Posts Tagged ‘පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂය’

chained-handsකුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල නිල හෝ නොනිල අවි ගත් පිරිසක් විසින් පැහැර ගත් සිදුවීම් මාලාව අවසන්ය. අපද ඇතුලු බොහෝ දෙනෙකුන් විසින් බරපතල ඛේදවාචකයක් වේ යැයි සිතු එම සිදු වීම් පෙල , ජාතිකව මෙන්ම ජාත්‍යන්තරවද කරන ලද බරපතල බලපෑම් හමුවේ පැහැරගත්තවුන්ට දණ ගැසීමට සිදු වීමෙන් කෙළවර විය.

දැන් එම සිදු වීම් ගැන ලක්ෂ්මන් යාපා බඳු විකටයින් ජනතාව ඉදිරියට එවා නොයෙක් විහිලු කතා කියවමින් තිබේ.

කුමාර් ගුණරත්නම් ලංකාවට පමිණි දා සිට ඔහුව සොයමින් සිටි ආණ්ඩුව , ඔහුගේ බිරිඳට  හා දරුවන්ට  පවා තාඩන පීඩන කරමින් ඔහුව සෙවූ ආණ්ඩුව ඔහු දෙමටගොඩ පොලිසියට පැමිණ තමන්ට ඕස්ට්‍රේලියාවට යන්නට ඕනෑ යැයි කියු විගස ගුවන් තො‍ටුපොල්ට ගෙන ගොස් ඕස්ට්‍රේලියාවට යවයි.අඩුම තරමේ මහා ගාල ගෝටියක් ඇති කල ඔහුගේ පැහැරගැනීම ගැනවත්, මහ ලොකුවට කතා කල ඔහුගේ හොර පාස්පෝර්ට් ගැනවත් අඩුම තරමේ ප්‍රකාශයක් කර නොගෙනය. මෙවැනි කතා විශ්වාස කරන්නේ අපේ ආණ්ඩුවේ අති ජාත මිත්‍රවරුන් වන චීනුන් පමණි. එයද කොණ්ඩේ බැඳපු චීනුන්ය.

නමුත් ප්‍රශ්නය එතැනින් අවසන් නොවේ. කුමාර් ,දිමුතු සිද්ධියේදී ආණ්ඩුවට ජාත්‍යන්තරය හමුවේ දණ ගැසීමට සිදු  වීම මහත් ලජ්ජාවක් විය. තමන් මිනිසුන් පැහැර ගෙන යන්නවුන් බව හෙලි වීම නිසා මහත් සේ අවමානයට පත් විය. තමන් පත් වූ මෙම ලජ්ජාවත් අවමානයත් නිසා ඔවුන් මහත් සේ කිපී සිටිති. ඔවුන් එම තරහ පිට   කරනු ඇත්තේ තමන්ට එරෙහි ව නැගී සිටින ජනතාවගෙනි. විශේෂයෙන්ම පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයේ සාමාජිකයින් හා නායකයින් ඔවුන්ගේ ඉලක්ක වනු ඇත. ඊයේ හා  අද තමන් පොලිසීයේ  යැයි කියා ගත් පිරිස් එම පක්ෂයේ සාමාජිකයන්ගේ නීවෙස් වලට ගොස් තර්ජනය කර ඇතැයි වාර්තා  වී තිබිණි.

එම නිසා කුමාර් ගුණරත්නම් සිදු වීම එතැනින් අමතක කර නොදමා , ඒ ඇති කරන ලද පීඩනය දිගටම පවත්වා ගත යුතුය. මෙම අවනීතික පැහැරගැනීම් වලට එරෙහිව රට තුල මෙන්ම ඉන් පිටතත් ප්‍රබල හඬක් නැංවිය යුතුය. එය හුදකලාව කල හැකි දෙයක්ද නොවේ. සියලු මිතුරු බලවේග එකට එක්කාසු වී කල යුතු දෙයකි. ශ්‍රී ලංකාවේ  මිනිස්  නිදහස ආරක්ෂා කරගත හැක්කේ එමගින් පමණි.

තම ප්‍රමුඛ නායකයින්  දෙදෙනෙක් පැහැරගෙන ගොස් තිබියදීත්  තම පක්ෂයේ ප්‍රථම සමුලුව පැවත්වීමට ‍රැස්වෙන පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයට අපේ සුභ පැතුම් පිරි නමන අතරම ඔවුන්ට කරුණක් කිව යුතුය.

කුමාර් ප්‍රමුඛ කණ්ඩායම ජවිපෙන් එලියට එන එක් හේතුවක් වශයෙන් දැක්වෙන්නේ පක්ෂය මාක්ස් ලෙනින්වාදි අදහස්වලින් මිදී ජාතිවාදි මගක ගමන් ගැනීමයි. ඒ කියමන්   අනුව අපට පෙනී යන්නේ පෙර‍ටුගාමි සමාජවාදින් ජාතිවාදය ප්‍රතික්ෂේප කරන බවයි. ඔවුන් සැබෑ මාක්ස් ලෙනින් වාදින්  නම් ජාතික ගැටලුව අරභයා වූ මාක්ස් ලෙනින්වාදි  අදහස් පිලි ගත යුතුය.

දැන් ඔවුන් ඒ ගැන ප්‍රසිද්ධියේ තම මතය ප්‍රකාශ කල යුතුය. එය සමාජවාදි ආණ්ඩුව පිහිටවූ පසු එය මගින් ජාතික ගැටලුව විසඳීම   බඳු ප්‍රශ්නය මග හරින  විකාරයක් නොවිය යුතුය.

1. ජාතින් සතු ස්වයං නිර්ණ අයිතිය පෙර‍ටුගාමි සමාජවාදින්  පිලි ගන්නේද?

2. ලංකාවේ දෙමල ජනයා කෙරෙහි එය අදාල කර ගන්නේ කෙසේද ?

ඉතාමත් සරලව කිවහොත් දෙමල ජනයා වෙන්ව යාමට කැමතිනම් එයට ඉඩ දෙන්නේද?

 පෙර‍ටුගාමින් විසින් විසඳාගත යුතු වැදගත්ම ප්‍රශ්නය  එය බව අපේ හැඟීමයි.

ප්‍රේමකුමාර් ගුණරත්නම් හා  දිමුතු ආටිගල දෙදෙනා අතුරුදහන් කර තිබේ.  ඒ ඔවුන්ගේ  නව පක්ෂය ,පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂය එලි දක්වන්නට පැය 48කටත් නො අඩු කාලයක් ඉතිරිව තිබියදීය.

ප්‍රේමකුමාර් ඇතුලු කණ්ඩායම ජවිපෙන් කැඩී වෙනම ගමනක් ඇරඹු දා සිට ආණ්ඩුව, වීරවංශ ඇතුලු ජාතිවාදි නඩය පමණක් නොව ලංකා ඊ නිව්ස් වැනි විපක්ෂයට හිතවත් යැයි පෙන්නුම් කරන උදවිය පවා ඔවුන්ගේ  රුධිරය ඉල්ලමින් සිටියහ. විශේෂයෙන්ම ඔවුන්ගේ ඉලක්කයක් බවට පත් වූයේ දෙමල සම්භවයක් ඇති ප්‍රේමකුමාර්ය.දැන් මේ සියලු ඉල්ලීම් සපුරමින් කුමාර් හා දිමුතු පැහැරගෙන ගොස් තිබේ.

මෙය බරපතල තත්වයකි. මීට ප්‍රථමයෙන් මේ ආකාරයට සාක්ෂි නොමැතිව පැහැර ගත් ප්‍රගීත් එක්නැලිගොඩ, ලලිත් හා කුගන් වැන්නවුන් ගැනද  තවම තොරතුරක් නැත.ඔවුන්ගේ ජීවිත ගැන පවා විශ්වාසයක් නැත. එහෙත් ඊනියා දේශප්‍රේමයෙන් මුසපත් වූ සමාජය ඔවුන් ගැන නිහඬව සිටිනවා පමණක් නොව නොයෙක් අවලාද නගමින් ඔවුන්ට අපහාස කරනුද පෙනේ.

මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ පොලීසිය විසින් ඔවුන් අත් අඩංගුවට ගෙන නැති බවයි. අප හොඳින් වටහා ගත යුත්තේ ඔහු කතා කරන්නේ පොලීසිය ගැන පමණක්  බවයි. එනම් නිල හෝ නොනිල වෙනත් අයවලුන් විසින් මේ අත් අඩංගුවට ගැනීම කිරීමට ඉඩ ඇති බව ඔහු නොකියා පිලි ගනියි.

අත් අඩංගුවට ගත් බව ප්‍රතික්ෂේප කිරීම තුලින් පෙනෙන්නේ කුමාර්ලාගේ ජීවිත අනතුරේ බවයි. ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට නම් ක්ෂණික හා ප්‍රබල මැදිහත් වීමක් කල යුතුව තිබේ.