Posts Tagged ‘ඇටමැස්සා’

ඇටමැස්සාගේ බ්ලොග් කෙරුවාවට අදට වසර දෙකකි. මෙය  පම්පෝරි කියන්නට තරම්  දෙයක් නොවුනත් පම්පෝරියක් කියන්නට සිතේ.ඒ පම්පෝරිකාරයින්  පිරී සිටින රටක එසේ නොවී සිටීමේ පලක් නැති නිසාය. ඉහින් අපේ පම්පෝරිය හෝ ඕබට සිතෙන වෙන ඕනෑම නමක් දමා ගත හැකි හෑල්ල මෙසේය.

බ්ලොග් යනු මහජන පුවත්පත් කලාව්යි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුල ඉඩ කඩ නැති අප වැනි අහිංසක දුප්පත් එසේම තමන්ට ලිවීමේ හැකියාව ඇතැයි සිතන ( එහෙත් ඇත්තටම එසේ නැති) උන්ගේ මාධ්‍යයයි. ඉතින් අප එයින් උපරිම ප්‍රයෝජනය ( ?) ගනිමු.

විශේෂයෙන් ප්‍රධාන මාධ්‍ය සියල්ල හැලපයට යට වී ඇති මෙවැනි යුගයක මෙවැනි විකල්ප මාධ්‍ය වලට මහත් වූ කාර්ය භාරයක් කිරීමට හැකිය. එය නොකෙරෙන බවද සත්‍යයකි.

ඇත්තම කිවහොත්  අද බ්ලොග්කරුවන් වන අපද වැඩ කරන්නේ ආණ්ඩුව  කියන පරිදිය. එය තරමක් දුරට පුදුමසහගහත කියමනක් වුවද තිත්ත ඇත්ත එයයි.පසුගිය වසර දෙක පුරාවට අප ලියූ බ්ලොග් සටහන් කියවා බැලීමෙන් ඔබට එය තේරුම් ගත හැක.

අද ශ්‍රී ලංකාව ආර්ථික  හා සාමාජීය වශයෙන් මහත් වූ ප්‍රපාතයකට ඇද වැටෙමින් තිබේ. එය වලක්වා ගැනීමට රාජපක්ෂ රෙජිමයට හැකියාවක් හෝ උවමනාවක් නැත. ඔවුන්ට අවශ්‍ය එකම දෙය හැකිතාක් කල් බලයේ සිටිමින් ධනය ගොඩ ගසා ගැනීම පමණි.

ඒ තරම පාලකයින් හා ඔවුන්ගේ ඇම්බැට්ටයින් ,ජීවන අරගලයේ කරවටක් ගිලී සිටින ජනතාව තමන්ට එරෙහිව නැගී සිටිතැයි බියෙන් ඔවුන්ගේ අවධානය වෙනතක යොමු කරවනු  වස් නොයෙක් ආකාරයේ ගුලි ,චූර්ණ හා කල්ක  වරින් වර ඔවුන්ට පොවති.

මර්වින් සිල්වා බඳු මැරයින්ගේ ග්ස් බැඳීම් ජවනිකා, වීරවංශලාගේ උපවාස හා ඇමෙරිකානු වර්ජන, බන්ධුල ගුණවර්ධනගේ 7500 කතාව බඳු මැටි කතා,නලින් සිල්වාගේ නාථ දේව නාඩගම හා ජීනිවා නාඩගම ආදි සියල්ල පාලකයින්ගේ මේ උවමනාව වෙනුවෙන් සැකසූ  ඒවාය. එසේ නොවේනම් එවැනි ක්‍රියා හා කතා කරන උන්ගේ මැටිකමට කියන කරන  දෑ පාලක කල්ලිය විසින් තමන්ගේ පැවත්ම වෙනුවෙන් යොදා ගනී.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සියල්ල ඒවාට උපරිම ප්‍රසිද්ධියක් දෙමින් ජනතාව තමන්ගේ සැබෑ ප්‍රශ්න වලට යොමු වීම වලකමින් සිටී. ඒ සඳහා ඔවුන්ට මාසයකට වරක් හැලපය බැගින් ලැබේ.

අප බඳු බ්ලොග් කරුවන්ද පසුගිය කලය පුරාවටම කර ඇත්තේ එයයි. වීරවංශ ඇඟපත පුරා මල පහ කර ගෙන නටන විට අප ඔහු ගැන ලියමු. මර්වින් පාරේ මල පහ කරන විට අප ඒ ගැන ලියමු. බන්ධුල මුවෙන් මල පහකරද්දී ඒ ගැනත් ලියමු. ඉන්පසු සියලුදෙනා එක්වී එයට සිනහසී අමතක කර දමා එවන් තව සිද්ධියක් වන තෙක් බලා සිටිමු.අද අපද ඇතුලු බොහෝ බ්ලොග්කරුවන් කරන්නේ එයයි.

මෙයින් වෙනස් වූ එකෙක් දෙන්නෙක් නැතුවාද නොවේ. කෙසේ වෙතත් පොදු තත්වය එයයි.

මෙයින් වෙනස්වීමසඳහා බරපතල හැදෑරීම් හා කැපකිරීම් අවශ්‍යය.  කොතරම් බාධක තිබුනත්  ඒ සඳහා අප උත්සාහ කල  යුතුය.

 

Advertisements
 
ඇට මැස්සාගේ බ්ලොග් කෙරුවාවට අදට අවුරුද්දකි . මීට වසරකට පෙර ඔහු බ්ලොග් ලිවීම  අරඹන්නේ විකල්ප මතවාදයන්ට ඇති ඉඩකඩ සමාජයෙන් ක්‍රම ක්‍රමයෙන් තුරන් වෙමින් පැවති යුගයකය. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය  සියල්ලම  පාහේ  එකම අරමුණකින් සැදී තම එකම කාර්ය බවට ප්‍රශස්ති ගායනා කිරීම පත් කරගනිමින්  සිටි යුගයකය .   ජනතාවගෙන්  බහුතරයක් තමන් අවට සිදු වන දෑ දකිමින් නොදුටුවාක් මෙන් සිටි යුගයකය. මේ පවත්නා කණගාටුදායක  තත්වයට එරෙහිව  යමක් කිරීම ,තම හැකි පමණින් යමක් කිරීම තම වගකීමකැයි ඔහු සිතුවේය.
 
බ්ලොග් අඩවි හෝ ෆේස් බුක් මගින් සමාජ අරගල කල හැකි යැයි ඇට මැස්සා විශ්වාස නොකරයි. එහෙත් සියල්ල රැල්ලට හසුව   ගසා යන යුගයක  එල්ලෙන්නට පිදුරු ගහක් හෝ තිබීම වැදගත් යැයි ඔහු සිතුවේය. වසරක් පුරා ඔහු පෝස්ටයන් දෙසීයකට  ආසන්න ප්‍රමාණයක් ඔහු ලියන්නේ එබැවිනි. තම කාලයත් ධනයත් වැය කරමින් ඔහු ලියන්නේ එබැවිනි. ඔහු ලියන්නේ  මිනිසුන්  කැමැත්තෙන්ම හෝ බලෙන් වහලුන් බවට පත් කිරීමට  එරෙහිවය. ඒ ඔහු නිදහස් මිනිසෙක් ගැන විශ්වාස  කරන බැවිනි.
 
ඔහු ලිවීමට පෙලඹවූ තවත් කරුණක් ඇත. ඒ ඔහු මෙන්ම මිනිස් නිදහස ගැන  සිතන  තවත් බොහෝ දෙනෙකුන් සමාජය තුල  සිටින බව ඔහු දන්නේය.  ඔවුන් හුදකලා වී නොමැති බවත් බලාපොරොත්තු අත හැර  නොගත යුතු බවත් ඔවුනට දැන්වීමට  ඔහුට උවමනා විය.  
 
ඇට මැස්සාගේ අඩවිය අරඹා වසරකට පසු අද දක්නට ඇත්තේ කුමක්ද? තත්වය වඩාත් කණගාටු දායකය. මෙතුවක් කල් සයිබර් අවකාශයේ හෝ තිබු නිදහස පවා අද අහිමි වෙමින් තිබේ. ඉතා නිදහස් ලෙස තම මතවාදයන් සමාජ ගත කරමින් සිටි  බ්ලොග් අඩවි කීපයක්ම හැකරුන්ගේ ප්‍රහාරයට ලක්ව ක්‍රියා විරහිතව ඇත.
 
ඔවුන් ලියු දේ පිළිබඳව එකඟතාවක් බොහෝ විට නොමැති වුවත් , නිරන්තරයෙන්ම ඇට මැස්සා ආසුරු කල බ්ලොග් අඩවි  වන ටැබූ සබ්ජෙක්ට් හා බියොන්ඩ් ෆ්‍රේම් වැනි බ්ලොග් අඩවි මේ ඉරණමට ලක් ව ඇත. ඇත්තටම ගත හොත් ඇට මැස්සා  බ්ලොග් ලිවීමට පෙලඹවූ බ්ලොග් අඩවි අතර ඉහත අඩවි දෙකට මුල් තැනක් හිමිවෙයි.   රාමචන්ද්‍රගේ අඩවිය හා W3Lanka  අඩවිය ද ඒ සඳහා විශාල  බලපෑමක්    කළේය .
 
දැනට ඇති තත්වය එයයි. ඔහුගේ ලිවීමෙන් කිසිවෙකුට සෙතක් වුවාදැයි ඔහු  නොදනී . එහෙත් එක පුද්ගලයෙකු හෝ තම බ්ලොගය කියවා සැබවින්ම අවට සිදුවන්නේ කුමක් දැයි බැලීමට උනන්දු වූවා නම්, තවත් අයෙකු තමන් හුදකලාව වී නොමැති  බවත් නිදහස පිළිබඳව සිහින දකින තවත් මිනිසුන් සිටින බව දැන ගත්තේ නම් ඇට මැස්සාට එය ප්‍රමාණවත්ය.  ජීවත් වුවත් මිය ගියත් ඔහු වාසනාවන්ත මැස්සෙක් වන්නේ එවිටය.