Posts Tagged ‘චීනය’

ලබන සතියේ ජීනිවා මානව හිමිකම් කොමිසම ‍රැස්වෙන්නට තිබෙන අතරේ මේ සතියේදී ආණ්ඩුව ජාත්‍යන්තරව මාර පරාජයන් දෙකක්ම ලැබුවේය.

ආණ්ඩුව විසින් පසුගිය දවස් වල මහත් සේ උඩ දමමින් අගය කල ශවේන්ද්‍ර සිල්වාට ලැබුනු එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා කටයුතු පිලිබඳ උපදේශක කොමිටියේ සාමාජිකත්වය එහි ආරම්භක ‍රැස්වීමේදීම අහෝසි කර දැමීම ඉන් පලමු වැන්නයි.

මෙයින් අන්ද මන්දව සිටින ආණ්ඩුවේ හො‍රැනෑ මේ ගැන  ජනතාවට  කියන්නෙ මොනවාදැයි තවමත් කල්පනා කරමින් සිටින බවක් පෙනේ.

ඒත් සමග සිදු වූ අනිත් පරාජය නම් ආණ්ඩුව විසින් වසර දෙකක් තිස්සේ සිර කරගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවෙකු බවට පිලි ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කිරීමයි.

මෙම තත්වය තුල පෙනී යන්නේ 27 දා ආරම්භ වෙන මානව හිමිකම් කොමිසම් සභා වාරය ශ්‍රී ලංකාවට ගුණදායක නොවන බවයි.

රොබර්ටෝ බ්ලේක් පසු ගියදා ශ්‍රී ලංකාවටම පැමිණ ප්‍රසිද්ධීයේ ම කියා සිටියේ එයයි.

දැන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යමින් ෆොන්සේකා ප්‍රමුඛ ද්‍රෝහීන් කල  දේශද්‍රෝහි ක්‍රියාවට බැට දීම සඳහා වීරවංශලා හෙට අනිද්දා වේදිකා මත තප්පුලද්දි ගුනදාස අමරසේකරලාට  බටහිර කුමන්ත්‍රණ ගැන කියමින් නැවත වතාවක් පත්තර පි‍ටු ගනන් ලිවිය හැක.

ඉන්ධන මිල ඉහල දැමීමත් ඒ සමග ජීවන වියදම අහස උසට නැගීමත් නිසා ශීඝ්‍රයෙන් පිරිහෙන තම ජනප්‍රියතාව මෙම සිදු වීම් උපයෝගි කරගෙන රඳවා ගන්නට එම කුලී කරුවන් යොදා ගෙන ආණ්ඩුව උත්සාහ කරනු ඇත.

මේ ආණ්ඩුව සෑම විටම කලේ එයයි. ජාත්‍යන්තර වශයෙන් එන බලපෑම් රාජ්‍යතන්ත්‍රික මට්ටමින්  විසඳා ගන්නවා වෙනුවට එම සිදු වීම් රට තුල බාල ජනප්‍රියතාව ඇති කර ගැනීම සඳහා භාවිතා කිරීමයි.

මේ තාක් කල් එය යම් පමණකට  හෝ සාර්ථක වූයේ යුද ජයග්‍රහණයේ රස්නයත්  ඒ නිසාම ආර්ථික අමාරු කම් කෙසේ හෝ පිරි මහගැනීමට ජනයා කැප වීමත් නිසාය.

එහෙත් දැන් තත්වය වෙනස් වෙමින් තිබේ.

වීරවංශලා කොතරම් මොර දුන්නත් යුද ජයග්‍රහණ වේගයෙන් අතීතයට ඇදී යමින් පවතී. එසේම දීනෙන් දින වැඩි වන ජීවන බර දැනටම දරා ගත නොහැකි මට්ටම පැන ඇත. ඒ අතර තත්වය තවත් අමාරු කරමින් නෙලුම් කූලුනු වලට ප්‍රමුඛත්වය ලැබෙන්නේ ගම්බද පාසැල් සිය ගනනින් වැසී යද්දීය.රටේ මුලු මහත් ජනතාවම දේශප්‍රේමි ඇස් බැන්දුම් වලින් ‍රැවටිය හැකි මෝඩයන් නොවන බව ලඟ ලඟ දෙවතාවක්ම මේ රටේ ජනයා පෙන්වා තිබේ. ඒ විශ්‍රාම වැ‍ටුප් පනත් අරගලයේදී හා හලාවත ධීවර සටනේදීය.

ජීවන වියදම වෙනුවෙන් ඉදිරියේදී සටන් අනිවාර්ය වෙනු ඇති  අතර විශ්ව විද්‍යාල සේවකයෝ ඊයේ සිටම සටනේය.

ඒ අනුව ඉදිරි කාලයේ ආණ්ඩුවට බාහිර හා අභ්‍යන්තර වශයෙන් පෙරමුණු දෙකක සටන් කිරීමට සිදු වනු ඇත.

ජාත්‍යන්තර තලයේදී ආණ්ඩුවේ හැසිරීම නරක් වුවහොත් සම්බාදක පැනවීමක් දක්වා ඔවුන් යා හැකි අතර එවිට රට ඇතුලත සටනද වේගවත් වනු ඇත.

අනිත් අතින් අභ්‍යන්තර සටන්   මත මර්ධනය දියත් කලහොත් , එවිට නැවත වතාවක් ජාත්‍යන්තරය තුල ආණ්ඩුව හුදකලා වනු ඇත.

ආණ්ඩුවේ හා රාජපක්ෂලාගේ පාලනය රඳා පවතිනු ඇත්තේ මෙම පෙරමුණු දෙක තුලම ඔවුන් කොතරම් රාජ්‍ය තාන්ත්‍රික ලෙස හැසිරෙනවාද යන්න මතය.

දැනට පෙනෙන්නට තිබෙන ආකාරයට නම් ඔවුන්ගේ හැසිරීමට දිය හැක්කේ ලකුණු බිංදුවකි.

Advertisements

අපේ රටට ජාත්‍යන්තරව සිටින්නේ ඉතා සුළු මිත්‍රයින් ගණනක්ය.  ඒ අපේ පාලකයින්ගේ ඔල මොට්ටල කම් වලට පිං සිද්ද වෙන්නටය.රුසියාව ,චීනය, ඉරානය හා ටික කාලෙකට  කලින් නම් ලිබියාවත් අපේ අතිජාත  මිත්‍රයින්ය. නැත්නම් එහෙම හිතාගෙන ඉන්නවාය.

මේ අයගෙන් චීනයත් රුසියාවත් අපේ මිත්‍රයින් වී ඉන්නේ අපට ඇති ආදරයකට නොව ඔවුන්ගේ ව්‍යාපාරික වුවමනා එපා කම් වෙනුවෙන් බව නොදන්නේ අපේ රටේ සිටින දේශප්‍රේමින් පමණක්ය.  ගිනිකන පොලී මුදලාලි කෙනෙකුන් වන චීනය අධික පොලියට ණය දී අපිව සූරා කන්නේය. ඒ අතර රුසියාව අපේ මුහුදු තීරයේ ඇතැයි කියන තෙල් සම්පතට කෙල හලමින් සිටින්නේ මස් කට්ටක් දු‍ටු  බල්ලෙකු පරිදිය.

ඒකාධිපති ,මානව විරෝධී ,නායකයන් සිටින  ඉරානය වැනි රටවල් අපව ආශ්‍රය කරන්නේ ඔවුන්ටද අපට වී ඇති සන්තෑසියම වී ඇති නිසාය. එනම් ඔවුනටද වෙන මිත්‍රයන්  නැති නිසාය.

ඉතින් අපිට සිටින මේ මිත්‍රයින්  සුලු පිරිස ගැන අපේ දේශප්‍රේමින් හා දේශහිතෛෂීන් හරියට වද වෙනවාය. ඔවුන්ට මොනවා හරි කරදරයක් වුනොත් ඒක අපිට වූ කරදරයක් වගේ පත්තර වලටත් , සඟරා වලටත් ලියනවාය. රූපවාහිනියෙ, ගුවන් විදුලියෙන් පැය ගනන් කඳුලු හලනවාය.

ලංකාවේ ඉඳගෙන දිවයින පත්තරයටයි වීරවංශ ඇමත්තාගේ ලංකා සී නිව්ස් වෙබ් අඩවියටයි  ලිපි ලියා තම මිත්‍රයින් බේරා ගන්නට පුලුවන් යැයි මේ දේශහිතෛෂී මහත්වරු  හිතයි . පහු ගියදා ලිබියාවේ ගඩා‍ෆි නම් අපේ අති ජාත සුපිරි මිත්‍රයාට පහර වැදෙන කොට ඒ මහත්වරු මෙහෙ ඉඳගෙන ලියපු ලිපිවල තිබුනේ එහෙමය.

ගඩා‍ෆිගේ හමුදාවලට දුවන්නට වදිත්දීත් අපේ දේශහිතෛෂී දොස්තර මහත්තුරු අපිට කිව්වේ ගඩා‍ෆිගේ හමුදා බෙංගාසි කැරලිකාරයින්ට එලවා එලවා ගහනවා කියලාය. සදාම්ට කරපු දේ ගඩා‍ෆිට කරන්න බැරි බවය. අපේ දේශප්‍රේමී මහත්තුරු මොනවා ප්‍රාර්ථනා කලත් අන්තීමේදී ගඩා‍ෆි කාණුවක් පල්ලේ සිට අහුවී මලේය. සී නිව්ස් එකටවත් දිවයින මුදලාලිටවත් ගඩා‍ෆි බේරා ගන්ට ඇඟිල්ලක්වත් උස්සා ගන්ට බැරි වුනේය.

ගඩා‍ෆිත් නැති එකේ මේ ගොල්ලන්ගේ දැන් උත්සාහය රුසියාවේ ජාවාරම්කාර ජාතිකවාදි නායකයා වන පුටින්ට කුමක් හෝ සහයෝගයක් දෙන්නටය. ඒකත් අර ගඩා‍ෆිට දුන් සහය වගේමය. සමහර වෙලාවට මේ වැඩේ මේගොල්ලෝ කරන්නේ ස්වයං වින්දනයට වෙන්නත් පුලුවන්ය.
පහුගියදා පැවති රුසියානු මැතිවරණයේ ප්‍රථිපල වීරවංශගේ වෙබ් අඩවිය වාර්තා කරල තිබුනේ ” රුසියානුවෝ ලෝකයක පැතුම ඉ‍ටු කරති, පුටින්ගේ පක්ෂයට විශිෂ්ඨ ජයක්” කියලා.සී නිව්ස් කට්ටියට ඒ ප්‍රථිපලය පුටින් විශිෂ්ට ජයක් වගේ  පෙනුනට මුලු ලොකේම දැක්කා ඒ චන්දේදී පුටින් ශීඝ්‍රයෙන් පසු බැහැලා තියෙන බව. 2007 අවුරුද්දේ 64% වුනු පුටින්ගේ පක්ෂයේ චන්ද ප්‍රතිශතය මේ සැරේ 50% දක්වා අඩු වෙලා. ඒ ප්‍රතිපලයත් අරගෙන තියෙන්නේ මැර බලය හා චන්ද දූෂණ වලින් කියලයි විපක්ෂය කියන්නේ. ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පල්ලම් බහින පුටින්ට අපේ දේශප්‍රේමියෝ උදව් කරන්නේ එහෙමයි. අපිට ඉතිරි වෙලා ඉන්න යාලු මිත්‍රයෝ කීප දෙනා ගේ ප්‍රතිරූපය ආරක්ෂා කරගන්න එපාය, මොනවා උනත්.

ඒක නිසා ලබන සතීයේ දිවයින පත්තරේට දේශහිතෛෂී දොස්තර මහත්තුරු ලියයි  පුටින්ගේ  ඓතිහාසික ජයග්‍රහණය හා ඒකෙන් බටහිර කුමන්ත්‍රණ කාරයින්ට සිද්ද වෙන හානිය ගැන වගේ දේවල් , ගිය සැරේ ගත්ත 64% වඩා මේ සැරේ ගත්ත 50%  වටින්නේ කොහොමද වගේ දේවල් .පුටින්  රුසියාව ඇතුලේ තමන්ගේ නම සවුත්තු කර ගත්තත් මෙහෙ ඉන්න අපෙ දේශප්‍රේමින්ගේ ගෝල බාලයින්ට ඒ වග දැන ගන්න අරින්න බැහැනේ .  අපිට කියලා ආයේ මහ ගොඩක්  යාලුවෝ  ඉන්නවයැ.ඉන්න එවුන් ටික දෙනා හොඳ හයිය හත්තිය තියෙන පොරවල් කියලා පෙන්නන්න ඕනේ.

සටහන- දේශප්‍රේමින් දේශහිතෛෂීන් එහෙම වැඩ කරන එක පුදුම වෙන්නදෙයකුත් නැහැ, අපේ සමහර වාමංශිකයෝ මේ මැතිවරණ ප්‍රතිපලය විග්‍රහ කරන විදියට. ජනතා විමුක්ති පෙරමුණේ වාම කණ්ඩායම්ට අයිති  ජනරළ පත්තරේ මේ ගැන ලියපු වාර්තාවේ නම ” පුටින් පහළට- වම ඉහළට ” කියලා. මේ කියන්නේ ගෙනාඩි ෂුගානොව්ගේ රුසියන් කොමියුනිස්ට් පක්ෂය මේ චන්දේදී ආසන 92 ක් ලබා ගැනීම. ගිය පාර ගත්ත 57 ට වඩා ඉදිරියට ගිහින්. කෙරෙන්ස්කිටත් වඩා දකුණෙන් ඉන්න ෂුගානොව්ගේ ජය වමේ ජයක් කියලා හිතනවා නම් වමේ සහෝදරවරුන්ටත් අපිට කියන්න තියෙන්නේ සොරි මල්ලි ,කියලා.

“විවිධ හේතු නිසා මෙම වසර තුළ තායිලන්තයේ වෙබ් අඩවි 47,000 ක් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. මේ අතර කිසිදු රාජ්‍ය විරෝධී වෙබ් අඩවියක් චීනයේ ක්‍රියාත්මක වීමට එරට රජය අවස්ථාව ලබා නොදෙන බවද රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.”

(ඉහත ලිපි කොටස අප උපුටා ගත්තේ ලංකා සී නිව්ස් නැමති අන්ත වර්ගවාදි ,රාජ්‍ය ගැති වෙබ් අඩවියෙනි. එම අඩවිය පවත්වා ගෙන යන්නේ කුප්‍රකට ලෙමන් පෆ් වීරයාගේ පිරිහෙන  ප්‍රති රූපයට හුලං ගසා පිම්බීමටය.’)

දැන් මේ මහත්වරුන් අපට කියන්නේ තායිලන්තය වෙබ් අඩවි 47,000 ක් අවහිර කිරීම හොඳ නම් , චීනය රාජ්‍ය විරෝධී වෙබ් අඩවි එකකටවත් ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන්නේ නම් අප රටේ වෙබ් අඩවි කිහිපයක් තහනම් කලාට මක් වෙනවාද යන්නයි.අප  මෙන්ම ථේරවාදි බුදු දහම ඇති තායිලන්තයෙන් ආදර්ශයක් ගත්තාට මක් වෙනවාද යන්න මේ උතුමන්ලා අපෙන් නො අසා අසති. එසේම අපට මේතරම් ණය ආධාර දෙන චීනය ආදර්ශයට නොගන්නේ මක් නිසාද යන්න එම ප්‍රකාශයේ ගැබ්ව තිබේ.

ඇත්තටම එය ඉතා හොඳ කථාවකි. ආදර්ශයට ගත යුතු කථාවකි. හැරත් විදේශයන්ගෙන් එබඳු  ආදර්ශ  ගන්නවා නම් එලෙස ආදර්ශයට ගත හැකි ක්‍රියා ඕනෑ තරම් අපටත් පෙන්වා දිය හැක. මේවායින් සමහරක් දැනටමත් ක්‍රියාවට නංවා ඇතැයි ඔබට හැඟුනොත් ඒ ගැන අපේ සම්බන්ධයක් නැති බව පමණක් සටහන් කර ගැනීමට කාරුණික වන්න.

1. ජර්මනියේ ඒකාධිපති හිට්ලර් යුදෙව්වන් හැට ලක්ෂයක් ගෑස් කාමර තුල සමූල ඝාතනය කිරීම

2. ස්ටාලින් 1930-40 ගණන් වලදී සෝවියට් දේශයේ තම විරුද්ධවාදින් යැයි සැක කළ ලක්ෂ ගණනක් හිර කඳවුරු වලට ගාල් කීරීම හා  තවත් ලක්ෂ ගණනක් මරා දැමීම.

3.අපගේ හිත මිතුරු  චීනයේ ඊනියා කොමියුනිස්ට් පාලකයින් 1989 දී ටියන්මාන් චතුරශ්‍රයේ උද්ඝෝෂණය කළ සිසුන් යුධ ටැංකි වලට යට කර මරා දැමීම

4. අපගේ අතිජාත මිත්‍ර ස්වර්ගස්ත ගඩා‍ෆි තුමා තමන්ට විරුද්ධව උද්ඝෝෂණය කල තම රටේම ජනයාගේ හිස් මතට ගුවනින් බෝම්බ හෙලීම.

5. ගඩා‍ෆිගේ පුත්‍ර රත්නයන් රටේ ධනය කාබාසීනියා කරමින් කම් සැප විඳීම

6. ඇෆ්ඝනිස්ථානයේ සිටි තලිබාන් පාලකයින් රටේ ජනයාට සංගීත, සිනමා ඇතුලු සියලු කලා තහනම් කිරීම.

7. චිලී රට , ආර්ජන්ටිනාව ඇතුලු ලතින් ඇමෙරිකන් රට වල සිටි හමුදා පාලකයින් තම විරුද්ධවාදින් , වාමාංශිකයන් තොග ගණනේ අතුරු දහන් කිරීම

8. ඉඩි අමින් තම විරුද්ධවාදින්ගේ මස් අනුභව කිරීම

9. හොස්නි මුබාරක්ලා, ගඩා‍ෆිලා තම රටේ ජාතික ධනය පෞද්ගලික ස්විස් බැංකු ගිණුම් වල ගොඩ ගසා ගැනීම.

10. තායිලන්තයේ ප්‍රධානම සංචාරක ආකර්ෂණය ගණිකා වෘත්තියයි

11……..තව ආදර්ශයට ගත හැකි දෑ බොහොයි……

ලෝක මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එල්ල වෙන ඕනෑම පීඩනයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තමන් පෙනී සිටින බව චීන රජයේ ජ්‍යෝෂ්ඨ නිලධාරියෙකු පවසා ඇති බව දේශප්‍රේමි වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.
 
මේ බව ඔහු කියා ඇත්තේද ලේසි පාසු පුතයෙකු සමග නොව ස්ත්‍රි දූෂණ  වැඩි වන්නේ පෝෂණ මට්ටම වැඩි වීම නිසා බව සොයා ගත් ජාත්‍යන්තර මට්ටමේ විද්‍යාඥයෙකු හා ශ්‍රි ලංකාවේ අගමැති තැන්පත් දි මූ ජයරත්න තුමා සමගය. ඒ කතාව චීන   නිලදාරියා ජයරත්න තුමාට කිව්වේ සිංහල භාෂාවෙන්ද නැතහොත් චීන භාෂාවෙන්ද යන්න එම වාර්තාවේ සටහන්ව නොතිබීම ලොකු අඩුවක් බවනම් නොකියා බැරිය.
 
සටහන- දැන් ඉතින් අපට බයක් නැත. අප වෙනුවෙන් පෙනී සිටින්නට ලෝක බලවතෙක් සිටී. එසේ මෙසේ බලවතෙක් නොව පසු ගියදා නේටෝව ලිබියාවට පහර දෙන විට පරමාණු බෝම්බ දමා නේටෝ රටවල් සුනු විසුණු කල චීනයයි. ඉතින් අප කුමකට බය වෙන්නද?
ඇමෙරිකාව,යුරෝපා සංගමය ඇතුළු බටහිර අධිජ්‍යවාදින් විසින්  ඉදිරියේදී  අප රට ආක්‍රමණ්ය කරනු ඇතැයිද ,එහිදී රුසියාව හා චීනය  ඔවුනට එරෙහිව සටන් වැද අපව ගලවා ගන්නට එනු ඇතැයිද   අපේ රටේ ජාතිකවාදී ,ජාතිවාදී දේශප්‍රේමින්  මහත් සේ බලාපොරොත්තු තබා සිටියේය. එසේම එම  බලාපොරොත්තුවේ යතාර්ථය ගැනද අප මීට  පෙර කියා ඇත්තෙමු.
ඒ අපටත් වඩා එම දෙරට සමග ගනුදෙනු කල ලිබියාවේ ගඩා‍ෆි ඔවුන් විසින් අත හැර දැමු ආකාරය දැකීමෙනි. ගඩා‍ෆි බේරා ගැනීමට තම ඇඟිල්ලකුදු නො එසවූ චීනය ඔහු වැ‍ටුනු විගසම ලිබියාවේ ඇති තම දේපල ආරක්ෂා කර දෙන මෙන් කැරලිකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
 
දැන් රුසියාව ලිබියාවේ කැරලිකරුවන්ගේ පාලනය පිලිගෙන ඇත. ඒ නිකම් ම නොවේ. ඔවුන් කිසිදාක ගඩා‍ෆිගේ පාලනය අනුමත නොකළ බවද කියමිනි.
 
රුසියාව ලිබියාවේ  නව පාලනය පිලිගන්නා බව  ප්‍රකාශ කිරීමෙන් පසු නිවේදනයක් නිකුත් කල රුසියන් විදේශ ඇමති සර්ජි ලවුරොෆ් පැවසුවේ ගඩා‍ෆි  බලයේ ‍රැඳීම තමන්ට අවශ්‍ය නොවූ බවත් , තමන් විරුද්ධ වූයේ ඔහු ඉවත් කිරීමට නේටෝව අනුගමනය කල ක්‍රමයට පමණක් බවත්ය. එසේම   රුසියාව ලිබියාවේ තිබුනු පාලනය කිසි ම දාක පිලිගත්තේ නැති බවත් ,  ජනාධිපති මෙද්වෙදෙව්  , ගඩාෆී යා යුතු  යැයි පැහැදිලිව  පවසා ඇති බවත් විදේශ ඇමතිවරයා වැඩි දුරටත් පවසා ඇත.
 
අපේ අතිජාත මිත්‍රයන් අපිටත් වඩා ඔවුන්ගේ මිත්‍රයෙකු වූ හා අපිට සිටින හොඳම හා ස්වල්ප මිත්‍රයන් කීප දෙනාගෙන් එකෙකු වූ ගඩා‍ෆි තුමාට සැලකුවේ එසේය.
 
ඉතින් අපට කාගෙ පිහිටක්ද?
 
නාථ ඇතුළු සම්‍යක්දෘෂ්ටික දෙවිවරුනි ඔබතුමන්ලාවත්  අපිට පිහිට වනු මැනැවි.ඔබ තුමන්ලා නැත්නම් මේ  කෲර ලෝකයේ අපට පිහිට වන්නේ කවුද?

චීනය ,රුසියාව, වෙනිසියුලාව වැනි රටවල් අප රටේ අතිජාත මිත්‍රයන් යැයිද , එම රටවල් ඕනෑම කරදරයකදී අප වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිතැයිද විශ්වාස කරන පිරිසක්  අප රටේ සිටිති. එම පිරිස අතර රටේ පාලකයින්ද සිටින බවක් පෙනේ.

ඇමෙරිකාව සහ අනිකුත් බටහිර රටවල්ද එජා සංවිධානය වැනි අන්තර් ජාතික සංවිධානද මානව හිමිකම් ගැන අපට චෝදනා කරද්දි ඒ ගැන වගේ වගක් නැතිව අප සිටින්නේ අප මිත්‍රයින් එම චෝදනාවලින් අපව නිදහස් කර ගනු ඇතැයි යන විශ්වාසයෙනි. විශේෂයෙන්ම චීනය හා රුසියාව ආරක්ෂක මණ්ඩලේදී අපව ‍රැක ගනු ඇතැයි අප දේශපාලකයින් බලාපොරොත්තු වෙත්.

එහෙත් එය තමන් දු‍ටු සොඳුරු සිහිනයක් පමණක් බවත් යථාර්තය එතරම් සොඳුරු නැති බවත් ලිබියාවේ ගඩා‍ෆිට සිදු වූ දෙයින් වත් අවබෝධ කර ගත යුතුය. ලිබියාවේ ගඩා‍ෆි හා මෙම දෙරට අතර සම්බන්ධය අප හා චීනය හෝ රුසියාව අතර මෙන් අද ඊයේ ඇති වූවක් නොවේ.  එසේම එම දෙරට ලිබියාවේ කර ඇති ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන ගණනකි. ඒවා ආයෝජන මිස අපට මෙන් ගිනි පොලියට දුන් ණයද නොවේ. එසේම එම රටවල් ලිබියාව සමග තෙල් සඳහාද ගිවිසුම් තිබිණි.

මේ සියල්ල තිබියදීත් ඔව්හු තීරාණාත්මක මොහොතේදී ගඩා‍ෆිව අත හැරියහ.
 
ගඩා‍ෆිගේ ප්‍රශ්නය මුලින්ම ආරක්ෂක කවුන්සිලයට ආ මොහොතේදී ඔව්හු ගඩා‍ෆි වෙනුවෙන් පෙනී සිටියේ නැත. ඒ වෙනුවට කලේ චන්දය දීමෙන් වැලකී සිටීමේ ප‍තෝල ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. ඉන්පසු දිගින් දිගටම ගඩා‍ෆිට පහර වදිත්දීත් ඔවුහු ගඩා‍ෆි වෙනුවෙන් ඇඟිල්ලක් වත් නො එසවූහ.  අවසානයේ ඌරු මීයෙකු මෙන් කාණුවක් දිගේ පලා යාමට ගඩා‍ෆි සහ පුත්‍ර සමාගමට සිදු විය.
 
දැන් චීනය ලිබියාවේ කැරලිකාර රජය අමතමින් තමන්ගේ ආයෝජන ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලීමක් ද කලේ මේ කැරලිකරුවන් බලයට ආවේ ලිබියාවේ තම අතිජාත මිත්‍රයා පලවා හරිමින් බවද නොතකමිනි. එපමණක්  නොවේ, තමන් ගඩා‍ෆි රජය හා ඇති කරගෙන තිබූ තෙල් ගිවිසුම්ද එලෙසම පවත්වා ගෙන යෑමට ඇති කැමත්ත චීනය පෙන්වා තිබුණි.
 
ජාත්‍යන්තර දේශපාලනයේ හැටි එබඳුය. එහිදීද සදාකාලික සතුරන් මිතුරන් නොමැතිය. සියල්ල තීරණය වන්නේ ආර්ථික කාරණා මතය.
මෙවන් තීරණාත්මක අවස්ථාවක චීනයේ සහය ශ්‍රි ලංකාවේ රාජපක්ෂ පාලනයට ලබා දීම වෙනුවෙන් ඔවුන් චීන භාණ්ඩ සඳහා ඇමෙරිකාවේ  ඇති අති දෑවන්ත වෙලඳ පොල අත හරින්නේ නැත.
 
ගාලු මුවදොර පිටියෙන් තමන්ට ලබා දුන් අක්කර කිහිපය එතරම් වටින්නේ නැති බව ඔව්හු දනිති. එසේම යම්  හෙයකින් රාජපක්ෂලා වෙනුවට වෙන පාලකයෙක් ආවත් ගාලුමුවදොර ඉඩම තමන්ට අහිමි නොකරන බවත් ඔව්හු දනිති.
 
පහු ගිය කාලයේ බෑන් කී මූන් ව හප කරලා දාන්න කෑ ගහපු දේශප්‍රේමීන්ගේ සද්ද බද්ද දැන් ටිකෙන් ටික අඩු වෙලා ගිහින්. බෑන් කී මූන් කීතු කරන්න, පන පිටින් ගිනි තියන්න කියලා ජනතාව උසි ගන්නපු මල්වංශ ලා, අනදාස ගූමරසේකරලා ,   නලින් සිල්වලා,   වගේ දේශප්‍රේමී වීරයෝ ටිකෙන් ටිකේ සීන්  එකෙන් අයින් වෙලා දයාන් ජයතිලක, මොහාන්  සමරනායක ,ජී.එල් , වගේ  වෙනම කට්ටියක් එලි බැහැලා වගෙයි පේන්න තියෙන්නේ.
 
මේ ගොල්ලෝ ඇවිත් තියෙන්නේ අර දේශප්‍රේමී වීරයෝ ගැලරියේ විසිල් බලා ගෙන කරපු කතා ආපහු අදින්න. බ්ලේක් ආවේ මොකටද කියන්න අපි දන්නේ නැහැ. ඒත් ආපු එකේ ප්‍රතිපල නම් පේන්න  තියෙනවා. දයාන් ලා  එලියට දාන්නේ කලින් කියපු කතා ආපහු ගිල ගන්න.  දීපු පොර ටෝක් එකපාරට ආපහු අදින්න ලැජ්ජයි වගේ .
 
ඒ  නිසා හෙමිහිට පාර හදන්න තමා මේ මිනිස්සු එවන්නේ. අයි යකෝ පහු ගිය දවස් වල දඟලපු දැඟලිල්ලේ තරමට ඒක පාරට දණ ගහන්න වුනොත් වස ලැජ්ජාවනෙ.
 
දැන් මේ තෝල්ක මුදලිලා ඇවිත් අපිට , ඒ කියන්නේ මේ රටේ මහා ජනතාවට මොනවද කියන්නේ.
 
මේ ප්‍රශ්නය විසඳන්න  ඕනේ රාජ්‍ය තාන්ත්‍රික විදියටලු. චීනයයි රුසියාවයි අපේ යාළුවො වුනාට ආරක්ෂක මණ්ඩලේ දී මොන විදියට හැසිරෙයිද කියන්න බැරිලු. පිළිතුරු නොදී ඉන්නවාට වඩා මොකක් හරි පිළිතුරක් දෙන ඒක හොඳයිලු. 

ඒ අතරේ ජී. එල්. කියනවා මූන් වාර්තාවට සවිස්තර උත්තරයක් හදනවා කියලා.
 
මේවාට හිනා වෙන්ඩද අඬන්නද කියලා අපිට තේරෙන්නේ නැහැ.
 
ඇයි වදේ , අපිද පහු ගිය දවස් වල රූප පෙට්ටිවල මොර දුන්නේ රුසියාවයි චීනෙයි අපිට ඉන්නවා , ඒ නිසා අපි බය නැහැ කියලා. ඔය රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් කතා, රුසියන් චීන කතා  ඒ දේශප්‍රේමී කතා කියපු අයටම කිව්වා නම් ඉවරයිනේ . මූන් ගේ පඹයෝ පාරවල් ගානේ ගිනි තියන්න මිනිස්සු උසි ගැන්නුවේ අපිද? මේ අහිංසක ජහමනයාද?
 
සටහන- කොහොම උනත් තව ටික දවසකින් මහින්ද අබේසුන්දරලා, සුමනසේකරලා, සූරියාරච්චිලා අපිට  මෙහෙම කියයි.
 
අපේ දේශප්‍රේමී ආණ්ඩුව කවදාවත් මේ බටහිර අවජාතකයන්  ඉදිරියේ දණ නමන්නේ නැතිය. එහෙත් ඒත් අප රටේ ඉන්න ජ්‍යෝෂ්ට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ උපදෙස් පරිදි ලෝක සාමය උදෙසා යම් යම් පියවරවල් ගැනීමට සිදුව ඇත.අනිත් අතට බෑන් කී මූන්ගේ වාර්තාව පහර දී ඇත්තේ අපිට නොව කොටින්ටය. වඩා හොඳින් කියවා බැලූ විට පෙනී යන්නේ එම වාර්තාව අපේ යුද ක්‍රියා මාර්ගය සහමුලින්ම අනුමත කර ඇති බවය. ඒ නිසා අපි එම වාර්තාව පිළිගන්නෙමු.   ”