Posts Tagged ‘විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය’

ආණ්ඩුව උසස් පෙල ප්‍රතිපලයද  අනා ගෙන හතර අතේ ගා ගෙන රටම ගඳ ගස්සමින් නිකුත් කර තිබේය.  ප්‍රතිපල ෆුල් අවුල්ය. දිස්ත්‍රික් මට්ටම (රෑන්ක්) අඩු සිසුන් රටේ මට්ටම ඉහලින් ලැබී ඇත. ප්‍රතිපල අඩු සිසුන්ගේ ඉසැඩ් අගය වැඩියෙන් ලැබෙද්දී ප්‍රතිපල වැඩි සිසුන්ගේ ඉසැඩ් අගය අඩු වී ඇතිය.

කලා සිසුන්ට ගණිත ප්‍රතිඵල ලැබේ. ඩයලොග් හා මොබිටෙල් වලින් ලැබුණු ප්‍රතිඵල දෙවිදියක් බව සමහර වෙබ් අඩවි වාර්තා කර තිබුනේය.
විභාගය පවත්වා මාස හතරකට පසු නිකුත් කළ ප්‍රතිපල එහෙමය.

මේ ප්‍රතිපල නිකුත් කිරීම බාරව තිබුනේ ලේසි පාසු පුතයන්ට එහෙම  නොවේය.

එකෙක් ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පමනක් නොව උන්ගේ ආච්චිලාටත් උගන්වන කොන්ත්‍රාතුව බාර ගෙන සිටින ඇස්.බී දිසානායක තුමාය. අනිකා ලෝකයේ සිටින දෙවැනියට හොඳම  අධ්‍යාපනඥයා වන බන්දුල ගුණවර්ධන තුමාය. ( පලමු වැනියා  මේ මෑතකදී ලංකාවේ අධ්‍යාපනය  ගැන දුක හිතී ආණ්ඩුවට හේත්තු වූ ග්‍රේරෝ තුමාය.)

වැරද්ද කොම්පියුටරේ බවත්, ජ්‍යාමිතික සූත්‍ර සියල්ල කොම්පියුටරයට කවා ගනනය කල බවත්  ඇස් බී ඇමතිවරයා දැනටම කියා ඇති නිසා විභාග දෙපාර්තමේන්තුවේ කොම්පියුටර් වලට හොඳ දඬුවමක් ලඟදීම ලැබෙනු ඇතැයි සිතිය හැකීය. විභාග ප්‍රතිපල ජ්‍යාමිතියෙන් ගනනය කලේ කොහොමදැයි දන්නේ ඇස් බී තුමාත් අනුර එදිරිසිංහ මහතා තුමාත්  පමණක්ය.

මෙතැන ඇති වූ ප්‍රශ්නය විභාග දෙකක ප්‍රතිපල එක ඉසැඩ් පරිමානයකට ගැනීම බව තව කවුදෝ උත්තමයෙක් කියා තිබුනාය. ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න ගත්තේ විභාගය පවත්වා මස හතරක් ගත වූවාටත් පසුව විය යුතුය.අඩුම තරමේ විභාගය පැවත් වූ දවස් වල වත් ඔය ගැන හිතුවා නම්   ඔතරම් කඩිමුඩියේ ජ්‍යාමිතික සූත්‍රවලින් විභාග ප්‍රතිපල ගනනය කරන්ට වෙන්නේ  නැතිය.

කොහොම වෙතත් මේ සැරේ උසස් පෙල ප්‍රතිපල වලින් අපි ආස්චර්යය කරා යන ගමනට හොඳ   තල්ලුවක් ලැබී ඇත. අපි ලංකාව ලෝකයේම ආශ්චර්ය  කරන්නේ එහෙමය.

ඔබට සුභ අනාගතයක්

Advertisements
අපේ රටේ සිටින විහිළුකාර දේශප්‍රේමීන්ට අනුව මෙහෙ සිද්ද වෙන සෑම දෙයක්ම වෙන්නේ බටහිරයන්ගේ කුමන්ත්‍රණ නිසා ය. මේ බටහිරයන්ට වෙන කිසි වැඩක් නැත. උන් උදේ නැගිට්ට වෙලේ හිට කරන්නේ ලංකාවට විරුද්ධව එක එක ජාතියේ කුමන්ත්‍රණ කොරන එකය.
උන් ලංකාවට පුදුමාකාර ලෙස ඊරිසියා කොරති. ඒ නිසා නොයෙක් කුමන්ත්‍රණ කරමින් ලංකාව විනාශ කිරීමට පැලෑන් ගසති. මේ කුමන්ත්‍රණ වලට ලංකාවේ සිටින දේශද්‍රෝහින්ද උදව් කරති. ලංකාව ඇතුලේ සිටින මේ දේශද්‍රෝහීන් අවජාතකයින් බවද පෙරමුණේ රාල ඇතුළු සුපිරි දේශප්‍රේමින් විසින් සොයාගෙන ඇත.
 
මේ දේශප්‍රේමින්  පහු ගිය කාලයේ එලි කල කුමන්ත්‍රණ රාශියකි. බෑන් කී මූන්  කුමන්ත්‍රණ, දරුස්මාන් කුමන්ත්‍රණ, චැනල් 4 කුමන්ත්‍රණ, පාන් පිටි කුමන්ත්‍රණ , හාල් පිටි කුමන්ත්‍රණ පමණක් නොව පහු ගිය කාලයේ ගංවතුරට කොළඹ යට වුයේද එක්දහස් අටසිය ගණන් වලදී සුද්දන් කල කුමන්ත්‍රණයකින් බව මොවුන් විසින් සොයා ගෙන තිබිණි.
 
මොවුන්ට අනුව , තම අර්ථ සාධක මුදල් කොල්ලයට එරෙහිව කම්කරුවන් පාරට බැසීමද බටහිර කුමන්ත්‍රණයකි. වැඩි වැටුප් ඉල්ලා සරසවි ඇදුරන්  වර්ජනය කිරීම බටහිර බලවතුන් හා එක්ව උන්ට රට ජාතිය  පාවා දීමට කරන මහා කුමන්ත්‍රණයකි.
 
මේ කුමන්ත්‍රණ න්‍යායචාරින්ට වැඩේ වැරදුනේ ආසනික් කුමන්ත්‍රණයක් ගැන එලි කිරීමට ගිය නිසාය. දැන් මේ දේශප්‍රේමී කට්ටියගේ ආණ්ඩුව කියන විදියට එම ආසනික් ගැන   නාථ  දෙවියන්ගෙන්  අසා  රටට  කී ඊනියා  දේශප්‍රේමින් ද  රට සහලින්  ස්වයංපෝෂිත   වෙනවාට විරුද්ධ කුමන්ත්‍රණ කාරයින්  පිරිසකි.
 
කොහොමින් කොහොමින් හරි මේ ආසනික් කතාවත් පටලවාගෙන  ගෙන පොහොර සහනාධාරයටත් වැඩේ දුන්නේය. පෙනෙන්නට තිබෙන හැටියට නම් මෙතන වී ඇත්තේ බාර දුන් කොන්ත්‍රාත්තුවක් පටලවාගෙන වැඩේ ඇද ගෙන  නා ගැනීමකි.
 
නලින් ඇතුළු චින්තන නඩේටත්, විකටවංශ ඇතුළු උපවාස නඩේටත් බාර  වූයේ පොහොර සහනාධාරය කපා දැමීම සඳහා අවශ්‍ය ජන මානසිකත්වය සූදානම් කර දීමයි. ඊනියා ජාතික චින්තන වලින් හා තවත් මතවාද වලින් ඔද්දල් වීඇති මේ පුංචි ටිකිරි මොළ ටික තමන්ගේ හූනු බිජ්ජක් තරම් වෙන මොළවලට තේරෙන පරිදි  ජනතාවට පොහොර භාවිතය  එපා  කිරීම  සඳහා    වෙන දේශප්‍රේමී  වැඩ සටහන වශයෙන්  තෝරා ගත්තේ මේ ආසනික් කතාවයි. දැන් මේ කතා කාරයින්ට සිදු වුනේ  ඔවුන්ම මෙතුවක් කල් අනුන්ට කුමන්ත්‍රණ ලේබල් අලවමින් සිටි ඔවුන්ම කුමන්ත්‍රණ කාරයින්  වී ආසනික් බිවු රිලවුන් ලෙස බලා සිටීමයි.
 
ආසනික් කුමන්ත්‍රණය එසේ රිලා නැටුමක් බවට පත් වෙද්දී  අපේ රට ගිල ගැනීමට මාන බලා සිටින මේ බටහිරයන් ගේ හා උන්ට කත් අදින මෙරට අවජාතක  දේශද්‍රෝහීන්ගේ අලුත්ම කුමන්ත්‍රණයක් ගැන මහා සොයා ගැනීමක්   පසු ගිය ඉරිදා දිවයින  එලි කර  තිබිණි.
 
බලාගාර 5 ක්‌ එකවරම අක්‍රිය වීම කුමන්ත්‍රණයක්‌”
 
මෙහෙම කියන්නේ වෙන කවුරුත් නෙවේ, ලංකාවේ විදුලි බල බාර ඇමති වරයාද  අපට සිටින අංක එකේ දේශප්‍රේමී සිල්වතුන් කීප දෙනාගෙන් කෙනෙක්  ද වෙන  රණවක  තුමාය. ආයේ නම් කිසි දවසක ලයිට් කපන්න වෙන්නේ නැතැයි ද රට අඳුරේ සිටි කාලය අහවර  යැයිද   පහු ගිය දවස් වල පාරම් බෑවෙද මෙතුමාමය.
මේ තුමා ලා පහු ගිය කාලය පුරාවට හොරෙන් හොරෙන් විදුලිය කපා දැමු අතර එය ජනතාවට එළිදරවු වූ වී  , කටේ නරි වාදම් රෙද්ද පල්ලෙන්  පෙරෙන විට තමන්ගේ අසමත් කම් වසා ගන්නට ,භාවිතා කරන වචනය නැවත වතාවක්  තටමන්නට  පටන් ගෙන තිබේ. 
 
“කුමන්ත්‍රණ, කුමන්ත්‍රණ, කුමන්ත්‍රණ, කුමන්ත්‍රණ, ………………..”
 
සටහන- මේ අනුව කුමන්ත්‍රණ යනු මෙරට පාලකයින්ට ඕනෑම ජනතා විරෝධී ක්‍රියාවක් හෝ තමන්ගේ අසමත්  කමක් සාධාරනී කරණය කිරීමට භාවිතා කරන මන්තරයක් බවට  පත්ව තිබේ. පාලකයින් වශයෙන් තමන්ගේ ගැලවිජ්ජාවට යමක් හොයා ගත යුතු බව සැබෑය. ප්‍රශ්නය වී ඇත්තේ මේ ගල් පැලෙන මුසාවාද  ගෙඩි පිටින්  ගිල දැමීමට සූදානම් පිරිසක් සිටීමය. ඔවුන් මේ මුසා වලින් කොතරම් වශී වීඅත්දයි දන ගැනීමට අවශ්‍ය නම් ඔබ කල යුත්තේ සී නිව්ස් වෙබ් අඩවියට හෝ පෙරමුණේ රාල වැන්නවුන්ගේ වර්ගවාදී බ්ලොගයකට හෝ ගොස් මොවුන් දමන කොමෙන්ටු කියවීමයි.
 


කාලයක් අපේ රටේ සිංහල ජනතාව අතර දේශප්‍රේමියෙකු මෙන්ම ජාතික වීරයකු වශයෙන්ද සැලකුම් ලැබූ ජනරාල් සරත් ෆොන්සේකා අද දේශද්‍රෝහියෙකු වශයෙන් නම් කර සිර ගත කර දමා ඇත. ලංකාවේ වීරයන් දුෂ්ටයන් බවට හා දුෂ්ටයන් වීරයන් බවට මෙන්ම , දේශප්‍රේමින් දේශද්‍රෝහීන් බවටත් දේශද්‍රෝහීන් දේශප්‍රේමින් බවටත් පත් කිරීමට ගත වන්නේ ඉතා සුළු කාලයකි.

මෙහි කෙනෙකු ද්‍රෝහියෙකු හෝ වීරයෙකු බවට තීරණය කෙරෙන්නේ ඔහු කොතරම් දුරට පාලකයින්ට දණ නමස්කාර කිරීමට සූදානම්ද යන්න මතය.

යම් කෙනෙකුන් පාලක රෙජීමයට එරෙහිව යන්නේ නම් හෝ ඔවුන් ව විවේචනය කරන්නේ නම් එම පුද්ගලයා දේශද්‍රෝහියෙකි, පාවාදෙන්නෙකි, බටහිර අධිරාජ්‍ය වාදීන්ගේ අත කොලුවකි, NGO කුමන්ත්‍රණ කරුවෙකි, දුෂ්ටයෙකි, බෑන් කී මූන්ගේ ඒජන්තයෙකි, සොරෙකි , මිනීමරුවෙකි,පිශාචයෙකි,………………………..

පාලකයින් ගේ අත්තනෝමතිකත්වය , ඒකාධිපතිත්වය , දූෂණ , වංචා ආදියට එරෙහිව යමෙකු හඬ නගන්නේ නම්, එම හඬ නගන්නාට එරෙහිව ඉහත නාම කරනයන් යොදා ගනිමින් තදින් පහර දීමට සූදානම් පිරිසක් සිටිති. මාධ්‍ය භාවිතය ගණිකා වෘත්තියේ යොදවන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ගොන්නක්ද , ආණ්ඩුවේ විවේචකයින්ට දේශද්‍රෝහී ලේබලය අලවමින් ඔවුන්ව දන් ගෙඩියට දැක්කීමට සහය දෙන හා ඒ වෙනුවෙන් මහජන මුදල් තම සැප විහරණයට යොදා ගැනීමට අවසර ලබා සිටින හිටපු ඊනියාවිප්ලවවකාර හා අද විහිලු කාර උපවාසවංශලාත් , උපවාසවංශ ලාගේ එල්ලී ඒ පිහිටෙන් රජ සැප විඳින දේශහිතෙෂි දත් දොස්තරලාත් බෙන්ස් කාර් වල නැගී වේගයෙන් ධර්ම රාජ්‍ය කරා යමින් සිටින ගණින්නාන්සේ ලා හා තට්ටේ බාගෙන සිටින ඇබිත්ත කොලුවනුත් ඒ අතර ප්‍රධානය.

දේශීය වශයෙන් මෙවැනි ද්‍රෝහියෙකු සොයා ගත නොහැකි නම් විදෙස් රාජ්‍ය නායකයෙකු, අන්තර් ජාතික සංවිධානයක නායකයෙකු වැනි ඕනෙම කෙනෙක් අල්ලාගෙන පතුරු ගැසීම මොවුන්ගේ සිරිතය . ජනතාවගේ සිත් තමන් පෙලන සැබෑ ප්‍රශ්න වලින් ඉවත් කර දේශප්‍රේමයේ ගිල්වා තැබීම මුන්ට පැවරී ඇති වගකීමය.

දේශීය වශයෙන් ආණ්ඩුවේ විවේචකයන් වන ජවිපෙ , එජාප, ෆොන්සේකා වැන්නවුන් පමණක් නොව නොර්වේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය , බෑන් කී මූන් , දරුස්මාන්, හා ඇමෙරිකාව ද මොවුන්ගේ ප්‍රහාරයට ලක් වන්නේ මේ නිසාය. මෙම ප්‍රහාර එල්ල කරන තරමටය මොවුන්ගේ කුස පිරෙයි. බැංකු ගිණුම් තර වේ.

පහර දීමට කිසිවක් හෝ කිසිවෙක් සොයා ගත නොහැකිනම් මොවුන් තම සිතෙන් මව ගත සතුරෙකුට හෝ පහර දී ජනතා අවධානය ඒ වෙත යොමු කිරීමට උත්සාහ ගනිති. මේ දින වල ඔවුනගේ සතුරා වී ඇත්තේ ආසනික්ය. විදෙස් සවාරි ලැබේ. මොවුන් අතර සිටින එක දේශ හිතෙශියෙක් තමන් පොදු දේපල කිසිවක් තම පෞද්ගලික පරිහරණයට නොගන්න බවත් , අඩුම තරමෙන් රජයේ වාහනයක්වත් භාවිතා නොකරන බවත් , රාජකාරි සඳහා ගමන් කරන්නේ පවා දුම්රියේ බවත් නිතර කියයි. එහෙත් සං විධානයට ලැබෙන මුදලින් සුඛෝපභෝගී දිවියක් ගත කරයි.

මා මේ ඊනියා දේශප්‍රේමින් මොන විදියේ මිනිසුන්දයි මෙසේ ලිව්වේ ඔවුන් විසින් පතුරු ගැලවීමට සියලු සුදුසුකම් සපුරා සිටින අලුත් ද්‍රෝහියෙකු ගැන කියන්නටය. ඒ අන් කිසිවෙක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ය. ඔහු පසුගියදා ලෝර්ඩ්ස් හිදී කල සුප්‍රකට දේශනයේදී, කුමන හෝ හේතුවක් නිසා, ලංකාවේ ක්‍රීඩා පරිපාලනය දැඩිව විවේචනය කළේය.

ඔහු එය කලේ කුමන හේතුවක් නිසාදැයි අපි නොදනිමු . එය වැදගත් නැත. කුමන හෝ හේතුවක් නිසා ඔහු තමන් පෙම් කරන ක්‍රිකට් වෙනුවෙන් සටන්වදින්නට තීරණය කර ඇත. ඔහු එය කලේ එහි ඇති අවදානම නොදැන විය නොහැක.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීයකරණය වීම නිසා විනාශ වෙමින් පවතින බව ඔහු තම දේශනයේදී අවධාරණය කල අතර එය පැහැදිලිවම රටේ පාලකයින් වෙත එල්ල කල අභියෝගයකි. ඔහු නොබියව එම අභියෝගය එල්ල කලේ පාලකයින්ට අභියෝග කල ජනරාල් ෆොන්සේකා වැන්නවුන්ට වුනු ඉරණම පවා දැක දැකය.

විශ්‍රාම වැටුප් සටනට එක වූ කටුනායක කම්කරුවන්ද වැටුප් සටනේ යෙදී සිටින සරසවි ඇදුරන්ද ආදී වශයෙන් වූ පිරිස් දැන් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැඩි පිරිස් අප මේ දින වල දකිමින් සිටිමු. ඔවුන් තම පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් වුව මේ සටන් වදින්නේ අප කලින් කී වන්දිබට්ටයින් විසින් අනභිබවනීය යැයි ඔසවා තැබූ රෙජිමයකට එරෙහිවය. මේ පිරිස් වල දැඩි පහර දීම් වලට ගොදුරු විය හැකි බව දැන දැන ය. තමන්ට අවලාද අපහාස වලට ගොදුරු වන්නට සිදු විය හැකි බව දැන දැන ය.

සංගාට එරෙහි සටන දැනටමත් ඇමති අලුත්ගමගේ විසින් පටන් ගෙන ඇත. උපවාසවංශ ඇතුළු ඊනියා දේශප්‍රේමින් ඒ පසු පසින් කඩු අමෝරා ගෙන සංගක්කාරට එරෙහිව සටනට එනු ඇත.

එංගලන්තය වැනි අධිරාජ්‍යවාදී රටකදී තම රට විවේචනය කිරීම මහා ද්‍රෝහී කමක් බවත්,සංගක්කාර අධිරාජ්‍යවාදීන්ගේ ඉත්තෙකු බවත් අපට ළඟදීම වන්දිබට්ට මාධ්‍ය හරහා ඇසෙන්නට ලැබෙනු ඇත. එසේම සංගක්කාර මුදලට තරඟ පාවා දුන් කෙනෙක් බවටත්, ඔහු දිගටම තහනම් උත්තේජක භාවිතා කල අයෙකු බවටත් මේ හොර දේශප්‍රේමී තක්කඩි රැල අපිට නොපැවසුවොත් එය මහා පුදුමයක් වනු ඇත. කෙටියෙන් කිවහොත් සංගා දැන් දේශද්‍රෝහියෙකි, පාවාදෙන්නෙකි, බටහිර අධිරාජ්‍ය වාදීන්ගේ අත කොලුවකි, NGO කුමන්ත්‍රණ කරුවෙකි, දුෂ්ටයෙකි, බෑන් කී මූන්ගේ ඒජන්තයෙකි, සොරෙකි , මිනීමරුවෙකි,පිශාචයෙකි,………………………..

සංගා එයට මුහුණ දෙන්නේ කෙසේදැයි අප නොදනිමු. නමුත් මීට ප්‍රථමයෙන් ද අප කීවාක් මෙන් මේ එළඹෙන්නේ ඒකාධිපතිත්වයට එරෙහිව සටන් වදින යුගයයි. දැනට එය ඇත්තේ තැන තැන වල ඇවිලෙන හුදකලා කැරලි වශයෙන් පමණක් වුවත් අනාගත එතරම් අඳුරු නොවන බව සංගා ඒ ගැන ඔහු නොසිතාම අපට නැවතත් සිහිපත් කර දෙයි. ඔහු නොසිතාම එසේ කළා යැයි යැයි මා කියන්නේ ජනතා අයිතීන් සඳහා වන පොදු සටනේ දී සංගා ලා බොහෝ විට කොටස් කාරයින් නොවෙන බැවිනි. සමහර විට ඔවුන් සිටින්නේ බැරිකේඩයේ අනිත් පැත්තේද විය හැකි බැවිනි.

එසේ වුවත් එයින් ඔහු අද මේ කල කතාවේ වැදගත් කම කිසිසේත් අඩු නොවන්නේය.


විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කිරීමට ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ කිහිපයක් ද ඇතුළු වෘත්තීය සමිති රැසක් ලබන සතියේදී ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව පුවත් පත් කිහිපයක්ම වාර්තා කර තිබිනි.

පසුගියදා සතියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජාතික නිදහස් පෙරමුණ හැර සෙසු සියලූම දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති නියෝජිතයන් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග සාකච්ඡාවක්ද පවත්වා ඇත.

අදාළ සාකච්ඡාවේදී ඒකාබද්ධ ප‍්‍රකාශයට අත්සන් තැබීමට එම සියලූම නියෝජිතයන් එකඟතාව පළ කර තිබේ.මහජන එක්සත් පෙරමුණ, ජාතික හෙළ උරුමය, නව වාමාංශික පෙරමුණ යන ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ හා තවත් වාමාංශික පක්ෂ කිහිපයක්ද මෙම ප‍්‍රකාශයට අත්සන් තැබීමට එකඟ වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජාතික නිදහස් පෙරමුණ පමණක් සරසවි ඇදුරන්ගේ වැ‍ටුප් වැඩි කර ඒවා යථා තත්වයට පත් වනවාට කැමති නැති බවකි.

එනම් එම පක්ෂවල නායකයින් එයට කැමති නැත.ඒ ඇයි ?

එසේ වීමට ප්‍රබල හේතුවක් තිබිය යුතුය.

ඔබට එම හේතුව කුමක්දැයි කිව හැකිද?හොඳින් කල්පනා කර බලන්න . ඔබ එය දන්නා බව මට සහතිකය.

නිවැරදි පිලිතුර දෙන අයට වටිනා තෑගි.

ප්‍රථම තෑග්ග – කැළණිය සරසවියේ නාථ දේවාලයෙන් ආචාර්ය උපාධියක් සමග ජ. උපදේශක තනතුරක්

දෙවැනි තෑග්ග- පකිස්ලන්තයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් තනතුර

තුන්වෙනි තෑග්ග- මීලඟ විදේශ සවාරියට යන 649 දෙනා අතරට ඔබේ නම ඇතුල් කරනු ලැබේ.

උත්සාහ කර බලන්න.


අග්‍ර විනිශ්චය කාර ශිරානි බණ්ඩාරනායක මහත්මිය උසස් පෙළ විභාගය කරන කාලයේ අද මෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වර්ජනයක් තිබුනා නම් ඇයට අග්‍ර විනිශ්චයකාර කමට එන්නට ඉඩ නොලැබෙන බවත් , ඇයට සිදු වන්නේ ගෘහනියක් වී පොල් අතු විවීම වැනි දේවල් කර ගෙන සිටීමට බවත් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්දන මහතා පසු ගියදා පැවසුවේය. ඇටමැස්සා ඒ කතාව ඇසුවේ මෙවැනි විහිලු කතා හා මළ මිනි විකිණීම හැර අන් යමක් තම ප්‍රවෘත්ති විකාශ තුලින් නොකරන ස්වර්ණවාහිනියෙනි.

මෙහෙව් කතාවක් කියන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සාධාරණ වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා මුදල් නැතැයි කියමින් රාජ්‍ය විශ්විද්‍යාල පද්ධතියම අකර්මන්‍යව කඩා වැටෙන්නට ඉඩ හැර ඒ අතරම තම සුඛ විහරණය සඳහා මහජන මුදල් කෝටි ගණන් වැය කරන ආණ්ඩුවක ඇමැතියෙකි

ඔහු මේ කතාව කියන්නේ සරසවි ඇදුරන්ගේ උසස් පෙළ විභාග උත්තර පත්‍ර සමීක්ෂණය වර්ජනය කඩා කප්පල් කිරීමට පාසල් ගුරුවරුන් යොදා ගැනීමට තැත් කරන අතර වාරයේය. ප්‍රබල ගුරු සංගම් කිහිපයක්ම එම ප්‍රයත්නයට මේ වන විටත් තම විරුද්ධත්වය පල කර ඇත. ඒ සිසුන් ලක්ෂ ගණනක් පෙනී සිටින ඔවුන්ගේ ඉරණම තීරණය කරන එම විභාගයේ ප්‍රමිතීන් රැක ගැනීම වෙනුවෙනි.

අග්‍රවිනිශ්චය කාර පදවියට ඒමට තරම් කුසලතාවක් තිබෙන අයවලුන්ට පොල් අතු විවීමට හෝ දර පැලීමට සිදු වන්නේ සරසවි ඇදුරන්ගේ හෝ වෙන කාගේවත් වර්ජන නිසා නොව බන්දුල ගුණවර්ධන වැනි ඇමතියන්ගේ ක්‍රියා නිසා බව ඒ අනුව ඉතාමත් හොඳින් පෙනී යයි.

ඇත්තටම බන්දුල ගුණවර්දන ඇමතිවරයා කියන පරිදි සරසවි ඇදුරු වර්ජනයක් නිසා යමෙකුට පොල් අතු විවීම හෝ වෙනත් එවැනි රැකියාවන් ට යාමට සිදු වීමට ඉඩ තිබුණි නම් , බන්දුල ගුණවර්දන ඇමති වරයා උසස් පෙළ විභාගය කරන සමයේ එවන් වර්ජනයක් නොතිබීම ගැන අපි ඉතාමත් කම්පා වෙමු.

මක් නිසාද යත් එසේ වුවා නම් බන්දුල ඇමති වරයාට ද සරසවි යාමටද , ඉන්පසු ටියුෂන් ගුරුවරයෙකු වීමටද , ඉන්පසු ඒ අනුහසින් ඇමතිවරයෙකු වීමටද නොහැකි වන්නේය. එසේනම් ඔහුද පොල් අතු වියා හෝ කොහේ හෝ හෝටලයක දර පලා හෝ ඉන් ලැබෙන මුදලින් හවසට කසිප්පු ටිකක් බී නම්බුකාර ජීවිතයක් ගෙවනවා ඇත.

රටේ මහජන මුදලින් කා බී මෙවැනි මළ විකාර මෝඩ කතා කියනවාට වඩා ඇත්තෙන්ම එය නම්බුකාරය. එය රටටද හොඳය.

.

ඉස්සර කාලේ උන්නු එක මිනිහෙකුට හිතුනා වෙදකම ඉගෙන ගන්න කියලා. මිනිහා ගියා රටේ ඉන්න ප්‍රසිද්ධ වෙදෙක් ලඟට සාස්තරේ ඉගෙනගන්න . මේ වෙදා  හරි කට්ටයා. තමන්ගේ සාත්තරේ කාටවත් දෙන්න කැමති නැහැ.
ඉතින් වෙදා අර මනුස්සයාට  කිව්වා
 
” මම ඕනේ ලෙඩකට  දෙන්නේ අරළු .තමුසෙත් එහෙම කරනවා “කියලා.
 
අපේ මිනිහාත් ගෙදර ගිහින් පටන් ගත්තා වෙද කම. ඕනේම ලෙඩෙකුට දෙන්නේ අරළු. හැබැයි ඉතින් මිනිහාගේ  වාසනාවටද මන්දා මිනිහාගෙන් බෙහෙත් ගත්තු පළමුවෙනි තුන් හතර දෙනා නම්  අරළු  කසායෙන්  සනීප වුනා. දන්නවනේ අරළු කසාය බිව්වම වෙන වැඩේ. බඩ විරේකය තමා .
 
දවසක්  මේ අපේ  වෙදා ගමනක්  යන අතරේ  දැක්කා මිනිහෙක් අඬ අඬා යනවා . ගිහින්  විස්තරේ ඇහුවාම කියපි එයාගේ හරක් බාන හොරු අරන් ගිහිල්ලය  , උන්ව හොයා ගෙන යනවා කියලා. හරිම දුප්පත්  මනුස්සයෙක් .
 
වෙදාත් ගත් කටටම කියපි  ඕකට අරළු හැලියක් පත අටට හින්දලා බොන්න වැඩේ හරියයි කියලා.
 
හරක් අයිති කාරයා ගෙදර ගිහින් අරළු හැලියක්ම තම්බා ගෙන බීලා ආපහු එලියට බැස්සා හරක් හොයන්න.  වැඩි වෙලාවක් යන්න වුනේ නැහැ. මිනිහාගේ  බඩ කරදර කරන්න ගත්තා. අරලුවල බලේ.
 
ඒ කාලේ ඉතින් කොහෙද වැසිකිලි . මිනිහා  ළඟ තිබුන කැලේට රිංගලා ගහක් යට පාත් වෙන්න හදන කොටම , මෙන්න බොලේ වැඩේ . අර නැති වුනු හරක් දෙන්නා ඉන්නවා ඒ ගහේ බැඳලා .
 
එයින් පස්සේ අපේ වෙදාගේ කීර්තිය ඉහල ගියේ හරියට අර උපවාසෙන් පස්සේ මල්වංශ ගේ කීර්තිය වගේ.
 
මේ  වගේ කතා රටේ පතල වෙන කොට මිනිස්සු වෙදාට නමකුත් පට බැන්දා අරළු වෙදා කියලා.
 
 මට මේ කතාව මතක් වුනේ ඊයේ පෙරේදා අපේ උසස් අධ්‍යාපන ඇමතිතුමා කියපු කතාවක් පත්තරේක දැකලා.
 
දරුස්මාන් වාර්තාව මගින් රටට අත පෙවීමේ විදෙස් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවේ ඊට සහය දී රට පාවාදීමේ මහා පාප කර්මයට හවුල් නොවන්නැයි  විශ්ව විද්‍යාල   ආචාර්ය වරුන්ගෙන් උසස් අධ්‍යාපන ඇමතිවරයා  ඉල්ලා  සිටින  බව  ලංකාදීපය පහු ගිය සෙනසුරාදා වාර්තා කරලා තිබුනා.
 
උන්නැහේ එහෙම කියලා තිබුනේ මේ දවස් වල විශ්ව විද්‍යාල ආචාර්ය වරු වැඩි වැටුප් ඉල්ලා අර ගෙන යන සටන  ගැන .  උන්නැහේ ඒ මදිවට කියනවා විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය නියෝජනය කරන්නේ ආණ්ඩු විරෝධී හා ජනාධිපති  විරෝධී කුමන්ත්‍රණකරුවන් පිරිසක් කියලත්.
  
මේ මහා දේශප්‍රේමී කට්ටිය බෑන් කී මූන්  , බන් කි මූන් , දරුස්මාන් කියා කියා නැටුවෙ මොකටද කියලා දැන් හොඳාකාරවම  තේරෙනවා ඇති. මේ දවස් වල හැදෙන ඕනෙම ලෙඩකට බෙහෙත විදිහට ආණ්ඩුව දෙන්න යන්නේ දරුස්මාන් වාර්තාව . හරියටම  අරළු වෙදා ඕනෙම ලෙඩකට අරළු කසාය  දුන්නා වගේ.
 
හැබැයි ඉතින් රටේ උසස් අධ්‍යාපන ඇමතිත්   අරළු වෙදෙක් වුනාම ඒ රටේ අධ්‍යාපනයට  වෙන්නේ මොකද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
 
සටහන- හැබැයි ඉතින් අපි නම් විශ්ව විද්‍යාල  ආචාර්යවරුන්ට කියන්නේ , තමුන්නාන්සේලා බය වෙන්න එපා, බටහිර කුමන්ත්‍රණයක් ආවොත් අපි ආණ්ඩුව බේරා ගන්නම්, ඔබ තුමාල ඔය  සටන දිගටම කරන්න කියලා. එහෙම නැත්නම් අපේ විශ්ව විද්‍යාල ටික ඉක්මනින්ම වහලා දාන්න  තමා වෙන්නේ.