Posts Tagged ‘විශ්ව විද්‍යාලය’

ඔබාමාද , බ්ලේක් ද නවනීදන්පිල්ලේද , බැන්කී මූන් ද ඇතුලු මෙකී නොකී එකී සියලු ධිරාජ්‍යවාදි බලවේග එකා මෙන් එකතු වී ඉන්දියන් සාගරයේ මුතු ඇටයට විරුද්ධව කුමන්ත්‍රණ  කරමින් අපේ ජාතික වීරයින් විදුලි පු‍ටුවට එල්ලන්ට යවන්ට හදමින් ඉන්නා මේ මොහොතේ , හරියටම කියන්නේ නම් ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක මේ මොහොතේ දේශප්‍රේමි, දේශහිතෛෂී ,දේශ මාමක, සියලු ජනතාවගේ කාර්ය භාරය විය යුත්තේ බඩගින්නේ සිටිමින් හෝ ආණ්ඩුවට පක්ෂපාතව  පෙලපාලි යාමය. බඩගින්නේ සිටිමින් හෝ ඒ දේ කල යුතු බව වීරවංශ තුමාද මේ ලඟදී කියා තිබුනි.

හෙදි නෝනලාගේ නායක මුරුත්තෙට්‍ටුවේ උන්නාන්සේ ද තමන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ග අත හැර තමන් හා තමන් සමග සිටින හෙදි නෝනලා නියම දේශප්‍රේමින් බව පෙන්වා තිබේ. දොස්තර මහත්තුරුන්ගේ සංගම් නායක කට්ටියද ඒ ආකාර දේශප්‍රේමින් බව වටින් කොනින් ආරංචි වේ.වෙන එකක් තියා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන පවා මේ දවස් වල හා හූවක් නැත. ඒ තරමට දේශප්‍රේමය ඉහින් කනින් ගලා යයි.

නියම දේශප්‍රේමින් වැඩ කල යුත්තේ ඒ ආකාරයටය. භූමිතෙල් කුප්පියකට, පාන් ගෙඩියකට, වැ‍ටුප් විෂමතාවකට මේ වෙලාවේ පාරට බැස ආණ්ඩුව මේ අධිරාජ්‍යවාදින් ඉස්සරහ අපහසුතාවකට පත් කිරීම නොහොබිනා කාර්යයකි.

නමුත් විශ්වවිද්‍යාල වල සිටින හාල් පාරුවන් ලඟ නම් දේශප්‍රේමේ බෙහෙතකටත් නැති බව පෙනේ.මේ දවස් වල සරසවි අනධ්‍යන  කාර්ය මණ්ඩල වර්ජනයයේය. ජීනිවා වල අපේ රට විරුද්ධව මහා කුමන්ත්‍රණයක් කරන මේ  දවස් වල වැඩ වර්ජන කරන්නේ දේශද්‍රෝහින් මිස අන් කවරෙක්ද.

වර්ජන කරන උන්ගේ පඩි කපන බවට ප්‍රතිපාදන කොමිසමේ සමරනායක තුමා තීරණය කර තිබේ. අන්න මිනිස්සු. නියම දේශප්‍රේමියෙක්. ඇත්තටම එතුමා පසුගිය 27 දා ප්‍රතිපාදන කොමිසම ඉස්සරහ බෝර්ඩ් ලෑල්ලකුත් උස්සා ගෙන ජීනිවා කුමන්ත්‍රණයට විරුද්ධව උද්ඝෝෂණයක්ද කර තමන් රට ජාතිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානම් බවද පෙන්වා තිබේ. එතුමාට අපේ ගෞරවය සමග තව වතාවක් කොමිසමේ සභාපති කම ලැබේවා යැයි පතමු.

නමුත් අපි නම් කියන්නේ පඩි කැපීම විතරක් මදි බවයි. මේ දේශද්‍රෝහී නඩය එල්ලා මැරිය යුතුය. විශේෂයෙන්ම මේ වෘත්තීය සමිතීයේ නායක  චන්ද්‍රපාල එල්ලිය යුතුය. ජාතියේ මේ වැනි  අර්බුද අවස්ථාවල ද්‍රෝහී කම් කරන්නට බලා සිටින් උන්ට පාඩමක් උගන්නන්ට එය කල යුතුමය.

සටහන- ඇත්තටම නම් කල යුතුව තිබෙන්නේ මූව විදුලි පු‍ටුවේ යැවීමය. ඒත් විදුලි පු‍ටුව වීරවංශතුමා සින්නක්කරේටම අයිති කරගෙන සිටින නිසා ඒක හරියන්නේ නැත. ඒ නිසා අපිට එල්ලා මැරීමෙන් සෑහිමට පත් වන්නට සිදුව තිබේ.

ප.ලි-  මේකත් රටක්ද මර්තේලිස්?

ලබන සතියේ ජීනිවා මානව හිමිකම් කොමිසම ‍රැස්වෙන්නට තිබෙන අතරේ මේ සතියේදී ආණ්ඩුව ජාත්‍යන්තරව මාර පරාජයන් දෙකක්ම ලැබුවේය.

ආණ්ඩුව විසින් පසුගිය දවස් වල මහත් සේ උඩ දමමින් අගය කල ශවේන්ද්‍ර සිල්වාට ලැබුනු එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා කටයුතු පිලිබඳ උපදේශක කොමිටියේ සාමාජිකත්වය එහි ආරම්භක ‍රැස්වීමේදීම අහෝසි කර දැමීම ඉන් පලමු වැන්නයි.

මෙයින් අන්ද මන්දව සිටින ආණ්ඩුවේ හො‍රැනෑ මේ ගැන  ජනතාවට  කියන්නෙ මොනවාදැයි තවමත් කල්පනා කරමින් සිටින බවක් පෙනේ.

ඒත් සමග සිදු වූ අනිත් පරාජය නම් ආණ්ඩුව විසින් වසර දෙකක් තිස්සේ සිර කරගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවෙකු බවට පිලි ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කිරීමයි.

මෙම තත්වය තුල පෙනී යන්නේ 27 දා ආරම්භ වෙන මානව හිමිකම් කොමිසම් සභා වාරය ශ්‍රී ලංකාවට ගුණදායක නොවන බවයි.

රොබර්ටෝ බ්ලේක් පසු ගියදා ශ්‍රී ලංකාවටම පැමිණ ප්‍රසිද්ධීයේ ම කියා සිටියේ එයයි.

දැන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යමින් ෆොන්සේකා ප්‍රමුඛ ද්‍රෝහීන් කල  දේශද්‍රෝහි ක්‍රියාවට බැට දීම සඳහා වීරවංශලා හෙට අනිද්දා වේදිකා මත තප්පුලද්දි ගුනදාස අමරසේකරලාට  බටහිර කුමන්ත්‍රණ ගැන කියමින් නැවත වතාවක් පත්තර පි‍ටු ගනන් ලිවිය හැක.

ඉන්ධන මිල ඉහල දැමීමත් ඒ සමග ජීවන වියදම අහස උසට නැගීමත් නිසා ශීඝ්‍රයෙන් පිරිහෙන තම ජනප්‍රියතාව මෙම සිදු වීම් උපයෝගි කරගෙන රඳවා ගන්නට එම කුලී කරුවන් යොදා ගෙන ආණ්ඩුව උත්සාහ කරනු ඇත.

මේ ආණ්ඩුව සෑම විටම කලේ එයයි. ජාත්‍යන්තර වශයෙන් එන බලපෑම් රාජ්‍යතන්ත්‍රික මට්ටමින්  විසඳා ගන්නවා වෙනුවට එම සිදු වීම් රට තුල බාල ජනප්‍රියතාව ඇති කර ගැනීම සඳහා භාවිතා කිරීමයි.

මේ තාක් කල් එය යම් පමණකට  හෝ සාර්ථක වූයේ යුද ජයග්‍රහණයේ රස්නයත්  ඒ නිසාම ආර්ථික අමාරු කම් කෙසේ හෝ පිරි මහගැනීමට ජනයා කැප වීමත් නිසාය.

එහෙත් දැන් තත්වය වෙනස් වෙමින් තිබේ.

වීරවංශලා කොතරම් මොර දුන්නත් යුද ජයග්‍රහණ වේගයෙන් අතීතයට ඇදී යමින් පවතී. එසේම දීනෙන් දින වැඩි වන ජීවන බර දැනටම දරා ගත නොහැකි මට්ටම පැන ඇත. ඒ අතර තත්වය තවත් අමාරු කරමින් නෙලුම් කූලුනු වලට ප්‍රමුඛත්වය ලැබෙන්නේ ගම්බද පාසැල් සිය ගනනින් වැසී යද්දීය.රටේ මුලු මහත් ජනතාවම දේශප්‍රේමි ඇස් බැන්දුම් වලින් ‍රැවටිය හැකි මෝඩයන් නොවන බව ලඟ ලඟ දෙවතාවක්ම මේ රටේ ජනයා පෙන්වා තිබේ. ඒ විශ්‍රාම වැ‍ටුප් පනත් අරගලයේදී හා හලාවත ධීවර සටනේදීය.

ජීවන වියදම වෙනුවෙන් ඉදිරියේදී සටන් අනිවාර්ය වෙනු ඇති  අතර විශ්ව විද්‍යාල සේවකයෝ ඊයේ සිටම සටනේය.

ඒ අනුව ඉදිරි කාලයේ ආණ්ඩුවට බාහිර හා අභ්‍යන්තර වශයෙන් පෙරමුණු දෙකක සටන් කිරීමට සිදු වනු ඇත.

ජාත්‍යන්තර තලයේදී ආණ්ඩුවේ හැසිරීම නරක් වුවහොත් සම්බාදක පැනවීමක් දක්වා ඔවුන් යා හැකි අතර එවිට රට ඇතුලත සටනද වේගවත් වනු ඇත.

අනිත් අතින් අභ්‍යන්තර සටන්   මත මර්ධනය දියත් කලහොත් , එවිට නැවත වතාවක් ජාත්‍යන්තරය තුල ආණ්ඩුව හුදකලා වනු ඇත.

ආණ්ඩුවේ හා රාජපක්ෂලාගේ පාලනය රඳා පවතිනු ඇත්තේ මෙම පෙරමුණු දෙක තුලම ඔවුන් කොතරම් රාජ්‍ය තාන්ත්‍රික ලෙස හැසිරෙනවාද යන්න මතය.

දැනට පෙනෙන්නට තිබෙන ආකාරයට නම් ඔවුන්ගේ හැසිරීමට දිය හැක්කේ ලකුණු බිංදුවකි.

උසස් පෙල විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිපල එන තෙක් නොසිට විශ්ව විද්‍යාල සඳහා අයැදුම් කරන්නැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියා තිබේ. අද ( පෙබරවාරි 21) ඒ සඳහා වන අවසන් දිනයයි.

උසස්පෙල ඉතිහාසයේ වැඩිම සිසුන් ප්‍රමණයක් නැවත සමීක්ෂණය සඳහා අයදුම් කර ඇත්තේ මෙවර යැයි කියවිනි. එයින්  ආණ්ඩුව ලැබු ආදායම රුපියල් කෝටි ගණනකි. එවැනි තත්වයක් තිබියදීය, මෙසේ  මෙසේ කඩිනමින් සරසවි පිවිසුම් අයදුම් පත් කැඳවා ඇත්තේ.

මෙවර උසස් පෙල ප්‍රතිපල මුලුමනිම් අවුල් ජාලයක් ව තිබියදී , මේ පිලිබඳව අධිකරණයේ පැනවුනු නඩුවකුත් තිබියදී,  ලිහා ගැනීමටත් කලින් අයැදුම් පත් කැඳවීමට ප්‍රතිපාදන කොමිසමට බරපතල කඩි කුලප්පුවක් සැදුනු බව පෙනේ.

නැවත සමීක්ෂණ ප්‍රතිපල එනතෙක් නොසිට සරසවි සඳහා අයදුම් කරන්නට යැයි කියන්නේ නැවත සමීක්ෂණ වලින් ප්‍රතිඵල කිසිවක් වෙනස් නොවන බව ප්‍රතිපාදන කොමිසම දන්නා නිසාද? 

 ඒ ගැන විභාග දෙපර්තමේන්තුව හා කොමිසම අතර එකඟතාවක් තිබේද?

මේ සියල්ල බරපතල සැක සංකා මතු කරයි.

විශේෂයෙන්ම , ඉසැඩ් ලකුණු සකස් කල ආකාරය දැඩි මත බේදයකට ලක්ව තිබෙන මේ අවස්ථාවේ මෙසේ කඩිමුඩියේ අයදුම් පත් කැඳවීම සැක සහිතය.

ප්‍රතිපාදන කොමිසමේ මෙම ක්‍රියාව යම් අධිකරණ තීන්දුවක් ලැබීමට ප්‍රථමයෙන් සිසුන් සරසවි තුලට ගැනීමට දැයි බරපතල සැකයක් මතුවේ. එවිට යම් හෙයකින් ඉසැඩ් ලකුණු සකස් කල ආකාරය දෝෂ සහගත යැයි අධිකරණය තීන්දු කලත්   ඒ වෙනවිට සිසුන් සරසවි වලට ඇතුල් කරගෙන සිටියහොත් ඔවුන්ව ඉවත්  කල නොහැකි බැවින් ඒ සඳහා කරන මගඩියක් විය හැක.

 

ලංකාවේ සරසවි වලට සිසුන් ‍තෝරා ගන්නේ  අපොස උසස් පෙල ප්‍රතිඵල අනුවය. ඇට මැස්සා දන්නා කාලයේ සිට මීට වසර කීපයකට පෙර වූ කාලය දක්වා  උසස් පෙල විභාගයේදී එක් එක් විෂයට  සිසුන් ලබා ගන්නා ලකුණු එකතු කර සාදා ගන්නා මුලු  ලකුණු මත සිසුන් බඳවා ගන්නා ලදි. එහිදී වැඩිම මුලු ලකුණු ලබා ගත් සිසුන්ට සරසවි වරම් හිමි විය. එම ක්‍රමයේ ඇති සරල ,නොසියුම් හා රලු බව නිසා සිසුන් සමහර දෙනෙකුන්ට අසාධාරණයක් වීමට යම් ඉඩක් තිබුණු අතර ඒ නිසාම එම දෝෂයන් සමනය කිරීමට වඩාත් සංකීර්ණ  ඉසැඩ් ලකුණු ක්‍රමය  හඳුන්වා දෙන ලදි.

විචල්‍යයන් රාශියක් උපයෝගී කරගෙන ගණනය කරනු ලබන ඉසැඩ් ලකුණු ක්‍රමය උසස්පෙල විභාගයට සුදුසු පරිදි සකස් කර දුන්නේ සංඛ්‍යානය පිලිබඳ ප්‍රමාණික උගතෙක් වන පේරාදෙනිය සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය තටිල්ය.ඔහු විසි න් හඳුන්වා දුන් ක්‍රමය වසර ගණනක් කිසිදු ප්‍රශ්නයකින් තොරව පවත්වාගෙන  ගියේය.

ප්‍රශ්නය ආවේ මේ වසරේය. ඒ එකිනෙකට වෙනස් විභාග දෙකක ලකුණු එකම ඉසැඩ් ලකුණකට පරිවර්තනය කිරීමට යාමේදීය. විභාග කොමසාරිස් , ආණ්ඩුවත්, ඇමතිලාත් සියලු දෙනා අනා ගත්තේය.

පසුගිය වතාවන්ටත් වඩා සංකීර්ණ මෙම ඉසැඩ් ලකුණු සැකසීම සඳහා විද්වත් මණ්ඩලයක් පත් කල  බවත් ලකුණු සකස් කලේ ඔවුන් විසින් බවත් අපට පසු ගිය දිනවල අසන්නට ලැබුනි. ඔවුන්ට  වෙන වෙනම විභාග දෙකක ඉසැඩ් ලකුණු එක ඉසඩ් අගයකට සකස් කිරීමේ සංකීර්ණ කටයුත්ත බාරව තිබිණි.  මේ විද්වත් මණ්ඩලයේ සිටිය යුතුම පුද්ගලයෙක් වන්නේ එම මූලික ඉසැඩ් ලකුණු සකස් කල පුද්ගලයා බව ඕනෑම මන්දබුද්ධිකයෙකුට වුවත් තේරෙන දෙයකි. එහෙත් එය මෙරට විභාග බලදාරින්ටත්, දුසිම් භාගයක් පමණ වන ඇමති ලාටත්, අධීක්ෂණ , පරීක්ෂන ඈ නොයෙක් මන්ත්‍රිලාටවත් නොතේරුනි.ඇත්තටම එය සමහර විට නොතේරෙන්නට ඇත්තේ අප ඉහත කී උන්ට පමණක් වෙන්නට ඉඩ තිබේ.

දැන ගන්නට ලැබී ඇති පරිදි විභාග කොමසාරිස් විසින් මහාචාර්ය තටිල්ව  මෙවර ලකුනු සැකසීම සඳහා යොදා ගෙන නැත්තේ ඔහු සමග ඇති පෞද්ගලික අමනාපයක්  නිසාය.එය ඇත්ත නම්  එක් අමන පුද්ගලයෙකුගේ අමන තකතිරු මොට්ට ක්‍රියාවක්  අහිංසක දූ දරුවන් ලක්ෂ තුනකගේ අනාගතය අඳුරේ හෙලා ඇත. එපමනක් නොව රටේ විභාග ක්‍රමය ගැන තිබූ විශ්වාසය සහමුලින්ම බිඳ වැටී ඇත. මොවුන්ට අවශ්‍ය එයද ?

කථාව එතැනින් අවසන්  නැත. සියල්ල කෙලවා ගත් පසු ඒ වැරද්ද සෙවීමට පත් කල ඊනියා කමි‍ටුවටවත් මහාචාර්ය තටිල් පත් කලේ  නැත. ඒ වෙනුවට පත් කලේ ඌව උපකුලපති බඳු දේශපාලන ඇම්බට්ටයින්ය. ඒ තමන්ට අවශ්‍ය ලෙස වාර්තාවක් කමි‍ටුවෙන් ලබා ගැනීමටය. තටිල් එම කමි‍ටුවට පත් කරා නම් ඔහු වැ‍රැද්ද සොයා ගනීවි යැයි බයක් ඇත්ද? මේ බලධාරින්ට සඟවා ගන්නට යමක් ඇත්ද? මේ අවුල ඇති වුයේ යම් කිසි වංචනික ක්‍රියාවක ප්‍රතිපලයක් ලෙසද? මේ ගැන අවධානයෙන්  සිටිය යුතුය.

විස්සවිද්යාලේ කීර්ති නාමයට හානි කිරීම නිසා පේරාදෙණිය විස්ස විද්දියාලේ සියලුම සිස්ස සංගම් තහනම් කල බව උපකුලපති මහාචාරිය ඇස්.බී.ඇස් අබේකෝන් කියා සිටී.

ජාතිමාමක, දේශහිතෛෂී ,අධිරාජ්‍ය විරෝධී, ආන්ඩුව අයිඇම් එෆ් එකත් එක්ක හවුලේ ලබන මාසේ ප්‍රයිවට් විස්ස විද්යාල පනත ගේනවා. ඊට  කලින් ශිෂ්‍ය සංගම් ටික තහනම් කරලා විරෝදයක් නැතිව පනත සම්මත කරගන්ට ඕනෑ . ඒකට පස සකස් කරලා දෙන්ට කියලා ඇස් බී ඇමති තුමා උපකුලපති කට්ටියට දැනුම් දීලා වගෙයි.

උපකුලපති කමේ පලමු වාරේ ඉවර වී ගෙන එන නිසා කොහොමටත් මේ ඇස් බීට ඒ ඇස් බී කියන විදියට නටන්න වෙනවා. නැත්නම් මේ ඇස් බීට දෙවැනි වාරයක් තනතුරේ ඉන්න ලැබෙන්නේ නැහැනේ. පෙලපාලියෙන් ආපු සිස්සයන්ට පහර දෙන්න මැරයින්ට පොලු මුගුරු දුන්නේ කොයි ඇස් බී ද කියලා දැන් සැකයක් මතු වෙලා. විස්ස විද්යාලේ කීර්තී නාමයට හානි වෙන්නේ සිස්සයෝ නිසා නෙවේ ඇමතිලාගේ පදේට නටන මේ වගේ උපකුලපතිලා නිසා කියලයි ඇට මැස්සාට හිතෙන්නේ.

සටහන- මේ ෆොටෝ එකේ ඉන්නේ ලක්ෂ ගනන් වියදම් කරලා තමන්ගේ ලමයි විස්ස විද්දියාලෙට යවන්න පුලුවන් අම්මලා තාත්තාලාද. එහෙම නැත්නම ඇස් බී ජෝඩුව කුලියට ගෙනා කට්ටියක්ද?

 

 

සමස්තයක් වශයෙන් ගත් විට ශ්‍රී ලංකාවේ සරසවි යනු එකම අවුල් ජාලයකි. භෞතික හා මානව සම්පත් හිඟය , දේශපාලන ඇඟිලි ගැසීම්, පෞද්ගලීකරණ තර්ජන ,සිසු ගැටලු, ප්‍රතිපාදන කප්පාදුව ආදි දහසක් ප්‍රශ්න වලින් ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය දැවෙමින් පවතී.

ආචාර්ය හිඟය, දේශනශාලා,රසායනාගාර පහසු කම් නොමැති වීම හෝ මඳ වීම, පුස්තකාල පොත්පත් හිඟය,නේවාසිකාගාර ගැටලු අද සරසවි වල සාමාන්‍ය දේවල් බවට පත් ව ඇත. නො එසේනම් ,පේරාදෙණිය සම සෞඛ්‍ය විද්‍යා සිසුන්ට සිදු වුනා මෙන් ,පහසුකම් තිබුනද ඒවා ප්‍රයෝජනයට ගැනීම බාහිර බලවේග විසින් අහුරා ඇත.

මෙම ප්‍රශ්න විශේෂයෙන්  උග්‍රව පවතින්නේ  මෑත භාගයේ රජයන් විසින්  තැන් තැන් වල කිසි සැලස්මකින් තොරව කඩිමුඩියේ ඇටවූ සරසවි , සරසවි පීඨ හා අධ්‍යන දෙපාර්තමේන්තුවලය.

අවම පහසු කම් පවා නොමැති මෙම සරසවි හා පීඨ මෙසේ තනන්නේ එක්කෝ පවතින රජයන්ට අපිත් විශ්වවිද්‍යාලයක් හැදුවා යැයි පම්පෝරි ගසන්නටය. එසේ නැත්නම් කවුරුන් හෝ ප්‍රාදේශීය දේශපාලකයෙකුට” ඔන්න අපේ පලාතටත් මම විශ්ව විද්‍යාලයක් ගෙනාවා ” යැයි කියන්නට ය.

සරසවි තුල අලුතින් පීඨ හෝ අධ්‍යන දෙපාර්තමේන්තු සැදෙන්නේත් එලෙසය. නමුත් ඒ සෘජු දේශපාලන අවශ්‍යතා වලට  වඩා දේශපාලකයින් පස්සේ ගොස් සරසවි තුල බලයක් ගොඩ නගා ගෙන සිටින ආචාර්ය මහාචාර්ය වරුන්ගේ උවමනා එපා කම් වෙනුවෙනි    හෙද,රසායනාගර ශිල්පී,විකිරණ ශිල්පී භෞත චිකිත්සක ආදි පාර වෛද්‍ය සේවාවල නියුතුවූවන්ට උපාධි ප්‍රදානය කරන සම සෞඛ්‍ය විද්‍යා පීඨය රටේ සැබෑ අවශ්‍යතාවක් වූවත් පේරාදෙණියේ එය තැනුනේ එම අවශ්‍යතාව වෙනුවෙන් නොව ඒ වන විට වෛද්‍ය පීඨය තුල තම ප්‍රතිරූපය බිඳ ගනිමින් සිටි මහාචාර්ය චූලා ගුණසේකරගේ පෞද්ගලික න්‍යාය පත්‍රයට අවශ්‍ය පරිදිය. පීඨය පවත්වාගෙන යන්නට තැනක් පවා නොමැතිව, විෂය නිර්දේශයන් පවා සකස් නොකර තිබියදී කඩිමුඩියේ එය පටන් ගත්තේ ඒ නිසාය. සිසුනට අවශ්‍ය රසායනාගාර පහසුකම් , ප්‍රායෝගික පුහුණු වීම සඳහා රෝහල් ආදිය ගැන කිසිම සැලකීමක් නොකරන ලදි.

චූලා ගුණසේකරලාගේ කඩි කුලප්පුවට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සිසුන්ටය. පීඨය අරඹා වසර පහක් පමණ ගත වී ඇති අතර එම කාලයෙන් වැඩි හරියක් සිසුන් ගෙව්වේ තම අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් උසාවි ගානේ රස්තියාදු වෙමින් හෝ මහ පාරවල් දිගේ පෙලපාලි යමින් පොලිස් හා ආණ්ඩුවේ මැරයින්ගෙන් ගුටි කමිනි. නො එසේනම් ප්‍රායෝගික පුහුණුව සඳහා කාලය හිඟා කමින් පෞද්ගලික රෝහල් වල රස්තියාදු එම පීඨයේ ගුරු වැඩි දෙනා පිටින් පැමිණ උගන්වන බාහිර කථිකාචාර්යවරුන්ය. චූලලාට පිංසිද්ද වෙන්නට සිසුන් ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවෙන් තොර පාඨමාලා දහදුක් විඳිමින් හදාරති.  අදටත් එම  තත්වයේ වෙනසක් නැත.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ අද ඇති වී තිබෙන තත්වයද ඊට සමානය. එය සැදුනේ වැඩිපුර වෛද්‍ය සිසුන් ගණනාවකට අධ්‍යාපනය දීම සඳහා වූ පරම පවිත්‍ර චේතනාවෙන් නම් නොවේ. ඇත්තෙන්ම කිවහොත් රජරට වෛද්‍ය පීඨය යනු මහලු මඩමකි. එය තනා ගැනීම සඳහා පුදුමාකර තදියමක් ත් තිබුනේ පේරාදෙණිය පීඨයේ උගන්වා විශ්‍රාම ගොස් අවලංගු කාසි බවට පත්ව සිටි  ආචාර්ය මහාචාර්ය කීප දෙනෙකුන්ටය. දේශපාලන  අධිකාරියේ අමන කමුත් එයට එක්වීමේ ප්‍රතිඵලය අංග විකල රජරට වෛද්‍ය පීඨයයි.

දේශපාලකයින්ගේත් , මේ මහලු ඇදුරන්ගේත් සැබෑ අරමුණ වැඩිපුර වෛද්‍ය සිසුන් ගණනකට අධ්‍යාපනය දීම නම් කල යුතුව තිබුනේ දැනට ස්ථාපිතව ,යම් ප්‍රමිතියක් ඇතිව පවත්වාගෙන යන වෛද්‍ය පීඨවල ඇති පහසුකම් තව වැඩි කර ඒවාට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීමයි. මහාචාර්ය ඒකක, සායනික පහසුකම් හා සුදුසුකම්  ලැබූ ගුරුවරුන් රහිත මෙවැනි පීඨයක් ආරම්භ කිරීම නොවේ. එම පීඨවල පහසුකම් වැඩි දියුණු කිරීමට අලුතින් , මෙවැනි පීඨ භාග බිහි කිරීමට වඩා වියදම් අඩු ,සිසුනගේ පමණක් නොව රෝගීන්ගේ පැත්තෙන්ද   වඩා සාධාරණ හා අඩු වියදම් ක්‍රියාවකි. එහෙත් එය අලුත් පීඨයක් ඇරඹීම තරම් අඬබෙර ගැසිය හැකි ක්‍රියාවක් නොවේ. එසේම එයින් පැජ් පෙරේරලගේ හා උඩුපිහිල්ලේ ලාගේ විශ්‍රාමික ප්‍රශ්න විස‍ඳෙන්නේද නැති බව නම් සැබෑය.

එහෙත් එයින් සිසුන්ට යම්තරමකට හෝ ප්‍රමිතියක් හා අන්තර්ජාතික පිළිගැනීමක් ඇති වෛද්‍ය උපාධියක් හැදෑරීමට ලැබෙනු ඇත. එය රජරට බඳු වෛද්‍ය පීඨ වලින් බිහිවෙන භාග වෙදුන්ගෙන් ප්‍රතිකාර ලබනවාට වඩා රෝගීන්ටද හොඳය.

වසර විසි තිස් ගණන් පේරාදෙණියේ උගැන්වූ මේ ගුරුවරු නියමිත පහසුකම් නොමැතිව වෛද්‍ය පීඨයක් ඇරඹීම කොතරම් හානිදායක දෙයක් දැයි හොඳාකාරවම දනී. එහෙත් ඔවුනට එය වැදගත් නැත. ඔවුනට වැදගත් තම පොකට්‍ටුව පමණි.අඩුම තරමෙන් පීඨය පටන් ගත් පසුව හෝ මහාචාර්ය ඒකක පිහි‍ටුවා පීඨය දියුණු කර ගැනීමට ඔවුනට අවශ්‍ය නැත. මේ මහලු ගුරුවරුන් පසෙක තැබුවත් , රජරට පීඨයට වැදී සිටින නාථ දෙවියන්ගේ ගෝලයන් වන ජයසුමනලාට හෝ මහමිතවලාටවත් එය අවශ්‍ය බවක් පෙනෙන්නේ නැත.ඇත්තටම ගතහොත් ජයසුමනලා හා  මහමිතවලා රජරට වෛද්‍ය පීඨයේ බංකොලොත් බව පෙන්වන කැටපත් බඳුය. වෛද්‍ය පීඨයක වෛද්‍ය සිසුන්ට උගන්වන ගුරුවරුන් වන මොවුන් දේව බලයෙන් ඩෙංගු රෝගය සුව කල හැකි යයි සිතනවුන් වීම මොනතරම් විගඩමක්ද?

මේ ප්‍රශ්නය ගැන මතු වෙන  ඊලඟ  කරුණ නම් මෙයට සම්බන්ධ වෙනත් පාර්ශව, එනම් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය, වෛද්‍ය පීඅඨ කමි‍ටු වැනි ආයතන සම්පූරණයෙන්ම නිහඬ පිලීතක් අනුගමනය කිරීමයි. මාලබේ වෛදා්‍ය පීඨයෙ සායනික පහසුකම් නැති නිසා එයට මාරන්තිකව විරුද්ධ වෙන මොවුන් රජරට  ගැන නිහඬව සිටින්නේ මන්ද? රජරට සිසුන් නිසි  ප්‍රමිතියකින් යුතු වෛද්‍ය අධ්‍යාපනයක් ලබා එලියට පැමිණ තමන්ට තරඟයක් දේවි යැයි බිය වී වත්ද?

 රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් තම අධ්‍යාපන කටයුතු සඳහා මහාචාර්ය ඒකකයක් දෙන මෙන් ඉල්ලා කරන සටන තුල පසුගිය සතියේදී සිසුන් හය දෙනෙකුට පංති තහනම් විය.ඒ එහි උපකුලපති  මහාචාර්ය නන්දසේන ප්‍රාණ ඇපයට ගත්තා යැයි කියමිනි.

ඇත්තෙන්ම සිසුන් එසේ කලා නම් වැරදිය. වැ‍රැදි දෙයට වැ‍රැදි යැයි කීමට අප පසු බට නොවමු. මහාචාර්ය නන්දසේන ප්‍රාණ ඇපයට ගෙන හෝ නොගෙන ඔහුගෙන් මහාචාර්ය ඒකක හෝ වෙන යම් දෙයක් හෝ ඉල්ලීම වැරදිය.ඔහුගෙන් යමක් ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහා‍ටු ඉල්ලීමක්  බඳුය. ඉබ්බන්ගෙන් පිහා‍ටු ඉල්ලීම වැ‍රැද්දක් පමණක් නොව ජෝක් එකක්ද වෙයි.

පේරාදෙණිය කෘෂිවිද්‍යා පීඨයේ ගුරුවරයෙකු වන මහාචාර්ය නන්දසේන රජරට උපකුලපති ධූරය ලබා ගන්නේ ඉහලම තැන සිට පහලම තැන දක්වා වූ දේශපාලකයින් රොත්තක් පසුපස බඩගා යමින් ,ඔවුනගේ පා ලෙව කමින්, ඔවුනට සකලවිධ දාසකම් කරමිනි.ඔහු මේ දේශපාලකයින්ට පමණක් නොව ඔවුන්ගේ ඈතින් නෑයනට, හිතමිත්‍රාදින්ට , නිවෙස්වල මෙහෙකරුවන්ට පවා තෑගි බෝග පිදුවේය. බෝජන සංග්‍රහ පැවත්වුයේය. ඔහු තනතුර ලබා ගත්තේ එලෙසය.

එසේ කඹුරා උපකුලපති තනතුර ලබා ගත් දා සිට උග්‍ර රාජපක්ෂ වාදියෙක් විය,සුවච කීකරු සේවකයෙක් විය. රයන්නක් දු‍ටුවත් අසුනෙන් නැගිට වැඳ වැටෙන තරම් රාජපක්ෂ බැතිමතෙක් විය. ඔහු නිරන්තරයෙන්ම කල්පනා කරන්නේ තම හාම්පුතුන් සතු‍ටු කරන්නේ කෙසේද යන්නයි.ඒ නීතියට බාහිරව  වැඩිපුර මාස කිහිපයක් හෝ  තනතුරේ ‍රැඳී සිටීම සඳහා ය.

රාජපක්ෂ රෙජිමය තම පසුගිය අයවැයෙන් රටේ අධ්‍යාපනයට වෙන් කර තිබූ මුදල තව දුරටත් කප්පාදු කලේය. ඔවුනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය නගා සි‍ටුවීම සඳහා  ඇම්මක් නැත. ආණ්ඩුවේ සියලු පිඹුරු පත් සැකසෙන්නේ අධ්‍යාපනය විකිණීම වෙනුවෙනි. එහෙව් වූ ආණ්ඩුවකට රජරට වෛද්‍ය ශිෂ්‍ය්‍යයන්ට මහාචාර්ය ඒකක දීමට තදියමක් නැත. දුන්නත් නමට මහාචාර්ය ඒකකයක් මිස වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියට ගැලපෙන අංග සම්පූර්ණ එකක් නම් නොවේ.

ඒ නිසා ආණ්ඩුවට අවශ්‍ය සිසුන්ගේ ඉල්ලීමසපුරන, ඒවා සිසුන් හා එක්ව තමන්ට ඉද්‍රිරිපත් කරමින් කරදර කරන සරසවි පාලකයින් නොව ,එම ඉල්ලීම ගෙන එන සිසුන් දංගෙඩියට දක්කන නිවටයින්ය. තම තනතුරු ‍රැක ගැනීමට නම් ආණ්ඩුව කියන පරිදි කටයුතු කළ යුතු බව ඔවුන් දනී. එසේ නොකළහොත් සිසුන් සමග තම බෙල්ලත් දංගෙඩියට තැබීමට සිදු වන බවත් ඔවුන්  හොඳාකාරවම දනී.අනික් අතට නන්දසේනලා බඳු මිනිසුන් සිසුන් වෙනුවෙන් එවැනි කැප කිරීම් කරනු ඇතයි සිතීමද විහිලුවකි.

තම ඉල්ලීම් මහාචාර්ය නන්දසේනලා  වෙතින් දිනා ගත හැකි වේ යැයි සිතීම ඉබ්බන්ගෙන් පිහා‍ටු ඉල්ලීමක් බඳු යැයි අප කියන්නේ එබැවිනි.