Posts Tagged ‘කුමාර් ගුණරත්නම්’

chained-handsකුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල නිල හෝ නොනිල අවි ගත් පිරිසක් විසින් පැහැර ගත් සිදුවීම් මාලාව අවසන්ය. අපද ඇතුලු බොහෝ දෙනෙකුන් විසින් බරපතල ඛේදවාචකයක් වේ යැයි සිතු එම සිදු වීම් පෙල , ජාතිකව මෙන්ම ජාත්‍යන්තරවද කරන ලද බරපතල බලපෑම් හමුවේ පැහැරගත්තවුන්ට දණ ගැසීමට සිදු වීමෙන් කෙළවර විය.

දැන් එම සිදු වීම් ගැන ලක්ෂ්මන් යාපා බඳු විකටයින් ජනතාව ඉදිරියට එවා නොයෙක් විහිලු කතා කියවමින් තිබේ.

කුමාර් ගුණරත්නම් ලංකාවට පමිණි දා සිට ඔහුව සොයමින් සිටි ආණ්ඩුව , ඔහුගේ බිරිඳට  හා දරුවන්ට  පවා තාඩන පීඩන කරමින් ඔහුව සෙවූ ආණ්ඩුව ඔහු දෙමටගොඩ පොලිසියට පැමිණ තමන්ට ඕස්ට්‍රේලියාවට යන්නට ඕනෑ යැයි කියු විගස ගුවන් තො‍ටුපොල්ට ගෙන ගොස් ඕස්ට්‍රේලියාවට යවයි.අඩුම තරමේ මහා ගාල ගෝටියක් ඇති කල ඔහුගේ පැහැරගැනීම ගැනවත්, මහ ලොකුවට කතා කල ඔහුගේ හොර පාස්පෝර්ට් ගැනවත් අඩුම තරමේ ප්‍රකාශයක් කර නොගෙනය. මෙවැනි කතා විශ්වාස කරන්නේ අපේ ආණ්ඩුවේ අති ජාත මිත්‍රවරුන් වන චීනුන් පමණි. එයද කොණ්ඩේ බැඳපු චීනුන්ය.

නමුත් ප්‍රශ්නය එතැනින් අවසන් නොවේ. කුමාර් ,දිමුතු සිද්ධියේදී ආණ්ඩුවට ජාත්‍යන්තරය හමුවේ දණ ගැසීමට සිදු  වීම මහත් ලජ්ජාවක් විය. තමන් මිනිසුන් පැහැර ගෙන යන්නවුන් බව හෙලි වීම නිසා මහත් සේ අවමානයට පත් විය. තමන් පත් වූ මෙම ලජ්ජාවත් අවමානයත් නිසා ඔවුන් මහත් සේ කිපී සිටිති. ඔවුන් එම තරහ පිට   කරනු ඇත්තේ තමන්ට එරෙහි ව නැගී සිටින ජනතාවගෙනි. විශේෂයෙන්ම පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයේ සාමාජිකයින් හා නායකයින් ඔවුන්ගේ ඉලක්ක වනු ඇත. ඊයේ හා  අද තමන් පොලිසීයේ  යැයි කියා ගත් පිරිස් එම පක්ෂයේ සාමාජිකයන්ගේ නීවෙස් වලට ගොස් තර්ජනය කර ඇතැයි වාර්තා  වී තිබිණි.

එම නිසා කුමාර් ගුණරත්නම් සිදු වීම එතැනින් අමතක කර නොදමා , ඒ ඇති කරන ලද පීඩනය දිගටම පවත්වා ගත යුතුය. මෙම අවනීතික පැහැරගැනීම් වලට එරෙහිව රට තුල මෙන්ම ඉන් පිටතත් ප්‍රබල හඬක් නැංවිය යුතුය. එය හුදකලාව කල හැකි දෙයක්ද නොවේ. සියලු මිතුරු බලවේග එකට එක්කාසු වී කල යුතු දෙයකි. ශ්‍රී ලංකාවේ  මිනිස්  නිදහස ආරක්ෂා කරගත හැක්කේ එමගින් පමණි.

army_kumar_dimuthu

මොන ගහට කෙ‍ටුවත් කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටූ දාට ඇණ ගන්නේය. ඒ උගේ හොට කෙහෙල් ගහේ පැටලෙන නිසාය.

දැන් කොට්ටෝරුවා දෙපාරක්ම කෙහෙල් ගස් වලට කොටා හොට පටලා ගත්තේය.

පලමු පාර කොලොන්නාවේදීය.  එදා ඌ අහු උනේ කොට්ටෝරුවා එනකම් කෙහෙල් ගහ බලා හිටි නිසාය.

තේරෙන භාෂාවෙන් කිවහොත් වැල්ලම්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැහැරගැනීම ව්‍යවර්ථ වුනේ ඔහුගේ පරීක්ෂාකාරිත්වයත් පැහැර ගැනීමට පැමිණි වුන් ගේ ආයුද අබිබවා යා හැකි මිනිසුන් පිරිසක් එදා  සභාපතිවරයා අසල සිටි නිසාය. එම නිසා පැහැර ගැනීමට පැමිණි උන්ට ගුටි දී උන්ව පොලිසියට භාර දීමට ඔවුනට හැකි විය. පසුව ගල් පැලෙන බොරු තොගයක් කියා උන්ව බේරාගෙන ගිය බව වෙනම කතාවකි.

කොට්ටෝරුවා දෙවැනි වතාවට පටලවා ගත්තේ කුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගෙන යාමෙනි. එසේ පටලවා ගැනීමට සිදු වූයේ කුමාර්ගේ ඕස්ට්‍රේලියන් පුරවැසි භාවය නිසා මිස වෙන හේතුවක් නොවේ. ඕස්ට්‍රේලියන් රජය එල්ල කල දැඩි පීඩනය හමුවේ හකුලා ගැනීමට කොට්ටෝරුවන්ට සිදු විය.දිමුතු ආටිගලපැහැර ගත්තේ කුමාර් සමගම නිසා ඇයද ඒ සමගම නිදහස් කිරීමට සිදු විය.

යම්හෙයකින් කුමාර්ට ඕස්ට්‍රේලියන් පුරවැසි බව නොතිබුනා නම් ඔවුන්ට අත් විය හැකි ව තිබූ ඉරණම භයානක එකක් වන්නට ඉඩ තිබුනි.

ප්‍රශ්නය එයයි. ඕස්ට්‍රේලියන් හෝ වෙනත් එවැනි  බලගතු රටක පුරවැසි භාවය හෝ තමන් වටේ මැරවරයින් 20ක් තිහක් නැති මිනිසුන් හෝ මේ කොට්ටෝරුවන්ගෙන් බේරෙන්නේ කෙසේද යන්නයි.

දේශප්‍රේමි ආණ්ඩුවේ දේශප්‍රේමි තුවක්කු දැන් දකුණේ දේශප්‍රේමි ජනයා වෙතම එල්ල වෙමින් තිබේ.

මීට මාස කිහිපයකට කලින්,  තම අර්ථසාධක අරමුදල් කොල්ල කෑමට එරෙහිව හඬ නැගූ කම්කරුවෙකු වෙඩි තබා මරා දැමූ ආණ්ඩුව දැන් ඉන්ධන මිල ඉහල දැමීමට විරුද්ධව උද්ඝෝෂණය කල ධීවරයෙකුද වෙඩි තබා මරා දැම්මේය.

ජාතියේ ආඩම්බරකාර තාත්තාගේ පුත්‍රයන් ලෝකයේ ලාබාලම අභ්‍යවකාශගාමින් වීමට සිහින දකිද්දී , තම දරුවන්ගේ කුස පිරවීම සඳහා ජීවිත කාලයක් දුක් විඳි පියෙකු එම ආඩම්බරකාර තාත්තාගේ බැලයින් විසින් වෙඩි තබා මරා තිබේ.

ඉන්ධන වලින් පමණක් නොව ළදරු කිරි පිටි ටිකෙන්  පවා අධික බදු අය කරමින්  එම මුදල් තම සුඛ විහරණය සඳහා යොදා ගන්නා පාලකයින් , තම  දරුවන්ගේ කුස පිරවීමේ අයිතිය වෙනුවෙන් පාරට බට මිනිසුන් අපරාධකරුවන් කිරීමට උත්සාහ කරමින් සිටී.

නිරායුධ කම්කරුවන්ගේ උද්ඝෝෂණයකට වෙඩි තැබූ ආණ්ඩුවේ පොලිස් හමුදා දැන් එම ධීවරයින්ගේ අත තිබුනා යැයි කියන යකඩ පොලු, කඩු කිනිසි හා පෙට්‍රල් බෝම්බ ආදිය ගනන් කරමින් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමි න් සිටී. තව දින දෙක තුනක් යන විට එම යකඩ පොලු ටී 56 හා මෝටාර් බෝම්බ බවට මහින්ද අබේසුන්දරගේ විමසුමෙන් හැරවීමට ඉඩ තිබේ.

එසේම වීරවංශ ප්‍රමුඛ ඊනියා දේශහිතෛෂී නඩය මෙම උද්ඝෝෂණ පි‍ටුපස  එල්ටීටී ඊ , දෙමල ඩයස්පෝරාව සීඅයි ඒ , නෝර්වේ, කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ ජන අරගලකරුවන්  ඇතුලු දේශ ද්‍රෝහීන් සිටින බවට සොයා ගනු ඇති අතර ඒ ගැන පත්තර පි‍ටු ගණන් පුරවනු ඇත. මෙම ඉන්ධන මිල වැඩි කිරීම බටහිර කුමණ්ත්‍රනයක් බවත් ,ජනාධිපති තුමා  ඒ ගැන හංකවිසියක්වත් නොදන්න බවත් ,මේ සඳහා සම්පූර්නයෙන් වග කිව යුත්තේ ද්‍රෝහී නිලධාරින් බවත් කියන මහා දේශප්‍රේමි ලිපි කුප්‍රකට දත් දොස්තර කුට්ටම විසින් ලියනු ඇත.

වෙඩි පහරින්  මියගිය ඇන්ටනි ප්‍රනාන්දු , කුඩු කාරයෙකු , බේබද්දෙකු හෝ හොරෙකු පමණක් නොව කොටියෙකු බවට ත් පත් කිරීමට  ආණ්ඩුවේ මේස පල්ලෙන් වැටෙන ඉඳුල් හා මස් ක‍ටු කන කීර්ති  පාටකුලසූරිය බඳු බෝතල් පත්තර කාරයින් දැනටමත් ලක ලැහැස්ති වෙමින් සිටිනු  නිසැකය.

මේ සියලු කතා අසන බලන පොදු මහත් ජනතාව ඇන්ටනි ප්‍රනාන්දු නම් වූ ඒ දේශද්‍රෝහියාට වෙඩි තැබීම ඉතාම හොඳ ක්‍රියාවක් බවත් මේ අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීම ඉතාම සාධාරණ බවත්  සිතමින් සැනසිල්ලේ නිදා ගනු ඇත.