Posts Tagged ‘කුමාර් සංගක්කාර’

Kumar-Sangakkara-011

හිටපු ශ්‍රීලංකා ක්‍රිකට්  නායක වත්මන් ක්‍රීඩක  කුමාර් සංගක්කාරට විස්ඩන් සඟරාවට සම්මුඛ සාකච්චාවක් දීම මෙරට ක්‍රිකට් බලධරයන් විසින් තහනම් කර තිබේ.හේතුව  නොකිව්වත් සියල්ලෝම දනිති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුමක සිටින නිසා ඔහුට එම අණ පිලිපැදීමට සිදු වී තිබේ.

මාස කීපයකට කලින්  ලෝර්ඩ්ස් හිදි දේශනයක් කල කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව තුල  ක්‍රීඩාව දේශපාලනීකරණය වී තිබීම දැඩි ලෙස විවේචනයට ලක් කලේය. ඒ නිසා ඔහු මෙරට දේශප්‍රේමින්ගේ දැඩි වෛරයට භාජනය වූ අතර එතෙක් වීරයෙක් වී සිටි  සංගා   එක ‍රැයින් දේශද්‍රෝහියෙක්, පාවා දෙන්නෙක්  බවට පත් විය.

තත්වය එසේ තිබියදී 2011 වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ‍තෝරාගත්තේ සංගාය. වසරේ ක්‍රීඩකයා සමග කල සම්මුඛ සාකච්ඡාවක් පල කිරීම සාමාන්‍ය සිරිතයි.

අපේ ලොක්කන්  තම බලය යොදවා නතර කලේ එම සාකච්ඡාවයි.

එසේ කර ශ්‍රී ලංකාව කොතරම් ශිෂ්ඨ සම්පන්න, ශීලාචාර හා ප්‍රජාතන්ත්‍රවාදි රටක් ද යනුවෙන් ජාත්‍යන්තරයට නැවත වතාවක් පෙන්වා තිබේ.

 

 


කාලයක් අපේ රටේ සිංහල ජනතාව අතර දේශප්‍රේමියෙකු මෙන්ම ජාතික වීරයකු වශයෙන්ද සැලකුම් ලැබූ ජනරාල් සරත් ෆොන්සේකා අද දේශද්‍රෝහියෙකු වශයෙන් නම් කර සිර ගත කර දමා ඇත. ලංකාවේ වීරයන් දුෂ්ටයන් බවට හා දුෂ්ටයන් වීරයන් බවට මෙන්ම , දේශප්‍රේමින් දේශද්‍රෝහීන් බවටත් දේශද්‍රෝහීන් දේශප්‍රේමින් බවටත් පත් කිරීමට ගත වන්නේ ඉතා සුළු කාලයකි.

මෙහි කෙනෙකු ද්‍රෝහියෙකු හෝ වීරයෙකු බවට තීරණය කෙරෙන්නේ ඔහු කොතරම් දුරට පාලකයින්ට දණ නමස්කාර කිරීමට සූදානම්ද යන්න මතය.

යම් කෙනෙකුන් පාලක රෙජීමයට එරෙහිව යන්නේ නම් හෝ ඔවුන් ව විවේචනය කරන්නේ නම් එම පුද්ගලයා දේශද්‍රෝහියෙකි, පාවාදෙන්නෙකි, බටහිර අධිරාජ්‍ය වාදීන්ගේ අත කොලුවකි, NGO කුමන්ත්‍රණ කරුවෙකි, දුෂ්ටයෙකි, බෑන් කී මූන්ගේ ඒජන්තයෙකි, සොරෙකි , මිනීමරුවෙකි,පිශාචයෙකි,………………………..

පාලකයින් ගේ අත්තනෝමතිකත්වය , ඒකාධිපතිත්වය , දූෂණ , වංචා ආදියට එරෙහිව යමෙකු හඬ නගන්නේ නම්, එම හඬ නගන්නාට එරෙහිව ඉහත නාම කරනයන් යොදා ගනිමින් තදින් පහර දීමට සූදානම් පිරිසක් සිටිති. මාධ්‍ය භාවිතය ගණිකා වෘත්තියේ යොදවන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ගොන්නක්ද , ආණ්ඩුවේ විවේචකයින්ට දේශද්‍රෝහී ලේබලය අලවමින් ඔවුන්ව දන් ගෙඩියට දැක්කීමට සහය දෙන හා ඒ වෙනුවෙන් මහජන මුදල් තම සැප විහරණයට යොදා ගැනීමට අවසර ලබා සිටින හිටපු ඊනියාවිප්ලවවකාර හා අද විහිලු කාර උපවාසවංශලාත් , උපවාසවංශ ලාගේ එල්ලී ඒ පිහිටෙන් රජ සැප විඳින දේශහිතෙෂි දත් දොස්තරලාත් බෙන්ස් කාර් වල නැගී වේගයෙන් ධර්ම රාජ්‍ය කරා යමින් සිටින ගණින්නාන්සේ ලා හා තට්ටේ බාගෙන සිටින ඇබිත්ත කොලුවනුත් ඒ අතර ප්‍රධානය.

දේශීය වශයෙන් මෙවැනි ද්‍රෝහියෙකු සොයා ගත නොහැකි නම් විදෙස් රාජ්‍ය නායකයෙකු, අන්තර් ජාතික සංවිධානයක නායකයෙකු වැනි ඕනෙම කෙනෙක් අල්ලාගෙන පතුරු ගැසීම මොවුන්ගේ සිරිතය . ජනතාවගේ සිත් තමන් පෙලන සැබෑ ප්‍රශ්න වලින් ඉවත් කර දේශප්‍රේමයේ ගිල්වා තැබීම මුන්ට පැවරී ඇති වගකීමය.

දේශීය වශයෙන් ආණ්ඩුවේ විවේචකයන් වන ජවිපෙ , එජාප, ෆොන්සේකා වැන්නවුන් පමණක් නොව නොර්වේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය , බෑන් කී මූන් , දරුස්මාන්, හා ඇමෙරිකාව ද මොවුන්ගේ ප්‍රහාරයට ලක් වන්නේ මේ නිසාය. මෙම ප්‍රහාර එල්ල කරන තරමටය මොවුන්ගේ කුස පිරෙයි. බැංකු ගිණුම් තර වේ.

පහර දීමට කිසිවක් හෝ කිසිවෙක් සොයා ගත නොහැකිනම් මොවුන් තම සිතෙන් මව ගත සතුරෙකුට හෝ පහර දී ජනතා අවධානය ඒ වෙත යොමු කිරීමට උත්සාහ ගනිති. මේ දින වල ඔවුනගේ සතුරා වී ඇත්තේ ආසනික්ය. විදෙස් සවාරි ලැබේ. මොවුන් අතර සිටින එක දේශ හිතෙශියෙක් තමන් පොදු දේපල කිසිවක් තම පෞද්ගලික පරිහරණයට නොගන්න බවත් , අඩුම තරමෙන් රජයේ වාහනයක්වත් භාවිතා නොකරන බවත් , රාජකාරි සඳහා ගමන් කරන්නේ පවා දුම්රියේ බවත් නිතර කියයි. එහෙත් සං විධානයට ලැබෙන මුදලින් සුඛෝපභෝගී දිවියක් ගත කරයි.

මා මේ ඊනියා දේශප්‍රේමින් මොන විදියේ මිනිසුන්දයි මෙසේ ලිව්වේ ඔවුන් විසින් පතුරු ගැලවීමට සියලු සුදුසුකම් සපුරා සිටින අලුත් ද්‍රෝහියෙකු ගැන කියන්නටය. ඒ අන් කිසිවෙක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ය. ඔහු පසුගියදා ලෝර්ඩ්ස් හිදී කල සුප්‍රකට දේශනයේදී, කුමන හෝ හේතුවක් නිසා, ලංකාවේ ක්‍රීඩා පරිපාලනය දැඩිව විවේචනය කළේය.

ඔහු එය කලේ කුමන හේතුවක් නිසාදැයි අපි නොදනිමු . එය වැදගත් නැත. කුමන හෝ හේතුවක් නිසා ඔහු තමන් පෙම් කරන ක්‍රිකට් වෙනුවෙන් සටන්වදින්නට තීරණය කර ඇත. ඔහු එය කලේ එහි ඇති අවදානම නොදැන විය නොහැක.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීයකරණය වීම නිසා විනාශ වෙමින් පවතින බව ඔහු තම දේශනයේදී අවධාරණය කල අතර එය පැහැදිලිවම රටේ පාලකයින් වෙත එල්ල කල අභියෝගයකි. ඔහු නොබියව එම අභියෝගය එල්ල කලේ පාලකයින්ට අභියෝග කල ජනරාල් ෆොන්සේකා වැන්නවුන්ට වුනු ඉරණම පවා දැක දැකය.

විශ්‍රාම වැටුප් සටනට එක වූ කටුනායක කම්කරුවන්ද වැටුප් සටනේ යෙදී සිටින සරසවි ඇදුරන්ද ආදී වශයෙන් වූ පිරිස් දැන් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැඩි පිරිස් අප මේ දින වල දකිමින් සිටිමු. ඔවුන් තම පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් වුව මේ සටන් වදින්නේ අප කලින් කී වන්දිබට්ටයින් විසින් අනභිබවනීය යැයි ඔසවා තැබූ රෙජිමයකට එරෙහිවය. මේ පිරිස් වල දැඩි පහර දීම් වලට ගොදුරු විය හැකි බව දැන දැන ය. තමන්ට අවලාද අපහාස වලට ගොදුරු වන්නට සිදු විය හැකි බව දැන දැන ය.

සංගාට එරෙහි සටන දැනටමත් ඇමති අලුත්ගමගේ විසින් පටන් ගෙන ඇත. උපවාසවංශ ඇතුළු ඊනියා දේශප්‍රේමින් ඒ පසු පසින් කඩු අමෝරා ගෙන සංගක්කාරට එරෙහිව සටනට එනු ඇත.

එංගලන්තය වැනි අධිරාජ්‍යවාදී රටකදී තම රට විවේචනය කිරීම මහා ද්‍රෝහී කමක් බවත්,සංගක්කාර අධිරාජ්‍යවාදීන්ගේ ඉත්තෙකු බවත් අපට ළඟදීම වන්දිබට්ට මාධ්‍ය හරහා ඇසෙන්නට ලැබෙනු ඇත. එසේම සංගක්කාර මුදලට තරඟ පාවා දුන් කෙනෙක් බවටත්, ඔහු දිගටම තහනම් උත්තේජක භාවිතා කල අයෙකු බවටත් මේ හොර දේශප්‍රේමී තක්කඩි රැල අපිට නොපැවසුවොත් එය මහා පුදුමයක් වනු ඇත. කෙටියෙන් කිවහොත් සංගා දැන් දේශද්‍රෝහියෙකි, පාවාදෙන්නෙකි, බටහිර අධිරාජ්‍ය වාදීන්ගේ අත කොලුවකි, NGO කුමන්ත්‍රණ කරුවෙකි, දුෂ්ටයෙකි, බෑන් කී මූන්ගේ ඒජන්තයෙකි, සොරෙකි , මිනීමරුවෙකි,පිශාචයෙකි,………………………..

සංගා එයට මුහුණ දෙන්නේ කෙසේදැයි අප නොදනිමු. නමුත් මීට ප්‍රථමයෙන් ද අප කීවාක් මෙන් මේ එළඹෙන්නේ ඒකාධිපතිත්වයට එරෙහිව සටන් වදින යුගයයි. දැනට එය ඇත්තේ තැන තැන වල ඇවිලෙන හුදකලා කැරලි වශයෙන් පමණක් වුවත් අනාගත එතරම් අඳුරු නොවන බව සංගා ඒ ගැන ඔහු නොසිතාම අපට නැවතත් සිහිපත් කර දෙයි. ඔහු නොසිතාම එසේ කළා යැයි යැයි මා කියන්නේ ජනතා අයිතීන් සඳහා වන පොදු සටනේ දී සංගා ලා බොහෝ විට කොටස් කාරයින් නොවෙන බැවිනි. සමහර විට ඔවුන් සිටින්නේ බැරිකේඩයේ අනිත් පැත්තේද විය හැකි බැවිනි.

එසේ වුවත් එයින් ඔහු අද මේ කල කතාවේ වැදගත් කම කිසිසේත් අඩු නොවන්නේය.