Posts Tagged ‘දේශප්‍රේමී’

Kumar-Sangakkara-011

හිටපු ශ්‍රීලංකා ක්‍රිකට්  නායක වත්මන් ක්‍රීඩක  කුමාර් සංගක්කාරට විස්ඩන් සඟරාවට සම්මුඛ සාකච්චාවක් දීම මෙරට ක්‍රිකට් බලධරයන් විසින් තහනම් කර තිබේ.හේතුව  නොකිව්වත් සියල්ලෝම දනිති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුමක සිටින නිසා ඔහුට එම අණ පිලිපැදීමට සිදු වී තිබේ.

මාස කීපයකට කලින්  ලෝර්ඩ්ස් හිදි දේශනයක් කල කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව තුල  ක්‍රීඩාව දේශපාලනීකරණය වී තිබීම දැඩි ලෙස විවේචනයට ලක් කලේය. ඒ නිසා ඔහු මෙරට දේශප්‍රේමින්ගේ දැඩි වෛරයට භාජනය වූ අතර එතෙක් වීරයෙක් වී සිටි  සංගා   එක ‍රැයින් දේශද්‍රෝහියෙක්, පාවා දෙන්නෙක්  බවට පත් විය.

තත්වය එසේ තිබියදී 2011 වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ‍තෝරාගත්තේ සංගාය. වසරේ ක්‍රීඩකයා සමග කල සම්මුඛ සාකච්ඡාවක් පල කිරීම සාමාන්‍ය සිරිතයි.

අපේ ලොක්කන්  තම බලය යොදවා නතර කලේ එම සාකච්ඡාවයි.

එසේ කර ශ්‍රී ලංකාව කොතරම් ශිෂ්ඨ සම්පන්න, ශීලාචාර හා ප්‍රජාතන්ත්‍රවාදි රටක් ද යනුවෙන් ජාත්‍යන්තරයට නැවත වතාවක් පෙන්වා තිබේ.

 

 

Advertisements

rugb225

පිලිපීනයේ පැවත්වෙන රගර් තරඟාවලියට සහභාගි වීම ප්‍රතික්ෂේප කල ජ්‍යෝෂ්ඨ ක්‍රීඩකයින්ට දේශද්‍රෝහින් යැයි බැණ අඬ ගසමින් පිටත්ව ගිය මහා දේශප්‍රේමියා ඇතුලු රගර් කණ්ඩායම ඉතා දුර්වල පිලිපීනය හමුවේ පරාජය ලබා ඇති බව වාර්තාවේ.

රාජපක්ෂ පන්නයේ දේශප්‍රේමයට ලංකාව ඇතුලේ මැච් දිනා ගත හැකි වූවත් රටෙන් පිටතදී එය වලංගු නැති බව ලඟ ලඟම දෙවැනි වතාවටත් ඔප්පු වී තිබේ. මුල් වතාවේ එය සිදු වූයේ ජීනිවා වලදීය.

මීට කලින් ටායිපේ හා සිංගප්පූරුව පරාජය කරමින් ජය ලබන විට බ්‍රේකින් නිව්ස් ලබා දුන් සිරස ඇතුලු දේශප්‍රේමි මාධ්‍යද ඇටි කෙහෙල් කෑ උගුඩුවන් මෙන්  සිටිති.

මේ ඊනියා දේශප්‍රේමින්ගේ හිස් බව හෙලිදරව් කරනු සඳහා දේශද්‍රෝහින් බවට පත් වූ රගර් ක්‍රීඩකයින්ට අපේ ආචාරය නැවතත්.!!

president-mahinda-rajapaksa-on-dambulla-development-project

දේශප්‍රේමී , දේශහිතෛශි නායකයින් ලෙස පෙනී සිටින උන්   බලයේ ‍රැඳී සිටීම සඳහා ජාතිවාදි අදහස්  වපුරන විට උන්ගේ අඥාන නූගත්  අනුගාමිකයන් එම අදහස් ක්‍රියාවට නගමින් රටම ගිනි තියන බව අප පවසන විට කොස්,ජයශ්‍රී, ඉන්ද්‍රජිත් කනියා බඳු උන් රෙදි කරට ගෙන අපට පහර දීමට ආවේ ,ලංකාවේ ජාතිවාදයක් නැතැයිද අප බොරු කියන්නේ යැයිද කියමිනි. ගාල්ලේ සිදුවීම ජාතිවාදය නිසා නොවූවක් බවත්, ලංකාවේ එවැනි දෑ සිදු නොවන බවත් ඔවුහු පුන පුනා කීහ. ඔවුන්ට අනුව සිංහලයා ජාතිවාදි නොවේ. ජාතිවාදි වැඩ කරන්නේ සුලු ජාතින් පමණි. එම සුලු ජාතිවාදින්ට උඩගෙඩි දෙන්නේ යැයි අපටද චෝදනා කලහ.

අපට බැන වැදුනු ඒ ගරු කටයුතු මහත්වරුන්ගෙන් අප අසන්නේ දැන් දඹුල්ලේ සිදු වන්නේ කුමක්ද යන්නයි.  පූජාභූමි තුල අන්‍යාගාමිකයන්ට ඉඩ නැතැයි කියමින් උන්ගේ පල්ලිවලට පෙට්‍රල් බෝම්බ ගහන්නේත්, එම පල්ලි සුණු විසුනු කිරීමට කැස කවන්නේත් පෞද්ගලික හේතු නිසාද? නැතිනම් නග්න  වර්ගවාදය  නිසාද? නැත්නම් එය  වෙන කුමක්ද?

ඉනාමලුවේ සුමංගලලා පසුපස අද යන්නේ චම්පකලා වීරවංශලා විසින් මොල සුද්ද කල  මිනිසුන් නොවේද? විසකුරු ජාතිවාදි විසබීජ එන්නත් වූ මිනිසුන් නොවේද? සිංහලයින්ට ශ්‍රීලංකාව හැර අන් රටක් නැතැයි කියන කනියා බඳු මිනිසුන් නොවේද? කිසිම මාධ්‍යයකින් මෙතෙක් අනාවරණය නොකළ , ඔහුට පමණක් දැන ගන්නට ලැබුණු දෙමලුන්ගේ කිරිබත් කෑම් ගැන ගල් පැලෙන බොරු ලියන ඉන්ද්‍රජිත් බඳු මිනිසුන් නොවේද?

මේ වෙලාවේ කල යුත්තේ සිදුවන විනාශය දැක එයට එරෙහි වන්නැයි ඉල්ලන උන්ට ගල් ගැසීම නොව  එම විනාශයට එරෙහිව කටයුතු කිරීමයි. වීරවංශ, නලින් සිල්වා, ගුණදාස අමරසේකර, චම්පක බඳු විෂබීජ නිපදවන්නන් හා දිවයින බඳු විෂබීජ ප්‍රවාහකයින් හෙලිදරව් කිරීමයි. අප කිරීමට උත්සාහ කරන්නේ එයයි.

සටහන- මීට වසර ගනනකට කලින් කණ්ඩලම හෝට්ලයට එරෙහිව ගිනි තබා ගන්නවා යැයි දිවුරු මේ ඉනාමලුවේ සුමංගල උන්නාන්සේ අද දානය ලබාගන්නේත් එම හෝටලයෙනි.

ඇමෙරිකාව කියන්නේ ලෝකයම තමන යටතේ ඉන්න ඕනෑ කියලා හිතන ලෝකෙ එකම චණ්ඩියා තමන් කියලා හිතාගෙන වැඩ කරන, ලෝකෙම සම්පත් තමන්ට අයිති කර ගන්ට දඟලන  රටක්. අධිරාජ්‍යවාදියෙක්.

ලංකාවේ ඉන්න අධිරාජ්‍යවිරෝධියෝ මේ දවස් වල ඇමෙරිකාවට විරුද්ධව මාරන්තික අරගලයක යෙදෙනවා. මේ දවස්වල ජීනිවා වල තියෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම් සභා වාරයේදී ඇමෙරිකාව ලංකාවට විරුද්ධව යෝජනාවක් ගේනවලු.

ඉතින් ලංකාවේ නායකයාගේ ඉඳලා සියලුම දේශප්‍රේමියෝ මේ දවස් වල පාරට බැහලා ඇමෙරිකාවට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. පෙලපාළි යනවා. ඔබාමාගේ රූප ගිනි තියනවා. එකම ගිනි කෙලියයි. නියම ඇමෙරිකානු විරෝදේ. කොටින්ම කිව්වොත් මේ දවස් වල ලංකාව පුංචි කියුබාවක්, උතුරු කොරියාවක් වගේ ඇමෙරිකන් විරෝධියි. සමහර දේශප්‍රේමි කොච්චර ඇමෙරිකන් විරෝධී ද කිව්වොත් ඇයන්න ඇහුණත් මල පනිනවා.

ඔන්න ඔය විදිහේ දේශප්‍රේමී ජනාධිපතිවරු, ඇමතිවරු, හා ජනතාව ඉන්න ශ්‍රී ලංකාව ගැන පැසි‍ෆික් කලාපයේ ඇමෙරිකන් නාවික හමුදා ප්‍රධාන අණදෙන නිලධාරියා කියනවා ” ලංකාවේ ඇමෙරිකන් හමුදා භටයෝ ස්ථානගත කරලා ඉන්නවලු

හුටා!!!

ඈ යකඩෝ , මේ වගේ දේශප්‍රේමි ආණ්ඩුවක් තියෙන කාලේ,මේ වගේ දේශප්‍රේමි නායකයෝ ඉන්න කාලෙක ඇමෙරිකන් හමුදාවකට ලංකාවේ ඉන්ට දෙයිද? අනික ලංකාවේ නායකයෝ විදුලි පු‍ටුවට යවන්ට හදන ඇමෙරිකාවෙ හමුදාවක්.  වෙන්ට බෑ. වෙන්ට බෑ. වෙන්ට බෑමයි.

වෙන්ට බෑ කිව්වට ඔය වෙලා තියෙන්නේ. අද්මිරාල් රොබර්ට් විලාර්ඩ් මේ හෙලිදරව්ව කරලා තියෙන්නේ ඇමෙරිකානු කොන්ග්‍රස් සභාව ඉස්සරහා . ඒ නිසා ඕක බොරු කතාවක් කියලා කියන්න හදන්න නම් එපා. විස්තරේ මෙතැනින් බලාගන්න හැකියි.

මේ දවස්වල ඇමෙරිකාවට විරුද්ධව මරා ගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන අපේ දේශප්‍රේමින් දැන් මොකක්ද කියන්නේ කියලා මේ අපි බලාගෙන ඉන්නේ. කෝ කට්ටිය ? එන්නකෝ අනේ.

 

ඔබාමාද , බ්ලේක් ද නවනීදන්පිල්ලේද , බැන්කී මූන් ද ඇතුලු මෙකී නොකී එකී සියලු ධිරාජ්‍යවාදි බලවේග එකා මෙන් එකතු වී ඉන්දියන් සාගරයේ මුතු ඇටයට විරුද්ධව කුමන්ත්‍රණ  කරමින් අපේ ජාතික වීරයින් විදුලි පු‍ටුවට එල්ලන්ට යවන්ට හදමින් ඉන්නා මේ මොහොතේ , හරියටම කියන්නේ නම් ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක මේ මොහොතේ දේශප්‍රේමි, දේශහිතෛෂී ,දේශ මාමක, සියලු ජනතාවගේ කාර්ය භාරය විය යුත්තේ බඩගින්නේ සිටිමින් හෝ ආණ්ඩුවට පක්ෂපාතව  පෙලපාලි යාමය. බඩගින්නේ සිටිමින් හෝ ඒ දේ කල යුතු බව වීරවංශ තුමාද මේ ලඟදී කියා තිබුනි.

හෙදි නෝනලාගේ නායක මුරුත්තෙට්‍ටුවේ උන්නාන්සේ ද තමන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ග අත හැර තමන් හා තමන් සමග සිටින හෙදි නෝනලා නියම දේශප්‍රේමින් බව පෙන්වා තිබේ. දොස්තර මහත්තුරුන්ගේ සංගම් නායක කට්ටියද ඒ ආකාර දේශප්‍රේමින් බව වටින් කොනින් ආරංචි වේ.වෙන එකක් තියා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන පවා මේ දවස් වල හා හූවක් නැත. ඒ තරමට දේශප්‍රේමය ඉහින් කනින් ගලා යයි.

නියම දේශප්‍රේමින් වැඩ කල යුත්තේ ඒ ආකාරයටය. භූමිතෙල් කුප්පියකට, පාන් ගෙඩියකට, වැ‍ටුප් විෂමතාවකට මේ වෙලාවේ පාරට බැස ආණ්ඩුව මේ අධිරාජ්‍යවාදින් ඉස්සරහ අපහසුතාවකට පත් කිරීම නොහොබිනා කාර්යයකි.

නමුත් විශ්වවිද්‍යාල වල සිටින හාල් පාරුවන් ලඟ නම් දේශප්‍රේමේ බෙහෙතකටත් නැති බව පෙනේ.මේ දවස් වල සරසවි අනධ්‍යන  කාර්ය මණ්ඩල වර්ජනයයේය. ජීනිවා වල අපේ රට විරුද්ධව මහා කුමන්ත්‍රණයක් කරන මේ  දවස් වල වැඩ වර්ජන කරන්නේ දේශද්‍රෝහින් මිස අන් කවරෙක්ද.

වර්ජන කරන උන්ගේ පඩි කපන බවට ප්‍රතිපාදන කොමිසමේ සමරනායක තුමා තීරණය කර තිබේ. අන්න මිනිස්සු. නියම දේශප්‍රේමියෙක්. ඇත්තටම එතුමා පසුගිය 27 දා ප්‍රතිපාදන කොමිසම ඉස්සරහ බෝර්ඩ් ලෑල්ලකුත් උස්සා ගෙන ජීනිවා කුමන්ත්‍රණයට විරුද්ධව උද්ඝෝෂණයක්ද කර තමන් රට ජාතිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානම් බවද පෙන්වා තිබේ. එතුමාට අපේ ගෞරවය සමග තව වතාවක් කොමිසමේ සභාපති කම ලැබේවා යැයි පතමු.

නමුත් අපි නම් කියන්නේ පඩි කැපීම විතරක් මදි බවයි. මේ දේශද්‍රෝහී නඩය එල්ලා මැරිය යුතුය. විශේෂයෙන්ම මේ වෘත්තීය සමිතීයේ නායක  චන්ද්‍රපාල එල්ලිය යුතුය. ජාතියේ මේ වැනි  අර්බුද අවස්ථාවල ද්‍රෝහී කම් කරන්නට බලා සිටින් උන්ට පාඩමක් උගන්නන්ට එය කල යුතුමය.

සටහන- ඇත්තටම නම් කල යුතුව තිබෙන්නේ මූව විදුලි පු‍ටුවේ යැවීමය. ඒත් විදුලි පු‍ටුව වීරවංශතුමා සින්නක්කරේටම අයිති කරගෙන සිටින නිසා ඒක හරියන්නේ නැත. ඒ නිසා අපිට එල්ලා මැරීමෙන් සෑහිමට පත් වන්නට සිදුව තිබේ.

ප.ලි-  මේකත් රටක්ද මර්තේලිස්?

කලකට ඉහත රූපවාහිනියේ Early Edition  නම් වූ මාලා නාටකයක් විකාශය විය. එහි ප්‍රධාන චරිතය වූ තරුණයාට කලු පූසෙක් විසින් උදයේ පාන්දර පුවත්පතක් ගෙනවුත් දෙයි. එම පුවත් පත අනාගතයට අයිති පුවත්පතකි. එහි තිබෙන වාර්තා දෙස බලා අනාගතයේ සිදු වන විනාශ වැලක්වීමට එම තරුණයාට හැකිය.

මේ ආකාරයේ කලු පූස් මිත්‍රයෙක් ඇට මැස්සාටද සිටියේය. ඔහුගේ පිහිටෙන් ඇටමැස්සා පසුගිය කාලයේ  තම ලිපි ගණනාවක්ම  ලියා අනාගත ලංකාව ගැන අනාවැකි පැවසීය.

ඇටමැස්සා හිතා හිටියේ ලංකාවේ  එවන් කලුපූස් මිත්‍රයෙක් සිටින එකම පුද්ගලයා තමා පමණක් බවයි. එහෙත් එය එසේ නොවන බව පසුගිය දා දැන ගන්නට ලැබුණි.

ඉහල   යන  ජීවන   වියදම  හමුවේ  දිනෙන්   දින  වැඩි  වන  ජනතා  විරෝධය  තොරොම්බල් කර ගැනීම සඳහා ආණ්ඩුව මේ දිනවල නටන ජීනීවා නාඩගමට බෙර ගැසීම සඳහා  අලුතෙන්ම කල එලි බැස ඇති , කලක්  ගඩා‍ෆිට චරිත සහතික ලියමින් සිට හිටි ගමන් ස්වයං අතුරුදහන් වීමකට ලක් ව  සිටි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය නම් වූ සංවිධානයක මහ ලේකම් යැයි කියා ගන්නා වසන්ත බණ්ඩාර නමැත්තාටද කලු පූස් යාලුවෙක් සිටින බව  ඔහු පසුගියදා  වීරවංශගේ වෙබ් අඩවියට ලියූ ලිපියකින් හෙලි වේ. මෙම ලිපිය  බොහෝ විට  දිවයින නම් වූ ජාතිවාදි පත්තර කඩමාල්ලේද පලව තිබෙන්නට ඉඩ ඇත.

මේ දිනවල ජීනිවා හි පවතින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභා වාරයේ න්‍යාය පත්‍රය ගැන ඔහු මෙසේ ලියයි.

“න්‍යාය පත‍්‍රයේ පළමු අංගය වන්නේ ඊනියා දරුස්මාන් වාර්තාවේ නිර්දේශ සමාලෝචනය කිරීමයි. ඊට පසු දෙවන අංගය වන්නේ උගත් පාඩම් කොමිසම් වාර්තාවේ යම් කොටස් දැඩි ලෙස විවේචනය කිරීම සහ ඒ සමගම යම් කොටස් ක‍්‍රියාත්මකකර පෙන්වන ලෙසට රජයට අභියෝග කිරීමයි.”

මොහු මේ කතා කරන්නේ තවම කිසිවෙක් දැක නැති, ඇත්තටම කිවහොත් තවම හදා පවා නොමැති න්‍යාය පත්‍රයක් ගැනය.එහි අඩංගු තාක්ෂණික කරුණු ගැන මෙසේ අති විශ්වාසයෙකින් කතා කරන්නට නම් මොහුට අනිවාර්යෙන්ම කලු පූසෙක්ගේ සහය ලැබිය යුතුය.

ඇමෙරිකානු න්‍යාය පත්‍රයක් ගැන ඔහුට මෙසේ හෙලි කරන කලු පූසා කවුද?

 1989 න් පසු 2004  වනතෙක්ම සැඟවී සැක කටයුතු අතීතයක් ගත කල මොහුගේ කලු පුසා සීඅයි ඒ සංවිධානයද?

සොයා බැලිය යුතු කරුණකි. සියලු දේශප්‍රේමින්ගේ අවධානය පිණිසයි!

නැවත වතාවක් මහා දේශප්‍රේමි සැණකෙලියක් ඇරඹී තිබේ.

රූපවාහිනි නාලිකවල ගිනි විසි වෙන දේශප්‍රේමි කතා ඇසේ. ගුවන් විදුලි නාලිකාවල උදේ සිට රෑ වන තෙක් දේශප්‍රේමී ,දේශාභිමානි ගී ඇසෙන්නේ   70 ගණන් වල වගා සංග්‍රාම කාලයේ දේශාභිමානි ගී ඇසුනාමෙනි. ඒ කාලයේ සිටි පාලකයෝ උන් බාසුමති හාලේ බත් කද්දී ජනතාවට මඤොක්කා කැවූහ. වෙනසකට ඇත්තේ දැන් පාලකයින් ජනතාවට කවන්නේ ඊනියා දේශප්‍රේමයේ  වස මිශ්‍ර කල පිදුරු වීමයි.

ආණ්ඩුව ලබන 27 දා මහා දේශප්‍රේමී අරගලයක් සඳහා  ජනතාව වීථි වලට කැඳවමින් සිටියි.  ඒ වෙනුවෙන් වැ‍ටුප් සහීත නිවාඩු, නොමිලේ ප්‍රවාහන පහසුකම් හා බාගෙට කුණු වූ බත් පැකට් පමණක් නොව අරක්කුද යහමින් සැපයෙනු ඇත.

ඒ කුමකටද?

27දා ජීනිවාහි ඇරඹෙන මානව හිමිකම් කොමිසම් සභා සැසිවාරයේදී ලංකාව මතට න්‍යෂ්ඨික බෝම්බයක් හෙලීමට යෝජනාවක් සම්මත කර ගනියිද? එසේ නැත්නම් ලංකාව සුනුවිසුණු කරන හමුදා මෙහෙයුමකට බටහිර බලවතුන් සූදානම් වෙයිද?

එසේත් නැත්නම් වීරවංශලාගේ මුකරි කටවලින් කියන පරිදි ලංකාවේ ජනාධිපතිවරයා ඇතුලු නායකයින් කුදාලාගෙන ගොස් එල්ලීමට හෝ විදුලි පු‍ටුවේ යැවීමට පිඹුරුපත් සැකසෙමින් තිබේද?

මේ සියල්ලටම පිලිතුර නැත යන්න බව අපිටත් වඩා හොඳින් දන්නේ රාජපක්ෂලා හා වීරවංශලාය. ආර්ථික ක්ෂේත්‍රයේ ඔවුන් කියන ඕනෑම දෙයක් දෙකට නැමී පිලිගන්නා රාජපක්ෂලා එලවීමට බටහිර බලවතුන්ට කිසිම උවමනාවක් නැත.

මේ ජිනීවා සමුලුවේ සිදු වෙන්නට යන්නේ , ශ්‍රී ලංකා ආණ්ඩුව  විසින්ම පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසංස්කරණ කොමිසම විසි න් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඒ ආණ්ඩුවෙන්ම ඉල්ලීමයි. ඒ හැර ආණ්ඩුව පෙන්වීමට උත්සාහ දරන අන්දමේ මහා කුමණ්ත්‍රනයක් නැත. නමුත් ආණ්ඩුවට අවශ්‍ය එවැන්නක් කර ගැනීමට හෝ අඩුම තරමේ එවැනි කුමන්ත්‍රණයක් ඇති බවක් මෙරට ජනයාට පෙන්වීමටය.

මේ මහා දේශප්‍රේමි වලිප්පුව ඒ වෙනුවෙනි.

ආණ්ඩුවේ ඉහල සිට පහල දක්වා දෝරේ ගලන්නා වූ දූෂණය, වංචාව හා නාස්තියත් කළමනාකරණයේ නොහැකියාවත් නිසා දිනෙන් දින අගාධයට යන්නා වූ ආර්ථිකය හමුවේ නැග එන ජනතා විරෝධය  යටපත් කර ගැනීම සඳහා මේ අසමත් ආණ්ඩුවට වෙන විකල්පයක් නැත. ඔවුන් දන්නේ එපමණකි. දේශප්‍රේමය අලෙවි කිරීම පමණි.

මේ මානව හිමිකම් සභාවාරය එනතෙක් ආණ්ඩුව බලා සිටියේ නො ඉවසිල්ලෙනි. ඒ අන්කිසිවකට නොව එයට මුවා වී ඉතිහාසයේ කවර කලකටත් වඩා වූ ප්‍රතිශතයකින් ඉන්ධන මිල වැඩි කර ගැනීමටය. විදුලි මිල ගෑස් මිල වැඩි කර ගැනීමටය. හරියට කල් යල් බලා ජිනීවා සමුලුවට දින කිහිපයක් තියා මිල වැඩි කලේ  එබැවිනි. එවිට එම මිල වැඩි කිරීමට එරෙහි වන ජනතා හඬ විදුලි පු‍ටු හා කුමන්ත්‍රණ ගැන ගල් පැලෙන බේගල් කියා යටපත් කල හැකි බවට හොඳ හැටි ගනන්  බලාගෙනය.

එම නිසා මේ 27දා ජනතාව පාරට බැසීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පමණක් නොව ජනතාවද පල් මෝඩයන් බව නැවත වතාවක් ඔප්පු වීමයි. ඒ හැර  අන් දෙයක් නැත.