Posts Tagged ‘බෑන් කී මූන්’

ඔබාමාද , බ්ලේක් ද නවනීදන්පිල්ලේද , බැන්කී මූන් ද ඇතුලු මෙකී නොකී එකී සියලු ධිරාජ්‍යවාදි බලවේග එකා මෙන් එකතු වී ඉන්දියන් සාගරයේ මුතු ඇටයට විරුද්ධව කුමන්ත්‍රණ  කරමින් අපේ ජාතික වීරයින් විදුලි පු‍ටුවට එල්ලන්ට යවන්ට හදමින් ඉන්නා මේ මොහොතේ , හරියටම කියන්නේ නම් ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක මේ මොහොතේ දේශප්‍රේමි, දේශහිතෛෂී ,දේශ මාමක, සියලු ජනතාවගේ කාර්ය භාරය විය යුත්තේ බඩගින්නේ සිටිමින් හෝ ආණ්ඩුවට පක්ෂපාතව  පෙලපාලි යාමය. බඩගින්නේ සිටිමින් හෝ ඒ දේ කල යුතු බව වීරවංශ තුමාද මේ ලඟදී කියා තිබුනි.

හෙදි නෝනලාගේ නායක මුරුත්තෙට්‍ටුවේ උන්නාන්සේ ද තමන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ග අත හැර තමන් හා තමන් සමග සිටින හෙදි නෝනලා නියම දේශප්‍රේමින් බව පෙන්වා තිබේ. දොස්තර මහත්තුරුන්ගේ සංගම් නායක කට්ටියද ඒ ආකාර දේශප්‍රේමින් බව වටින් කොනින් ආරංචි වේ.වෙන එකක් තියා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන පවා මේ දවස් වල හා හූවක් නැත. ඒ තරමට දේශප්‍රේමය ඉහින් කනින් ගලා යයි.

නියම දේශප්‍රේමින් වැඩ කල යුත්තේ ඒ ආකාරයටය. භූමිතෙල් කුප්පියකට, පාන් ගෙඩියකට, වැ‍ටුප් විෂමතාවකට මේ වෙලාවේ පාරට බැස ආණ්ඩුව මේ අධිරාජ්‍යවාදින් ඉස්සරහ අපහසුතාවකට පත් කිරීම නොහොබිනා කාර්යයකි.

නමුත් විශ්වවිද්‍යාල වල සිටින හාල් පාරුවන් ලඟ නම් දේශප්‍රේමේ බෙහෙතකටත් නැති බව පෙනේ.මේ දවස් වල සරසවි අනධ්‍යන  කාර්ය මණ්ඩල වර්ජනයයේය. ජීනිවා වල අපේ රට විරුද්ධව මහා කුමන්ත්‍රණයක් කරන මේ  දවස් වල වැඩ වර්ජන කරන්නේ දේශද්‍රෝහින් මිස අන් කවරෙක්ද.

වර්ජන කරන උන්ගේ පඩි කපන බවට ප්‍රතිපාදන කොමිසමේ සමරනායක තුමා තීරණය කර තිබේ. අන්න මිනිස්සු. නියම දේශප්‍රේමියෙක්. ඇත්තටම එතුමා පසුගිය 27 දා ප්‍රතිපාදන කොමිසම ඉස්සරහ බෝර්ඩ් ලෑල්ලකුත් උස්සා ගෙන ජීනිවා කුමන්ත්‍රණයට විරුද්ධව උද්ඝෝෂණයක්ද කර තමන් රට ජාතිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානම් බවද පෙන්වා තිබේ. එතුමාට අපේ ගෞරවය සමග තව වතාවක් කොමිසමේ සභාපති කම ලැබේවා යැයි පතමු.

නමුත් අපි නම් කියන්නේ පඩි කැපීම විතරක් මදි බවයි. මේ දේශද්‍රෝහී නඩය එල්ලා මැරිය යුතුය. විශේෂයෙන්ම මේ වෘත්තීය සමිතීයේ නායක  චන්ද්‍රපාල එල්ලිය යුතුය. ජාතියේ මේ වැනි  අර්බුද අවස්ථාවල ද්‍රෝහී කම් කරන්නට බලා සිටින් උන්ට පාඩමක් උගන්නන්ට එය කල යුතුමය.

සටහන- ඇත්තටම නම් කල යුතුව තිබෙන්නේ මූව විදුලි පු‍ටුවේ යැවීමය. ඒත් විදුලි පු‍ටුව වීරවංශතුමා සින්නක්කරේටම අයිති කරගෙන සිටින නිසා ඒක හරියන්නේ නැත. ඒ නිසා අපිට එල්ලා මැරීමෙන් සෑහිමට පත් වන්නට සිදුව තිබේ.

ප.ලි-  මේකත් රටක්ද මර්තේලිස්?

ලබන සතියේ ජීනිවා මානව හිමිකම් කොමිසම ‍රැස්වෙන්නට තිබෙන අතරේ මේ සතියේදී ආණ්ඩුව ජාත්‍යන්තරව මාර පරාජයන් දෙකක්ම ලැබුවේය.

ආණ්ඩුව විසින් පසුගිය දවස් වල මහත් සේ උඩ දමමින් අගය කල ශවේන්ද්‍ර සිල්වාට ලැබුනු එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා කටයුතු පිලිබඳ උපදේශක කොමිටියේ සාමාජිකත්වය එහි ආරම්භක ‍රැස්වීමේදීම අහෝසි කර දැමීම ඉන් පලමු වැන්නයි.

මෙයින් අන්ද මන්දව සිටින ආණ්ඩුවේ හො‍රැනෑ මේ ගැන  ජනතාවට  කියන්නෙ මොනවාදැයි තවමත් කල්පනා කරමින් සිටින බවක් පෙනේ.

ඒත් සමග සිදු වූ අනිත් පරාජය නම් ආණ්ඩුව විසින් වසර දෙකක් තිස්සේ සිර කරගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවෙකු බවට පිලි ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කිරීමයි.

මෙම තත්වය තුල පෙනී යන්නේ 27 දා ආරම්භ වෙන මානව හිමිකම් කොමිසම් සභා වාරය ශ්‍රී ලංකාවට ගුණදායක නොවන බවයි.

රොබර්ටෝ බ්ලේක් පසු ගියදා ශ්‍රී ලංකාවටම පැමිණ ප්‍රසිද්ධීයේ ම කියා සිටියේ එයයි.

දැන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යමින් ෆොන්සේකා ප්‍රමුඛ ද්‍රෝහීන් කල  දේශද්‍රෝහි ක්‍රියාවට බැට දීම සඳහා වීරවංශලා හෙට අනිද්දා වේදිකා මත තප්පුලද්දි ගුනදාස අමරසේකරලාට  බටහිර කුමන්ත්‍රණ ගැන කියමින් නැවත වතාවක් පත්තර පි‍ටු ගනන් ලිවිය හැක.

ඉන්ධන මිල ඉහල දැමීමත් ඒ සමග ජීවන වියදම අහස උසට නැගීමත් නිසා ශීඝ්‍රයෙන් පිරිහෙන තම ජනප්‍රියතාව මෙම සිදු වීම් උපයෝගි කරගෙන රඳවා ගන්නට එම කුලී කරුවන් යොදා ගෙන ආණ්ඩුව උත්සාහ කරනු ඇත.

මේ ආණ්ඩුව සෑම විටම කලේ එයයි. ජාත්‍යන්තර වශයෙන් එන බලපෑම් රාජ්‍යතන්ත්‍රික මට්ටමින්  විසඳා ගන්නවා වෙනුවට එම සිදු වීම් රට තුල බාල ජනප්‍රියතාව ඇති කර ගැනීම සඳහා භාවිතා කිරීමයි.

මේ තාක් කල් එය යම් පමණකට  හෝ සාර්ථක වූයේ යුද ජයග්‍රහණයේ රස්නයත්  ඒ නිසාම ආර්ථික අමාරු කම් කෙසේ හෝ පිරි මහගැනීමට ජනයා කැප වීමත් නිසාය.

එහෙත් දැන් තත්වය වෙනස් වෙමින් තිබේ.

වීරවංශලා කොතරම් මොර දුන්නත් යුද ජයග්‍රහණ වේගයෙන් අතීතයට ඇදී යමින් පවතී. එසේම දීනෙන් දින වැඩි වන ජීවන බර දැනටම දරා ගත නොහැකි මට්ටම පැන ඇත. ඒ අතර තත්වය තවත් අමාරු කරමින් නෙලුම් කූලුනු වලට ප්‍රමුඛත්වය ලැබෙන්නේ ගම්බද පාසැල් සිය ගනනින් වැසී යද්දීය.රටේ මුලු මහත් ජනතාවම දේශප්‍රේමි ඇස් බැන්දුම් වලින් ‍රැවටිය හැකි මෝඩයන් නොවන බව ලඟ ලඟ දෙවතාවක්ම මේ රටේ ජනයා පෙන්වා තිබේ. ඒ විශ්‍රාම වැ‍ටුප් පනත් අරගලයේදී හා හලාවත ධීවර සටනේදීය.

ජීවන වියදම වෙනුවෙන් ඉදිරියේදී සටන් අනිවාර්ය වෙනු ඇති  අතර විශ්ව විද්‍යාල සේවකයෝ ඊයේ සිටම සටනේය.

ඒ අනුව ඉදිරි කාලයේ ආණ්ඩුවට බාහිර හා අභ්‍යන්තර වශයෙන් පෙරමුණු දෙකක සටන් කිරීමට සිදු වනු ඇත.

ජාත්‍යන්තර තලයේදී ආණ්ඩුවේ හැසිරීම නරක් වුවහොත් සම්බාදක පැනවීමක් දක්වා ඔවුන් යා හැකි අතර එවිට රට ඇතුලත සටනද වේගවත් වනු ඇත.

අනිත් අතින් අභ්‍යන්තර සටන්   මත මර්ධනය දියත් කලහොත් , එවිට නැවත වතාවක් ජාත්‍යන්තරය තුල ආණ්ඩුව හුදකලා වනු ඇත.

ආණ්ඩුවේ හා රාජපක්ෂලාගේ පාලනය රඳා පවතිනු ඇත්තේ මෙම පෙරමුණු දෙක තුලම ඔවුන් කොතරම් රාජ්‍ය තාන්ත්‍රික ලෙස හැසිරෙනවාද යන්න මතය.

දැනට පෙනෙන්නට තිබෙන ආකාරයට නම් ඔවුන්ගේ හැසිරීමට දිය හැක්කේ ලකුණු බිංදුවකි.

ශ්‍රී ලංකාවේ ජනතාව විරෝධතා පවත්වන ආකාරය සුදුසු නැති බව වීරවංශ ඇමතිතුමා සොයාගෙන තිබේ. ඒවා ප්‍රචණ්ඩකාරි බවත් ඒවායේ සිටින අය උසි ගන්වා එවා ඇත්තේ බටහිට අධිරාජ්‍යවාදින් විසින් බවත් පොලීසිය වෙඩි තබන්නේ ඒ නිසා බවත් එතුමාගේ මතයයි. ඒවායේ සිටින උද්ඝෝෂකයින් පොලිසීයට ගල් ගසන  අතර එවැනි ප්‍රචණ්ඩ උද්ඝෝෂණ ලංකාවට සුදුසු නැත.

ඒ නිසා දීර්ඝ වශයෙන් මේ ගැන කල්පනා කල එතුමා ලංකාවට සුදුසු උද්ඝෝෂණ ක්‍රමයක් ගැන සෙවීම සඳහා තම  දේශපාලන උපදේශකයින්ගෙන් සමන්විත කොමිටියක්ද පත් කලේය. එතුමාගේ දේශපාලන උපදේශකයින් හා පක්ෂයේ සාමාජිකයින්  සියලු දෙනා එතුමාගේ අමාත්‍යාංශයේ නිලධාරින් නිසා මෙය අමාත්‍යාංශ නිලධාරි කොමිටියක් ලෙස හෝ පක්ෂයේ මහ සභා සම්මෙලනයක් ලෙසද  හැඳින්විය හැක. නිල අලයෙන්ම බලයෙන්ම එතුමාම  එම කොමිටියේ සභාපති දූරයට පත් විය.

එම ගෞරවනීය කොමිටිය විසින් කරන ලද නිර්දේශ දුසිම පහත දැක්වේ.

තමන්ගේ උද්ඝෝෂණ වලින් නිසි පල ලබා ගැනීමට නම් එම උපදෙස් තරයේ පිලිපදින මෙන් සියලු දෙනාට මින් දැනුම් දෙනු ලැබේ.

1. උද්ඝෝෂණයට සහභාගි වන සියලු දෙනා සුදු ඇඳුමින් සැරසි සිටිය යුතුය.

2. කාන්තාවන් සුදු ඔසරිය ඇඳ ආ යුතුය.

3. පිරිමි අය සුදු ජාතික ඇඳුමින් සැරසී කුරක්කන් පාට සාටකයක් පැලඳ සිටිය යුතුය.

4. මධ්‍යම පලාතේ කුරක්කන් සාටක පැලඳීම අවශේෂ අයට තහනම් බැවින් එහිදී සුදු පාට හෝ නිල් පාට සාටක පැලඳීමට අවසර ඇත.

5. සියලු දෙනා නිල් මානෙල් මල් වට්ටියක් ‍රැගෙන ආ යුතුය.

6. එක් පේලියක් සැදී  බිමට නෙත් යොමු කරගෙන  සංවරව උද්ඝෝෂණය පවත්වන ස්ථානයට පැමිණිය යුතුය. එක් අයෙක් පැමිණ විනාඩි පහකට පසු අනිකා පැමිණිය යුතුය.

7. උද්ඝෝෂණයේදී සටන් පාට කීම සපුරා තහනම්ය. නිශ්ශබ්දව සිටිය යුතුය.

8.අවශ්‍යම නම්  බුදු ගුන ගාථා හෝ  දේශප්‍රේමි ගී ගායනා කල හැකි  නමුත් ඒ සඳහා පොලිස්පතිගෙන් පෞද්ගලිකවම අවසර ගත යුතුය.

9.උද්ඝෝෂණය පැවත්විය යුතු ස්ථානය පොලිසීය විසින් ‍තෝරාදෙනු ඇත.එය ජනශූන්‍ය ප්‍රදේශයක පිහිටි පාලු පොල්වත්තක් හෝ වෙනත් එබඳු තැනක් විය යුතුය.

10.උද්ඝෝෂණය සඳහා ලැබෙන උපරිම කාලය විනාඩි දහයකට සීමා වෙනු ඇත.

11.උද්ඝෝෂණයට සහභාගි වෙන කිසිවෙකු පෑන්,පැන්සල්, ජංගම දුරකථන,මාරු කාසි ආදි අවි ආයුධ  තමන් ලඟ තබා ගැනීම සපුරා තහනම්ය. ඒවායින් පහර දී අහිංසක පොලිස් හා හමුදා නිලධාරින්ට තුවාල කල හැකි බැවිනි.

12.උද්ඝෝෂණය නිමා වීමෙන් පසු ජාතික ගීය හා යෝවද තම්පව ගාථාව කියා  පැමිණි  ලෙසම එක අයෙක් ගොස් විනාඩි පහකට පසු අනිකා පරිද්දෙන් පිටව යා යුතුය.

සටහන- ඡායාරූප වලින් දැක්වෙන්නේ වීරවංශ තුමාගේ පාටියේ උදවිය බෑන් කී මූන් ට විරුද්ධව පැවත් වූ උද්ඝෝෂණයේ අවස්ථා දෙකකි. ඒවා මොන තරම් සාමකාමිද බලන්න.

අපි  හැමදාම කියන පරිදි මේ ආණ්ඩුව එදා වේල සඳහා කුමක් හෝ අටමගලයක් අටවා ගනී. එය බෑන් කී මූන් හෝ දරුස්මාන් වාර්තාව හෝ  වීරවංශ පන්නයේ උපවාසයක් හෝ විය හැක. මේ කතා ගොතන්නවුන් සැම විටම අපට කියන්නේ බටහිරයන් මේ රට ගිල ගැනීමට බලා සිටින, මේ රටට විරුද්ධව කුමන්ත්‍රණ කරන පිරිසක්  බවයි. නමුත් බටහිරයන් මේ රටට එතරම් වෛර කරන්නේ මන්දැයි ඔවුන් අපට නොකියයි.

අනිත් අතට මේ බටහිර කුමන්ත්‍රණ ගැන කතා කියන සෑම විටම එම කුමන්ත්‍රණ  පිටිපස මේ රටේ ද්‍රෝහින්ද ඒවාට  ආධාර කරන බව එම කතා කරුවෝ අපට කියති. එම ආධාර කරුවන් ලෙස නිතරම ‍තෝරාගන්නේ එම අවස්ථාවේ රෙජිමයට එරෙහිව නැගී සිටී යැයි සැක කරන උදවියයි.යම් කිසිහේතුවක් මත රෙජිමයට එරෙහිව නැගී සිටී යැයි සැක කරන පිරිස්  රෙජිමයේ මෝඩ , ජාතිවාදි ආධාරකරුවන්ගේ වෛරයට ගොදුරු කිරීමට එය අපූරු උපක්‍රමයකි.

මේ කතා ජනතාව වෙතට පත් කිරීම සඳහා ද වෙනම පිරිසක් සිටිත්. ඔවුන්ද නියම ජාතිවාදින්ය. කැළණියේ නාථ දේවාලයේ නලින් ද සිල්වා කපු මහතා, ජානිපේ ලොන්ඩරියේ  වීරවංශ ,දේශහිතෛෂි කරවල කඩයේ වසන්ත බණ්ඩාර , දිවයින පත්තර කඩමාල්ල මේ තර ප්‍රමුඛ තැනක් ගනී.

දුමින්ද සිල්වා ප්‍රමුඛ පිරිසක් අතින් ශ්‍රිලනීප ප්‍රබලයෙක් වූ භාරත ලක්ෂ්මන් ඝාතනය වීමත් සමග ශ්‍රිලනිපයෙ ප්‍රබලයන් අතර යම් කිසි කළකිරීමක් ඇති වූ බවත් , මෙතෙක් නිශ්සබ්දව සිටි ඔවුන් මේ සිදු වීම ගැන තැන් තැන් වල විවේචනය කරන බවත් පසු ගිය දිනවල වාර්තා විය. ඔවුන් තමන්ට එරෙහිව කැ‍රැල්ලකට යතැයිද එසේ වුවහොත් ආණ්ඩුවට අලුතින් එක් වූ යූ ඇන් පී කරයින් අතින් ගුටි කකා සිටින ගමේ ශ්‍රිලංකා කාරයින්ද එයට එක් වෙතැයි බිය වූ ආන්ඩුවේ ලොක්කන් වහාම ඒ ගැන යමක් කරන මෙන් කුප්‍රකට උපවාස කරුවාට භාර දුන්නේය. ඉදින් යම් හෙයකින් මෑත අනාගතයේදී යම් කිසි ශ්‍රිලනිප නයකයෙක් භාරත ඝාතනය ගැන ඕනෑවට වඩා දැඟලුවොත් ඔහු දේශද්‍රෝහියෙක් කිරීමට අවශ්‍ය පියවර මල්වංශ විසින් ගෙන ඇත. ඔහුගේ වෙබ් අඩවියේ පහත ලිපිය පල වන්නේ ඒ අනුවය.

-ආණ්ඩුව වට්ටන්න බටහිර ඔත්තු සේවයක් ශ‍්‍රීලනිප ප‍්‍රබලයන් මෙහෙයවයි-

ඝාතනයට ලක්වූ භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ සිද්ධිය උපයෝගී කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව කඩා බිඳ දැමීමට ප‍්‍රධාන පෙලේ බටහිර ඔත්තු සේවාවක් ක‍්‍රියාත්මක වෙමින් ඇතැයි වාර්තා වේ. ඒ අනුව ශ‍්‍රිලනිප පැරණි ඉහල පෙලේ සාමාජිකයන් පිරිසක් හරහා එම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මේ සඳහා මෙරට ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ද මැදිහත් වී ඇති අතර ඔවුන් හරහා ප‍්‍රධාන පෙලේ අසල්වාසී බුද්ධි අංශයක් යටිතල පහසුකම් සපයමින් සිටින බවද පැවසේ.

එම බුද්ධි අංශයේ අරමුණ වී ඇත්තේ ශ‍්‍රී ලංකාවද ලිබියාවක් ලෙස හුවා දක්වා එවැනි තත්වයක් මඟ හරවා ගැනීම සඳහා නම් වත්මන් පාලනය වෙනස් කල යුතු බව පෙන්වා දීමයි. මීට එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ ප‍්‍රබල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ සහයද ලබා දෙන බවට තොරතුරු වාර්තා වේ.”

 
මීට මඳ කලකට පෙර රජවාසල කවටයෙක් ලෙමන් පෆ් කමින් බෑන් කී මූන් ට එරෙහිව උපවාසයක් කරන විට රටම ඒ දෙස බලා සිටියේය. එම උපවාසයට අවශ්‍ය මඩු කූඩාරම් , වෙනත් කළමනා සැපයුයේ එම කවටයාගේ අමාත්‍යාංශයට අයත් සංස්ථාවලිනි.
 
කැමරා අටවා ගත් මාධ්‍ය කරුවෝ දිවා රෑ දෙකෙහිම නිදි මරමින් එහි කල් ගත කලහ. මැති ඇමතින් ඇතුලු වී.අයි. පී ලා කුස පිරෙන්නට කමින් කරන මේ අරුම පුදුම උපවාසය නැරඹීමට එහි ආ ගියහ.
 
පොලිසීය එම උපවාසයට ආරක්ෂාව දෙමින්  එහි ‍රැඳී සිටියේය.
අවසානයේ රාජ්‍ය නායකයාම පැමිණ තැඹිලි පොවා එම උපවාස නාඩගම අවසන් කලේය.
 
ඒ එක උපවාසයකි.
 
මේ දිනවල කල්පිටියේ තව උපවාසයක් ක්‍රියාත්මක වේ. ඒ බෞද්ධ හිමිවරුන් දෙදෙනෙක් හා මහලු මවකි. ඔවුන් ඉල්ලා සිටින්නේ දරුස්මාන් වාර්තාව ඉරා දැමීමට හෝ බෑන් කී මූන් පලවා හැරීමට නොවේ.
 
ධීවර කර්මාන්තයේ යෙදී සිටිත්දී අත් අඩංගුවට ගෙන අන්දමන් දූපත් වල හිර කර ගෙන සිටින තම ඥාතින් නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස ඔව්හු රජයෙන්  ඉල්ලති.වාර්තා වන ආකාරයට  මේ පුද්ගලයින් දැන් වසරක් පමණ ඉන්දෙය අත් අඩංගුවේ පසු වෙත්. කීමට සිටින සියලු බලධාරින්ට කියා පලක් නොවූ තැන ඔව්හු මෙලෙස උපවාසයකට බැස සිටිති.
 
එම උපවාසය ගැන රටේ  මාධ්‍ය නිහඬය. දේශපාලකයින් හෝ දේශප්‍රේමින් පලාතකවත් නැත.අඩුම තරමෙන් මේ ප්‍රශ්නයට අදාල ධීවර අමාත්‍යාංශයේ නිල්ධාරින්වත් නැත.
 
තම දරුවන් ඉල්ලා හඬන ඒ මවට තැඹිලි වතුර පොවන්නට ජාතියේ ආඩම්බරකාර තාත්තලා එන්නෙත් නැත. ජාතියේ තාත්තලාට තම පුතුන්ගේ රගර් තරඟ නැරඹීමට යෑමට ඇතිවා විය යුතුය.
 
තව ටික දිනකින් උසාවි නියෝගයක්ද ‍රැගෙන එන පොලිසීය මේ උපවාස කරුවන් කුදලාගෙන ගොස් රෝහලකට දමනු ඇත.
 
ඔවුන්ගේ දරුවන් අන්දමන් දූපත් වල තවදුරටත් සිර වී සිටිනු ඇත.
 
ආසියාවේ ආශ්චාර්යේ වැඩ සිද්ද වෙන්නේ එහෙමය.

2009 මැයි මාසයේ එල් ටී ටී ය සමූලඝාතනය කිරීමත් සමග අප රටේ පාලකයින් පත් වූයේ බලවත් අසීරු තත්වයකටය.  වසර තිහක් මුලුල්ලේ කොටි බිල්ලා පෙන්වමින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න යට ගැසු ඔවුන් ආර්ථික හා දේශපාලන කරුණු මත ජනතාව ආණ්ඩුවට විරෝධතා පල කරන විට ඔවුන්ගේ අවධානය වෙනතකට හැරවීම සඳහා නොයෙක් ආකාරයේ අලුත් අලුත් බිල්ලන් මවා පෙන්වයි.

බෑන් කී මූන්, නවනීදම් පිල්ලෙයි, ග්‍රීස් යකුන්, ඇමෙරිකාව, යුරෝපය, ඉන්දියාව ,රෝ සංවිධානය, ටී ඇන් ඒ , විරුද්ධ පක්ෂ, සුලු ජාතින් ආදින් විටින් විට ඒ සඳහා ‍තෝරා ගෙන ඒ ‍තෝරා ගත් අයට විරුද්ධව රාජ්‍ය මාධ්‍යද, රාජ්‍යයට කඩේ යන මාධ්‍යද භාවිතා කරමින් පහර දෙයි. ඔවුනට විරුද්ධව වෛරය වපුරයි. ජාතිවාදය වපුරයි.

මේ අංශයේ පෙරමුනේම සිටින්නේ ඕනෑම ජරාවක් ගිල දැමිය හැකි හා ඕනෑම කුණුහරුපයක් ඇද බෑ හැකි කුණු කනුවක් බඳු කටකුටක් හිමි විකාරවංශයි.
 
පසුගියදා ලංකාවට පැමිණි බ්ලේක් නම් වූ ඇමෙරිකානු නිලධාරියාට එරෙහිව මේ පුද්ගලයා කල ප්‍රකාශයක් ඔහු විසින් පවත්වාගෙන යන වර්ගවාදි  වෙබ් අඩවියක පසු ගියදා පලව තිබූ  පහතින් දැක්වෙන්නේ විකාරවංශලා විසින්  වපුරන උමතු  වර්ගවාදී විෂබීජ වලින් මනස රෝගී වූ පුද්ගලයෙකු  එහි ලියූ කොමෙන්‍ටුවක් පහත දැක්වේ. උපවාස වංශලා, නලින්ද සිලවා ලා, අමරසේකරලා ඇතුලු  ජාතිවාදි පිස්සන් මේ රට තල්ලු කරන්නේ කොතැනටද යන්න මෙයින් හොඳටම පැහැදිලි වේ.

 

“මේකට හොදම විසදුම අපි ආයුද සන්නදවෙලා ජනතාව හැටියට අතිරේක සිවිල් හමුදාවක් හැටියට ලෑස්තිපිට ඉන්න මේ face බූක් විප්ලව කාරයෝ පාරට බැස්සොත්මුන්ගේ අඬු කඩන්න බෙලි කපන්න බොකු එලියට අදින්න . යකෝ හමුදා කදවුරුවලට ගහන්න සුළුජාතික බැල්ලිගෙ පුතාල ආයෙත් ලැස්ති උනොත් සුදානම් කරන්න බස්, අපිට යන්න මුන්ගේ පළාත් වලට ගිහිල්ල මුන්ව මට්ටු කරන්න . උන් ජනතාව හැටියට හමුදා කදවුරු වටකරන්න පුලුවන්නම් අපිට ජනතාව හැටියට හමුදා කදවුරු වටකරන එවුන්ගේ කොදු කඩන්න අයිතිය තියෙනවා . බැහැපියව් පරබල්ලෝ facebook වීරයෝ සහන් ෆෙරනාදෝ ල .රොඩියල තොපේ බොකු adala මරන්න . ඒ එක්කම මුන්ගේ මුලස්ඨාන වටකරමු ngo කාර බල්ලන්ගේ තිප්පොළවල් . හෙට පොත් ප්‍රදර්ශනයේ අමතක නොකර ngo කාරයන්ගේ (මුන්ගේ ආයතන වලින් පොත් විකුණනු ලබයි ) මූණු මතක තියාගන්න පසුව ප්‍රයෝජනයට ගන්න . වරෙව් විප්ලව කරන්න අපි සුදානම් තොපි මරන් කන්න”

 
තමන්ට ලැබීමට ඇති  හිඟ වැටුපක් ඉල්ලා  මේ   දිනවල  කෙරෙන විදුලි සේවක  වෘත්තීය අරගලය ගැන  කතා  කරන  දේශප්‍රේමී,  දේශමාමක, දේශ භක්ෂක  දශසිල් ධාරි අති ගරු ච. රණවක  තාවකාලික  ස්ථවිර ඇමතියාණෝ,  එම  හිඟ මුදල යුද්ධය පැවති සමයේ කල වැටුප් වැඩි කිරීමකට අදාළ දෙයක් නිසා , එම මුදලම  යුද්ධයට කැප කල   යුතු  යැයි කියති.
 
ඇත්තෙන්ම එය ඉතාමත් දේශප්‍රේමී යෝජනාවකි. කාලෝචිත යෝජනාවකි. දැන් යුද්ධය අවසන් නිසා යුද්ධයට මුදල්  කැප කරන්නේ මොන කෙහෙම්මලකට දැයි අසන දේශප්‍රේමීන්ගේ ගොඩට අප නොවැටිය යුතුය.
 
යුද්ධය තවම ඉවර නැත. එය ජයටම කෙරී ගෙන යයි. ප්‍රබාකරන් අවසන් කලද ඊටත් වඩා දරුණු ඩයස්පෝරා නමැති ත්‍රස්තවාදියෙක් සිටී. මේ ඩයස්පෝරා සමග කල්ලි ගැහී අපේ මාතෘ භූමියට කෙලවීම තම ජීවිතයේ එකම අරමුණ කර ගත් බෑන් කී මූන් – – සමා වෙන්න , ඌ දැන් ත්‍රස්තවාදියෙක් නොවේ- බටහිරයා නමැති එකෙක්ද සිටී.
 
එසේම යුද සමයේ රට පැන්න කොටින් හොර රහසේම උතුර හා නැගෙනහිර පළාත්වලට නැවත පැමිණ ඇතැයි ඊයේ පෙරේදා වාර්තා කලේ රණවක තුමාගේ වර්ගයේම දේශප්‍රේමියෙක් වෙන පොඩි වංශ තුමාගේ වෙබ් අඩවියයි.
 
ඒ මදිවාට මුන් රටේ දකුණු පළාත් වලට පැන නොයෙක් ආකාර ත්‍රස්ත ක්‍රියා කරති. පසු ගියදා කටුනායක සිදු වුයේ එවැනි ත්‍රස්ත ක්‍රියාවකි. එහිදී එක ත්‍රස්තවාදියෙක් මරා දමා  පළාතේ සාමය ආරක්ෂා කර ගැනීමට දේශප්‍රේමී ආණ්ඩුවට යම්තම් හැකි විය.
 
ඉතින් අප මුන්ට විරුද්ධව යුද නොකළ යුතුද? ඔයාකර හිඟ වැටුප් ගෙවීමට සිදු වුවහොත් මේ දේශප්‍රේමී යුද්ධයට අවශ්‍ය අවි ආයුධ ගන්නේ කෙසේද?
 
ඉතින් මේ සියලු ආකාර ත්‍රස්තවාදීන් පැරදවීමට මුදල් අවශ්‍ය නොවේද. තුවක්කු පතුරම් වලට අමතරව ත්‍රස්ත මර්ධනයේ නවීන අවි  ආයුධ වන බයිසිකල් චේන් , යකඩ පොලු හා බල්ලන්ගේ ඔලු ආදිය මිලට  ගැනීමටම  කොතරම් නම් මුදලක් අවශ්‍යද?
 
එම නිසා මේ වෙලාවේ දේශප්‍රේමින්වශයෙන් විදුලි සේවකයින් තමන්ගේ  හිඟ වැටුප ලබා යුතුය. ඒ පමණක් නොව , රටේ සියලු දෙනා තම තමන්ට හැකි පමණ මේ යුද්ධයට තම ආධාරය ලබා දිය යුතුය. ච. රණවක තුමා හරිය.