Posts Tagged ‘රුසියාව’

අපේ රටට ජාත්‍යන්තරව සිටින්නේ ඉතා සුළු මිත්‍රයින් ගණනක්ය.  ඒ අපේ පාලකයින්ගේ ඔල මොට්ටල කම් වලට පිං සිද්ද වෙන්නටය.රුසියාව ,චීනය, ඉරානය හා ටික කාලෙකට  කලින් නම් ලිබියාවත් අපේ අතිජාත  මිත්‍රයින්ය. නැත්නම් එහෙම හිතාගෙන ඉන්නවාය.

මේ අයගෙන් චීනයත් රුසියාවත් අපේ මිත්‍රයින් වී ඉන්නේ අපට ඇති ආදරයකට නොව ඔවුන්ගේ ව්‍යාපාරික වුවමනා එපා කම් වෙනුවෙන් බව නොදන්නේ අපේ රටේ සිටින දේශප්‍රේමින් පමණක්ය.  ගිනිකන පොලී මුදලාලි කෙනෙකුන් වන චීනය අධික පොලියට ණය දී අපිව සූරා කන්නේය. ඒ අතර රුසියාව අපේ මුහුදු තීරයේ ඇතැයි කියන තෙල් සම්පතට කෙල හලමින් සිටින්නේ මස් කට්ටක් දු‍ටු  බල්ලෙකු පරිදිය.

ඒකාධිපති ,මානව විරෝධී ,නායකයන් සිටින  ඉරානය වැනි රටවල් අපව ආශ්‍රය කරන්නේ ඔවුන්ටද අපට වී ඇති සන්තෑසියම වී ඇති නිසාය. එනම් ඔවුනටද වෙන මිත්‍රයන්  නැති නිසාය.

ඉතින් අපිට සිටින මේ මිත්‍රයින්  සුලු පිරිස ගැන අපේ දේශප්‍රේමින් හා දේශහිතෛෂීන් හරියට වද වෙනවාය. ඔවුන්ට මොනවා හරි කරදරයක් වුනොත් ඒක අපිට වූ කරදරයක් වගේ පත්තර වලටත් , සඟරා වලටත් ලියනවාය. රූපවාහිනියෙ, ගුවන් විදුලියෙන් පැය ගනන් කඳුලු හලනවාය.

ලංකාවේ ඉඳගෙන දිවයින පත්තරයටයි වීරවංශ ඇමත්තාගේ ලංකා සී නිව්ස් වෙබ් අඩවියටයි  ලිපි ලියා තම මිත්‍රයින් බේරා ගන්නට පුලුවන් යැයි මේ දේශහිතෛෂී මහත්වරු  හිතයි . පහු ගියදා ලිබියාවේ ගඩා‍ෆි නම් අපේ අති ජාත සුපිරි මිත්‍රයාට පහර වැදෙන කොට ඒ මහත්වරු මෙහෙ ඉඳගෙන ලියපු ලිපිවල තිබුනේ එහෙමය.

ගඩා‍ෆිගේ හමුදාවලට දුවන්නට වදිත්දීත් අපේ දේශහිතෛෂී දොස්තර මහත්තුරු අපිට කිව්වේ ගඩා‍ෆිගේ හමුදා බෙංගාසි කැරලිකාරයින්ට එලවා එලවා ගහනවා කියලාය. සදාම්ට කරපු දේ ගඩා‍ෆිට කරන්න බැරි බවය. අපේ දේශප්‍රේමී මහත්තුරු මොනවා ප්‍රාර්ථනා කලත් අන්තීමේදී ගඩා‍ෆි කාණුවක් පල්ලේ සිට අහුවී මලේය. සී නිව්ස් එකටවත් දිවයින මුදලාලිටවත් ගඩා‍ෆි බේරා ගන්ට ඇඟිල්ලක්වත් උස්සා ගන්ට බැරි වුනේය.

ගඩා‍ෆිත් නැති එකේ මේ ගොල්ලන්ගේ දැන් උත්සාහය රුසියාවේ ජාවාරම්කාර ජාතිකවාදි නායකයා වන පුටින්ට කුමක් හෝ සහයෝගයක් දෙන්නටය. ඒකත් අර ගඩා‍ෆිට දුන් සහය වගේමය. සමහර වෙලාවට මේ වැඩේ මේගොල්ලෝ කරන්නේ ස්වයං වින්දනයට වෙන්නත් පුලුවන්ය.
පහුගියදා පැවති රුසියානු මැතිවරණයේ ප්‍රථිපල වීරවංශගේ වෙබ් අඩවිය වාර්තා කරල තිබුනේ ” රුසියානුවෝ ලෝකයක පැතුම ඉ‍ටු කරති, පුටින්ගේ පක්ෂයට විශිෂ්ඨ ජයක්” කියලා.සී නිව්ස් කට්ටියට ඒ ප්‍රථිපලය පුටින් විශිෂ්ට ජයක් වගේ  පෙනුනට මුලු ලොකේම දැක්කා ඒ චන්දේදී පුටින් ශීඝ්‍රයෙන් පසු බැහැලා තියෙන බව. 2007 අවුරුද්දේ 64% වුනු පුටින්ගේ පක්ෂයේ චන්ද ප්‍රතිශතය මේ සැරේ 50% දක්වා අඩු වෙලා. ඒ ප්‍රතිපලයත් අරගෙන තියෙන්නේ මැර බලය හා චන්ද දූෂණ වලින් කියලයි විපක්ෂය කියන්නේ. ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පල්ලම් බහින පුටින්ට අපේ දේශප්‍රේමියෝ උදව් කරන්නේ එහෙමයි. අපිට ඉතිරි වෙලා ඉන්න යාලු මිත්‍රයෝ කීප දෙනා ගේ ප්‍රතිරූපය ආරක්ෂා කරගන්න එපාය, මොනවා උනත්.

ඒක නිසා ලබන සතීයේ දිවයින පත්තරේට දේශහිතෛෂී දොස්තර මහත්තුරු ලියයි  පුටින්ගේ  ඓතිහාසික ජයග්‍රහණය හා ඒකෙන් බටහිර කුමන්ත්‍රණ කාරයින්ට සිද්ද වෙන හානිය ගැන වගේ දේවල් , ගිය සැරේ ගත්ත 64% වඩා මේ සැරේ ගත්ත 50%  වටින්නේ කොහොමද වගේ දේවල් .පුටින්  රුසියාව ඇතුලේ තමන්ගේ නම සවුත්තු කර ගත්තත් මෙහෙ ඉන්න අපෙ දේශප්‍රේමින්ගේ ගෝල බාලයින්ට ඒ වග දැන ගන්න අරින්න බැහැනේ .  අපිට කියලා ආයේ මහ ගොඩක්  යාලුවෝ  ඉන්නවයැ.ඉන්න එවුන් ටික දෙනා හොඳ හයිය හත්තිය තියෙන පොරවල් කියලා පෙන්නන්න ඕනේ.

සටහන- දේශප්‍රේමින් දේශහිතෛෂීන් එහෙම වැඩ කරන එක පුදුම වෙන්නදෙයකුත් නැහැ, අපේ සමහර වාමංශිකයෝ මේ මැතිවරණ ප්‍රතිපලය විග්‍රහ කරන විදියට. ජනතා විමුක්ති පෙරමුණේ වාම කණ්ඩායම්ට අයිති  ජනරළ පත්තරේ මේ ගැන ලියපු වාර්තාවේ නම ” පුටින් පහළට- වම ඉහළට ” කියලා. මේ කියන්නේ ගෙනාඩි ෂුගානොව්ගේ රුසියන් කොමියුනිස්ට් පක්ෂය මේ චන්දේදී ආසන 92 ක් ලබා ගැනීම. ගිය පාර ගත්ත 57 ට වඩා ඉදිරියට ගිහින්. කෙරෙන්ස්කිටත් වඩා දකුණෙන් ඉන්න ෂුගානොව්ගේ ජය වමේ ජයක් කියලා හිතනවා නම් වමේ සහෝදරවරුන්ටත් අපිට කියන්න තියෙන්නේ සොරි මල්ලි ,කියලා.

ඇමෙරිකාව,යුරෝපා සංගමය ඇතුළු බටහිර අධිජ්‍යවාදින් විසින්  ඉදිරියේදී  අප රට ආක්‍රමණ්ය කරනු ඇතැයිද ,එහිදී රුසියාව හා චීනය  ඔවුනට එරෙහිව සටන් වැද අපව ගලවා ගන්නට එනු ඇතැයිද   අපේ රටේ ජාතිකවාදී ,ජාතිවාදී දේශප්‍රේමින්  මහත් සේ බලාපොරොත්තු තබා සිටියේය. එසේම එම  බලාපොරොත්තුවේ යතාර්ථය ගැනද අප මීට  පෙර කියා ඇත්තෙමු.
ඒ අපටත් වඩා එම දෙරට සමග ගනුදෙනු කල ලිබියාවේ ගඩා‍ෆි ඔවුන් විසින් අත හැර දැමු ආකාරය දැකීමෙනි. ගඩා‍ෆි බේරා ගැනීමට තම ඇඟිල්ලකුදු නො එසවූ චීනය ඔහු වැ‍ටුනු විගසම ලිබියාවේ ඇති තම දේපල ආරක්ෂා කර දෙන මෙන් කැරලිකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
 
දැන් රුසියාව ලිබියාවේ කැරලිකරුවන්ගේ පාලනය පිලිගෙන ඇත. ඒ නිකම් ම නොවේ. ඔවුන් කිසිදාක ගඩා‍ෆිගේ පාලනය අනුමත නොකළ බවද කියමිනි.
 
රුසියාව ලිබියාවේ  නව පාලනය පිලිගන්නා බව  ප්‍රකාශ කිරීමෙන් පසු නිවේදනයක් නිකුත් කල රුසියන් විදේශ ඇමති සර්ජි ලවුරොෆ් පැවසුවේ ගඩා‍ෆි  බලයේ ‍රැඳීම තමන්ට අවශ්‍ය නොවූ බවත් , තමන් විරුද්ධ වූයේ ඔහු ඉවත් කිරීමට නේටෝව අනුගමනය කල ක්‍රමයට පමණක් බවත්ය. එසේම   රුසියාව ලිබියාවේ තිබුනු පාලනය කිසි ම දාක පිලිගත්තේ නැති බවත් ,  ජනාධිපති මෙද්වෙදෙව්  , ගඩාෆී යා යුතු  යැයි පැහැදිලිව  පවසා ඇති බවත් විදේශ ඇමතිවරයා වැඩි දුරටත් පවසා ඇත.
 
අපේ අතිජාත මිත්‍රයන් අපිටත් වඩා ඔවුන්ගේ මිත්‍රයෙකු වූ හා අපිට සිටින හොඳම හා ස්වල්ප මිත්‍රයන් කීප දෙනාගෙන් එකෙකු වූ ගඩා‍ෆි තුමාට සැලකුවේ එසේය.
 
ඉතින් අපට කාගෙ පිහිටක්ද?
 
නාථ ඇතුළු සම්‍යක්දෘෂ්ටික දෙවිවරුනි ඔබතුමන්ලාවත්  අපිට පිහිට වනු මැනැවි.ඔබ තුමන්ලා නැත්නම් මේ  කෲර ලෝකයේ අපට පිහිට වන්නේ කවුද?

චීනය ,රුසියාව, වෙනිසියුලාව වැනි රටවල් අප රටේ අතිජාත මිත්‍රයන් යැයිද , එම රටවල් ඕනෑම කරදරයකදී අප වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිතැයිද විශ්වාස කරන පිරිසක්  අප රටේ සිටිති. එම පිරිස අතර රටේ පාලකයින්ද සිටින බවක් පෙනේ.

ඇමෙරිකාව සහ අනිකුත් බටහිර රටවල්ද එජා සංවිධානය වැනි අන්තර් ජාතික සංවිධානද මානව හිමිකම් ගැන අපට චෝදනා කරද්දි ඒ ගැන වගේ වගක් නැතිව අප සිටින්නේ අප මිත්‍රයින් එම චෝදනාවලින් අපව නිදහස් කර ගනු ඇතැයි යන විශ්වාසයෙනි. විශේෂයෙන්ම චීනය හා රුසියාව ආරක්ෂක මණ්ඩලේදී අපව ‍රැක ගනු ඇතැයි අප දේශපාලකයින් බලාපොරොත්තු වෙත්.

එහෙත් එය තමන් දු‍ටු සොඳුරු සිහිනයක් පමණක් බවත් යථාර්තය එතරම් සොඳුරු නැති බවත් ලිබියාවේ ගඩා‍ෆිට සිදු වූ දෙයින් වත් අවබෝධ කර ගත යුතුය. ලිබියාවේ ගඩා‍ෆි හා මෙම දෙරට අතර සම්බන්ධය අප හා චීනය හෝ රුසියාව අතර මෙන් අද ඊයේ ඇති වූවක් නොවේ.  එසේම එම දෙරට ලිබියාවේ කර ඇති ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන ගණනකි. ඒවා ආයෝජන මිස අපට මෙන් ගිනි පොලියට දුන් ණයද නොවේ. එසේම එම රටවල් ලිබියාව සමග තෙල් සඳහාද ගිවිසුම් තිබිණි.

මේ සියල්ල තිබියදීත් ඔව්හු තීරාණාත්මක මොහොතේදී ගඩා‍ෆිව අත හැරියහ.
 
ගඩා‍ෆිගේ ප්‍රශ්නය මුලින්ම ආරක්ෂක කවුන්සිලයට ආ මොහොතේදී ඔව්හු ගඩා‍ෆි වෙනුවෙන් පෙනී සිටියේ නැත. ඒ වෙනුවට කලේ චන්දය දීමෙන් වැලකී සිටීමේ ප‍තෝල ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. ඉන්පසු දිගින් දිගටම ගඩා‍ෆිට පහර වදිත්දීත් ඔවුහු ගඩා‍ෆි වෙනුවෙන් ඇඟිල්ලක් වත් නො එසවූහ.  අවසානයේ ඌරු මීයෙකු මෙන් කාණුවක් දිගේ පලා යාමට ගඩා‍ෆි සහ පුත්‍ර සමාගමට සිදු විය.
 
දැන් චීනය ලිබියාවේ කැරලිකාර රජය අමතමින් තමන්ගේ ආයෝජන ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලීමක් ද කලේ මේ කැරලිකරුවන් බලයට ආවේ ලිබියාවේ තම අතිජාත මිත්‍රයා පලවා හරිමින් බවද නොතකමිනි. එපමණක්  නොවේ, තමන් ගඩා‍ෆි රජය හා ඇති කරගෙන තිබූ තෙල් ගිවිසුම්ද එලෙසම පවත්වා ගෙන යෑමට ඇති කැමත්ත චීනය පෙන්වා තිබුණි.
 
ජාත්‍යන්තර දේශපාලනයේ හැටි එබඳුය. එහිදීද සදාකාලික සතුරන් මිතුරන් නොමැතිය. සියල්ල තීරණය වන්නේ ආර්ථික කාරණා මතය.
මෙවන් තීරණාත්මක අවස්ථාවක චීනයේ සහය ශ්‍රි ලංකාවේ රාජපක්ෂ පාලනයට ලබා දීම වෙනුවෙන් ඔවුන් චීන භාණ්ඩ සඳහා ඇමෙරිකාවේ  ඇති අති දෑවන්ත වෙලඳ පොල අත හරින්නේ නැත.
 
ගාලු මුවදොර පිටියෙන් තමන්ට ලබා දුන් අක්කර කිහිපය එතරම් වටින්නේ නැති බව ඔව්හු දනිති. එසේම යම්  හෙයකින් රාජපක්ෂලා වෙනුවට වෙන පාලකයෙක් ආවත් ගාලුමුවදොර ඉඩම තමන්ට අහිමි නොකරන බවත් ඔව්හු දනිති.
 
පහු ගිය කාලයේ බෑන් කී මූන් ව හප කරලා දාන්න කෑ ගහපු දේශප්‍රේමීන්ගේ සද්ද බද්ද දැන් ටිකෙන් ටික අඩු වෙලා ගිහින්. බෑන් කී මූන් කීතු කරන්න, පන පිටින් ගිනි තියන්න කියලා ජනතාව උසි ගන්නපු මල්වංශ ලා, අනදාස ගූමරසේකරලා ,   නලින් සිල්වලා,   වගේ දේශප්‍රේමී වීරයෝ ටිකෙන් ටිකේ සීන්  එකෙන් අයින් වෙලා දයාන් ජයතිලක, මොහාන්  සමරනායක ,ජී.එල් , වගේ  වෙනම කට්ටියක් එලි බැහැලා වගෙයි පේන්න තියෙන්නේ.
 
මේ ගොල්ලෝ ඇවිත් තියෙන්නේ අර දේශප්‍රේමී වීරයෝ ගැලරියේ විසිල් බලා ගෙන කරපු කතා ආපහු අදින්න. බ්ලේක් ආවේ මොකටද කියන්න අපි දන්නේ නැහැ. ඒත් ආපු එකේ ප්‍රතිපල නම් පේන්න  තියෙනවා. දයාන් ලා  එලියට දාන්නේ කලින් කියපු කතා ආපහු ගිල ගන්න.  දීපු පොර ටෝක් එකපාරට ආපහු අදින්න ලැජ්ජයි වගේ .
 
ඒ  නිසා හෙමිහිට පාර හදන්න තමා මේ මිනිස්සු එවන්නේ. අයි යකෝ පහු ගිය දවස් වල දඟලපු දැඟලිල්ලේ තරමට ඒක පාරට දණ ගහන්න වුනොත් වස ලැජ්ජාවනෙ.
 
දැන් මේ තෝල්ක මුදලිලා ඇවිත් අපිට , ඒ කියන්නේ මේ රටේ මහා ජනතාවට මොනවද කියන්නේ.
 
මේ ප්‍රශ්නය විසඳන්න  ඕනේ රාජ්‍ය තාන්ත්‍රික විදියටලු. චීනයයි රුසියාවයි අපේ යාළුවො වුනාට ආරක්ෂක මණ්ඩලේ දී මොන විදියට හැසිරෙයිද කියන්න බැරිලු. පිළිතුරු නොදී ඉන්නවාට වඩා මොකක් හරි පිළිතුරක් දෙන ඒක හොඳයිලු. 

ඒ අතරේ ජී. එල්. කියනවා මූන් වාර්තාවට සවිස්තර උත්තරයක් හදනවා කියලා.
 
මේවාට හිනා වෙන්ඩද අඬන්නද කියලා අපිට තේරෙන්නේ නැහැ.
 
ඇයි වදේ , අපිද පහු ගිය දවස් වල රූප පෙට්ටිවල මොර දුන්නේ රුසියාවයි චීනෙයි අපිට ඉන්නවා , ඒ නිසා අපි බය නැහැ කියලා. ඔය රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් කතා, රුසියන් චීන කතා  ඒ දේශප්‍රේමී කතා කියපු අයටම කිව්වා නම් ඉවරයිනේ . මූන් ගේ පඹයෝ පාරවල් ගානේ ගිනි තියන්න මිනිස්සු උසි ගැන්නුවේ අපිද? මේ අහිංසක ජහමනයාද?
 
සටහන- කොහොම උනත් තව ටික දවසකින් මහින්ද අබේසුන්දරලා, සුමනසේකරලා, සූරියාරච්චිලා අපිට  මෙහෙම කියයි.
 
අපේ දේශප්‍රේමී ආණ්ඩුව කවදාවත් මේ බටහිර අවජාතකයන්  ඉදිරියේ දණ නමන්නේ නැතිය. එහෙත් ඒත් අප රටේ ඉන්න ජ්‍යෝෂ්ට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ උපදෙස් පරිදි ලෝක සාමය උදෙසා යම් යම් පියවරවල් ගැනීමට සිදුව ඇත.අනිත් අතට බෑන් කී මූන්ගේ වාර්තාව පහර දී ඇත්තේ අපිට නොව කොටින්ටය. වඩා හොඳින් කියවා බැලූ විට පෙනී යන්නේ එම වාර්තාව අපේ යුද ක්‍රියා මාර්ගය සහමුලින්ම අනුමත කර ඇති බවය. ඒ නිසා අපි එම වාර්තාව පිළිගන්නෙමු.   ”