Posts Tagged ‘බී ටී අයි බැක්ටීරියාව’

ඩෙංගු වසංගතය ආයේ සැරයක් රට  ගිලගන්නවා.  දැනටමත් හැත්තෑ ගානක් මැරිලා.  මේ ගැන කිසි දෙයක් නොකරන  සෞඛ්‍ය බලධාරියෝ  ජනතාවට දඩ ගහලා උන්ගේ අතේ තියෙන තුට්ටු දෙකට කෙලවන්න ලෑස්ති    වෙනවා.
 
මීට අවුරුද්දකට එකහමාරකට කලින් මේ වසංගතේ පැතිරෙද්දී මේ ලොක්කෝ අපිට කිව්වේ පොඩ්ඩක් ඉන්න කියුබාවෙන් බීටීඅයි බැක්ටීරියාව ගෙන්වනවා , එක ගෙන්වපු ගමන් මේ ප්‍රශ්නේ ඔක්කොම හරි යයි කියලා,  ඔය ඩෙංගුවා ආ ගිය  අතක් නැති කරනවා කියලා.
 
එහෙම කියලා රුපියල් කෝටි ගානක්  ගානක් මහජන මුදල් වියදම් කරලා කියුබන් බැක්ටීරියාව ගෙන්වූවා. හැබැයි  වෙච්ච දෙයක් නැහැ. කෝටි ගානක් වටිනා බීටීඅයි බැක්ටීරියා තොග  ගබඩා වල නාස්ති වෙන්න   ඇරියා.  බීටීඅයි ගහලා මදුරුවෝ මර්ධනය වුනානම් මදුරු කොයිල් විකිනෙයිද?
 
මේ අතරේ ගෑනු , පිරිමි , ළමයි තොග ගානේ ඩෙංගු හැදිලා මැරුණා. බීටීඅයි ගැන දැන් කතාවක්වත් නැහැ. මදුරුවොන්ගෙන් බේරෙන්න ඕනේ නම් මදුරු කොයිල් ගහපල්ලා කියලා නොකියා කිව්වා වගේ.
 
මේ අතරේ   මිනිස්සු අහන්න ගත්තා කෝ උඹල අර මහා ලොකුවට පම්පෝරි ගහලා ගෙන්වාපු බැක්ටීරියා කොහෙද , ඇයි ,මෙච්චර මිනිස්සු මැරෙද්දි ඒවා පාවිච්චි නොකෙරුවේ කියලා.
 
ඔන්න දැන් එලියට එනවා සත්‍ය ගවේෂී මාධ්‍යවේදිනියක්. ඒමන්ති. එයා තමා දිවයින පත්තරේ වෙනුවෙන් රටේ සෞඛ්‍ය බලා ගන්නේ.
 
සෞඛ්‍ය ලොක්කෝ එයාට කියනවා “කෙල්ලේ අනේ අපිව ගොඩ දාලා දීපන්කො , මේ කාලකන්නි අහනවනේ බීටීඅයි ගැහුවේ නැත්තේ ඇයි කියලා “
 
සෞඛ්‍ය ලොක්කෝ දෙන කේක් කෑල්ලක් කාල මේ නෝනා තමන්ගේ දේශප්‍රේමී, දේශහිතෙෂි පත්තරේට ලියනවා මෙහෙම ආර්ටිකල් එකක්.
 
“ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා යොදන බී. ටී. අයි. බැක්‌ටීරියාව මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සඳහා යොදා ගත හැකි සාර්ථක මදුරු මර්දන උපක්‍රමයක්‌ නොවන බව අනාවරණය වී තිබියදීත් සෞඛ්‍ය බලධාරීන් එම බැක්‌ටීරියාව කෙරෙහිම විශ්වාසය තබා ක්‍රියා කිරීම පුදුමයට කරුණක්‌ බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි. බී. ටී. අයි. බැක්‌ටීරියාව ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා කෙටි කාලීනව යොදාගත හැකි උපක්‍රමයක්‌ වුවද එය දිගුකාලීනව යොදාගැනීම විශාල මුදලක්‌ අපතේ යවන අසාර්ථක උපක්‍රමයක්‌ බව තහවුරු වී ඇතැයි එම වෘත්තීය සමිති පෙන්වා දෙයි. කියුබාව හා ඇමරිකා එක්‌සත් ජනපදය ඇතුළු බටහිර රටවල් විසින් නිපදවා ඇති බී. ටී. අයි. බැක්‌ටීරියාවන් එම රටවල පරිසරයට ගැලපෙන අයුරින් නිපදවා තිබීම නිසා ඒවා මෙරටට ගෙන්වීමේදී මෙරට පරිසරයට ගැලපෙන්නේ ද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව පෙන්වා දෙන එම සෞඛ්‍ය වෘත්තීය සමිති පසුගියදා මෙරටට කියුබාවෙන් ගෙන ආ බී ටී අයි බැක්‌ටීරියාව මගින් ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීමේදී සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට මෙතෙක්‌ නොහැකි වී ඇතැයි අවධාරණය කළේය. “
මාරයි  නේද? දැන් වෘත්තීය සමීති තමා පරීක්ෂණ පවත්වලා සෞඛ්‍ය ලොක්කොන්ට උපදෙස් දෙන්නේ බැක්ටීරියා පාවිච්චිය හොඳ  නැහැ කියලා. ඒ උපදෙස් සෞඛ්‍ය ලොක්කන්ට යවන්නේ ඒමන්ති නෝනා හරහා වෙන්නැති. මොකද වෘත්තීය  සමීතී වුනත් දන්නවා  ඇතිනේ ,ඒමන්ති නෝනා සෞඛ්‍ය ලොක්කන්ව කොච්චර ලඟින් ආශ්‍රය කරනවද කියලා.
 

බලධාරීන් බැක්ටීරියාව කෙරෙහිම විශ්වාශය තබා කටයුතු කිරීම පුදුමයට කරුණක් කියලා තමා මේ නෝනා ලියලා තියෙන්නේ. එහෙම විශ්වාශයක් තිබ්බනම් බැක්ටීරියාව ඉහින්න එපැයි, ගබඩා වල හංග ගෙන ඉන්නේ නැතිව.

එයාල  විශ්වාශය තියාගෙන ඉන්නේ බැක්ටීරියා ගැන නෙවේ, මදුරු කොයිල් ගැන .
 
ඔයා මේ උත්සහ කරන්නේ වෙන මොකකටවත් නෙවේ  නෝනෝ . කෝටි ගානක් වියදම් කරලා  ගෙන්නපු   බැක්ටීරියාව  පාවිච්චි නොකළේ ඇයි කියලා ජනතාව  ප්‍රශ්න  කරන  කොට , ඒවා පාවිච්චි නොකර මුල්ලකට දාලා තිබ්බ බලධාරීන්  බේරා ගන්න . මේ බැක්ටීරියාව වැඩකට ඇති එකක් නෙවේ කියලා ජනතාව අතර මතයක් හදන්න. එහෙම නෙවෙයි නම්  කියන්නකෝ ඔයාට ඔය කතාව කීව එක වෘත්තීය  සමීතියක නමක්.  .
 
කොහොමද කේක් කෑල්ලට යට වුනු  පත්තර  කලාව. 
 
 
Advertisements

මේ අවුරුදු කාලේ තෙල් බේරෙන කැවුම් ගෙඩි වාගේ හිනා වේවි ප්‍රීතියෙන් සිටින  ජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු ඇඟවීමක් නිකුත් කරලාය. ඒ රතිඤ්ඤා ගැන නොව ඩෙංගු රෝගය ගැනය. ඩෙංගු රෝගය ආයෙමත් සැරයක් හිස ඔසවමින් ඉන්න බවත් , සෞඛ්‍ය  කොට්ටාස 18 ක් රතු කලාප විදියට නම් කරලා තියෙන බවත් කියනවාය.

මේ අවුරුද්දේ ඩෙංගු රෝගීන් 2969 ක් හම්බ වෙලා . 31 දෙනෙක්  රෝගයෙන් මියැදිලා.

දැන් එතුමලා අපිට අනතුරු අඟවනවා පරිස්සම් වෙන්ට කියලා. ඒක තමා එතුමා ලාගේ, ඒ කිව්වේ සෞඛ්‍ය අමාත්‍යංශයේ,  රාජකාරිය වෙලා තියෙන්නේ. අනතුරු අඟවන එක. ජාතික ධනයෙන් කෝටි දහස් ගානක් අවුරුදු පතා වියදම් කරන්නේ  වසංගතයක් එන කොට ඒ ගැන අනතුරු අඟවන්ට. රෝගිවන්නන්ගේ හා  රෝගයෙන් මිය යන්නන්ගේ සංඛ්‍යා ලේඛන ලබා දීම විතරයිද මන්දා උන්දලා දන්නා රාජකාරිය.

ඩෙංගු රෝගය සම්බන්ධව හැසිරෙන විදිය ගත්තාම නම් ඊට වැඩි යමක් උන්නැහේලා කරන්නේ නැහැ. ඊට වැඩි යමක් කරන්න එයාලට ඕනේ නැතිද? හැකියාවක් නැතිද ? එහෙම නැත්නම් දෙකමද?

වැස්සත්  එක්ක ඩෙංගු පැතිරීම වැඩි වෙන කොට  පටන් ගන්නවා, ගෙවතු සුද්ද කරනවා , ශ්‍රමදාන තියනවා    ,පෝස්ටර් ගහනවා   , ඒ මදිවාට කියුබාවෙන් , අරහෙන් මෙහෙන් බැක්ටීරියා ගේනවා, ඒවා ඉහින්න හදනවා, දේශීය බැක්ටීරියා හදනවා, ටෙස්ට් කරනවා  . මාර වැඩ කෝටියයි.

ඊ ලඟට වැස්ස  පායලා වියලි කාලගුණෙත් එක්ක ස්වාභාවිකවම ඩෙංගු පැතිරීම අඩු වෙන කොට අර ඔක්කොම අමතකයි. සෞඛ්‍ය අමාත්‍යංශයට විතරක් නෙවේ, මිනිසුන්ට, මාධ්‍යවලට කාටත් අමතකයි. ඩෙංගු කියලා එකක් රටේ තිබ්බද කියලත් අමතකයි.

ඩෙංගු මර්ධනය පැත්තකින් තිබ්බත් ප්‍රතිකාර වලට පවා රජයේ රෝහල් වල පහසු කම් ඇත්තෙම නැති තරම්ය.  රෝගය කල් තබා හඳුනා ගත හැකි PCR  පරීක්ෂාවට ඕනේ කරන  උපකරණ එක රජයේ රෝහලකවත් නැතිය. සල්ලි ඇති රෝගීන්ට  අවශ්‍ය නම් පෞද්ගලික රෝහල් වලින් එම පරීක්ෂාවන් කර  ගන්ට හැකිය. .මෙතුමාල  කාබසීනිය  කරන කෝටි   ගානක්  මුදල් වලින් මේ පහසු කම් වැඩි දියුණු කරන්ටවත් හිතන පාටක් නැතිය

ඔන්න ආපහු වැස්ස ඇවිත් ඩෙංගු එනකොට මුන්නහෙලා නින්දෙන් ඇහැරිලා ඇවිත් අනතුරු අඟවනවා. සංඛ්‍යා ලේඛන නිකුත් කරනවා . රටක සෞඛ්‍ය අමාත්‍යංශයක වගකීම ඒකද? ඒක කරන්න ජන හා  සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට බාර දුන්න නම් සෞඛ්‍යට කියා වියදම් කරන කෝටි දහස් ගානක් මුදල් කන්දරාව ත් ඉතුරු වෙයි.

සටහන- දැන් අයෙමත් ස්වර්ණවාහිනියේ හා -රේන්ද ජය ලාල්ට කඳුළු වගුර වගුර හොටු පෙර පෙර  ඩෙංගු වලින් මල මිනිස්සුන්ගේ මල මිනී විකුනන්ට පුළුවන්.

 
ඩෙංගු මර්ධනයට කියුබාවෙන් ගෙන්වනවා යයි කියූ බී ටී අයි   බැක්ටීරියාව   දැන් වසරකට ත් වැඩි කාලයක් සිට තාමත් නැවේය. දේශීයව නිෂ්පාදනය කල  බැක්ටීරියාව  භාවිතයට  එරෙහිව රජයේ ආයතන විසින් ම නොයෙක් ආකාරයේ බාධක පනවමින් සිටී.
 
මේ අතර ඩෙංගු රෝගීන්  වෙනුවෙන් භාවිතා කිරීම සඳහා එන්නතක්   තායිලන්තයෙන්   ගෙන්වන  බව සොඛ්‍ය බලධාරීන් පැවසුවත් එයට ද  බීටී අයි  බැක්ටීරියාවට අයත් වූ ඉරණම ම අත් නොවේ යැයි  කිසිම  සහතිකයක්  නැත.
 
මේ අතර පසු ගිය මාස හයක  කාලය තුල  23,000 කට  වැඩි පිරිසකට රෝගය වැළඳී  ඇති අතර ඉන් 164 දෙනෙක් මරණයට පත්ව ඇත. රජය රූපවාහිනියෙන් හා අනිකුත් මාධ්‍ය භාවිතා  කරමින් ඩෙංගු රෝගයට එරෙහිව වහසි බස් දොඩමින් සිටිති. එහෙත් රෝග මර්ධනයට කිසිම පලදායි දෙයක් නොකරයි. රෝගීන් සිය ගණනක් මිය යති.
 
තත්වය කෙතෙක් බරපතල ද යත් , තම ප්‍රදේශයේ  යමෙකු ඩෙංගු රෝගය වැළඳී මිය ගිය හොත් , පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා , ග්‍රාමසේවක ඇතුළු පිරිස් මළගෙදර  ඉදිරිපිට ගස් බඳින බව එවැනි වැඩවලට පරසිදු ඇමතියෙක්  පැවසුයේ ඊයේ පෙරේදාය. ඒ ඩෙංගු රෝගයට ඔහුගේ මොලයේ පරිමාව අනුව දුන් විසඳුමයි.
 
කරුණු කාරණා සිද්ධ වෙන ආකාරය දෙස හොඳින් බැලූ  විට පෙනී යන්නේ  තමන්ට අහිමි වූ ප්‍රභාකරන් නම් සතුරා වෙනුවට රජය විසින් තෝරා ගෙන ඇති අලුත් සතුරන් අතර ප්‍රමුඛයෙක්  වනුයේ ඩෙංගු රෝගය බවයි. සටන සිදු වන්නේ ඒ අයුරින්මය.
 
රජයට අවශ්‍ය  සදාකාලික  සතුරෙකි. ප්‍රභාකරන් මෙන් මාරක සතුරෙකි. ඩෙංගු රෝගයට ඒ සියලු සුදුසු කම් ඇත.
 
ඩෙංගු සමග සසඳා බලන කල  වීරවංශ තමන්ගේ හා රජයේ සතුරා ලෙස තෝරා ගත්  බැන් කි මූන්   පණුවෙකි.  බැන් කි මූන්  ට එරෙහි සටන ජනතාව අතර විහිළුවක් බවට  පත්  විය. 
 
 මේ අනුව රජයට ඉතිරිව ඇත්තේ ඩෙංගු රෝගය පමණි. ප්‍රභාකරන්  විනාශ කළා මෙන් ඩෙංගු රෝගය පරදවා තමන්ගේ එකම  ගැලවුම් කාරයා අහිමි කර ගැනීමට අවශ්‍ය කාටද ?  අපට නම් නෙවේ.
 
දැන් අපට අවශ්‍ය අලුත් සටන් පාටය. අලුත් වර්ගයේ දේශප්‍රේමයකි. එහි සතුරා ඩෙංගු රෝගයයි.
 
 කෙටියෙන් කිවහොත්  තත්වය  මෙසේය.
 
ඩෙංගු රෝගය අප මවු බිම  ආක්‍රමණය කරමින් සිටිති. එයින් මවු බිම මුදා ගත  යුතුය.  මෙය සමස්ත ජාතියම ඩෙංගු රෝගයට  එරෙහිව සටන් වැදිය යුතු වෙලාවකි. මෙය දේශප්‍රේමී  සටනකි. 
ඩෙංගු රෝගය වැළඳී මිය යන්නවුන් යනු මේ සටනේදී මවු බිම වෙනුවෙන් දිවි පුදන්නවුන්ය. ඔවුන් මළ පසු නැළවෙන්නේ සුන්දර සුරඹුන්ගේ අතේය. ඔවුන්ට ගරු කිරීම් වස් විශාල ස්මාරකයක්ද  ඉදි කල යුතුය.
 
අනිත් අතට ගත් කල ඩෙංගු රෝගය මර්ධනය නොකරන්නේ යැයි රජයට දොස් නගන්නේ දේශද්‍රෝහීන්ය.
මේ තීරණාත්මක අවස්ථාවේ වැඩි පඩි ඉල්ලන්නේ   එන්ජීඕ  කාරයින්ය.
පෙළපාලි යන්නේ  බටහිර ඒජන්තයින්ය.  
සරසවි සිසුන් සම්පූර්ණයෙන්ම   යුදෙව්වන්ය.

ඩෙංගු රෝගය  හා සටන් වැද තම දිවි පුද කලවුන්ට  මේ ද්‍රෝහීන් කරන්නේ අපහාසයකි. ඔවුන් ඩෙංගු රෝගයටම බිලි කල යුතුය.

 
සටහන.  –  ජාතික වීරයෙක් වීමට ඇති පහසුම මග ඩෙංගු රෝගය හදා ගෙන මිය  යාමය.

ඩෙංගු මදුරුවන් මර්ධනයට කියුබාවෙන් බී ටී අයි බැක්ටීරියාව ගෙන්වීමට යෝජනා වෙන්නේ දැනට වසරකටත් පෙර සිටය. නමුත් මේ දක්වාම එය යතාර්ථයක් බවට පත්ව නැත. පසු ගිය වසර පුරාවට බලධාරීන් වරින් වර මාධ්‍ය ඉදිරියට පැමිණ බැක්ටීරියාව ගෙන්වන දිනය පිළිබඳව අනාවැකි කියමිනුත්, පමාවට හේතු දක්වමිනුත් සිටියහ.

බැක්ටීරියාව තව මාසයකින් ගුවනින් ගෙන්වන බව එක් දිනෙක පවසන ඔව්හු තවත් දිනෙක කියන්නේ සති දෙකකින් නැව් මගින් ගෙන්වන බවය. ඊ ළඟ සතියේ සබ්මැරීනයකින් බැක්ටීරියාව එන බව කියා දින දෙකකට පසු සති තුනකින් බැලූන් මගින් හෝ රොකට්ටුවකින් හෝ එය ගෙන්වන බව පවසමින් සිටියහ.

මේ අතර තව එකෙක් පැමිණ බැක්ටීරියාවකින් මෙරට පරිසරයට හානි සිදු විය හැකි බැවින් ඒ ගැන පරීක්ෂණ කරන තෙක් ගෙන්වීම පමා කරන බවත් එතෙක් අප ඉවසා සිටිය යුතු බවත් පවසයි. ( ඇත්තටම ඒ අනුව අප ඉවසා සිටිය අතර එසේ ඉවසා නො සිටියේ ඩෙංගු මදුරුවන් හා උන් නිසා රෝගයට ගොදුරුව මිය ගියවුන් පමණි.)

බී ටී අයි බැක්ටීරියාව ගෙන්වීමට තීරණය කල දිනවල මදුරු දඟර සමාගම් වල නියෝජිතයන් සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තේ කැරකුණ බවක් ද ආරංචි විය. ඒ ආරංචි   වල ඇත්ත නැත්ත කුමක් වුවත් පසු ගිය වසරක කාලය තුල රෝගය වැළඳී සිය ගණනක් මිය ගිය අතර තවත් දහස් ගණනක් රෝගී වුහ. ( ඩෙංගු රෝගයේ ඇති විශේෂත්වයක් නම් වරක් රෝගය වැළඳුනු අයෙකුට වුවත් නැවත රෝගය වැළඳීමට ඇති ඉඩයි. එපමණක් නොව දෙවෙනි වතාවට රෝගය වැළඳුන විට ජීවිත අවදානමද බෙහෙවින්ම වැඩිය. )

දැන්  නැවතත්   බී ටී අයි ගැන කතාව කරලියට පැමිණ ඇත. වහාම බැක්ටීරියාවට ගෙන්වීමට කරන අණ දසතින් ඇසේ. මෙතෙක් කල් එපා වී සිටි බැක්ටීරියාව හදිසියේම අවශ්‍ය වී ඇත. ගහෙන් ගෙඩි එන්නක් මෙන් අපේ බලධාරීන්ට රෝගයෙන් මිය යන පොදු ජනතාව ගැන මානව ප්‍රේමයක් පහල වීද? කරනවා යයි කියූ පරිසර සමීක්ෂණ පරීක්ෂණ අවසන් ද? මේ ආදී වසයෙන් කල්පනා කරමින් සිටින විට කණ වැටුණු , ඇස ගැටුණු පුවතකින් සියල්ල පැහැදිලි විය.

එම පුවතින් කියවුනේ මුලික ගෙවීමකින් තොරවම බැක්ටීරියාව අපට ලබා දීමට කියුබාව එකඟ වී ඇති බවයි. ( අහා, මොන තරම් හැර බර වචනද? ) . මේ වචන තේරෙන භාෂාවෙන් කිවහොත් , කියුබාව අපට ණයට බැක්ටීරියාව දීමට කැමති වී ඇත.

ආසියාවේ ආශ්චාර්යන් ගැන , විශ්මයජනක ආර්ථික වර්ධනයන් ගැන , පම්පෝරි ගසන අපිට ජනතාව ඩෙංගු මරණයෙන් මුදා ගැනීමට අවශ්‍ය මුදල් නැත. කියුබාව ණයට දෙන තෙක් බලා සිටීමට සිදු වුයේ ඒ නිසාය.

නමුත් රෝග මර්ධනයට නැති මුදල් රුපියල් කෝටි සිය ගණනක් අයිෆා වෙනුවෙන් අපි වියදම් කළෙමු. ඩෙංගු රෝගයෙන් කීප සියයක් මිය ගියත් මක් වේ ද ආශ්වාර්යා රායි  සමග එකට ඉඳ ඡායා රූපයක් ගැනීමට ලැබේනම්. ( කරුමෙට ඒකි ආවෙත් නැත) .

කියුබාව ණයට බැක්ටීරියාව දීමට එකඟ නිසා ඩෙංගු රෝගයෙන් මිය යාමට නියමිතව සිටි අපේ රටේ ජනතාවට යම් තරමක සහනයක් ලැබෙනු ඇත. කියුබාව සමග ගනු දෙනු වලදී කොමිස් ලැබේ දැයි  සැක සහිත බැවින් මෙය කොතරම් දුරට සාර්ථක වේ දැයි දැන්ම කිව නොහැක. එහෙත් එක දෙයක් නම් ස්ථීර වශයෙන් ම කිව හැක. මේ යන යෑමේ හැටියට දහසක් ආර්ථික  සම්බාධක   මැද  තම ආර්ථිකය දුවවන කියුබාවෙන් පමණක් නොව දරිද්‍රත්වයේ පත්ලේ ගිලී සිටින ඉතියෝපියාවෙන් හා සෝමාලියාවෙන් පවා ණයට ගැනීමට සිදු වන දිනය නම් වැඩි ඈතක නොවේ.