රාජපක්ෂලා විසින් ඉවත විසි කරනු ලැබ සිටිති. මංගල සමරවීර, විජේදාස රාජපක්ෂ, සරත් සිල්වා, යුදය දිනා දුන් ජෙනරාල් ෆොන්සේකා,ආදිය මේ අතර ප්‍රමුඛ වේ.

එසේම 2005 දී මහින්ද බලයට ගෙන ඒමට අති විශාල කාර්ය භාරයක් කල ජවිපෙටද ආණ්ඩුව සැලකුවේ ඒ අකාරයෙන්ම  බව අපි මේ තාක් වෙන තුරු සිතා සිටියෙමු.

එහෙත් එය එසේ නොවන බවත් , කළ ගුණ  සැලකීම් ආදි උතුම් ගුණාංග මේ තවමත් තිබෙන බව  ආණ්ඩුවේ ප්‍රබල ඇමත්තෙක් වන නිමල් සිරිපාල ඊයේ පෙරේදා කියු කතාවකින් ඔප්පු විය. එපමණ්ක් නොව ඒ බව ක්‍රියාවෙන්ද ඔප්පෙ කරමින් සිටියි.

එතුමා කිව්වේ  ජනතා විමුක්ති පෙරමුනෙන් ඉවත් වන අයට කැලෑ වදින්නට ඉඩ නොදෙන බවයි. ජවිපෙ කට්ටියක් කැලෑ වදින්නට ඉන්නවා යැයි එතුමාට කිව්වේ වීරවංශ දැයි අපි නොදනිමු.

ඒ කෙසේ වෙතත් කැලෑ වදින්නට නම් කැලෑ තිබිය යුතුය. කැලෑ නැත්නම් කැලෑ වදින්නේ කොහාටද?

 ඒ අනුව ජවිපෙ කට්ටිය කැලෑ වැදීම නතර කිරීමට ඇති හොඳම මාර්ගය කැලෑ නැති කිරීමය. දුප්පත් කම නැති කිරීමට දුප්පතුන් නැති කරනවා වැනිය.
 
ජාතියේ ලොකු පුතාගේ අනුග්‍රහයෙන් සිංහරාජය විනාශ කිරීම පටන්ගන්නේ ජවිපෙ කැලෑ වැදීම නතර කිරීමටය.  සෝමාවතියේ අක්කර දහස් ගණන් කැලෑ විනාශ කර කෙසෙල් වවන්නේත් ඒ නිසාය.
 
මේ ආකරයට ලංකාවේ ඇති කැලෑ සියල්ල විදේශ සමාගම් වලට බදු දුන් පසු ජේවීපී කාරයින් කැලෑ වැදී හමාරය. ආන්ඩුව ජවිපෙට කල ගුන සලකන්නේ එසේය.