Posts Tagged ‘ජංගම දුරකථන’

සිංහල ජාති මාමක දේශප්‍රේමියෙක් වන චම්පික ඇමති තුමා මාර පොරකි. එතුමා තමන් භාර ගන්න හැම අමාත්‍යාංශයෙන්ම ලාබ  පෙන්වා ලොක්කා ගෙන් ලකුනු දා ගන්නට උපන් හපනෙකි.

ඒ තුමා පරිසර අමාත්‍යාංශය භාරව සිටි කාලයේ කොතරම් ලාබ ඉපැද්දූ යේ දැයි කිව්වොත් පරිසර අමාත්‍යාංශය , පරිසර හා දේශීය ආදායම් අමාත්‍යාංශය ලෙස නැවත නම් කිරීමට පවා සමහරු යෝජනා කලෝය.

ඒ කාලයේ එතුමා  කල හපන් කම් නිසා අද දිනයේ ඕනෑම ජංගම දුරකථන බිල් පතකින් තුනෙන් එකක් පමණ බදු මුදල්ය. ඒ බදු අය කරන්නේ ජංගම දුරකථන වලින් පරිසරයට වන හානිය පියවා ගන්නටලු. . එහෙත් එලෙස අය කරනබදු වලින් පරිසරයට කරන කෙහෙම්මලක් නම් පේන්නට නැත.

ඒ අනුව අපට පෙනී යන්නේ එම මුදලුත්  රාජ කුමාරවරුන් බැංකු අධිපතියන් හා එක්ව තරු පහේ හෝටල්වල කරන කෝච්චි සවාරි හා රාත්‍රී මෝටර් කාර් රේස් තරඟ පැවත්වීමට වියදම් කරන බවයි.

ඉතින් එවන් වූ දේශප්‍රේමි චම්පික ඇමතිතුමා දැන් එතුමාගේ පාලනය යටතේ තිබෙන විදුලි බිලෙන්ද සෙල්ලම් පෙන්වීමට පටන් ගෙන තිබේ.

එතුමාගේ එකම අපේක්ෂාව ලොක්කාගේ පුතුන්ට පොකට් මනි හොයා දීම නොවැ.

එම අපේක්ෂාව වෙනුවෙන් දැන් එතුමා මෙතෙක් කල් ඒකක 90 දක්වා වූ සහනය ඒකක 30 දක්වා අඩු කිරීමට සැරසෙයි.

 මං හිතන්නේ ඒක ගෙවන්ට වෙන්ටෑ අර අය වැයේදී මහා සද්දයක් දාලා මේස වලට තට්‍ටු කරලා එහෙම 10% ක් එල්ලුවේ.

ඒ විතරක් නෙවේ , දැන් යම්තම් බිල රුපියල් දාහ පනින කොට ඇවිල්ලා විදුලිය කපලා යනවා. ඇයි එතකොට ආපහු සම්බන්දේ දෙන කොට තව වැඩි පුර ගානක් කපා ගන්ට පුලුවන්නේ.

මොනවා කරලා හරි බේබි හාමුලාට රේස් කාර් පදින්න සල්ලි ටිකක් හොයලා දීලා ලොක්කගේ හොඳ පොතට නම දාගන්න එපැයි නේද.

සටහන- පහුගිය දවස් වල චම්පික තුමාත් ඇතුලුව ලොක්කෝ හැමෝම පම්පෝරි ගැහුවා ගල් අඟුරු බලාගාරේ හැදුවාම විදුලි ප්‍රශ්නේ ඔක්කොම ඉවරයි කියලා. ඒ මදිවාට එතුමා කීවා විදුලියෙන් අච්චරක් ලාබයි මෙච්චරක් ලාබයි කියලා. දැන් ඒ නරි වාදම් වේට්ටිය  පල්ලෙන් බේරෙනවා වගේ නේද?

Advertisements

ලංකාවේ ජන මාධ්‍යට එරෙහිව මහා මර්ධනයක් තියෙනවා යැයි කියන මතය , ආයෙත් සැරයක් සමාජයේ උඩට ඇවිල්ලා, සියතට එල්ල වුනු මැර ප්‍රහාරයත් එක්ක.

ඇත්තටම එහෙම මර්ධනයක් තියෙනවාද ?

ජනමාධ්‍ය මර්ධනයක් තියෙන්න නම් ජනමාධ්‍ය තියෙන්න ඕනේ. ඒත් ලංකාවේ තියෙන්නේ ආණ්ඩුවෙන් ලැබෙන දැන්වීම් ටික වෙනුවෙන් ආණ්ඩුව කියන ඕනෙම දෙයක් කරන , ආණ්ඩුවේ කුණු රෙදි හෝදන ලොන්ඩරි මිසක් ජන මාධ්‍ය නෙවේ.

ඒ වගේම තමා අරක්කු වීදුරුවට ,බත් පාර්සලේට ඕනෑම දහදුරා වැඩක් කරන්න බලාගෙන ඉන්න ලියන අප්පුලා මිසක් ලංකාවේ මාධ්‍යවේදියොත් නැහැ. ( බොහොම අතලොස්සක් ඉන්නවා-අතේ ඇඟිලි ගානට )

එතකොට සියතට ගැහුවේ? සියත කියන්නෙත් ඒ ජාතියේම තවත් කුණු ගොඩක් විතරයි. අනෙක් ජනමාධ්‍ය කරන දේම සියතට ත් බොහොම අපූරුවට කර ගෙන ඉන්න තිබුනා පහු ගිය ජනාධිපතිවරණයේදී බරපතල විදියට ගණන් වරද්දගෙන සරත් ෆොන්සේකා පස්සේ නොගියා නම්.

 ලංකාවේ පිරිහුණු ජනමාධ්‍යවලට තියෙන හොඳම උදාහරණේ තමා ස්වර්ණවාහිනිය . මේ නාලිකාව තනිකරම ජීවත් වෙන්නේ මළමිනී විකුණලා. ලංකාවේ කොයි හතර දිග්බාගේ මරණයක් වුනත් , ඒක විකුණා ගන්න පුළුවන් නම් , තමන්ගේ ප්‍රවෘත්ති මැදිරියට ඒක උස්ස ගෙන ඇවිත් අඬ අඬ විකුණන හැටි බලා ගෙන ඉන්න අප්‍රසන්නයි.

ස්වර්ණවාහිනිය දීන බවේ කොයි තරම් අන්තයකට ගිහිල්ල ඉන්නවද කියලා තේරුම් ගන්න පුළුවන් ප්‍රවෘත්තියක් ඊයේ පෙරේදා ඒ ගොල්ලෝ පෙන්නුවා.

ඒක ජංගම දුරකථන ගාස්තු ගැන මෑතක වුනු වෙනස් වීම් ගැන ප්‍රවෘත්තියක්. ඒ ප්‍රවෘත්තිය ඉදිරිපත් කල හරින්ද්‍ර ජයලාල් උත්සාහ කලේ , විදුලි සංදේශන නියාමන කොමිසම , ජංගම දුරකථන සඳහා අවම ගාස්තුවක් නියම කරපු ඒක සාධාරණයි කියලා පෙන්වන්න.

මුලින්ම ඔහු කියනවා TRC එක මේ වැඩේ කලේ තරඟකාරීත්වය නිසා පාඩු ලබන දුරකථන සමාගම් බේරාගන්න කියලා. ඊ ලඟට ඒ කටින්ම කියනවා මේ විදියට අවම ගාස්තුවක් නියම කරාම එකෙන් වාසි වෙන්නේ පාරිභෝගිකයන්ට කියලා. ඔහු කියනවා ආණ්ඩුව කරපු මේ වැඩේ නිසා දුරකථන සමාගම් වලට හිතු හිතු ගාස්තු අය කරන්න බැහැ කියලා.

මේක ඔප්පු කරන්න ඩයලොග් සමාගමෙන් අල්ල ගත්තු ගොබිලෙකුයි , මහා ජනතාව කියලා හඳුන්වා දුන් මැටි මෝල්ලු කීප දෙනෙකුයි යොදා ගත්තා. මේ අපුරු ජහමනයා රජයට ස්තුති කරනවා අවම මිලක් නියම කරලා තමන්ව සමාගම් වල ගසා කෑමෙන් බේරා ගත්තු එක ගැන. ඒ වගේම ඒ පියවර තමන්ට ලොකු සහනයක්ලු.

දැන් ස්වර්ණ වාහිනියට අනුව භාණ්ඩයකට අවම මිලක් නියම කිරීම ජනතාවට වාසියක්. එතකොට උපරිම මිලක් නියම කරලා මීට වඩා මිලකට විකුනන්න බැහැ කියන කොට එක  ජනතාවට අවාසියි. අම්මප මුන් ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන තියෙන්නේ බන්දුල ගුණවර්දනගේ ටියුෂන් වලින්ම වෙන්න ඕනේ.

රජය ගත්තු මේ තීරණය නිසා ජනතාවගේ සාක්කු සුද්ද වෙන බව කියන්න කොන්දක් නැත්නම් මුකුත් නොකියා නිකම් නොඉඳ මේ විදියට ජනතාව රවට්ටන එක මොන තරම් කාලකන්නි වැඩක්ද?

මේකේ හොඳම හරිය එන්නේ ඊට පහු වෙනිදා ප්‍රවෘත්ති ප්‍රකාශයේ.

එදා මේ උන්නැහේල කියනවා TRC එකේ තීරණය විරුද්ධව දුරකථන සමාගමක් පවරපු නඩුව පරාදයි කියලා.

 ඊ ලඟට මේ නිවේදකයා මෙහෙම කියනවා.

” දැන් මෙරට පාරිභෝගික ජනතාවට , රජය විසින් ලබා දුන් ඒ වාසිය කිසි බාධා කිරීමකින් තොරව භුක්ති විඳිය හැක ”

ඉතින් මම අහන්නේ මේ වගේ මාධ්‍ය මොකටද මර්ධනය කරන්නේ.

මේවා වර්ධනය කරන්න නේ ඕනේ.