Posts Tagged ‘බාල පෙට්‍රල්’

කලක් ශ්‍රී ලංකාවේ අංක එකේ විප්ලවවාදි,මාක්ස්වාදි, ට්‍රොස්ට්ස්කිවාදි, නායකයෙකුව සිටි හා දැන් එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන වාසුදේව නානායක්කාර මහතා පසු ගියදා රාවය පත්‍රයට දී තිබූ සම්මුඛ සාකච්ඡාවක කොටසක් මෙසේ උපුටා දක්වන්නේ හුදී ජන පහන් සංවේගය උදෙසාය.

ප්‍රශ්නය– බාල පෙට්‍රල් ආනයනය නිසා ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 49 ක් පාඩු වුනා. මේ වගේ කාරණා හේතුවෙන් සංවර්ධනය අඩාල වීම ඔබේ අවධානයට ලක් වෙන්නේ කොහොමද?
 
පිළිතුර– මේක දූෂණයක්. හැබැයි දූෂණය  නිසා සංවර්ධනය බාල වෙන්නේ නැහැ. නමුත් දූෂණයෙන් ආණ්ඩුවේ වියදම ඉහල යනවා.
 
ප්‍රශ්නය– ඉතින් අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තකට ගත හැකි මුදල් ගසා කෑමෙන් ඒ සංවර්ධන කටයුත්ත ඇන හිටිනවනේ.
 
පිළිතුර– ඒක වෙන්න පුලුවන්. නමුත් ඒ දූෂණයෙන් හොයා ගන්න මුදල ඒ අය කොතන හරි සංවර්ධනයට එකතු කරනවා නම් ,එතකොට සංවර්දනය බාල වෙන්නේ නැහැ.
 
ප්‍රශ්නය– දූෂණයෙන් හොයා ගන්න මුදල් සංවර්ධනයට  වැය වෙනේ කොහොමද?
 
පිළිතුර– ඔව් එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා තමයි. හැබැයි ඉතින් දූෂණයෙන් හොයා ගන්න මුදල් වුණත් නිකං තියා ගන්නේ නැහැ. නිකං තියා ගත්තොත් පාඩුයිනේ . ඒවා කොහේ හරි ආයෝජනය වෙනවා.
 
ප්‍රශ්නය– ඒ මුදල් මේ රටේ ආයෝජනය නොවී පිට රටක බැංකුවක තැන්පත් වෙනවා නම්.
 
පිළිතුරපිටරටක ආයෝජනය වුණාමයි කියමුකෝ. ඒ ආයෝජනයේ ප්‍රතිලාභයන් කවදා හෝ මේ රටට ලැබෙනවනේ. අපේ රටේ දූෂකයා සල්ලි වෙන රටක ආයෝජනය කරලා ඒ රටේම තැන්පත් කරනවා නම් ඒ ක වෙනම කාරණයක්.
 
සටහන- එදා වාසුට හා කාලෝට සෙනෙහසින් පෙම් හසුන් ලියු නිර්මාල්  මේ සාකච්ඡාව ගැන කියන්නේ මොනවාදැයි දැන ගන්නට අප ඉතා ආශාවෙන් සිටිමු.
 

 

සයිප්‍රසය  යනු අපූරු රටකි. එහි සිදු වන දේවල් අපට සිතා ගන්නටවත් නොහැකි තරම් අරුම පුදුමය.ඒ රටේ පොදු ජනතාවට  ඇත්තේ පුදුමාකාර බලයකි. රට ඇත්ත වශයෙන්ම පාලනය කරන්නේ පොදු ජනයාය.

උදාහරණයක් ලෙස ඊයේ පෙරේදා වන තෙක් එහි ආරක්ෂක ඇමැතිකම දැරූයේ සාමාන්‍ය   නාවික සෙබලෙකි. විශ්වාස කරන්න. උප ලුතිනන් කෙනෙකුවත් නෙවෙ. සාමාන්‍ය  නාවික භටයෙක්. තවමත් සේවයේ  යෙදෙන නාවික භටයෙක්.  

රටේ ආරක්ෂක ඇමති යැයි කියා  ඔහුට විශේෂ රාජකාරියක් පැවරීම සිදු නොවේ. උදේ වරුවේ ආරක්ෂක ඇමති ධූරය දරන ඔහු සවස් වරුවේ නාවික කඳවුරක ගබඩා බාරකරුවෙකු ,මුර කරුවෙකු ආදි වශයෙන්  සුලු සුලු රාජකාරි කරමින් නාවික භටයෙක් වශයෙන් සේවය කරයි. සයිප්‍රසයේ හැටි එහෙමය.  

සයිප්‍රසය   සම්බන්ධ අනෙක් අපූරුම දෙය නම් ඔවුන් මෙතරම් ජනසම්මතවාදි ලෙස රට පාලනය කළත් ඒ ගැන රටෙන් පිට කිසිවෙකුට දැන ගැනීමට ඉඩ නොතැබීමයි. ඒ මක් නිසාදැයි අප නොදනිමු. නමුත් එය එසේය. 

ශ්‍රී  ලංකාවේ අපට පවා මේ ගැන දැන ගැනීමට ඉඩ ලැබුනේ ඉතාමත්  අහම්බෙනි. 

ඒ කථාව මෙසේය.

පසුගිය දිනෙක ලංකාවට අපද්‍රව්‍ය  මුසු බාල පෙට්‍රල් තොගයක් ඛනිජ තෙල් සංස්ථාව විසින් අපනයනය  කළේය. එම තෙල් භාවිතා කළ වාහන පමණක් නොව ඒවා ජනතාවට විකුනූ ඉන්ධනහල් ගණනාවකටද  හානි සිද්ධ විය.  

මේ ගැන කථා කල ඉන්ධන භාර ඇමති සුසිල් ප්‍රේම ජයන්ත මහතා මුලින්ම කියා සිටියේ ලංකාවට ගෙනාවෙ හොඳ සුපිරිසිදු ටොපේ ටොප් කොලිටියේ තෙල්  බවත් ඒවාට වතුර හෝ වෙනත් අපද්‍රව්‍ය කලවම් කරන්නට ඇත්තේ පෙට්‍රල් ෂෙඩ් වලදී බවත්ය. එසේම තෙල් ගබඩා කර තැබීමේදී ඒවාට වැසි ජලය මුසු වෙන්නට ඇති බවත් ඔහු තවත් අවස්ථාවක කීවේය.  

කෙසේ නමුත් අන්තිමේදී ලංකාවට ගෙන්වා ඇත්තේ බාල ,අපිරිසිදු පෙට්‍රල් තොගයක් බවත්, ඒවා ගෙන්වූයේ නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව බවත් පිලිගන්නට ඇමති වරයාට සිදු විය. 

බාල පෙට්‍රල් ගෙන්වා මහත්  විනාශයක් සිදු වූ නිසා  නිසා එහි වගකීම බාරගෙන ඇමතිවරයා ඉල්ලා අස් විය යුතු යැයි විපක්ෂය කිව්වේ මේ අතරේය.  

අපගේ ගරු ඇමතිතුමාට මල පැන්නේ එවිටය.

අර මක්කටෙයි මම අස් වෙන්නෙ? තෙල් ඕර්ඩර් කලේ   නිලදාරි, ගෙන්නුවේ නිලදාරි, පරික්ෂා කලේ නිලධාරි, බෙදා හැරියේ නිල්ධාරි, ඔය ඔක්කොම කලේ නිලදාරි. ඉතින්  මම මක්කටෙයි ඉල්ලා අස්වෙන්නේ ? මම මොකැටයි වග කියන්නේ ? නිලදාරි නෙව වග කියන්න ඕනේ. අනික ඔය දේවල් වෙන කොට මම රටෙත් හිටියේ නැහැ නොව, “ 

එතුමා ඒ ගැන කීවේ එලෙසය.ඇත්තටම එතුමා වගකිව යුතු නැත. ඇණවුම් කලෙ,පරීක්ෂා කලේ , බෙදා හැරියේ ඇමති තුමා නොවන බව පැහැදිලිය. ඒ අනුව එතුමා වග කිව යුතු නැත. ලංකාදීපයට කිවිදා විග්‍රහය  ලියන වසන්තප්‍රිය  රාමනායකට අනුව එතුමා අවංක පාරිශුද්ධ ඇමති කෙනෙක් බව රටේ ජනතාව පවා දනිති.

 සයිප්‍රසයේ  නාවික හමුදා කඳවුරක පසු ගිය දා පිපිරීමක් ඇති වී කීප දෙනෙකුන් මිය ගිය විට එහි ආරක්ෂක ඇමති ඉල්ලා අස් විය. අපගේ තෙල් බාර ඇමතිතුමාගේ තර්කය අනුව කල්පනා කල විට අපගේ කුඩා මස්තිෂ්කයට තේරුම් ගියේ නිසැකවම මේ සයිප්‍රස්  ආරක්ෂක  ඇමතිවරයා එම කඳවුරේ සුලු නිලදාරියෙක් බවත් මෙම පිපිරීම සිදු වන්නට ඇත්තේ ඔහුගේ වැරද්දක් නිසා බවත්ය. උදාහරණයක් ලෙස ඔහු එහි මුර භටයෙක් ලෙස සේවය කරමින් සිටින්නට ඇත. උදේ වරුවේ ඇමති තනතුරේ කටයුතු කර දැඩි ලෙස වෙහෙසට පත්ව සිටි  හැන්දෑවක කඳවුරේ මුර සේවයේ යෙදී සිටීන්නට ඉඩ ඇති අතර වෙහෙස නිසාම ඔහුට නින්ද යන්නට ඇත. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය  ගත් ත්‍රස්තවාදියෙක්   කඳවුරට බෝම්බයක් ගෙනවුත් එය පුපුරවා හරින්නට ඇත.  

ඉතින් එම සිද්දියේ වගකීම ආරක්ෂක ඇමති මෙන්ම මුර බට තනතුරේද කටයුතු කල කොස්ටාස් පැපාකොස්ටාස් ගෙ නොවේද.?  ඔහු ආරක්ෂක ඇමති තනතුරෙන් ඉල්ලා අස් වූයේ ඒ නිසාය. 

එවැනි කිසි වැරද්දක් කර නැති අපේ ගරු පෙට්‍රල් ඇමතිතුමා ඉල්ලා අස් වන්නේ මොන හත්තිලව්වකටද?  ඔන්න එතුමාත්  ඇමති කමට අමතරව තෙල් බවුසරයකවත් සේවය කලා නම් තෙල්වලට වතුර කලවම් වීමේ වගකීම බාරගෙන  ඉල්ලා අස් වෙන්නට ඉඩ තිබුනි. එවැනි දෙයක් වී නැහැ නොවැ.