Posts Tagged ‘මහාචාර්ය ඒකක’

සමස්තයක් වශයෙන් ගත් විට ශ්‍රී ලංකාවේ සරසවි යනු එකම අවුල් ජාලයකි. භෞතික හා මානව සම්පත් හිඟය , දේශපාලන ඇඟිලි ගැසීම්, පෞද්ගලීකරණ තර්ජන ,සිසු ගැටලු, ප්‍රතිපාදන කප්පාදුව ආදි දහසක් ප්‍රශ්න වලින් ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය දැවෙමින් පවතී.

ආචාර්ය හිඟය, දේශනශාලා,රසායනාගාර පහසු කම් නොමැති වීම හෝ මඳ වීම, පුස්තකාල පොත්පත් හිඟය,නේවාසිකාගාර ගැටලු අද සරසවි වල සාමාන්‍ය දේවල් බවට පත් ව ඇත. නො එසේනම් ,පේරාදෙණිය සම සෞඛ්‍ය විද්‍යා සිසුන්ට සිදු වුනා මෙන් ,පහසුකම් තිබුනද ඒවා ප්‍රයෝජනයට ගැනීම බාහිර බලවේග විසින් අහුරා ඇත.

මෙම ප්‍රශ්න විශේෂයෙන්  උග්‍රව පවතින්නේ  මෑත භාගයේ රජයන් විසින්  තැන් තැන් වල කිසි සැලස්මකින් තොරව කඩිමුඩියේ ඇටවූ සරසවි , සරසවි පීඨ හා අධ්‍යන දෙපාර්තමේන්තුවලය.

අවම පහසු කම් පවා නොමැති මෙම සරසවි හා පීඨ මෙසේ තනන්නේ එක්කෝ පවතින රජයන්ට අපිත් විශ්වවිද්‍යාලයක් හැදුවා යැයි පම්පෝරි ගසන්නටය. එසේ නැත්නම් කවුරුන් හෝ ප්‍රාදේශීය දේශපාලකයෙකුට” ඔන්න අපේ පලාතටත් මම විශ්ව විද්‍යාලයක් ගෙනාවා ” යැයි කියන්නට ය.

සරසවි තුල අලුතින් පීඨ හෝ අධ්‍යන දෙපාර්තමේන්තු සැදෙන්නේත් එලෙසය. නමුත් ඒ සෘජු දේශපාලන අවශ්‍යතා වලට  වඩා දේශපාලකයින් පස්සේ ගොස් සරසවි තුල බලයක් ගොඩ නගා ගෙන සිටින ආචාර්ය මහාචාර්ය වරුන්ගේ උවමනා එපා කම් වෙනුවෙනි    හෙද,රසායනාගර ශිල්පී,විකිරණ ශිල්පී භෞත චිකිත්සක ආදි පාර වෛද්‍ය සේවාවල නියුතුවූවන්ට උපාධි ප්‍රදානය කරන සම සෞඛ්‍ය විද්‍යා පීඨය රටේ සැබෑ අවශ්‍යතාවක් වූවත් පේරාදෙණියේ එය තැනුනේ එම අවශ්‍යතාව වෙනුවෙන් නොව ඒ වන විට වෛද්‍ය පීඨය තුල තම ප්‍රතිරූපය බිඳ ගනිමින් සිටි මහාචාර්ය චූලා ගුණසේකරගේ පෞද්ගලික න්‍යාය පත්‍රයට අවශ්‍ය පරිදිය. පීඨය පවත්වාගෙන යන්නට තැනක් පවා නොමැතිව, විෂය නිර්දේශයන් පවා සකස් නොකර තිබියදී කඩිමුඩියේ එය පටන් ගත්තේ ඒ නිසාය. සිසුනට අවශ්‍ය රසායනාගාර පහසුකම් , ප්‍රායෝගික පුහුණු වීම සඳහා රෝහල් ආදිය ගැන කිසිම සැලකීමක් නොකරන ලදි.

චූලා ගුණසේකරලාගේ කඩි කුලප්පුවට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සිසුන්ටය. පීඨය අරඹා වසර පහක් පමණ ගත වී ඇති අතර එම කාලයෙන් වැඩි හරියක් සිසුන් ගෙව්වේ තම අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් උසාවි ගානේ රස්තියාදු වෙමින් හෝ මහ පාරවල් දිගේ පෙලපාලි යමින් පොලිස් හා ආණ්ඩුවේ මැරයින්ගෙන් ගුටි කමිනි. නො එසේනම් ප්‍රායෝගික පුහුණුව සඳහා කාලය හිඟා කමින් පෞද්ගලික රෝහල් වල රස්තියාදු එම පීඨයේ ගුරු වැඩි දෙනා පිටින් පැමිණ උගන්වන බාහිර කථිකාචාර්යවරුන්ය. චූලලාට පිංසිද්ද වෙන්නට සිසුන් ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවෙන් තොර පාඨමාලා දහදුක් විඳිමින් හදාරති.  අදටත් එම  තත්වයේ වෙනසක් නැත.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ අද ඇති වී තිබෙන තත්වයද ඊට සමානය. එය සැදුනේ වැඩිපුර වෛද්‍ය සිසුන් ගණනාවකට අධ්‍යාපනය දීම සඳහා වූ පරම පවිත්‍ර චේතනාවෙන් නම් නොවේ. ඇත්තෙන්ම කිවහොත් රජරට වෛද්‍ය පීඨය යනු මහලු මඩමකි. එය තනා ගැනීම සඳහා පුදුමාකර තදියමක් ත් තිබුනේ පේරාදෙණිය පීඨයේ උගන්වා විශ්‍රාම ගොස් අවලංගු කාසි බවට පත්ව සිටි  ආචාර්ය මහාචාර්ය කීප දෙනෙකුන්ටය. දේශපාලන  අධිකාරියේ අමන කමුත් එයට එක්වීමේ ප්‍රතිඵලය අංග විකල රජරට වෛද්‍ය පීඨයයි.

දේශපාලකයින්ගේත් , මේ මහලු ඇදුරන්ගේත් සැබෑ අරමුණ වැඩිපුර වෛද්‍ය සිසුන් ගණනකට අධ්‍යාපනය දීම නම් කල යුතුව තිබුනේ දැනට ස්ථාපිතව ,යම් ප්‍රමිතියක් ඇතිව පවත්වාගෙන යන වෛද්‍ය පීඨවල ඇති පහසුකම් තව වැඩි කර ඒවාට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීමයි. මහාචාර්ය ඒකක, සායනික පහසුකම් හා සුදුසුකම්  ලැබූ ගුරුවරුන් රහිත මෙවැනි පීඨයක් ආරම්භ කිරීම නොවේ. එම පීඨවල පහසුකම් වැඩි දියුණු කිරීමට අලුතින් , මෙවැනි පීඨ භාග බිහි කිරීමට වඩා වියදම් අඩු ,සිසුනගේ පමණක් නොව රෝගීන්ගේ පැත්තෙන්ද   වඩා සාධාරණ හා අඩු වියදම් ක්‍රියාවකි. එහෙත් එය අලුත් පීඨයක් ඇරඹීම තරම් අඬබෙර ගැසිය හැකි ක්‍රියාවක් නොවේ. එසේම එයින් පැජ් පෙරේරලගේ හා උඩුපිහිල්ලේ ලාගේ විශ්‍රාමික ප්‍රශ්න විස‍ඳෙන්නේද නැති බව නම් සැබෑය.

එහෙත් එයින් සිසුන්ට යම්තරමකට හෝ ප්‍රමිතියක් හා අන්තර්ජාතික පිළිගැනීමක් ඇති වෛද්‍ය උපාධියක් හැදෑරීමට ලැබෙනු ඇත. එය රජරට බඳු වෛද්‍ය පීඨ වලින් බිහිවෙන භාග වෙදුන්ගෙන් ප්‍රතිකාර ලබනවාට වඩා රෝගීන්ටද හොඳය.

වසර විසි තිස් ගණන් පේරාදෙණියේ උගැන්වූ මේ ගුරුවරු නියමිත පහසුකම් නොමැතිව වෛද්‍ය පීඨයක් ඇරඹීම කොතරම් හානිදායක දෙයක් දැයි හොඳාකාරවම දනී. එහෙත් ඔවුනට එය වැදගත් නැත. ඔවුනට වැදගත් තම පොකට්‍ටුව පමණි.අඩුම තරමෙන් පීඨය පටන් ගත් පසුව හෝ මහාචාර්ය ඒකක පිහි‍ටුවා පීඨය දියුණු කර ගැනීමට ඔවුනට අවශ්‍ය නැත. මේ මහලු ගුරුවරුන් පසෙක තැබුවත් , රජරට පීඨයට වැදී සිටින නාථ දෙවියන්ගේ ගෝලයන් වන ජයසුමනලාට හෝ මහමිතවලාටවත් එය අවශ්‍ය බවක් පෙනෙන්නේ නැත.ඇත්තටම ගතහොත් ජයසුමනලා හා  මහමිතවලා රජරට වෛද්‍ය පීඨයේ බංකොලොත් බව පෙන්වන කැටපත් බඳුය. වෛද්‍ය පීඨයක වෛද්‍ය සිසුන්ට උගන්වන ගුරුවරුන් වන මොවුන් දේව බලයෙන් ඩෙංගු රෝගය සුව කල හැකි යයි සිතනවුන් වීම මොනතරම් විගඩමක්ද?

මේ ප්‍රශ්නය ගැන මතු වෙන  ඊලඟ  කරුණ නම් මෙයට සම්බන්ධ වෙනත් පාර්ශව, එනම් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය, වෛද්‍ය පීඅඨ කමි‍ටු වැනි ආයතන සම්පූරණයෙන්ම නිහඬ පිලීතක් අනුගමනය කිරීමයි. මාලබේ වෛදා්‍ය පීඨයෙ සායනික පහසුකම් නැති නිසා එයට මාරන්තිකව විරුද්ධ වෙන මොවුන් රජරට  ගැන නිහඬව සිටින්නේ මන්ද? රජරට සිසුන් නිසි  ප්‍රමිතියකින් යුතු වෛද්‍ය අධ්‍යාපනයක් ලබා එලියට පැමිණ තමන්ට තරඟයක් දේවි යැයි බිය වී වත්ද?

 රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් තම අධ්‍යාපන කටයුතු සඳහා මහාචාර්ය ඒකකයක් දෙන මෙන් ඉල්ලා කරන සටන තුල පසුගිය සතියේදී සිසුන් හය දෙනෙකුට පංති තහනම් විය.ඒ එහි උපකුලපති  මහාචාර්ය නන්දසේන ප්‍රාණ ඇපයට ගත්තා යැයි කියමිනි.

ඇත්තෙන්ම සිසුන් එසේ කලා නම් වැරදිය. වැ‍රැදි දෙයට වැ‍රැදි යැයි කීමට අප පසු බට නොවමු. මහාචාර්ය නන්දසේන ප්‍රාණ ඇපයට ගෙන හෝ නොගෙන ඔහුගෙන් මහාචාර්ය ඒකක හෝ වෙන යම් දෙයක් හෝ ඉල්ලීම වැරදිය.ඔහුගෙන් යමක් ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහා‍ටු ඉල්ලීමක්  බඳුය. ඉබ්බන්ගෙන් පිහා‍ටු ඉල්ලීම වැ‍රැද්දක් පමණක් නොව ජෝක් එකක්ද වෙයි.

පේරාදෙණිය කෘෂිවිද්‍යා පීඨයේ ගුරුවරයෙකු වන මහාචාර්ය නන්දසේන රජරට උපකුලපති ධූරය ලබා ගන්නේ ඉහලම තැන සිට පහලම තැන දක්වා වූ දේශපාලකයින් රොත්තක් පසුපස බඩගා යමින් ,ඔවුනගේ පා ලෙව කමින්, ඔවුනට සකලවිධ දාසකම් කරමිනි.ඔහු මේ දේශපාලකයින්ට පමණක් නොව ඔවුන්ගේ ඈතින් නෑයනට, හිතමිත්‍රාදින්ට , නිවෙස්වල මෙහෙකරුවන්ට පවා තෑගි බෝග පිදුවේය. බෝජන සංග්‍රහ පැවත්වුයේය. ඔහු තනතුර ලබා ගත්තේ එලෙසය.

එසේ කඹුරා උපකුලපති තනතුර ලබා ගත් දා සිට උග්‍ර රාජපක්ෂ වාදියෙක් විය,සුවච කීකරු සේවකයෙක් විය. රයන්නක් දු‍ටුවත් අසුනෙන් නැගිට වැඳ වැටෙන තරම් රාජපක්ෂ බැතිමතෙක් විය. ඔහු නිරන්තරයෙන්ම කල්පනා කරන්නේ තම හාම්පුතුන් සතු‍ටු කරන්නේ කෙසේද යන්නයි.ඒ නීතියට බාහිරව  වැඩිපුර මාස කිහිපයක් හෝ  තනතුරේ ‍රැඳී සිටීම සඳහා ය.

රාජපක්ෂ රෙජිමය තම පසුගිය අයවැයෙන් රටේ අධ්‍යාපනයට වෙන් කර තිබූ මුදල තව දුරටත් කප්පාදු කලේය. ඔවුනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය නගා සි‍ටුවීම සඳහා  ඇම්මක් නැත. ආණ්ඩුවේ සියලු පිඹුරු පත් සැකසෙන්නේ අධ්‍යාපනය විකිණීම වෙනුවෙනි. එහෙව් වූ ආණ්ඩුවකට රජරට වෛද්‍ය ශිෂ්‍ය්‍යයන්ට මහාචාර්ය ඒකක දීමට තදියමක් නැත. දුන්නත් නමට මහාචාර්ය ඒකකයක් මිස වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියට ගැලපෙන අංග සම්පූර්ණ එකක් නම් නොවේ.

ඒ නිසා ආණ්ඩුවට අවශ්‍ය සිසුන්ගේ ඉල්ලීමසපුරන, ඒවා සිසුන් හා එක්ව තමන්ට ඉද්‍රිරිපත් කරමින් කරදර කරන සරසවි පාලකයින් නොව ,එම ඉල්ලීම ගෙන එන සිසුන් දංගෙඩියට දක්කන නිවටයින්ය. තම තනතුරු ‍රැක ගැනීමට නම් ආණ්ඩුව කියන පරිදි කටයුතු කළ යුතු බව ඔවුන් දනී. එසේ නොකළහොත් සිසුන් සමග තම බෙල්ලත් දංගෙඩියට තැබීමට සිදු වන බවත් ඔවුන්  හොඳාකාරවම දනී.අනික් අතට නන්දසේනලා බඳු මිනිසුන් සිසුන් වෙනුවෙන් එවැනි කැප කිරීම් කරනු ඇතයි සිතීමද විහිලුවකි.

තම ඉල්ලීම් මහාචාර්ය නන්දසේනලා  වෙතින් දිනා ගත හැකි වේ යැයි සිතීම ඉබ්බන්ගෙන් පිහා‍ටු ඉල්ලීමක් බඳු යැයි අප කියන්නේ එබැවිනි.