Posts Tagged ‘ප්ලාස්ටික් පෙට්ටි’

මින් මතු එලවලු ප්‍රවාහනය කල යුත්තේ ප්ලාස්ටික් පෙට්ටි වල පමනකැයි නීතියක් දැමීමට ආණ්ඩුව උත්සාහ කිරීම නිසා මහත් කලබැගෑනියක්  ඇති විය.ගොවියනුත් වෙලෙන්දනුත් ඊට එරෙහි වී රට පුරා උද්ඝෝෂණය කල අතර එලවලු ප්‍රවාහනය සම්පූර්නයෙන්ම කඩාකප්පල් වී එලවලු මිල ක්ෂණයකින් අහස උසට නැග්ගේය.තැන තැන ප්ලාස්ටික් පෙට්ටි ගිනි තබමින් ජනයා උද්ඝෝෂණය කල අතර පොලිසිය සමගත් ගැ‍ටුම් ඇති විය.

මේ ප්ලාස්ටික් පෙට්ටි විරෝධී සටන පි‍ටුපස සිටින්නේ පොලිසැක් බෑග් මුදලාලිලා යැයි පෙට්ටි නීතිය ගෙනා වෙලඳ ඇමති ජොන්ස්ටන් පවසා තිබේ.ඔහුට අනුව පොලිසැක් නිෂ්පාදකයින් ගොවින්ට හා එලවලු වෙලෙන්දන්ට අරක්කු පොවා සටනට එවා තිබේ. ඒ එතුමාගේ දැක්මය. එතුමා සිතන්නේ මෙවන් උද්ඝෝෂණ කිරීමට නම් මිනිසුන්ටඅරක්කු  පෙවිය යුතු බවයි.එතුමන් ලා උද්ඝෝෂණය කරන්නේ එහෙමය. තමන්ට අසාධාරණයක් වන විට ජනයා ස්වෙච්ඡාවෙන්ම නැගී සිටින බව එතුමාට සිතා ගැනීමටවත් නොහැකිය. එතුමන්ලා මුලු ලෝකයම මනින්නේ තමන්ගේ  හා තමන් වටේ සිටින උන්ගේ චරිත දෙස බලා ගෙනය.

උදාහරණයක් ලෙස එතුමන්ලා ගේම  මේ තර්කයට අනුව එතුමන්ලා  ප්ලාස්ටික් පෙට්ටි නීතිය ගෙනාවේ ප්ලාස්ටික් පෙට්ටි මුදලාලිලාගෙන් ජරාව කාලා දැයි ඇසිය හැකිය. 

ඒ මොනවා උනත් කරුණු කාරණා සිද්ධ වෙන ආකාරයට පෙනී යන්නේ යුද්ධය විකුනමින් රට පාලනය කල හැකිව තිබූ කාලය, එනම් මධුසමය හමාර බවයි. ජනයා ආණ්ඩුවට එරෙහිව නැගී සිටිනවා පමණක් නොව තම සටන් ජය ගනිමින්ද  සිටිති.

මාස කීපයකට කලින් පෞද්ගලික අංශයේ විශ්‍රාම වැ‍ටුප් යෝජනාව නින්දිත ලෙස හකුලා ගන්නට ආණ්ඩුවට සිදු වුනේ ක‍ටුනායක කම්කරුවන්ගේ බලය හමුවේය.

දැන් එලවලු වෙලෙන්දන් හා ගොවීන්ගේ විරෝධතා හමුවේ ප්ලාස්ටික් පෙට්ටි නීතිය හකුලා ගෙන තිබේ.

ඊට අමතරව පසුගිය කාලයේ අවස්ථා කීපයකදීම ජනතාව පොලිසිය සමග ගැ‍ටුනේ අසාධාරණයට විරුද්ධවය.

මේ පෙට්ටි සිද්ධිය සමග පරණ ශ්‍රිලනීප නායකයින් හා ආණ්ඩුවට අලුතින් එකතු වූ එජාප ලොක්කන් අතර ගැ‍ටුමත් නැවත වතාවක් පෙනෙන්නට තිබුණි. දඹුල්ල ආර්ථික මාධ්‍යස්ථානයේ බලය අහිමිව හිතේ අමාරුවෙන් සිටින දඹුල්ලේ ශ්‍රිලනිප කෙරුම් කාරයා වන ජනක  තෙන්නකෝන්  තම කැබිනට් සගයාට විරුද්ධව එලිපිටම යුද ප්‍රකාශ කලේය. ඔහු පි‍ටුපසින් පරණ ශ්‍රිලනිපයේ හයියක් නොමැතිනම් ඔහු එලෙස නොහැසිරෙනු ඇත.

එසේම ආණ්ඩුවේ ඕනෑම කුණු ගොඩකට කර ගහන වීරවංශගේ පක්ෂයට පවා මේ ක්‍රියාව සාධාරණීකරණය කිරීමට ඉදිරියට ඒමට නොහැකි වූයේ ජොන්ස්ටන්  ඇමතිවරයා මේ නීතිය ක්‍රියාත්මක කිරීමට තැත් කල අමන මරි මෝඩ ආකාරය නිසාය. එසේ නැත්නම් මේ උද්ඝෝෂණයේ යෙදුනු ගොවීන් හා සුලු වෙලෙඳුන්  බටහිර බළල් අඬු , රෝ ඒජන්තයින්, සීඅයී ඒ ඔත්තුකාරයින් හා බෙංගාසියන්  බවට පත් වෙන්නට ඉඩ තිබිණි.

එලවලු සටන වියැකී යමින් තිබේ. එහෙත් තව සටන් ඇති වනු ඇත.මේ ආණ්ඩුවට ජනතා ප්‍රශ්නවලට විසඳුම් නැති  නිසාය.

ටියුනීසියාවේ වසර හතලිහක් පාලනය කල ඒකාධිපති බෙන් අලි පලවා හැරීමට මුල් වූයේ එක් පලතුරු වෙලෙන්දෙක් බව සිහියට එන විට හෙට එච්චර කලුවර නැතැයි සිතේ.

Advertisements
 
 එලවලු ප්‍රවාහනේ මින් මත්තේ
ප්ලාස්ටික් පෙට්ටි වල ඉතරයිලු
කිව්වා අපේ ජොනී බට්ටා තුමාණෝ 
ගඳ ගස්සන කුරුණෑගල පැත්ත. 
 
 
 
පෙට්ටිවලින් එන කොමිස් මිස
ගොවියා ගැන නොහිතන ජොනී බට්ටෝ’
හේනේ ඉඳන් ප‍තෝල අරගෙන එන්නේ
ගොවියාගේ මිනී පෙට්ටියේ දාගෙනද?
 
-රංචාගොඩ ළමයා –