Posts Tagged ‘ක්‍රිකට්’


කාලයක් අපේ රටේ සිංහල ජනතාව අතර දේශප්‍රේමියෙකු මෙන්ම ජාතික වීරයකු වශයෙන්ද සැලකුම් ලැබූ ජනරාල් සරත් ෆොන්සේකා අද දේශද්‍රෝහියෙකු වශයෙන් නම් කර සිර ගත කර දමා ඇත. ලංකාවේ වීරයන් දුෂ්ටයන් බවට හා දුෂ්ටයන් වීරයන් බවට මෙන්ම , දේශප්‍රේමින් දේශද්‍රෝහීන් බවටත් දේශද්‍රෝහීන් දේශප්‍රේමින් බවටත් පත් කිරීමට ගත වන්නේ ඉතා සුළු කාලයකි.

මෙහි කෙනෙකු ද්‍රෝහියෙකු හෝ වීරයෙකු බවට තීරණය කෙරෙන්නේ ඔහු කොතරම් දුරට පාලකයින්ට දණ නමස්කාර කිරීමට සූදානම්ද යන්න මතය.

යම් කෙනෙකුන් පාලක රෙජීමයට එරෙහිව යන්නේ නම් හෝ ඔවුන් ව විවේචනය කරන්නේ නම් එම පුද්ගලයා දේශද්‍රෝහියෙකි, පාවාදෙන්නෙකි, බටහිර අධිරාජ්‍ය වාදීන්ගේ අත කොලුවකි, NGO කුමන්ත්‍රණ කරුවෙකි, දුෂ්ටයෙකි, බෑන් කී මූන්ගේ ඒජන්තයෙකි, සොරෙකි , මිනීමරුවෙකි,පිශාචයෙකි,………………………..

පාලකයින් ගේ අත්තනෝමතිකත්වය , ඒකාධිපතිත්වය , දූෂණ , වංචා ආදියට එරෙහිව යමෙකු හඬ නගන්නේ නම්, එම හඬ නගන්නාට එරෙහිව ඉහත නාම කරනයන් යොදා ගනිමින් තදින් පහර දීමට සූදානම් පිරිසක් සිටිති. මාධ්‍ය භාවිතය ගණිකා වෘත්තියේ යොදවන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ගොන්නක්ද , ආණ්ඩුවේ විවේචකයින්ට දේශද්‍රෝහී ලේබලය අලවමින් ඔවුන්ව දන් ගෙඩියට දැක්කීමට සහය දෙන හා ඒ වෙනුවෙන් මහජන මුදල් තම සැප විහරණයට යොදා ගැනීමට අවසර ලබා සිටින හිටපු ඊනියාවිප්ලවවකාර හා අද විහිලු කාර උපවාසවංශලාත් , උපවාසවංශ ලාගේ එල්ලී ඒ පිහිටෙන් රජ සැප විඳින දේශහිතෙෂි දත් දොස්තරලාත් බෙන්ස් කාර් වල නැගී වේගයෙන් ධර්ම රාජ්‍ය කරා යමින් සිටින ගණින්නාන්සේ ලා හා තට්ටේ බාගෙන සිටින ඇබිත්ත කොලුවනුත් ඒ අතර ප්‍රධානය.

දේශීය වශයෙන් මෙවැනි ද්‍රෝහියෙකු සොයා ගත නොහැකි නම් විදෙස් රාජ්‍ය නායකයෙකු, අන්තර් ජාතික සංවිධානයක නායකයෙකු වැනි ඕනෙම කෙනෙක් අල්ලාගෙන පතුරු ගැසීම මොවුන්ගේ සිරිතය . ජනතාවගේ සිත් තමන් පෙලන සැබෑ ප්‍රශ්න වලින් ඉවත් කර දේශප්‍රේමයේ ගිල්වා තැබීම මුන්ට පැවරී ඇති වගකීමය.

දේශීය වශයෙන් ආණ්ඩුවේ විවේචකයන් වන ජවිපෙ , එජාප, ෆොන්සේකා වැන්නවුන් පමණක් නොව නොර්වේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය , බෑන් කී මූන් , දරුස්මාන්, හා ඇමෙරිකාව ද මොවුන්ගේ ප්‍රහාරයට ලක් වන්නේ මේ නිසාය. මෙම ප්‍රහාර එල්ල කරන තරමටය මොවුන්ගේ කුස පිරෙයි. බැංකු ගිණුම් තර වේ.

පහර දීමට කිසිවක් හෝ කිසිවෙක් සොයා ගත නොහැකිනම් මොවුන් තම සිතෙන් මව ගත සතුරෙකුට හෝ පහර දී ජනතා අවධානය ඒ වෙත යොමු කිරීමට උත්සාහ ගනිති. මේ දින වල ඔවුනගේ සතුරා වී ඇත්තේ ආසනික්ය. විදෙස් සවාරි ලැබේ. මොවුන් අතර සිටින එක දේශ හිතෙශියෙක් තමන් පොදු දේපල කිසිවක් තම පෞද්ගලික පරිහරණයට නොගන්න බවත් , අඩුම තරමෙන් රජයේ වාහනයක්වත් භාවිතා නොකරන බවත් , රාජකාරි සඳහා ගමන් කරන්නේ පවා දුම්රියේ බවත් නිතර කියයි. එහෙත් සං විධානයට ලැබෙන මුදලින් සුඛෝපභෝගී දිවියක් ගත කරයි.

මා මේ ඊනියා දේශප්‍රේමින් මොන විදියේ මිනිසුන්දයි මෙසේ ලිව්වේ ඔවුන් විසින් පතුරු ගැලවීමට සියලු සුදුසුකම් සපුරා සිටින අලුත් ද්‍රෝහියෙකු ගැන කියන්නටය. ඒ අන් කිසිවෙක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ය. ඔහු පසුගියදා ලෝර්ඩ්ස් හිදී කල සුප්‍රකට දේශනයේදී, කුමන හෝ හේතුවක් නිසා, ලංකාවේ ක්‍රීඩා පරිපාලනය දැඩිව විවේචනය කළේය.

ඔහු එය කලේ කුමන හේතුවක් නිසාදැයි අපි නොදනිමු . එය වැදගත් නැත. කුමන හෝ හේතුවක් නිසා ඔහු තමන් පෙම් කරන ක්‍රිකට් වෙනුවෙන් සටන්වදින්නට තීරණය කර ඇත. ඔහු එය කලේ එහි ඇති අවදානම නොදැන විය නොහැක.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීයකරණය වීම නිසා විනාශ වෙමින් පවතින බව ඔහු තම දේශනයේදී අවධාරණය කල අතර එය පැහැදිලිවම රටේ පාලකයින් වෙත එල්ල කල අභියෝගයකි. ඔහු නොබියව එම අභියෝගය එල්ල කලේ පාලකයින්ට අභියෝග කල ජනරාල් ෆොන්සේකා වැන්නවුන්ට වුනු ඉරණම පවා දැක දැකය.

විශ්‍රාම වැටුප් සටනට එක වූ කටුනායක කම්කරුවන්ද වැටුප් සටනේ යෙදී සිටින සරසවි ඇදුරන්ද ආදී වශයෙන් වූ පිරිස් දැන් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැඩි පිරිස් අප මේ දින වල දකිමින් සිටිමු. ඔවුන් තම පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් වුව මේ සටන් වදින්නේ අප කලින් කී වන්දිබට්ටයින් විසින් අනභිබවනීය යැයි ඔසවා තැබූ රෙජිමයකට එරෙහිවය. මේ පිරිස් වල දැඩි පහර දීම් වලට ගොදුරු විය හැකි බව දැන දැන ය. තමන්ට අවලාද අපහාස වලට ගොදුරු වන්නට සිදු විය හැකි බව දැන දැන ය.

සංගාට එරෙහි සටන දැනටමත් ඇමති අලුත්ගමගේ විසින් පටන් ගෙන ඇත. උපවාසවංශ ඇතුළු ඊනියා දේශප්‍රේමින් ඒ පසු පසින් කඩු අමෝරා ගෙන සංගක්කාරට එරෙහිව සටනට එනු ඇත.

එංගලන්තය වැනි අධිරාජ්‍යවාදී රටකදී තම රට විවේචනය කිරීම මහා ද්‍රෝහී කමක් බවත්,සංගක්කාර අධිරාජ්‍යවාදීන්ගේ ඉත්තෙකු බවත් අපට ළඟදීම වන්දිබට්ට මාධ්‍ය හරහා ඇසෙන්නට ලැබෙනු ඇත. එසේම සංගක්කාර මුදලට තරඟ පාවා දුන් කෙනෙක් බවටත්, ඔහු දිගටම තහනම් උත්තේජක භාවිතා කල අයෙකු බවටත් මේ හොර දේශප්‍රේමී තක්කඩි රැල අපිට නොපැවසුවොත් එය මහා පුදුමයක් වනු ඇත. කෙටියෙන් කිවහොත් සංගා දැන් දේශද්‍රෝහියෙකි, පාවාදෙන්නෙකි, බටහිර අධිරාජ්‍ය වාදීන්ගේ අත කොලුවකි, NGO කුමන්ත්‍රණ කරුවෙකි, දුෂ්ටයෙකි, බෑන් කී මූන්ගේ ඒජන්තයෙකි, සොරෙකි , මිනීමරුවෙකි,පිශාචයෙකි,………………………..

සංගා එයට මුහුණ දෙන්නේ කෙසේදැයි අප නොදනිමු. නමුත් මීට ප්‍රථමයෙන් ද අප කීවාක් මෙන් මේ එළඹෙන්නේ ඒකාධිපතිත්වයට එරෙහිව සටන් වදින යුගයයි. දැනට එය ඇත්තේ තැන තැන වල ඇවිලෙන හුදකලා කැරලි වශයෙන් පමණක් වුවත් අනාගත එතරම් අඳුරු නොවන බව සංගා ඒ ගැන ඔහු නොසිතාම අපට නැවතත් සිහිපත් කර දෙයි. ඔහු නොසිතාම එසේ කළා යැයි යැයි මා කියන්නේ ජනතා අයිතීන් සඳහා වන පොදු සටනේ දී සංගා ලා බොහෝ විට කොටස් කාරයින් නොවෙන බැවිනි. සමහර විට ඔවුන් සිටින්නේ බැරිකේඩයේ අනිත් පැත්තේද විය හැකි බැවිනි.

එසේ වුවත් එයින් ඔහු අද මේ කල කතාවේ වැදගත් කම කිසිසේත් අඩු නොවන්නේය.

Advertisements
අන්දන්නට අවශ්‍ය රෙද්දේ පාට කී විට රෙදි මිලට ගෙන ,කපා මස්සවා ගෙන අඳින  ශ්‍රී ලාංකීය දේශප්‍රේමී ,දේශ මාමක ජනතාව ,මූන්ට කෙළින්නට ,මූන්ව හම ගසන්නට, මූන්ව වල පල්ලට යවන්නට සැට් වෙමින් සිටින අතර ආණ්ඩුව ඒ ජනතාවගේ පස්ස පැත්තට අප්‍රේල් මාසය තුල දෙවැනි වතාවටත් දේශප්‍රේමී පා පහරක් දී තිබේ.( නැත්නම් තුන්වෙනි වතාවටද? )
 
ඒ මෝටර් රථ වාහන සඳහා අය කරන බදු මුදල් වැඩි කිරීමෙනි. මෙහි ඇති විශේෂත්වය නම් එන්ජින් ධාරිතාව අඩු වාහන වලින් අය කරන බදු මුදල් පමණක්  වැඩි කිරීමයි. සිලින්ඩර ධාරිතාව 1000ට අඩු  පෙට්‍රල් මෝටර් රථ සඳහා  අය කරන 95% ක බද්ද  120% දක්වාද සිලින්ඩර ධාරිතාව 1000 – 1600 වාහන සඳහා වූ  119 % ක බද්ද 128%  දක්වා ද වැඩි කර තිබේ.ධාරිතාව 1600 ට වැඩි වාහන සඳහා වූ බද්දේ වෙනසක් නැත. ත්‍රි රෝද රථ සඳහා වූ 38% ක බද්ද  ඩීසල් සඳහා 60% ක්ද පෙට්‍රල් සඳහා 50% ක්ද වශයෙන් වැඩි කර ඇත.
 
කුඩා එන්ජින් ධාරිතාව සහිත මිල අඩු හා ඉන්ධන පිරිමහන වාහන වැඩි වශයෙන් භාවිතා කරන්නේ , ආණ්ඩුවට වැඩියෙන්ම කඩේ යන පහල මධ්‍යම පන්තික ජනතාවය. ත්‍රී රෝද රථ භාවිතා කරන්නේ ද ඔවුන් හා ඔවුන්ටත් පහළ සමාජ කොටස්ය.
 
එසේ නම් ආණ්ඩුව තමන්ගේ මිත්‍රයන්ට මෙසේ සලකන්නේ මන්ද?  ලඟදි මැතිවරණ  නැති නිසා දැන් ඔවුන්ගෙන් වැඩක් නැත්ද? නො එසේනම් ඔවුන් මූන් විරෝධයෙන් මත් වී සිතන මොහොතක වැඩේ දෙන්නටට සිතුනාවත්ද?
 
එසේත් නැත්නම් වෙනමම කාරණයක්ද?
 
ධාරිතාව 1000 ට අඩු වාහන  සැලකු විට අද ලංකාවේ වෙළඳ පොලේ විශාල කොටසක් හිමි කරගෙන සිටින්නේ ඉන්දියාවේ නිෂ්පාදිත මරුටි සුසුකි හා ඇල්ටෝ වර්ගයේ වාහනය. අඩු මිල හා අඩු ඉන්ධන වියදම නිසා මේවා ලිපිකරුවන්,  ගුරුවරුන් , කුඩා ව්‍යාපාරිකයන් ආදී කොටස් අතර ඉතා ජනප්‍රියව තිබේ. ඔවුන් මෙම වාහන වුවද මිලට ගන්නේ ඉතා අසීරුවෙනි. බැංකු ණය, ලීසිං ආදිය යොදා ගනිමිනි.
 
නව බදු නිසා මෙම කුඩා මෝටර් රථ වල මිල රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා මිලකින් වැඩි වනු ඇත. මෙම ලක්ෂයේ හෝ දෙකේ සීමාව පැනීම බොහෝ දෙනෙකුට අසීරු කටයුත්තක්  වනු ඇති අතර නිසැකවම ඉන්දියන් වාහන සඳහා ඇති ඉල්ලුම ශීග්‍රයෙන් අඩු වනු ඇත.
 
අවශ්‍ය එයද?
 
අයි පී එල් ගිය ක්‍රීඩකයන් ආපසු කැඳවුවාක් මෙන් මෙයත්  පසු ගියදා   පැවති   ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේ ම ප්‍රතිපලයක්ද?