Posts Tagged ‘පෙට්‍රල්’

අපේ ඇමති මණ්ඩලය ප්‍රසිද්ධිය සඳහා  නානප්‍රකාර දේවල් කරයි. උදාහරණයක් ලෙස වීරමල්වංශ ඇමතිතුමා ලෙමන්පෆ් කකා උපවාස කරයි. සුසිල් තුමා පෙට්‍රල් වලට වතුර දමයි. ජොන්ස්ටන් තුමා බාල සිමෙන්ති ගෙන්වයි. ඇස්බීන් තුමා නම් හතර අතේ ගාගනියි. මේවා දකින ජහමනයා ආ! අර ඇමතිතුමාත් තාමත් ඉන්නවනේ කියා දැනගනී. දැනගෙන ප්‍රීති වෙති.
 
අපේ සෞඛ්‍ය ඇමතිතුමා මේ සඳහා නොයෙක් දේවල් අත්හදා බලා අන්තිමට ‍තෝරාගත්තේ  බනින එකය. මොකක් හෝ හේතුවක් හදා ගෙන කාට හරි  බැන්නේ නැත්නම් එතුමාට නින්ද යන්නේ නැතියයි කාට හරි හිතෙන තරමට එතුමා බනිනවාය.    එතුමා වැඩි පුර බනින්නේ තමන්ගේ කට්ටියටය.ඒ කියන්නේ තමන්ගේ පක්ෂයේ කට්ටියට හා අමාත්‍යාංශයේ කට්ටියටය. 
 
අර දේශප්‍රේමි වංශ ඇමතිතුමා වගේ බටහිරටයි, බෑන් කී  මූන් ටයි ,කොල්ලටයි, බල්ලටයි බනින්නේ නැතිය. ඒක නිසා මේ බැනිල්ලෙත්   හොඳක් තියෙනවාය. ඇත්තටම කියනවානම් හොඳ දෙකක් තියෙනවාය.
 
එකක් නම් අමාත්‍යාංශයේ සිද්ද වෙන වැඩ කිඩ රටේ ජනයා දැන ගැනීමය. අනික එතුමා ගේ වැඩ කිඩ රටේ ජනයා දැන ගැනීමය.
 
එතුමා අමාත්‍යාංශය ගත්ත ගමන් හිටපු ඇමතිතුමාගෙ කාලය ගැන කියමින් බැන ගෙන බැන ගෙන ගියේය. මිනිස්සු නම් ඒකට කිව්වේ ඔය කෑ ගහන්නේ අගමැති පු‍ටුවට පොරකන හින්දාය කියලාය. හැබැයි එහෙම බනින කොට  තමන් මේ බනින්නේ තමන්ගේ පක්ෂයේම කෙනෙකුට කියලා එතුමාට අමතක වුනේය.
 
මේ මෑතකදී එතුමා තමන්ගේම ලොක්කාට ත් බැන්නේය. හැබැයි වහෙන් ඔරෝ භාශාවෙන්ය. මම කොන්ත්‍රාත් කාරයින්ගෙන් තේ කෝප්පයක්වත් බීලා නැතිය. මගේ පවුලෙ කවුරුවත් දේශපාලනේට ගෙනාවේ නැතිය ආදි වශයෙන් බැන්නේ වදින කෙනෙකුට වදින්න වගේ වුනත් ඒ වගේ කතාවලින් වැඩිපුරම වදින්නේ කාටද කියලා රටම නෙවේ ලෝකෙම දන්නවාය.
 
මේ දවස් වල එතුමා සිරිතක් වශයෙන් තමන්ගෙම අමාත්‍යාංශයේ නිලදාරින් දූෂිතය, හොරවැඩ කරනවාය, බාල බෙහෙත් ගේනවාය, ගොඩ නැගිලි කොන්ත්‍රාත් වලින් හොරා කනවාය ආදි වශයෙන් ‍රැස්වීම් වල කියන්නේය, පත්තර වලට ලිපි ලියන්නේය, ඉන්ටවීව් දෙන්නේය. මේ බනින බනින වාරයක් පාසා අපි මේ නිලදාරි හැත්තට ශාප කරමින් මේවා හෙලි කරන ඇමතිතුමාට චියර් කරනවාය.
 
හැබැයි මේ බනින්නේ ඒ නිලධාරින්ගේ ලොකුම ලොක්කා වන ඇමතිතුමා බව අපි අමතක කරමු. තමන්ගේ නිලදාරින් හොරකම් කරන කොට ඒක නවත්තන්නේ නැතිව , වැරදි කරන නිලදාරින්ට දඬුවම් නොකර පත්තරවල පි‍ටු පිරෙව්වාට වැඩක් නැත.
 
ඒකෙන් පේන්නේ ඇමතිතුමාට අමාත්‍යාංශය ඇතුලේ හරියට පාලනයක් කරගන්න බැරි බවය. නිලදාරින් තමන්ට ඕනෑ විදියට වැඩ කරන බවය. කොටින් කිව්වොත් ඇමති තුමා දුර්වලයෙක් බවය.
 
ඒ වගේම පක්ෂයේ අය හොරකම් කරනවානම් , ඥාති සංග්‍රහ කරනවානම් පක්ෂයේ මහ ලේකම් විදියට එතුමා ඒවා හොයා බලා අවශ්‍ය පියවර ගන්ට ඕනේය. එහෙම නැතිව ඒවා ගැන තැන් තැන් වල වහෙන් ඔරෝ කතා කීමෙන් පෙනී යන්නේ පක්ෂයේ ලේකම් වැඩේත් හරියට නොකරන බවය.
 
ඒ අනුව අපේ අවසාන නිගමනය  වන්නේ ඇමතිවරයෙක් විදියටත් දේශපාලකයෙක් විදියටත් එතුමා දුර්වලයෙක් බවත් සම්පූර්ණයෙන්ම  අසමත් බවත් ය.
 
සටහන-  හැබැයි ඒ දුර්වල කම හා අසමත් වීම නිසා එතුමා තමන් අගමැති කමට නම් ගැලපෙන බව ඔප්පු කර ඇත. මක් නිසාද යත් විජේතුංග තුමාගෙන් පසු දිගටම අගමැති කමේ හිටියේ ඒ කැටගරියේ අය නිසාය.
 


පෙරේදා පාන්දරින් ගමනක් යන්න කියලා හිතාගෙන වාහෙනට තෙල් ටිකක් ගහගන්න පෙට්‍රල් ෂෙඩ් එකට ගිය ඇටමැස්සා එතැන හිටි මලයෙක්ගෙන් හෙමිහිට ඇහුවා.

” මල්ලී , කොහොමද අද තත්වේ, හොඳ බඩු ආවද ” කියලා

” තාම එව්වා තමා බොස්, ගැහුවොත් වාහනෙට බඩුම තමා, ඔහොම්ම යන්න අයි ඕසී එකට .ඒකේ බඩු හොඳයි”මිනිහා කියපි.

” මොකෝ ඔහේලාට හොඳ බඩු එන එකක් නැත්ද” ඇටමැස්සා ඇහුවේ ඉන්දියන් අයිඕසී පිරවුම් හලට යන්න අමතර කිලෝමීටර් දෙක තුනක් යන්න වෙන නිසා.

” ම්හු. ඊයේ ආව බවුසර් එක ලොක්කා චෙක් කරලා ආපහු යැව්වා, අර ජරාවම කියලා. ඒවා නම් පෙට්‍රල් නෙවේ බොස්, වෙන මොනා හරි මලජරාවක් ”

“එතකොට අර ඇමතිතුමා කිව්වේ එයාලා තෙල් ඔක්කොම චෙක් කරලා තමා ගෙනාවේ. ලංකාවට ගේනකොට මුකුත් අප්සෙට් එකක් තිබුනේ නැතිය, ෂෙඩ් වලින් තමා වතුර කලවම් කරලා තියෙන්නෙ කියලා?”

“අනේ උගේ අම් ………………… , මං කිව්වා කියලා හිතාගන්න මහත්තයෝ. ඕකුන් කරන්න පුලුවන් තරම් දසකම් , හොර කම් ඔක්කොම කරලා කෙලවෙන කොට මේ පැත්තක ඉන්න අපිව බොරුවට අල්ල ගන්න හදනවා ”

සටහන- පසු ගියදා ආණ්ඩුව ගෙන්වූ ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් අද මහත් ප්‍රශ්නයක් බවට පත්ව ඇති අතර, එම පෙට්‍රල් තොග ලංකාවට ගෙන්වීමේදී නියමිත පරිදි පරීක්ෂණ සිදු කල බවත් , එම පෙට්‍රල් තොගය නියමිත පමිතියෙන් යුක්තව තිබූ බවත් ඉන්ධන බාර ඇමතිවරයා පසු ගියදා පැවසීය.

එසේම ඔහු වැඩි දුරටත් කියා සිටියේ පෙට්‍රල් වල යම් ප්‍රශ්නයක් ඇත්නම් එය සිදුවන්නට ඇත්තේ පෙට්‍රල් ෂෙඩ් වලදී බවයි. එහෙත් ඊයේ රාත්‍රී දෙරණ , ස්වර්ණවාහිනිය ඇතුලු රාජපාක්ෂික නාලිකාවලින් පවා ඉන්ධන පිරවුම් හල්වලට යැවු බාල තෙල් පිරවූ බවුසර් ආපසු හරවා යවන දර්ශන පෙන්වූයේ නිකම් ම නොව ඇමතිවරයාගේ ප්‍රකාශ උපහාසයට ලක් කරමිනි.

එනපොට හොඳ නැත. මේ පෙන්වන්නේ ලොකු තැන් බේරා මේ ප්‍රශ්නයටබෙල්ල තිබිය යුත්තේකා ගැන දැයි ඉඟියකි. අර කලින් හාදයා දුන් ආදර්ශය පිලි අරගෙන ඉල්ලා අස් වී ඔය කොහේ හරි ආණ්ඩුකාරකමක් හෝ උස්බෙකිස්ථානයෙවත් තානාපති කමක් හෝ ඉල්ලා ගත්තොත් නරකද?