Posts Tagged ‘උද්ඝෝෂණය’

president-mahinda-rajapaksa-on-dambulla-development-project

දේශප්‍රේමී , දේශහිතෛශි නායකයින් ලෙස පෙනී සිටින උන්   බලයේ ‍රැඳී සිටීම සඳහා ජාතිවාදි අදහස්  වපුරන විට උන්ගේ අඥාන නූගත්  අනුගාමිකයන් එම අදහස් ක්‍රියාවට නගමින් රටම ගිනි තියන බව අප පවසන විට කොස්,ජයශ්‍රී, ඉන්ද්‍රජිත් කනියා බඳු උන් රෙදි කරට ගෙන අපට පහර දීමට ආවේ ,ලංකාවේ ජාතිවාදයක් නැතැයිද අප බොරු කියන්නේ යැයිද කියමිනි. ගාල්ලේ සිදුවීම ජාතිවාදය නිසා නොවූවක් බවත්, ලංකාවේ එවැනි දෑ සිදු නොවන බවත් ඔවුහු පුන පුනා කීහ. ඔවුන්ට අනුව සිංහලයා ජාතිවාදි නොවේ. ජාතිවාදි වැඩ කරන්නේ සුලු ජාතින් පමණි. එම සුලු ජාතිවාදින්ට උඩගෙඩි දෙන්නේ යැයි අපටද චෝදනා කලහ.

අපට බැන වැදුනු ඒ ගරු කටයුතු මහත්වරුන්ගෙන් අප අසන්නේ දැන් දඹුල්ලේ සිදු වන්නේ කුමක්ද යන්නයි.  පූජාභූමි තුල අන්‍යාගාමිකයන්ට ඉඩ නැතැයි කියමින් උන්ගේ පල්ලිවලට පෙට්‍රල් බෝම්බ ගහන්නේත්, එම පල්ලි සුණු විසුනු කිරීමට කැස කවන්නේත් පෞද්ගලික හේතු නිසාද? නැතිනම් නග්න  වර්ගවාදය  නිසාද? නැත්නම් එය  වෙන කුමක්ද?

ඉනාමලුවේ සුමංගලලා පසුපස අද යන්නේ චම්පකලා වීරවංශලා විසින් මොල සුද්ද කල  මිනිසුන් නොවේද? විසකුරු ජාතිවාදි විසබීජ එන්නත් වූ මිනිසුන් නොවේද? සිංහලයින්ට ශ්‍රීලංකාව හැර අන් රටක් නැතැයි කියන කනියා බඳු මිනිසුන් නොවේද? කිසිම මාධ්‍යයකින් මෙතෙක් අනාවරණය නොකළ , ඔහුට පමණක් දැන ගන්නට ලැබුණු දෙමලුන්ගේ කිරිබත් කෑම් ගැන ගල් පැලෙන බොරු ලියන ඉන්ද්‍රජිත් බඳු මිනිසුන් නොවේද?

මේ වෙලාවේ කල යුත්තේ සිදුවන විනාශය දැක එයට එරෙහි වන්නැයි ඉල්ලන උන්ට ගල් ගැසීම නොව  එම විනාශයට එරෙහිව කටයුතු කිරීමයි. වීරවංශ, නලින් සිල්වා, ගුණදාස අමරසේකර, චම්පක බඳු විෂබීජ නිපදවන්නන් හා දිවයින බඳු විෂබීජ ප්‍රවාහකයින් හෙලිදරව් කිරීමයි. අප කිරීමට උත්සාහ කරන්නේ එයයි.

සටහන- මීට වසර ගනනකට කලින් කණ්ඩලම හෝට්ලයට එරෙහිව ගිනි තබා ගන්නවා යැයි දිවුරු මේ ඉනාමලුවේ සුමංගල උන්නාන්සේ අද දානය ලබාගන්නේත් එම හෝටලයෙනි.

“නඩු නැති රටට මොකට පායනවද සූරියා”

එහෙම ඇහුවේ ප්‍රදීපා ධර්මදාසය. ඒ හුඟාක් කාලෙකට කලින්ය. කොච්චර කලින්ද කිව්වොත් තමන් එහෙම කතාවක් කියලා තියෙනවා කියලා අද ප්‍රදීපාටවත් මතක නැත.ඒ ගැන ප්‍රදීපාට දොස් කියන්න බැරිය. එව්වා එහෙම තමාය.ඒකට කියන්නේ පරිණාමය කියලාය.

හැබැයි ඩාර්වින් කියා දුන් පරිණාමය නෙවේය. ඒ පරිණාමය අනුව ජීවින් එන්ට එන්ට සංවර්ධනය වෙමින් ඉස්සරහට යනවාය. මෙතැන වෙන්නේ ටිකෙන් ටික , ආපස්සට යාමය. ඒ  නිසා මේකට විපරිණාමය කියා කියන්ටත් පුලුවන්ය.

1993 කුප්‍රකට දකුණු පළාත් සභා චන්දේට  ඒ කාලයේ හිටි ජනප්‍රිය, එඩිතර , මානවහිතවාදි ,නිර්භීත පත්තර කාරයෙක් වෙන ඩලස් අලහප්පෙරුමද ඉදිරිපත් වුනාය. ජවිපෙ හිතවාදි කට්ටිය සමග ඒ ගොල්ලොම කරපු ලක්දිව, හිරු වගේ පත්තර වල හිටි ඩලස් ,ශ්‍රිලනිපයෙන් චන්දේ ඉල්ලන්නේ ඇයි කියා ඇහුවම අපූරු උත්තරයක්  දුන්නේය.

රේස් එක දුවන්න අශ්වයෙක් නැත්නම් ඉන්න බූරුවාගේ පිටේ නැගලා හරි දුවන්න එපැයි

ඒකත් හැබැයි කී ප්‍රගතිශීලී ජනතාව වැඩි චන්දෙන් ඩලස් පළාත් සභාවට යැව්වෝය.

ඊ ලඟට 94 මහ චන්දේ ආවේය. ඒ චන්දේට ජේවීපීයත් (ප්‍රගතිශීලි පෙරමුණ ) තරඟ කලේය. හැබැයි ඩලස් පරණ පුරුදු විදියටම ශ්‍රිලනීපෙන්ම තරඟ කලේය. ඩලස් එක්ක සැට් වෙලා පාර්ලිමේන්තු යන්න බලා හිටි විමලසිරි ගම්ලත් සහෝදරයාට මල පැන
” රේස් දුවන්න අශ්වයෝ නැති කාලේ නම් බූරුවෙක් පිටේ ගියාට කමක් නැත, දැන් අශ්වයත් රේස් එකට බැහැලා ඉන්න කොටත් ඩලස් තාම බූරුවා පිටේ යනවා “
ආදි කතා කියමින් ඩලස් ට බැන බැන රට වටේ ගියාය.

ඒ 94 දීය. දැන් 2012 වෙනකොට විමලුයි  ඩලසුයි දෙන්නම එකම බූරුවා පිටේ යනවාය. එව්වා එහෙම තමාය. පරිණාමය හා විපරිණාමය ආදි වශයෙනි.

එදා වගේම අදත් නඩු නැත.

ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කොට අවුරුදු දෙකකටත් වැඩිය. තමන්ගේ අර්ථසාධක අරමුදල කොල්ල කන්නට එපා යැයි කියු රොෂේන් මරා දැමුවේය. දෙමල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය ඉල්ලූ ලලිත් හා කුගන් අතුරුදහන්ය. ඒත් ඒ කිසිම දෙයක් ගැන නඩු නැත. එහෙව් නඩු නැති රටට මොන සූරියා දැයි අහන්නට ප්‍රදීපලාත් නැත. පිලිම නෙලා නැති විරුවන් ගැන කියන්නට නන්දලාත්  නැත.

නාමල් ලා යෝෂිතලා විතරක් නොව තමන්ගේ දරු දෙදෙනාත් වේලක් හැර වේලක් කා හෝ ජීවත් විය යුතු යැයි කියන්නට පාරට බැස්ස ඇන්ටනි ප්‍රනාන්දු ඔලුව හිල් වෙන්නට වෙඩි තියා මරා දැම්මේය. එදා රතු කමිස ඇඳගෙන වීදි සටන් වලට ජනතාව කැඳවපු වීරවංශ නොහොත් විමලසිරි , ධීවරයින්ට වෙඩි තිබ්බේ ඔවුන් ප්‍රචණ්ඩකාරි විදිහට හැසිරුන හින්දා යැයිද ඒ උද්ඝෝෂණ පිටිපස්සේ ඉන්නේ එන් ජී ඕ යැයිද කියන්නේය.

මිනිසුන් ඌරන් බවට පරිණාමය වීම  ගැන ඩාර්වින්ගේ පොත් වල තියේදැයි අපි දන්නේ නැත. ඒත් එහෙම වෙන බවනම් ෂුවර්ය.

සටහන- අපිට මේ සටහන ලියන්නට හිතුනේ , හිටගෙන ආණ්ඩුවට කඩේ යන දිවයින පත්තරේ වැඩ කරන හෘද සාක්ෂිය තියෙන මිනිස්සු දෙන්නෙක්  ලියු “හලාවත ධීවර ඝාතනයේ ඇසින් දුටු සාක්‌කි කියන නඩු නැති රටක කතාව ලිපිය කියවූ පසුය. ඔබත් එය කියවිය යුතුය. මේ රටට මොකට සූරියා  පායනවාදැයි ඔබට හිතෙනු ඇත.

 

 

 

ඇමෙරිකාව කියන්නේ ලෝකයම තමන යටතේ ඉන්න ඕනෑ කියලා හිතන ලෝකෙ එකම චණ්ඩියා තමන් කියලා හිතාගෙන වැඩ කරන, ලෝකෙම සම්පත් තමන්ට අයිති කර ගන්ට දඟලන  රටක්. අධිරාජ්‍යවාදියෙක්.

ලංකාවේ ඉන්න අධිරාජ්‍යවිරෝධියෝ මේ දවස් වල ඇමෙරිකාවට විරුද්ධව මාරන්තික අරගලයක යෙදෙනවා. මේ දවස්වල ජීනිවා වල තියෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම් සභා වාරයේදී ඇමෙරිකාව ලංකාවට විරුද්ධව යෝජනාවක් ගේනවලු.

ඉතින් ලංකාවේ නායකයාගේ ඉඳලා සියලුම දේශප්‍රේමියෝ මේ දවස් වල පාරට බැහලා ඇමෙරිකාවට විරුද්ධව උද්ඝෝෂණය කරනවා. පෙලපාළි යනවා. ඔබාමාගේ රූප ගිනි තියනවා. එකම ගිනි කෙලියයි. නියම ඇමෙරිකානු විරෝදේ. කොටින්ම කිව්වොත් මේ දවස් වල ලංකාව පුංචි කියුබාවක්, උතුරු කොරියාවක් වගේ ඇමෙරිකන් විරෝධියි. සමහර දේශප්‍රේමි කොච්චර ඇමෙරිකන් විරෝධී ද කිව්වොත් ඇයන්න ඇහුණත් මල පනිනවා.

ඔන්න ඔය විදිහේ දේශප්‍රේමී ජනාධිපතිවරු, ඇමතිවරු, හා ජනතාව ඉන්න ශ්‍රී ලංකාව ගැන පැසි‍ෆික් කලාපයේ ඇමෙරිකන් නාවික හමුදා ප්‍රධාන අණදෙන නිලධාරියා කියනවා ” ලංකාවේ ඇමෙරිකන් හමුදා භටයෝ ස්ථානගත කරලා ඉන්නවලු

හුටා!!!

ඈ යකඩෝ , මේ වගේ දේශප්‍රේමි ආණ්ඩුවක් තියෙන කාලේ,මේ වගේ දේශප්‍රේමි නායකයෝ ඉන්න කාලෙක ඇමෙරිකන් හමුදාවකට ලංකාවේ ඉන්ට දෙයිද? අනික ලංකාවේ නායකයෝ විදුලි පු‍ටුවට යවන්ට හදන ඇමෙරිකාවෙ හමුදාවක්.  වෙන්ට බෑ. වෙන්ට බෑ. වෙන්ට බෑමයි.

වෙන්ට බෑ කිව්වට ඔය වෙලා තියෙන්නේ. අද්මිරාල් රොබර්ට් විලාර්ඩ් මේ හෙලිදරව්ව කරලා තියෙන්නේ ඇමෙරිකානු කොන්ග්‍රස් සභාව ඉස්සරහා . ඒ නිසා ඕක බොරු කතාවක් කියලා කියන්න හදන්න නම් එපා. විස්තරේ මෙතැනින් බලාගන්න හැකියි.

මේ දවස්වල ඇමෙරිකාවට විරුද්ධව මරා ගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන අපේ දේශප්‍රේමින් දැන් මොකක්ද කියන්නේ කියලා මේ අපි බලාගෙන ඉන්නේ. කෝ කට්ටිය ? එන්නකෝ අනේ.

 

ඔබාමාද , බ්ලේක් ද නවනීදන්පිල්ලේද , බැන්කී මූන් ද ඇතුලු මෙකී නොකී එකී සියලු ධිරාජ්‍යවාදි බලවේග එකා මෙන් එකතු වී ඉන්දියන් සාගරයේ මුතු ඇටයට විරුද්ධව කුමන්ත්‍රණ  කරමින් අපේ ජාතික වීරයින් විදුලි පු‍ටුවට එල්ලන්ට යවන්ට හදමින් ඉන්නා මේ මොහොතේ , හරියටම කියන්නේ නම් ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක මේ මොහොතේ දේශප්‍රේමි, දේශහිතෛෂී ,දේශ මාමක, සියලු ජනතාවගේ කාර්ය භාරය විය යුත්තේ බඩගින්නේ සිටිමින් හෝ ආණ්ඩුවට පක්ෂපාතව  පෙලපාලි යාමය. බඩගින්නේ සිටිමින් හෝ ඒ දේ කල යුතු බව වීරවංශ තුමාද මේ ලඟදී කියා තිබුනි.

හෙදි නෝනලාගේ නායක මුරුත්තෙට්‍ටුවේ උන්නාන්සේ ද තමන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ග අත හැර තමන් හා තමන් සමග සිටින හෙදි නෝනලා නියම දේශප්‍රේමින් බව පෙන්වා තිබේ. දොස්තර මහත්තුරුන්ගේ සංගම් නායක කට්ටියද ඒ ආකාර දේශප්‍රේමින් බව වටින් කොනින් ආරංචි වේ.වෙන එකක් තියා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන පවා මේ දවස් වල හා හූවක් නැත. ඒ තරමට දේශප්‍රේමය ඉහින් කනින් ගලා යයි.

නියම දේශප්‍රේමින් වැඩ කල යුත්තේ ඒ ආකාරයටය. භූමිතෙල් කුප්පියකට, පාන් ගෙඩියකට, වැ‍ටුප් විෂමතාවකට මේ වෙලාවේ පාරට බැස ආණ්ඩුව මේ අධිරාජ්‍යවාදින් ඉස්සරහ අපහසුතාවකට පත් කිරීම නොහොබිනා කාර්යයකි.

නමුත් විශ්වවිද්‍යාල වල සිටින හාල් පාරුවන් ලඟ නම් දේශප්‍රේමේ බෙහෙතකටත් නැති බව පෙනේ.මේ දවස් වල සරසවි අනධ්‍යන  කාර්ය මණ්ඩල වර්ජනයයේය. ජීනිවා වල අපේ රට විරුද්ධව මහා කුමන්ත්‍රණයක් කරන මේ  දවස් වල වැඩ වර්ජන කරන්නේ දේශද්‍රෝහින් මිස අන් කවරෙක්ද.

වර්ජන කරන උන්ගේ පඩි කපන බවට ප්‍රතිපාදන කොමිසමේ සමරනායක තුමා තීරණය කර තිබේ. අන්න මිනිස්සු. නියම දේශප්‍රේමියෙක්. ඇත්තටම එතුමා පසුගිය 27 දා ප්‍රතිපාදන කොමිසම ඉස්සරහ බෝර්ඩ් ලෑල්ලකුත් උස්සා ගෙන ජීනිවා කුමන්ත්‍රණයට විරුද්ධව උද්ඝෝෂණයක්ද කර තමන් රට ජාතිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානම් බවද පෙන්වා තිබේ. එතුමාට අපේ ගෞරවය සමග තව වතාවක් කොමිසමේ සභාපති කම ලැබේවා යැයි පතමු.

නමුත් අපි නම් කියන්නේ පඩි කැපීම විතරක් මදි බවයි. මේ දේශද්‍රෝහී නඩය එල්ලා මැරිය යුතුය. විශේෂයෙන්ම මේ වෘත්තීය සමිතීයේ නායක  චන්ද්‍රපාල එල්ලිය යුතුය. ජාතියේ මේ වැනි  අර්බුද අවස්ථාවල ද්‍රෝහී කම් කරන්නට බලා සිටින් උන්ට පාඩමක් උගන්නන්ට එය කල යුතුමය.

සටහන- ඇත්තටම නම් කල යුතුව තිබෙන්නේ මූව විදුලි පු‍ටුවේ යැවීමය. ඒත් විදුලි පු‍ටුව වීරවංශතුමා සින්නක්කරේටම අයිති කරගෙන සිටින නිසා ඒක හරියන්නේ නැත. ඒ නිසා අපිට එල්ලා මැරීමෙන් සෑහිමට පත් වන්නට සිදුව තිබේ.

ප.ලි-  මේකත් රටක්ද මර්තේලිස්?

නැගලා යන දේශප්‍රේමි අරගලයට පොඩි තල්ලුවක් දෙන්න මොනවා හරි කරන්න ඕනෑ යැයි  හිතූ බුඩී කීර්තිසේන මහත්තයා තමන්ගේ මාතා චිත්‍රපටිය 27දා ඇතුලත බාගා ගාස්තුවට පෙන්වන්ට තීරණය කලේය.

ජීනිවා වලට ‍රැස් ව සිටින බටහිරයන් කන්නට තරම් කේන්තියෙන් පුපුර පුපුරා හිටි දේශප්‍රේමී ජනයා   මේ ආරංචිය ලැබී ප්‍රීතියෙන් පිනා ගියේය.

දැන් උදේ වරුවේ අධිරාජ්‍ය විරෝධී මහා උද්ඝෝෂනයට සහභාගී වී එන ගමන්  අතරමගදී බාගේ ටිකට් එකක් අරගෙන ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී චිත්‍රපටියක් වෙන මාතා ද බලා පොඩි උන්ටත් ගෙදර උන්දෑටත් කන්ට පාන් භාගයකුත් අර ගෙනම  ගෙදර ආ හැකිය.

උන් පාන් භාගය ගිලින්නේ කහට කෝප්පයේ පොඟවා දැයි අහන්නට සුනිල් ආරියරත්න මහාචාර්ය තුමාවත් නන්දක්කාවත් පලාතක නැත. සුනිල් සර් කුසපබා පෝලිමෙන් පන්නා ගෙන හෝ ගාලා දුවවනවාය. නන්දක්කා කිලී මහරාජා තුමා එක්ක ශ්වේත රාත්‍රිය ගයනවාය. ඈ ඒ කාලේ පැතු කේතුමතී රාත්‍රිය පහල වී ඇති නිසා දැන් ඈට මධුර ගී ගයන්නට හැකිය.අසන ජනයා පු‍ටු කබල් මත සීරුවෙන් ඉන්ට ඕනෑත් නැත.

ලංකාවේ සිටින දේශපාලකයින් අතරින් මොලේ හොඳටම තියෙනවා කියලා ෂුවර් එකම මිනිහා වන මුතුහෙට්ටිගම දහ අතේ කල්පනා කරේ මේ දේශප්‍රේමි වැඩේ ඉහලින්ම කරන්නේ කොහොමද කියලාය. උප ඇමතිකමක්වත් නැතිව වේලි වේලි ඉන්නා මේ ජීවිතේ කිසි ගතියක් නැතිය. ඒ හන්දා ලොක්කාට අල්ලලා යන විදිහේ වැඩක් කරන්ට ඕනෑය. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ 27දා රටේ ඉන්න කොල්ලෝ බල්ලෝ ඔක්කොම වැඩේට බැස්සොත් එහෙම තමන්ගේ වැඩේ දිස්නය නැතිව යනවාය.

ඒ නිසා තියෙනවා කියලා වෛද්‍ය සහතිකෙකුත් ලැබී තිබෙන මොලේ කල්පනා කර උන්නැහේ 26 වෙනිදාට වැඩේ කරන්ට තීන්දු කලේය. තනියම ලකුණු දාගන්ට හිතාගෙන කල වැඩේ ජෝන් බාස්ට ගිය බව තේරුනේ  වීරක්කොඩි තුමා විතරක් නෙවේ මහ ඇමතියාත් ඇවිත් එල්ලී ඉන්න හැටි දැක්කාමය.

ඒ විතරක් නෙවේ නාරම්මල පැත්තේ තවත් කබ්බෙක්ද 26 වෙනිදාම වැඩේ පටන් අරගෙන බව දැකපු මුතු මෙදා පොටෙත් උප ඇමති කට්ටක්වත් නොලැබෙන බව තේරුම් අරගෙන සද්ද නැතිව ගෙදර ගියේ ඔබාමාට ඕනෑ රෙද්දක් කර ගත්තාවේ කියලාය.

මහින්ද රාජපක්ෂටත් වඩා හොඳ මහින්ද කෙනෙක් වෙන්ට පුලුවන් යැයි හිතා හිටින සජිත් ප්‍රේමදාසට මල පැන ඇත්තේ තමන් ජිනීවා නොයවපු එක ගැනය. බැරිවෙලාවත් යැව්වා නම් හෙම ජීනිවා විතරක් නොව ස්විට්සර්ලන්තේ නියම් ගම් පවා ගම් මට්ටම්, බිම් මට්ටම් ,තම්මැට්ටම් කරනවා ෂුවර්ය.

සජිත් විතරක් නොවේ විමල් මල්ලී හා චම්පික අයියාත් ජිනීවා නොයවපු එක ගැන තරහ වෙලා වගේය. දෙන්නාම ඊයේ හවස ප්‍රවෘත්ති සාකච්චාවටවත් ආවේ නැත.

සමහර විට විමලේ මලයා අද කඩුවෙල උද්ඝෝෂනේට  ගේන  ඉංජිනේරු සංස්ථාවේ කට්ටියගේ නිවාඩු අනුමත කර කර හිටියාදැයි දන්නේ නැත.

ඔව්වා ගැන වැඩිපුර හිතලා ඔලුව නරක් කරගන්ට හොඳ නැත. අපිටත් තියෙන්නේ එතුමාලා එක්ක ගිහින් පාරක් අයිනට වෙලා මානව හිමිකම් භංගවේවා කියලා කෑ ගහලා , දෙන දෙයක් කාලා බොන්ඩ දුන්නොත් ඒකත් ෂැන්ඩි නැතිවම බීලා,   කෙල පාරක් ගහලා බ්‍රිස්ටල් එකක් පත්තු කරගෙන හෙමිහිට පයින්ම ගෙදර එන්ටය. අර කලින් කිව්වා වගේ පාන් භාගයකුත් අරගෙන මාතා චිත්‍රපටියත් බලලාම එන්ටය.එච්චරය

නැවත වතාවක් මහා දේශප්‍රේමි සැණකෙලියක් ඇරඹී තිබේ.

රූපවාහිනි නාලිකවල ගිනි විසි වෙන දේශප්‍රේමි කතා ඇසේ. ගුවන් විදුලි නාලිකාවල උදේ සිට රෑ වන තෙක් දේශප්‍රේමී ,දේශාභිමානි ගී ඇසෙන්නේ   70 ගණන් වල වගා සංග්‍රාම කාලයේ දේශාභිමානි ගී ඇසුනාමෙනි. ඒ කාලයේ සිටි පාලකයෝ උන් බාසුමති හාලේ බත් කද්දී ජනතාවට මඤොක්කා කැවූහ. වෙනසකට ඇත්තේ දැන් පාලකයින් ජනතාවට කවන්නේ ඊනියා දේශප්‍රේමයේ  වස මිශ්‍ර කල පිදුරු වීමයි.

ආණ්ඩුව ලබන 27 දා මහා දේශප්‍රේමී අරගලයක් සඳහා  ජනතාව වීථි වලට කැඳවමින් සිටියි.  ඒ වෙනුවෙන් වැ‍ටුප් සහීත නිවාඩු, නොමිලේ ප්‍රවාහන පහසුකම් හා බාගෙට කුණු වූ බත් පැකට් පමණක් නොව අරක්කුද යහමින් සැපයෙනු ඇත.

ඒ කුමකටද?

27දා ජීනිවාහි ඇරඹෙන මානව හිමිකම් කොමිසම් සභා සැසිවාරයේදී ලංකාව මතට න්‍යෂ්ඨික බෝම්බයක් හෙලීමට යෝජනාවක් සම්මත කර ගනියිද? එසේ නැත්නම් ලංකාව සුනුවිසුණු කරන හමුදා මෙහෙයුමකට බටහිර බලවතුන් සූදානම් වෙයිද?

එසේත් නැත්නම් වීරවංශලාගේ මුකරි කටවලින් කියන පරිදි ලංකාවේ ජනාධිපතිවරයා ඇතුලු නායකයින් කුදාලාගෙන ගොස් එල්ලීමට හෝ විදුලි පු‍ටුවේ යැවීමට පිඹුරුපත් සැකසෙමින් තිබේද?

මේ සියල්ලටම පිලිතුර නැත යන්න බව අපිටත් වඩා හොඳින් දන්නේ රාජපක්ෂලා හා වීරවංශලාය. ආර්ථික ක්ෂේත්‍රයේ ඔවුන් කියන ඕනෑම දෙයක් දෙකට නැමී පිලිගන්නා රාජපක්ෂලා එලවීමට බටහිර බලවතුන්ට කිසිම උවමනාවක් නැත.

මේ ජිනීවා සමුලුවේ සිදු වෙන්නට යන්නේ , ශ්‍රී ලංකා ආණ්ඩුව  විසින්ම පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසංස්කරණ කොමිසම විසි න් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඒ ආණ්ඩුවෙන්ම ඉල්ලීමයි. ඒ හැර ආණ්ඩුව පෙන්වීමට උත්සාහ දරන අන්දමේ මහා කුමණ්ත්‍රනයක් නැත. නමුත් ආණ්ඩුවට අවශ්‍ය එවැන්නක් කර ගැනීමට හෝ අඩුම තරමේ එවැනි කුමන්ත්‍රණයක් ඇති බවක් මෙරට ජනයාට පෙන්වීමටය.

මේ මහා දේශප්‍රේමි වලිප්පුව ඒ වෙනුවෙනි.

ආණ්ඩුවේ ඉහල සිට පහල දක්වා දෝරේ ගලන්නා වූ දූෂණය, වංචාව හා නාස්තියත් කළමනාකරණයේ නොහැකියාවත් නිසා දිනෙන් දින අගාධයට යන්නා වූ ආර්ථිකය හමුවේ නැග එන ජනතා විරෝධය  යටපත් කර ගැනීම සඳහා මේ අසමත් ආණ්ඩුවට වෙන විකල්පයක් නැත. ඔවුන් දන්නේ එපමණකි. දේශප්‍රේමය අලෙවි කිරීම පමණි.

මේ මානව හිමිකම් සභාවාරය එනතෙක් ආණ්ඩුව බලා සිටියේ නො ඉවසිල්ලෙනි. ඒ අන්කිසිවකට නොව එයට මුවා වී ඉතිහාසයේ කවර කලකටත් වඩා වූ ප්‍රතිශතයකින් ඉන්ධන මිල වැඩි කර ගැනීමටය. විදුලි මිල ගෑස් මිල වැඩි කර ගැනීමටය. හරියට කල් යල් බලා ජිනීවා සමුලුවට දින කිහිපයක් තියා මිල වැඩි කලේ  එබැවිනි. එවිට එම මිල වැඩි කිරීමට එරෙහි වන ජනතා හඬ විදුලි පු‍ටු හා කුමන්ත්‍රණ ගැන ගල් පැලෙන බේගල් කියා යටපත් කල හැකි බවට හොඳ හැටි ගනන්  බලාගෙනය.

එම නිසා මේ 27දා ජනතාව පාරට බැසීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පමණක් නොව ජනතාවද පල් මෝඩයන් බව නැවත වතාවක් ඔප්පු වීමයි. ඒ හැර  අන් දෙයක් නැත.

ලබන සතියේ ජීනිවා මානව හිමිකම් කොමිසම ‍රැස්වෙන්නට තිබෙන අතරේ මේ සතියේදී ආණ්ඩුව ජාත්‍යන්තරව මාර පරාජයන් දෙකක්ම ලැබුවේය.

ආණ්ඩුව විසින් පසුගිය දවස් වල මහත් සේ උඩ දමමින් අගය කල ශවේන්ද්‍ර සිල්වාට ලැබුනු එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා කටයුතු පිලිබඳ උපදේශක කොමිටියේ සාමාජිකත්වය එහි ආරම්භක ‍රැස්වීමේදීම අහෝසි කර දැමීම ඉන් පලමු වැන්නයි.

මෙයින් අන්ද මන්දව සිටින ආණ්ඩුවේ හො‍රැනෑ මේ ගැන  ජනතාවට  කියන්නෙ මොනවාදැයි තවමත් කල්පනා කරමින් සිටින බවක් පෙනේ.

ඒත් සමග සිදු වූ අනිත් පරාජය නම් ආණ්ඩුව විසින් වසර දෙකක් තිස්සේ සිර කරගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවෙකු බවට පිලි ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කිරීමයි.

මෙම තත්වය තුල පෙනී යන්නේ 27 දා ආරම්භ වෙන මානව හිමිකම් කොමිසම් සභා වාරය ශ්‍රී ලංකාවට ගුණදායක නොවන බවයි.

රොබර්ටෝ බ්ලේක් පසු ගියදා ශ්‍රී ලංකාවටම පැමිණ ප්‍රසිද්ධීයේ ම කියා සිටියේ එයයි.

දැන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යමින් ෆොන්සේකා ප්‍රමුඛ ද්‍රෝහීන් කල  දේශද්‍රෝහි ක්‍රියාවට බැට දීම සඳහා වීරවංශලා හෙට අනිද්දා වේදිකා මත තප්පුලද්දි ගුනදාස අමරසේකරලාට  බටහිර කුමන්ත්‍රණ ගැන කියමින් නැවත වතාවක් පත්තර පි‍ටු ගනන් ලිවිය හැක.

ඉන්ධන මිල ඉහල දැමීමත් ඒ සමග ජීවන වියදම අහස උසට නැගීමත් නිසා ශීඝ්‍රයෙන් පිරිහෙන තම ජනප්‍රියතාව මෙම සිදු වීම් උපයෝගි කරගෙන රඳවා ගන්නට එම කුලී කරුවන් යොදා ගෙන ආණ්ඩුව උත්සාහ කරනු ඇත.

මේ ආණ්ඩුව සෑම විටම කලේ එයයි. ජාත්‍යන්තර වශයෙන් එන බලපෑම් රාජ්‍යතන්ත්‍රික මට්ටමින්  විසඳා ගන්නවා වෙනුවට එම සිදු වීම් රට තුල බාල ජනප්‍රියතාව ඇති කර ගැනීම සඳහා භාවිතා කිරීමයි.

මේ තාක් කල් එය යම් පමණකට  හෝ සාර්ථක වූයේ යුද ජයග්‍රහණයේ රස්නයත්  ඒ නිසාම ආර්ථික අමාරු කම් කෙසේ හෝ පිරි මහගැනීමට ජනයා කැප වීමත් නිසාය.

එහෙත් දැන් තත්වය වෙනස් වෙමින් තිබේ.

වීරවංශලා කොතරම් මොර දුන්නත් යුද ජයග්‍රහණ වේගයෙන් අතීතයට ඇදී යමින් පවතී. එසේම දීනෙන් දින වැඩි වන ජීවන බර දැනටම දරා ගත නොහැකි මට්ටම පැන ඇත. ඒ අතර තත්වය තවත් අමාරු කරමින් නෙලුම් කූලුනු වලට ප්‍රමුඛත්වය ලැබෙන්නේ ගම්බද පාසැල් සිය ගනනින් වැසී යද්දීය.රටේ මුලු මහත් ජනතාවම දේශප්‍රේමි ඇස් බැන්දුම් වලින් ‍රැවටිය හැකි මෝඩයන් නොවන බව ලඟ ලඟ දෙවතාවක්ම මේ රටේ ජනයා පෙන්වා තිබේ. ඒ විශ්‍රාම වැ‍ටුප් පනත් අරගලයේදී හා හලාවත ධීවර සටනේදීය.

ජීවන වියදම වෙනුවෙන් ඉදිරියේදී සටන් අනිවාර්ය වෙනු ඇති  අතර විශ්ව විද්‍යාල සේවකයෝ ඊයේ සිටම සටනේය.

ඒ අනුව ඉදිරි කාලයේ ආණ්ඩුවට බාහිර හා අභ්‍යන්තර වශයෙන් පෙරමුණු දෙකක සටන් කිරීමට සිදු වනු ඇත.

ජාත්‍යන්තර තලයේදී ආණ්ඩුවේ හැසිරීම නරක් වුවහොත් සම්බාදක පැනවීමක් දක්වා ඔවුන් යා හැකි අතර එවිට රට ඇතුලත සටනද වේගවත් වනු ඇත.

අනිත් අතින් අභ්‍යන්තර සටන්   මත මර්ධනය දියත් කලහොත් , එවිට නැවත වතාවක් ජාත්‍යන්තරය තුල ආණ්ඩුව හුදකලා වනු ඇත.

ආණ්ඩුවේ හා රාජපක්ෂලාගේ පාලනය රඳා පවතිනු ඇත්තේ මෙම පෙරමුණු දෙක තුලම ඔවුන් කොතරම් රාජ්‍ය තාන්ත්‍රික ලෙස හැසිරෙනවාද යන්න මතය.

දැනට පෙනෙන්නට තිබෙන ආකාරයට නම් ඔවුන්ගේ හැසිරීමට දිය හැක්කේ ලකුණු බිංදුවකි.

ශ්‍රී ලංකාවේ ජනතාව විරෝධතා පවත්වන ආකාරය සුදුසු නැති බව වීරවංශ ඇමතිතුමා සොයාගෙන තිබේ. ඒවා ප්‍රචණ්ඩකාරි බවත් ඒවායේ සිටින අය උසි ගන්වා එවා ඇත්තේ බටහිට අධිරාජ්‍යවාදින් විසින් බවත් පොලීසිය වෙඩි තබන්නේ ඒ නිසා බවත් එතුමාගේ මතයයි. ඒවායේ සිටින උද්ඝෝෂකයින් පොලිසීයට ගල් ගසන  අතර එවැනි ප්‍රචණ්ඩ උද්ඝෝෂණ ලංකාවට සුදුසු නැත.

ඒ නිසා දීර්ඝ වශයෙන් මේ ගැන කල්පනා කල එතුමා ලංකාවට සුදුසු උද්ඝෝෂණ ක්‍රමයක් ගැන සෙවීම සඳහා තම  දේශපාලන උපදේශකයින්ගෙන් සමන්විත කොමිටියක්ද පත් කලේය. එතුමාගේ දේශපාලන උපදේශකයින් හා පක්ෂයේ සාමාජිකයින්  සියලු දෙනා එතුමාගේ අමාත්‍යාංශයේ නිලධාරින් නිසා මෙය අමාත්‍යාංශ නිලධාරි කොමිටියක් ලෙස හෝ පක්ෂයේ මහ සභා සම්මෙලනයක් ලෙසද  හැඳින්විය හැක. නිල අලයෙන්ම බලයෙන්ම එතුමාම  එම කොමිටියේ සභාපති දූරයට පත් විය.

එම ගෞරවනීය කොමිටිය විසින් කරන ලද නිර්දේශ දුසිම පහත දැක්වේ.

තමන්ගේ උද්ඝෝෂණ වලින් නිසි පල ලබා ගැනීමට නම් එම උපදෙස් තරයේ පිලිපදින මෙන් සියලු දෙනාට මින් දැනුම් දෙනු ලැබේ.

1. උද්ඝෝෂණයට සහභාගි වන සියලු දෙනා සුදු ඇඳුමින් සැරසි සිටිය යුතුය.

2. කාන්තාවන් සුදු ඔසරිය ඇඳ ආ යුතුය.

3. පිරිමි අය සුදු ජාතික ඇඳුමින් සැරසී කුරක්කන් පාට සාටකයක් පැලඳ සිටිය යුතුය.

4. මධ්‍යම පලාතේ කුරක්කන් සාටක පැලඳීම අවශේෂ අයට තහනම් බැවින් එහිදී සුදු පාට හෝ නිල් පාට සාටක පැලඳීමට අවසර ඇත.

5. සියලු දෙනා නිල් මානෙල් මල් වට්ටියක් ‍රැගෙන ආ යුතුය.

6. එක් පේලියක් සැදී  බිමට නෙත් යොමු කරගෙන  සංවරව උද්ඝෝෂණය පවත්වන ස්ථානයට පැමිණිය යුතුය. එක් අයෙක් පැමිණ විනාඩි පහකට පසු අනිකා පැමිණිය යුතුය.

7. උද්ඝෝෂණයේදී සටන් පාට කීම සපුරා තහනම්ය. නිශ්ශබ්දව සිටිය යුතුය.

8.අවශ්‍යම නම්  බුදු ගුන ගාථා හෝ  දේශප්‍රේමි ගී ගායනා කල හැකි  නමුත් ඒ සඳහා පොලිස්පතිගෙන් පෞද්ගලිකවම අවසර ගත යුතුය.

9.උද්ඝෝෂණය පැවත්විය යුතු ස්ථානය පොලිසීය විසින් ‍තෝරාදෙනු ඇත.එය ජනශූන්‍ය ප්‍රදේශයක පිහිටි පාලු පොල්වත්තක් හෝ වෙනත් එබඳු තැනක් විය යුතුය.

10.උද්ඝෝෂණය සඳහා ලැබෙන උපරිම කාලය විනාඩි දහයකට සීමා වෙනු ඇත.

11.උද්ඝෝෂණයට සහභාගි වෙන කිසිවෙකු පෑන්,පැන්සල්, ජංගම දුරකථන,මාරු කාසි ආදි අවි ආයුධ  තමන් ලඟ තබා ගැනීම සපුරා තහනම්ය. ඒවායින් පහර දී අහිංසක පොලිස් හා හමුදා නිලධාරින්ට තුවාල කල හැකි බැවිනි.

12.උද්ඝෝෂණය නිමා වීමෙන් පසු ජාතික ගීය හා යෝවද තම්පව ගාථාව කියා  පැමිණි  ලෙසම එක අයෙක් ගොස් විනාඩි පහකට පසු අනිකා පරිද්දෙන් පිටව යා යුතුය.

සටහන- ඡායාරූප වලින් දැක්වෙන්නේ වීරවංශ තුමාගේ පාටියේ උදවිය බෑන් කී මූන් ට විරුද්ධව පැවත් වූ උද්ඝෝෂණයේ අවස්ථා දෙකකි. ඒවා මොන තරම් සාමකාමිද බලන්න.

පෙරේදා රාත්‍රී සොනූ  නිගම්ගේ කොන්සර්ට් එකේ  හූ පාරක් කාලා  ඔලුව මඤ්ඤං වෙලා හිටපු අපේ ගරු වීරවංශ තුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කඩුවෙල නගරයේ ලොකු උත්සවයක් තිබුනේය. ඒ ජනතාවට බූමිතෙල් කූපන් බෙදා දෙන්ටය. ලේසි පාසු නැත.සමෘද්ධි ආදාර ලබන පවුලකට රුපියල් දෙසීය ගානේම ෂහනාධාරේ දෙනවාය.

සහනාදාරේ බෙදපු වීරවංශ තුමා කිව්වේ මේ ආණ්ඩුව දුගී දුප්පත් ජනයාට සලකනවාය. වෙන මොන ආණ්ඩුවක්වත් ඒ විදියට දුගීන්ට සැලකුවේ නැතිය. දුගී දුප්පතුන්ට ජීවත් වීම අමාරු නිසා මේ විදියට බූමි තෙල් සහන දෙනවාය ආදි වශයෙනි.

බලන්ට කොච්චර හොඳ ආණ්ඩුවක්ද කියලා. ඉතිහාසේ වැඩිම ප්‍රතිශතේකින් ඉන්දන මිල වැඩි කරා තමයි. හැබැයි ඒකෙන් දුප්පතුන්ට පාර වැදුනා කියලා දැන ගත්ත ගමන් බෙදුවා කූපන් එකක්. ඉන්දන මිල වැඩි වීම හන්දා දුප්පතුන්ට  මූණ දෙන්ට වෙන  ඕනෑ ප්‍රස්නෙකට උත්තර මේ කූපන් එකේ තියෙනවා.

මෙන්න බලන්ට ඒකෙන් කරන්ට පුලුවන් වැඩ.

1. බස් එකේ යනකොට සීසන් ටිකට් එකක් විදියට  පාවිච්චි කල හැකිය. කොන්දොස්තර මහතාට පෙන්වූ විට නොමිලේ යන්ට දෙනු ඇත.

2. කඩේ ගොස් සීනි, පිටි , හාල් එලවලු මිලට ගැනීමට- මුදලාලි කූපන් එකේ චූටි කැල්ලක් කපා ගෙන බඩු ටික දෙනු ඇත.

3. කොල්ලාගේ ටියුෂන් ගාස්තු ගෙවීම සඳහා ටියුෂන් මාස්ටර්ට යැවිය හැක.

4. චැනල් සෙන්ටර් එකේ දොස්තර මහත්තුරු වැඩි කරපු ගාස්තු ගෙවීමට

5. බාර් එකට ගොස් අඩියක් වුනත් ගහන්ට පාවිච්චි කරන්ට හැකිය. ( මල් මිටියක් වුනත්)

 කෙටියෙන් කිව්වොත් වීරවංශ මහත්තයා මේ බෙදපු කූපන් එක සුරබි දේනුව වගේය. ( වීරවංශ මහත්තයාගේ සුරබි දෙන නොවේය). හිතු හිතු සම්පත් දූප්පතුන්ට දෙනවාය.ඒක නිසා දැන් ඔය බටහිර බලවේග වල අතකොලු නොවී, එන් ජී ඕ කාරයෝ ලෑස්ති කරන දේශද්‍රෝහි උද්ඝෝෂණ වලට නොගොහින් ගෙවල් වලට වී , උස්මුරුත්තේ හැදෙන්ට කූපන් හාලේ බත් කා නිදා ගන්ට ඕනෑය.

ප.ලි. – නිදන්ට කලින් මතක් කරලා කුප්පි ලාම්පුව නිවා ගන්ට ඕනෑය.

ප.ප.ලි- ඔය කූපන් එකේ කෑල්ලක් රෙදි කෑල්ලක ගැට ගහලා මේ  ජනහිතකාමි ආණ්ඩුව ආරක්සා කරලා දෙන්ට කියලා කැබලිත්තේ දෙවියන්ට බාරයක් වෙන්ට අමතක කරන්ටත් එපාය.

 

පහත සඳහන් ද්‍රව්‍ය  විකිණීමට තිබේ. අනර්ඝ තත්වයෙන් පවතී. ඉහලම ඉල්ලුමට .  තනි අයිතිකරු. වහාම ඇට මැස්සා අමතන්න.
1. ස්කූටර් වර්ගයේ යතුරු පැදියක්

2.දොර දෙකේ  ශීතකරණයක්.

3. විදුලි ඉස්ත්‍රික්කයක්

4. වර්ණ රූපවාහිනියක්

5. විදුලි කේතලයක්.

6. ගීසරයක්.

7. විදුලි පංකාවක්

8.රයිස් කුකර් එකක්

9.පරිඝණකයක්

10.ගෑස් ලිපක් හා සිලින්ඩරයක්

11. විදුලි බල්බ දහයක්

12. විදුලි රේසරයක්

ප.ලි.- ඉහත ද්‍රව්‍යවලින් ඕනෑම පහක් ලාම්පු තෙල් ලීටරයක් සඳහා හුවමාරුවක් වුවද සලකා බැලේ.