Posts Tagged ‘ප්‍රජාතන්ත්‍රවාදය’

Kumar-Sangakkara-011

හිටපු ශ්‍රීලංකා ක්‍රිකට්  නායක වත්මන් ක්‍රීඩක  කුමාර් සංගක්කාරට විස්ඩන් සඟරාවට සම්මුඛ සාකච්චාවක් දීම මෙරට ක්‍රිකට් බලධරයන් විසින් තහනම් කර තිබේ.හේතුව  නොකිව්වත් සියල්ලෝම දනිති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුමක සිටින නිසා ඔහුට එම අණ පිලිපැදීමට සිදු වී තිබේ.

මාස කීපයකට කලින්  ලෝර්ඩ්ස් හිදි දේශනයක් කල කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව තුල  ක්‍රීඩාව දේශපාලනීකරණය වී තිබීම දැඩි ලෙස විවේචනයට ලක් කලේය. ඒ නිසා ඔහු මෙරට දේශප්‍රේමින්ගේ දැඩි වෛරයට භාජනය වූ අතර එතෙක් වීරයෙක් වී සිටි  සංගා   එක ‍රැයින් දේශද්‍රෝහියෙක්, පාවා දෙන්නෙක්  බවට පත් විය.

තත්වය එසේ තිබියදී 2011 වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ‍තෝරාගත්තේ සංගාය. වසරේ ක්‍රීඩකයා සමග කල සම්මුඛ සාකච්ඡාවක් පල කිරීම සාමාන්‍ය සිරිතයි.

අපේ ලොක්කන්  තම බලය යොදවා නතර කලේ එම සාකච්ඡාවයි.

එසේ කර ශ්‍රී ලංකාව කොතරම් ශිෂ්ඨ සම්පන්න, ශීලාචාර හා ප්‍රජාතන්ත්‍රවාදි රටක් ද යනුවෙන් ජාත්‍යන්තරයට නැවත වතාවක් පෙන්වා තිබේ.

 

 

ශ්‍රී ලංකාවේ ජනතාව විරෝධතා පවත්වන ආකාරය සුදුසු නැති බව වීරවංශ ඇමතිතුමා සොයාගෙන තිබේ. ඒවා ප්‍රචණ්ඩකාරි බවත් ඒවායේ සිටින අය උසි ගන්වා එවා ඇත්තේ බටහිට අධිරාජ්‍යවාදින් විසින් බවත් පොලීසිය වෙඩි තබන්නේ ඒ නිසා බවත් එතුමාගේ මතයයි. ඒවායේ සිටින උද්ඝෝෂකයින් පොලිසීයට ගල් ගසන  අතර එවැනි ප්‍රචණ්ඩ උද්ඝෝෂණ ලංකාවට සුදුසු නැත.

ඒ නිසා දීර්ඝ වශයෙන් මේ ගැන කල්පනා කල එතුමා ලංකාවට සුදුසු උද්ඝෝෂණ ක්‍රමයක් ගැන සෙවීම සඳහා තම  දේශපාලන උපදේශකයින්ගෙන් සමන්විත කොමිටියක්ද පත් කලේය. එතුමාගේ දේශපාලන උපදේශකයින් හා පක්ෂයේ සාමාජිකයින්  සියලු දෙනා එතුමාගේ අමාත්‍යාංශයේ නිලධාරින් නිසා මෙය අමාත්‍යාංශ නිලධාරි කොමිටියක් ලෙස හෝ පක්ෂයේ මහ සභා සම්මෙලනයක් ලෙසද  හැඳින්විය හැක. නිල අලයෙන්ම බලයෙන්ම එතුමාම  එම කොමිටියේ සභාපති දූරයට පත් විය.

එම ගෞරවනීය කොමිටිය විසින් කරන ලද නිර්දේශ දුසිම පහත දැක්වේ.

තමන්ගේ උද්ඝෝෂණ වලින් නිසි පල ලබා ගැනීමට නම් එම උපදෙස් තරයේ පිලිපදින මෙන් සියලු දෙනාට මින් දැනුම් දෙනු ලැබේ.

1. උද්ඝෝෂණයට සහභාගි වන සියලු දෙනා සුදු ඇඳුමින් සැරසි සිටිය යුතුය.

2. කාන්තාවන් සුදු ඔසරිය ඇඳ ආ යුතුය.

3. පිරිමි අය සුදු ජාතික ඇඳුමින් සැරසී කුරක්කන් පාට සාටකයක් පැලඳ සිටිය යුතුය.

4. මධ්‍යම පලාතේ කුරක්කන් සාටක පැලඳීම අවශේෂ අයට තහනම් බැවින් එහිදී සුදු පාට හෝ නිල් පාට සාටක පැලඳීමට අවසර ඇත.

5. සියලු දෙනා නිල් මානෙල් මල් වට්ටියක් ‍රැගෙන ආ යුතුය.

6. එක් පේලියක් සැදී  බිමට නෙත් යොමු කරගෙන  සංවරව උද්ඝෝෂණය පවත්වන ස්ථානයට පැමිණිය යුතුය. එක් අයෙක් පැමිණ විනාඩි පහකට පසු අනිකා පැමිණිය යුතුය.

7. උද්ඝෝෂණයේදී සටන් පාට කීම සපුරා තහනම්ය. නිශ්ශබ්දව සිටිය යුතුය.

8.අවශ්‍යම නම්  බුදු ගුන ගාථා හෝ  දේශප්‍රේමි ගී ගායනා කල හැකි  නමුත් ඒ සඳහා පොලිස්පතිගෙන් පෞද්ගලිකවම අවසර ගත යුතුය.

9.උද්ඝෝෂණය පැවත්විය යුතු ස්ථානය පොලිසීය විසින් ‍තෝරාදෙනු ඇත.එය ජනශූන්‍ය ප්‍රදේශයක පිහිටි පාලු පොල්වත්තක් හෝ වෙනත් එබඳු තැනක් විය යුතුය.

10.උද්ඝෝෂණය සඳහා ලැබෙන උපරිම කාලය විනාඩි දහයකට සීමා වෙනු ඇත.

11.උද්ඝෝෂණයට සහභාගි වෙන කිසිවෙකු පෑන්,පැන්සල්, ජංගම දුරකථන,මාරු කාසි ආදි අවි ආයුධ  තමන් ලඟ තබා ගැනීම සපුරා තහනම්ය. ඒවායින් පහර දී අහිංසක පොලිස් හා හමුදා නිලධාරින්ට තුවාල කල හැකි බැවිනි.

12.උද්ඝෝෂණය නිමා වීමෙන් පසු ජාතික ගීය හා යෝවද තම්පව ගාථාව කියා  පැමිණි  ලෙසම එක අයෙක් ගොස් විනාඩි පහකට පසු අනිකා පරිද්දෙන් පිටව යා යුතුය.

සටහන- ඡායාරූප වලින් දැක්වෙන්නේ වීරවංශ තුමාගේ පාටියේ උදවිය බෑන් කී මූන් ට විරුද්ධව පැවත් වූ උද්ඝෝෂණයේ අවස්ථා දෙකකි. ඒවා මොන තරම් සාමකාමිද බලන්න.

වැඩි කල ඉන්ධන මිලට එරෙහිව ජනතාව වීදි බසිද්දි  එම ජනයා ‍රැවටීම සඳහා පෙරට ආ රෙදි නැතිව හෙලුවෙන් ආණ්ඩුවට  කඩේ යන වීරවංශ  කියා සිටියේ  ආණ්ඩුව තවමත් ඉන්ධන විකුනන්නේ පාඩුවට බවයි.

එහෙත් පුවත් උදෙසා අයි ටී එන් හා සීනිව්ස් පමණක් බලන අමු මැට්ටන් කීපදෙනෙකුන් හැර අනෙකුන් ‍රැවටීමේ හැකියාව වීරවංශාලාගෙන් ශීඝ්‍රයෙන් ගිලිහී යමින් පවතී.වීරවංශලාගේ බොරු දේශප්‍රේමි බයිලා වලින් මේ ගමන නැවත්විය නොහැක.

ඉන්ධන මිලත් සමග අනෙකුත් සියලු භාණ්ඩවල මිල අනිවාර්යෙන්ම ඉහල යනු ඇති අතර බස් හා විදුලිය  දැනටමත් වැඩි කර ඇත. කිරිපිටි මිල රුපියල් 20 කින් වැඩි කිරීමට සැරසෙයි.ගෑස් මිලද වැඩි කිරීම සඳහා සාකච්ඡා වෙමින් තිබේ.

පසුගිය අයවැයෙන් රජයේ සේවකයින්ට වැඩි කල සොච්චම මෙන් දෙතුන් ගුණයක් දැනටමත් ආණ්ඩුව විසින්ම නැවත මංකොල්ල කා ඇත. ඔවුන්ද ඇතුලුව පෞද්ගලික අංශයේ සේවකයින් හා එදිනෙදා දිවි සරි කර ගන්නා කුලී කම්කරුවන්, ධීවරයින් ,ගොවීන් ඇතුලු සියලු ජනතාව ජීවන වියදමට සරිලන පරිදි ආදායමක් නොමැතිව ජීවත් වීම සඳහා මහත් වූ අරගලයක යෙදී සිටී.

මේ අතර ආණ්ඩුව පොඩි එකාගේ කිරිපිටි පැකට්‍ටුවෙන් , භූමිතෙල් ලීටරයෙන් , විදුලි බිලෙන් බදු අයකර එම මුදල් තම සුඛ විහරනයට යොදා ගනිති. රාත්‍රී කාර් රේස් පැවත්වීමට , දැයට කිරුල බඳු නාස්තිකාර සංදර්ශන පැවත්වීමට විය්දම් කරන්නේ එම මුදල්ය.  , නොරොච්චේලේ, නෙලුම් පොකුණ, නැවු නො එන හම්බන්තොට වරාය, ක්‍රීඩා නොකරන දැවන්ත ක්‍රීඩාංගන හදන්නේ රටේ කුඩා දරුවන් මන්දපෝෂණයෙන් පෙලෙද්දීය. නාමල් රාජපක්ෂලාගේ ප්‍රතිරූපය පිම්බීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ලබා ගැනීම සඳහා කෝටි සිය ගණන් වැය කරන්නේ රටේ ජනයාගේ පොකට්‍ටුවෙන් හොරකම් කරන මුදල්ය.වීරවංශලාගේ බිරින්දෑවරූ දේවාල ගානේ යන්නට ඩීසල් ගසන්නේද රටේ මහජනයාගේ මුදලිනි.

රාජපක්ෂ රෙජිමය කරන මේ මහා නාස්තිය හා දූෂණ ගැන රටේ ජනයා අවබෝධ කර ගනිමින් සිටිති. ජනයා පාරට බසින්නේ ඒ නිසාය.

ඒ තමන්ගේ දරුවන් කුසගින්නේ හඬද්දී රටේ නායකයින් කරන මේ මහා විනාශය ඔවුන් දන්නා නිසාය. ඔවුන් එන්ජීඕඑ ඒජන්තයින් හෝ වෙන කිසිවෙක් නොවේ. තම ජීවිතය ගැට ගසා ගැනීමට උත්සාහ කරන අහිංසක මිනිසුන්ය. කුමක් හෝ කර ජීවිතය පවත්වා ගෙන යාමට හැකිනම් ඔවුන් පාරට බසින්නේ නැත.

පසුගියදා ආණ්ඩුවේ තුවක්කු කරුවන් විසින් මරා දැමූ ඇන්ටනි ප්‍රනාන්දුද එබඳු අහිංසක මිනිසෙකි.ඔහු  සෑම දිනකම තම ජීවිතය පරදුවට තබා සැඩ රල සමග පොර බදිමින් මුහුදු ගියේ තම දරු දෙදෙනාගේ කුසගින්නේ නොතබා ජීවත් කරවන්නටය. මහ එවුන්ගේ පුතුන්ට කාර් රේස් පදින්නට, වීරවංශලාට මාලිගා තනන්නට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා තමන්ගේ එම අහිංසක බලාපොරොත්තුවත් උදුරා ගන්නට ආණ්ඩුව උත්සාහ කරන විටය ඔහු තම සගයින් සමග පාරට බැස්සේ.

මේ මහා දේශප්‍රේමි ආණ්ඩුව වෙඩි තබා මැරුවේ තම දරුවන් කුසගින්නේ නොතියන්නැයි හඬ ගා කියු මිනිසෙකුටය.

පසු ගිය  දා ජනාධිපති වරයා මහජන කැලඹීම් මැඩීමට සන්නද්ධ හමුදා බලාත්මක කලේ  මෙලෙස මිනිසුන් මරමින් තමන්ට එරෙහිව නැග එන ජනතා විරෝධය නවත්වන්නට හැකි  වේ යැයි සිතා බව පෙනේ.

කියුබාවේ බැටිස්ටා, පිලිපිනයේ මාකෝස්, ඉරානයේ ෂා, ලිබියාවේ ගඩා‍ෆි, ඊජිප්තුවේ මුබාරක්, ටියුනීසියාවේ බෙන් අලි ආදි ඒකාධිපතින් සියලු දෙනාම සිතුවේත් ඒ ආකාරයටය.එහෙත් ඔවුන් සියලු දෙනා අවසානයේ වැ‍ටුනේ ඉතිහාසයේ කුණු බක්කියටය.

පසුගිය 9 වෙනිදා යාපනයේදී පැහැර ගත් දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනෙක් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් දෙදෙනා වහාම නිදහස් කරන මෙන් අප ආණ්ඩුවට බල කර සිටිමු. එසේම ඔවුන් දෙදෙනා නිදහස් කර ගැනීම සඳහා හඬ නැගීම සඳහා මෙන්ම තමන්ගේ දේශපාලන ප්‍රතිවාදින් පැහැර ගනිමින්, මරා දමමින් ,හිරේ දමමින් ආණ්ඩුව යන මේ ඒකාධිපති ගමන වහාම නැවත්වීමට සඳහාත්  සියලු දෙනා එක් විය යුතු  බවත් ආඅණ්ඩුව මේ හඬට කන් නොදෙන්නේ නම්  ප්‍රශ්නය ජාත්‍යන්තරය කරා  ගෙන ගොස් ආණ්ඩුවට බල පෑම් කල යුතු බවත් අප කියා සිටිමු.

සටහන- ජාත්‍යන්තරය ගැන කියන විටම කකුල් වෙව්ලීමට පටන් ගෙන   දේශද්‍රෝහින් යැයි චෝදනා කරන දේශපාලන විගඩමුන්ට කීමට ඇත්තේ තම සහෝදරයා පැහැරගෙන ගොස් මරා දමත්දී නිශ්ශබ්දව සිටිනවාට වඩා එය හොඳ බවයි.

මින් මතු එලවලු ප්‍රවාහනය කල යුත්තේ ප්ලාස්ටික් පෙට්ටි වල පමනකැයි නීතියක් දැමීමට ආණ්ඩුව උත්සාහ කිරීම නිසා මහත් කලබැගෑනියක්  ඇති විය.ගොවියනුත් වෙලෙන්දනුත් ඊට එරෙහි වී රට පුරා උද්ඝෝෂණය කල අතර එලවලු ප්‍රවාහනය සම්පූර්නයෙන්ම කඩාකප්පල් වී එලවලු මිල ක්ෂණයකින් අහස උසට නැග්ගේය.තැන තැන ප්ලාස්ටික් පෙට්ටි ගිනි තබමින් ජනයා උද්ඝෝෂණය කල අතර පොලිසිය සමගත් ගැ‍ටුම් ඇති විය.

මේ ප්ලාස්ටික් පෙට්ටි විරෝධී සටන පි‍ටුපස සිටින්නේ පොලිසැක් බෑග් මුදලාලිලා යැයි පෙට්ටි නීතිය ගෙනා වෙලඳ ඇමති ජොන්ස්ටන් පවසා තිබේ.ඔහුට අනුව පොලිසැක් නිෂ්පාදකයින් ගොවින්ට හා එලවලු වෙලෙන්දන්ට අරක්කු පොවා සටනට එවා තිබේ. ඒ එතුමාගේ දැක්මය. එතුමා සිතන්නේ මෙවන් උද්ඝෝෂණ කිරීමට නම් මිනිසුන්ටඅරක්කු  පෙවිය යුතු බවයි.එතුමන් ලා උද්ඝෝෂණය කරන්නේ එහෙමය. තමන්ට අසාධාරණයක් වන විට ජනයා ස්වෙච්ඡාවෙන්ම නැගී සිටින බව එතුමාට සිතා ගැනීමටවත් නොහැකිය. එතුමන්ලා මුලු ලෝකයම මනින්නේ තමන්ගේ  හා තමන් වටේ සිටින උන්ගේ චරිත දෙස බලා ගෙනය.

උදාහරණයක් ලෙස එතුමන්ලා ගේම  මේ තර්කයට අනුව එතුමන්ලා  ප්ලාස්ටික් පෙට්ටි නීතිය ගෙනාවේ ප්ලාස්ටික් පෙට්ටි මුදලාලිලාගෙන් ජරාව කාලා දැයි ඇසිය හැකිය. 

ඒ මොනවා උනත් කරුණු කාරණා සිද්ධ වෙන ආකාරයට පෙනී යන්නේ යුද්ධය විකුනමින් රට පාලනය කල හැකිව තිබූ කාලය, එනම් මධුසමය හමාර බවයි. ජනයා ආණ්ඩුවට එරෙහිව නැගී සිටිනවා පමණක් නොව තම සටන් ජය ගනිමින්ද  සිටිති.

මාස කීපයකට කලින් පෞද්ගලික අංශයේ විශ්‍රාම වැ‍ටුප් යෝජනාව නින්දිත ලෙස හකුලා ගන්නට ආණ්ඩුවට සිදු වුනේ ක‍ටුනායක කම්කරුවන්ගේ බලය හමුවේය.

දැන් එලවලු වෙලෙන්දන් හා ගොවීන්ගේ විරෝධතා හමුවේ ප්ලාස්ටික් පෙට්ටි නීතිය හකුලා ගෙන තිබේ.

ඊට අමතරව පසුගිය කාලයේ අවස්ථා කීපයකදීම ජනතාව පොලිසිය සමග ගැ‍ටුනේ අසාධාරණයට විරුද්ධවය.

මේ පෙට්ටි සිද්ධිය සමග පරණ ශ්‍රිලනීප නායකයින් හා ආණ්ඩුවට අලුතින් එකතු වූ එජාප ලොක්කන් අතර ගැ‍ටුමත් නැවත වතාවක් පෙනෙන්නට තිබුණි. දඹුල්ල ආර්ථික මාධ්‍යස්ථානයේ බලය අහිමිව හිතේ අමාරුවෙන් සිටින දඹුල්ලේ ශ්‍රිලනිප කෙරුම් කාරයා වන ජනක  තෙන්නකෝන්  තම කැබිනට් සගයාට විරුද්ධව එලිපිටම යුද ප්‍රකාශ කලේය. ඔහු පි‍ටුපසින් පරණ ශ්‍රිලනිපයේ හයියක් නොමැතිනම් ඔහු එලෙස නොහැසිරෙනු ඇත.

එසේම ආණ්ඩුවේ ඕනෑම කුණු ගොඩකට කර ගහන වීරවංශගේ පක්ෂයට පවා මේ ක්‍රියාව සාධාරණීකරණය කිරීමට ඉදිරියට ඒමට නොහැකි වූයේ ජොන්ස්ටන්  ඇමතිවරයා මේ නීතිය ක්‍රියාත්මක කිරීමට තැත් කල අමන මරි මෝඩ ආකාරය නිසාය. එසේ නැත්නම් මේ උද්ඝෝෂණයේ යෙදුනු ගොවීන් හා සුලු වෙලෙඳුන්  බටහිර බළල් අඬු , රෝ ඒජන්තයින්, සීඅයී ඒ ඔත්තුකාරයින් හා බෙංගාසියන්  බවට පත් වෙන්නට ඉඩ තිබිණි.

එලවලු සටන වියැකී යමින් තිබේ. එහෙත් තව සටන් ඇති වනු ඇත.මේ ආණ්ඩුවට ජනතා ප්‍රශ්නවලට විසඳුම් නැති  නිසාය.

ටියුනීසියාවේ වසර හතලිහක් පාලනය කල ඒකාධිපති බෙන් අලි පලවා හැරීමට මුල් වූයේ එක් පලතුරු වෙලෙන්දෙක් බව සිහියට එන විට හෙට එච්චර කලුවර නැතැයි සිතේ.

ගඩා‍ෆිගේ මරණය අය වැය , ජීවන බර, වැඩි වන බඩු මිල ,භාරතගේ මරණය හා දුමින්ද ගේ පලා යෑම ,වැනි අමිහිරි මතකයන්ගෙන් ආණ්ඩුව මුදා ගැනීමට ආ වෙස් වලාගත් ආශිර්වාදයක් විය.

වීරවංශ, නලින් සිල්වා, වසන්ත බණ්ඩාර බඳු රාජපාක්ෂිකයන් ගඩාෆීව ශාන්තුවරයකුගේ තත්වයට ඔසවමින් ඔහුගේ මරණය ගැන විරෝධය පල කරන්නේ ගඩා‍ෆි ගැන උපන් අනුකම්පාවෙන් නොව හුදෙක් ජනතා අවධානය ඒ දෙස යොමු කර ඔවුන්ව නිර්වින්දනය කිරීම සඳහා පමණි.

මේ කල්ලිය මෙසේ ගඩා‍ෆි ගැන මෙරට ජනතාව මත පැටවීමට උත්සාහ කරන එක් ප්‍රධාන කරුණක් වන්නේ ගඩා‍ෆි බඳු ජනතා හිතවාදි ජනතා පුත්‍රයෙකු මරා දැමුනේ ඔහුගේ අධිරාජ්‍ය විරෝධී අදහස් නිසා බවයි. ඔවුන් මෙසේ කියන්නේ ගඩා‍ෆිගේ සියලු ව්‍යාපරික සබඳතා තිබුණේ ඔය කියන බටහිරයන් සමග බව මෙරට ජනයාට වසං කරමිනි. මේ ඊනියා දේශප්‍රේමින් අපට කියන්නේ ගඩා‍ෆිද ඇතුලුව අප්‍රිකා හා අරාබි කලාපයේ ඒකාධිපතියන් ගණනාවක් බලයෙන් ඇද දැමු මහජන නැගිටීම් හුදෙක් බටහිර කුමන්ත්‍රණ බවයි.  එසේ කීම තුල ඔවුන් බලාපොරොත්තු වන්නේ ,මේ රට තුලද එවන් අරගල පැන නගිතැයි සිතා බිය වී, ඊට එරෙහිව දැන්මම ජනතා මතයක් ගොඩ නැගීමයි.

නමුත් මේ ඊනියා දේශ්ප්‍රේමින් හෝ හාන්සි පු‍ටු විප්ලවවාදි වාමංශිකයන් කියන පරිදි මේ ජන නැගිටීම් ගැන කිසිදු  ගැටලුවක් නැත.ජනතාව නැගී සිටියෙස් ඒකාධිපතිත්වය තව දුරටත් දරා ගැනීමට නොහැකි වූ නිසාය.  ගැටලුව ඇත්තේ එම නැගිටීම් නිසි පරිදි කළමනාකරණය කර නොගැනීම නිසා ඒවා දක්ෂිණාංශික හා අධිරාජ්‍යවාදි බලවේගවල ග්‍රහණයට නතු වීමය. ඒ ගැන වෙනම කතා කල යුත්තකි.

අද අපේ උත්සාහය “ශාන්තුවර” ගඩා‍ෆිගේ පාලනයේ සැබෑ තතු ස්වල්පයක් හෙලිදරව් කිරීමය.

ලෝකයට ඉතාමත් ප්‍රගතිශීලි මුහුණක් පෙන්වූ ගඩා‍ෆි ඉතා මර්ධනකාරි ප්‍රතිපත්තියක් තම රට තුල ගෙන ගියේය.තම විරුද්ධවාදින් නිහඬ කලේ මරා දමා හෝ හිරේ දමාය. ඔහු සැලකුවේ තමන් අයත් ගෝත්‍රයට පමණි. එයට පිටින් වූ ගෝත්‍රවල ජනයා දැඩි මර්ධනයකට ලක් කල අතර බොහෝ දෙනෙක් හිර ගත කල අතර තවත් උන් මරා දැම්මේය.

ඔහුගේ පුතුන් මිනීමරුවන් හා සල්ලාලයන් විය. මේ සල්ලාල පැටවුන් තම රටේ  තරුණියන්ට සැලකුවේ කෙලි බඩු මෙනි. තමන් හා ලිංගිකව හැසිරුණු තරුණියන් ගේ කලවා වල ලාඩම් ගැසුවේ තම තිරිසන් මනෝ භාවයන් මනාව හෙලි කරමිනි.

උන් රටේ තෙල් සල්ලි භාවිතා කරමින් සුපිරි හෝටල් වල  තරුණියන් හා විනෝද වන අතර රටේ පොදු ජනයාට තිබූ සිනමා ශාලා පවා වසා දැමුවේය.

ගඩා‍ෆිගේ  පුතුන් බටහිර රටවල සුපිරි ක්‍රීඩා සමාජ වෙනුවෙන් පාපන්දු ක්‍රීඩා කරද්දි මේ ඒකාධිපතියා තම රටේ ක්‍රීඩාංගණ පවා වසා දැමුවේය.

එපමණක් නොව  ඔහුගේ පුතුන් විදේශ රටවලට ඉගෙනීමට යැවු ඔහු තම රටේ විදෙස් භාෂා භාවිතය පවා තහනම් කලේය.

අතල්ස්සක් වූ ධනවතුන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අසල් වැසි ඊජිප්තුවට යාමට පුරුදුව සිටි  අතර පොදු ජනයාට නිසි සෞඛ්‍ය පහසු කම් නොතිබිණි.

රටේ ජනයාගෙන් තුනෙන් එකක් (1/3) ‍රැකියා විරහිතයන් වෙද්දි ගඩා‍ෆි තෙල් වලින් ලැබුණු මහා ධන සම්භාරය වියදම් කරමින් අති නවීන අවි ආයුධ ගොඩ ගැසුවේය.

එහෙත් ඒ කිසිම ආයුධයකට ,තමන් අප්‍රිකාවේ රජුන්ගෙත් රජු ලෙස හඳුන්වා ගත් මේ ඒකාධිපතියා කාණු පල්ලේ බල්ලෙක් මෙන් මිය යාම වලක්වා ගත නොහැකි විය.

මේ අනුව අපට තේරුම් ගත  හැක්කේ ගඩා‍ෆි යනු ලිබියාවේ ගැලවුම් කාර ශාන්තුවරායණෝ නොව වසර හතලිහක් තිස්සේ එරට අපායක් කරා ක්‍රමයෙන් ගෙන ගිය යම පල්ලෙක්  බවයි.

 
දුමින්ද සිල්වාත් භාරත ලක්ෂ්මනුත් පසු ගිය දා කොලොන්නාවේදී පෙන්වන ලද මාරන්තික සංදර්ශනයෙන් පසු නැවත වතාවක් මනාප චන්ද ක්‍රමයේ හොඳ නරක ගැන කතා බහක් ඇති වී තිබේ.
 
මේ ගැන අදහස් දක්වන සියලු දෙනා කියන්නේ  සමානුපාතික චන්ද ක්‍රමයේ  හා මනාප කෙලියේ වරදින් මෙවැනි දේ , එනම් එකම පක්ෂයේ අපේක්ෂකයින් හා ආධාර කරුවන්  අතර මරා ගැනීම් සිදුවන බවයි.
 
 ඊට අමතරව මේ සමානුපාත ක්‍රමය නිසා අපේක්ෂකයින්ට දිස්ත්‍රික්කය හෝ එවැනි විශාල බල ප්‍රදේශයක මැතිවරණය කිරීමට සිදු වන නිසා මහා මුදලක් වැය කිරීමට සිදු වේ. ඒ නිසා දූෂණ වැඩි වේ. මේ සියල්ල නතර කිරීමට   මනාප සෙල්ලම වහාම නතර කර පැරණි ඒකල කොට්ඨාස චන්ද ක්‍රමයට නැවත යා යුතුය.අපේ රටේ සිටින පණ්ඩිතයින් කොලොන්නාව සිද්ධියෙන් ඉගෙන ගෙන ඇති පාඩම එයයි.
 
එහෙත් ඇට  මැස්සා  එය දකින්නේ වෙනස් විදියකටය.
 
දුමින්ද සිල්වාල, භාරතලා කොහොමටත් මැරයින්ය. මේ එකම පක්ෂයේ සිටින මැරයින් එකිනෙකා මරා ගන්නේ මනාප ක්‍රමය නිසාය. මනාප ක්‍රමය නොතිබුනා කියා මුංගේ මැරකම් අඩු වෙන්නේවත් අඩු කරන්නේවත්, චන්දය දාට සිල් ගන්නේවත්  නැත. පැරණි ඒකල කොට්ඨාස ක්‍රමයට මැතිවරණය තිබුණා නම් මුං දෙගොල්ලොම එකතු වී මේ අකාරයට ගිනි බිඳින්නේ විපක්ෂ වල අපේක්ෂකයින්ට හා උන්ගේ ආධාර කරුවන්ටය.
 
හැබැයි දැන් මනාප ක්‍රමයට පිං සිද්ද වෙන්නට මරා ගන්නේ උනුන්මය. විපක්ෂ ආධාර කරුවන්ට යම්තම් පණ කෙන්ද ‍රැක ගෙන සිටිය හැක. නැත්නම් අඩු වශයෙන් උන් ගැන යෙදීමට ඇති ශක්තියෙන් භාගයක් වත් තමන්ගෙම පක්ෂයේ උන් මැරීමට හා පහර දීමට වැය කරන නිසා කෙසේ හෝ චන්දය කල හැක.
 
දුමින්දලා භාරතලා මරා ගන්නේත් , වීරවංශලා , කඩුවෙල  බුද්ධදාසලා එකෙනිකාගේ බෙලි කපා ගන්නේත් , තමන්ගේ මනාප හොරකම් කලා යැයි සුසන්තිකාලා, බුද්ධදාසලා, මුතුහෙට්ටිලා කුණුහරුප කියමින් තම පිලේ උන්ටම බනින්නෙත් මේ මනාප ක්‍රමය නිසා නොවේද?
ඉතින් රට කන මුං එකිනෙකා මරා ගැනීමට ඉඩ සලසන මනාප  ක්‍රමය හොඳද නැත්ද? ඔබම තීරණයක් ගන්න.