Posts Tagged ‘නිදහස් අධ්‍යාපනය’

z_p11-Universities-02

නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහත්මා විසින් වෛද්‍ය උපාධී විකිණීමට පවත්වාගෙන යනු ලබන සයිටම් හොර කඩය /කලු කඩය වෙනුවෙන් පෙනී සිටින හිටපු වාමාංශිකයන් ඇතුළු සයිටම් වාදින් විසින් කියනු ලබන පරිදි එය අධ්‍යාපනයේ නිදහස මූර්තිමත් කරන සංකේතයකි. මේ කට්ටඩියන් තමන්ගේ පිලිකුල් සහගත තර්කය සාධාරණීකරණය සඳහා ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා යැයි සැලකෙන සී.ඩබ්.ඩබ්. කන්නන්ගරයන්ද යොදා ගැනීමට නින්දිත වූ උත්සාහයක නිරත වේ. මේ ඊනියා මහත්වරුන් කියන පරිදි කන්නන්ගර ගේ අරමුණ වූයේ අධ්‍යාපනයේ නිදහස මිස නිදහස් අධ්‍යාපනය නොවේය. මෙම මතය සයිටම් වාදි නඩය විසින් සමාජ ගත කිරීමට උත්සාහ කරන පට්ට පල් කෙබරයක් මිස අන් කිසිවක් නොවේ. එය කන්නන්ගර නාමයට කරනු ලබන තුච්ඡ නින්දාවකි.

තමන් විසින් වෙනත් ක්ෂේත්‍ර තුල ලබා ගත් කීර්තිය නෙවිල් ප්‍රනාන්දු මුදලාලිගේ රුපියල් වලට උකස් කර කෑ ගසන කුහක නරුමයන්ට එරෙහිව කන්නන්ගරයන් ම පිළිතුරු දෙන්නේ මෙසේය.

“ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා.මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිළ අඩු කළ බවත්, වසා තිබූ පොතක් විදිහට අපිට දිස් වුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය දිළින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත් සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුළුවනි නම්, ඒ ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාව වඩා කොයිතරම් ශ්‍රෙෂ්ඨද ? ” (හැන්සාඩ් 1944/946 පි‍ටුව)

  • (1944 ජුනි 02 දා නිදහස් අධ්‍යපන පනත පිලිබඳ රාජ්‍ය මන්ත්‍රණ සභා විවාදයේදී අධ්‍යාපන ඇමතිවරයා ලෙස සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා කළ කතාව)
Advertisements

වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන  පැහැදී එයට සහය දී මෙරට නිදහස් අධ්‍යාපනය නගා සි‍ටුවීම සඳහා  , සුප්‍රකට ටියුෂන් ගුරුවරයෙකු හා  ජාත්‍යන්තර පාසල් කඩ හිමි කරුවෙකු වන  එජාප මන්ත්‍රී මොහාන් ග්‍රේරෝ  ආණ්ඩුවට එක් වී ඇත.ඒ තුමා ආණ්ඩුවට එක් වී ඇත්තේ කිසිම පෞද්ගලික ලාබ ප්‍රයෝජනයක් හෝ තනතුරක් බලාපොරොත්තුවෙන් නොවන බවත් හුදෙක් මෙරට අධ්‍යාපනය ගැන ඇති වූ කැක්කුම නිසා බවත් වාර්තා වේ.

ඒ මහතා තවත් ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙකු වන අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්දන හා එක්ව මහින්ද චින්තනයේ  නිදහස් අධ්‍යාපන කෑල්ල වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වදිනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

නිදහස් අධ්‍යාපනයේ මේ පතාක යෝධයන් දෙදෙනාගේ එක් වීමත් සමග නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තමන්ගේ සටන අවසන් බව පැවසූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සංජීව බංඩාර , අන්තරය විසුරුවා හැරීමට තීරණය කර ඇතැයි අද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේය.

මේ අතර දෑත් ශක්තිමත් කිරීමේ ව්‍යාපාරයේ මේ නව සටන් කරුවාට උපහාරයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ නව තේමා පාඨය ලෙස  ” පළමුව පාසල ( ජාත්‍යන්තර) ,දෙවනුව පාසල ( ආණ්ඩුව ) ”  යෝජනා වී ඇතැයි වාර්තා වේ.