Posts Tagged ‘දිමුතු ආටිගල’

chained-handsකුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල නිල හෝ නොනිල අවි ගත් පිරිසක් විසින් පැහැර ගත් සිදුවීම් මාලාව අවසන්ය. අපද ඇතුලු බොහෝ දෙනෙකුන් විසින් බරපතල ඛේදවාචකයක් වේ යැයි සිතු එම සිදු වීම් පෙල , ජාතිකව මෙන්ම ජාත්‍යන්තරවද කරන ලද බරපතල බලපෑම් හමුවේ පැහැරගත්තවුන්ට දණ ගැසීමට සිදු වීමෙන් කෙළවර විය.

දැන් එම සිදු වීම් ගැන ලක්ෂ්මන් යාපා බඳු විකටයින් ජනතාව ඉදිරියට එවා නොයෙක් විහිලු කතා කියවමින් තිබේ.

කුමාර් ගුණරත්නම් ලංකාවට පමිණි දා සිට ඔහුව සොයමින් සිටි ආණ්ඩුව , ඔහුගේ බිරිඳට  හා දරුවන්ට  පවා තාඩන පීඩන කරමින් ඔහුව සෙවූ ආණ්ඩුව ඔහු දෙමටගොඩ පොලිසියට පැමිණ තමන්ට ඕස්ට්‍රේලියාවට යන්නට ඕනෑ යැයි කියු විගස ගුවන් තො‍ටුපොල්ට ගෙන ගොස් ඕස්ට්‍රේලියාවට යවයි.අඩුම තරමේ මහා ගාල ගෝටියක් ඇති කල ඔහුගේ පැහැරගැනීම ගැනවත්, මහ ලොකුවට කතා කල ඔහුගේ හොර පාස්පෝර්ට් ගැනවත් අඩුම තරමේ ප්‍රකාශයක් කර නොගෙනය. මෙවැනි කතා විශ්වාස කරන්නේ අපේ ආණ්ඩුවේ අති ජාත මිත්‍රවරුන් වන චීනුන් පමණි. එයද කොණ්ඩේ බැඳපු චීනුන්ය.

නමුත් ප්‍රශ්නය එතැනින් අවසන් නොවේ. කුමාර් ,දිමුතු සිද්ධියේදී ආණ්ඩුවට ජාත්‍යන්තරය හමුවේ දණ ගැසීමට සිදු  වීම මහත් ලජ්ජාවක් විය. තමන් මිනිසුන් පැහැර ගෙන යන්නවුන් බව හෙලි වීම නිසා මහත් සේ අවමානයට පත් විය. තමන් පත් වූ මෙම ලජ්ජාවත් අවමානයත් නිසා ඔවුන් මහත් සේ කිපී සිටිති. ඔවුන් එම තරහ පිට   කරනු ඇත්තේ තමන්ට එරෙහි ව නැගී සිටින ජනතාවගෙනි. විශේෂයෙන්ම පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයේ සාමාජිකයින් හා නායකයින් ඔවුන්ගේ ඉලක්ක වනු ඇත. ඊයේ හා  අද තමන් පොලිසීයේ  යැයි කියා ගත් පිරිස් එම පක්ෂයේ සාමාජිකයන්ගේ නීවෙස් වලට ගොස් තර්ජනය කර ඇතැයි වාර්තා  වී තිබිණි.

එම නිසා කුමාර් ගුණරත්නම් සිදු වීම එතැනින් අමතක කර නොදමා , ඒ ඇති කරන ලද පීඩනය දිගටම පවත්වා ගත යුතුය. මෙම අවනීතික පැහැරගැනීම් වලට එරෙහිව රට තුල මෙන්ම ඉන් පිටතත් ප්‍රබල හඬක් නැංවිය යුතුය. එය හුදකලාව කල හැකි දෙයක්ද නොවේ. සියලු මිතුරු බලවේග එකට එක්කාසු වී කල යුතු දෙයකි. ශ්‍රී ලංකාවේ  මිනිස්  නිදහස ආරක්ෂා කරගත හැක්කේ එමගින් පමණි.

army_kumar_dimuthu

මොන ගහට කෙ‍ටුවත් කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටූ දාට ඇණ ගන්නේය. ඒ උගේ හොට කෙහෙල් ගහේ පැටලෙන නිසාය.

දැන් කොට්ටෝරුවා දෙපාරක්ම කෙහෙල් ගස් වලට කොටා හොට පටලා ගත්තේය.

පලමු පාර කොලොන්නාවේදීය.  එදා ඌ අහු උනේ කොට්ටෝරුවා එනකම් කෙහෙල් ගහ බලා හිටි නිසාය.

තේරෙන භාෂාවෙන් කිවහොත් වැල්ලම්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැහැරගැනීම ව්‍යවර්ථ වුනේ ඔහුගේ පරීක්ෂාකාරිත්වයත් පැහැර ගැනීමට පැමිණි වුන් ගේ ආයුද අබිබවා යා හැකි මිනිසුන් පිරිසක් එදා  සභාපතිවරයා අසල සිටි නිසාය. එම නිසා පැහැර ගැනීමට පැමිණි උන්ට ගුටි දී උන්ව පොලිසියට භාර දීමට ඔවුනට හැකි විය. පසුව ගල් පැලෙන බොරු තොගයක් කියා උන්ව බේරාගෙන ගිය බව වෙනම කතාවකි.

කොට්ටෝරුවා දෙවැනි වතාවට පටලවා ගත්තේ කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගෙන යාමෙනි. එසේ පටලවා ගැනීමට සිදු වූයේ කුමාර්ගේ ඕස්ට්‍රේලියන් පුරවැසි භාවය නිසා මිස වෙන හේතුවක් නොවේ. ඕස්ට්‍රේලියන් රජය එල්ල කල දැඩි පීඩනය හමුවේ හකුලා ගැනීමට කොට්ටෝරුවන්ට සිදු විය.දිමුතු ආටිගලපැහැර ගත්තේ කුමාර් සමගම නිසා ඇයද ඒ සමගම නිදහස් කිරීමට සිදු විය.

යම්හෙයකින් කුමාර්ට ඕස්ට්‍රේලියන් පුරවැසි බව නොතිබුනා නම් ඔවුන්ට අත් විය හැකි ව තිබූ ඉරණම භයානක එකක් වන්නට ඉඩ තිබුනි.

ප්‍රශ්නය එයයි. ඕස්ට්‍රේලියන් හෝ වෙනත් එවැනි  බලගතු රටක පුරවැසි භාවය හෝ තමන් වටේ මැරවරයින් 20ක් තිහක් නැති මිනිසුන් හෝ මේ කොට්ටෝරුවන්ගෙන් බේරෙන්නේ කෙසේද යන්නයි.

ප්‍රේමකුමාර් ගුණරත්නම් හා  දිමුතු ආටිගල දෙදෙනා අතුරුදහන් කර තිබේ.  ඒ ඔවුන්ගේ  නව පක්ෂය ,පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂය එලි දක්වන්නට පැය 48කටත් නො අඩු කාලයක් ඉතිරිව තිබියදීය.

ප්‍රේමකුමාර් ඇතුලු කණ්ඩායම ජවිපෙන් කැඩී වෙනම ගමනක් ඇරඹු දා සිට ආණ්ඩුව, වීරවංශ ඇතුලු ජාතිවාදි නඩය පමණක් නොව ලංකා ඊ නිව්ස් වැනි විපක්ෂයට හිතවත් යැයි පෙන්නුම් කරන උදවිය පවා ඔවුන්ගේ  රුධිරය ඉල්ලමින් සිටියහ. විශේෂයෙන්ම ඔවුන්ගේ ඉලක්කයක් බවට පත් වූයේ දෙමල සම්භවයක් ඇති ප්‍රේමකුමාර්ය.දැන් මේ සියලු ඉල්ලීම් සපුරමින් කුමාර් හා දිමුතු පැහැරගෙන ගොස් තිබේ.

මෙය බරපතල තත්වයකි. මීට ප්‍රථමයෙන් මේ ආකාරයට සාක්ෂි නොමැතිව පැහැර ගත් ප්‍රගීත් එක්නැලිගොඩ, ලලිත් හා කුගන් වැන්නවුන් ගැනද  තවම තොරතුරක් නැත.ඔවුන්ගේ ජීවිත ගැන පවා විශ්වාසයක් නැත. එහෙත් ඊනියා දේශප්‍රේමයෙන් මුසපත් වූ සමාජය ඔවුන් ගැන නිහඬව සිටිනවා පමණක් නොව නොයෙක් අවලාද නගමින් ඔවුන්ට අපහාස කරනුද පෙනේ.

මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ පොලීසිය විසින් ඔවුන් අත් අඩංගුවට ගෙන නැති බවයි. අප හොඳින් වටහා ගත යුත්තේ ඔහු කතා කරන්නේ පොලීසිය ගැන පමණක්  බවයි. එනම් නිල හෝ නොනිල වෙනත් අයවලුන් විසින් මේ අත් අඩංගුවට ගැනීම කිරීමට ඉඩ ඇති බව ඔහු නොකියා පිලි ගනියි.

අත් අඩංගුවට ගත් බව ප්‍රතික්ෂේප කිරීම තුලින් පෙනෙන්නේ කුමාර්ලාගේ ජීවිත අනතුරේ බවයි. ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට නම් ක්ෂණික හා ප්‍රබල මැදිහත් වීමක් කල යුතුව තිබේ.