Posts Tagged ‘ප්‍රගීත් එක්නැලිගොඩ’

“නඩු නැති රටට මොකට පායනවද සූරියා”

එහෙම ඇහුවේ ප්‍රදීපා ධර්මදාසය. ඒ හුඟාක් කාලෙකට කලින්ය. කොච්චර කලින්ද කිව්වොත් තමන් එහෙම කතාවක් කියලා තියෙනවා කියලා අද ප්‍රදීපාටවත් මතක නැත.ඒ ගැන ප්‍රදීපාට දොස් කියන්න බැරිය. එව්වා එහෙම තමාය.ඒකට කියන්නේ පරිණාමය කියලාය.

හැබැයි ඩාර්වින් කියා දුන් පරිණාමය නෙවේය. ඒ පරිණාමය අනුව ජීවින් එන්ට එන්ට සංවර්ධනය වෙමින් ඉස්සරහට යනවාය. මෙතැන වෙන්නේ ටිකෙන් ටික , ආපස්සට යාමය. ඒ  නිසා මේකට විපරිණාමය කියා කියන්ටත් පුලුවන්ය.

1993 කුප්‍රකට දකුණු පළාත් සභා චන්දේට  ඒ කාලයේ හිටි ජනප්‍රිය, එඩිතර , මානවහිතවාදි ,නිර්භීත පත්තර කාරයෙක් වෙන ඩලස් අලහප්පෙරුමද ඉදිරිපත් වුනාය. ජවිපෙ හිතවාදි කට්ටිය සමග ඒ ගොල්ලොම කරපු ලක්දිව, හිරු වගේ පත්තර වල හිටි ඩලස් ,ශ්‍රිලනිපයෙන් චන්දේ ඉල්ලන්නේ ඇයි කියා ඇහුවම අපූරු උත්තරයක්  දුන්නේය.

රේස් එක දුවන්න අශ්වයෙක් නැත්නම් ඉන්න බූරුවාගේ පිටේ නැගලා හරි දුවන්න එපැයි

ඒකත් හැබැයි කී ප්‍රගතිශීලී ජනතාව වැඩි චන්දෙන් ඩලස් පළාත් සභාවට යැව්වෝය.

ඊ ලඟට 94 මහ චන්දේ ආවේය. ඒ චන්දේට ජේවීපීයත් (ප්‍රගතිශීලි පෙරමුණ ) තරඟ කලේය. හැබැයි ඩලස් පරණ පුරුදු විදියටම ශ්‍රිලනීපෙන්ම තරඟ කලේය. ඩලස් එක්ක සැට් වෙලා පාර්ලිමේන්තු යන්න බලා හිටි විමලසිරි ගම්ලත් සහෝදරයාට මල පැන
” රේස් දුවන්න අශ්වයෝ නැති කාලේ නම් බූරුවෙක් පිටේ ගියාට කමක් නැත, දැන් අශ්වයත් රේස් එකට බැහැලා ඉන්න කොටත් ඩලස් තාම බූරුවා පිටේ යනවා “
ආදි කතා කියමින් ඩලස් ට බැන බැන රට වටේ ගියාය.

ඒ 94 දීය. දැන් 2012 වෙනකොට විමලුයි  ඩලසුයි දෙන්නම එකම බූරුවා පිටේ යනවාය. එව්වා එහෙම තමාය. පරිණාමය හා විපරිණාමය ආදි වශයෙනි.

එදා වගේම අදත් නඩු නැත.

ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කොට අවුරුදු දෙකකටත් වැඩිය. තමන්ගේ අර්ථසාධක අරමුදල කොල්ල කන්නට එපා යැයි කියු රොෂේන් මරා දැමුවේය. දෙමල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය ඉල්ලූ ලලිත් හා කුගන් අතුරුදහන්ය. ඒත් ඒ කිසිම දෙයක් ගැන නඩු නැත. එහෙව් නඩු නැති රටට මොන සූරියා දැයි අහන්නට ප්‍රදීපලාත් නැත. පිලිම නෙලා නැති විරුවන් ගැන කියන්නට නන්දලාත්  නැත.

නාමල් ලා යෝෂිතලා විතරක් නොව තමන්ගේ දරු දෙදෙනාත් වේලක් හැර වේලක් කා හෝ ජීවත් විය යුතු යැයි කියන්නට පාරට බැස්ස ඇන්ටනි ප්‍රනාන්දු ඔලුව හිල් වෙන්නට වෙඩි තියා මරා දැම්මේය. එදා රතු කමිස ඇඳගෙන වීදි සටන් වලට ජනතාව කැඳවපු වීරවංශ නොහොත් විමලසිරි , ධීවරයින්ට වෙඩි තිබ්බේ ඔවුන් ප්‍රචණ්ඩකාරි විදිහට හැසිරුන හින්දා යැයිද ඒ උද්ඝෝෂණ පිටිපස්සේ ඉන්නේ එන් ජී ඕ යැයිද කියන්නේය.

මිනිසුන් ඌරන් බවට පරිණාමය වීම  ගැන ඩාර්වින්ගේ පොත් වල තියේදැයි අපි දන්නේ නැත. ඒත් එහෙම වෙන බවනම් ෂුවර්ය.

සටහන- අපිට මේ සටහන ලියන්නට හිතුනේ , හිටගෙන ආණ්ඩුවට කඩේ යන දිවයින පත්තරේ වැඩ කරන හෘද සාක්ෂිය තියෙන මිනිස්සු දෙන්නෙක්  ලියු “හලාවත ධීවර ඝාතනයේ ඇසින් දුටු සාක්‌කි කියන නඩු නැති රටක කතාව ලිපිය කියවූ පසුය. ඔබත් එය කියවිය යුතුය. මේ රටට මොකට සූරියා  පායනවාදැයි ඔබට හිතෙනු ඇත.

 

 

 

Advertisements

අපේ කට්ටියක් අද හැන්දෑවේ කො‍ටුවේ  උද්ගෝසනයක් කොරන්ටයි යන්නේ , ආන්ඩුවටයි ඒකේ මහ තැන් වලටයි සහය පල කරලා. උන්නැහේලා අපේ රටට , වැඩ කරන ජනතාවට,  ඔච්චර මහන්සි වෙලා කරන සේවය වෙනුවෙන් අපි රට වැසියෝ මේ වගේ සහයක්වත් නොදුන්නොත් අපි දේසද්‍රෝහීයෝ වෙනවානෙ.

 උන්නැහෙලා අපේ රටට කරන සේවය මොකක්ද  කියලා අමතක නම් ඕන්න තියෙනවා පහලින්. ඔය ටිකක් විතරයි. හදිසියේ නේ මේ සටහන ලිව්වේ , ඔක්කොම ලියන්ට වේලාවක් නැහැ. මාත් යන්ට එපැයි උද්ගෝසනයට. ඉතින් යන්ට කලින් වැඩේට පොඩි ප්‍රසිද්දියක් දීලම යන්ට හිතුනා , කට්ටිය ටිකක් ගෙන්න ගන්ට . ඒවා අපේ යුතුකම්නේ. කොහෙද අර පෙරමුනේ රාලලාවත් හිටියානම් හොඳ පබ්ලිසිටියක් දෙයි වැඩේට.

මෙන්න වැඩ කිඩ.

1.හාමතේ ඉන්න පහල මට්ටමේ රජයේ සේවකයින්ට පඩි වැඩි නොකර සොච්චම් මුදලක්  පඩියට එල්ලීම.

2. පෞද්ගලික අංසයේ සේවකයින් ගැන කෙල බිංදුවක් වත් නොහැලීම.

3. අය වැයෙන් සුපියල සීයට තුනකින් බාල්ඩු කොරලා බඩු මිලට කෙලීම

4. පොඩි එකාගේ කිරි පැකට් එකේ ,අල  ගෙඩියේ , ලූනු බිකේ සිට සබ්බ සකල මනාවටම බදු ගැසීම

5. එහෙව් බදු මුදල් තමන්ගේ පෞද්ගලික බූදල් සේ සලකා මිහින්ලංකා , කොමොන්වෙල්ත් ගේම් , මාලිගා දන් සැල් ආදි දහදුරා වැඩට වියදම් කිරීම

6. මිනීමරුවන්ට ,ස්ත්‍රී දූසකයින්ට , හොරුන්ට , රාජ කරුනාව දී ම.

7. සල්ලි වලට ගන්න පුලුවන්  හැම එකාම සල්ලි වලට අරගෙන සක්විති වීමට සෙට් වීම

8. විරුද්ද උන් හම ගැසීම

9. රටේ හොඳම ඉඩම් කුනු කොල්ලෙට විදේසිකයන්ට විකිනීම

10.දුවා දරුවන්ගේ  අද්යාපනයට, සෞඛ්‍යයට වෙන් කරන මුදල් කැපීම

11. ……..මෙහෙම ලිය ලිය හිටියොත් මට වැඩේට යන්න වෙන්නේ නැහැ…

ඕන් අපි ගියා


ඌන ක්‍රියාකාරි ව්‍යාවසායන් හා ඌන උපයෝජිත වත්කම පනත මගින් රජයට පවරා ගත් සමාගම් ආපසු බාර දෙන්නේ නම් තමන් රජයට සහය දැක්වීම ගැන සලකා බලන බව එජාපයේ නායකයෙක් පසු ගියදා තිබුණි.

එජාපයේ මහත්වරුන් මේ කියන්නේ කුමක්ද?

එජාපයේ සියලු කටයුතු සඳහා සල්ලි පොම්ප කරන, එහි නායකයින්ට ගමන් බිමන් සඳහා හෙලිකොප්ටර් ලබා දෙන දයා ගමගේ ගේ දේපොල නිදහස් කර දෙන්නේ නම් මේ රජයේ අනිත් සියලුම ජනතා විරෝධී ක්‍රියා සඳහා සහය දෙන බව නොවේද?

ඒ අනුව සෙවණගල නිදහස් කර දෙන්නේ නම් , සරත් ෆොන්සේකා අවුරුදු තුනකට නොව තිහකට හිරේ දැමුවත් කම් නැත. එක්නැලිගොඩලා සිය ගනනින් අතුරුදහන් වූවාවේ. මාධ්‍ය නිදහස කම්මුතුකර දැමීම ප්‍රශ්නයක් නොවේ.ප්‍රජාතන්ත්‍රවාදය භංග වුනාවේ. වංචාව දූෂණය නාස්තිය ගැන කතා කිරීමටවත් අවශ්‍ය නැත. අපේ මිනිහාගේ දේපොල පවරා නොගන්නේ නම් ඒ සියල්ල අපි ඉවසමු. ඒවා වඩාත් හොඳින් කරගෙන යන්නට අපේ සහයත් දෙමු.

අරක්කු බාගයකට, රුපියල් සීයකට , බත් පැකට්‍ටුවකට ලුම්පනයින් කරන දේශපාලනයේත් එජාපයේ මෙම දේශපාලනයේත් ඇති වෙනස කුමක්ද?

“අපි උපන් බිම බේරා ගත් නිර්භීත නායකත්වයක් වෙනුවෙන් පන්ති බේද, පක්ෂ බේද ,කුල බේද අත හැර එකම ජාතියක් උදෙසා සියලු රට වැසියන් එකතු වන්න. “
 
 
    ඇට මැස්සා කොහොමටත්  දේශප්‍රේමියානේ. ඒ නිසා   කොටුව ස්ටේෂම ඉස්සරහ විශාල   පුවරුවක ලියලා  තිබුණු  ඔය අකුරු පේලි දකින්නත් කලින්ම  බන් කී මූනාට විරුද්ධව වැඩේට  සෙට්  වෙන්නයි  හිතන් හිටියේ.   අනික   මේ දවස්  වල   උදේ හවා , අයි ටී එන් එකේ, ජාතික රූපවාහිනියේ, ස්වර්ණවාහිනියේ දෙරණේ, ලක් හඬේ මෙකී නොකී හැම මාධ්‍යකම  කෙරෙන ආරාධනා ඇහුවාම මේ මහා දේශප්‍රේමී අරගලයට සැට් නොවී කොහොමද?
 
ඇට මැස්සා වැඩේට සෙට් වුනා විතරක් නෙවේ, මේ වෙලාවේ මේ මහා දේශප්‍රේමී අරගලයට එකතු වෙන්න කියලා මෙන්න  මේ පිරිසටත්  ආරාධනා කරනවා.
 
1.හිරේට දාල ඉන්න ජෙනරාල් සරත් ෆොන්සේකා  හා පවුලේ උදවිය
 
2. අතුරුදන් කරපු ප්‍රගීත් එක්නැලිගොඩ ගේ  බිරිඳ හා දරුවෝ
 
3. ලසන්ත වික්‍රමතුංග පවුලේ උදවිය
 
4. පහු ගිය කාලයේ ලංකාවේ ඉන්න බැරිව පිටරටට පැනලා ගිය මාධ්‍ය වේදියෝ
 
5. බෙනට් රූපසිංහ උන්නැහේ
 
6. තමන්ගේ අයිතිවාසිකම ගැන කතා කරන්න ගිහින් නිල නොනිල හමුදා අතින් , ඔලු පලා ගත්තු, පන්ති තහනම් වුනු, ශිෂ්‍ය බාවය අහෝසි වුනු, හිරේ විලංගුවේ වැටුණු  විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ
 
7. පහු ගිය චන්ද වලදී ආණ්ඩු පක්ෂ මැරයෝ අතින් ඔලු පලා ගත්තු , අත පය කඩා ගත්තු , ජවිපෙ ,එජාප ආධාර කාරයෝ
 
8. යුද්දය  අවසන් වුනු දා ඉඳලා අනාත  කඳවුරු    වල ගාල් කරලා ඉන්න දෙමල ජනතාව
 
9. කිසිම චෝදනාවක් ඉදිරිපත් කරන්නේ නැතිව අවුරුදු  ගණන් හිරේ තියාගෙන ඉන්න ත්‍රස්තවාදී සැක කාරයෝ
 
10. තමන්ගේ පාරම්පරික ගොවි බිම් වලින් පලවා හරින  උතුරු නැගෙනහිර දෙපළාතේ ගොවි ජනතාව
 
11. තමන්ගේ ගේ දොර අහිමි කරලා මහපාරට ඇදලා දානකොලඹ වතු    වල ජීවත්  වෙන ජනයා
 
12. පදික වේදිකාවලින්  පලවා හැරලා ජීවනෝපාය අහිමි වුනු ජනයා
 
13……………………………( ලැයිස්තුව තව දිගුය )
 
කට්ටියම යමුද මූනාට වැඩක් දෙන්න?  

මාර ආතල්ය. වීරවංශට ත් පෙරමුණේ රාලටත්  තව තව කට්ටියටත් හොඳටම  ආතල්ය. බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉස්සරහ යකඩ වැට වල් පෙරලන කොට ෆුල් ආතල්ය. මේවා බලන් ඉන්න අපිටත්  ඩබල් ආතල්ය.condem එක condom  එකක් වුනා නම් අපිට තව ආතල් ගන්න තිබ්බේය.  

ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලේ එක්ක තරහ වුනාට ඔක්ස්පර්ඩ් ඩික්ෂනරියක් හරි බලලා condemn  කියන එක හරියට ලියා ගෙන ආවානම් අපිට මෙච්චර ආතල් නැතිය.

පෙරමුණේ රාල ත් ඉන්නේ ෆුල් ආතල් එකේය.ජනපති මහින්ද ඩයස්පෝරාවට බියේ තම දේශනය අවලංගු කල බව කියන මාධ්‍ය වාර්තා බොරු  බව ඔක්ස්ෆර්ඩ් සිසු සමුළුව ඉදිරිපත් කල නිවේදනයෙන් ඔප්පු වුන බව ඔහු කියයි.

ඒ නිවේදනයෙන් කියන්නේ දේශනය නැවත්වුයේ ආරක්ෂාව  නිසා බවයි  පෙරමුණේ රාල කියන්නේ.ආරක්ෂාව නිසා නවත්වන්නේ  මොනවා හරි කරදරයක් වේ යයි  බිය නිසා නොවේදැයි අපිට අහන්නට  හිතෙන්නේ නැත. එහෙම අසා ආතල් කඩන්නේ මොකටදැයි අපිට හිතේ.

එක පැත්තකින් ඔක්ස්පර්ඩ් සංගමයේ නිවේදනයකින් හෙළුව වහගන්න පෙරමුණේ රාල ඊළඟට ඔක්ස්පර්ඩ් සිසු සංගමයට , කථනයේ නිදහස ගැන දේශනා පවත්වයි. රාළට අනුව මින් පසු මේ කවුරුන් හෝ අපිට ( මේ අපිට කියාගන්නේ පෙරමුණේ රාල ඇතුළු පිරිස රෙදි නැතුවම කඩේ යන ආණ්ඩුව මිස මෙරට පොදු ජනයා  නෙවේ) කථනයේ නිදහස ගැන කතා කිරීම ගණිකාවක් පතිවත ගැන කතා කිරීම බඳු වේලු.

 පෙරමුණේ රාළට කථනයේ නිදහස මතක් වෙන්නේ දැන්ය. තමන්ගේ ලොක්කා පච වූ පසුය. එංගලන්තයේ කතන නිදහස ගැන ප්‍රශ්න කරන නමින් පෙරමුණේ වුනත් වැඩවලින් පසුමුනේ රාලට  , තමන්ගේ රටේ නිදහස් කථනය ගැන වගක් නැත.

තමන්ගේ රටේ මාධ්‍ය කාරයින් , විපක්ෂ ක්‍රියා කාරිකයන් වල පල්ලට යැවීම  , අතුරු දැන් කිරීම , ඔලු පැලීම  කතන නිදහසට අදාළ නැත. පෝස්ටරයක් අලවන , අත් පත්‍රිකා බෙදන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අල්ල ගෙන ගිහින් කූඩු කරන එක ඒ නිදහසට අයිති නැත. මාධ්‍ය ආයතන වලට ගිනි තැබීම, පහර දීම හා සීල තැබීම මාධ්‍ය නිදහසට අදාළ නොවේ.  

මේ පෙරමුණේ රාල ලාට කථන නිදහස මතක් වී ඇත්තේ දැන්ය. තමන්ගේ ලොක්කා ගේ කතාව නතර කළ පසුය. එක දේශපාලකයෙකුගේ  කතාවක් ඔහුගේ ආරක්ෂාව නිසා කියමින් නතර කිරීම නිසා ඔක්ස්පර්ඩ් සංගමය අසාර්ථක ආයතනයක් , එංගලන්තය  අසාර්ථක  රාජ්‍යක් නම් නම් ඉහත කී කරුණු නිසා ලංකාව අසාර්ථක රජයක් නොවන්නේ මක් නිසාද?

අනික අනුන්ට අසාර්ථක රාජ්‍ය කියලා ඇත දික්  කරන මේ උන්නැහේලාට ඇයි බැරි වුනේ  , තමන්ගේ ගමනට මේ විදියේ විරෝධතාවක්  එයි  කියලා කලින් දැන ගන්න. එතෙන්දීම රාලාලයි , රාලගේ ගුරා වන වීරවංශයි එයාගේ ආණ්ඩුවයි ඔක්කොම ෆේල් නේද?

එහෙම නැත්නම් මේ වගේ විරෝධාතාවක් එන බව දැනගෙනම ගියාවත්ද? කොහොමටත්  මාස තුන හතරකට සැරයක් වත් මෙයාලට  මේ  විදියේ විශාල  රංගනයක් ඕනේ වෙනවා ආණ්ඩුව පවත්වා ගෙන යන්න. අතර මැදින් ඔය ගස් බැඳීම් , වරායවල් , උමග , වගේ  පොඩි පොඩි කොමික් කෑලි දැම්මත් , මේ වගේ මෙගා නාට්‍යයක් නැතුව බැහැනේ දේශප්‍රේමය තියා ගන්න. මීට කලින් බෑන් කී  මූන් අල්ලාගෙන අර විහිලුවංශ මේ විදියෙම නාඩගමක් නැටුවානේ. ලොක්කා හිතුවද දන්නේ නැහැ, මේ සැරේ තමන්ම ප්‍රධාන නළුවට අඳින්න . ගිය සැරේ නළුවා වැඩේ කා ගත්තා නේ.

කරන්ට ගිය කතාව කර ගන්න බැරිව ආපහු හරි ඒමට සිදු වීම පෙරමුණේ රාළලාට අනුව ජයග්‍රහණයකි. එක ඇත්තය. ඒ මේ රට ඇතුලේය. මොනවා උනත් අය වැය ගැන, පඩි වැඩි වීම් ගැන , බඩු මිල ගැන  කතා නොකර ඉන්නවා නම් මාර ජයග්‍රහණයක් නේ නේද? හැබැයි අන්තර්ජාතික  වශයෙන් …………..   හපොයි.. මාර ආතල්..

 

යුද්ධාධිකරණය විසින් හිටපු හමුදාපති ජෙනරාල්  සරත් ෆොන්සේකාට  පැනවූ සිර දඬුවම ජනාධිපති වරයා විසින් ස්ථිර කර ඇත. ඔහුව නිදහස් කරන මෙන් ත්‍රයි නිකායික මහා නාහිමිවරුන් කල ඉල්ලීමද තුට්ටුවකට ගණන් නොගනිමිනි.  

මීට යම්තම් වසරකට කලින් රටේ වීරයෙකුව  සිටි පුද්ගලයා ඉදිරි අවුරුදු දෙකහමාර ගත කරනු ඇත්තේ බරපතල වැඩ සහිත සිර කරුවකු වශයෙනි .   

අප යමින් සිටින දිශාව ඉතාමත් හොඳින් පැහැදිලිය. මෙය හුදෙක් සරත් ෆොන්සේකාට දෙන දඬුවමක්  නොවේ. මේ දඬුවමින් පෙන්වා දෙන්නේ  රජ   පවුලේ   පාලනයට එරෙහි වන ඕනෙම අයෙකුට අයත් වන්නේ මේ ඉරණම බවයි.  

එහෙත් මේ ගැන කිසිවෙකු කිසිවක් නොකියයි. සියල්ලන්ම ගොළු වී ඇත.  

අප මීට මාස කිහිපයකට පෙර පල කල මේ පෝස්ටය එදාටත් වඩා අදට ගැලපේ යයි මට සිතේ .ඔබගේ හෘද සාක්ෂියට වධ දෙනු වස් එය මෙසේ   යලි පල කරමි.  

  මර්ධනයට එරෙහිව ………සුදු රෝස

  

ජනාධිපතිවරණය හමාර විය.ජනතාවට ,තරුණ තරුණියන්ට පමනක් නොව දරු දැරියන්ටත් සුබ අනාගතයක් උදා කර දීමට පොරොන්දු වූ අපේක්ෂකයා ජයගෙන ඇත. අඩුම වශයෙන් නිල ප්‍රතිපල අනුව ජයගෙන ඇත.දැන් ඔහු සුබ අනාගතයක් උදා කර දීමට ක්‍රියා කරගෙන යනු පෙනේ.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් තරඟ කල ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැහැරගෙන ගොස් හමුදා සිර අඩස්සියේ  තබා ගෙන සිටී. රාජපාක්ෂිකයන්ගේ වංචා දූෂණ හෙලි කරමින් ජෙනරාල්ගේ මැතිවරණ සටනේ ප්‍රධාන මාධ්‍ය භූමිකාව ඉටු කල ලංකාපුවත් පත සීල් කොට එහි ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා අත් අඩංගුවට ගැණිනි ( පසුව උසාවි නියෝග මගින් මේ දෙකම හකුලා ගැනීමට සිදු වුවද ) .  ස්වාධීන මාධ්‍යවේදියෙකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කොට දින 45කට වඩා ගතවී ඇත.රජයේ නිල මතවාදයන්ට වඩා වෙනස් අදහස් පලකරන වෙබ් අඩවි වලට නොයෙකුත් බාධා පැමිණෙයි.පසු ගියදා චීන විශේෂඥ පිරිසක් පැමිණ ,රජයට ඒ සඳහා උපදෙස් ලබාදෙමින් තිබෙන බව වාර්තා විය.කෙටියෙන් කිවහොත් විරුද්ධ පාක්ෂිකයන් , විකල්ප මත ධාරින් මර්ධනය කිරීමට රජය උපරිමයෙන් ක්‍රියාකරමින් සිටී.

සුබ අනාගතයක් කදිමට උදාවෙමින් තිබෙන සෙයකි.විපක්ෂ ක්‍රියා කාරින් මරා දමමින් , විපක්ෂ දේශපාලන කාර්යාල වලට පහර දෙමින් ,ගිනි තබමින් ඒ කටයුත්ත ඉතාමත් ඉහලින් කිරීමට සැරසෙන බවක් පෙනෙන්නට තිබේ., හදිසි නීතිය යොදා ගෙන අත් අඩංගුවට ගන්නා පිරිස් දස දහස්  ගණනින්   රැඳවීමට රැඳවුම් කඳවුරු ගනනක් ම ප්‍රකාශයට පත් කොට ඇත.ගොනා හැරෙන්නේ පොල් පැලය කෑමට බව සේම , රාජපක්ෂ රෙජිමයේ හැරුම අන්ත දුෂ්ඨ ඒකාධිපති පාලනයක් කරා බවත් අවබෝධ කරගැනුමට අමුතු දේශපාලන ඥාණයක් අවශ්‍ය නොවේ.

පුත් කුමාරවරුන්ට හා යුවරාජ මල්ලීලාට එක් එක් ප්‍රාන්තය භාර දෙමින් මේ යන්නේ ඒකාධිපති වාදයෙනුත්  ඔබ්බට ගිය වැඩවසම් රාජාණ්ඩු පාලනයකට දෝයි සැක සිතෙන තරමට තත්වය බරපතලය.

මෙලෙස ඒකධිපතිත්වයේ රුදු වියරුවෙන් ජාතියක ගෙල සිරකර ගෙන,එයට විරුද්ධව අවම විරෝධයක් හෝ පල කිරීමට ඇති සියලු මං  අවුරා ඇති විටෙක , ජනතාවක් කුමක් කරනු ඇත්දකුමක් කල යුතුද?ලෝකයේ විවිධ රටවල ,විවිධ පන්නයේ ඒකාධිපතීන් හමුවේ ජනතාවන් දැක්වූ විවිධ ප්‍රතික්‍රියා පිලිබඳව උදාහරණ ඕනෑ තරම් දැකගත හැක. 

ඒකාධිපති පාලනය හමුවේ දණ නමා බියෙන් හැකිලී පලා යා හැක. එය කවුරුත් දන්නා ලෙස විදෙස් රටකට පලා යාමක් හෝ තමන් තුලටම පලා යාමක් විය හැක.තම ඇස් කන් වසා මුව අගුලු ලාගෙන සිදුවෙන විනාශය නොදුටුවා සේ සිටීමත් එක්තරා පලා යාමකි. බියසුලුකමකි.

නො එසේනම් පාලක කල්ලියට හවුල් වී , ඔවුනට ආශිර්වාද කරමින්, ලැබෙන වරප්‍රසද , වරදාන භුක්ති විඳිමින් ජීවත් වීම තවත් පිලිතුරකි.

මෙහිදී අප සිහියට නිතතින්ම නැගෙන්නේ ,වැසිකිලි යනවිටත් බටහිර කුමන්ත්‍රණ  යැයි මතුරමින් දේශප්‍රේමය තොරොම්බල් කරන හිටපු විප්ලවවාදීන් රොත්තයි.ඔව්හු දුරකතන සමාගමක කොටස් කීපයකට, වෙඩි බෙහෙත් ආනයන බලපත්‍රයකට හෝ පරණ යකඩ නැවකට ගැති වී ඒකාධිපති පාලනයක් හමුවේ දනින් වැටී සිටිති.නිකම්ම නොව පාලකයන්ගේ සපත්තුද ලෙව කමිනි. 

මේ ආකාරයේ ජනතා ද්‍රෝහීන් ඉතිහාසය පුරා ඕනෑ තරම් දැකගත හැක.ඔවුහු මිනිස් වර්ගයාගේ ශාපයට ලක්ව ඉතිහාසයේ අඳුරු මං පෙත් තුල කාලයේ වැලි තලාවෙන් යට වී වැසී යති.මිනිස් වර්ගයා ඉඳ හිට ඔවුන් සිහි කරතත් එසේ කරන්නේ පිලිකුලෙනි. හිට්ලර්ට ආ වැඩූ ගොබෙල්ස් මෙනි.

එහෙත් එම මං පෙත් සදා පෙත් සදා ආලෝකවත් කරමින් පහන් කනු සේ නැගී  සිටින්නේ , රුදුරු පාලකයන්ට එරෙහිව සටන් වැදුනු  අභීත මිනිසුන්ය.රෝම අධිරාජ්‍යයට එරෙහිව සටන් කල ස්පාර්ටකස් නම් වහලාගේ සිට රාජපක්ෂ රෙජිමය විසින් පසු ගිය දා මරා දැමුනු චන්ද්‍රදාස නයිදුහේවා දක්වා ඔවුහු සියල්ලෝම තමන් පිලිබඳ මතකය මිනිස් වර්ගයාට ආඩම්බරයක් ප්‍රෞඩත්වයක් ගෙන දෙන  එබඳු ගැහැණුන්ය,   මිනිසුන්ය. 

සුදු රෝස ව්‍යාපාරය යනු , ඒකාධිපති හිට්ලර්ගේ පාලනයට එරෙහිව අභීතව නැගී සිටි එවන් නව යොවුන් තරුණ තරුණියන් කිහිප දෙනෙකුන් තම විරෝධ ව්‍යාපාරය හඳුන්වාගත් නාමයයි.එවකට ජර්මනියේ සිටි අනෙකුත් දශලක්ෂ සංඛ්‍යාත පිරිසක් කල පරිද්දෙන් ඔවුනටත් දෑස් පියගෙන සිටීමට හෝ , පාලක නාසි පක්ෂයට හවුල් වී වරප්‍රසාද ලබමින් සුව පහසු ජීවිත ගත කිරීමට ඉඩ කඩ හොඳටම තිබුනි. නමුත් ඔවුන් තෝරා ගත්තේ එදා එහි සිටි සත්‍යවාදී මිනිසුන් කිහිපදෙනෙකුන් පමනක් තෝරාගෙන තිබූ ඒකාධිපති පාලනයට එරෙහි කටුක අරගලයේ මාවතයි.

ඔවුන් සිටියේ කිහිප දෙනෙකුන් පමණි.

හන්ස් ෂොල් ( 1919.09.22-1943.02.22) ,

සොෆී ෂොල් (1921.05.09-1943.02.22) – හන්ස් ගේ සොහොයුරිය

විලී ග්‍රාප් (1918.01.02-1943.10.12) ,

ක්‍රිස්තෝප් ප්‍රොබ්ස්ට් (1919.11.06-1943.02.22) ,

ඇලෙක්සැන්ඩර් ෂ්මොරල්( 1917.09.16-1943.07.13)

 

 

මේ සියලු දෙනාම මියුනිච් සරසවියේ සිසුන් වූ අතර ,දර්ශනවාදය පිලිබඳව උගත් සොෆී හැරෙන්නට අනිත් සියලු දෙනාම වෛද්‍ය සිසුන් වූහ.එම සරසවියේ දර්ශනවාදය පිලිබඳව  මහාචාර්ය කර්ට් හියුබර් ද ඔවුන් සමග එක්ව සිටියේය .

සංවිධානයේ අරටුව මේ හය දෙනා වූ අතර ඔවුන් සමග මේ කටයුත්තේදී එක් ව කටයුතු කල තවත් බොහෝ දෙනෙක් විය.මුෂුවෙල් ලාප්‍රෙන්ස්,කැතරිනා ෂුඩකොෆ්,ලිලෝ බ්‍රොන්ඩ්, ජර්ගන් විට්ස්ටන් හා පෝල් හාර්නක් ද හන්ස් හා සොෆී ගේ සොහොයුරිය වූ     ඉන්ග ෂොල් ද ඔවින් අතර විය.මහාචාර්ය හියුබර් ඇරෙන්නට අනිත් සියලු දෙනාම වයස විසි ගනන් වල පසු වූ තරුණ තරුණියන් ය.

ජර්මනිය නාසිවාදයේ රුදුරු මර්ධනයට යටත්ව තිබියදි,සමස්ත ජර්මන් ජාතියම හිට්ලර් වන්දනාවේ යෙදෙත්දී ,එයට එරෙහි වූවන්ගේ නියත ඉරණම මරණය වෙත්දී , මෙම අභීත තරුණ පිරිස මානව වර්ගයා වෙනුවෙන්, තම රට හා ජාතිය වෙනුවෙන් කල යුතු දෑ නිවැරදිව හඳුනා ගෙන , දුෂ්ට පාලනයට එරෙහිව සංවිධානය වූහ.1942 දී පමණ ඔවුන් මුල් වරට සංවිධානය වන විට හිට්ලර්ගේ හමුදා ලොකයේ එක් රටකින් පසු තවත් රටක් වශයෙන් යටපත් කරමින් විජයග්‍රාහීව ඉදිරියට යමින් සිටියහ.සැබැවින්ම ඔවුන් නැගී සිටීමට තීරණය කලේ නාසි පාලනයේ උච්චතම කාලයේය.

පළමු ලෝක යුධයේ පරාජයෙන් පසු අති දෑවන්ත උද්ධමනයක හා විරැකියාවක ගිලී සිටි ජර්මනිය,යුධ ජයග්‍රාහකයන් හට වන්දි ගෙවීමට සිදුවීම නිසා ආර්ථික අර්බුදයට අමතරව අවමානයටත් ලක්ව සිටියේය.සමස්තයක් වශයෙන් එසමයේ ලෝකයම ආර්ථික අවපාතයක් කරා ගමන් කරමින් සිටි අතර ජර්මනිය වඩ වඩාත් ආගාධයකට තල්ලු වෙමින් තිබුණි.

හිට්ලර්ගේ ජාතිවාදි ,වර්ගවාදි දේශපාලනයට මෙම තත්වය සරු පසක් වූ අතර , න්‍යායිකව බෙදී තිබුනු වමෙන් කිසිම ප්‍රතිරෝධයක් නොවූ තරම්ය.

1933දී හිට්ලර් බලයට පත් වූයේ කැරල්ලකින්, ප්‍රචණ්ඩ විප්ලවයකින් හෝ හමුදා කුමන්ත්‍රණයකින් නොවේ.ජනතාවගේ චන්දයෙනි. එම වසරේ පෙබරවාරියේ බලයට පැමිණි හිට්ලර් , මාර්තුවෙදී , පාර්ලිමේන්තුවේ තමන් සතු වැඩි චන්ද බලය යොද ගනිමින්, සියලු බල තල තමන් වෙත නීත්‍යානුකූලවම  පවරා ගත්තේය.පාර්ලිමේන්තුව තමන් සතු සියලු බලතල හිට්ලර් නමැති මේ තනි පුද්ගලයා වෙත පවරා දුන්නේය.කෙටියෙන් කිවහොත් එරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සිය දිවි නසා ගත්තේය.හිට්ලර් ජර්මනියේ අනභිබවනීය නායක තුමාවිය. හරියටම මහරජානෝබඳුය.සියලු වැදගත් තනතුරු වලට ඔහුගේ එහෙයියන් පත් විය. ඇරඹීමට තිබුනේ හීම සමයයි.

ගෙස්ටාපෝ රහස් පොලීසිය, එස් එස් හමුදාව ඇතුලු නිල හා නොනිල හමුදා මගින් විරුද්ධවාදින් පැහැරගෙන යාම්, මරාදැමීම් දිගටම සිදු විය.විරුද්ධ පක්ෂ තහනම් විය.ජර්මනියේ එකම නීත්‍යානුකූල පක්ෂය හිට්ලර්ගේ නාසි පක්ෂය පමණක් විය.පුවත් පත් තහනම් කෙරිනි.යම්තමින් හෝ පාලකයින්ගේ සැකයට බඳුන් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක්කෝ මරා දමන ලදි. නැතහොත් රට පුරා පිහිටුවා තිබූ වද කඳවුරුවල හිරකර සෙමෙන් සෙමෙන් මියයාමට සලස්වන ලදි. 

පිරිසිදු ආර්ය ලේ ඇති ජර්මන් ජාතියක් පිලිබඳව අන්ත වර්ග වාදී මිත්‍යාවන් වපුරමින් ,යුදෙව් ජාතිකයන් දශ ලක්ෂ ගනනක් ඝාතනය කෙරිණි.මේ සියලු අපරාධ හමුවේ ජර්මන් ජාතිය නිහඬව බල සිටියහ.නැතහොත් ඒවාට සහයෝගය ලබා දුන්නේය.ඊට විරුද්ධ වීමට තරම් නිර්භීත බවක් තිබූ කිසිවෙක් සිටියේනම් ඒ නිසැකවම සිපිරි ගෙයක හෝ සොහොනකය.

 දේශීය පෙරමුණ මෙසේ මහජන චන්දයෙන්ම තමන්ට අවශ්‍ය පරිදි සකස් කර ගත් හිට්ලර් ඉන්පසු විදේශ්යන් ආක්‍රමණය කරමින් දෙවන ලෝක යුද්ධය ඇරඹීය. දශලක්ෂ සංඛ්‍යාත ජනතාවක් යුද බිම් තුලත් ඉන් පිටත් මරා දැමිනි.තවත් දශ ලක්ෂ ගනනක් වධ කඳවුරු වල සිර ගත කෙරුනි. 

සුදු රෝස ව්‍යාපාරය ඇරඹෙන 1941 වන විට ජර්මනියේ තත්වය එබඳුය.

හන්ස් සහ සොෆී තම මිතුරන් සමග මේ තත්වයන් ගැන නිතරම් සාකච්ඡා කලෝය.ඔව්හු සියලු දෙනාම හිට්ලර්ගේ පාලනයේ දැඩි විවේචකයන් වූ අතර ,මේ තත්වයට එරෙහිව වඩාත් ක්‍රියාකාරි විය යුතු බැව් තීරණය කලහ. හොර රහසේ , සැඟවී කරන විවේචනය පමනක් ප්‍රමාණවත් නොවන බවත් හැකි උපරිම අයුරින් එකාධිපති පාලනයට එරෙහිව සටන්  වැදිය යුතු බවටත් ඔව්හු එකඟවූහ.

මහාචාර්ය හියුබර් සමඟ එක්වූ ඔවුහු ඒකාධිපති පාලනය විවේචනය කරමින්  අත් පත්‍රිකා ලියා හොර රහසේම මුද්‍රණය කර බෙදා හැරියහ.

මෙය වැදගැම්මකට ගත යුතු විරෝධයක් නොවේ යැයි අද යම් කිසිවෙකුට පෙනී යා හැක. නමුත් සැලකිල්ලට ගත යුතු කාරණාව වනුයේ ඔවුන් හිට්ලර් සමඟ සටන් වැදුනේ කුමන ආකාරයකින්ද යන්න නොව, කුමන ආකාරයකින් හෝ හිට්ලර් සමඟ සටන් වැදුනු බවයි.

ඔවුන් 1942දී ක්‍රියා කිරීමට සිදුව තිබුනේ හිට්ලර්ගේ නාසි පක්ෂයේ නිල ඇඳුම අඳින උපකුලපති වරයෙක් සිටින, හිට්ලර් යොවුන් බලකායට මුලුමනින්ම යටපත් වූ සරසවියක සිටය.නාසි පක්ෂය විසින් තහනම් කරන ලද පොත් ගිනි තැබීමට මහත් උනන්දුවෙන් හවුල් වූ ආචාර්ය වරුන් හා සිසුන් සිටි සරසවියක් තුලය.මියුනිච් විශ්ව විද්‍යාලයේ එදා තිබූ තත්වයට හොඳම උදාහරණය නම් එහි පුස්තකාලයේ දොරටුවෙහි එල්ලා තිබූ දැන්වීමයි.

යුදෙව්වන්ට ඇතුල් වීම තහනම්” 

මේ සියල්ලටත් වැඩියෙන් , තමන්ගේ මෙම ක්‍රියාවන් රාජ ද්‍රෝහිකම් වශයෙන් හඳුන්වා මරණ දඬුවම් ලබා දිය හැකි බැව් ඔව්හු දැන සිටියහ. නමුදු,මේ සියලු තත්වයන් තිබියදීත් , ක්‍රියාත්මක වීමට, අකර්මන්‍යව නොසීටීමට, ද්‍රෝහී නොවීමට , සටන් කිරීමට ,ඔව්හු තීරණය කලහ. 

අත් අඩංගුවට පත් වී මරා දැමෙන විට ඔව්හු අත් පත්‍රිකා හයක් ලියා හොර රහසේ මුද්‍රණය කර බෙදා හැර තිබුනහ.

හිට්ලර්ගේ ගෙස්ටාපෝ රහස් පොලීසිය තම අඬු සෑම තැනකම විහිදුවාගෙන සිටි එසමයේ එය ඉතාමත් අසීරු කටයුත්තක් විය.ඔව්හු පත්‍රිකා කුඩා ප්‍රමාණ වලින් ප්‍රවාහනය කලහ. දුරකතන නාමාවලියෙන් ලබා ගත් ලිපින වලට තැපල් කලහ.සරසවි දේශන ශාලාවල දොරටු අසල , අපානශාලවල , ක්‍රීඩා පිටිවල , මහජනයා වැඩිපුර ගැවසෙන ඕනෑම තැනක තැබූහ.ඔවුන් බොහෝ විට ඉලක්ක කර ගත්තේ සරසවි සිසුන් හා බුද්ධිමතුන්ය.මේ ඒකාධිපති වියරුවට එරෙහිව පුලුල් ජනමතයක් ගොඩනැගීමට, එයට එරෙහිව සංවාදයක් ඇති කිරීමට ඔවුන්ට අවශ්‍ය විය. දෑස් වසාගෙන සිටි ජනතාවක දෑස් ඇරවීමට, මුව අගුලු ලා ගෙන සිටි ජනතාවක මුව ඇරවීමට ඔවුන්ට අවශ්‍ය විය. බියෙන් තැති ගෙන සිටි ජනතාවක් එම බියෙන් මුදා ගැනීමටහිට්ලර්ට වන්දනා කරමින් ස්වයං මෝහනයක ගිලී සිටි ජනතාවක් එම මෝහනයෙන් මුදා ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය.

පත්‍රිකා නැවත නැවතත් මුද්‍රණය වෙමින් , පිටපත් වෙමින් සමාජය තුල බෙදා හැරිනි. හිට්ලර්වාදි ස්වයංමෝහනයකට පත්ව් සිටි ජනතාව අතර කැළඹීමක්, මහා පරිමාණයෙන් නොවුනද සමාජය තුල විරෝද බලවේග ගොඩනැගෙමින් තිබෙන බවට ජනතාවට පමණක් නොව පාලකයින්ටද දැනෙන කැළඹීමක් ඇති විය.ගෙස්ටපෝව පත්‍රිකා කරුවන් සොයා දැල් එලීම ඇරඹීය.

මේ අතර තම කටයුතුවල රහස් බව රැකගනු වස් හන්ස් ඇතුලු පිරිස නොයෙක් උපක්‍රම භවිතා කලහ. ඔව්හු කඩදාසි, මුද්‍රණ තීන්ත හා ලිපි කවර ඉතා කුඩා ප්‍රමාණ වලින් මිලදී ගත් හ.තම මූලස්ථානය මියුනිච් සරසවිය බව සඟවනු වස් දුර පිහිටි කුඩා නගර වලින් පත්‍රිකා තැපෑලට දැමූහ. 

මේ අතර යුද පෙරමුණහි තීරණාත්මක වෙනසක් සිදු විය. 1943 පෙබරවාරියෙදී ජර්මනිය සෝවියට් රතු හමුදා අතින් තම ප්‍රථම දැවන්ත පරාජය ලැබීය. මෙම පරාජිත මානසිකත්වය ත්‍රීව කරනු වස් තවත් පියවරක් ඉදිරියට තැබීමට සුදු රෝස ව්‍යාපාරය තීරණය කලේය.ඔවුන් නගරය පුරා තාප්ප හා බිත්ති වල විරෝදතා සටන් පාඨ ලිවූහ.

හිට්ලර් භංග වේවා”    ……………………………..”නිදහස

එයනම් අන්ධ හිට්ලර් භක්තිකයන් මහා කම්පනයකට ඇද දමන්නට සමත් වූ ක්‍රියාවක් බව නිසැකය.බිත්ති මත මේ සටන් පාඨ දුටු විට එම හිට්ලර් වාදින් හැසිරුනු ආකාරය දැකගන්නට ඔබ කල යුත්තේ අද මෙහි සිටින පිරිහුන විශ්‍රාමික කැරලි කරුවන් දෙස බැලීම පමනි. 

එනමුදු හිට්ලර්ගේ ගෙස්ටාපෝවට මේ තරුණ පිරිස කොටු කරගැනීමට ඉක්මනින්ම මග පෑදුනි. ඒ ඔවුන් අතින්ම වූ වරදකිනි.

 

1943 පෙබරවාරි 18 දින හයවැනි පත්‍රිකාව පිරවූ සූට්කේසයක්ද සමඟ හන්ස් සහ සොෆී සරසවියට පිවිසුනි. දේශන හමාර වී එලියට පැමිණෙන සිසුන්ට ලබා ගතහැකිවන පරිදි දේශන ශාලාවල දොරකඩ පත්‍රිකා මිටි තැබූ ඔවුන් දෙදෙනා කඩිනමින් ඉන් ඉවත්ව යද්දි සූට්කේසය තුල තවත් පත්‍රිකා කීපයක් ඉතුරුව තිබෙනු සොෆී දුටුවාය. මේ වන විට දේශන අවසන් වී සිසුන් එලියට පැමිණෙමින් තිබූ නිසා නැවත දේශන ශාලා වෙත යාම කල නොහැක්කක් විය.

තමන් සිටි ගොඩනැගිල්ලේ ඉහල මාලයට දුව ගිය ඇය එම පත්‍රිකා ජනේලයකින් පහතට විසි කලේ මිඳුලේ සිටි සිසුන්ට අහුලා ගැනීමටය.

ඇ‍ය පත්‍රිකා විසි කරනු දුටු ගොඩනැගිල්ලේ සිටි පවිත්‍රතා සේවකයෙක් ඒ බව උපකුලපති හට දනුම් දුන් අතර , ඔහු වහාම ගෙස්ටාපෝව ගෙන්වීය.සොෆී හා හන්ස් ගෙස්ටාපෝ අත් අඩංගුවට පත් විය.ඉක්මනින්ම ඔවුන්ගේ සමීපතයන් හා මිතුරන්ද අත් අඩංගුවට පත් විනි.දින හතරක් තිස්සේ ඔවුන්ව ගෙස්ටපෝවේ දරුණු වද හිංසා වලට භාජනය විය. ඔව්හු නිර්භීතව තමන් කල දෙය පිලිගත්හ. කෙටි නඩු විභාගයකින් පසු ඔවුන්ගේ හිස් ගස දමා මරණයට පත් කරන ලදි. 

ඔවුන්ගේ ව්‍යයාමය නිෂ්පල වූවකයි කෙනෙකුට වාද කල හැක. නමුත් එය නිෂ්පල උත්සාහයක් ද? ඔවුන් පරාජය කිරීමට හිට්ලර්ට හැකි වීද?හිට්ලර්ගේ සියලු බල පරාක්‍රමයන් ඉදිරියේ නැගීසිටීමට මේ තරුණ පිරිස තීරණය කිරීම තුලම හිට්ලර්ගේ  පරාජය සනිටුහන් නොවන්නේද?

ඔව්හු අසාධාරණය, අයුක්තිය හා භීෂනය හමුවේ නිහඬව සිටීම ප්‍රතික්ෂේප කලහ. ඒකාධිපති පාලනයක් හමුවේ නිදි වැද සිටි ජාතියක් අවදි කිරීමට උත්සාහකලහ. එයම ප්‍රමාණවත් නොවන්නේද?

ඔවුන්ගේ පලමු පත්‍රිකාව මෙසේ ඇරඹෙයි.

යම් කිසි ශිෂ්ඨ සම්පන්න ජාතියක් , නින්දා සහගත අරමුණු ඇති දුෂ්ඨ පාලන කල්ලියක පාලනයට ගොදුරු වී ඇති විටෙක , ඊට හැකි පමණින් විරෝධයක් නොපාන්නේ නම් ඒ ජාතිය තඹයකුදු නොවටී.අද ජීවත් වන හැම අවංක ජර්මන් ජාතිකයෙක්ම ලැජ්ජා වන්නෙ ඒ නිසාය.” 

ඉන්පසු ඔව්හු මෙසේ ලියති.

මිනිසා අනිත් සියලු සතුන්ට වඩා ඉහලින් ඔසවා තබන ඔහුගේ නිදහසේ අයිතියට  ජර්මන් ජනතාව විසින් පාවාදෙනවානම්,…. තම පෞද්ගලිකත්වය පවා නැති කරගනිමින්, සිතීමට පවා නොහැකිබියගුලු මිනිසුන් බවට පත් වෙන්නේ නම් : ඔව්, එවන් ජාතියක් නැති භංග වී යාමට සුදුස්සෝය. සියලු දෙනාම අනෙකා පටන් ගන්නා තුරු බලා සිටියොත් සිදු වන්නේ ඒ මාරයින් අප වෙත දිනෙන් දින  ලං වීම පමණි……..  ඔබ කොහේ සිටියත් එතැන සිට විරෝධය පාන්න.” 

ඔව්හු තවත් පත්‍රිකාවක මෙසේ සටහන් කරති.

අප උත්සාහ කරන්නේ මේ ජඩ ක්‍රමය පෙරලා දැමීම තනිව කල නොහැක්කක් බව පැවසීමටය. එය කල හැක්කේ මේ කරුණු අවබෝධ කරගත් සීයලු දෙනාගේ සහයෝගයෙනි .අරමුණට ලඟාවීම සඳහා තෝරාගත යුතු මාර්ගය  දිගේ ඉදිරියට ගමන්කරන මිනිසුන්ගේ එකතුවකින් පමනි.සැබැවින්ම අපට එතරම් මාර්ග නැත.ඇත්තේ එකම එක මාර්ගයක් පමණි. එනම් රහසිගත විරෝධයේ මාවතයි.” 

” ….. අපි ඔබලාට වද දෙන ඔබගේම නරක් වූ හෘද සාක්ෂියයි.අවට සිදු වන දේ ගැන නිහඬව බලා සිටීමට අප ඔබට ඉඩ නොදෙමු.” 

ඔව්, ඔවුන් මරණය තෙක් පමණක් නොව මරණින් පසුද ඒ යුතුකම ඉටු කරමින් සිටින්නෝය. 

වයස අවුරුදු විසි ගනන් වල මුල් භගයේ පසුවූ මේ තරුණ තරුණියන් කිහිපදෙනාට පත්‍රිකා කිහිපයක් බෙදා හැරීමට වඩා වැඩි යමක් කල නොහැකි වූ බව සැබෑය.නමුදු ඔවුන් ඉතිහාසය තුල තබා ගිය සටහන නොමැකෙන සුලුය.එය අප හඩවත් තුල ගැඹුරටම කා වැදී ඇත.

අද දින අපිට වද දෙන අපේ හෘද  සාක්ෂිය ඔවුන් නොවන්නේද?

තම සොහොයුරිය හා සගයන් සමග 1943 පෙබරවාරි 22 දින ගිලටීනයට ගෙල තබා ගෙන සිටිද්දි, හන්ස් ෂොල්ගේ මුවින් පිටවූ අවසන් වදන් පෙල අප හදවත් තුල නිදහස පිලිබඳ උණුසුම් හැඟුම් පුරවලනු නොමැතිද?

…  ” නිදහස දිගුකල් දිනේවා

නිසැකින්ම ,ඕනෑම වර්ගයක ඒකාධිපති පාලනයකට එරෙහිව සටන් වැදීමට අවශ්‍ය ධෛර්ය ඔවුන් අපට සපයනු ඇත.

විමල් වීරවංශ ගේ තුම්මුල්ලේ නාඩගම අවසන් වූ විකාර රූපී ලෙසින්ම මර්වින් සිල්වාගේ කැළණි නාඩගමද හමාර විය.

මර්වින් සිල්වා ඇමති කමිනුත් පහ කර ශ්‍රීලනිප සාමාජිකත්වයෙන් ඉවත් කර ඇත. හරිම අපූරුය. සුන්දරය.

මහා රජාණන්ගේ අභීත නායකත්වය ගැන , සියල්ලන්ටම සම ව සලකන ධාර්මික බව ගැන කව් ගී පබැඳිමට දැන් අපට හැකිය.

හරියටම කිවහොත් තම පැටියා රිය සකට යට කර මරා දැමීමට එරෙහිව පැමිණිලි කල එළ දෙනට සාධාරණත්වය ඉටු කර එම රිය සකටම තම පුත් කුමරුන් යට කර මරා දැමු එළාර රජුන් මෙනි. ( අප මහ රජුන් එළාරට සම කිරීම ගැන සියලු සිංහල දේශප්‍රේමියෝ අප කමත්වා)

මෙතරම් සාධාරණ ධර්මිෂ්ට සමාජයක් මෙලක මින් පෙර නොතිබූ බව සැක හැර කීමට මහින්ද අබේසුන්දරට , ජැක්සන් ඇන්තනි ට ,ජේ. ආර්.පී සූරියප්පෙරුම ට , විමල් වීරවංශට හා අතුරලියේ රතන ට දැන් හැකිය.

මර්වින් තුමාණන්ට එරෙහිව , අපරාධ නීතිය යටතේ ක්‍රියා නොකරන්නේ මන්දැයි අසන්නේ බෑන් කී මූන් ගේ ඒජන්තයින්ය. ඒ මේ කරන ලද්දා වූ ශ්‍රේෂ්ට ක්‍රියාවේ රැස් බාල කිරීමටය. උන්ට ශාප විය යුතුය.

අති ගරු උතුමාණන් විසින් කල මේ අතිධර්මිෂ්ට , සාධාරණ ක්‍රියාව නිසා වඩාත්ම ප්‍රීති ප්‍රමෝදයට පත් වන්නේ ස්වර්ණ වාහිනී ප්‍රේක්ෂක ජනතාවය. මක් නිසාද යත් මර්වින් සිල්වා ගරුතර මැතිඳුන්ගේ සාධාරණ විනිශ්චයට බඳුන් වනු වස් එතුමා ඉදිරියේ රංගනයේ යෙදෙන දයාසිරි ජයසේකරට , රන්ජන් රාමනායකට හා පබා කුමරියට දැන් තම ඇඳුම් උනා තබා නිරුවතින්ම නැටුමෙහි යෙදීමට හැකි නිසාය. මොවුනට යම්තම් හෝ විලි ලැජ්ජාවක් ඉතුරුව තිබුණා නම් මේ සිදු වීමත් සමග ඒ සුඟද අහෝසි වී යන බැවිනි. රෝසි සේනානායක මැතිනියටද අවැසි නම් එලෙසම නග්නව, සිල්වා මැතිදුන් පසෙකින් අසුන් ගෙන තම විනිසුරු කාර්යයේ යෙදිය හැක.

මෙතරම් ධාර්මික රජෙක් පහලව සිටින රටක දැන් ඉතින් අපට කුමන ප්‍රශ්නද?

මරා දමන ලද සුසන්ත බණ්ඩාර සිසුවාත්, අතුරුදන් කරන ලද ප්‍රගීත් එක්නැලිගොඩ ත් දැන් අපට ප්‍රශ්න නොවේ.

බඩු මිල අහස උසට ගියත් අපට කම් නැත.

පඩි වැඩි වීම් අපට අවැසි නැත.

ඩෙංගු රෝගය වැළඳී රටේ ජනගහනයෙන් භාගයක් මියැදුනත් අපට කීම. 
 
 අම්පාරේ මෝඩ ගොවීන්   විකුණාගත නොහැකි වන වී ගිනි තබනු නොහැකිනම් මුහුදට දැමුවාවේ.

අපට සාධාරණ රජෙක් පහලව ඇතේ.

ආයු බෝ වේවා මහ රජාණනි.

 සටහන-1 ඇත්තෙන්ම අපට ප්‍රශ්න නැතිවා නෙවේ. අපට ඇති එක ප්‍රශ්නයක් නම් මර්වින් සිල්වා මැතිඳුන්ට සමෘධි ඇමති කම දෙන්නේ කවදාද යන්නයි. හැකි ඉක්මනින් එය වෙනවා නම් අප කැමතිය.

සටහන-2 අප රජාණෝ මෙතරම් යුක්ති ගරුක අයෙකු නම් මෙට පෙර ආචාරියානෝ රූපවාහිනී සංස්ථා වට කඩා වැදුණු වෙලේ හෝ සිරසට පහර දුන් වෙලේ හෝ මේ ක්‍රියා මාර්ගය නොගත්තේ මන්දැයි කියා දේශ ද්‍රෝහීන් අපෙන් අසනු ඇත. අප උන්ගෙන් අසන්නේ මෙයයි .

” මොකද ගහක බැඳිලා ඉන්න ඕනෙද? “