Posts Tagged ‘ඉන්ධන මිල’

පෙරේදා රාත්‍රී සොනූ  නිගම්ගේ කොන්සර්ට් එකේ  හූ පාරක් කාලා  ඔලුව මඤ්ඤං වෙලා හිටපු අපේ ගරු වීරවංශ තුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කඩුවෙල නගරයේ ලොකු උත්සවයක් තිබුනේය. ඒ ජනතාවට බූමිතෙල් කූපන් බෙදා දෙන්ටය. ලේසි පාසු නැත.සමෘද්ධි ආදාර ලබන පවුලකට රුපියල් දෙසීය ගානේම ෂහනාධාරේ දෙනවාය.

සහනාදාරේ බෙදපු වීරවංශ තුමා කිව්වේ මේ ආණ්ඩුව දුගී දුප්පත් ජනයාට සලකනවාය. වෙන මොන ආණ්ඩුවක්වත් ඒ විදියට දුගීන්ට සැලකුවේ නැතිය. දුගී දුප්පතුන්ට ජීවත් වීම අමාරු නිසා මේ විදියට බූමි තෙල් සහන දෙනවාය ආදි වශයෙනි.

බලන්ට කොච්චර හොඳ ආණ්ඩුවක්ද කියලා. ඉතිහාසේ වැඩිම ප්‍රතිශතේකින් ඉන්දන මිල වැඩි කරා තමයි. හැබැයි ඒකෙන් දුප්පතුන්ට පාර වැදුනා කියලා දැන ගත්ත ගමන් බෙදුවා කූපන් එකක්. ඉන්දන මිල වැඩි වීම හන්දා දුප්පතුන්ට  මූණ දෙන්ට වෙන  ඕනෑ ප්‍රස්නෙකට උත්තර මේ කූපන් එකේ තියෙනවා.

මෙන්න බලන්ට ඒකෙන් කරන්ට පුලුවන් වැඩ.

1. බස් එකේ යනකොට සීසන් ටිකට් එකක් විදියට  පාවිච්චි කල හැකිය. කොන්දොස්තර මහතාට පෙන්වූ විට නොමිලේ යන්ට දෙනු ඇත.

2. කඩේ ගොස් සීනි, පිටි , හාල් එලවලු මිලට ගැනීමට- මුදලාලි කූපන් එකේ චූටි කැල්ලක් කපා ගෙන බඩු ටික දෙනු ඇත.

3. කොල්ලාගේ ටියුෂන් ගාස්තු ගෙවීම සඳහා ටියුෂන් මාස්ටර්ට යැවිය හැක.

4. චැනල් සෙන්ටර් එකේ දොස්තර මහත්තුරු වැඩි කරපු ගාස්තු ගෙවීමට

5. බාර් එකට ගොස් අඩියක් වුනත් ගහන්ට පාවිච්චි කරන්ට හැකිය. ( මල් මිටියක් වුනත්)

 කෙටියෙන් කිව්වොත් වීරවංශ මහත්තයා මේ බෙදපු කූපන් එක සුරබි දේනුව වගේය. ( වීරවංශ මහත්තයාගේ සුරබි දෙන නොවේය). හිතු හිතු සම්පත් දූප්පතුන්ට දෙනවාය.ඒක නිසා දැන් ඔය බටහිර බලවේග වල අතකොලු නොවී, එන් ජී ඕ කාරයෝ ලෑස්ති කරන දේශද්‍රෝහි උද්ඝෝෂණ වලට නොගොහින් ගෙවල් වලට වී , උස්මුරුත්තේ හැදෙන්ට කූපන් හාලේ බත් කා නිදා ගන්ට ඕනෑය.

ප.ලි. – නිදන්ට කලින් මතක් කරලා කුප්පි ලාම්පුව නිවා ගන්ට ඕනෑය.

ප.ප.ලි- ඔය කූපන් එකේ කෑල්ලක් රෙදි කෑල්ලක ගැට ගහලා මේ  ජනහිතකාමි ආණ්ඩුව ආරක්සා කරලා දෙන්ට කියලා කැබලිත්තේ දෙවියන්ට බාරයක් වෙන්ට අමතක කරන්ටත් එපාය.

 

වැඩි කල ඉන්ධන මිලට එරෙහිව ජනතාව වීදි බසිද්දි  එම ජනයා ‍රැවටීම සඳහා පෙරට ආ රෙදි නැතිව හෙලුවෙන් ආණ්ඩුවට  කඩේ යන වීරවංශ  කියා සිටියේ  ආණ්ඩුව තවමත් ඉන්ධන විකුනන්නේ පාඩුවට බවයි.

එහෙත් පුවත් උදෙසා අයි ටී එන් හා සීනිව්ස් පමණක් බලන අමු මැට්ටන් කීපදෙනෙකුන් හැර අනෙකුන් ‍රැවටීමේ හැකියාව වීරවංශාලාගෙන් ශීඝ්‍රයෙන් ගිලිහී යමින් පවතී.වීරවංශලාගේ බොරු දේශප්‍රේමි බයිලා වලින් මේ ගමන නැවත්විය නොහැක.

ඉන්ධන මිලත් සමග අනෙකුත් සියලු භාණ්ඩවල මිල අනිවාර්යෙන්ම ඉහල යනු ඇති අතර බස් හා විදුලිය  දැනටමත් වැඩි කර ඇත. කිරිපිටි මිල රුපියල් 20 කින් වැඩි කිරීමට සැරසෙයි.ගෑස් මිලද වැඩි කිරීම සඳහා සාකච්ඡා වෙමින් තිබේ.

පසුගිය අයවැයෙන් රජයේ සේවකයින්ට වැඩි කල සොච්චම මෙන් දෙතුන් ගුණයක් දැනටමත් ආණ්ඩුව විසින්ම නැවත මංකොල්ල කා ඇත. ඔවුන්ද ඇතුලුව පෞද්ගලික අංශයේ සේවකයින් හා එදිනෙදා දිවි සරි කර ගන්නා කුලී කම්කරුවන්, ධීවරයින් ,ගොවීන් ඇතුලු සියලු ජනතාව ජීවන වියදමට සරිලන පරිදි ආදායමක් නොමැතිව ජීවත් වීම සඳහා මහත් වූ අරගලයක යෙදී සිටී.

මේ අතර ආණ්ඩුව පොඩි එකාගේ කිරිපිටි පැකට්‍ටුවෙන් , භූමිතෙල් ලීටරයෙන් , විදුලි බිලෙන් බදු අයකර එම මුදල් තම සුඛ විහරනයට යොදා ගනිති. රාත්‍රී කාර් රේස් පැවත්වීමට , දැයට කිරුල බඳු නාස්තිකාර සංදර්ශන පැවත්වීමට විය්දම් කරන්නේ එම මුදල්ය.  , නොරොච්චේලේ, නෙලුම් පොකුණ, නැවු නො එන හම්බන්තොට වරාය, ක්‍රීඩා නොකරන දැවන්ත ක්‍රීඩාංගන හදන්නේ රටේ කුඩා දරුවන් මන්දපෝෂණයෙන් පෙලෙද්දීය. නාමල් රාජපක්ෂලාගේ ප්‍රතිරූපය පිම්බීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ලබා ගැනීම සඳහා කෝටි සිය ගණන් වැය කරන්නේ රටේ ජනයාගේ පොකට්‍ටුවෙන් හොරකම් කරන මුදල්ය.වීරවංශලාගේ බිරින්දෑවරූ දේවාල ගානේ යන්නට ඩීසල් ගසන්නේද රටේ මහජනයාගේ මුදලිනි.

රාජපක්ෂ රෙජිමය කරන මේ මහා නාස්තිය හා දූෂණ ගැන රටේ ජනයා අවබෝධ කර ගනිමින් සිටිති. ජනයා පාරට බසින්නේ ඒ නිසාය.

ඒ තමන්ගේ දරුවන් කුසගින්නේ හඬද්දී රටේ නායකයින් කරන මේ මහා විනාශය ඔවුන් දන්නා නිසාය. ඔවුන් එන්ජීඕඑ ඒජන්තයින් හෝ වෙන කිසිවෙක් නොවේ. තම ජීවිතය ගැට ගසා ගැනීමට උත්සාහ කරන අහිංසක මිනිසුන්ය. කුමක් හෝ කර ජීවිතය පවත්වා ගෙන යාමට හැකිනම් ඔවුන් පාරට බසින්නේ නැත.

පසුගියදා ආණ්ඩුවේ තුවක්කු කරුවන් විසින් මරා දැමූ ඇන්ටනි ප්‍රනාන්දුද එබඳු අහිංසක මිනිසෙකි.ඔහු  සෑම දිනකම තම ජීවිතය පරදුවට තබා සැඩ රල සමග පොර බදිමින් මුහුදු ගියේ තම දරු දෙදෙනාගේ කුසගින්නේ නොතබා ජීවත් කරවන්නටය. මහ එවුන්ගේ පුතුන්ට කාර් රේස් පදින්නට, වීරවංශලාට මාලිගා තනන්නට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා තමන්ගේ එම අහිංසක බලාපොරොත්තුවත් උදුරා ගන්නට ආණ්ඩුව උත්සාහ කරන විටය ඔහු තම සගයින් සමග පාරට බැස්සේ.

මේ මහා දේශප්‍රේමි ආණ්ඩුව වෙඩි තබා මැරුවේ තම දරුවන් කුසගින්නේ නොතියන්නැයි හඬ ගා කියු මිනිසෙකුටය.

පසු ගිය  දා ජනාධිපති වරයා මහජන කැලඹීම් මැඩීමට සන්නද්ධ හමුදා බලාත්මක කලේ  මෙලෙස මිනිසුන් මරමින් තමන්ට එරෙහිව නැග එන ජනතා විරෝධය නවත්වන්නට හැකි  වේ යැයි සිතා බව පෙනේ.

කියුබාවේ බැටිස්ටා, පිලිපිනයේ මාකෝස්, ඉරානයේ ෂා, ලිබියාවේ ගඩා‍ෆි, ඊජිප්තුවේ මුබාරක්, ටියුනීසියාවේ බෙන් අලි ආදි ඒකාධිපතින් සියලු දෙනාම සිතුවේත් ඒ ආකාරයටය.එහෙත් ඔවුන් සියලු දෙනා අවසානයේ වැ‍ටුනේ ඉතිහාසයේ කුණු බක්කියටය.