Posts Tagged ‘කිරිපිටි’

බෑන් කී මූන් , දරුස්මාන්,ආදී බටහිර ඒජන්තයින් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනයන වැඩ පිළිවෙල නිසා හයිලන්ඩ්  ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එකක මිල   මැයි 20 දා සිට  රුපියල් 20 කින් ඉහළ දැමීමට සිදුව ඇති  බව මිල්කෝ සමාගම දේශප්‍රේමයෙන් යුක්තව සකල ශ්‍රී ලංකා වාසි දේශප්‍රේමි ජනතාවට දැනුම් දෙයි.
 
ශ්‍රී ලංකාවට එරෙහිව බටහිරයන් ගෙනයන වැඩ පිළිවෙල පරාජය කිරීමට සියලු දේශමාමක ජනතාව මේ අවස්ථාවේ රජය සමග එක පෙලට සිට ගත යුතු බවත් ඒ නිසා මෙම මිල වැඩි කිරීමට එරෙහිව වචනයක් හෝ ප්‍රකාශ කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක් බවත් පවසන   දේශප්‍රේමී ජොනි පනී තුමා ,එවැන්නන්  ආණ්ඩු විරෝධී  හා ජනපති විරෝධී කුමන්ත්‍රණ කරුවන් බවත් බවත් ඔවුන් සමග එක් වී රට පාවාදීමේ මහා පාප කර්මයට හවුල් නොවන්නැයි  කිරි බොන ජනතාවගෙන්  ඉල්ලා සිටින බවද කියා සිටියේය.
 
 

මේ අතර ප්‍රකාශයක් නිකුත් කරන දේශප්‍රේමී දත් දොස්තර ,කොන්දොස්තර හවුල කිරි පිටි බීමෙන් අර්ශස් රෝගය වැළඳිය  හැකි බව තමන් කල පරීක්ෂණයකින් හෙළිව ඇති නිසා කිරි පිටි බීමෙන් වැලකි  සිටීම ඇඟට ගුණ බව  සඳහන් කර සිටියි. තමන්ගේ ලොකුම දේශප්‍රේමී දත් දොස්තරට හා කැලණියේ මහාචාර්ය ජාතික චින්තන සිල්වාට අර්ශස් රෝගය වැලඳුනේ  කිරි පිටි බීමෙන් බව  පරීක්ෂණ වලින්   හෙළි වූ බවද  එම ප්‍රකාශයේ වැඩි දුරටත් දැක්වේ.
ආණ්ඩුව තමන්ගේ හැම මුකයක්ම  යොදා ගනිමින්   බෑන් කී මූන්ගේ අස්ථි  යුග්මය ගැලවීම සඳහා ජනතාව කැඳවීය.  ජනතාවද    මැයි දිනයදා   ලක්ෂ ගණනින්  කොළඹ ගොස් පිනට ලැබුණු බත් පැකට්ටුව කා , කසිප්පු පැකට්ටුව බී  විකටවංශ ලාගේ  පල් හෑලි     අසා  චූන් වී මග දිගට වමනේ දමමින් ගෙදර ආවේය. ඒ එනවිට   පොඩි  එකාගේ කිරි පිටි පැකට්ටුවට  කෙලාලාය.
 
මේ දිනවල අපේ රටේ දේශප්‍රේමය කොතරම් උතුරා යනවාද කිව්වොත් කිරිපිටි සමාගම්ද දේශප්‍රේමී වෙලාය. කිරිපිටි බී ජනතාව ලෙඩ වෙන නිසා දේශප්‍රේමී විදියට හිතන කිරිපිටි සමාගම් ඒවායේ මිල වැඩි කරලය.
 
දැන් විකටවංශ ගේ  අස්ථි යුග්මයේ එල්ලී සිටින දත් දොස්තරලාට හා කොන්දොස්තරලාට මූන් පතුරු ගැසීමට අමතරව , කිරි පිටි බීමේ අගුණ ගැනද  නැවත වතාවක් දිවයින පත්තරේ පිටු ගණන් ලිපි ලියන්නට  හැකිය.
 
එසේම   මේ විකටයන් ගේ බෙර පදයට නටන දේශප්‍රේමී ජනයාටද තමන්ගේ පොඩි එකා කිරි ඉල්ලා බඩගින්නේ අඬන විට  බෑන් කී මූන් ගේ වාර්තාව මරු  විකල්ලයෙන්  පතුරු ගහන  දිවයින පත්තරේ පුළුස්සා අළු  දියකර සකරින් ටිකක් දමා පොඩි එකාට පෙවිය හැක.
 
කිරිපිටි වගේද දේශප්‍රේමී අරගලය?