Posts Tagged ‘මරණය’

වැඩි කල ඉන්ධන මිලට එරෙහිව ජනතාව වීදි බසිද්දි  එම ජනයා ‍රැවටීම සඳහා පෙරට ආ රෙදි නැතිව හෙලුවෙන් ආණ්ඩුවට  කඩේ යන වීරවංශ  කියා සිටියේ  ආණ්ඩුව තවමත් ඉන්ධන විකුනන්නේ පාඩුවට බවයි.

එහෙත් පුවත් උදෙසා අයි ටී එන් හා සීනිව්ස් පමණක් බලන අමු මැට්ටන් කීපදෙනෙකුන් හැර අනෙකුන් ‍රැවටීමේ හැකියාව වීරවංශාලාගෙන් ශීඝ්‍රයෙන් ගිලිහී යමින් පවතී.වීරවංශලාගේ බොරු දේශප්‍රේමි බයිලා වලින් මේ ගමන නැවත්විය නොහැක.

ඉන්ධන මිලත් සමග අනෙකුත් සියලු භාණ්ඩවල මිල අනිවාර්යෙන්ම ඉහල යනු ඇති අතර බස් හා විදුලිය  දැනටමත් වැඩි කර ඇත. කිරිපිටි මිල රුපියල් 20 කින් වැඩි කිරීමට සැරසෙයි.ගෑස් මිලද වැඩි කිරීම සඳහා සාකච්ඡා වෙමින් තිබේ.

පසුගිය අයවැයෙන් රජයේ සේවකයින්ට වැඩි කල සොච්චම මෙන් දෙතුන් ගුණයක් දැනටමත් ආණ්ඩුව විසින්ම නැවත මංකොල්ල කා ඇත. ඔවුන්ද ඇතුලුව පෞද්ගලික අංශයේ සේවකයින් හා එදිනෙදා දිවි සරි කර ගන්නා කුලී කම්කරුවන්, ධීවරයින් ,ගොවීන් ඇතුලු සියලු ජනතාව ජීවන වියදමට සරිලන පරිදි ආදායමක් නොමැතිව ජීවත් වීම සඳහා මහත් වූ අරගලයක යෙදී සිටී.

මේ අතර ආණ්ඩුව පොඩි එකාගේ කිරිපිටි පැකට්‍ටුවෙන් , භූමිතෙල් ලීටරයෙන් , විදුලි බිලෙන් බදු අයකර එම මුදල් තම සුඛ විහරනයට යොදා ගනිති. රාත්‍රී කාර් රේස් පැවත්වීමට , දැයට කිරුල බඳු නාස්තිකාර සංදර්ශන පැවත්වීමට විය්දම් කරන්නේ එම මුදල්ය.  , නොරොච්චේලේ, නෙලුම් පොකුණ, නැවු නො එන හම්බන්තොට වරාය, ක්‍රීඩා නොකරන දැවන්ත ක්‍රීඩාංගන හදන්නේ රටේ කුඩා දරුවන් මන්දපෝෂණයෙන් පෙලෙද්දීය. නාමල් රාජපක්ෂලාගේ ප්‍රතිරූපය පිම්බීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ලබා ගැනීම සඳහා කෝටි සිය ගණන් වැය කරන්නේ රටේ ජනයාගේ පොකට්‍ටුවෙන් හොරකම් කරන මුදල්ය.වීරවංශලාගේ බිරින්දෑවරූ දේවාල ගානේ යන්නට ඩීසල් ගසන්නේද රටේ මහජනයාගේ මුදලිනි.

රාජපක්ෂ රෙජිමය කරන මේ මහා නාස්තිය හා දූෂණ ගැන රටේ ජනයා අවබෝධ කර ගනිමින් සිටිති. ජනයා පාරට බසින්නේ ඒ නිසාය.

ඒ තමන්ගේ දරුවන් කුසගින්නේ හඬද්දී රටේ නායකයින් කරන මේ මහා විනාශය ඔවුන් දන්නා නිසාය. ඔවුන් එන්ජීඕඑ ඒජන්තයින් හෝ වෙන කිසිවෙක් නොවේ. තම ජීවිතය ගැට ගසා ගැනීමට උත්සාහ කරන අහිංසක මිනිසුන්ය. කුමක් හෝ කර ජීවිතය පවත්වා ගෙන යාමට හැකිනම් ඔවුන් පාරට බසින්නේ නැත.

පසුගියදා ආණ්ඩුවේ තුවක්කු කරුවන් විසින් මරා දැමූ ඇන්ටනි ප්‍රනාන්දුද එබඳු අහිංසක මිනිසෙකි.ඔහු  සෑම දිනකම තම ජීවිතය පරදුවට තබා සැඩ රල සමග පොර බදිමින් මුහුදු ගියේ තම දරු දෙදෙනාගේ කුසගින්නේ නොතබා ජීවත් කරවන්නටය. මහ එවුන්ගේ පුතුන්ට කාර් රේස් පදින්නට, වීරවංශලාට මාලිගා තනන්නට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා තමන්ගේ එම අහිංසක බලාපොරොත්තුවත් උදුරා ගන්නට ආණ්ඩුව උත්සාහ කරන විටය ඔහු තම සගයින් සමග පාරට බැස්සේ.

මේ මහා දේශප්‍රේමි ආණ්ඩුව වෙඩි තබා මැරුවේ තම දරුවන් කුසගින්නේ නොතියන්නැයි හඬ ගා කියු මිනිසෙකුටය.

පසු ගිය  දා ජනාධිපති වරයා මහජන කැලඹීම් මැඩීමට සන්නද්ධ හමුදා බලාත්මක කලේ  මෙලෙස මිනිසුන් මරමින් තමන්ට එරෙහිව නැග එන ජනතා විරෝධය නවත්වන්නට හැකි  වේ යැයි සිතා බව පෙනේ.

කියුබාවේ බැටිස්ටා, පිලිපිනයේ මාකෝස්, ඉරානයේ ෂා, ලිබියාවේ ගඩා‍ෆි, ඊජිප්තුවේ මුබාරක්, ටියුනීසියාවේ බෙන් අලි ආදි ඒකාධිපතින් සියලු දෙනාම සිතුවේත් ඒ ආකාරයටය.එහෙත් ඔවුන් සියලු දෙනා අවසානයේ වැ‍ටුනේ ඉතිහාසයේ කුණු බක්කියටය.

කවුරුන් විසින් හෝ උසාවි නියෝගයක් ලබාගෙන මුන්නෙශ්වරමේ බිලි පූජාව නැවැත්වූ පසු  සරම කරට ගෙන එම ස්ථානයට ගොස් මහා ලොකු සද්දයක් දැමූ මැරවින් සිල්වා උතුමාණෝ ,එම ක්‍රියාවට පෙරමුණේ රාල , දිවයින කතෘ  ඇතුලු වර්ගවාදින්ගෙන් ලැබුනු හුරේ පාර නිසා හොඳටම චූන් වී දැන් තවත් නාඩගමකට අර අඳිමින් සිටී.

 ඒ අනුව ඔහු ගම්පහ දිස්ත‍්‍රික්කයේ මස් කඩවල ගව මස් විකිණීම ලබන සතියේ සිට තහනම් කර තිබේ.  කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකරන ගවයා මෙරටට සම්පතක් බවත්,  එවැනි සතෙකු මරා මස් කෑම මහා පාප කර්මයක් බවත්,ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් රටටම ආදර්ශයක් ගෙන දීම සඳහා තමා මේ තහනම පැනවූ බවත් ඔහු කියා තිබේ.
 
ශ්‍රි ලංකාව බහු ජාතික බහු ආගමික  රටකි.   එහි නොයෙක් ජාතින් වෙසෙති . ඔවුන්ගේ සිරිත් විරිත්, ගති පැවතුම්, ආගමික මතාන්තර එකිනෙකට වෙනස්ය.
 
එසේ වෙසෙන විවිධ ජාතින්ගේ විවිධ ආහාර පුරුදු ගැන තඹ දොයිතුවකට නොතකමින්  මේ මැටි මෝල් තීන්දුව ගෙන ඇත්තේ සහෝදර ප්‍රේමය උත්සන්න වීම නිසාදෝයි ජනතාව සැක කරති.
එස් බී නමැති මුග්ධ   දේශපාලකයාගේ  මුග්ධ  අදහසක්  අනුව  ක්‍රියාත්මක  කල  සරසවි සිසුන්   සඳහා ලබාදුන් ඊනියා නායකත්ව පුහුණුව හෙවත්  ආණ්ඩුවේ  නිල    නවක  වධය  පිලිබඳ  සැබෑ  තතු   අප මීට  පෙර  හෙළි කළෙමු
 
එම හමුදා  පුහුණුවේදී  සිසු සිසුවියන්   කොතරම්  අපහසුතාවයන්ට  ලක් කරන්නේදැයි යන්න  එයට සහබාගි වූ  වූවන්  විසින්ම   හෙලිකරද්දීත්තමන් එම පුහුණුවට සහබාගි වුවන් ලෙස හඳුන්වා  ගනිමින් එම ලිපියට  කොමෙන්ටු    දැමු  සමහරුන් ආණ්ඩුවට කඩේ යමින් කියා  සිටියේ අදාළ ලිපිය ලියා ඇත්තේ එම පුහුණුවට සහබාගි වුවෙකු නොවන බවත් එය හුදු මඩ ගැසීමක් පමණක් බවත්ය.
 
 එතැනින් නතර නොවූ මේ  බත්  බැලයන්  කියා සිටියේ අදාළ පුහුණුව මාර ආතල් එකක් වූ බවත් තමන් ජීවිතේ කිසි දිනෙක එවැනි සැපක් නොවිඳි  බවත්ය.
 
දියතලාව යුද හමුදා කඳවුරේ මේ පුහුණුවට සහබාගි වෙමින් සිටින   අතරතුර රෝගාතුරවූ 20 හැවිරිදි නිශාන්ති මධුෂානි නමැති ශිෂ්‍යාව  බදුල්ල රෝහලේදී මියගොස් තිබේ.ඇයගේ මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ අධික දූවිලි සහිත පරිසරයක ගැවසීම නිසා පෙනහලුවලට විෂබීජයක් ඇතුළුවී ඇති නිසා මෙම මරණය සිදුව ඇති බවයි.
 
සිසුන්ට රිදවා කුරිරු සතුටක් ලබන  මානසික රෝගී ඇමතියන්ද,  පුහුණුව අනිවාර්ය කරමින් , පුහුණුවට සහබාගි නොවන්නන්ට සරසවි ඒමට නොදෙන්නේ යි කියමින් පාරම් බෑ බඩ තඩි ලේකම්ලාද , පුහුණුවේ ආතල් ගැන කුලියට ලියු බැලයන්ද ,  දැන් මුක පූට්ටු  කරගෙන සිටිති.
 
මිය ගිය සිසුවිය ගැන වග කියන්නට එකෙක්වත් නැත.අඩුම තරමේ ඇය මිය ගිය පුවත පුවත  , මල මිනි  විකුණා  කෑම   තම ජීවිකාව කරගත්  ස්වර්ණවාහිනියට  පවා  පුවතක්  නොවේ. 
 
මෙම පුහුණුව පැවැත්වීමට මෙම මිස්ටර් බීන් ලාට තිබුනේ පුදුම තදියමකි.  දැනුම් දී දින කිහිපයක් තුල එයට සහබාගි වීමට සිසුන්ට සිදු විය.  ඒ බරපතල ලෙස ඔවුන් බිය ගන්වා තිබියදීය. 
 
මෙම පුහුණුවට සහබාගි  නොවන්නේ  නම් සරසවි  ඒමට නොදෙන්නෙමි යි  කියන වහසි බස් තුල සිසු සිසුවියන්  තමන්ට   කුමන   රෝග  තත්ත්ව තිබුනද,  ඉතා අමාරුවෙන් දිනා ගත්    සරසවි වරම් මෙම  ඔල මොට්ටල දේශපාලන තීන්දු නිසා අහිමි   වේ යයි සිතා  එයට සහබාගි විය. දෙමවුපියන්ද බියේ ගැහෙමින් තම දරුවන් කඳවුරු වෙත එවීය.
 
කෙසේ නමුත් අවසානයේ සිදුව ඇත්තේ අහිංසක දෙමවුපියන් විසින් වසර විස්සක් තිස්සේ අසීරුවෙන් හදාවඩා ගත් දියණියක , අමන දේශපාලකයින්ගේ ඔලමොට්ටල තීන්දු නිසා ඔවුන්ට අහිමි වීමය. 
 
 
සටහන –  ඇය මිය ගොස් ඇත්තේ උපතේ පටන් තිබු රෝගයකින් යයි මේ බැලයන් ළඟදීම සොයා ගැනීමට ඉඩ ඇති අතර  දිවයින, ස්වර්ණවාහිනිය ප්‍රමුක  බත් බැල පුවත්පත් හා රූපවාහිනී  නාලිකා වලින් ඒ බව ජනතාවට දැනුම් දෙනු ඇත. ජනතාවද ඒ බව හිස් මුදුනින් පිලි ගනු ඇත.
 

මේ අවුරුදු කාලේ තෙල් බේරෙන කැවුම් ගෙඩි වාගේ හිනා වේවි ප්‍රීතියෙන් සිටින  ජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු ඇඟවීමක් නිකුත් කරලාය. ඒ රතිඤ්ඤා ගැන නොව ඩෙංගු රෝගය ගැනය. ඩෙංගු රෝගය ආයෙමත් සැරයක් හිස ඔසවමින් ඉන්න බවත් , සෞඛ්‍ය  කොට්ටාස 18 ක් රතු කලාප විදියට නම් කරලා තියෙන බවත් කියනවාය.

මේ අවුරුද්දේ ඩෙංගු රෝගීන් 2969 ක් හම්බ වෙලා . 31 දෙනෙක්  රෝගයෙන් මියැදිලා.

දැන් එතුමලා අපිට අනතුරු අඟවනවා පරිස්සම් වෙන්ට කියලා. ඒක තමා එතුමා ලාගේ, ඒ කිව්වේ සෞඛ්‍ය අමාත්‍යංශයේ,  රාජකාරිය වෙලා තියෙන්නේ. අනතුරු අඟවන එක. ජාතික ධනයෙන් කෝටි දහස් ගානක් අවුරුදු පතා වියදම් කරන්නේ  වසංගතයක් එන කොට ඒ ගැන අනතුරු අඟවන්ට. රෝගිවන්නන්ගේ හා  රෝගයෙන් මිය යන්නන්ගේ සංඛ්‍යා ලේඛන ලබා දීම විතරයිද මන්දා උන්දලා දන්නා රාජකාරිය.

ඩෙංගු රෝගය සම්බන්ධව හැසිරෙන විදිය ගත්තාම නම් ඊට වැඩි යමක් උන්නැහේලා කරන්නේ නැහැ. ඊට වැඩි යමක් කරන්න එයාලට ඕනේ නැතිද? හැකියාවක් නැතිද ? එහෙම නැත්නම් දෙකමද?

වැස්සත්  එක්ක ඩෙංගු පැතිරීම වැඩි වෙන කොට  පටන් ගන්නවා, ගෙවතු සුද්ද කරනවා , ශ්‍රමදාන තියනවා    ,පෝස්ටර් ගහනවා   , ඒ මදිවාට කියුබාවෙන් , අරහෙන් මෙහෙන් බැක්ටීරියා ගේනවා, ඒවා ඉහින්න හදනවා, දේශීය බැක්ටීරියා හදනවා, ටෙස්ට් කරනවා  . මාර වැඩ කෝටියයි.

ඊ ලඟට වැස්ස  පායලා වියලි කාලගුණෙත් එක්ක ස්වාභාවිකවම ඩෙංගු පැතිරීම අඩු වෙන කොට අර ඔක්කොම අමතකයි. සෞඛ්‍ය අමාත්‍යංශයට විතරක් නෙවේ, මිනිසුන්ට, මාධ්‍යවලට කාටත් අමතකයි. ඩෙංගු කියලා එකක් රටේ තිබ්බද කියලත් අමතකයි.

ඩෙංගු මර්ධනය පැත්තකින් තිබ්බත් ප්‍රතිකාර වලට පවා රජයේ රෝහල් වල පහසු කම් ඇත්තෙම නැති තරම්ය.  රෝගය කල් තබා හඳුනා ගත හැකි PCR  පරීක්ෂාවට ඕනේ කරන  උපකරණ එක රජයේ රෝහලකවත් නැතිය. සල්ලි ඇති රෝගීන්ට  අවශ්‍ය නම් පෞද්ගලික රෝහල් වලින් එම පරීක්ෂාවන් කර  ගන්ට හැකිය. .මෙතුමාල  කාබසීනිය  කරන කෝටි   ගානක්  මුදල් වලින් මේ පහසු කම් වැඩි දියුණු කරන්ටවත් හිතන පාටක් නැතිය

ඔන්න ආපහු වැස්ස ඇවිත් ඩෙංගු එනකොට මුන්නහෙලා නින්දෙන් ඇහැරිලා ඇවිත් අනතුරු අඟවනවා. සංඛ්‍යා ලේඛන නිකුත් කරනවා . රටක සෞඛ්‍ය අමාත්‍යංශයක වගකීම ඒකද? ඒක කරන්න ජන හා  සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට බාර දුන්න නම් සෞඛ්‍යට කියා වියදම් කරන කෝටි දහස් ගානක් මුදල් කන්දරාව ත් ඉතුරු වෙයි.

සටහන- දැන් අයෙමත් ස්වර්ණවාහිනියේ හා -රේන්ද ජය ලාල්ට කඳුළු වගුර වගුර හොටු පෙර පෙර  ඩෙංගු වලින් මල මිනිස්සුන්ගේ මල මිනී විකුනන්ට පුළුවන්.

 

මේ දිනවල මාගේ ප්‍රියතම මාධ්‍ය දෙරණ නාලිකාවයි. ඔවුන් තම පුවත් විකාශය හඳුන්වා ගන්නේ “සත්‍යය ප්‍රථමයෙන් -truth first ” යනුවෙනි.

මෙයින් අදහස් වන්නේ ප්‍රවෘත්ති කියන විට ඔවුන් මුලින්ම කියන දේ , එනම් නිවේදකයින්ගේ නම ගැන නම් එය සත්‍යය බවට සැකයක් නැත. තම ආදර්ශ පාඨයේ පරිදි මුලින්ම මේ ඇත්ත කියන ඔව්හු ඉන්පසු මුසා දෙඩීම පටන් ගනිති.

රුහුණු සරසවියේ සිසුවෙක් පහර දීමකින් මිය ගොස් ඇත. සිසුන් පවසන පරිදි මෙය පොලිසියේ වැඩකි. පොලිසිය කියන්නේ මෙය ස්වභාවික මරණයක් බවත් , සිසුවා මිය ගොස් ඇත්තේ මොළයේ නහරයක් පිපිරීමකින් වූ අභ්‍යන්තර ලේ ගැලීමකින් බවත්ය.

 සුසන්ත බණ්ඩාර    සිසුවා

මේ අතර වාර්තා වන පරිදි සිසුවා බදුල්ල රෝහල් පොලිසියටද පවසා ඇත්තේ , තමන්ට පොලිසිය පහර දුන් බවකි. ඔහු කට උත්තරය දෙන විට ඔහුගේ මවද ඒ අසල සිට ඇතැයි කියවේ. නමුත් දැන් , ඇය කුමක් හෝ හේතුවකට , තමන්ට පහර දුන්නේ පොලිසිය විසින් නොව සිසුවෙකු විසින් යි තම මිය ගිය පුතු කී බවක් කියයි. 

 දෙරණ නාලිකාවට නම් මෙය වෙනත් සිසුවෙකුගේ වැඩකි. මෙරට ජනතාවට අකුරු කියවීමට බැරි නිසා ඔවුන් ට පත්තර කියවා දීමට එන දෙරණ නාලිකාවේ නපුංසක මාධ්‍ය අප්පු අද උදේ පුන පුනා පැවසුවේ මෙය වෙන සිසුවෙකුගේ වැඩක් බවය. වහාම එම සිසුවා අත්අඩංගුවට ගෙන මෙරට නීතිය ආරක්ෂා කල යුතු බව ඔහු පොලිසීයට නැවත නැවතත් මතක් කර දුන්නේය .

දැන් තත්වය වෙනස් වී තිබිය හැකි වුවද. අද උදේ වෙන විටත් පොලිස්පති වරයා පවා මෙම මරණය වෙනත් සිසුවෙකුගේ ක්‍රියාවක් බව නො පැවසීය. ඔහු කියා සිටියේ සුසන්ත බණ්ඩාර    සිසුවා මිය ගොස් ඇත්තේ මොලයේ ලේ ගැලීමකින් බව පමණි. තම සගයින් ආරක්ෂා කර ගැනීම උදෙසා කතා ගොතද්දී පවා , ඔහු පවා මේ ඊනියා මාධ්‍ය කරුවන්ට වඩා සාධාරණ විය.

නමුදු කුලියට කහින දෙරණ නපුංසක මාධ්‍ය අප්පුට අඩුම තරමේ එයවත් නොපෙනේ. සරසවි සිසුන් කෙරෙහි තමා තුල ඇති බද්ධ වෛරය ඔහු අමු අමුවේ මුදා හරියි. බත් පත වෙනුවෙන් ඕනෑම සක්කිලි වැඩක් කරන මේ කුලී බුරන්නා ට අනුව පොලිසිය අතින් එවැන්නක් සිදු වීම සිතන්නටවත් බැරිය .

සිය නේවාසිකාගාරයට රැගෙන යන බව කියමින් ගෙන ගිය සිසුන්ට පොලිසිය විසින් එලවා එලවා පහර දුන් බවට සිසුන් කරන ප්‍රකාශ ගැන මේ මාධ්‍ය ඔස්තාර් ලාට වගේ වගක් නැත. ඔවුන් අමු නිරුවතින්ම මගට බැස , කිසිදු ලැජ්ජාවකින් තොරවම , තම ස්වාමි දුව තමන්ට පැවරු කාරිය අකුරටම ඉෂ්ට කරමින් සිටිති .එනම් මේ ඒකාධිපති පොලිස් තන්ත්‍රය  වෙනුවෙන් කඩේ යමින් සිටිති.

එක සිසුවෙකු නොව මෙරට සියලු ජනතාව හැඳි ගැවි ගියත් ඔවුන්ට කම් නැත. ඔවුන්ට වැදගත් තම කුස පුරවා ගැනීම පමණි. තම මවු විකුණා හෝ ඔවුන් එය ඉටු කර ගනු ඇත.