Posts Tagged ‘දුමින්ද සිල්වා’

 
දුමින්ද සිල්වාත් භාරත ලක්ෂ්මනුත් පසු ගිය දා කොලොන්නාවේදී පෙන්වන ලද මාරන්තික සංදර්ශනයෙන් පසු නැවත වතාවක් මනාප චන්ද ක්‍රමයේ හොඳ නරක ගැන කතා බහක් ඇති වී තිබේ.
 
මේ ගැන අදහස් දක්වන සියලු දෙනා කියන්නේ  සමානුපාතික චන්ද ක්‍රමයේ  හා මනාප කෙලියේ වරදින් මෙවැනි දේ , එනම් එකම පක්ෂයේ අපේක්ෂකයින් හා ආධාර කරුවන්  අතර මරා ගැනීම් සිදුවන බවයි.
 
 ඊට අමතරව මේ සමානුපාත ක්‍රමය නිසා අපේක්ෂකයින්ට දිස්ත්‍රික්කය හෝ එවැනි විශාල බල ප්‍රදේශයක මැතිවරණය කිරීමට සිදු වන නිසා මහා මුදලක් වැය කිරීමට සිදු වේ. ඒ නිසා දූෂණ වැඩි වේ. මේ සියල්ල නතර කිරීමට   මනාප සෙල්ලම වහාම නතර කර පැරණි ඒකල කොට්ඨාස චන්ද ක්‍රමයට නැවත යා යුතුය.අපේ රටේ සිටින පණ්ඩිතයින් කොලොන්නාව සිද්ධියෙන් ඉගෙන ගෙන ඇති පාඩම එයයි.
 
එහෙත් ඇට  මැස්සා  එය දකින්නේ වෙනස් විදියකටය.
 
දුමින්ද සිල්වාල, භාරතලා කොහොමටත් මැරයින්ය. මේ එකම පක්ෂයේ සිටින මැරයින් එකිනෙකා මරා ගන්නේ මනාප ක්‍රමය නිසාය. මනාප ක්‍රමය නොතිබුනා කියා මුංගේ මැරකම් අඩු වෙන්නේවත් අඩු කරන්නේවත්, චන්දය දාට සිල් ගන්නේවත්  නැත. පැරණි ඒකල කොට්ඨාස ක්‍රමයට මැතිවරණය තිබුණා නම් මුං දෙගොල්ලොම එකතු වී මේ අකාරයට ගිනි බිඳින්නේ විපක්ෂ වල අපේක්ෂකයින්ට හා උන්ගේ ආධාර කරුවන්ටය.
 
හැබැයි දැන් මනාප ක්‍රමයට පිං සිද්ද වෙන්නට මරා ගන්නේ උනුන්මය. විපක්ෂ ආධාර කරුවන්ට යම්තම් පණ කෙන්ද ‍රැක ගෙන සිටිය හැක. නැත්නම් අඩු වශයෙන් උන් ගැන යෙදීමට ඇති ශක්තියෙන් භාගයක් වත් තමන්ගෙම පක්ෂයේ උන් මැරීමට හා පහර දීමට වැය කරන නිසා කෙසේ හෝ චන්දය කල හැක.
 
දුමින්දලා භාරතලා මරා ගන්නේත් , වීරවංශලා , කඩුවෙල  බුද්ධදාසලා එකෙනිකාගේ බෙලි කපා ගන්නේත් , තමන්ගේ මනාප හොරකම් කලා යැයි සුසන්තිකාලා, බුද්ධදාසලා, මුතුහෙට්ටිලා කුණුහරුප කියමින් තම පිලේ උන්ටම බනින්නෙත් මේ මනාප ක්‍රමය නිසා නොවේද?
ඉතින් රට කන මුං එකිනෙකා මරා ගැනීමට ඉඩ සලසන මනාප  ක්‍රමය හොඳද නැත්ද? ඔබම තීරණයක් ගන්න.
 
 
පසුගියදා මුල්ලේරියාවේ දී සිදු වූ සිදු වීම වෙස් වලා පැමිණි ආශිර්වාදයක් සේ තමා සළකන බව දුමින්ද තුමාණෝ ජයවර්ධනපුර රෝහලේ සිට නාථ දෙවියන් මගින්  මාධ්‍ය වෙත  එවූ පණිවිඩයක සඳහන් වේ. එම පණිවිඩය සම්පූර්ණයෙන්ම පහත දැක්වේ.
 
” පසු ගිය ඔක්‍තෝබර් අට වෙනිදා මුල්ලේරියාවේ දී වූ සිද්ධිය ගැන නොයෙක් කටකථා පැතිර යමින් තිබෙන බව මා හට දැන ගන්නට ලැබී තිබේ. ඒ කථා සියල්ල අමූලික බොරු බව කිව යුතුය. ලක්ෂ්මන් මැති තුමා හා මා අතර කිසි අමනාපයක් තිබුනේ නැත. මගේ දේශපාලන ජීවිතයේ විසඳා ගැනීමට නොහැකිව තිබූ ලොකුම ප්‍රශ්නය විසඳා දුන්නේ එතුමාය. එතුමා මගේ විරුද්ධවාදියෙක් නම් එසේ කරයිද? ඇත්තෙන්ම එතුමා මගේ මිත්‍රයෙක් බව එදා සිදු වීමෙන් තවත් තහවුරු වුනේය.
 
එදා සිද්ධියේදී මගේ මොළය හරහා වෙඩි උණ්ඩ දෙකක් ගමන් කළ බව දැන් ලෝකයම දන්නා කාරණයකි.  එතුමා මට කළ ලොකුම උදව්ව එයයි.
 
මගේ මොළය හරහා වෙඩි උණ්ඩ ගමන් කළා යැයි ලෝකය දැන ගන්නා විට ඒ සමග ඔවුන් දැන ගන්නා අනිත්  කාරණය නම් මට මොළයක්ද  තිබෙන බවයි. මට මේ තාක් ඔප්පු කරගන්නට බැරිව සිටි කරුණක් ඔප්පු  කර දීම  ගැන මම එතුමාට මුලු හදින්ම ස්තූතිවන්ත වෙමි.

එතුමාටත් ඒ උදව්ව කර දීමට නොහැකි වීම ගැන මම අවංකවම කණගා‍ටු වෙමි.

මගේ ශරීරයේ ඇත්තේ මාංශපේශී පමණක් යැයි කියූ අයගේ කටවල් දැන් වැසී යනු ඇත.

 මට මොලයක්ද තිබේ. ඒ ගැන කිසිදු සැකයක් නැත.
 
ජය වේවා,

ඔබට සුභ අනාගතයක්

මීට

දු. සිල්. වා

ප.ලි.- ඔබට මේ ගැන තවම විශ්වාස නැත්නම් ජයවර්ධනපුර රෝහලේ ඇති මගේ මොලයේ සීටී ස්කෑන් පිංතූර පරික්ෂා කර බලා සැක දුරු කර ගන්න.