Posts Tagged ‘මාර්ටින් නිමොලර්’

ශීඝ්‍රයෙන් බිඳ වැටෙන  රුපියලේ සැබෑ අගය අති විශාල විදේශ විනිමය ප්‍රමානයක් වියදම් කරමින් සඟවා ගෙන සිටියත් කොයි මොහොතේ හෝ කඩා වැටීම සිදු වෙනු ඇත.එම නිසා දරා ගත නොහැකි ජීවන වියදම හමුවේ ඉස්සරහට එන නරක කාලයේ වැඩ වර්ජන ‍රැල්ලක් ඇති වෙන්නට හැකි බවට ආණ්ඩුව ගනන් බලා තිබෙන අතර  එම නිසා  දැන්මම  වැඩ වර්ජන වලට කුඩු වෙන්නටම  පහර දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. 

මේ සඳහා අවශ්‍ය පසු බිම සකසා මර්ධනය සාධාරනීකරනය කිරීම  පහුගිය දාක අරලිය මන්දිරේ ගොස් හැලප කා තේ බී පැමිණි බෝතල් පත්තරකාර නඩේටත් රෙදි නැතිව ආන්ඩුවට කඩේ  යන ඊනියා බුද්ධිමතුන්  බුඩ්ඩිමතුන් කිහිප පොලකටත්  පවරා තිබේ.

තේ බී පැමිණ දින දෙකටට පසු වැඩට බසින දිවයින  කර්තෘ මෙසේ කියයි. මෙසේ ඔහු කියන්නේ පසු ගියදා පැවති දුම්රිය වර්ජනය පාදක කර ගනිමිනි.

රජය විසින් කළ යුතු වැදගත් කාරණයක්‌ තිබේ. එනම් එවැනි හදිසි අවස්‌ථාවල සේවයෙහි යෙදවීම සඳහා යුද හමුදාව පුහුණු කිරීමය.

අනෙක්‌ අතට මෙවැනි අවස්‌ථාවලදී දුම්රිය සේවකයන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට ජනතාව සංවිධානය විය යුතුය. තමන්ට වූ අගතිය වෙනුවෙන් දුම්රිය සේවක සංගම්වලට එරෙහිව අධිකරණයට ගොස්‌ ඒවායේ ප්‍රධානීන් හත් අට මාසයකට, ඔවුන්ට කිට්‌ටුවෙන්ම පිහිටි බන්ධනාගාරයට (වැලිකඩ, බෝගම්බර, මීගමුව, මහර, අනුරාධපුරය, ගාල්ල, යාපනය) ගාල් කිරීමට කටයුතු කළ යුතුය.”

දුම්රිය වර්ජනයේ හරි වැරදි වෙනම සාකච්ඡා කල යුතු දෙයකි. ඔවුන් එම වර්ජනය කල ආකාරයේ කිසි වැ‍රැද්දක් ඇට මැස්සා නොදකී. සෑම වර්ජනයක්ම , උද්ඝෝෂණයක්ම උසාවි නියෝ මගින්  නැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරන විට වෘත්තීය සමිති මේ අයුරින් කටයුතු කිරීම අරුමයක් නොවේ. ඒ ගැන වචනයවත් කතා නොකරන දිවයින පත්තරෙන්    මේ  එලියට එන්නේ හැලප දෙකේ හා කෝපි කෝප්පයට දිවයින බෝතල් පත්තරකාරයා ගෙවන මිලයි.

මේ වැඩේට එක් වෙන රනිල්ගේ මාමගේ මිරර් පත්‍රයේ චම්පිකා ලියනාරච්චි මැතිනිය සිය කතු වැකියෙන් කියන්නේ වෘත්තීය සමිති තහනම් කල යුතු බවයි.

මේ අතරේ ඊයේ අයි ටී එන් නාලිකාවේ ඇතුලාන්තය වැඩසටහනට පැමිණ සිටි , මීට පෙර එක්ස් කණ්ඩායම සමග පශ්චාත් නූතනත්වය ගැන දෙඩවූ ධම්ම දිසානායක   නම් වූ පුද්ගලයා කියා සිටියේ මේ ශක්තිමත් ආණ්ඩුව තමන්ගේ හයිය පාවිච්චි කල යුතු බවයි. කප්පම් ඉල්ලන වෘත්තීය සමිති කුඩු කර දැමිය යුතු බවයි. ඔහුට  අනුව මේ අවස්ථාවේ වැඩි පඩි ඉල්ලා කරන වෘත්තීය අරගල නතර කල යුතුය. ජනතාව කෑමට ඇඟට සීමාවන් හදාගෙන ලැබෙන පරිදි ජීවත් විය යුතුය. ජනතාවගේ අනවශ්‍ය වියදම් වන කිරි බීම ආදියට ජනතාව පොලඹවන  කිරි  වෙලඳ දැන්වීම් තහනම් කල යුතු බවද ඔහු කියයි.

මේ සියලු ගොන්නුන් හැරෙන්නේ පොල් පැලය දිසාවට බව පැහැදිලිය.

මාර්ටින් නිමොලර් මතක්  කර ගැනීමට මේ හොඳම  කාලයයි.

“ඔවුන් යුදෙව්වන් සොයා පැමිණියහ………….”

Advertisements

“මෙය ශ්‍රි ලංකාවද අඩු වැඩි වශයෙන් අත් විඳිමින් සිටින අප්‍රසන්න  තත්වයක් ලෙස සැලකිය හැකිය. නීතියට ඉහලින් සිටීමේ අයිතිය කිසිවකුට නොතිබිය යුතු නැතිනම් එම ප්‍රතිපත්තිය අන්තර්ජාලයටද අදාළ විය යුතු බව මෙම විවාදයේදී රාවය පල කල මතය විය.එසේම සියලු ප්‍රවෘත්ති වෙබ් අඩවි වල සිදු කැරෙන වාර්තාකරණයන් සඳහා ජනමාධ්‍ය විෂයයෙහි පිළිගත් සදාචාර ප්‍රතිපත්ති අදාළ විය යුතු බවද රාවයේ මත විය……

……..   සමහර වෙබ් අඩවි සැලකිය හැක්කේ ත්‍රස්තවාදි ව්‍යාපාරයකටත් වඩා විනාශකාරි ව්‍යාපාර ලෙසය. ඔවුන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීම සේම ශ්‍රී ලංකාව සඳහාම පල කැරෙන වෙබ් අඩවි නීතියේ පාලනයට යටත් තත්වයක ගැනීම රටේ යහපත් ඉදිරිපත් ගමනක් සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි. “

රාවය යන නම දෙතැනක සටහන් නොවන්නට ඉහතින් දැක්වෙන කොටස උපුටා ගත්තේ ආණ්ඩුවේ දිනමිණ පත්‍රයෙන් හෝ ස්වාධීන රූපවාහිනියට මහින්ද අබේසුන්දර ලියන  විමසුම වැඩ සටහනෙන් යැයි කෙනෙකුට සිතෙනු ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අන්තර් ජාල කටයුතු වාරණය සඳහා ගෙන ඒමට උත්සාහ කල සෝපා හා පයිපා යන පනත් දෙක ගැන මෙවර රාවයේ කතුවැකිය ලෙස ලියවුනු  ඉහත  කොටසද අඩංගු ලිපිය , රචනා ශෛලියත් අන්තර්ගතයත් අනුව ලියා ඇත්තේ අන් කිසිවකු නොව ලඟදීම පටිසෝතාගාමි 25 වසරක් සමරන රාවයේ අයිතිකාර වික්ටර් අයිවන්ම විය යුතුය. ඒ මෙවන් කාලකන්නි ලිපියක්  ලියන්නට තරම් වෙන එකෙක් රාවයේ නැති බැවිනි.

වෙබ් අඩවි වලට නීතියට ඉහලින් සිටිය නොහැකි බවට කෙස් පලන  මොහුට  ශ්‍රීලංකාවේ පාලකයින් සිටින්නේ නීතියට ඉහලින් බව පෙනෙන්නේ නැත. ඔවුන් නීතිය කෙලසමින් සිටිත්දී ඒ ගැන ඔහු අන්ධය.

රාජ්‍ය මාධ්‍ය හා ආණ්ඩුපක්ෂයට වහල් කම් කරන පෞද්ගලික මාධ්‍ය  මාධ්‍ය භාවිතයේ සියලු සදාචාර සීමාවන් ඉක්මවා යද්දී ඒ ගැන බිහිරෙකු  හා ගොළුවෙකු මෙන් සිටින අයිවන් , වෙබ් අඩවිවල සදාචාරය ගැන කථා කරයි.

ලංකාව තුල සියලු මාධ්‍ය , අයිවන්ගේ රාවයද ඇතුලුව , රාජපක්ෂ රෙජිමයේ නිල හෝ නොනිල ග්‍රහණයට හසුව , ඔවුන්ට ගැතිකම් කරමින් සිටින මේ මොහොතේ ඊට එරෙහි විකල්ප මාධ්‍ය මෙහෙයක් යම් තරමකට හෝ ඉ‍ටු කරන්නේ වෙබ් අඩවි මගිනි.

විශේෂයෙන් ශ්‍රි ලංකාව තුල ශීඝ්‍රයෙන් හිස ඔසවමින් එන අතුරුදහන් කිරීම් ,මාධ්‍ය මර්ධනය ඇතුලු මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහිව මෙම වෙබ් අඩවි ගෙනයන ප්‍රචාරය රජයට බලවත් හිස රදයක් වී ඇත.

වික්ටර් අයිවන් තම කතුවැකි හා දේශපාලන ලිපි මගින් මේ උත්සාහ කරමින් සිටින්නේ ඉදිරියේදී ඒමට නියමිත එම වෙබ් අඩවි මර්ධනය වෙනුවෙන්  අවශ්‍ය පසුබිම සකස් කර  දීමයි. ඒ වෙනුවෙන් ඔහුට කීයක් ලැබේ දැයි අපි නොදනිමු. ජුදාස් නම් ජේසු තුමන් පාවා දුන්නේ රිදී තිහකටය.

අප යුද්ධයේ අනුගාමිකයන් නොවෙමු. මිනිසුන් එකිනෙකා මරාගන්නා යුද්ධ අපට අපුලය.

එබැවින් යුද්ධයේ වීරයින් වෙනුවෙන් පෙනී සිටීමට අපට කිසිම වුවමනාවක් නැත. වීරයින්ට වඩා අපගේ සැලකිල්ල යොමු වන්නේ යුද්ධයෙන් පීඩාවට පත් වූ අහින්සක ගැහැණුන් හා මිනිසුන් වෙතය.
2009 මැයි මස අවසන් වූ ඊලාම් යුද්ධයේ  ජයග්‍රාහක  පාර්ශවයේ නියමුවෙක් හා වීරයෙක් වන  ජෙනරාල් සරත් ෆොන්සේකා එම යුද්ධයේ ඔහුගේ සගයින් විසින්ම දැන් දඩයම් කරනු ලබමින් සිටියි.
එම යුද සමයේ ඔහු මහා වීරයෙකු වශයෙනුත් ,ලෝකයේ හොඳම හමුදාපති වශයෙනුත් අභිෂේක කල අය විසින්ම ඔහු දේශය පාවා දුන් ද්‍රෝහියෙකු ලෙස  හඳුන්වමින් සිටිති.
මේ වන විටත් ඔහුගේ සියලු තනතුරු හා සම්මාන පමණක් නොව විශ්‍රාම වැ‍ටුප පවා උදුරා ගෙන ඇත.

එකල ජෙනරාල් ෆොන්සේකා ඇතුලු පිරිස් විසින් දේශද්‍රෝහින් ලෙස නම් කළවුන් අද දේශප්‍රේමින් වන අතර  , ෆොන්සේකා හා ඔහුගේ සගයින් දේශද්‍රෝහින්ය.
ඉතා ඉක්මණින්ම මේ දේශද්‍රෝහි ජනරාල් වරයා පාර්ලිමේන්තුවෙනුත් නෙරපා සිරකුටියක් වෙත යැවෙනු ඇත.

මේ අවස්ථාවේ අප ජෙනරාල් වරයා වෙනුවෙන් පෙනී සිටිමු. ඔහුව නිදහස් කරන මෙන් බල කර සිටිමු. අප එසේ කරන්නේ ඔහු යුද විරුවෙකු නිසා නම් නොවේ. අප කලින් කියු පරිදිම යුද්ධය යනු අපගේ ප්‍රියතම විෂයක් නොවේ.

එසේනම් අප ජෙනරාල් වරයා වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි.

ජෙනරාල් ෆොන්සේකා අද බැට කමින් සිටින්නේ ඔහු යුද්ධයේ කල කී දෑ නිසා නොව යුද්ධයෙන් පසු ඔහු කළ දෑ නිසා බැවිනි.

මේ සියලු චෝදනා ඔහුට එරෙහිව  ඉදිරිපත් වන්නේ රට වැඩවසම් ,ඒකාධිපති පාලනයක් කරා ගෙන යමින් සිටි පිරිසකට එරෙහි වූ බැවිනි.

ඒ සඳහා ඔහුට ඔහුගේම පෞද්ගලික හේතු තිබුණු බව නොරහසකි. එහෙත් එය අපට අදාළ ප්‍රශ්නයක් නොවේ.

කුමන හේතුවක් මත හෝ , රට ආගාධයට ඇදගෙන යන දූෂිත තන්ත්‍රයකට එරෙහිව සටන් වැදීමට ඔහු ඉදිරිපත් වූ නිසා ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. වැදගත් වන්නේ එයයි.

අප ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ මේ ඉරණමට මුහුණ දෙන අන්තිමයා ඔහු ඔහු නොවිය හැකි බැවිනි. මේ වැඩවසම් පාලකයින්ට එරෙහිවන ඕනෑම කෙනෙකුගේ ඉරණම මෙය විය හැකි බැවිනි.

එම නිසා අප යුද වාදියෙකු නොවීම හෝ ෆොන්සේකා හිතවාදියෙකු නොවීම ඔහුගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමට බාධාවක් නොවේ.
අද අප එසේ නොකලහොත් හෙට දිනයේ ඔවුන් අප සොයා එන විට අප වෙනුවෙන් හඬක් නැගීමට, මාර්ටින් නිමොලර් කී ලෙසම, කිසිවෙක් ඉතුරු නොවනු ඇත.

ටැබූ සබ්ජෙක්ට් එකක් කියන්නේ කවුරුවත් වැඩිපුර ඒ ගැන කතා නොකරන , කතා කරන්න අකමැති , එහෙම  නැත්නම්  තහනම්  කරපු විෂයක් .
 
අද  බියොන්ඩ් ෆ්‍රේම් කියන නමත් සිංහල බ්ලොග් අවකාශයේ ටැබූ එකක් වෙලා. සිංහල බ්ලොග් කියවන්නන අතරේ ඉතාමත්  ජනප්‍රිය  බ්ලොග් එකක් වුනු බියොන්ඩ් ෆ්‍රේම් ගේ බ්ලොග් අඩවිය හැක් කරලා හෝ වෙන මොන යම්  විදියකින්  නැවතිලා දැනට සතියකට වැඩියි. ඒත් ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.  කතා කිරීමේ නිදහස ගැන මාධ්‍ය  නිදහස ගැන ලියන කියන කිසි කෙනෙක් මේ ගැන ලිව්වේ නැහැ. ඇට මැස්සා දැක්ක විදියට මේ ගැන ලියලා තිබුනේ sky  dreams   බ්ලොග් අඩවියේ විතරයි.
 
මීට කලින් ටැබූ ගේ , කොලුගෙ , පිස්සාගේ බ්ලොග් අඩවි හැක් වුනු වෙලාවේ ඒ ගැන මහා සංවාදයක් ඇති වුනා. 
 
ඒත්  අද  … ?   මොකද මේ වෙනස.?
 
ඉහතින්  සඳහන් කරපු ටැබූ , කොලු  වගේ අය තමන්ගේ බ්ලොග් හැක් වුනාම ඒ බව ඉස්සාරහට ඇවිත් කිව්වා, තමන්ගේ බ්ලොගේ එකේ හරි අනිත් අයගේ බ්ලොග් වල දාපු කොමෙන්ට් විදියට හරි ඒ අය තමන්ට වුනු දේ කිව්වා. පිස්සා කොහොම  හරි බ්ලොග් එකේ පාලනය ආපහු  තමන්ගේ අතට ගත්තා.
 
ඒත් බියොන්ඩ් ෆ්‍රේම් නිශ්ශබ්දයි . ඔහු ගැන කතා නොකරන බ්ලොග් අවකාශය වගේම ඔහුත් නිශ්ශබ්දයි . අවුරුදු දෙකක පමණ කාලයක් දිනපතාම බ්ලොග් සටහන් ලියු බියොන්ඩ් ෆ්‍රේම් එකපාරටම තමන්ට සිද්ද වුනු දේවත් නොකියා ලිවීම අත හැරලා. අනික් බ්ලොග් කරුවනුත් ඒ ගැන ලිවීම අත හැරලා.  
 

මොකද මේ ? මේකද හේතුව ?
 
නාසීන් මුලින්ම කොමියුනිස්ට්වාදීන් සොයා පැමිණියහ.

මම කතා නොකෙලෙමි.

ඒ මම කොමියුනිස්ට් වාදියෙක් නොවූ බැවිනි. ………..

………………….

එහෙනම් මේකත් මතක තියා ගත්තොත් හොඳයි……  
 
අවසානයේ ඔවුන් මා සොයා එන විට

මා  වෙනුවෙන් කතා කිරීමට කිසිවෙක් ඉතිරිව නොසිටියහ……………..